මං අතරමං?
බෙත්මි ගුණසේකර

“නැගිටිනවා!”

කුශීගේ වැලමිට වැදුන පාරට මීටින් රූම් එකේ සැප පුටුවේ නින්ද ගිහින් හිටිය රවිඳු ආපහු  පියවි ලෝකෙට ඇදගෙන වැටුණා.

“ලබන අප්‍රේල් වෙද්දී Sales 150% කින් වැඩි කරන සැලැස්මක් අපිට තියෙනවා. එතකොට  මේ කොටසට 75% ක …”

වෙනදා වගේම අදත් බොස් එයාගේ ටාගට් කියනවා. අනික් අය අහගෙන ඉන්නවා. ඒ උනාට මෙතනින් එළියට යද්දී එකෙක්ටවත් මතක නෑ මොනවද කිව්වේ කියලා. රවිඳු හිනාව නවත්තගත්තේ බොහොම අමාරුවෙන්.

“රෑ තිස්සේ පාටි වලට ගිහින් පිස්සු නටලා ඇවිත්, දැන් මෙතන නිදි” තරහෙන් මතුර මතුර කුශී ආපහු presentation එක දිහාට හැරුණා.

“මම බොන්නෙ නෑ.”

ඒ කිව්වේ කුශීට ඇහෙන්න ද, නැත්නම් තමන්ටම හිත හදාගන්න නිදහසට කාරණාවක් විදියට ද කියල රවිඳුට හිතුනෙ ඒක කිව්වට පස්සේ.

“මං දන්නවා” කුශී මුමුණන සද්දේ ඇහුණත් රවිඳු ඒ දිහාට හැරුණේ නෑ. රවිඳු කැමැති රණ්ඩු අල්ලන කුශීට. සීරියස්  කුශීට නෙවෙයි. මේ වර්ෂන් එක හරියට පැන්ඩෝරාගේ රහස් පෙට්ටිය වගේ. සමහර වෙලාවකට ඒ ගැන කුතුහලයක් ඇති උනත් ඒ අවදානම ගන්න තරම් මානසිකත්වයක් රවිඳුට තිබුණේ නෑ.

මේ තියෙන ප්‍රශ්න හොඳටෝම ඇති.

“… ප්‍රශ්න තියෙනව ද?” බොස් කට කොණකින් රවිඳුටත් හිනා වෙලා නරඹන්නන්ට අවස්ථාව දුන්නා.

 

 

“අපි පොඩි කාලේ ඉඳන් හීන දකින්න පුරුදු කරන ජාතියක්. යුද්දෙ තියෙන කල් කරේ යුද්දෙ ඉවර කරලා රට ගොඩනගනවා කියල ටෝක් දුන්න එක.

දැන් කෝ හැදිලා ද?

හැදිලා නෙවෙයි හැඳි ගැවිල.”

මේ රවිඳුගේ ආසම සංවාද මණ්ඩපය. දොරමඩලාව පරාදයි. හිතේ තියෙන ඕනෙම දෙයක් කියන්න පුලුවන් එකම තැන මෙතන කියල එයාට තේරුණේ අම්මා නැති උනාට පස්සේ.

අම්මා දන්නවනම්… නෑ ඒ ගැන හිතල පලක් නෑ. හිතුව කියලා අම්මා ආයේ එන එකක්යැ.

පිරිසියෙන් කඩල අහුරක් කටේ දාගන්න ගමන් රවිඳු එයා කියාගෙන ආපු කතාවේ ඉතුරු ටික සම්පූර්ණ කලා.

“එකෙක් කිව්වාද යුද්දෙට මුල මේකය. ආපහු මෙහෙම දෙයක් නොවෙන්න පොඩි කාලේ ඉඳන් ළමයින්ගේ mindset එක හදමු කියල. අනිත් එකා පාගල ඉස්සරහට නොයන්න. කොහෙද ඉතින්, ඒවා අදාල නෑ හැම එකාම ලොකු උනාම ඕනේ දොස්තර කෙනෙක් කරවන්න තමා උගන්වන්නේ”

“රවිය එක්කෝ උඹ බීපන්” රවිඳුට එහා පැත්තේ ඉඳගෙන හිටපු සුරංග කිව්වේ අලුත් බෝතලයක් කඩන ගමන්.

“ඇත්තට රවියා උබ බොන්නෙත් නැත්තන්, මොකද බං අපි එක්ක මෙතනට වෙලා ඉන්නේ?” ඒ ප්‍රශ්නෙ ඇහුවේ මාලක.

“හීන කියන දේ මට අප්‍රසන්නයි බං. මට මෙහෙම ඉන්න එක සැපයි”

“මොන හරුපයක් ද බං ඒ? අපි මෙතන හීන වලින් ටාජ් මහල් ගහන්නේ හහ් හහ් හා” සුරංග මහ හයියෙන් හිනා වෙන ගමන් ආපහු බෝතලේ අතට ගත්තා .

“අච්නි පස්සේ යද්දි ඔය ලොකු කතන්දර තිබ්බේ නෑ නේ රවියා?” ආපහු මාලක.

අද මුට වෙරි නැද්ද මන්දා. මගෙන්ම ඕනේ නැති ප්‍රශ්න අහන්නේ.

“අචිනි? මුගේ අක්කා බැඳපු එකාගේ නංගී නේද?”

“ඔව්. ඉස්සර මූ සතියකට සැරයක් අම්මා එක්ක අක්කා බලන්න යනවා කියලා ගියේ”

“රවියා, ඒකි කසාද බැන්දා නේද?”

සුරංග, මාලක දෙන්නා තරඟෙට කියවද්දී රවිඳුට මතක් උනේ අචිනි මුණ ගැහුණ අන්තිම දවස. එදා අම්මාගේ හත් දවසේ දානේ.

“ඔයා මට කැමති වෙලා හිටියා කියලා කිව්වේ වත් නෑනේ. හොරා ගෙඩියා. අක්කා කියද්දී තමයි මම දැනගත්තේ.”

අචිනි කිව්වේ ඇස් නටවලා.

අම්මා අචිනිට මුල ඉඳන්ම කැමැත්ත දීලා තිබුණේ.

“සීදේවි කෙල්ල. හිනා වෙද්දී හරි එළියයි. කවදාහරි දීග යන ගෙදරට වාසනාව ගේනවා” අම්මා කිව්වේ එහෙම.

ඒත් මම ඇත්තටම අචිනිට කැමැත්තෙන් හිටියද? නැත්තන් අම්මයි අක්කයි එකතු වෙලා කවදාහරි එයාව මට ජෝඩු කරයි කියලා බලාගෙන හිටියද?

ඩ්‍රින්… ඩ්‍රින්…

කල්පනාවක අතරමං වෙලා උන් රවිඳු ෆෝන් එක රිං වෙද්දී තිගැස්සිල ගියේ ඉබේටම.

“මචංල මට call එකක්. මම මේක අරගෙන එන්නම්”.

“කොහෙද ඉන්නේ?”

රවිඳු වෙලාව බැලුවේ එතකොට. හරියටම 12.10 යි. දන්නෙම නැතුව ඊළග දවසත් ඇවිත්. කුශී අන්තිම message එක දාලා තියෙන්නේ පැය 5 කට කලින්.

ශික්! ඒකට ඒ වෙලාවෙම රිප්ලයි කරා නම්, මේ කෝල් එක එන්නේ නෑ.

“කුශී මේ ඔයාට වැඩ නැද්ද? හැම වෙලේම මන් ගැන හොයන්නෙ?”

“සිකුරාදා තියෙන මිටින් ඒකේ presentation එක රෙඩි කරල නෑ නේද. මම-“

රවිඳු කුශී එක්ක වැඩ කරන්න කැමතියි. වෙලාවකට ටිකක් උනන්දුව වැඩි තමයි ඒත්, එයා දෙයක් කරද්දි හරි පිළිවෙලයි, පැහැදිලියි.

 ඒ උනාට දැන් මේක අහගෙන ඉන්න තරම් mood එකක් මට නෑ.

“දැන් ඕක කියන්නද මට කතා කරේ?”

එහා පැත්තෙන් දිග හුස්මක් ගන්න සද්දෙ ඇහුනා.

හරි ෂෝක්. සීරියස් mode ඔන්.

“රවිඳු මනුස්සයෙක්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා”

“මමත් මනුස්සයෙක්. මටත් සීමාවක් තියෙනවා. හරි දැන් ඇයි ඔයා මොකද මන් ගැන හොයන්නෙ බලන්නේ? ඔයාට කවුරුහරි මාව බාර දුන්නද බලාගන්න කියලා?”

තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයක්…

“ඒ මට ඕනේ නිසා.”

නැවතත් තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයක්…

“හීන ලෝකේ නෙවෙයි. මේක හැබෑ ලෝකේ කුශී”

“මොන ලෝකේ ද මම දන්නේ නෑ. හැබැයි ඔයා ඉන්න හදන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති හිර ගේක”

කුශී කෝල් එක කට් කළා.

මේකිටත් විකාර!

 “පොඩි පුතා ආවද?”

තාත්තා අදත් ඇහැරලා ඉඳල තියෙන්නේ. අම්මා නැති උනාට පස්සේ  ගෙදර ඉතුරු උනේ රවිඳුයි, තාත්තයි. එන යන වෙලාවල් හොයන්න, රෑට කෑව ද, කොහෙන්ද කෑවේ, මොනවද කෑවේ කියලා අහන්න දැන් කවුරුත් නෑ.

“ඔව් තාත්තේ”

“අයියා කතා කලාද?”

අවුරුදු 10කින් ලංකාවට ඇවිත් නැති උනාට තාත්තා අදටත් වැඩිපුරම ආදරේ ලොකු අයියාට. රවිඳුට ඒක කවදාවත් ප්‍රශ්නයක් උනේ නෑ… අම්මා ඉන්නකල්.

අම්මා නැති උනාට පස්සේ තාත්තා අයියාගේ විස්තර ඇහුවේ රවිඳුගෙන්. අයියාට ගෙදරට කතා කරන්න අඩුම මළ ගෙයක් හරි මඟුල් ගෙයක් වෙන්න ඕනේය කියන එක තාත්තාට තේරුම් කරන එක සක්කරයගේ පුතා වයිමා ආවත් කරන්න බැරි වැඩක් කියන එක, ඒ වෙන කොට රවිඳු තේරුම් අරගෙන හිටියේ.

තාත්තාට ඕන කවදාහරි අයියා මේ රටේ පදිංචි වෙනවා දකින්න. අයියට ඕන ඒ රටේ ස්ථීර පුරවැසියෙක් වෙන්න.

“අක්කා එනවා කිව්වා ලබන සුමානේ. වැඩ මුකුත් දාගන්න එපා.”

රවිඳුගේ අක්කා හිතා ගෙන ඉන්නේ පුතා කවදාහරි ලංකාවේ ටීම් එකේ කැප්ටන් කරන්න. රස්සාවක් නොකරට, ගෙදර වැඩයි, පුතාගේ ඉස්කෝලේ වැඩයි, ක්‍රීඩා වැඩයි වැටුනාම අක්කගෙ කැලැන්ඩරේ ගෙදර එන්න දවසක් හොයාගන්න අමාරුයි.

 

මහ රැජිණ සැපත් වෙනවා. ආපු ගමන් අචිනි ගැන කියවන්න පටන් ගනී ද දන්නේ නෑ. අපරාදේ මල්ලිට කිසි උනන්දුවක් තිබුණේ නෑ නේ කියල. ගෙදර ආපු ගමන්ම කොල්ලගේ ක්‍රිකට් ප්‍රැක්ටිස් ගැන අහන්න ඕන. එතකොට ආයේ වෙන මාතෘකා ඕන නෑ.

“පොඩි පුතේ”

“හ්ම්ම්”

“අම්මාගේ අවුරුද්දේ දානේ ළඟ ළඟ එනවා නේද? එයාගේ ලොකු හීනයක් තිබ්බ පන්සලට මල් ආසනයක් එක්ක පිළිමයක් පූජා කරන්න.”

සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් විදියට රවිඳු ගේ දෙමාපියන්ට මහා ලොකු ධනස්කන්දයක් පොත්වල ඉතුරු වෙලා තිබුණේ නෑ. දරුවෝ තුන් දෙනෙක් උස් මහත් කරලා උගන්වලා, එක්කෙනෙක් රට යවලා, තව කෙනෙක් බන්දල දීලා, ඉතුරු වෙලා තියෙන කීයෙන් හරි ජීවිතේ අන්තිම ටික සතුටෙන් ගත කරන එක තමයි ඒ දෙන්නගේ එකම බලාපොරොත්තුව වෙලා තිබුණේ. ඒත් දැන් තියෙන තත්වේ හැටියට, අයියගෙන්වත් අක්කාගෙන්වත් අම්මාගේ දානෙට වැඩිපුර මුදලක් නොලැබෙන රවිඳු වගේම තාත්තත් හොඳටම දැනගෙන හිටියා.

“අපි කරමු තාත්තේ. මන් ළඟ එකතු කරගත්ත සල්ලි වගයක් තියෙනවා. ඒ ටික ඇති වෙයි.”

“හ්ම්ම්”

තාත්තාගේ ඒ කෙටි උත්තරයේ තිබුණ ලොකු සැනසීම රවිඳුගේ පපුව ඇතුළටම දැනුණා.

වෙලාව පාන්දර 1:30 යි.

“ගෙම්බි, යමුද film එකක් බලන්න. ඔයාගේ සිහින කුමාරයා ඉන්නේ. හේමාල්”

“මොකද්ද film එක?”

Message එක යවන පමාවට ආවා කුශීගේ උත්තරේ.

ඒ කියන්නේ තවම නිදි නෑ.

“ආදරේ සිහින… මොකක් හරි. මට මතක නෑ”

Typing.. Typing…

කුශී සෑහෙන වෙලාවක් යන රිප්ලයි එකක් ටයිප් කරන්න පටන් අරගෙන. හැබයි දැන් මේ ඉන්නේ සීරියස් වර්ෂන් එක ද, සාමාන්‍ය එක ද නැත්නම් වෙනම කුශී කෙනෙක්ද කියන එක ගැන රවිඳුුට අදහසක් තිබුනෙ නෑ.

Film එක බලන්න කැමති උනොත් හෙට කලින් off වෙන්න ඕන. එතකොට film එක බලලා එයත් එක්ක රෑට කන්න යන්නත් පුළුවන්.

.

හැබැයි මෙයාගෙත් ලොකු සීන්. තරහෙන් ඉන්න නිසා ගත් කටටම බැක් ගායි ද දන්නේ නෑ.

.

.

මටත් විකාර. පාර මමත් පටන් ගත්තා මනස්ගාත හිතන්න.

 

.

.

.

 

හැබැයි එහෙම පොඩි හීනයක් දකින එකේ ලොකු අවුලකුත් නෑ වගේ.

READ THE
NEXT STORY > >