ට්‍රැක් හත
ගයත්‍ර ජයතුංග
“මේ කොල්ලට කොච්චර කිව්වත් අහන්නැති හැටි. මේ ගේ හැඩි කරන්න එපා කිව්වම. මට අතුගාලා ඉවරයක් නෑ.”
ඉස්තෝප්පුව අතුගාමින් සිටි ආත්තම්මා මහ හඬින් කෑ ගැසූයේ ගෙමිදුලේ ඇති උඟුරැස්ස ගසට පොලු ගසමින් සිටි සයුරු දෙස නුරූස්සන බැල්මක් හෙලමිණි. ආත්තම්මා කී දේ කනකට නොගත් සයුරු තමා නියැලෙමින් සිටි සුපුරුදු කාර්යයේ ම නියැළෙමින් සිටියේ ය. ඉඳුණු උඟුරැස්ස ගෙඩියක් කඩා ගැනීමට මාන බලමින් සිටි ඔහුට ඇයගේ දෝෂාලාපය නෑසුණි. ඔහු උඟුරැස්ස කඩන්නේ ගෙඩි කෑමේ ගිජුකමට නොව කිරීමට වෙනකක් නොමැති නිසාත් පහන් කළ අභියෝගයට පිළිතුරක් දීමටත් යන දෙකට ම ය.
විටෙක ඔහු ගල් වලින් ගැසු අතර එය සාර්ථක නොවූ කල දිගු රිටක් ගෙන විත් ගෙඩි කැඩීමට උත්සහ කළ මුත් තවමත් එකොළොස් වන වියේ පසුවන සයුරුට එය තරමක උස ගසක් සේ හැඟිණි. රිටෙන් කැඩීමට නොහැකි වූ කල ඔහු කුඩා පොලු කැබලි ගෙන ගසට පහර දුන්නේ ඉස්තෝප්පුවේ වාඩි වී තමා දෙස අවඥා සහගත සිනාවක් පා සිටින පහන්ට කෙසේ හෝ ඉඳුණු ගෙඩියක් නැතිනම් අවමයෙන් කුඩා භාගෙට ඉඳුණු ගෙඩියක් හෝ පෙන්වීමට ය. කෙසේ හෝ අවසානයේ ඉතා කුඩා භාගෙට ඉඳුණු ගෙඩියක් පමණක් රැගෙන පහන් වෙත පැමිණියේ ඒ සඳහා ඔහුගේ මුළු ලකුණු වෙනුවට අවඥා සහගත සිනහවක් ලැබෙන බව නොම දැන නොවේ. ඉස්තෝප්පුව අතු ගෑ ආත්තම්මා ගෙට ගියාය.
සයුරු, පහන් වෙත පැමිණ සිය ප්‍රතිඵලය පෙන්වීය. පහන් මහ හඬින් සිනහා වී,
“මේ මොකක්ද….. මේවා ගෙඩි ද?….” යනුවෙන් පවසා සයුරුගේ උරහිසට පහරක් දුන්නේ ය.
“කොහොම හරි මං කැඩුවනේ…” සයුරු පිළිවදන් දුනී.
“අනේ කොටෝ….” ඒ පහන්ගේ පිළිතුර විය.
සයුරුගේ යම් අනුවණ ක්‍රියාවක් දුටු විට එයට සිනා සී ‘අනේ කොටෝ’ යැ පැවසීම කසුන්ගේ පුරුද්ද විය. පහන් සයුරුගේ ලොකු අම්මාගේ පුතාය. එනයින් දෙදෙනා ගජ සොහොයුරන් ය. පහන්ගේ මවත් සයුරුගේ මවත් දරුවන් තිදෙනෙකුගෙන් යුත් ආත්තම්මාගේ එක කුසඔත් සහෝදරියන් විය. පහන් අ. පො. ස. උසස් පෙළ හමාර කොට සරසවි වරම් දිනා සිටියේ ය.
ඊට මාස දෙකකට පමණ පෙර පහන්ගේ ලොකුඅත්තා මිය ගිය අතර එය දස අතේ විසිර ගිය පවුල නැවත එක් කිරීමට හේතුවක් විය. රාජකාරීවලින් පිරී ඉතිරී ගිය නූතන පරපුරේ උදවියට සිය පියාගේ මරණයට, සිය ලොකුඅත්තාගේ මරණයට පැමිණිය හැකි වූයේ දින දෙකකට හෝ තුනකට පමණි. හත් දවසේ දානය ද ලබා දී අවසන් වූ පසූ සියල්ලන් පිට ව ගියේ ය. ගැහැනු දරුවන් තුනක් වැඳු ආත්තම්මා නිවසේ තනි විය. “කෙල්ලෝ හැදුවාම ඔහොම තමා…” ආත්තම්මා ඇතමුන් සමඟ පැවසීම පහන්ට ඇසුනේ වරක් දෙවරක් නොවේ. මරණයෙන් පසු සිය ආත්තම්මාගේ තනිය රැකීමට පහන්ට සිදුවිය. පහන් සමඟ එහි සිටීමට සයුරු ද පැමිණියේ ය. කාලයකට පසු නගරයේ මුල් බැසගත් පහන් ට සිය කාර්යබහුල ජීවිතයට මදක් විරාම දෙන්නට ලැබුණේ ලොකුඅත්තාගේ මරණය නිසා ය.
නගරයේ ජීවත් වු පහන්ට ගම ආධුනික විය. නමුත් ඔහු ගමට අප්‍රිය කළේ නැත. ඔහුට ගමේ ජීවිතය රුචි විය. කුඩා කල සිටම පාසල් නිවාඩුව ලබා දුන් විට සිය අක්කා සමඟ පැමිණ මාසයක් පමණ ගම රැදෙන පහන්ට ගම හුරු පුරුදු විය.
සුන්දර ගම්මාන සීමා කරමින් කාර්මීකරණයට ලක් වූ ලෝකය ඉදිරියේ තාක්ෂණය නම් දැවැන්තයා පැමිණියේ, සරුසාර කුඹුරු යායක වල් පැලැටි බිහි වන්නාක් මෙනි. එක් කුඹුරු යායක ඇති වුවහොත් එය අනෙක් කුඹුරුවලට ද යයි. කැමති වුව අකමැති වුව ක්‍රමය එය ම විය. ගොවීන් ද දැන් කුඹුරට බැසීමට ප්‍රිය නොකලහ. මඩ සෝදා ගත් කල රජ වීමට දැන් මඩ තැවරුණු ගොවියෝ නොවීය. සියල්ල තාක්ෂණයට අනුකූලව සිද්ද වෙයි. කුඩා කල සිට සිය ලොකුඅත්තා සමඟ බයිසිකලයෙන් ගම වටේ යන පහන්ට මේ වෙනස හොඳින් ම වැටහුණේය.
පහන්ගේ ලොකුඅත්තා ගමේ සමූපකාර සමිතියේ මැනේජර්ය. ඒ නිසාවෙන් ගම්මුන්ගේ නොමද ආදරය හා ගෞරවය කුඩාකල සිටම පහන්ට ලැබුනේ ය. ආත්තම්මා හෝ ලොකුඅත්තා සමඟ ගමේ කොහේ හෝ ගිය විට “ආ මේ මැනිකේගේ කොල්ලා නේද….” යැයි කියමින් ගම්මු පහන්ගේ මුණ අත ගෑ හැටි පහන්ට තාමත් මතකය. මැනිකේ යනු පහන්ගේ අම්මා නොහොත් ආත්තම්මාගේ ලොකුදුවගේ සුරතල් නමය.
“සුදු මහත්තයා…. මල්ලිත් එක්ක ගිහින් නාගෙන එන්න….” පහන්ගේ දැහැන බිදිමින් අත්තම්මා කීවාය.
සුදු මහත්තයා යනුවෙන් පහන්ව ඇමතීමට පටන්ගත්තේ පහන්ගේ ලොකුඅත්තාය. ලොකු අත්තා සිටි කාලයේ ඔහු රැකියාව අහවර වී පැමිණෙන විට සැමදා රටකජු ගෙනාවේ ය. නොඑසේ නම් යෝගට් ය. ලොකුඅත්තා තුළින් පහන් ගම තේරුම් ගත් අයුරු පහන්ට සිහි විය. පරිණත තලතුනා මිනිසෙකු ලෙස ලොකුඅත්තා සැමට ආදර්ශයක් ලෙස දිවි ගෙවීය. ලොකුඅත්තාගේ මළගමට පැමිණි ජනගඟ දුටු පහන් ඊට වික්ෂිප්ත නොවීය. හේ ලොකුඅත්තාගේ බයිසිකලයේ නැඟ ඔහු සමඟ ගම පුරා යන සෑම විටම ලොකුඅත්තාට ගම් වැසියන් තුළ පැවති ගෞරවය දුටුවේ ය. දැන් ලොකුඅත්තා නොමැතිය. නමුත් ඔහු ගෙනා සුදු මහත්තයා යන නාමය තවමත් ඉතිරිය. එහෙයින් කිසිවෙකු සුදු මහත්තයා යනුවෙන් ඇමතූ විට ඔහුට ලොකුඅත්තා සිහි වන්නේ නිරායාසයෙනි.
පහන් නාන්න යාමට පුටුවෙන් නැංගේය.
“නාලා එන්නකෝ මං දවල්ට උයලා තියන්නම්….” යි කියමින් ආත්තම්මා කුස්සියට ගියා ය.
පහන්, සයුරු සමඟ නෑමට යන්නේ ගමේ පොදු ළිඳට ය. ගම්මු එය හදුන්වන්නේ හුළංකඩ කියා ය. “සයුරු වරෙන් හුළංකඩට යන්න…” පහන් එසේ පවසන්නේ පුරුද්දට නොව ආසාවට ය. මන්ද නාගරිකයෙකුට ගැමි බස කීම මහත් ආස්වාදයක් ගෙන දෙන නිසා ය. එහෙයින් හුළංකඩ යන වචනයට හේ මහත් ලෙස ඇලුම් කළේ ය. නමුත් ළිඳට ඒ නම ආ සැටි පහන් නොදනි.
සයුරු සමඟ සබන් කෑල්ල හා සාළුව ගත් පහන්, ළිඳ කරා ගමන් කළේ ය. පහන්ගේ ආත්තම්මාගේ නිවස ඉදිරියෙන් ඇලක් ගැලීය. ඇසට පේන දුරින් වැවක් ද විය. නමුත් දැන් ඇලේ වතුර නැත. එය අඩියට සිඳී ඇත. ගමේ කුඹුරුවලට වතුර සපයන ඇල වන මෙයින් පෙර සොහොයුරන් සමඟ නෑ හැටි පහන්ට සිහි විය. සිය අක්කා සමඟ ගෙදර අයට හොරෙන් වැවට ගොස් මඩේ එරී අක්කාගේ රන් මාලය මඩේ වැටී නැති වු සැටි ද එය දැනගත් විට අක්කා අම්මාගෙන් ගුටි කෑ සැටි ද අක්කා ගුටි කන විට තමා දිවූ සැටි ද පහන් ඉදිරියේ මැවුනේ තෙත් වූ දිරාගිය ලී කොටයකට පහරක් ගැසූ විට එහි පතුරු කැඩී යන වේගයෙනි.
දැන් කුඹුරු විශාල ප්‍රමාණයක් නැත. ඇත්තේ කිහිපයක් පමණි. එහෙයින් දැන් ඇල හරහා කුඹුරු වලට වතුර ලබා දෙන්නේ එහෙමත් දවසකය. එහෙයින් ඇල සිදී ගොස් ය. වැව ද විනාශයට ගොස් ඇති අතර එහි විවිධ ආක්රමණික ශාක බිහි වී ඇත. එයින් නෑ හොත් ඇඟ කසන බව ගම්මුන්ගේ මතය විය.
පහන් සයුරු සමඟ ගමන් කලේ නංගියා ගේ නිවස ඉදිරියෙනි. නංගියා යනු ආත්තම්මා සමඟ නිරන්තරයෙන් කතා කිරීමට පැමිණෙන ඇයටත් වඩා වැඩිමල් තලතුනා ගැහැනියකට ය. නමුත් ආත්තම්මාට ඇය රුචි නොවීය. ඇය සමඟ ආත්තම්මා හොඳින් කතා කළමුත් ඈ ගිය විට ආත්තම්මා ඈට ඇනුම් පද කීවා ය. ඇය ආත්තම්මාට කතා කරන්නේ නංගියා කියා ය.
ආත්තම්මාට ඇය රුචි නොවන නිසා ඈ ඇතින් එනවිට ආත්තම්මා පවසන්නේ “ආං නංගියා එනවා… දැන් ඉතින් පැය ගානකට බේරෙන්න හම්බෙන්නෑ…” යනුවෙනි. එහෙයින් පහන් හා සයුරු ඇයට නංගියා යැයි පැවසීම කාගේත් සිනාහවට කරුණක් විය. නමුත් නංගියාට ඇසීමට නංගියා කිවහොත් ඇති වන්නේ වස විජ්ජුම්බරයකි.
නංගියාගේ ගෙදර ඇයගේ මිණිබිරිය විය. පහන්ට වඩා අවුරුදු දෙකක් හෝ තුනක් වැඩිමල් ඇය රන්සිනි විය. රන්සිනිගේ පියා කලකට පෙර මළේ ය. මව විදෙස්ගත වී මුදල් එවූ අතර රන්සිනි සතියට දින පහක් ට්‍රැක් හත හංදියේ දුරකතන කාඩ් විකුණන කඩයක වැඩ කළේය. රන්සිනිට විවාහ වීමට කෙනෙකු සිටියත් ඇය දකින සෑම විට ම පහන්ට ඔල මොල සිනාවක් පහළ වන්නේ නිරායාසයෙනි. රාගයකින් තොර වු චින්තනයක් වු එය, ප්‍රේමය දැයි පහන් දැන සිටියේ ද නැත. නමුත් ගැහැනුන් පිළිබඳ ජාගර හැගීම් මතුවන සෑම විට ම පහන් එම සිතිවිලි අතරට රන්සිනිට පැමිණිමට ඉඩ නොදුන්නේ ය. රන්සිනි මතක් වන විට හිත් තුළ විරාජමානව උන් ජාගර හැගීම් නැති වී යන්නේ ගන අව්වේ ඇති අයිස් කැටයක් දිය වී යන පරිද්දෙනි.
සයුරු සමඟ හුළංකඩට ඇදෙන පහන් ගුණේ මාමාගේ කඩය පසු කළේ ය. ගුණේ මාමා සරම බඩ උඩට අදින සාමකාමී මිනිසෙක් විය. උඩුකය නිරුවත්ව කඩේ බඩු විකුණන ගුණේ මාමා කතාවට වැඩි රුචිකත්වයක් දැක්වීය. ඇතැම් දිනවල පහන් හා සයුරු මේ කඩයට යන්නේ ආප්ප කෑමට ය. කඩය පසු කරන විට පහන් සයුරු දෙස බැලූයේ තරමක් කට කොනකට සිනාවක් ගනිමිනි. සයුරු ද කට කොනකින් සිනාහ වී ඊට ප්‍රතිචාර දැක් වූ අතර කඩය පසු වී ටික දුරකින් දෙදෙනාම සිනා වීමට පටන් ගත්තෝ ය. ඒ ගුණේ මාමා ගැන කතාවක් මතක් වූ නිසා ය.
දිනක් ගමේ ගැහැනියක් බඩු ගැනීමට කඩේට පැමිණි විට ගුණේ මාමා පේන්න නොසිටියේ ය. ඇය ගුණේ මලයා යනුවෙන් කිහිපවිටක් ම ඇමතුවත් ප්‍රතිචාරයක් නොවීය. ටික වේලාවකින් ගුණේ මාමා ඇයගේ හඬට එළියට ආවේ පස්ස නොසෝදා සරමත් තරමක් ඉහළට ඔසවා ගනිමින් වැසිකිලියේ සිට ය. මෙය ආත්තම්මා රඟපා පවසන විට පහන්ගේ හා සයුරුගේ සිනාහව ඉහ වහ ගියෝ ය. ඉන් පසු දිනවල දී ඔවුන් දෙදෙනා ආප්ප කෑමට යනවා යි ආත්තම්මාට පවසන විට “පලයං ගූ ගුණේගේ ආප්ප කාල වරෙං….” යනුවෙන් ආත්තම්මා පවසන්නේ සිනාසෙමින් ය. කඩය පසු කරන විට ම ඔවුන් දෙදෙනාට සිනාගියේ මෙම “ගූ ගුණේ” යන වචනය මතක් වූ නිසා ය.
තිලකේ මාමලාගේ ගෙදරින් බාල්දිය ඉල්ලා ගත් ඔවුන් දෙදෙනා හුළංකඩෙන් නෑවේ ය. එය තරමක් විශාල ළිඳක් වූ අතර සෙනඟින් තොර විය. සෙනඟ වැඩි වන්නේ හැන්දෑ වූ පසු මිනිසුන් වැඩ අහවර වූ විටය. නෑමෙන් පසු නැවත ඔවුන් නිවස බලා පැමිණියත් සෑහෙන දුරක් පයින් ගොස් ඒ දුරම නැවත පැමිණීම ඔවුන් ට අපහසුවක් නොදැනුනේ ඔවුන් එය ආස්වාදයක් කර සිටින නිසාය.
නගරයේ ජීවත් වූ ඔවුන් ඇවිදීමට කැමතිය. එහෙත් නොහැකිය. ගැමියන් ඊට අනෙක් පසය. විදග්ග නාගරීකරණ මිනිසා සැමවිටම ගැමියන් සමච්චලයට ගන්නේ නගරයේ ඇති සුවපහසුව හා තාක්ෂණය ගම් තුළ නොමැති බවට හඟිනා බැවිනි. පහන් සහ සයුරු ද ගැමියන්ගේ සුළු සුළු අඩු පාඩුවලට පවා හිනැහෙන්නේ ඔවුන් සමඟ අමනාපයකට හෝ උපහාසයකට නොව හුදෙක් යට කී හැඟීම හා එයින් ලැබෙන ආස්වාදය නිසා ය. ගැමියන් අනුකරණය කොට සිනාසීම නගරැටියන්ගේ විනෝදය විය.
වාහනයක් දුටු විට පාරෙන් ඉවත්වන බල්ලන් මෙන් ගම්මුන් ද නාගරිකයෙකු දුටු විට ගෞරවය මුසු කුළුපගු බවක් මවා පායි. ඒ ඇත්තෙන් ම චින්ත සන්තානයෙන් ම ආ අවංක හැඟීමෙන් නොව පුරුද්දට වන්නට පුලුවන. ඇතැම් ගැමියෝ නගරයෙන් ආ අය ඉදිරියේ තමන් ද ඒ හා සම වෙතී පෙන්වීමට උත්සුක වන්නෝය . පහන්ට හා සයුරුට මෙයද සිනාසීමට එක් හේතුවකි.
හුළකංකඩෙන් නෑමෙන් අනතුරුව නිවසට පැමිණි පහන්ට දැක ගැනීමට හැකි වූයේ නිවසට අමුත්තෙකුගේ පැමිණිම ය. කාල් අත්තා නමින් ආදරයෙන් හඳුන්වන ඔහු, අනූ පස් වියස් වයස වන ආත්තම්මාගේ පියා ය. තරමක් වයස්ගත වුවත් ඔහු ඉතා කඩිසර අයෙකු වන අතර රෝම කූප පිරි පාර්ශවිකයෙන් වට වූ සවන් තරමක් දුර්වල වූ මුත් ඔහු වයසට වඩා තරුණ අයෙකු ලෙස දිවි ගෙවි ය. නිවසට ඇතුළු වන ගේට්ටුව ආසන්නයේ දී ම පහන්, කාල් අත්තා පැමිණ ඇති බව දැන ගත්තේ ගෙමිදුලේ උඟුරැස්ස ගහ මුල තිබූ සෙරෙප්පු ජෝඩුවෙනි. ගමේ ඇතැම් තරුණ උදවිය පවා තවමත් පාවහන් නොපැළදුවත් කාල් අත්තා සෙරෙප්පු පළදි. පහන් කාල් අත්තාගේ එක් ප්‍රියමනාප කරුණකි එය. ‘ගතින් වයසට ගිය ද කාල් අත්තා හිතින් වයසට නොයයි’ ඔහු දකින සෑම විටම පහන් ට සිහිවෙයි.
නිවසට ඇතුළුවන විට ගේට්ටුව ලඟ ම පාවහන් ගැලවීම කාල් අත්තාගේ සිරිතය. පහන් නිවසට ඇතුළුවන විට ම සිය දත් විරහිත මුව පෙන්වා හිනැහුනු කාල් අත්තා විටක් කෑමට පුවක් කැබැල්ලක සුරුන්ඩු අයින් කරමින් සිටියේ ය. සැහෙන වෙලාවකට පෙර පැමිණි කාල් අත්තා නැවත නිවසින් පිටවූයේ විට කා තුන්වරක් කෙළ ගැසූ පසුවය.
“කාල් අත්තා, ඇයි මිදුලේ සෙරෙප්පු ගලවන්නේ….” ඔහු ගිය පසු සයුරු ආත්තම්මගෙන් ඇසුවේ ය.
“උන්දැගෙ හැටි ඒ ….” ඇයගේ පිළිතුර විය.
“මං දවසක් අර ඇල ගාවින් යනකොට, බන්ටෙක පල්ලෙහා සෙරෙප්පු දෙකක් තියනවා හරිද…” ඇය පැවසූයේ කතාවකට මුල පුරමිනි.
“සෙරෙප්පු දෙකක්…” පහන් විපිළිසර විය.
“ඔව්…. මං බැලුවා මොකක්ද කියලා. බලනකොට තාත්තාගේ සෙරෙප්පු දෙක….” ආත්තම්මාට මෙවර සිනාහව නවත්වා ගැනීමට නොහැකි විය.
“උන්දෑ ජරා කරන්නේ එතන…. බන්ටෙක යට….” ආත්තම්මා අතින් කට වසා ගනිමින් සිනාවිය.
සයුරුට හා පහන්ට ද සිනහව ඉහ වහ ගියහ. සයුරුට ඉස්මොල්ල යාමට විය. පහන් සිනාසෙමින් කාල් අත්තා ගිය දෙස බලා සිටියේ ය.
ඉර අවරට ගොස් තිබිණි. වෙල්වල වතුරේ බැසගත් කොකුන් පියඹා යන්නේ ඊතලයක් ලෙසිනි. උදැල්ල කර තබා ගත් එකෙකු හෝ දෙන්නෙකු සිය දෛනික කාර්ය අහවර කොට නිවෙස් බලා පිය මනිනු අයුරු දෙස පහන් උදාසීනත්වයෙ බලා සිටියේ ය. වැඩ අහවර වී යන ගැහැනුන් ද ඒ අතර වීය. ඒ රාබු සේදීමට ගිය ගැහැනු වන්නට ඇත. පහන් සිතුවේය.
රාබු සේදීමට යන අයට දිනකට රු. 500 ක් දෙන බව ආත්තම්මා වරක් පැවසු සැටි පහන්ට මතකය. ගෙදර පිරිමි අය කුඹුරුවල වැඩට ගිය පසු අමතර ආදායමක් ගැනීමට ඇතැම් ගැහැනු රාබු සේදීමට ගියෝ ය. තක්කෙටම නොදත්තත් මේ ඒ අය ම වන්නට ඇති බව පහන් තමන්ට ම ඉඳුරා කියා ගත්තේ ය. කාල් අත්තා තවමත් පාර කෙළවර ඇතින් යන සැටි පහන් දුටුවේ ය. ඔහු ට කිසි අසනීපයක් නැතිය. ඔහු කිසිදා පැනඩෝල් පෙත්තක් හෝ නොබි වු බවට ආත්තම්මා පවසා සිටියේ වරක් දෙවරක් නොවේ. නමුත් ඔහුගේ වැසිකිලිය ඇලේ බන්ටෙක යටය.
“ඕකේ අපි නෑවත් එක්ක….” පහන් සයුරුට ඇසෙන සේ කීවේ ය.
“වතුරත් පෙවිලා තියන්වා මට. ඒක තමා ඒකේ වතුර අමුතු රහක් තියෙන්නේ….” පහන් පැවසූයේ සයුරු හිනැස්සවීමට ය.
“ඉඳකින්….” සයුරු සිනාසෙමින් කීවේ ය.
කාල් අත්තාගේ බිරිඳ එනම් ආත්තම්මාගේ මව මිය ගොස්ය. දරුවන් සියල්ල විවාහ වීය. තනිව වාසය කල ඔහු කිසිවෙකුට අත පෑවේ නැත. එතරම් මුදල් නොමැති වුවත් ඔහු ලද දෙයින් සතුටු විය. ඔහු උත්සහවන්තය. කඩිසරය. විටෙක ඔහු රටකජු ගෝනී රැගෙන සැතපුම් ගණන් පයින් ගියේ ය. ඔහුට කිසිදු අපහසුවක් නැත්තේ ය. ඔහු අනූ පස් වියැති බව සිතිමට ද නොහැකිය. නගරයේ ඒසී කාමර වල අයට වැලි ඇටයක් පැගුන ද වේදනා දුන්නෝය. ඔවුන් ට කාල් අත්තා සමඟ හැරෙන්නටවත් බැරිය. පතොක් ඉඩෝරයට හුරු වූවා මිස වතුර ඉල්ලා හැඬුවේ නැත. පහන්ට කාල් අත්තාව කාන්තරයේ සියලු වේදනාවන් දරා අභිමානයෙන් නැගී සිටින පතොක් ගසක් සේ පෙනෙයි. පතොක් ගස් ලස්සන නැත. එහි කටු පිරී ඇත. අවු කාෂ්ටකේ තම දිවිසරි කර ගැනීමට එය හොඳින් අනුවර්තනය වී ඇත. ඇලේ වතුර තිබුණු කාලයේ පවා කාල් අත්තාගේ වැසිකිලිය බන්ටෙක යට වීය. ඉඩෝරයේ දී වතුර නැති වූවා කියා එහි වෙනසක් නැත. ඔහු වතුර සෙව්වේ ද නැත.
කුඩා දේවල් පවා අහිමි ව විට දිවිතොර කර ගන්නා දුර්වල සමාජයේ කාල් අත්තා පරිණතයෙකි. නගරැටියන් විසින් ගැමියන් දුර්වල යැ සිතූමුත් ඇත්තෙන් ම සිනා විය යුත්තේ අප නොව අපට බව පහන්ට හැඟිනී. ගැමියාට කරතබා යාමට උදැල්ල හෝ පවතී. නැතිනම් අමුඩය හෝ ඉතිරි වෙයි. ගැමියන්ට තමන්ගේ තැනක ඉපදී තමන්ගේ තැනක ම මිය යා හැකිය. අපි අනුන්ගේ තැනක මරණින් පසු සැතපීම වෙනුවෙන් ටිකට් ලබා ගන්නෙමු. ඒ වෙනුවෙන් පොරකමින් ජීවත් වන්නේමු. පහන්ට ඔහු මීට පෙර කියවූ පොතක තිබූ පාඨයක් මතක් විය.
“කූඩුවල ඉපදුනු කුරුල්ලෝ හිතන්නේ පියාඹන එක ලෙඩක් කියලා”
දියුණු යැයි සම්මත ලෝකයක් තුළ ජීවත් වන මිනිසා තමන්ගේ පිය සටහන් සියල්ලන්ගේ නෙත ගැටෙන, වඩා ස්මරණය වන ඉසව්වවක රඳවා තැබීම උදෙසා වෙහෙසෙමින් සිටිති. ඊට විභාග ඉහළින් පාස් විය යුතුය. රැකියාවේ ඉහළට යාමට දිවා රෑ නොතකා වෙහෙස විය යුතුය. සිහින හඹා යා යුතු ය. කිසිදා උදා නොවන සතුටක් වෙනුවෙන් අද, මේ දැන් පවතින සතුට කැප කළ යුතුය. දියුණු යැයි පාරම්බාන මිනිසා ලවක් දෙවක් නොමැතිව, නොනවතින වක්රාකාර මාර්ගයක හැකි තරම් වේගයෙන් දුවගොස් හති වැටුණු පසු ඇඳගෙන වැටෙන්නේ දිනෙක උදා කර ගන්නේ යැ බලාපොරොත්තු වූ සතුට සහ සිහින ද නොමැතිව නොවේදැයි පහන්ට මොහොතකට සිතිණි.
ඔහු සිහින තුළ ජීවත් වෙයි. අප සිහින හඹා යයි. ඒ වෙනුවෙන් ජීවිතය කැප කරයි. නමුත් අවසානයේ ඒ කැප කිරීමවලින් ලබා ගන්නේ අප පැතූ සිහින ලෝකයම ද? නොඑසේ නම් පැමිණි දුක් පැණි රස යැ කියමින් අප ලැබෙන දේ සිහිනය බවට පත් නොකර ගන්නේ ද? ඉන්පසු අප බලාපොරොත්තු වූ සිහිනයට පැමිණියා යෑ පාරම්බාන්නේ නෙවේද? අපට මෙයින් ගැලවීමක් නොමැති බව පහන්ට සිතිණි.
අපි දියුණු ලෝකයක අපේ ම පිය සටහන් වඩා ඉහළ තැනක රැඳවීමට උත්සහ කරන්නෙමු. නමුත් කාල් අත්තාගේ සෙරෙප්පු කුට්ටම තවමත් උඟුරැස්ස ගහ මුලය. නොඑසේ නම් ඇලේ බන්ටෙක යට ය. ඔහුට අව්ව ද හුරු ය. වැස්ස ද හුරු ය. ඔහු තවමත් සිනාසෙමින් බුලත් විටක් කෑමට පුවක් කැබැල්ලක සුරුන්ඩු ඉවත් කරමින් සිටියි. ඔහු දෙස දෑස් යොමන සෑම කෙනෙකුට ම ඔහුගෙන් ලැබුණේ බුලත් කහටින් යුත් දසන් පෙළෙන් කළ නිර්ව්‍යාජ සිනාවක් පමණි.
“මයේ අප්පච්චිත් විටක් කනව ද?….” කාල් අත්තාගේ ආදරණීය වචන සිහිනෙන් මෙන් පහන්ට ඇසෙන්නට විණි.!