සිහිනයක නවතුමක්
අනුෂා රංගනී විජේදාස
තොරතොන්ඩියක් නැතිව ඇහෙන කන බිහිරි කරවන සුළු නොනවතින ගීතය අදත් හවස හතරට ඔරලෝසුවේ කටුව මාරු වූ බවට ගතු කියයි. කෝපි අකුළ සිසාර උස්පහත් වෙවී නැගෙන රැහැයි නාදය මට විටෙක මිහිරි බවක් දැනේ. දැන් ඇත්තේ ඉර ගිනි නිවී ගිය මහා මූකලානේ අඳුර ගලා එන බැවින් නිවසට කුප්පි ලාම්පුවේ එළියවත් දිය යුතුය යන හැඟීමයි.
කාලය කොතෙක් ගත වී ගිය පසුත් තැනිත් තැන දැල්වෙන විදුලි බුබුළු දකින මා එකවරම අතීතයේ අතරමං වූ බවක් හැඟිණි. තව තවත් මසිත මුමුණන්නේ ඒ සිහිනයේ ගිලෙන්නටය.
එක්තරා දවසෙක මෙසේ සිදුවුණි. රතු පැහැති පබළු ඇල්ලූ විචිත්‍රවත් සාරියක් දිගහැරියාක් මෙන් පෙනෙන හොඳින් පැසුණු කෝපි ගෙඩි පිරි ගස් ගොමුව විසිරුණු සිත එකතු කරයි. ඉවසන්නට බැරි තරම් සුවඳවත් වූ කිරිපාට රේණු පිරි කෝපි මල් පහස හදවතට දිව්‍ය ලෝකයක සුවඳ මවාපායි. මිඳුලේ සිටි මා කෝලි ලන්ද දෙසට හරවා තැබුවේ රොනට ඇදෙන සමනලයන්ට පාර කියන්නට මෙනි. ඒ පාරේ ගොස් කෝපි අතු උඩ නගිමින් විනෝද වූ මාත් නංගීත් ලැබූ වින්දනය අපමණය. ගෝනි මලු පුරවා ගෙයි මුල්ලක අහුරා තබා ටික දොහකින් වංගෙඩිවල දමා මෝල්ගහෙන් තලා පැදුරු වල අතුරා වේලන්නට වන අම්මාගේ දෑත්වල පැහැයද කෝපි ගෙඩි වල පැහැයට හැරී ඇත. පුංචි අපි ඇයගේ මහන්සියට යම් රුකුලක් දීමට නිතර වෑයම් කළෙමු.
වතුකරය අරක්ගත් සුද්දාගෙන් ලැබුණු තෑග්ගක් වුණු කෝපි මෙන්ම අක්කර ගාණක් ඈතට දිවෙන රබර් වතු යායවල් මට පෙනුණේ නිරන්තරයෙන් අපට රාකවල් සදන මුර සෙබළු වැනියෙනි.
කකුල එක්වරම එසවුණේ සීතලට දැවටුණු යම් දෙයක් නිසාය. කැලේ මිනින්දෝරුවා ළඟින්ම සිටින වග මට අමතක විය. කූඩැල්ලන් විශාල ලෙස ගහන නූ මේ පෙදෙස ඉතාමත් සිසිල් බවකින් යුතුය.
මඳකට නැවතුණු මම සිතමි. නංගියේ,…… ඒ හඬින් මා හැරී බැලුයෙමි. “ඉර එළිය වැටෙන කොට ගියපාර දැනුයි මේ එන්නේ. කූඩලු විමානෙ. මේ බලන්ඩ කකුල් ගන්ඩ දෙයක් නෑ. මේ ටික අහුල ගත්තෙත් හරිම අමාරුවෙන්” යැයි කියමින් පොඩි හාමිනා ගෙනා වැල් ගොටුකොළ උරය බිමට හැලුවාය. ඇගේ හිසේ සිට මුහුණ හරහා කඩා වැටෙන දහදිය බිඳු දුටු මට මහත් අනුකම්පාවක් ඇති විණි.
මෙන්න මේක අරගෙන කීයක් හරි දෙන්න මැණිකේ, ගෙදර හරියේ හාල් ඇටයක් නෑ. හවහට කඩේ පැත්තට ගොහින් එන්න ඕන. මං යනවා තේ කහට උගුරක් බොන්ඩ. කියමින් ඇය හුන් තැනින් නැගිට්ටාය.
ඔහොම ඉන්න ටිකක් කියමින් සුපුරුදු හිනාවෙන් විස්කෝතු සමඟ කහට කෝප්පයක් අතැතිව ආ අපේ අම්මා රුපියල් පනහේ නොට්ටුවක් පොඩි හාමිනා අත තැබුවාය. එය කවදත් ඇයට හුරුපුරුදු කාර්යයකි. සිතේ සොල්මන් කරන ඒ දසුන් අදටත් පණ ඇති චිත්ත රූප වේ.
කාලය වේගවත් වුවත් සිතුවිලි එතරම්ම ඉක්මන් නොවේ. හරි අපූරුවට රටා මැවූ පොල් කොළ වට්ටිය වියමින් සිටින කිරි අම්මාගේ රැළි වැටුණු මුව සඟලේ දත් නොමැති කටට සිනහවක් නොමැති වෙලාවක් සොයන්නට අපහසුය. කුඩා බංකුවක හිඳ හීන් සීරුවට ඇගේ කටයුත්ත කරගෙන යන ඇයගේ හිස එසවෙන්නේ අපගේ පොඩි හෝ කලබගෑනියක් කන වැටුණු විටය. ගැහැණු දරුවකුට අත්තම්මා තරම් ගුරුවරියක් මේ මිහිපිට තවත් නැත.
වත්ත සිසාරා ඇවිද වැටෙන වැටෙන පොල් අත්තට කිසිම සමාවක් නොදේ. මිදුල පුරා දිගහරින ඇගේ පොල් අතු කොළ එකිනෙක ගලවා දමා ඉරටුව වෙන් කර ගන්නට දරන වෑයම අති මහත්ය. ඉතා සීරුවෙන් කොළ පිරිමදින රන් පාට පන් පිහිට කෞතුක වස්තුවකි. එළිපත්තේ කුඩා ලංකුවට බර වුණු මේ කලාකාරිය මවන නේක රටා පොල් කොළයට බර වැඩිදැයි විටෙක සිතේ.
මතකය පාරන සිහින විලේ ගිලෙන මසිත තවත් එක් පිටුවක් පෙරළයි. වේදනාබරිත දෙනෙත පියා ගතිමි. අපි යනවෝ…. ඔයාලා එනවද? ඒ හඬට මම එක්වරම තිගැස්සී ගියෙමි. සවස් යාමයට රබර්වත්ත ඉස්මත්තේ මහා කළු ගල් තලාවකින් වටවූ වතුර වල අපේ නාන තටාකයයි. හිතේ හැටියට දියබුං ගසමින් දියයට සැඟවෙමින් වරුවක් පමණ එහි කල් ගෙවන්නට අපි පසුබට නොවීමු. අහළ පහළ පොඩි එවුන් කීප දෙනෙක් මේ ගමනට දිනපතා එක් වූයේ කවදත් නොසිඳුණු මේ දිය පහරේ අසිරිය නිසාමය. ගල් මතින් දියට පැන දඟලන අපට දිය කූඩැල්ලන්ගේද කරදර එමටය.
ඇති තරමට දිය නෑ අප ගෙදර දුවන්නේ කටු පඳුරු අස්සෙන් රිංගා එරමිණියා, දං, හිඹුටු ගොන්නක් කැන්ද කොළ වලට එකතු කරමිනි. දිය නෑමෙන් දැනුණු කුසගින්න මදකට නිවා ගන්නේ එ්වායේ රස බැලීමෙනි.
එක්වරම ඇසුණු තළා හඬට කැළඹී තිබූ මසිත යළිත් නවතින්නට තොටුපළක් සොයයි.
පුංචි පුංචි ගල් බොරළු වලට රිදුණු දෙපතුල් වලට නිතර හුරු පුරුදු වන්නේ පරණ වූ සෙරෙප්පු කබලක්ය. අපි පටු මං මාවත් දිගේ දිව ගොස් කඳු ගැට වලින් නැඟ එක හුස්මට දුවන්නට වීමු. ගල්ගෙඩිවල වැඳී තුවාල වූ දෙපාවලට කිසිම ගාණක් නැත. මෙහි උස්බිම් ඇරෙන්නට තැනිතලාවක් සොයා ගැනීම ඉතා අසීරුය.
සිතමින් තවත් පියාගත් දෙනෙත හැර බලන්නට අපහසුය. කඳු ගැට අස්සෙන් පෙනෙන ඉහළ අහසේ පාවෙන කෙඳි වලාකුළ වේගවත් අහස් යානාවක් වැනිය.
පාසලේ ක්‍රීඩා පිටිය කෙළවරෙහි පරණ වී ගිය සිමෙන්ති බංකුවට බර වූ මගේ මිතුරිය දුටිමි.
ආ…… මොකද මේ මූණ එල්ලගෙන, අද උදේ දැක්කේ නැද්ද? යැයි කියමින් ඇය මගේ පිටට පහරක් ගැසුවාය.
පිස්සුද අනේ ඔයාට, මම මේ කල්පනා කළේ විභාගෙ ළගයි නේද කියලා. පාඩම් කරලා ඉවර නෑ කෙල්ලේ තාම. කොහොමහරි ගොඩයන්න ඕන නේද එකපාරින් නැත්නම් බෝට්ටුවක් හොයන්න වෙයි.
ඇත්තමයි මාත් ඒක තමයි හිතුවේ. අපිට නැව් නගින්න පුළුවන් එකේ ඇයි බං බෝට්ටු හොයන්නෙ. යන් දැන් සිංහල ටීච ඇවිත් පොත පුරවනවත් ඇති. එක වරම සිනාසුණු අපි දෙදෙනාම පන්තියට දිව ගියෙමු.
එකමත් එක කාලෙක දුටු සිහිනය බොඳ වී ගියේ සිතන්නටවත් සාක්ෂි නැතුවය.
උදේ පාන්දර සීතල තුරුණ කරන් දිව යන්නේ ඒ සිහින අරුත් ගන්වන්නටයි. එතෙක් දැරූ වෑයම් අරුතක් නැතිව ගලා ගිය ඒවාය.
ළිප ළඟට ගොස් රත්වන දෑත් දෙපා ඒ සිහින වලට උණුසුම දෙයි. අනන්ත වූ දුක් කම්කටොලු අතරින් දකින සිහින සැබෑවක් නොවේ. එක්තරා කතාවකි.
සීනුව නාද විය. එක පොදියට පෙළට එන කිරි කොකුන් රෑනකි. ගුලෙන් එහා දකින කුහුඹුවන් මෙන් ඉතා කඩිසරය.
දිනෙන් දින ගතවූ කාලය කෙමෙන් ගෙවී ගිය බවක් නොසිතුණි. සිහිනයක් පසුපස හඹාගිය දෑස් නතර වූයේ තවත් සිහින පාරාදීසයකයි. මෙය නොසිඳෙන සිහින උල්පතකි.
රළු වූ අත්ල මතට හිරවුණු ලී මිටක් ගැසූ කුඩා පිහිතලයකින් කෙරෙන කාර්යය අතිමහත්ය. එක් පිහිපාරකින් පසාරු වී යන ලී කඳකින් ගලා යන සුදෝ සුදු කිරි ගගුල බාල්දිවල පුරවා දරන වෑයම කුමක්ද? එය එක් සිතක නූපන් සිහින පණ ගන්වයි.
කරුවලේම ගෙදරින් පිටවන මොවුන් රොටී කෑල්ලක් කා කහට උගුරක් බී කුස පුරවා ගනිති. යන ගමන කෙතරම් විඩාබර වුවත් එහි සැනසීම මද්දහන වන විට ඕනවටත් වඩා දෙපාවලට දැනෙන්නට ඇත. සොබාදහම දී ඇති මෙවන් දායාද බවත් සිහින වලට මඟ පාදනු ඇත.
අවධි නොවෙමි. මා තවත් දුටිමි. සිහිනයන් සිතූ සේ, තඳින් වසාගෙන මගේ දෑස්, නිමක් නොමැත.
අකුරුවලට හරවන්නට බැරි එකී සිහින නොසිඳෙන ගඟුලක උල්පතක් මෙනි.
පුංචි සිතුවිල්ලක් දුරට යවා විඳගතිමි හරි හැටි එක් නිමේශයක,
මතකයෙන් බිඳක් සටහන් කළෙමි. දුටු නොදුටු සිත් සතන් සනහාලනු පිණිස…..
සුසුමක් මුසු කරමි
වාතලයට
නැවතී මඳකට
ගෙවූ දුර සිහිවෙමින්
සැනසෙමි බිඳක්
විඳිමින් සුවඳ
අදටත් ඉතිරි කළ
මැකී ගිය
පිය සටහන් තුළ…