ජයග්‍රාහී කෙටි කතාව

සිහින
සිසිකලා හේරත්

මම මාර්ගය විශ්වාස කරා…

ඔයා ගමනාන්තය විශ්වාස කරා.

ඒ 2022 අවුරුද්ද. මං ජොබ් එකෙන් රිසයින් වුණේ තවදුරටත් ඒ පීඩනය දරාගන්න අමාරු නිසා. ඔහේ විඳවලා මැරිල යන්න තිබ්බ බය නිසා. ඒ වෙනකොටත් මං හිටියෙ හොස්පිටලයිස් වෙලා.

වෝඩ් නම්බර් 48/A. බෙඩ් නම්බර් 14. සිටලොප්‍රැම් ඕවර්ඩෝස්ඩ්.

මිනිස්සුන්ගෙ ජීවිතවලට අහම්බෙන් එබිල ඒ ජීවිත සුඛිත මුදිත කරනෙක හෝ විනාස කරල දාන එක කාලයක් මගෙ රස්සාව වෙලා තිබුණා. දඩ බල්ලෙක් වගේ ඒ ඒ ජීවිත ඉව කරන තරමට හෝඩුවාවන්ගෙන් ෆයිල්ස් පිරුණා. කාගෙවත් දඩයමකට මමත් වහ වැටුණා.

ඇකඩමික්ස් බින්දුවටම වැටුණා. ඒත් කිසි දුකක් දැනුණෙ නෑ. පණ ඇරගෙන මහන්සි වෙන්න මිෂන් එකක් මට තිබුණා. අති සාර්ථක මිෂන්ස් දෙකකට පස්සෙ මාව ඩිපාර්ට්මන්ට් එකට තවදුරටත් අත්‍යවශ්‍ය ම සාධකයක් වෙලා තිබුණා. මේක තුන. පුදුම සතුටකින් සහ ආත්මාභිමානයකිනුයි මං උන්නෙ. මහා වීරයෙක් වගෙයි මට මාවම දැනුණෙ. හරියට සර්ව බලධාරී දෙවියන් වහන්සේ වගේ. මිනිස්සුන්ගෙ අහම්බකාරක ජීවිත පාලනේ කරන්න වරමක් ලැබුණා වගේ. ඒක මට මහා සෞන්දර්යයක්. ඒත් මං දැනන් උන්නෙ නෑ මගේ ජීවිතේ පාලනයත් මගේ අතින් ගිළිහුණා බව මෙතුවක්.

‘සිහින ගෞරව බණ්ඩාර’. පැය අටක කොන්ෆරන්ස් කෝල් එකකට පස්සෙ මට ලැබුණු බිම් පණුවා. “අද හොඳ දවසක් – යමු ද මාළු බාන්න” නොඅසා ම මුත් ස්ටඩි ඒරියා එකේ කෙළවර ඩෙස්ක් එකක ඔලුව ගහගෙන කෝල් එකේ උන්නු මං, ‘මේ දැං බූටක් කාපු එකෙක් වගේ’ ෆෝන් එකට ම එබීගෙන ඩෝමෙට්‍රියමට ගියේ කාගෙවත් ඇහැට ඇහැ නොගැටෙන්න ඕන නිසාමයි මේ මළ පාන්දර. ඒත් උදේ ඇහැරෙද්දි හොස්ටල් එකෙන් බාගයක් මාව පෝරුවට නන්ගලත් ඉවරයි. “ආ නංගි… මල් කඩල ඉවරද?” ඇහුණයින් මට තවත් සතුටුයි. අලුතෙන් ගෙතෙන්න කතන්දරයක් නැතුවයින් ඒකට ම එහෙයි කියාන ලැජ්ජාවෙන් හිනාවෙන්න විතරයි මට ඉතුරුවෙලා තිබුණෙ. කොහොමත් ඒ වෙනකොටත්, මං හිටිහැටියේ යන එන ගමන් බිමන් ගැන කවුරුත් අතිශය ප්‍රශ්නකාරී හැඟීමක උන්නු බවයි දැනුණේ. කොහොමින් කොහොම හරි දැං ඒකත් හරි.

ඉතින් ඊලඟට මට ඕන වුණේ අති අලංකාර ස්ක්‍රිප්ට් එකක් විතරමයි. ප්‍රොපෝසල් එක ඇපෲ කරගන්න කුරුඳුවත්තට යන්න වුණා දවස් දෙකක්. තුන්වෙනි දවසෙ කල්‍යාණි මැඩම් කෝල් කළා.

“මිස්, සර් ෆයිල් එක ලොකර් එකට දානව කිව්වා. මිස් ළඟ ඩ්‍රාෆ්ට් එක තියෙනව නේද?”
මම ඔව් කිව්වා.
ඉතින් එහෙනම් එච්චරයි. දැං මට තියෙන්නෙ හැරෙන පැත්තට කපන්න විතරයි. සර් ෆයිල් එකෙ ලොකර් එකට දැම්ම කියන්නෙ වැඩේ සිද්ධ වෙන විදියට ම ෆයිනල් ඩ්‍රාෆ්ට් එකට යන්න පුලුවන් කියන එක. එහෙම නත්තම් ‘ගේම් එක ම මගේ අතේ’ කියන එක…

[ සාමාන්‍ය පොදු පරාජිතයාගේ සුලබ දුක්ඛාන්තය. අතිෂය ස්ත්‍රීමය මනෝ සංඛාතයේ කම්පනය, හෙවත් මගේ කතාව.] ඉරිදා ලංකාදීපෙ “පන්නරයට” මං ලියනවා.

හරියට ම ඊට සති දෙකකට පස්සෙ සිහිනව මට හම්බවුණේ නවලෝකෙදි. මං නොදැනුවත්වම මම අසීමාන්තිකව හෙම්බත් වෙලා හිටියා. අතාරින්න බැරි ප්‍රොජෙක්ට් එකක හිර වෙලා හිටියා. ඒක හරියට ම කිව්වොත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ. සිහිනව අතෑරියොත් මට අතෑරෙන්නෙ මෝස්ට් වෝන්ටඩ් ඩ්‍රග් ඩීලර් කෙනෙක්ට කනේ පාරක් ගහන්න පුලුවන් දිග අත. ඒත් සිහිනව අල්ල ගත්තොත්… අනේ දෙවියනේ, මං කොහොමද මහවුන්ගේ දඩයමක් වෙනුවෙන් පුංචි ඇමක් බිල්ලට දෙන්නෙ? ඒ ඔක්කොමත් අස්සෙ මගෙ හෙල්ත් කන්ඩිෂන් එක… මේ හැමදේම එක්ක මං උන්නෙ මැලේ අච්චාරුවක. අන්න ඒ මොහොතෙදියි මට මතක් වුණේ නිෂාදිව.

නිෂාදි කියන්නෙ මතීෂගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. මගෙ දෙවෙනි මිෂන් එකේ සබ් කැරැක්ටර් එකක් වුණා මතීෂත්. නිෂාදිගෙ දැන් බෝයිෆ්‍රෙන්ඩ්,රසින්ත, සිහින බණ්ඩාරගෙ ස්කූල්මේට්. නිෂාදිව කන්ටෑක්ට් කර ගන්න නම් මට මාර කට්ටක් කන්න වුණා. කොහොමහරි දවසක, හවසක අපි මීට් වුණා. ඉතින් අපි ගොඩක්වෙලා මතීෂ ගැන කතා කළා. රසින්ත ගැනත්. ඉතින් සිහිනගෙ සෝෂල් සර්කල් එක ගැන සෑහෙන්න අවබෝධයක් ඇතුවයි එදා මං හොස්ටල් එකට ආවෙ. කොහොමෙන් කොහොම හරි ඒකෙන් මේකෙන් මං තීරණය කළා සිහිනව දෙවෙනි වතාවටත් මුණගැහෙන්න. රිබෙල් බිගෑන්.

මුලින්ම මං මාව සිහිනට ප්‍රශ්නයක් වෙන්න ඉඩ ඇරියෙ ඇයි කියලා මටවත් හිතාගන්න බෑ. ඇත්තට ම වෙන්න ඕනෙ වුණේ එයාට මාව ප්‍රශ්නයක් නොවී තියාගන්න. ඒ වුණත්, ඇයි මගේ සාක්කුවේ හැම වෙලේම පුංචි  පිහියක් තියෙන්නෙ කියන එකේ ඉඳන් මං එයාට ප්‍රශ්නයක් වුණා.

ඉරිදා ලංකාදීපෙ “පන්නරයට” මං ආයෙත් ලියනවා.

මේ අතරෙදියු හදිසියෙම සිහින ගිනිගත්හේනෙ යන්න තීරණය කරන්නේ. හරියට ම සති දෙකකට. ලොකු අම්මලගෙ ගෙදර. හිතාමතා ම මම ඒ සිද්ධිය රිපෝට් නොකරන්න තීරණය කරනවා. පොතේ හැටියට නම් සිහින ඒ සතිය ඇතුළත කොළඹින් පිට ඉන්න බෑ කොහොමත්. ඔන්න ඒ අතරෙයි ජපුරෙ සෙට් එකක් එක්ක සිහිනගෙ ගැන්ග් එක වලියක් දා ගන්නෙ මහ රෑක. මං සිද්ධිය දැනගන්නකොටත් සිහින නාවලපිටියෙ. පොලිසිය එයාව ෆලෝ කරනවා.

මේ සතියෙ පන්නරේට ලියන්නෑ මං. මට අසනීප වෙනවා. ඊලඟ සිකුරාදා මාව හෙඩ් ඔෆිස් ගෙන්නනවා. මට නොසෑහෙන්න බනිනවා බල්ලෙක්ට වගේ.

ඒ වෙනකොට සිහින කොට්ටාවෙ ආච්චිලගෙ ගෙදර. මං සිහිනට මැසේජ් එකක් තියනවා. “ගෙදරින් නම් එළියට බහින්න හිතන්නවත් එපා මේ දවස් කීපයෙ!”
එයින් පස්සෙ සිද්ධ වුණ මොකුත් මතකෙ හිටින්න තරම් සිහියක් මට තිබ්බෙ නෑ. මට සිහියෙන් ඉන්න ඕනෙ වුණෙත් නෑ. සත්තකින් ම මට කාගෙවත් දඩ බල්ලෙක් වෙලා මනුස්සයෙක්ව මරාදාන්න ඕනෙ වුන්නෑ. සහේතුකව හෝ අහේතුකව… ඔව්, ඔයා මරාදාන්නෙ මේ ලෝකෙ නරුම ම මනුස්සයාව වුණත් ඔයාගෙ අතේ ලේ ගෑවෙනවා!
ඉතින් මං රෙසිග්නේෂන් ලෙටර් එක ඊමේල් කරනවා.සති දෙකකට පස්සෙ රිප්ලයි එකක් එනව මිරිහානෙන්.
මිෂන් ෆේල්ඩ්!

මං වටේ තිබුණ හැම දෙයක්ම සහසුද්දෙන් ම සන්සුන් වෙන්න පටන් ගත්තෙ ඊට පස්සෙයි. ෆෝන් එක ආයෙමත් අතට ගන්නකොට සති තුනක් විතර ම ගෙවිලා. මං මෙතෙක් පාවිච්චි කරපු සිම් කාඩ් දෙකම ගලෝල විසි කරල,හොස්ටල් එක ඉස්සරහ තියෙන ඩයලොග් ආකේඩ් එකට ගිහිල්ල අලුත් සිම් කාඩ් එකක් ගත්තෙත් වෙවුල වෙවුලා.

“හෙලෝව්”

තප්පර කීපයකින් එහා අන්තෙන් ඒ කටහඬ මට ආයෙ ඇහෙනවා

“හෙලොව්”

සිහින තාමත් ඉන්නවා

මට ඇඬෙනවා.

“අය් හේට් යූ!” මං කියනවා. තියනවා.

READ THE
NEXT STORY > >