අළුත් නෑයෝ
චතුරිකා ජීවන්ති
වත්ත කෙළවර කොහු අඹ ගසට ආ කොවුලෙක් මිහිරි ගීයක් ගයන්නේ ය. මේසයට ඉහළින් බිත්ති මුල්ලකට වූ මකුළුවෙක් රටාවක් අමුණා දැලක් වියන්නේ ඒ තාලයට යි. පඬු පැහැ මිදුලට ඔපයක් එක් කරමින් පිපුණු තද දම් පැහැ බංගලි රෝස මල්, නිල් අහසට මුහුණ යොමා හිනැහෙමින් සිටී. මේ සියලු අරුමෝසම් නොදැක්කා සේ සිටින අම්මාගේ දිගු අතැඟිලි පඬු පැහැය, දම් පැහැය හා තද කොළ පැහැය රැගත් පන් ගස් හා සෙල්ලමක යෙදී සිටී.
“අම්මා, ඔය පැදුර කාටද?”
“දුම්මලදෙණියෙ ගෙදර සුදු හාමිනේට. සිංහල අවුරුද්දට එනවලුනෙ අලුත් නෑයො එහාට”
“ එහෙනන් අපිටත් පැදුරක් වියන්න වෙයි අලුතෙන්”
“ඒ මක්කටෙයි…?”
“ඇයි ඔය කොහා කෑ ගහන්නෙ… අවුරුදු ළඟයිනෙ. අපිටත් අලුත් නෑයො එයි?”
“පරණ නෑයොත් අහක බැලූකොට අපිට කොයින්ද අලුත් නෑයො”
අම්මාගේ වදනට ‘එහෙම නොවෙයි’ ලෙස කියමින් මිදුල දෙසින් හඬ ලෑවේ වලි කුකුළෙකි. ගිණි දාස් මලක රුව රැගත් මේ වලි කුකුළා අම්මාගේ මිරිස් පාත්තිය අසලින් රිංගා ආ තුන්වෙනි දවස අදයි. ඉතින් ඌ නම් මට පරණ නෑයෙකි. දින තුනක් පමණක් පරණ නෑයෙකි.
කුස්සියේ ඇති මිටි හාල් මුට්ටියෙන් ගත් හාල් අහුර ඌ දෙසට විසි කළේ සුපුරුදු ආගන්තුක සත්කාරයේ අරමුණින්. හනි හනික එහෙ මෙහෙ කොටමින් ඒ සියල්ල බඩෙහි රුවාගෙනයි ඌ පිට ව ගියේ.
අලුත් අවුරුද්දට නෑයෙකුට කියා මෙහි පැමිණෙන්නේ මැගිලින් ආච්චී පමණි. ඈ අම්මාගේ පරණ, දුර නෑයෙකි. දුරින් ඇත්තේ නෑකමයි. ඈ වෙසෙන්නේ අප නිවසට යාබද නිවසේ යි.
“පියල් යනකොට උඹට නම් ඉතින් ඉන්න තැනක් අටෝලා ගියා නොවැ. ඌට පින නෑ මෙව්වයෙ ඉන්න” හැරමිට්ටෙන් පොළවට කොටමින් අහසට ඔරවමින් ඈ කියන්නේ ඇගේ කටුමැටි නිවස වෙත පියවර ඔසවනා අරුමැක්කේ ය.
‘පියල්’ හෙවත් තාත්තා ගැන මසිත ඇත්තේ එකම මතකයකි. දෑතේ වැළමිට තෙක්ම සිලි බිලි හඬ දෙන වළලු පුරවා, රිදී සීනු සිනහ නගන කුඩා දැරියක ව සිටි මා කර මත රුවාගෙන පෙරහැර පොළේ සිටි අවස්ථාවකි ඒ. තවත් මතකයන් සිතෙහි තිබුණ ද මා වඩා ප්‍රිය කරන මිහිරි මතකය එයයි. අම්මාගේ කහ මල් වැටුණු දම් පැහැ චීත්තය යට ගුලි වී අම්මාට තුරුල් වී නිදන බොහෝ රාත්‍රීන්හි සිහිනයෙන් මා දකින්නේ ඒ තරුණ තාත්තා යි. ඔහු මට බොහෝ සෙල්ලම් බඩු ගෙනත් දෙයි. බොහෝ රසකැවිලි ගෙනත් දෙයි. සිහිනෙන් එන තාත්තා නිසාවෙනි මා, රැහැයියන් කෑ ගසන වවුලන් පොර බදන, පරිසරයේ සියළු වර්ණයන් උරා ගත් අඳුරු රාත්‍රිය ප්‍රිය කරන්නේ.
පාට පිරුණු දහවල පවා වෛවර්ණ සිහින දැකිය හැකි බැව් අට හැවිරිදි දැරියක වූ මාහට කියා දුන්නේ අම්මා ය. අම්මා පැදුරු වියනා අතරතුර පන්වලින් වට්ටි, හැඹිලි, තොප්පි ගෙතීමට ද මා හට කියා දුන්නා ය. ඉතින් මාගේ වියමන්වලින් හැඩ වූ මේසය ඉස්තෝප්පුවේ ම තබා තිබුණ ද හැමදා එදෙස බලා හිස වනා අගයන්නේ මේසයට ඉහළ බිත්ති මුල්ලේ රටා අමුණන පුංචි මකුළුවා පමණි. තද දම් පාට, කොළ පාට රටා මැවුණු නැවුම් පුසුඹ දෙන පන් පැදුරක් ඉස්තෝප්පුවේ රට අඹ ලෑලි ඇඳට දමා තාත්තා පිළිගැනීමත් මගේ සිත්තම් ගෙත්තම් ආදියෙන් ඔහු නෙතු පුරවන්නටත් වෛවර්ණ සිහිනයක් මා හද පුරා පැතිර පවතී.
“අවුරුද්දට ඇඳුම් ගන්න යන්නෙ කවද්ද අම්මෙ?”
“අපි බලමුකො.. මේ පැදුර ඉවර නෑනෙ තාම.”
“හ්ම්..මට ඕනි අර පත්තරේ තිබ්බ වගේ ගවුමක්”
“මොන?”
“බටලන්දෙ කුමාරි අක්කා ගාව තිබ්බ පත්තරේක”
“හ්ම්.. රෙදි කෑල්ලක් ගෙනත් එයාට කියල මස්සවා ගමු.”
“අම්මට මහන්න බැරිද?”
“පොඩි කාලෙ ඔයාගෙ ගවුම් මැහුවෙ මන්”
“ඉතින් කෝ දැන් මැෂිම?”
“මං යනවා නාගෙන එන්න. මල් ටික කඩලා පහන තියන්න මං එනකල්”
මෙලෙස අම්මාගෙන් පිළිතුරක් නොලද තවත් පැනයන් රැසක් මා සිත තුළ අගුලු ලා ඇත. ඒවා අම්මාගේ සිත රිදවන පැනයන් බවට සාක්ෂි සැපයූවේ ඇගේ නෙතු අග මෝදුවන සිහින් කඳුළු රැල්ලකි.
තවත් සවසක අම්මා සමඟ අළුත් රටා පැදුර ගෙන දුම්මලදෙණියෙ ගෙදරට පිටත් වූයේ දෙමළිච්චන් රංචුවක් මිදුලට වී ‘යන්නෙ කොහේදැයි අසා’ කෑ කොස්සන් ගසද්දී යි. අම්මාගේ උවනෙහි පිපුණු සිනා මලකි. පැදුර විකුණා ලැබෙන මුදල නිවසේ අඟහිඟකම් බොහොමයක් පිරිමසනු ඇත.
අලුතෙන් සුදු හුණු නා සැරසී සිටි විසල් නිවස අපට විරිත්තද්දී මල් පෝච්චියක සිට රතු රෝස මලක් ආඩම්බර සිනහවක් පෑවා ය.
“සුදු හාමිනේ… සුදු හාම්නේ………….”
අම්මාගේ ඇමතුමට මැදි වියේ පසුවන තරබාරු කාන්තාවක් තාරාවක සේ පැද්දෙමින් එළියට ආවා ය.
“ආ… මේ කාන්තිනෙ. කෙල්ලත් ඇවිත්නෙ. මොකෝ හදිසියෙ?”
“මේ පැදුර වියන් ආවා හාමිනේ” යි කියමින් අම්මා රටා පැදුර මදක් දිග හැර පෙන්නුවා ය.
“අපූරු මෝස්තරයක්නෙ. මං හිතුවෙ පැදුර වියල නැතිව ඇති කියලා”
“අනේ හාමිනේ.. උදේට පොල් පලන්න යනව මහතුන් මහත්තයගෙ තෙල් මෝලෙ. හවහ ඉවර තියෙන වෙලාවට තමා පැදුරු වියන්නෙ.”
“හ්ම්… මං ඒත් පයිණ්ඩයක් යවන්න හිටියෙ පැදුර වියන්න එපාය කියලා”
“අනේ ඒ මොකෝ හාමිනේ..?”
“චූටි මැණිකෙ දීග යන්න ඉන්න දිහා නැන්දෙක් යස බුලන්කෙට්ටු දෙකක් එවලා නොවැ. ඒරොප්පෙ ඒවා… අලුත් නෑයො එනකොට මේවා ලකේට තියෙන්නත් එපායැ. ඒකයි හුණු ඩිංගක් පිරියම් කොළේ”
“එහෙනම් පැදුර එපා ද හාමිනේ..?”
“අනේ එපා කාන්තියො. උඹ පොළටවත් ගොහින් විකුණා ගනින්. අවුරුදු කටේ හින්ද මේ ටිකේ වියදම් සැරයි”
“එහෙනම් අපි යන්නම් හාමිනේ”
“ඩිංගක් හිටින් මේ කෙල්ලට කේක් කෑල්ලක් ගෙනත් දෙන්න” යි කියමින් ඈ නැවත පැද්දෙමින් ගෙතුලට ඇදෙද්දී අම්මා මා අතින් ඇදගෙන ආපසු හැරුණා ය. පන් පැදුරේ පඬු පැහැය ඇගේ දෙනෙත් පෙතිවලට උරා ඒවා බොර පැහැයට හැරී ඇත. අහස පුරා බැඳුණු කළු වලා යටින් හනි හනික නිවසට ආවේ වැහි බිඳු කඩා ඉහිරෙන්නට පෙර යි. අම්මා අත තිබූ පැදුර බිත්ති මුල්ලකට රිංගා ගත්තේ මා ගෙට ගොඩ වීමටත් පෙර යි.
“ඉස්කෝලෙ නිවාඩු කියල නිදියන් ඉඳලා හරියන්නෙ නෑ නැගිටලා තේ කහට ටිකක් බීපන් පුතේ. අපි යන් අද ටවුමට ගවුම් රෙදි ගන්න.”
“ඔය ඇත්තමද අම්මේ…?” යි අසමින් මා පැදුර මත ම හිඳ ගතිමි.
සිනා අහුරක් මවෙත විසි කරමින් ඈ කඩිමුඩියේ වැඩෙහි යෙදුණා ය. තවත් හෝරා දෙකක් ගෙවෙන විට අප සිටියේ ටවුමේ තම්බි මුදලාලිගේ රෙදි කඩය අසල යි. කහ පැහැ පසුබිමක දම් පැහැ කුඩා මල් වැටුණු ගවුම් රෙද්ද තේරුවේ මා විසින්. එය බටලන්දේ කුමාරි අක්කාට ලබා දීමෙන් අනතුරුව යි අප නිවසට පැමිණියේ.
අනතුරුව කඩිමුඩියේ ගෙවුණු දවස් අළුත් ගවුම ඇඳීමට සිහින දුටු ඒවා යි. අපට අවුරුදු මේසයට නෑයින් නොසිටියා ද හැම අවුරුද්දක ම අවුරුදු කැවිල්ලක් අම්මා අතින් පිසුණේ අලුත් අවුරුද්දට හිස් අතින් පන්සල් යාමට නොහැකි නිසා ය. නාරං කැවුම් හා සීනි පිට්ටු යන දෙවර්ගයම සෑදීමට අම්මා පොරොන්දු වී සිටි නිසා මං ඈට උදව් කළේ ඉතා සතුටින්.
“ඉස්සරහ මිදුලේ පොල් හනසු ටිකක් දාලා ඇති වේළෙන්න. දුවල ගිහින් අරන් එන්න ටිකක්” අම්මා පැවසූ නිසා මා හනික මිදුලට ගියෙමි. දෙවට දිගේ වටපිට බලමින් අප නිවස වෙත පියමං කරන අමුත්තන් දෙදෙනෙකු මා ඇසට හසු වූයේ එවිට යි.
“අම්මේ….. කවුද ආවා.” හනි හනික මුලුතැන්ගෙට දුව ගොස් අම්මාට කීවෙමි.
“කවුද?”
“දන්නෙ නෑ. මං කලින් දැකලා නෑ”
අම්මා පිටුපසින් නැවත මිදුල දෙසට ඇදෙද්දී මට සිතුණේ ඒ අයෙක් මින් පෙර දැක ඇති බවයි. ඉස්තෝප්පුව පසු කර මිදුලට බසින්නටත් පෙර අම්මා එතැනම නතර වූවා ය. වැඩිමහල් අමුත්තා ද සෙල් රුවක් සේ නොසැලී සිටිය ද එහි සිටි කුඩා අමුත්තා නම් වලි කුකුළු පැටවකු සේ ගෙල හරව හරවා දෑස් ඔබ මොබ වීසි කළේ ය.
“පියල් ඔයා…..?” අම්මාගේ හඬ වෙවුලයි.
“මට සමාවෙන්න කාන්තී…….”
අම්මාගේ දෙනෙත් පෙතිවලින් කඳුළුවැල් නොකඩවා ගලා හැලේ. ඒ දුටු මාගේ දෙනෙත් කඳුලු වලින් වැසී යාමට ද ගත වූයේ නිමේෂයකි. හේතුවක් නොමැති ව ම මා අම්මා බදාගෙන හැඬුවෙමි. අම්මා මා හිස අත ගාමින් අමුත්තා ඇමතුවේ ය.
“කෝ ප්‍රියංවදා……?”
“එයාට නියුමෝනියාව හැදුණා. කොච්චර වෙදකම් කළත් බේර ගන්න බැරි වුණා. දැන් අවුරුද්දකටත් වැඩී.”
“තාත්තෙ අල….” කුඩා අමුත්තා අත දිගු කර පෙන්වූයේ මාගේ මිතුරු වලි කුකුළා යි. හනික ගෙට දිවූ මම හාල් අහුරක් ගෙනවිත් ඒ දෙසට වීසි කළෙමි. ඒ සමඟ ම පුංචි අමුත්තාගේ මුවෙහි පිපුණේ විසල් සිනහ මලකි. ඔහු තාත්තාගේ අතෙහි වෙළී පැද්දෙමින් ඒ දෙස බලමින් සිනහසුණි. මගේ සිත අඳුරකින් වෙළී ගියේ මට තාත්තා කෙනෙකු නොමැති බැව් සිහි වීමෙන්.
“පියල් ගෙට ඇවිත් වාඩි වෙන්න” අම්මා කතා කළා ය. පිළිතුරක් නොදුන් අමුත්තා මවෙතට සිනහවක් විසි කරමින් ම කුඩා මල්ලක් මවෙත දිගු කළේ ය. මා බැලුවේ අම්මා දෙසයි.
“ගන්න පුතේ….. මේ ඔයාගෙ තාත්තා” අම්මා එලෙස පවසමින් ගෙතුළට ගියා ය. මා සිටියේ අතරමං වී ය. මා සිව් හැවිරිදි වියෙන් පසු නුදුටු තාත්තා පැමිණ ඇත. මා සිහින දුටුවේ ඔහු එන තුරා ය. ඉතින් ඔහු පැමිණ ඇත. ඔහු සමඟ ඉන්නා පුංචි අමුත්තා..? මා හනික ගෙට දිවූයේ යමක් සිහිපත් වීමෙන්.
ඉස්තෝප්පුවේ ඇති රට අඹ ලෑලි ඇඳෙහි ඇති දියාරු වූ පැදුර හකුළා දමා අම්මා බිත්ති මුල්ලකට වීසි කළ දම් හා කොළ පැහැ රටා වැටුණු පඬු පැහැ පන් පැදුර ඇඳ මත දිග හැරියෙමි.
ඉතින් මා සිහින සැබෑ කරමින් සිව් වසරකට පසු අළුත් නෑයින් පැමිණ ඇත.