ලාගේ______
පවනි රාජකරුණා

අසෙනි වැසි මන්දාරම හාත්පස අහස ම ඉදුණු දං ගෙඩි අහුරකින් උදුරාගත් යුෂයෙන් වර්ණ ගන්වා තිබේ. ඉතා ඉහළට නැඟුණ කප් රුක් පවා කළඹාලිය හැකි ශක්තියක්, වියරු වැටුණු මද පවනක් සතු සෙයකි. කුණාටුව තිබිය යුත්තේ වර්ෂාව වෙනුවෙන් ඒ සා වෙහෙස මහන්සි වෙන ආකාසයේ ය. ඒත් නොකියා ගොඩවැදුණු ආගන්තුක අවාසනාව විසින් එය පතිරාජ වලව්වේ ඉදිරිපස ආලින්දයට ගෙන හැර ඇරලවා ඇත්තේ ය.

“පුංචි නිළමේ ඇත්තෝ! උත්තරා මැණිකේගේ දරු ගැබ අහක් වෙලා මයේ දෙයියෝ….!”

පණිවුඩය ලැබෙන කල්හි මා වුන්නේ ප්‍රධාන මාලිගාවේ යුධ හරඹ පිටියෙහි ය. එයින් කියැවුණු අසුබාරංචිය මගේ ආත්මය ගැඹුරු කඟපත් කැපුමකින්  සිඳලූ බව සැබෑවකි. අහිමිව ඇත්තේ පතිරාජ රුධිරයෙහි උරුමයයි.

නමුත් එය “මගේ” යැයි සැලකිය හැකි නොවේ. ඇයද මගේ නොවේ. කලබලය උරුම ඇත්තන්ට එය සමනය කරගන්නට කාලය උදාකර දිය යුතු විය. රාජ්‍යාරක්ෂාව තිර කරනුවස්, මේ වසරේ දුරුතු මස සිංහලේ මහ රජ්ජුරුවන්ගේ අංගාරක්ෂක බලකායට තෝරාගත් නව යොවුන් ජවයෙන් පිරි ගැටිස්සන්ගේ අංගම්පොර ඉගෙනුමෙහි දෙවැනි දින විනාශ කෙරුමට තරම් කලබගෑනියක් ඇතිකිරීම නොවුවමනා ය.

ඉදින් මා පැමිණියේ අවසානයේ ය. මාලිගය හා වලව් බිම දක්වා මහ වනය මැදින් සැදි දිගු දුර්ග මාවත තෝරාගත්තෙන්, ඒ මඟ දිග ප්‍රවේශමෙන් අසු පැදිය යුතු හෙයින්, ගමන තව තවත් ප්‍රමාද වූයේ ය.ඒ අතරවාරයේ ඇත් ගාල බලන්නටද ගිය මම, හීලෑ ඇතෙකු ලවා දින කිහිපයකට ප්‍රථමව කැළයෙන් අල්වා ගන්නා ලද මංගල කුලයේ ඇතින්නියගේ සුව පහසුවද සොයා බැලුවෙමි. ඉදින් සේනාධිපති වීරසුන්දර පතිරාජ සිය වලව්වෙහි ඉදිරිපස සුදු වැලි ඇතිරූ පිරියෙතෙහි අඳුරු අළු පැහැ තුරඟ පෝතකයාව නතර කරවා, ඔහුව ස්තාලයට කැදවාගෙන යනු වස් කිරිහාමිට භාරකරන කල්හි බොහෝ  දේ සිදුවී අවසන්ව තිබිණි.

පළමුවර සියල්ල වැරදී ගොස් ඇති බවෙහි සංඥා දැල්වුණේ ඈ වුවනේ ය. උත්තරා මැණිකේ අලුත් වලව්ව ඉදිරිපස තිබූ පරණ ගෙදර මැටි පිලෙහි බිත්තියට වාරු වී, දෙපා එකිනෙක ගැටලා දිගහැර, එහි තැබූ මැටි ගුරුලේත්තුවක් සේම නිශ්චලව අසුන ගෙන වුන්නා ය.පෙරදා මා දුටු විට නැඟෙනා පියකරු සිනා මල් පෙති බිම දමා තලා පොඩි කර දැමූ සෙයකි. හැඬිය යුතු දෑස් නාඬමිනි. ගිනියමිනි. තවත් බොහෝ දෑ වෙනස් වී මුදු, ඒ කිසිත් වෙනදා මෙන් නිදහස් මනසින් කියවාගන්නට ප්‍රථමව සෙනෙවි මව්ගේ කටහඬ හෙණ හඬක් සඳිසිව උස් ව බිදී පිබිදී ආයේ ය. දේවසුන්දර පතිරාජ නම් ඒ අතිදක්ෂ අංගම්පොර ගුරුතුමාගේද,පෙර සිටි රජුගෙන් පවා ප්‍රශංසා සේම ගම්වර ලැබූ නිලමේ හාමුදුරුවන්ගේද ප්‍රිය පතිනිය වූ මා මෑණියන්…. ඕ ඇගේ ලේලිය කෙරෙහි වියරු වැටී සිටියා ය.

” මොන කඩප්පුලි නැකතකින් උපන් එකියක්ද මේ බණ්ඩාර! මඟුලෙනුත් දෑවරුද්දක් ගියා උරුමක්කාරයෙක් කුසට ගන්ට. රැක්ම දෙමාසයයි! දෙයියෝ…. ඒ කපු රෙදි අස්සේ අහක් වෙලා පතිරාජ වලව්වේ දුව පැන නටන්ට හිටි කුමාරයා නේද කියලා මතක් වෙද්දි මට වාවන්නෑ!! කුස හෑල්ලු වෙලාත් එක කඳුළක් නොහෙල්ලූ එකී…. අයියණ්ඩි මේ සංහදිය දැනගත් ගමන් වලව්වේන් බැහැලා ගියා! කොහොම දරන්ටද මේසා දුකක් අප්පෙකුට!”

ඕ ගිගිරුවා ය.

“අයියණ්ඩි අංගම්පොර අංගනේ!”

මෑණියන්ට ප්‍රථමව මම ඔහු ගැන සොයා බැලුවෙමි. ඔහු අඥානයෙකු නොවේ. වැලිකෙළියෙහි පටන් ආවේගයන් පාලනය අපි එකට උගත්තෙමු. ඔහු එය ක්‍රියාවේ යොදවනු බලා හිඳ, බාධා නොකර මම පිටව ආවෙමි.

දෙවැනි සොයා බැලීම ඈ වෙනුවෙනි.

මම සුපුරුදු නොසැලෙන බැල්මෙන් ඈ වෙතට නෙතු විතැන් කළෙමි. මේතාක් කල් ඒ බැල්ම අභියස ඈ දියවී ගියා ය. උත්තරාගේ සියලු හිතුවක්කාරකම්…. එකක් හැර, අන් සියලු හිතුවක්කාරකම් මැඩ පැවැත්වීමේ බලයක් තිබූ නෙතු පවා අද පරාජය වී ගොසිනි. ඈ ඊට නොදෙවෙනි බැල්මකින් මා දෙස බැලුවා ය. එහි මුහුණතෙහි වූ වියරු අභියෝගයට අමතරව පැති පෙළෙහි තව හැඟුම් ගණනාවක සම්මිශ්‍රණයක් විණි. මගේ දෘඪ බැල්ම නොසැලෙන තැන, ඒ හැඟුම් දිය දෙගොඩ ගලා ඈ නෙතු මතින් පහළට පල්ලම් බැස්සේ ය.

උත්තරා…. මගේ යැයි කී උත්තරා…. මා පියවර මතින් පා තබා ආ උත්තරා…. මා වෙතම දැල්වී තිබූ ස්නේහ සර ඇති උත්තරා…. අඩක් මට හිමි ව, මුළුමනින්ම මගෙන් උදුරාගනු ලදුව,මගේ නොවන මගේම ලෙයට පණ දුන් උත්තරා…. මවක ලෙස සිදුවිය හැකි ඉහළම අහිමිවීමේදීත් කඳුළු නොහෙල්ලූ උත්තරා…. මා අභිමුව හඬමින් සිටියා ය.

ජීවිතය නම් විදවමින් දරාගැනීම වග මා ඉදිරිපිටදීම මා හට පසක් කළ, යන්තමින් වෙඪරු වී ආ හදවත යළි මුළුමනින්ම පාශාණභූත කළ…. මගේ වීත්, නොවූ ගැහැනිය හඬමින් සිටියා ය. ඉකිලුම් ස්වර නැඟී ආ මුත් මම නොසැලී සිටියෙමි. මිහිදන් කළ ප්‍රේමවන්තයා ජීවතුන් අතර සිටියේ නම් ඈ වැළඳ සනසනු ඇත. නමුත් ඔහු නමින් මතක වස්ත්‍ර පූජා කර පින් අනුමෝදම් කළේ ඈ මෙහි ආ පළමු දින රාත්‍රියේදීම ය. ඇය කෙරෙන් නික්ම, ගෝන අඟ රැගත් කුටියද පසුකර,ලී තරප්පු පෙළ නැඟ, ඉහළ මහලේ මගේ කුටියට වැදී දොර වසාගත් මම සුපුරුදු අඬ අදුරු නිශ්ශබ්ද ලෝකයෙහි තනිවූයෙමි. ආත්මය මළ මිනිසෙකුට හුදෙකලාව සුවදායී දෙණකි. එය මම අත්දැක ඇත්තෙමි.

පහළ මහලෙහි නිමාවක් නැති ඝෝෂාව තව දුරටත් නැඟී එයි. දැන් දැන් එහි මෑණියන්ගේ කටහඬට අභිබවමින් තවත් තලතුනා ගැහැනු හඬින් කෙරෙන බැනවැදීම් උස්ව නැගෙන්නේ ය. ඈ පමණක් නිහඬව බලා හිදිනවා විය යුතු ය. මහද විල ප්‍රකෝපයේ චණ්ඩ සැඩ පහර අයියණ්ඩිය වෙනුවෙන් නැඟී ආවෙකි. අනවැසි සෑම තැනම බදා අල්වා සිරකරගෙන, අවැසිම තැන ඇයව තනිකර ඔහු අංගම්පොර අංගනයට යෑම සමාව දී සාධාරණය කළ හැකි යමක් නොවේ. පාරවන මතකවල වැඩි දිග පළල ඇත්තේ මා වෙතට වූයෙන්, අතැඟිලි මිට මෙළ වී ගියේ ය. විසල් සුසුමකින් පපු කුහර හෙල්ලී ගියේ ය.

තවමත්…. අර්ධයක් ඈ මට අයිතිය.

” ටිකිරා!! උත්තරා මැණිකේට කියපන් මගේ රණවරා පානය හදන් එන්ටය කියලා!”

ඒ උස් හඬින් වලව් බිම දෙදරා ගියේ ය. පෙර තිබූ කර්කශ බැනවැදුම් හැංගී නිහඬතාව අරක් ගත් වටපිටාව…. ගැඹුරු කල්පනාවකට පාර කීවේ ය. වැසූ කවුළු පියන් විවර කර, දෙ අත් පපුතුරෙන් බැදගත් මම දුර ඈත කඳු පෙළද, ඒ හා ගැටෙන මේඝ වළාවන්ද වෙත හිස් වූ උකුසු බැල්මක් තබා සිටියෙමි.

 

දේවසුන්දර පතිරාජ උපතින් නිලමේ පදවි දැරූවෙකු නොවේ. නමුදු ඔහු අංගම්පොර ශූරයෙකි. එනයින්ම පෙර සිටි රජුගේ ප්‍රසාදය කැටිව ගම්වර තෑගි ලබා, සිංහල උළු සෙවිල්ලූ මේ වලව්ව ඉදිකරන්නට හිමිකම් ලැබූවෙකි. ඔහුට දාව පුතුන් දෙදෙනෙකි. එක් අයෙක්, වීරසුන්දර පතිරාජ නම් දැරූ මා ය. අනෙකා මට වඩා දස වසරකින්ම වැඩුමල් වූ ජයසුන්දර පතිරාජ නම් මා අයියණ්ඩිය යි. අපගේ ආත්මය අංගම්පොර කලාව හා සිංහල සටන් කලාවන් හා බැඳී පැවතියේ ය. පියාණන්ගේ අභාවයෙන් හිස් වූ ගුරුකුලය අයියණ්ඩිය සියතට ගනිද්දී…. පිය පසෙහි වැඩි බර තැබූ බලාපොරොත්තුව වූ මම, ඒ සිතුවිල්ල පුස්සක් වන්නට ඉඩ නොදී ඉහළතම සුදුසුකම් ලාභියෙකු ලෙස රජුගේ යුධ සෙනෙවි තනතුර දරා දැන් වසර කීපයක් ගෙවී ගොසිනි.

උත්තරා හා හාපුරා මට මුණගැසෙනා කළ ඈ කුඩාවියකි. මව් ඇකයේ වුන් දගකාරියකි. පෙළපතින් දිලිදු නොවූ මුත්, රාජ කුමන්ත්‍රණයකට හසුව තනතුරෙන් පහ කරන ලද කොටහේනේ නිළමේගේ එකම දුවණිය අපේ අම්මා ඈ භාරයට ගත්තේ කැලෑ උණෙන් ඈ මව්ද මරු තුරුළට ගිය පසුව ය. මට වඩා සිව් වසක් ළාබාල ඈ හැදී වැඩුණේ මා සමඟිනි. සටනටම බර, ගැහැනු ළමුන් අජූව වූ වීරසුන්දරගේ ඉවසුම් සීමා පරීක්ෂා කිරීමට එවූ කුඩා කුළඟන මනරම් කොඳ ලතාවක්ව මගේ හදවත ඉසියුම් තැන්වල වෙලෙමින් ඉන්නා බව මම නොදැන සිටියෙමි. නමුත් නොහැඟුණා නොවේ….

යමක් කමක් නොතේරෙන කාලයේ මා ඇගෙන් දුරස් වී නම්…. ඊට වඩා සිය ගුණයක වේගයෙන් මම ඒ සොදුරු නෙළුම් කැකුළෙන් ඉවතට යෑම ඇරඹුවේ මව්ගේ අරමුණු දැන හදුනාගත් දා ය. එවකට අයියණ්ඩිය ඔහුගේ පළමු විවාහයේ බිරියගේ මරණය අත්දැක සිටියේ ය. වලව් දේපොළ දෙපිළකට බෙදී යාමේ ඇගේ නොකැමැත්ත, උත්තරාගේ පංච කල්‍යාණිය, ඇගේ කුලවත් පැවතුම් සමඟ සමපාත වෙමින් එන හඬ යදම් දෙ වැලක් බිම දිගේ ඇදී යන්නාක් තරමටම කටුක විය. යුධ බිමෙහි සින්න වනු පිණිස මාලිගයට පිවිසි මම ඇයව මගේ මනසින් අතුඟාදමන්නට දැරූ තැත ව්‍යාර්තව ගියේ ය. නමුදු ඇගේ ඇස නොගැටෙන්නට, ඇයව මුණ නොගැසෙන්නට ප්‍රවේශම් වෙමින් මම ඇයව පිටුදැක්කෙමි.

ඇගේ දෑස්වල උතුරා හැරෙන මා වෙනුවෙන් උපන් ප්‍රේමය…. ඇගේම විනාශය ඇයට නොපෙන්වනා නෙතු වැසුණු කඩතුරාව වනු වලක්වනු පිණිස…. මා ඒ කුඩා හිත රිද්දා මිරිකා හැරියෙමි. වලව්වට නොපැමිණ සිටියෙමි. පැමිණියද නොතකා හැරියෙමි. ඇයට උස්, රළු හඬින් ඇමතුවෙමි. සොළොස් කලා සපුරා පායන්නට නියමිත සුපුන් සද මගේම දැක්මෙන් ඉදුල් නොවනු පිණිස රැක්කෙමි.

මෑණියන් යෝජනාව ගෙන ආවේ ඈ එවියට එළඹ සතියක් ගෙවෙන්නට මත්තෙනි. අපේ කැමැත්ත ඇතොත්, ඇයට නෑකම් ඇති වැඩිහිටියන් හා සාකච්ඡා කරනා වග ඈ අපට දැන්වූවා ය. එදා ඒ වදන් අභියස දිස්න දුන් අයියණ්ඩියගේ දෑස් වෙතම දැල්වුණු නෙතු ඇති ම’ අතින් අම්මාගේ පිත්තල පළගාන ඇඹරී ගියේ ය…. එවකට මා විසි වැනි වියටද, අයියණ්ඩිය ඉදිනුත් දශකයක් හමාරවද සිටියේ ය. උත්තරා ඔහු හා රැදුණේ පියෙකු සේම ගෞරවණීය බැදීමකිනි.ඇගේ ආලයෙන් පිරි නෙතු බැල්මන් උරුම වූයේ මා වෙතට ය. එය මම ද ඔහුද එකසේම දැන වුන්නෙමු.

එක්වරක් විවාහයට එළඹ වුන් තලතුනා ඔහුද, නාඹර වියෙහි එළිපත්තේ වුන් මාද සටන් කලාවෙන් ලත් හැඩිදැඩි දේහ දැරුවෝ වූහ. සහජ ආක්‍රමණශීලි පැවතුම් ලද්දෝ වූහ. ඉදින් මා උදක්ම මෙයට ඔහුගේ විරුද්ධත්වය අපේක්ෂා කළෙමි. ඉන් ඈ මා හටද අහිමිව යන වග සැබෑ ය. නමුදු ඊට වඩා ඈ ඇගේ ඉතිරි ජීවිතය සුවපහසුව, වඩාත් ඔබිනා තැනක, එක් පිරිමි හිතක තනි අයිතිකාරිය වී, නියමාකාර උඩරට මැණිකේ කෙනෙකුගේ ගෞරවය හා කැටිව ජීවත් වනු දැකීම ප්‍රහර්ෂයකි.

“පිරිමි දෙන්නෙක්ට යටවෙන්න තරම් ඒකි හයිය නෑ! උත්තරාව අතෑරපං අයියණ්ඩි!”

එදින රාත්‍රියේ වැව් කන්ඩිය මත හිද මා එසේ කියනා කළ, ද්විත්ව බඹරුන්ගේ පහස නිවන්නට තරම් සවිමත් නොවූ කුඩා තඹරු පොහොට්ටුව ඇගේ ඉරණම ගැන වගක් නොමැතිව සුව නිද්දක පසුවන්නට ඇත. පායා ආ සදවතෙහි කැල්මන් වැතිර වූ නිහඬ දියතලය වෙත විතැන් වූ නෙතින් යුතුව ඔහු පිළිවදන් නොදී නිහඬ වූයේ ය. බලා හිදීම අවසන රිදුම් හී වරුසාවකින් සිදුරුවී ගිය හදවතද දරා මම එන්නට හැරුණෙමි.

“උත්තරා අපි දෙන්නා මැද්දෑවට ඇවිත් හිටගත්තොත් ඒ උබේ පැත්තට බර වැටෙන්ට බව මට නොතේරෙනවා නෙවෙයි. එහෙමයි කියලා අයියණ්ඩිගේ අමුඩ ලේන්සුව නො එල්ලී තියෙයි කියලා හිතන්ට එපා බණ්ඩාර!”

ඉවසුම් හමාර විය. නහර වැල් ඉලිප්පී ආ මිටිකරගත් සුරතින් එල්ල කළ පළමු ප්‍රහාරයෙන් ඔහුගේ නාස් පොල්ල බිදී ගියේ ය. කුළු මීමන් දෙදෙනෙකු සේම කුළල් කාගන්නා අප දෙදෙනාගේ වියරුව දැක, වළක්වනු පිණිස, අහස්කුස වහ වහා මේඝ වළා එක් කරගන්නා ලද්දෙන් නිමේෂයකින් අප දෙදෙනාම දැවුම්දෙන  තැලුම් අභියස වැස්සේ නෑවෙමින් සිටියෙමු.

” එච්චර ලස්සන ලමිස්සියෙක් ගේ අස්සේ තියන් හදාවඩාගෙන පිටට දෙන්න මම වෙස්තන්තර නෙවෙයි බණ්ඩාර!”

අනෝරා වැසි මැද අයියණ්ඩි මුරගෑවේ ය.

“එහෙනම් මං බෝධිසත්වයෙක් වෙන්නම් මයෙ අයියණ්ඩි!”

එසේ කී මම පරාජය භාරගතිමි.

ඉතිරිව තිබුණා වූ එකම විකල්පය ලෙස, උත්තරාට සිදුවන්නට යන විනාශය ගැන අඟවන්නට තැනූ සියලු තැත ඈ විහින් නොතකා හැරියා ය… කුඩාවියක වූ ඈ මෙහි බරසාර බව සුළුවෙන් තැකුවා ය. අවැසි වූයේ ඈ මා කෙරෙහි බිදවන්නටය. එවිට ඈ විවාහයට අකමැති වනු ඇත. අප දෙදෙනාගෙන්ම මිදී යනු ඇත.නමුත් ඒ හිතුවක්කාරියගේ මනසෙහි වූයේ මා හිමිකරගැනීමේ සතුට පමණක්ම වූයෙන්, ඈ මගේ විරුද්ධත්වය මැදම ඊට එකඟව තිබුණා ය. ඒ ඇය මා අකමැති යමක් කළ පළමු හා අවසාන වතාව වූයේ ය.

කුඩා කළ රෝගී වූ උත්තරාවියට වෙද ගෙදරින් ගෙනා තිත්ත බෙහෙත් ගුලි පොවාගනු පිණිස මම ඇයට සීනි බෝල පෙන්වන්නෙමි. එවිට ඒ සිඟිති මුව විවර වී, ටිකිරි සිනහා වෑහෙයි. එසැනින් අයියණ්ඩි ඈ මුවට බෙහෙත් මුල දමා තදකොට වසාගන්නේ ය. ඈ බෙහෙත් බිව්වේ එසේ ය.

ඈ විවාහ වූයේ ද එසේ ය.

තද කොට වසන ලද ප්‍රධාන නිදන කාමරයේ දොරටුවට මෙපිටින්, ගෝන අං තට්ටුව මත එල්වා තැබූ අමුඩ ලේන්සුවකින් ප්‍රේමණීය මනුශ්‍ය ප්‍රාණියෙකුගේ ගෙල සිරකර මරාදැමිය හැකි බව මම අත්දැක්කෙමි. එබැවින් ඈ කෙරෙන් අභිනික්මන් කළෙමි.

අද තෙක්ම…. ඔව්! මේ නිමේෂය තෙක්ම….

” පු…. පුංචි නිලමේ….”

“ඇතුළට එන්ට උත්තරා!”

නිහඬව ඇතුළට විත් බන්දේසිය පසෙක මේසය මතින් තබනා ඈ දෙස මම සන්සුන්ව බලාසිටියෙමි. අලුයම ඈ ඉහිලූ වේදනාව කියාපානා වුවන තවමත් වෙහෙස නිසාවෙන් ළා රත් පැහැතිව ය. මේතාක් දුර තරප්පුවද නැඟ ඒමද ඇයට මහා වෙහෙසක් වන්නට ඇතුවාට සැක නැත. දෙපාද දෑත්ද සියුම් වෙව්ලුමකින් පෙළෙයි. නෙතු මත කියවා ගත නොහැකි හැඟුම් සමුදායකි. ඒ සියල්ල ඉහළින් යළිත් ඒ නෙතු මත, මට නුපුරුදු, දරදඩු දඩබ්බරකම දළු ලා තිබේ.

රණවරා කෝප්පය අතට ගත් මම ඇයට පිටවයන්නට සන් කළෙමි.අවැසි වූයේ ඇයව පරිභ්‍රවයෙන් බේරාගැනීම මිස, අන් හැඟීමක් නොවනා බව මවිසින් මට ම ඒත්තු ගන්වා ගත්තේ ය.

නමුත් ඈ නොගියා ය. නෙතු අඟින් තියුණු බැල්මක් මවෙත පා හොරගල් ඇහිලුවා ය. කඳ වඩාත් හොඳින් ඝෘජු කොට, අත්ලෙහි නැඟී ආ දා බිදිති ඇදිවතෙහි පිසදාගත්තා ය. ඒ බැල්ම තුළ පාර්වතිය පසෙකට තල්ලු කරවා ගිරි දේවිය වැඩ වුන්නේ ය.

” මම අන්නාසි ගැට කෑවා! “

කටට ගත් රණවරා උඟුර ඉස්පොලේ යන ඇසිල්ලේ ඈ අනෙකද කියා හමාර කොට ආශාව දැල්වුණු දෙනෙතින් මා දෙස බැලුවා ය.

” දැන් මට මයේ අයියණ්ඩිව හිමිවෙනවාද?”

දසන් අතරට අසුවූ දිව තුවාල වූ බව මට නොදැනුණේ ය.

ඈ තවමත් කුඩා දැරිවියකද බවද, මා හට අසීමිතව පෙම් කළ, එනිසාවෙන්ම මගේ අයියණ්ඩිය සමඟ නිදිවදින්නටද සිදු වූ සියුමැලි සිහින දෙව්දුව බවද, මට අමතක කරවනා තරමේ වියරු කටුකත්වයක් ඒ වචන තුළට කාවැදී තිබිණි.

හැඩිදැඩි හස්තයේ ග්‍රහණයට හසුවූ ගෙල හා එක්ව ඇය පය තබා වුන් ගෙබිමෙන් මදක් ඉහළට එසවෙත්ම…. ශ්වසනය අහිමිව යාමෙන් රත්පැහැ ගැන් වූ වුවනෙන් යුතුව, දෝතින්ම මගේ අත් බාහුව බදා දගලන යුවතියව ඉතා පිළිකුල් සහගත සර්ප හැවක් සේම කුටියෙහි කෙළවරකට විසිකළ මම බැල්මකුදු ඈ වෙත ඉතිරි නොකර ඉන් පිටව ආවෙමි.

උත්තරා උමතුව ගොස් ඇති බව මා අත්‍යන්තයෙන් පිලිගත යුතු සත්‍යය වූයේ ය. ඇගේම සහජාත දරුවා කෙරෙහි ඉපදෙනා දාරක ප්‍රේමයද අභිබවා මා වෙත ළඟා වීමේ අභිප්‍රායෙන් වියරු වැටී ඈ උමතුව ගොසිනි. වෙනස් කළ නොහැකි අතීතයක්, ගිනිබත් වර්තමානයක්, සේම වෙනස් කරන්නට හැකියාව ඇති අනාගතයක් අපි අත දරා හිදින්නෙමු. පතිරාජ රුහිරය දරන උරුමකරුවා නික්ම ගොස් ඇත්තේ ඔහුගේම මෑණියන්ගේ අනුකම්පා විරහිත නියෝගයෙනි. මගේ අභ්‍යන්තරය සසල සමුදුරක් සේම ප්‍රචණ්ඩ වූයේ ඇය කෙරෙහි ඉපැදෙනා පිලිකුළද මුසු කෝපය නිසාවෙනි.මේ ගැන අන් අයෙකු දැනනොගත යුතු ය. උත්තරා ඇයට උරුම මාවත දිග ඇවිද යන්නට  නම් මා…. සහසුද්දෙන්ම ඈ අත් හැරිය යුතු ය!

රාජකීය නියෝගයද, ඒ ගැන මගේ ඇති කැමැත්තද මැණියන්ට දැන් වූ මම පරණ ගෙපැලේ ඉතිරි කොට ඇති කුටිය තුළ රාත්‍රිය ගත කරන්නට ඉටාගතිමි.

පසුවදා මා අවදි වූයේ මුළුතැන්ගෙයින් නැඟෙන නේක විධ කැවිලිවල බැදුම් සුවඳිනි. යහනතෙහිම උඩුකුරුව පෙරළී සුරතින් දෑස් ආවරණය කරගනිමින් නිහඬ කල්පනාවක ගිලී වුන් මම, කුටියෙහි දොරටුවට වැරෙන් තඩි බානා හඬින් යළිත් උඩ ගොස් අවදි වීමි. විවර කරන ලද ද්වාරය ඉදිරිපිට, රකුසු දෑසින්ද ඇවිස්සුණු කෙහෙරැල්ලෙන්ද අපිළිවෙළ ඇඟලුමෙන්ද සැරසී රැදී වුන්නේ උත්තරා ය.

” ඒක අසත්‍යයක්! ඒක අසත්‍යයක් බව කියාපන් මගේ අයියණ්ඩි!! මං ඉන්දැද්දි රිදී දෝලියකගේ දුවක් විවාහ කරගෙන මාලිගේ ස්ථීරවම පදිංචි වෙන්ට යනවා කියන්නේ බොරුවක් බව මට කියාපන් මගේ දෙයියෝ!!”

ඈ මහා පාලිය විලස කඳුළු වගුරුවමින් විලාප තැබුවා ය. ඉනික්බිති මගේ දෑතටම සිහිසුන්ව කඩා වැටුණා ය. ළය දවන බරැති සුසුමන් දරා යුවතියව ඇයට නියමිත යුගල ඇදෙහි වැතිරවූ මා ඇගේ සුව පහසුව අන්තේවාසික පද්මාට පවරා ඉන් පිටව ආවෙමි.

මව්ගේ මුහුණ සඳක් සේ පායා අවුදින් තිබුණේ ය. ඇගේ පුංචි බණ්ඩාර රජුගේ බෑණනුවෙකු ලෙස සිංහලේ මහරජුන් පිළිගෙන ඇත්තේ ය. මවකට ලැබිය හැකි ඉහළම සතුටෙහි ගිලී වුන් ඇයටද බාධා නොකර, මෙතෙක් සෙවූවද හමු නොවූ අයියණ්ඩියද අත් හැර, මුව දොවා සූදානම් වූ මම අසු පිටට නැඟී මාලිගය බලා පිටත්ව ආවෙමි.

ආවේගශීලී කුංචනාදයද, ස්ත්‍රීන්ගේ මොරගෑම හ  විලාපයද  මා සවන් තුළ ලැඟුම් ගන්නා විට වලව්ව පසු කර මා වනය වෙතට ළඟා වූවා පමණය. ආපිට හැරීමක් ගැන හෝ සිහියක් නොවූ…. නොදන්නා නමුදු සියොළඟටම දැනෙනා ව්‍යසනයකින් වික්ශිප්ත වූ මම මහ වනය බිඳ හඬ ඇසෙනා දිශාවට අසු පදවන්නට වීමි.

වලව්වද, ඇත් ගාලද අතර මාර්ගයේ එක් ඉඩක්, සුසුම්ලන මිනිස් හිස් ගාලයකින් වැසී තිබුණේ ය. පසෙක කෝපාවිශ්ඨව විසල් කන් සොලවමින්, වලිගය අඹරවනා අද ඊයෙක අල්වාගත් හීලෑ නොකරන ලද රාණි නම් ඇතින්නයි. ඈ විසින් සිදලු යධම් වෙනුවට අලුත් දම්වැලට ඒ සුවිසාල ගත නතුවෙමිනි. අසු පිටින් බසින්නට හෝ ප්‍රමාද නොවුණු මා හට ඒ සියල්ල පෙනුණේ සේයා මාත්‍රයක් ලෙසිනි. වහ වහා ඉවත් වී ඉඩ සලසන යටත් ගම් වැසියන් මැදින් මම අනතුර වෙතට ප්‍රවිශ්ඨ වූයේ ය.

එහි ඇය නොවුණා ය….

දන්නා වියෙහි පටන් මා වෙතට පෙම් බැඳි, මගේ නෙතු සරයකින් පවා රත් පැහැ ගැන්වෙන කොපුල් ඇති, වශීකෘත දෙව් විමන් සිනාවකින් යුතු, සුරඟනක් බඳු සියුම් සියුමැලි උත්තරා එහි නොවුණා ය. එහි වූයේ හස්තියෙකුගේ පාදයකට යටව තැලී පොඩිවී කැබිලිති වී ගිය ගැහෙමින් මියයන ගැහැනු සිරුරකි…..

ඒ සිරුරෙහි අතට අසුවන සියල්ල එක්කාසු කොට දෝතට ගත් මා මහ පොළොවද, නිල් ගගනතද දෙදරා යන තරම් විලාප නැඟුවා විය යුතු ය.

“උත්තරා!!”

ඇයට සිහිය ආවේ ඒ හඬට ය. ඒ නෙතු විවර වූයේ ඒ හඬට ය. දෑසෙහි පිරී තිබූ කඳුළක් ලේ වැකුණු කොපුලෙහි ඉඩක් සොයාගත්තේ ඒ පිරිමි හඬට ය….

“ම….ම…යෙ දෙ….යි…යෝ….”

එපමණකි! ශාන්ත සිනාවක් සමඟින් ඈ සදාකාලික නින්දට ගියා ය. අප්‍රාණික සුරතෙහි ගුලි කොටගත් තල්පතක් මා උකුළට වැටිණි.

” පුංචි බණ්ඩාර ඇත්තෝ පිටත්වෙලා ගිය වෙලේ ඉදන් ඕන් ඕක කුරුටු ගගා හිටියේ…. රාණි කලබල වෙලා පාරේ දුව එන හඬ ඇහිලා, හිත් බැන්ද ඇතා පෙන්නලා කූඩු කරපු ඒකියි, මායි අතරෙයි වෙනසක් නෑ කියාලාම මහ මඟට දුවගෙන ගියා අසිහියෙන් වගේ..අපි එක වාගෙම රැවටුණු ගෑනු රාණි කියාගෙනම ඇතින්න ඉස්සරහට පැන්නා..!! අනේ දෙයියෝ මේ පව්කාරිට කොරන්ට දෙයක් නිච්චි වුණේ නෑ ඒ වෙලාවේ!! “

 පද්මා දෑතින්ම ළයට ගසාගෙන විලාප නැඟුවා ය.

ප්‍රාණ අහිමි ඈ තුරුලු කොටගෙනම…. මා ජීවිතයේ පළමුවරට අවසඟව යන අතැඟිලි අඟින්, ඒ රත් පැහැ ගැන්වුණු තල්පත විවර කළෙමි.

” සතෙක් වගේ….මං කොහොම කියන්ටද…. මං කාට කියන්ටද…. අඬන්න බැරි කමට කොට්ටා උර හපාගෙන ඒ වැහිච්ච දොර ඇරගෙන මයෙ දෙයියෝ ඇවිත් මාව බේරාගන්නකං මං බලාන වුන්නා. ආදරේ කරන පිරිමියාටම භාරි වෙලා, ඒ නෙත් මානේ ඉදන්ම විනාස වෙලා ගිය ගෑනියක් මම…. එහෙව් එකෙක්ගේ දරුවෙක් කුස දරන්ටද මට කියන්නේ?… හිතට තිබුණු එකම නිවන ඔය රූපේ…. ඒකත් ඇස් මානෙන් පිටමන් වෙද්දි….”

මා මියගියේ එහිදීය. එතැනදීය.

වීරසුන්දර පතිරාජ සෙනෙවි පණ ගැහෙන හදෙන් යුතුව මිය ගියේ ය….

_____________

 

තිගැස්සී අවදි වූ මම, යුගල ඇද මායිමේ වූ කුඩා මේසය මතින් අත යවා උපැස් යුවළ සොයාගතිමි.එය සෑම විටම මා සන්සුන් කරන්නකි. දෙවැන්න ළඟකදී හමුවූ මුත්, උපැස් යුවළ අභිබවා යන්නෙකි.

සැබැවින්ම…දෙවැන්නී!!

ඈ…. මගේ කුඩා පතිනිය මා මතින් ඇගේ සියුමැලි පාදයක්ද යවා සුව පහසුව තුරුළු වී සුව නින්දේ ය. ඇගේ සැමියා ඉතා බිහිසුණු සජීවී සිහිනයක වෙලී සියොළඟම තෙමී ගිය දහදියෙන් යුතුව අවදිවී ඇති වග, පෙරදා රැය පුරාමත් මගේ සොදුරු අවනඩුවලට මුහුණ දී වෙහෙස වූ සියුමැලියට නොදැනෙනා තරමට ඒ නින්ද  ප්‍රබලය. එහෙ මෙහෙ වූ දුහුල් නිදන ඇදුමෙන් ශීතල කාන්දු නොවන්නට ඇයව පෙරවූ මම ඇද වියලට උඩුකය බර කරමින් දකුණතින් නළල තෙරපා ගතිමි.

පුරාවිද්‍යාඥයෙකු වීමේ අහිතකර පල විපාක මෙසේ ය. උපත සේම ජීවිතයෙන් වැඩි කොටසක්ද විදේශීය රටක හැදී වැඩී, ලංකා ඉතිහාසයට ඇති අධිකතර තණ්හාවෙන් යළි මව් රට බලා ආ මම ලබාගත් මහඟු තිළිණය මා තුරුල්ලේ ය.දුටුවනම පෙම් බැඳ, ඉතා කෙටි කාලයකදීම මගේම කරගත් වදන් නොකියනා, නෙතින් කතා කරනා මගේ පුංචි සුරතලිය! යාන්තමින් දහ අට විය සපිරූ ඇයව, උඩරට දුෂ්කර කඳුකර ගම්මානයකදී දුටු ඇසිල්ලෙහිම මා වෙත දැල්වුණු හැඟුම් ගණනාව අදටද ගණනය කිරීමට නොහැකි වී මුත්, ඉන් ඉහළම තැන රැදුණේ ඇය අහිමිකරගැනීමට ඇති බියයි. ඉදින් එංගලන්තයේ වසනා මා පියන්ගේද අවසරය කැටිව මම ඒ කුඩා සුරඟන මගේම කරගෙන මෙහිම උස් කඳු මිටියාවතක පිහිටි දෙමහල් පායක් මිළදී ගෙන පදිංචි වූයෙමි. ජීවිතය අහඹු වී මුත්, සොදුරුව ගලා ආ රිද්මය එසේ ය.

නමුදු මේ සිහිනය! සියල්ලටමත් වඩා…. එහි වූ අප දෙදෙනාට රූපකායෙන් සමාන වූ ඛේදනීය ඉරණමක් හිමිකරගත් පෙම්වතුන් දෙදෙනා! මා පිය පසෙහි ආදීකාලීන උරුමයක් ව තිබූ, පතිරාජ වලව්ව ගවේෂණය ඇරඹුවේ මීට දින ත්‍රිත්වයකට ප්‍රථමයේදී ය. ආහ්!!…. වෘත්තීය ජීවිතය මා කොළොප්පමකට ගෙන ඇති හැඩ ය. දැන් සියල්ල පසෙකලා නවකතාවක් ලියන්නට තරම් ඒ සිදුවීම් අධිසංවේදී මෙන්ම ජීවයෙන් පරිපූර්ණ ය. නමුත් යහපත…. මගේ සිංහල භාවිතය ඉතා අවම මට්ටමක වූ නිසාවෙන්, එවැන්නක් ලස්සනට ලිවිය හැකි නොවන වග නිශ්චිත ය.

මටම තනිවම සිනාසෙමින් මම ඇයව සුවපහසුව සයනයෙහි තබා, නිරුවත් උඩුකයින් යුතුව උදෑසන ප්‍රබෝධමත් කඳුකර සුළඟ විදිමින් නිවසේ සී කවුළු හැර දැමුවෙමි. හමු වූ කාලය කුඩා වූවද අපි එකතු කරගත් මතක බොහෝ ය. ඒ සියල්ල ඈ මනරම්ව හැඩගන්වා නිවස පුරා සරසවා ඇත. විසිත්ත කාමරයෙහි පැති බිත්තියක එල්වා ඇති අපගේ විවාහ ඡායාරූප එකතුව ඉන් ප්‍රථම ස්ථානයේ රැදුණකි.

“අයාන් කේශ්වර පතිරාජ”

“සංසාරා නිම්නාවි කොටහේන”

සෑම දිනකම උදෑසන අවදිව මුළුතැන්ගෙයට යන විට මෙහි කොණකට සුන්දරව එක් කර ඇති විවාහ සහතිකයෙහි කුඩා පිටපතෙහි සඳහන් අපගේ නම් කියැවීමට මම ඇබ්බැහිව සිටින්නෙමි. ඉන් ගෙනෙනා හිමිකරගැනීමේ හැඟුම අරුමැතිය. අද එහි වෙනදාට වඩා තද බැදීමක් ඇතැයි හැඟුණ මුත්, දුටු සිහින මතකයේ පවතින  කාලරාමුව ඉතා අඩු මා හට එය කුමක්දැයි නිශ්චය කරගත නොහැකි වූයේ ය .

සංසාරා රැකබලාගැනීමෙන් මම අසීමිත ප්‍රීතියක් ලද්දෙමි. එය විද බැලිය යුතු මිස, වචන කරන්නට නොහැකි හැඟීමකි. ඇගේ මව පවසන පරිදි සංසාරාගේ හිස මතට පෙර පිනක් කඩා පාත් වී ඇත. ඒ ‘පින’ මේ මොහොතේ ඇය වෙනුවෙන් උදෑසන කිරි කෝපි කෝප්පය සාදමින් සිටින්නේ ය.

තවමත් කඩින් කඩ මසිත සක්මන් කරනා සිහිනයට හේතුව අවසන මම නිශ්චය කරගතිමි. සැබැවින්ම පියා අතින් එවන් වරදක් සිදුවිය හැකිද? එය විශ්වාස කළ නොහැකි තරම් ය. මනස මෙතරම් විකල්ව යන්නට ඇත්තේ පුරාවිද්‍යා ගවේශනත්, ඒ විසල් රහසෙහි හෙලිදරව්වත් හදවත පුරා පැතිර ඇති නිසා විය යුතු ය.කෙසේ නමුදු අද ඔහු මා හමුවට එන වග දන්වා ඇත්තෙන්, ඒ වෙනුවෙන් නිවාඩුවක්ද ගැනීමට තරම් මම කාරුණික වූයෙමි.සියල්ලටම වඩා…. සංසාරා තනිව නිවසේ සිටියදී පිටස්තරයෙකු පැමිණෙන්නට ඇති ඉඩක් වේනම් එය මුලිනුපුටා, අහුරාලිය යුතු ය.

පුංචි සුරඟනගේ සිනිඳු අතැඟිලි පහස මා හින සිට ඉහළට විහිදී….ඈ මා වෙතටම ඇලී තුරුලු වූවා ය.ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේ දෙසූ පරිද්දෙන් ඈ අනන්ත සසරේ කුමක් හෝ තදබල පාපකර්මයක් සිදුකොට ඇති බැවින් ඇයට ඇගේ කටහඬ මේ අත් භවයෙහි අහිමිව ඇත්තේ ය. නමුත්…. ඒ නෙතු ඉඟි බිඟි, සියුම් තෙරපුම්, ළඟන්නා සුළු සිනහවේ ප්‍රභේද හඳුනාගත් මා වැන්නෙකුට එයින් ඈ විදින්නට කිසිසේත් ම බාධාවක් නොවන්නේම ය.

යුවතියගේ හිසටද කොපුල් මතටද දෙතොලටද හාදු දී, කිරි කෝප්පය බී අහවරව, ඇයව නාන කාමරයට යැවූ මම අද දින කළ යුතු වැඩ පිළිබඳ සුපුරුදු දෛනික සමාලෝචනයෙහි නිරතව හිදිද්දී…. දොර සීනුව නාද වූයේ ය.

“මෙච්චර උදෙන්!”

වික්ශිප්ත වූ මම ක්ශණික මුව දෙවුමකින් අනතුරුව, ඇද වුන් කලිසමට ඉහළින් ටී ශර්ටයක් ගතලා ගෙන විත්, දොරටුව විවර කළෙමි.

මා නෙතු විස්මයෙන් විසල්ව යන ඇසිල්ලෙහි…. නිරන්තර ඉදිකටුව පසුපස යන නූල් බෝලය මෙන් පා වෙතම රැදෙන සංසාරා, මා පිටුපසින් ආගන්තුකයා වෙත එබී බලා නාදුනන බියකින් නෙතු විසල් කරගෙන යළිත් මා පසුපස සැඟවුණා ය. ඇගේ වෙව්ලන අතැඟිලි මගේ කමිස කොණ වැරෙන් අල්වාගෙන සිටියේ ය.

මගේ පියා ඔහුගේ විවාහයට පෙර පැවැත්වූ දුර දිග ගිය ප්‍රේම සබදතාවයකින් උපත ලත් පසුව, එදා පටන් අප කිසිවෙකු හෝ…. අඩු තරමින් මගේ මව හෝ නොදැන, පියාගේ සම්පත් ප්‍රදානයෙන් රහසිගතව ඇතිදැඩි වූ මගේම වැඩිමහල් අර්ධ සොහොයුරා, ලංකාවට පැමිණි මා බලන්නට මෙහි පැමිණ සිටියේ ය.

ස්වරූපයෙන් සම්පූර්ණයෙන්ම ජයසුන්දර පතිරාජ මෙන් වූ ඔහු, මා වෙතට හැරී කහට බැඳුනු දසන් පා කුළුපඟව සිනාසුණේ ය…

READ THE
NEXT STORY > >