විසිල් එකක් උඩ තනි කකුල් බැලරිනාවක්
අසංක ජයවීර
ආවේසව නටමින් ගිනි පන්දමක් උගුරට ඔබා ගන්නා යකැදුරෙකු මෙන් උණු පැහැති ඉර ගිල ගන්නට සැරසෙන මුහුදේ එහා කොන දෙස බලා සිටිනා පිරිමි රුවකි. ඔහු උසය, හීන්දෑරිය. කොටු-කොටු ඉරි ඇඳි ටී ෂර්ට් එකක් උඩු කයේය. යටි කයේ සායම් සේදී ගිය කලු පැහැති ඩෙනිමකි. බූසියක් මෙන් වර්ධනය වී ඇති ඝන රැවුල ඔහුගේ මුහුණේ එදා පැවති ප්‍රියංකර බව ආක්‍රමණය කර ඇති බවක් පෙන්වයි.
කටේ දත් අතර දස වදයකට ලක් වෙන මහපට ඇඟිල්ලේ නියපොත්ත කටෙන් අහකට ගත් ඔහු කළ යුතු වැදගත්ම කතාවට පිවිසියේය. මෙය අතිශයින්ම තීරණාත්මක කතාවකි.
‘අපි කුලී ගෙදරකට යන්න යමු. ඔයයි, මමයි අපි දෙන්නා විතරක්…ඔයාට මං, මට ඔයා. ඒ විතරක් මදි ද අපිට ජීවත් වෙන්න?’
හතරැස් කොන්ක්‍රීට් රාමුවකට කොටු වැදී සිටින කණාටු පොල් ගහක් යට වාඩි වී සිටි ඇය ඔහුගේ කතාව අසාගෙනය. ඇය වාඩි වී සිටි කොන්ක්‍රීට් කොටුවේ සිට අඩිය දෙකේ දුරට වන්නට වූ කොන්ක්‍රීට් රාමුව තුළ සම වැදී හුන් මලින් ගැවසුණු අරලිය ගසකි. ඒ යට තරුණයෙකුත් තරුණියකත් අසුන් ගෙන සිටිති. දුම් දාන නූඩ්ලස් කප් එකක් අතේ රුවාගෙන සිටි එම තරුණයා කවකට්ටක් කරකවනවාක් මෙන් ප්ලාස්ටික් ගෑරෙප්පුව කරකවා එහි වූ නූඩ්ලස් රැලි කිහිපයක් තරුණියට කවනු ඇයට දිස් විය. හැන්දත් කප් එකත් තරුණයාගෙන් තරුණියට මාරු විය. දකුණත දකුණු කලවයට බර දී වම් අත ඉනට තබාගත් තරුණයාගේ ඇස් දෙක හේතුවකට හෝ අහේතුවකට ඇයගෙ අවධානාත්මක බැල්ම දෙසට එකවර යොමු විය. නුරුස්නා රැලි කිහිපයක් ඔහු නළලත ඇඳි ගියේය. ඉන් පසුව ඔහු තරුණිය දෙසට බර වී මොන මොනවාදෝ මැතිරුවේය. තරුණිය ඇය දෙස බලා ඇස් දෙකෙන් දවා අළු කර දමන්නට පෙර ඇය අහක බලා ගත්තාය. නැවතත් ඇයට රූස්ස යතාර්ථයේ ට්‍රිලියන් බරට යට වන්නට සිදු විය. කරදිය හුස්මක් පෙනහල්ලට ගත් ඈ එය සුසුමක් ලෙස පිට කර දැමුවාය.
‘එතකොට අම්මා? අම්මට මොකද වෙන්නේ? අම්මව එහෙම තනි කරලා දාලා යන්න පුළුවන් ද?.’
ඔහුගෙ නහර වැල් ඈත පේන ඉරට වඩා ගිනියම් විය.
‘අම්මා…අම්මා…අම්මා…කොයි වෙලාවේ බැලුවත් ඇඹලයා වහලා වගේ කටේ ඇලිලා ඉන්නේ අම්මා. අම්මගෙන් තොරව ඔයාට ලෝකයක් නැද්ද? ඔයාගේ ලෝකේ මං කොහෙද ඉන්නේ? මට කොහෙද තැනක්?’
ඇගේ නොඉවසිලිවන්ත ඇඟිලි හෑන්ඩ් බෑගයේ සිප් එක සැරසු කීටැග් එක එහාටත් මෙහාටත් වැනුවේය.
ඔහු කියන්නේ ඇත්තක්. තමන් අම්මා මත්තේ ඕනෑවට වඩා යැපෙන බවක් ඇයට ද දැන් දැන් සිතෙයි. අම්මගේ සහභාගීත්වයකින් තොරව ඇයගේ ජීවිතයේ දෙයක් සිදු වූවා නම් සිදු වූ එකම දෙය වූයේ මධුසමය පමණකි. පිළිකන්නේ එළි බැස්සත් එතනත් අම්මාය; ඉස්කෝලෙකට, පන්තියකට ගියත් ගමන යන්නේ අම්මා එක්කය. කෙසේ වෙතත් එහි පුදුම වෙන්නට කියා මහා ලොකු දෙයක් ඇතැයි ද ඇයට නොසිතෙයි. යුද්ධයට බිලි වී රණවිරු තාත්තා මිය යන විට මවගේ බඩේ සිටි හත් මසක ප්‍රොටෝටයිප් මනුෂ්‍ය කයකි ඇය. පියා මිය ගිය පුවත කන වැකුණු සැනින් මවට විලි රුදාව හට ගත් බවත් ඉන්පසු නියමිත කාලය පිරෙන්නටත් පෙර තමා ඉපදුණු බවත්ය සිය උත්පත්තිය ගැන ඇය දන්නා පුවත. ඉතින් එදා මෙදා තුර හතර දිසාව බලනවා නම් ඒ හතර දිසාවේ පහන් ටැඹක් මෙන් නැගී සිටි එමෙන්ම දන්නා එකම මිනිස් පුළුට අම්මා මිස වෙන කවුරුත් නොවෙයි. අම්මා නැතුව හුස්මක්වත් නොවැටෙනවාක් වැනි කාන්සියක සිංඩ්රොමයෙන් පෙලෙන ඇයගේ මේ රෝග නිධානය මුලින්ම පෙන්වා දුන්නා නම් ඒ ඔහු මිස වෙන කිසිවෙකුත් නොවෙයි. මේ ඇගේ අම්මා පිළිබඳ ඔහුගේ කතාවය.
ඔහු පිළිබඳ කතා ගොඩක් අම්මා ළඟ ද ඇත. අම්මා කියන විදිහට අම්මාට සුවච කීකරු දියණියක්ව සිටි තමන්ව ඇගෙන් ඈත්කර නරක් කළ පුද්ගලයා ඔහුය. අම්මා කියන මේ කතා ඇසීමෙන් තමාට සිතෙන්නේ අම්මාගේත් තමාගේත් ඇදයක් පළුද්දක් නැතිව තිබු මැස්මට තුන් වෙනියෙකු ලෙස ඔහු පැමිණ ඒ මැස්මේ නිමාව අවුල් කළ බවයි. ඇත්තටම කිව්වොත් මුලදී ඇය එසේ සිතුවේ නැත. එසේ සිතන්නට පස්සට පස්සට ඇගේ මව ඇයව ඇබ්බැහි කළාය.
කෙසේ වෙතත් දෙදෙනාගේම ඇබ්බැහි කතා කිරලා මැනලා පිරික්සා බලන විට ඔහු ද හරි මව ද හරි කියන දේ ගැන නිගමනයක් දීමේ අතීරණයකයි ඇය පසු වන්නේ. “ඉරු සඳු එකවර දෙපස නැගේ, කළුවර ඇයි විජිතයම මගේ” -මේ ගී පද පේලියට තමන් තරම් නියමාකාර සහ තත්වාකාර උදාහරණයක් මේ ලක් දෙරණ තුළ නැතැයි ඇයට කල්පනාවක් මේ අතරවාරයේදී ආවේය. ඇයට හිරුත් අවශ්‍යයි, සඳුත් අවශ්‍යයි. නමුත් හිරු සහ සඳු එකවර පෑයීමෙන් දැන් සිදු වී ඇත්තේ එළිය වැඩි වී ඉදිරියක් නොපෙනෙන තරමට ඇගේ ලෝකය නිලංකාර වීමක් නොවේද?
‘ඔයයි මායි කවදද එක සතුටකින් ඔය වහල යට හිටියේ? අපිටම කියලා ස්පේස් එකක් ඔය වහල යට තිබුණද? හැම වෙලාවෙම මාත් එක්ක එල්ලෙන්නයි, මට හින්ට් පාස් කරන්නයි විතරයි ඔයාගේ අම්මා දන්නේ. පිරිමියෙක් විදිහට මං ඔය ඉවසුවා හොඳ වැඩියි.’
එයද ඇත්තකි. මුලින්ම දෙදෙනාගේ ප්රතිවිරෝධය හට ගත්තේ ටීවී එකටය. අම්මා යනු හත හමාරේ සිට දහය දක්වා එක දිගට දිව යන නාට්‍ය පෙරහැරේ යන ආලත්ති අම්මා කෙනෙකි. කසාද බැඳ පදිංචියට ආ පසු ගෙදර තිබුණ ලදරම් හතරැස් පෙට්ටි ටීවී එක ඉවත් කර ඩයලොග් ටීවී එකක් ඔහු ගෙදරට කැන්දන් ආවේය. පුළුල් තිරයක පැහැදිලි රූප රාමු බලන්නට පුළුවන්කමක් ලැබුණු නිසා අම්මා පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියාය. ඒ විතරක් නොව බෑනා ගැන ඇය තුළ තිබුණු පැහැදීම සියට දාහකින් වැඩි විය. තමා සතුටු වුණා නම් ඒ සතුටට ප්‍රධාන හේතුව අලුත් ටීවී එක නිසා අම්මා කියන කියන පදේට සුසන්තිකා ජයසිංහ මෙන් වේගෙන් දුව ගොස් කුඩා සුළඟකින් පවා හෙලවීමෙන් අපැහැදිලි වන ඇන්ටනාව නිසි තැනට පත් කර අම්මා බලන චැනල් වලට පැහැදිලි දසුනක් ලබා දීමේ මහා ව්‍රතයෙන් මිදීමට ඇයට දැන් හැකි වන නිසයි. කෙසේ වෙතත් බෑනා ගැන තිබුණු අම්මාගේ කිරි මුට්ටි ආලේ බිමට වැටී කෑලි කැබලි වුණේ ඇය නාට්‍ය බලන කනිසමේදී ඔහු ක්‍රීඩා නාලිකා මාරු කරමින් ඒවා නැරඹිමට කටයුතු කිරීමත් සමගය. “අනේ ඊයේ අනුහස්ට මොනවා වුණාද දන්නේ නෑ? මහී අසේනි එක්ක ආපහු තරහ වුණා වත්ද? ජානු සහස්ට කරන්නේ වැරදි වැඩමයි. අදත් දෙන්නා ඇල්පොට හොරෙන් පාර මැද්දේ රණ්ඩු වෙන්නැති.” ටික දවසකට පසු මේ මැතිරීම හින්ට් පාස් කිරීම දක්වා දුරට ඇදී ගියේය. “ලකේට ටීවී ගත්තට අපිට කොහෙද ඕවයින් අපි ආස දෙයක් බලන්න වාසනාවක්.” තමා මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට පෙර ඔහු බින්න බැස්ස සැමියෙකු විදිහට සිය කසාද ජීවිතය තුළ පළමු අයිතිවාසිකම අත් හැර දැමීමට තීරණය කළේය. ඒ ටීවී එක බැලීමයි.
ටීවී එකට මිඩංගු කළ කාලය පසුව ඔහු තමා කෙරෙහි මුළුමනින්ම ආයෝජනය කිරීම ගැන ඇය මහත් සතුටට පත් වූවාය. කාමරය තුළ ඇඳ මත හාන්සි වී ඔහු වරෙක තමාගේ කනට ළං වී එකේක වල් කතා කියන විට ඇය බොරු ලැජ්ජාවක් මවා පාමින් ඔහුව කෙනිත්තුවාය. වරෙක තම අත බලෙන් අරගෙන ඔහු සරම අස්සට දමා අත ගාවගන්නට කටයුතු කරයි; දෙතොල් වලට තොත්තු පිට තොත්තු වැස්සක් දෙයි; තමාට කෑගැසෙන තරමට හයියෙන් තන මිරිකයි. කෙසේ වෙතත් කාමරය අස්සේ ඇයත් ඔහුත් තනි වුණු ලෝකයට උල්කාපාතයක් මෙන් අම්මා කඩං වදින්නට පටන් ගන්නවාත් එක්කම මේ වල් සංග්‍රාමයට ද නිර්දය තිතක් වැටුණි. අතීතයේදී ටීවී එක ළඟින් ගලවන්නටවත් බැරි වුණු අම්මා නාට්‍ය බලනවා වෙනුවට වරින් වර දොර රෙද්ද අසලට පැමිණ “දුවේ කහට එකක් හදන් ආවා, දුවේ බිස්කට් ගෙනාවා, දුවේ අරක ගෙනාවා, දුවේ මේක ගෙනාවා” යනුවෙන් අමතමින් හොල්මන් කරන්නට පටන් ගත්තාය. කාමරයට රිංගා කරන ඒ වැඩේ අතහැර ඔහු ෆෝන් එකට ඇබ්බැහි වන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. කෑම කනකොටත් ෆෝන් එක අතේය. රෑ නින්දට යන තෙක්ම පවර් බෑන්ක් එකට ෆෝන් එක සවි කර තනියම මොන මොනවාටදෝ සිනාසෙයි. ක්‍රමානුකුලව ඔහු ඇගෙන් විසි වී වෙනතක යද්දී ඇය සුපුරුදු අන්දමින් අම්මාගේ ටෙලි නාට්‍ය ලෝකයට විසි වී එහි සිරකාරියක් බවට පත් විය.
‘ටිකක් හොයලා බැලුවොත් හොඳයි. කවුද දන්නේ ෆෝන් එකෙන් මොන මොන ජවුසන් නටනවද කියලා?’
මවගේ කීමේත් ඇත්තක් ඇතැයි ඇයට සිතෙයි. මුල් කාලයේදී වැඩි වැඩියෙන් දොඩමළු වූ ඔවුන් දෙදෙනාගේ කතාබහ මාස හයක් ඇතුළත නින්දට පෙර වචනයක් දෙකක් කතා කරන තත්ත්වයකට පත් වීම ගැන ඇය පුදුමයට පත් විය. මේ නිසා දවසක් ඇය ටීවී එක බැලීම පැත්තකින් තබා ෆෝන් එකේ ස්ක්‍රීන් එකට තට්ටු දමදමා මොන මොනවාදෝ ටයිප් කරන සැමියා වෙතට පිවිසියාය.
‘මොකද අනේ ඔයා ඔය ෆෝන් එකේම එල්ලිලා කරන්නේ? මොනවා හරි වැඩක් ද?’
ඇය ඔහුගේ කලවය මත ලාස්‍ය රසයෙන් යුතුව ඇඟිලි තුඩු උඩ යට යැව්වාය. වෙනදාට නම් එසේ අත ගාන සැනින් මෝදු වී සරම මදක් උඩට ඉස්සෙයි. නමුත් අද ඇයට එවැනි දෙයක් දැක ගන්නට හැකියාවක් නොලැබුණි.
‘වවුලා වගේ ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා මිසක් මේ ගෙදර මට වෙන මොනවද කරන්න තියෙන්නේ?’
ටීවී එකේ සද්දය පල්ලම් බැස්සේය. මවගේ කන් දෙක කාමරය පැත්තට දික් වී බඩ ගා එනු ඇයට මැවී පෙනුණි.
‘හෙමින් කතා කරන්න ළමයෝ. අම්මට ඇහුනොතින් එහෙම…’
‘අම්මට ඇහෙන්න…? ඇහෙන්න තමයි මං මේ කතා කරන්නේ? මගුල…’
අතීත අඳුරු ගුලෙන් ඇය නැවතත් වර්තමානයට පිවිසියාය. ඔහුගේ ඇස් මුහුදු රළ අතර පාවෙමින් තිබුණි.
‘වෙන් වෙලා ජීවත් වුණොත් අපිට නිවිහැනහිල්ලේ දරුවෙක් මල්ලෙක් හදාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන්. හරියට ඔයාට ඔය දරුවෙක් බඩේ පිහිටන්නෙත් නැත්තේ අම්මගෙන් ආපු ලෙඩ නිසා.’
ඇය කේන්තියෙන් ඔහු දෙස බැලුවාය.
‘ඔයා ඒකට දැන් මට ද චෝදනා කරන්නේ? අනිත් එක මොනවද මගේ අම්මගෙන් මට ආපු ලෙඩ? කියන්න බලන්න.’
‘ඕවා මේ මං කියන කතා නෙවෙයි, ඔයාගේ තාත්තගෙම පැත්තේ අය කියන කතා. ඔයාගේ අම්මට ළමයි කීපාරක් නැති වුණාට පස්සේ ද ඔයාව හරි ගිහිල්ලා තියෙන්නේ? අනික ඔයත් ඉපදිලා තියෙන්නේ අඩු මාසෙකින් ලූ.’
‘තාත්තගේ පැත්තේ අයත් එක්ක අපේ වැඩි සම්බන්ධකමක් නැහැ කියන එක දැන දැනත් එයාලා කියන කතා ඔයා ඉහ මුදුනින් පිළිගන්නවද?’
‘ඔව්, පිළිගන්න පුළුවන් කතා ටික මං පිළිගන්නවා.’
‘ඔයාට පිළිගන්න පුළුවන් කතා ටික ද නැත්තම් ඔයාට ඕන කතා ටික ද ඔයා එයාලගෙන් ඔය ඇහිඳ ගෙන තියෙන්නේ?’
ඔහු ඇය දෙස රවා බැලුවාය.
‘ඔය වගේ දේකදී පිරිමියගෙ අතේ තමයි වැඩි වගකීම තියෙන්නේ. කොයි වෙලාවේ බැලුවත් සිගරට්, අරක්කු කටේ ගහගෙන ඉන්න පිරිමින්ගෙන් හැදෙන ළමයින් ඔහොම දිය වෙලා ගසාගෙන යන එක පුදුමයක් නෙවෙයි.
කසාද බැඳ මාස අටකට පසුව ලැබෙන්නට ආ කුළුඳුල් දරුවාගෙ ගබ්සාව ගැන මරණ පරීක්ෂණ වාර්තාව අම්මා ලබා දුන්නේ එලෙසිනි. විවාහ වෙන්නට පෙර සිටම ඔහු යාළුවො එක්ක සෙට් වී ඩ්‍රින්ක්ස් ගන්නා සමාජශීලී අයෙකු බව ඇය හොඳාකාරවම දනියි. ඔහු සිගරට් පවා බොන අයෙකු බව ඇය දන්නීය. ඒ වුණත් ඇයට ඒ ගැන ඔහුත් සමග මහා ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැත. ඇත්තටම කිව්වොත් ඔහු වඩාත්ම ආදරණීය වන්නේ අරක්කු බිව්වාට පසුවය. අරක්කු බොන වෙනත් පිරිමින්ගේ කටවල් ගැහැනුන්ට බනින්නට ඇරෙද්දි ඔහුගේ කට ඇරුණේ ඇය කෙරෙහි ලීලය පාන ආදර ගීතයක් මුමුණන්නටය; කටගොන්නක් බීගත් වෙනත් පිරිමින්ගේ අත පය එසවෙන්නේ ගැහැනුන්ට අඩත්තෙට්ටම් කරන්නට නම් ඔහුගේ අත පය එසවුණේ ඇයව තුරුල් කරගෙන ආදරණීය කම් සැපක් ලබා ගැනීමටය. මේ නිසා ඇයට ඔහුගේ අරක්කු, සිගරට් පානය ගැන පැහැදීමක් මිස කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැත.
‘දැන් බලන්න ඔයාගේ තාත්තා දිහා. ඔයාගේ තාත්තා ඔය මොනවත් කටේ තිබ්බේ නැහැ. ඔයාගේ තාත්තා යුද්දෙට ගියේ නැත්තම් මෙලහකට මං තව ළමයි ගොඩකගේ අම්මා කෙනෙක්. හිතේ බය තියෙනකොට කොයි ගෑනිගේ බඩෙත් ළමයි පිහිටන්නේ නැහැ.’
‘අනේ අම්මේ මගේ ඔලුව රිදෙනවා. ඔය කියවිල්ල දැන් නවත්තගන්න.’
‘කියවිල්ල? දැන් උඹට මං කියන දේවල් අහගෙන ඉන්නෙකත් වදයක් වෙලාද?’
කහට කෝප්පයේ අන්තිම අඩිය මිදුලට විසි කළ අම්මා ඇය දෙසට නැමී කතා කළාය.
‘ගෑනියෙක් වුණාම මිනිහෙක්ව තමන්ට ඕන විදිහට නම්ම ගන්න දැන ගන්න ඕන. ළමයෙක් හැදෙනකම් ඔය දහ ජරාව කටේ නොතියන්නට වැඩ සිද්ධ කර ගන්න බලපන්.’
ඊට දවස් කිහිපයකට පසුව යන ගමනේ හේතුව ඔහුට නොකියා ඔහුගේම මෝටර් සයිකලේ නැග ඔහු සමග ගොස් ඇය නතර වුණේ සැමියන්ගේ බේබදුකම නතර කරන ලෙස කන්නලව් කරන බිරින්දෑවරුන්ට සවන් දෙන මුහුණ පොත හරහා ප්‍රසිද්ධියට පත් රොඩී අප්පච්චිගෙ දේවාලය ඉදිරිපිටය. බයිසිකලයෙන් බැස ඇය ඔහුට හේතුව කිව්වා පමණි. ඩෝං ගිය ඔහුගෙන් හැමෝම ඉදිරිපිට හොඳවායින් කුණුහබ්බ ගොඩක් ඇය අසා ගත්තාය. ඔහු කඟවේනෙකු මෙන් සයිකලයෙන් පියඹා ගියේය. ඇය බස් එකෙන් ගෙදරට ගෑටුවාය. පැයක්, දෙකක්, දවසක්-දෙකක් බලා සිටියද ඔහු නිවසට පැමිණියේ නැත. අවසානයේදී යහළුවන් කිහිප දෙනෙකුගේ සහ ගෙදර අයගේ ද සහයෝගය මැද ඔහු නිවසට නැවතත් පැමිණියේය. නමුත් ඒ පැමිණියේ වෙනදා සිටි ‘ඔහු’ නොව වෙනත් කෙනෙකු බව වටහා ගන්නට ඇයට මහ ලොකු වෙලාවක් ගියේ නැත. ඔහු පැමිණි විගස පස්ස ගස්සා කාමරයට ගිය අම්මාගේ සතුරු ක්‍රියාවත් දත් කූරු අතරින් ඇසෙන නොඇසෙන තරමට ‘නාකි බැල්ලි’ යනුවෙන් ඔහු කළ බරපතල මැතිරීමත් අනාගත විපතක පස්මහ බැලුම් ඇයට ටොකු ඇන ඇන පෙන්වා දීමට සමත් විය. වැඩි කල් ගියේ නැත. සතියකින් කලියුගයේ දොරට වැඩුම සිද්ධ විය. එය සිදු වූයේද අහම්බයකිනි.
කුස්සිය පිටිපස්සේ බංකුවකට බර දී සිටි ඈ කහට කෝප්පයක් බොමින් සිටියාය. ඇගේ මව පඩියේ වාඩි වීගෙනය. බරට බරේ සීනි මුරුක්කු හපමින් කුස්සියේ සිට එවරෙඩි සීයලාගේ වත්ත මායිම දක්වා විහිදී ගිය තම වත්ත දෙස බලාගෙන අම්මා හූල්ලන්නට පටන් ගත්තාය.
‘හරි හමන් පිරිමියෙක් මේ ගෙදර හිටියා නම් මේ වත්ත පිටිය සුද්ද බුද්ද කරලා පිරිසිදුවට පිළිවෙලකට තියා ගන්නවා. කොච්චර නම් ඉඩක් තියෙනවද එලෝළුවක් වවා ගන්න. කොහෙද ඉතින් මේවයේ අගයක්? දේවල් නිකං ලැබෙනකොට ඒවැයි කිසි අගයක් නෑනේ. මමම ගිහින් පොල් ටික අහුලන්න ඕන. මමම ගිහින් කඩවල් වලට දීලා ඒවා විකුණන්නෝන.’
කසාද බැඳපු මුල් කාලේදී නම් ඔහු විසි කැත්ත අරගෙන වල් බිහි වෙන වාරයක් වාරයක් පාසා වත්ත සුද්ද කළේය. පොල් ගස් වටේට පොල් ලෙලි අතුරා අදාළ වතාවත් පවා කළේ ඔහුය. එමතු නොව තමාගේ දැඩි විරෝධය නොතකා ඔහු පොල් ගස් වලට නැග පොල් කඩා ඒවා කඩවල් වලට විකුණා ඒ ලැබෙන සල්ලි සතයක් අඩු නැතුව අම්මාගේ අතටම ගෙනැවිත් දුන්නේය. කෙසේ වෙතත් වත්ත පිටිය සුද්ද කිරීමේ මේ කාර්යට තිත වැටුණේ ඔහු බිං කොහොඹ උගුල්ලා දැමු විට අම්මා විස්සෝප වී හින්ට් වැලක් පාස් කිරීමත් සමගයි. “එයාලගේ වත්තේ මොනවද තියෙන්නේ? කණාටු වෙච්ච කූඩලු පැල ටිකක් විතරයි නේ. ගස් වැල් ගැන දැන ගන්න නම් ඉතින් හරිහමන් වත්තක පිටියක ගහක් වැලක් වවලා ඒ ගැන දැනුවත්කමක් තියෙන්න ඕන. බිං කොහොඹ දැන් කොච්චර ගණන්ද? කිලෝවක් විසිපන්දාහකට විකුණා ගන්න පුළුවන්.” බිං කොහොඹ කැපීම ගැන ඇය කතා කළේ හරියට ඇගේ දේපලක් සොරා ගත්තා හා සමානවය. අම්මාගේ ඇඟේ කැකෑරෙන උෂ්ණයෙන් ඔහුගෙ ඉහමොළ රත් වුවද ඔහු ඒ දේවල් කරබා ගෙන සිටියේ තමන් ඔහුගෙ පැත්තට කතා කරාවි කියන විශ්වාසය මතය. නමුත් ඇය අම්මාගේ කියුම් කෙරුම් කරබා ගෙන සිටියා මිස කිසිවක් කළේ නැත. ‘ඔයා ඕවා ඔච්චර හිතන්න යන්නෙපා. ඔය අපේ අම්මාගේ හැටි’ යැයි කියමින් ඔහුව සන්සුන් කිරීම පමණයි ඇය කළ එකම දෙය වූයේ. ඔහු වත්ත පිටියේ වැඩ කටයුතු වලින් ඉවත් වූවාට පසුව සුපුරුදු විදිහට රුපියල් තුන් දහසක් දී පොල් සිරිපාල මාමා ලව්වා වත්ත සුද්ද කර ගැනීමට ඇයට සිදු වී තිබේ. දෙයක් කළත් වැරදි, දෙයක් නොකළත් වැරදි-මේ තමා අම්මාගේ ජීවන තියරිය.
අම්මාගේ න්‍යායට අනුව මේ ලෝකයේ සිටින එකම සහ සැබෑ පිරිමියා තාත්තා පමණි. ඔහුගේ මොකක් හෝ වැරැද්දක් කතා කරන විට තාත්තාව පටලවා ගැනීම සහ තාත්තාගේ පිරිමිකම තම සැමියාගේ පිරිමිකම සමග සංසන්දනය කර ඔහුව හෑල්ලුවට ලක් කිරීම දැන් අම්මාගේ කතාබහේ පුරුද්දක් බවට වී ඇත. “තාත්තා හිටියා නම් මේ දේවල් මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ, තාත්තා වගේ නම් පිළිවෙලකට වැඩක් කරන්නම බැහැ, තාත්තා හිටියා නම් අරහෙම වේවි, මෙහෙම වේවි…’ යුද්ධය ජීවිතය කරගෙන එයටම දරදිය ඇද මිය ගිය ඡායාරූප වලින් පමණක් දැක ඇති තාත්තා යනු තමාගේ ජීවිතයේ චූටි තිතකටත් වඩා පොඩි අගයක් ගන්නා කෙනෙකි. ඇරත් කොයි වෙලාවකවත් ගෙදර නොසිට යුද්ධයටම වහල් වී සිටි තාත්තා වැනි පිරිමියෙකු අම්මාට මෙතරම් වැඩ ගොඩක් කර දී ඇතිදැයි සිතීම පවා සැක සහගතය.
සියල්ල කරබා ගෙන නෝන්ජලියක් ලෙස නොසිට අම්මාට එකටෙක දෙයක් කියන්නට ඇය කට විවෘත කරන්නට හැදුවා පමණයි. අම්මාගේ ඇඟට විසාල එළවලු මල්ලක් වැදී එහි වූ අඩුම කුඩුම සියල්ල සීසී කඩ විසිර ගියේය.
‘මොකක්ද උඹ නාකි බැල්ලි කියවන්නේ?’
ඔහු ගිගිරුවේය. ක්ෂණයෙන් පුපුරා ගිය අනපේක්ෂිත හෙණයකි මේ.
‘අනේ මොනවද ඔයා මේ කරන්නේ?’ මව දෙසට ඇදෙමින් සිටි ඔහුව නවත්වන්නට ඇය පෙරමුණට ගියාය. අම්මා බයෙන් බිරංතට්ටු වී සිටියේ එහාට මෙහාට වෙමිනි. ඇගේ කට වැසී ඇත; කට මුඛරිකම උගුර පල්ලේ හැංගිලාය.
‘අහකට පලයන් යන්න තෝ. තෝ තමයි මේ සේරටම මුල. තොට මං අච්චර කියනවා වෙනත් ගෙදරකට යමු කියලා. තෝ තමයි අම්මගේ මේ රෙද්ද අස්සේ හැමිනිලා මාව පාච්චල් කරන්නේ.’
ඔහු ඇයව බෙල්ලෙන් අල්ලා අහකට තල්ලු කර දැම්මාය. මුල්ලට විසි වී ගිය ඇය වහා ඇඟට ශක්තිය ගනිමින් හනිකට ආයෙමත් මග අහුරන්නට ආවේ අම්මාට මොනවා හෝ නරකක් ඔහු කරාවි යැයි බියෙනි.
‘නාකි බැල්ලි, තොගේ ගෙදර හැම වැඩක්ම මං ලව්වා කරගෙන තෝ මටම බනින්න එනවද? තොගේ ගෙදර කරන්ට් බීල, වතුර බීල ගෙවන්නේ කවුද? තොටයි තොගේ දූටයි කන්න බොන්න ගෙනල්ල දෙන්නේ කවුද? තෝ කඩ කාමර සල්ලි ගොඩ ගහ ගන්නවා, මිනිහගේ පින් පඩිය තන අස්සේ හංග ගන්නවා. තෝ එක සතයක් දෙනවද ගෙදර බඩු ගේන්න කියලා?’
මෙතෙක් වෙලා හිර කරගෙන සිටි අම්මාගේ කට හැකරකම කටින් දොට්ට පැන්නේය.
‘ගෙවල් එක්කම ගෑනුත් නිකම්ම අරං, අත වන වන නම් ගෙදරට ආවේ එහෙනම් එහෙම එකාලා යුතුකම් ඉෂ්ට කරන්න දැන ගන්න ඕන. අපේ දූටත් හොඳ හොඳ මනමාලයෝ ආවා. කොහෙද ඉතින්? බැඳ ගත්තු බෙරේම ගහන්න ඕන කියලා මෙතන නාහෙන් අඬන්න ගත්තා නේ.’
අම්මා තමා දෙස රවා බලනු ඇය දුටුවාය. ඔහු අත දික් කර අම්මා වෙත මෑනුවේය.
‘අනේ උඹේ දූට මනමාලයෝ පෝලිමේ ආපු හැටි මං දන්නවා නේ. සේරම කතා ටික මට තාත්තගේ පැත්තේ අය කියලා තියෙන්නේ. පොල් සිරිපාලයා එක්ක නටන නාඩගම් ටිකයි, උගෙන් ළමයෙක් හම්බ වෙන්න ඇවිත් ඒ ළමයව නැති කර ගත්තු හැටියි… අම්මගේ පැටිකිරිය දන්න උන් ඒවි මේං කියලා දූව ගන්න… මගේ කරුමෙට මම අහු වුණා…ඒ මිනිස්සු කියනවා හරි… මේක පිරිමි මරා ගෙන කන ගෙයක්.’
අම්මා පියවරක් ඉදිරියට තැබුවාය. ඇගේ ඇස් දෙක එළියට දොට්ට පනින්නට මෙනි.
‘මට අව්ලම් කතා කියන එකේක බල්ලොන්ට මං මේ ගෙදර ඉන්න ඉඩ තියන්නේ නෑ. බැහැපන් මගේ ගෙදරින් එළියට.’
ඔහු කේන්තියෙන් උරච්චි වී ඉදිරියට ආවේය. ඇය නිසොල්මන්ය.
‘තමුසේ ලෑස්ති වෙනවා… මේ දැන්ම මේ ගෙදරින් මාත් එක්ක යන්න.’
අම්මා එකවර මැද්දට පැමිණ ඔහුව අවහිර කළාය.
‘මගෙ දූ මේ ගෙදරින් එක අඩියක් එළියට තියන්නේ නෑ. ඒ හින්දා යන තැනක මක බෑවිලා පලයන්.’
ඔහු මොහොතක් අම්මා දෙස බලාගෙන සිටියේය. එකවර ‘චටාස්’ ඔහුගේ කේන්තිය අම්මාගේ කම්මුල මත පුපුරුවා හැරිණි. ඇගේ තොලේ පැත්තක් කැඩී ලේ ගලා ගෙන ආවේය. කම්පනය දරා ගත නොහැකිව අම්මා කම්මුල අල්ලාගෙන සිදු වුණේ කුමක්දැයි සිතසිතා සිය පාරක් පමණ ඇසි පිය සලනු ඇය දුටුවාය. අම්මාගේ උරහිස තමාගෙ අත් දෙක අතරය. අම්මාගේ කම්මුලෙන් දෝංකාර දුන් චටාස් සද්දය කන් අඩි වල සිට මොහොතක් යන තෙක් නින්නාද වෙනු ඇයට ඇසෙයි.
අම්මාගේ ටෙලි පෙරහැර සාලය මැද කෑලි කැබලි වී ගියේය. කුස්සිය පුරා ශීතකරණයේත් ඔහු නිතරම රස ස්මූති හදා ගත් බ්ලෙන්ඩරයේත් සුන්බුන් ය. අවසානයේදී සියලුම රෙදි පෙරෙදි ටිකත් බෑගයකට දමා ගත් ඔහු බයිසිකලයට නැගී පිටත් විය.
ඔහු ඇය දෙස නොබලා මුහුද දෙස බලා ගෙන සිටියේය. ඇය හෑන්ඩ් බෑගය දෙස බලාගත් ගමනින්ය.
‘අපි ඕවා අමතක කරලා දාලා ආයෙත් පුරුදු විදිහට එකට ජීවත් වෙමු.’
ඔහු කේන්තියෙන් ඇය දෙස බැලුවේය.
‘පරණ පුරුදු විදිහට? තමුසෙගෙ අම්මගේ සෙවල කතා අහඅහ ඔලුව නමාගෙන…මේ මම?’ ඔහුගෙන් පිට වූයේ සෝපාහාසාත්මක සුසුමකි.
හැඬුමක් පිට වෙන්නට ආවත් ඇය එය සඟවන්නට උත්සාහ කළාය.
‘අම්මා තේරුම් අරං ඉන්නේ දැන් හැමදේම. එයාට මාමලත් කරුණු කාරණා තේරුම් කරලා දුන්නා. ඒ නිසා අම්මා දැන් සංසුන්. ඔයත් සංසුන් වෙලා හෙමින් සීරුවේ ආයෙත් ගෙදර එන්න. අපි ඉස්සරහ කෑල්ලේ, අම්මා කුස්සිය පැත්තේ ඉඳිවී.’
‘ඒකද ඔයාගේ අන්තිම තීරණය?’ ඔහු ඇය දෙස බලාගෙන ඇසුවේය.
ප්‍රාර්ථනා සහගත ලීලාවෙන් ඇය ඔහුගේ දකුණත තදින් අල්ලා ගන්නට උත්සාහ කරද්දී ඔහු සංසුන්ව ඇගේ අත පැත්තකට කළේය. ඔහුගේ ඇස් ඇඟිලි මත ලෙළ දෙයි. ඔහු සිය මගුල් මුද්ද කරකවා බුරුල් කරනු ඇය දුටුවාය.
‘එහෙනම් තවදුරටත් අපි දෙන්නට එකට යන්න ගමනකුත් නෑ.’
ඔහු පළමු වරට හමු වූ සැටි ඇයට මතක් විය. තම හොඳම මිතුරියගේ පෙම්වතා මූණ ගැසීමට ඇය යනවිට ඇගේ පෙම්වතාගේ තනියට පැමිණියේ ඔහුයි. පසුව කාලය විසින් ඔවුන් දෙදෙනාව පෙම්වතුන් බවට පත් කරන ලදී. ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වී මාස අටක් ඉක්මුණු තැන දවසක් ශැංග්‍රීලා හෝටලය අබියස මුහුදු සුළං හමන, ඉර බැස යන්නට ඔන්න මෙන්න තිබුණ මේ වගේම මොහොතක ඔහු දණ ගසාගෙන ‘විල් යූ මැරී මී?’ යනුවෙන් තමන්ගේ ඇඟිල්ලේ මුද්දක් පැළඳුවේය.
එදා ඔහුට පෝරුවේදී ඇය තිලිණ කළ රන්වන් මුද්ද ඔහුගේ අතින් ගැලවුණි. එය ඇයගේ අත්ල මත තබා ඔහු නැගී සිට යන්නට ගියේය. ඇය හිරකරගෙන සිටි කඳුළු එකවර වේල්ලක් පුපුරා කඩාගෙන ගියාක් මෙන් ගලා හැලෙන්නට විය.
නමුත් කඳුළු අතරින් පැමිණි කල්පනාවක් විසින් ඇයගේ හැඬීම නවත්වන ලදී. ඇය ඔහුට පැළඳු මුදුව ඔහු ගලවා දැමුවද තමාට පැළඳු මුදුව ඔහු ගලවා නොගැනීමෙන් අදහස් වෙන්නේ තමා පිළිබඳව ඔහුගේ හිතේ බලාපොරොත්තුවක් තවමත් තිබෙන බව නොවේද? ‘ඔව් ඒක ඇත්තක්. එයා මගෙන් මුද්ද ඉල්ලුවේ නෑ. ඒ කියන්නේ මං තාමත් පරක්කු නෑ කියන ඒක.’ අම්මා සමග තට්ට තනියමේ නෑදෑ සම්බන්ධයකුත් නැතිව පාළු හුදෙකලා ජීවිතයක් ගත කළ ඇයගේ ජීවිතය වෙනස් වුණේ ඔහු නිසයි. තමා ගැහැනියක් වූයේත් ඔහු අතිනි; තමා පළමු වරට මවක් වන්නට ගියෙත් ඔහු නිසයි. වෙනත් පිරිමින් මෙන් නොව කිසිම ලෝබකමක් නැතුව තමන් ඉල්ලන ඉල්ලන දේවල් ඇයට ලබා දුන්නෙත් ඔහුය. ඒ වගේ ආදරවන්ත සැමියෙක් නැති කර ගැනීම යනු ගෙල වැල ලා ගැනීමක් හා සමානය. කවුරුද අත් හැරිය යුත්තේ, කවුරු සමග ද ජීවිතයේ ඉතිරි කාලය ගත කළ යුත්තේ කියන අවසන් මහා නිගමනයට ඇය අන්තිමේදී පිවිසියාය.
ඇය කඳුළු පිස දමා ගෙන විගහට නැගී සිටියාය.
‘සසංක… සසංක…’
ඇය වේගයෙන් ඔහු වෙත ගොස් ඔහුගේ ගෙල තදින් බදා ගත්තාය. ඇගේ ඇඟිලි තුඩු ඔහුගේ කෙස් අතරය. ඔහු වික්ෂිප්ත වී ඇය දෙස බලා සිටියේය.
‘මාව දාලා යන්න එපා සසංක… එහෙම වුණොත් මං මැරේවි…මට… මට ඔයා නැතුව එක මොහොතක්වත් ජීවත් වෙන්න බැහැ.’
ඇය නැවතත් ඔහුගේ පපුවට තදින් තුරුලු වී ඇස් දෙක සැනසිල්ලේ පියා ගත්තාය.
‘අයියෝ…කට් කට් කට්… මොකක්ද ඒ කිවුව නම? සසංක නෙමෙයි නේ විහඟ නේ නම. ඔය ඩිංගට ඕකත් අමතක වුණාද?අනික මොනවද අර අන්තිමට දාපු ස්ක්‍රිප්ට් එකේ නැති අමුතු ලයින්ස් ටික?’
ආකර්ෂා නියමාකාර සිහියට ආවේ මුහුදු රළටත් වඩා කන් බිහිරි වන තරමට කෑ ගැසු අධ්‍යක්ෂක ජයන්ත කුමාරගේ කට හඬිනි. අධ්‍යක්ෂක තුමාගේ මුහුණට ගොරහැඬි වෘත්තීය බවක් මුලින් ආරූඪ වුවද මිනිත්තුවකට පසුව ඔහු අනිත් අය සමග කොක් හඬලා සිනහ සෙන්නට පටන් ගත්තේය. නූඩ්ලස් කප් එක අතේ තියාගෙන සිටි පසුබිම් නළු-නිළි දෙපලත් තමාගේ අත් අතර තවමත් තුරුලු වී සිටින ප්‍රධාන නළු චාමික අනුරුද්ධත් ඒ සිනහසෙන්නන් අතර වූහ.
අධ්‍යක්ෂකතුමා ඇය අසලට පැමිණ කුකුළු බැල්මක් හෙළා ඇයගේ කනට රිංගුවේය.
‘කවුද ආකර්ෂා ‘සසංක’ කියන්නේ? ඔයාගේ බ්‍රෑන්ඩ් නිව් බීඑෆ් ද? ඇයි දැන් අර ඉන්න නාකියගේ එක එපා වෙලාද අලුත් එකක් හොයා ගත්තේ?’
ඇය බිම බලා ගත්තාය.
‘හරි හරි හැමෝම ටෙන් මිනිට්ස් බ්රේක් එකකට යමු. අද හරිම ටයිට් ෂෙඩ්යුල් එකක් තියෙන දවසක්.’
හැමෝම දෙස බලා ජයන්ත කුමාර අණක් දුන්නේය.
සෙට් එකේ සිටි කිසිවෙකුගේත් මුහුණ නොබැලු ආකර්ෂා තමන්ට වෙන් වුණු කුටියට කඩාගෙන බිඳගෙන ගියාය. ඇයගේ මුහුණට ටච් – අප් එකක් දැමීම සඳහා රුපලාවන්‍ය ශිල්පියා ඔහුගේ සහයිකාව සමග ඇය සිටි කුටියට පැමිණියේය.
‘ප්ලීස් මට තනියම පොඩ්ඩක් ඉන්න දීලා මෙතනින් යන්න.’
ඇයගේ ඉල්ලීමට ගරු කරමින් ඔහු සහයක රුපලාවන්‍ය ශිල්පිනිය සමග කුටියෙන් පිටත් වූයේය.
අමාරුවෙන් ගොඩ ගසාගෙන හිටිය කඳුළු සියල්ල ඇය වමාරන්නට පටන් ගත්තේ එවිටයි.
ආකර්ෂා සසංකගෙන් නීතියෙන් වෙන් වී දැන් වසර දොලහකටත් වඩා වැඩිය. උසාවි භූමියෙන් එදා වෙන් වූ දා සිට ඔහු ඇගේ ජීවිතයෙන් යන්නම යන්න ගියේය. ඔහු ඇගේ ජීවිතයෙන් සදහටම ඩී-ඇක්ටිවේට් වී ඇත.
අම්මා හරවන අතකට තමාත් ඔහේ ගමන් කළා මිස ඒ ගමන් කරන පාරේ හරි වැරැද්ද ගැන ආකර්ෂා වග විභාගයකට එළඹියේ නැත. එහි ප්‍රතිඵලය වූයේ තම මවට වඩා වසර පහක් බාල වැඩිමහලු සීනි තාත්තෙකු සමග දිවි ගෙවන්නට ඇයට සිදු වීමය.
මවගේ නියමාකාරය ගැන ආකර්ෂාට වැටහෙන විට ඇය ප්‍රමාද වැඩිය. නමුත් ඇය පසුකාලීනව අම්මාගෙන් ඈත් වෙන්නට තීරණය කළාය. ඔත්පල වී සිටින අම්මා හෝම් කෙයාර් එකක රැකවල් පිට තබා ඇත්තෙත් ඒ නිසයි. ඇයව බලන්නට අන්තිමට ගිය දිනය පවා ආකර්ෂාට මතක නැත. ඒ ගැන ඇයට කණගාටුවක් ද නොමැත.
මේ සෙට් එකේදි, මේ නාට්‍යයේ චරිතයට පණ පොවද්දී මෙතෙක් කල් සිහිනයක ජීවත්ව සිටි ඇයට ලැබුණු මේ සරසවි වරම එදා ඇය ලැබුවා නම් සසංක සමග දරුවෙක් මල්ලෙක් හදාගෙන පතිනියක, මවක සහ ගැහැනියක විදිහට මීටත් වඩා සතුටින් ගෞරවාන්විතව ජීවත් වෙනවා නේදැයි හිතින් විස්සෝප වෙමින් කණ්නාඩිය ප්‍රතිබිම්බ කළ ඇගේ වත්මන් රුව තුළ සැඟවී ගිය එකමත් එක කාලෙක සිටි සැබෑ ආකර්ෂා සෙවීමට උත්සාහ කළාය.