සිහින
බවානි වල්පොල
“සුභ උදෑසනක්… අද අරුණ වැඩසටහන සමග එක්වන්නේ දශකයක් වැනි කාලයක් තුළ ව්‍යාපාරික ක්ෂේත්රයේ නමක් දිනා ගැනීමට සමත් වූ dream ආයතනයේ අධ්‍යක්ෂිකා ධෞපති වීරසුන්දර මෙනවියයි”
ධෞපති සිටියේ තම ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව නිසා ඇති වූ තැති ගැන්මත් තම ආයතනයේ කීර්ති නාමය පිණිස ලද අවස්ථාව හේතුවෙන් ඇති වූ සියුම් ආඩම්බරයත් යන හැඟීම්වලින් මිශ්රිතවය. ඒ හා සමගම ආයතනය පටන් ගැනීමට මූලික හේතුව මීට දශකයකට ඉහතදී ඇති වූ අයුරු ඇගේ මනසේ ඇදී මැකී ගියේ නිමේෂයකිනි.
මෙම කතාවට මූලික වූ අඩිතාලම වැටෙන්නේ සිහින මියගිය යුගයක ය. කොවිඩ් වසංගතයත් සමග ඇති වූ ආර්ථික අවපාත තත්ත්වය හේතුවෙන් එම කාලවකවානුව තුළ සිටි තරුණ පරම්පරාව ඉමහත් පීඩනයක පත් වූ අයුරුත් තම සරසවි ජීවිතයේ හොඳම කාල වකවානුව හුස්මටත් නිදහස අහිමි සත්ව කොට්ඨාශයක් ලෙස ගතකිරීමට සිදුවූ අයුරුත් ධෞපතිගේ මනසේ පැහැදිලිව සටහන් වී තිබුණි. ඖෂධ හිඟ වුණු, තෙල් පෝලිම්වල දවස් ගණන් ගත කිරීමට සිදුවුණු, බොහෝ පිරිසකට රැකියා අහිමි වුණු, මරණය සුලභව මුණගැසුණු අභාග්‍ය සම්පන්න යුගයක් ඔවුනට පසු කරන්නට වූයේ අනාගතය ගැන අවිනිශ්චිතතාවක් පමණක් සිත් තුළ ඉතිරි කරවමිනි.
මේ අවධිය තුළ බලා සිටියදීම ඉහළ ගිය භාණ්ඩ මිල ගණන් හේතු කොටගෙන බොහෝ මිනිසුන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටීමටය. බැලූ බැල්මට දැකිය හැකි වූයේ වෛරසයට වඩා කඩා හැලෙමින් තිබූ ආර්ථිකය විසින් මිනිසුන් දරුණු ලෙස පීඩාවට පත් කර තිබූ බවයි. ධෞපති දෙවන වසර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකව සිටි මෙම යුගයේදී ඔවුන්ගේ දේශන මාර්ගත ක්‍රමය ඔස්සේ ආරම්භ කර තිබුණි.
ලංකාවේ ඇති අතිශය මනස්කාන්ත වූ පරිසරයක තම සරසවි ජීවිතය ගත කිරීමට වරම් ලැබුණද ඔවුනට සැබවින්ම සිදුව තිබුනේ එම ස්වභාවික සුන්දරත්වය ගව් ගානක ඈතින්ම තබා බිත්ති හතරකට කොටුවී සිටීමටයි. නමුත් වාසනාවකට මෙන් ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රථම වසර කාල පරිච්ඡේදය සරසවි තුල ගත කිරීමට අවස්ථාව ලැබුණි. ධෞපති අධ්‍යාපනය ලැබුවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ය. සබරගමුව විශ්වවිද්‍යාලය වනාහි අතිශය මනස්කාන්ත භූමි ප්‍රදේශයක පිහිටි සුන්දර සරසවියකි. කඳුකර සුන්දරත්වය නොඅඩුව ගැබ් වුනු මහවල තැන්න සානුව පිසගෙන එන සුළඟ නිතරම ගැවසුන හරිතවත් වූ මෙම සරසවි භූමිය සිසුන්ගේ සිත් සරසවිය කෙරෙහි ඇඳ බැඳ තැබීමට හේතු වූ බවට නම් කිසිදු සැකයක් නොමැත.
ධෞපතිට සේම ඇගේ සරසවි මිතුරු මිතුරියන්ටද මෙම සුන්දර පරිසරයෙන් ඈත්ව නිවසට කොටුව දේශන වලට සම්බන්ධවීමට සිදුවීම සැබැවින්ම එක්තරා ආකාරයක දඬුවමක් මෙන් විය.
ඔවුන්ටත් නොදැනීම සරසවියේ දෙවන වසර සේම තෙවන වසර පළමු සාමාසිකයත් මාර්ගගත ක්‍රමය ඔස්සේම නිම වූවද වසංගතය තවදුරටත් නිමා වූ බවක් නොපෙනුණි. නමුත් ඒ වන විට මිනිසුන් යළිත් සෙමින් නමුත් තමන් පුරුදුව සිටි ජීවන රටාවට යලිත් අනුගත වීම ආරම්භ කර තිබුණි. තත්වය එසේ වුවද රට අඳුරු ආර්ථික අවපාත තත්ත්වයකින් දිගින් දිගටම පීඩා විඳිමින් සිටි අතර මෙම අවධියේදී ඔවුනට සරසවියෙන් ඉක්බිති කළ යුතු දේ ගැන පැහැදිලි දැක්මක් නොවූයෙන් බොහෝමයක් රටේ තරුණ ප්‍රජාව සේම කැළඹුණු පීඩිත මනසකින් යුක්තව කල් ගෙවීමට සිදුවිය. විරැකියාව රටේ ඔඩු දුවන පිළලයක් බවට පත්ව තිබුණු අතර බොහෝ තරුණ තරුණියන් තම සිහින අමතක කර දැමීම හෝ විදෙස් ගතවීම විකල්පය ලෙස තෝරාගෙන තිබුණි.
මේ පීඩාකාරීත්වයම ධෞපති විසින් තම ජයග්‍රහණයට හේතුවක් කර ගත්තේ ඇයට සේම ඇය අයිති වූ පරම්පරාවටම එය එක හා සමාන වූ මානසික වධයක්ව තිබූ හෙයිනි. සරසවියේ තෙවන වසර ද අවසන් වූ පසු ධෞපති ඇතුළු ඇගේ සගයෙන් එළැඹෙන්නේ තීරණාත්මක අවසන් වසරටයි.
සිව්වන වසර සරසවි ජීවිත යනු ක්‍රමයෙන් වගකීම් වලට අවතීර්ණ වීමටත් වැඩ ලෝකය පිළිබඳව කවරදාටත් වඩා අවධානයෙන් සිතීමටත් යොමුවන කාල වකවානුවයි. මෙහිදී ධෞපති සේම ඇගේ සගයින් හටද පැහැදිලි වූයේ ඔවුන්ගේ උපාධියට නිසි වටිනාකමක් හිමිවන ලෝකයක් සරසවියෙන් පිට නොවන බවයි. එහෙත් තත්ත්වය එසේ කියා ඔවුන්ට නැවතීමට හෝ තම අරමුණු වලට යාම හෝ අතර මග නවතා ලිය නොහැක.
ඕනෑම රටක තරුණ පරම්පරාව යනු අන් කවර පරම්පරාවකටත් වඩා සිහින හඹා යන පරම්පරාව වේ. සිහින යනු ජීවන ලලසාව ඇති කරන්නා වූ ද බලාපොරොත්තු දල්වන්නා වූ ද දෙයකි. එසේ හෙයින් කිසිවෙකුත් සිහිනයක් නොමැතිව ජීවත් විය යුතු නැත.
ධෞපතිගේ සිතේ කොනක තිබූ අදහසක් මෙම අවදිය වන විට දළුලා වැඩෙමින් තිබුණි. එනම් සිහින අමතකව යමින් තිබුන ඇය වැනිම තරුණ සිත් තුළ ඇති ප්‍රයෝජනයට ගත හැකි කිනම් හෝ අදහසක් වේ නම් ඒ තුළින් නව සිහිනයක් දැකීමට උපකාරයක් වන අන්දමේ ආයතනයක් පටන් ගැනීමයි. එලෙසයි dream නමින් වූ ව්‍යාපාර ආයතනය ගොඩනැගෙන්නේ
“හොදයි …අපි කැමතියි මුලින්ම දැනගන්න මොකක්ද මේ dream ආයතනය සහ සරලවම එම ආයතනය තුළින් ඔබ සමාජයට දෙන දෙය”
නිවේදකයාගේ හඬින් ධෞපති මාධ්‍ය හමුව කෙරෙහි සිය අවධානය නැවතත් යොමු කළාය.
“සරලවම කියනවනම් අපි මේ ආයතනයේ අලෙවි කරන්නේ සිහින…සිහින නොමැති මිනිසුන්ට සිහින”
“ධෞපති හතයි බන් වෙලාව…
ඔහොම නිදාගෙන උඹ අද project management lecture එක කට් කරන්නද හදන්නේ? ෆැකල්ටි එකට යන්නත් ඕනේ…. නැගිටපන්”