Lost Her
මල්කි කරවිට
“පිපිරී ගිය සිතිවිල්ලක් හේතුවෙන්, සිහින කෝටියක් මරුට…!”
වැල් අකුරින් ඔහේ ඕනාවට එපාවට ලියූ කඩදාසි කැබැල්ල බිමට වැටෙන තුරු මම ඔහේ ඩයරිය පෙරලගෙන ගියෙමි… මොකක්ද වුණේ? මොකක්ද කරන්නේ? මොකක් වේවිද?… ප්‍රශ්න කොටියක් ඔලුව ඇතුලෙ ඩෙඟා නටද්දි මම ඩයරිය අල්ලා ඇඳට විසි කර, කකුල පාමුල වැටුණු පොඩි පට්ටම් වූ කඩදාසි කැබැල්ල අහුලාගෙන දිග හැරියෙමි.
“පිපිරී ගිය සිතිවිල්ලක් හේතුවෙන්, සිහින කෝටියක් මරුට…!”
මොන අන්ඩර දෙමලයක්ද… හිස් ඩයරියක්! හිස් මේසයක්! හිස් පුටුවක්! තනිකර ම කළුම කළු ජීවිතයක්!
හිඳ වුන් පුටුව පසෙකට තල්ලු කල මා කාමරයේ දොර වසා දමා පහලට දිව ආවෙමි.
“එයා මෙහෙ නෑ…” මම කාරය ලඟ සිටගෙන සිටි මිතුරාට කෙඳිරුවෙමි.
“ඒකනේ මම කලින්ම කීවෙ ඔය දැරිවි මාසෙකින් ඉතර මේ පැත්ත පලාතක ආවෙ නෑ…” මාගේ කෙඳිරිල්ල නිවස අයිතිකාරියට ඇසුණේ කෙසේ දැයි යන සිතිවිල්ල මට සිතෙන්නටත් කලියෙන් ඇය මාගේ ඉදිරියේය.
“දැරිවි මොකක් හරි විසාල දෙගිඩියාවකින් උන්නේ… මම සෝදිසි කරල නොබැලුවාම නෙවෙයි. ඒත් ඉතිං නාකි මට මක්කටද අනුන්ගේ ඕපාදූප… ” ඇය එය සිතිය යුතුව තිබුණේ සෝදිසි කිරීමට පෙර වුවත්, ඇයගේ ඕපාදූපය මේ වේලාවේ මා හට ධවල මන්දිරයේ රහසක් වැනිය.
“නැන්දේ… නැන්දට මොනව හරි හිතුණද… මම අහන්නේ… නැන්දා කෝෂිලාව දැකපු අන්තිම දවස් වල…” ඕපාදූප අජීර්ණ මම ඕපාදූපයක් ඇසීම මටම අප්‍රිය වීය. නමුත් මක් කරන්නද… මා ඈ සොයා ගත යුතුමය.
“ඔය දරුවට කියන්න… හොල්මනක් වැහිල වගේ… ඔව්… කෙඳිරි ගාණවා… බඩු මුට්ටු පොලවෙ ගහනවා… හූල්ලනවා… මහා පාන්දර ජාමෙත්… ඔව්… මගෙ අම්මපා…” නැන්දාගේ බුලත් කෙල පහර මාගේ සපත්තුවේ ගැටී නොගැටී බිම පතතිත විය.
“තව!…” මාගේ ඕපාදූප පිපාසය තවමත් නොසංසිඳුණි.
“තව සමහරක් දවස් වලට යටි ගිරියෙන් කෑ මොර තියනවා… ඔව්…”
මා හරියටම හරිය. තට්ට තනියම නොදන්නා පලාතක මාගේ විගඩම් ඈ කෙසේ නම් දරාගන්නද…?
නමුත් ඈට මට කියන්නට තිබුණි…! මගෙන් අසන්නට තිබුණි… තනිව සියල්ල තීරණය කරන්නට පෙර වචනයක් හෝ කියන්නට තිබුණි. සියල්ලටම මුල ඇගේ හදිසි තීරණයි. ගිනිකූර පත්තු කරන්නටත් පෙර ඈ ගින්නේ තරම තීරණය කලාය. ඒසේ තීරණය කරන ඈ සෑම විටම නිවැරදිම වූවාය. ගැටළුව නම්, එය තීරණය කරන්නේත් ඈ මය. ඇගේ බොහෝ තර්ක ඉදිරියේ බොහෝ විට මා නිරුත්තර ය. බොහෝ විට නොව සෑම විටම ඈ ඉදිරියේ මා නිරුත්තර ය.
“මචං කෝල් එකක්…” මේ දිනවල මා දුරකථනය අතට ගන්නේද විෂඝෝර සර්පයෙකු අතට ගන්නාක් මෙනි.
“උදුල් එක පාරක් කියන්න. මට ආදරෙයිද…??” මගේ ඉහ මොල රත් වීය…
ඒ ඈ ය!
“කෝ… කෝ… කෝෂිලා… කො… කොහෙද… ඉන්නේ…?? ම… මට… කියනවා කො… කොහෙද ඉන්නේ… ඔහොම ඉන්න තැනම ඉන්න… මම… මම… මම එනවා… කොහෙවත් යන්න එපා. ප්ලීස්…”
මම කතා කලාට වඩා ගොත ගැසුවෙමි. මා කාරයට නැග්ගේ නැත. කාරයට පැන්නෙමි. රියදුරු අසුනේ උන් සහන්ට වඩා කාරය පැදවූයේ මමය. එක්වරම මෙතැනින් චුතව ගොස් ඇය ඉන්නා තැනකින් මතුවන්නට මට සිතිණි.
“කොහෙද අපි යන්නේ…” මා හොඳ සිහියට ආවේ සහන්ගේ ප්රශ්නයෙනි. “යමං” යැයි කියමින් කාරයට පැන්නද මා යා යුතු තැනක් කිව්වේ නැත. කියන්නට මා දන්නේද නැත. ඈ කීවේද නැත.
“උඹට නම් පිස්සු යකෝ…” සහන් මගේ ඇඟට පැන්නේය. මගේ අතෙහි රැඳි දුරකථන උදුරා ගත් ඔහු දෙතුන් පලකටම කතා කලේය. කෙසේ හෝ අවසානයේ, කොක්නහර ඇලපාත හන්දියට යාමට ඔහු තීරණය කළේය. මා නැවත ඈ වෙත යන්නට තීරණය කලෙමි.
ඈ කෝෂිලා ය. මට හමුවන විට ඈ විසි එක් හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් වීය. නමුත් දැන් විසි නව හැවිරිදි ඈ නීතිඥවරියකි. පලමුවෙන් ම මට ඈ හමුවුණු දිනය තවම මතකය. විශ්ව විද්‍යාල ආපනශාලාවේ දී ඇගේ හිසට මගේ වැලමිටින් ටොක්කක් ඇනුණේ නොදැනුවත්වම ය. ඈ ඒ තරමටම උසය! එදා ඈ එතැන ඩෙඟා නැටූ සැටි මට තවම මතකය. ඈ නැටුවේ එදා පමණි. එතැන් සිට ඈ ගසන සෑම බෙර පදයකටම අඩි අල්ලන්නට වූයේ මට ය. නමුත් ඒ සෑම බෙර පදයක් ම මට තවමත් ඈ තරම් ම හුරුබුහුටිය.
කාලය ගෙවී ගියේය. අප දෙදෙනා දෙසට කණ කොකා හැඬූයේ අප රැකියාවන් සඳහා ක්ෂේත්‍ර දෙකකට හැරුණු තැන සිට ය. ඇය නීතීඥවරියක ලෙසම ඉන්නට තීරණය කලා ය. එකල අං සහ කුර පමණක් අඩුව සිටි මා ඒ අඩුව පුරවා ගැනීමට රැකියාව ලෙස මාගේ පියාගේ බංකොලොත් ව්‍යාපාරයට කර ගැසුවේ ඈගේ දෙවන ඩෙඟා නැටිල්ල මැදය. එතැනද ඈ නිවැරදිය. මා නිරුත්තර ය. බංකොළොත් ව්‍යාපාරය මගේ ජීවිතයම බංකොලොත් කර දමන්නට සමත් වීය.
ඈ සිහින දකින්නියකි. මා මෙතෙක් කල් සිහින විශ්වාස නොකලෙමි. මා මාගේ ජීවිතය ඔහේ ගලා යාමට ඉඩ දෙද්දී, ඈ ඇගේ සිහිනයට පියඹන්නට තීරණය කලාය. ඈගේ ඒකායන පරමාර්ථය වූයේ විනිසුරුවරියක් වීමයි. ඈ සිහින මැව්වාය. ඈ සිහින වලට පාර කැපුවාය. රසවත් ම දෙය නම් ඇගේ ඒ සිහින අතර ඉහලින් අං සහ කුර සහිත මී හරකෙකුද සිටීමයි. ඒ මම ය. ඇගේ සිහින වල උඩින් ම සිටියේ මම ය. ඈට කෙතරම් මා වැදගත් වූවාද කියතොත්, වරක් ඈ මා නිසා ඇගේ ජීවිත කතාවම කණපිට පෙරලාගන්නට සිතුවා ය. මා විනිසුරුවරියකට කැමති වූයේ නැත. ඔවුන්ගේ විශ්ලේෂණයන් සහ තීරණ ගන්නා ඉක්මණ මට ඇල්ලුවේම නැත. විනිසුරු වීමටත් පෙර ඇය මෙසේ නම් පසුව මා හට එල්ලී සිටීමට බාල්කයක් සොයාගත යුතු විය. ඇයට නීතීඥ වෘත්තියේම රැඳී සිටීමට මා යෝජනා කල දිනයේ ඈ දහ අට සන්නියම නැටුවා ය. පිලිවෙලින් ඈ බැන්නාය… බනිමින් හීල්ලුවාය… හූල්ලමින් ඇඬුවා ය… අඬමින් නැවත බැන්නා ය… අවසානයේ එක් දහස් නවසිය අනූ නව වන වතාවටත් ඈ මා සමඟ සම්බන්ධය නතර කර යලි කිසිදිනක හමුනොවනවා යැයි පොලවේ පස් කකා දිව්රමින් යන්නට ගියා ය. නමුත් මා සිනාසුණා පමණි!…
එවර මා නිවැරදි ය!
පහුවදා උදෑසන මාගේ මේසය මත බූන්දි පාර්සලයක් සමඟ වැල් අකුරින් හැඩ දමා ලියූ කඩදාසියක් වීය. කඩදාසිය කියවීමටත් පෙර මා සිනාසුණෙමි. එක් අතකට ඈ පව් ය. උපන් දා සිට ඇගේ කියන්නට කවුරුවත් නොසිටි ඈට මා අහිමි කර ගන්නට සිත් නොවීය. ඈට සිටියේ මා පමණි. නිදි මරගාතේ වෙරි වැටුණු කබරගොයෙකු මෙන් මා කඩදාසිය විවර කලේ බූන්දි අහුරක් ද කටේ ඔබා ගනිමිනි. කියවූවා පමණි. බූන්දි අහුර මාගේ කුඩා මොලයටම වැදුණි.
” මට දුකයි. ඒත් කමක් නෑ… මම අලුත් ජොබ් එකෙන් අයින් වුණා… හවසට මම බෝඩිමෙන් එනවා… දැං හරිනේ… දැං මට ආදරෙයි නේද… තරහා වෙන්න එපා…”
මා ඊයේ පැවසූ දේ කෙතරම් නිර්ලජ්ජිත ද යන්න මට වැටහීමට බූන්ද අහුරක් කුඩා මොලයට වදිනකල් ම සිටීමට සිදුවිය. මම වහා කමිසයක් දමාගෙන පාරට දිව්වෙමි. මා දත් මැද්දා ද කියා මට මතකත් නැත. “දැං මට ආදරෙයි නේද…” සිය දහස් වතාවක් ආදරෙයි කිව්වද ඇයට මදි ය. ඈ එකම දේ අසන්නී ය.
එකාතකට ඈට පිස්සු ය. මා වැනි කබරගොයෙකු වෙනුවෙන් ඇගේ සිහිනයක් පැය කිහිපයකින් මරා දමන්නට තරම් ඈට පිස්සු ය. ඒත් ඈ මට පණ වුවත් දෙන්නට තරම් බව දන්නා මට ඇගේ පිස්සුව ඉස්තරම්ම වීය.
එකවර ම මාගේ දුරකථනය නාද වීම නිසා මම ඇගෙන් මිදී වර්තමානයට පැමිණියෙමි.
“හෙ..හෙලෝ…”
” හෙලෝ… මේ ෆෝන් එකේ අයිතිකාර ගෑණු ලමයාව දන්න කෙනෙක් ද කතා කරන්නේ…” මගේ සියොලඟ ම දහඩියෙන් තෙත් වීය.
“ඕ…ඕ…ඕඕ…ඕව්…ඔව්…”
” මේ දැරිවි මේ කොක්නහර ඇලට පැන්නානේ… අපි දැං මේ ඉස්පිරිතාලේට අරං යන ගමන්…” මට ඇහුණේ එපමණකි!… මට දැනුණේ සහන් කෑ ගසමින් මගේ අතින් දුරකථනය උදුරාගන්නවා පමණි. තප්පර කිහිපයකට කන් අඟුලු වැටී දෑස් නිලංකාර වී මාගේ ආත්මය මගේ සිරුරෙන් වෙන්ව යනවා මට දැනුණි.
ඊළඟ මොහොතේ මා සිටියේ කොක්නහර මහ රෝහලේ පුටුවක් මත හතර ගාතින් ය! කාගේ කවුරුන් දැයි අඳුනාගත නොහැකි එක එකා මා අසලින් එහාට මෙහාට දුවනවා පෙනිණි. මා දෙපයින් සිට ගැන්මට උත්සහ කලද මා පාවෙනවාක් මෙන් දැනුණි… පාවෙලා හෝ බඩගා හෝ මා හට කෝෂිලා ලඟට යාමට උවමනා වීය. නමුත් ඈ කොහිද…???
මා වෙරි වූ කබරගොයකු මෙන් බිත්තියක් අල්ලාගෙන ඉදිරියට ඇදුනෙමි. මට මතක් වූයේ, ඈ බැලීමට මා පලමු වරට ඈ රාජකාරි කල උසාවිය ලඟට ගිය දිනයයි. එදින මා ඈ සොයමින් උසාවිය ලඟ සෙනඟ අතරින් බෙල්ල දික් කරමින් කොට කරමින් ඉදිරියට ඇදුණේ සියක්කාරයකු මෙනි. නමුත්, එදින මා හට මෙතරම් වේලා බලා සිටින්නට නොවීය. තැනින් තැන කළු පැහැ ඉරි වැටුණු සාරියකින් සැරසී, ඇගේ උසටම සරිලන උල් සෙරෙප්පු පැලඳ, නිල් පැහැයට හුරු තද කළු කොණ්ඩය කට්ටකින් පසුපසට සිර කර සිටි හුරුබුහුටි ඈ මා ඉදිරියට දුවවිත් මාගේ දකුණතෙහි එල්ලුණු සැටි මා හට මැවී පෙනෙන්නට වීය. මා අඬනවා ද!? නෑ… මා අඬන්නේ නැත. පිරිමින්ට අඬන්නට තහනම් ය. සහරා කාන්තාරයට ඇද වැටුණු වැස්සක් මෙන් දින තුනකින් පමණ නොසේදූ මුහුණ පුරා ඇද වැටුණු කඳූලු පිටි අල්ලෙන් පිහිදා ගත් මා කාටත් නොපෙනෙන්නට, බිත්තියක් අයිනේ හිටගෙන සිටි සහන් ළඟට දිව ගියෙමි.
“මචං!”
” කෝ බං කෝෂිලා…” මම ඇහුවේ එපමණකි. මා ඇඬුවා නොවේ. වල් ඌරකු මෙන් සහන්ගේ ඇඟේ එල්ලී හීල්ලුවෙමි.
“මේ… අහපංකො…” සහන් මා සනසන්නට වෑයම් කලේ තම තෙවන දරුවා නලවන පියෙකු මෙනි.
“මට කෝෂිලාව බලන්න ඕන…”
“පොඩි සර්ජරි එකකට ගත්තා කියල ඩොක්ටර් කිව්වෙ… හිටපංකො ඔහොම…”
“සර්ජරි මොකටද…?” මා කතා කලා නොව කෑ ගැසුවෙමි.
“උඹේ හපන්කම් නිසා…” සහන් මගේ කනට කොඳුරා ඔහුගේ නලල අතගාමින් පසකට වීය.
එක්වරම කීන් ශබ්දයෙන් දොරක් අරිමින් එකවර පහක් හයක් පමණ එලියට ගියහ. මමද දොර ලඟට දිව ගියෙමි. සහන් ද මා පසු පසින් වැටුණේ ය.
“ඔයා ද ගඟට පැනලා ගෙනාපු පේෂන්ට්ගෙ හස්බන්ඩ්…” මම අන්දුන් කුන්දුන් වුවෙමි.
“ආහ්… ඔ… ඔව්… ඒත්… තාම බැඳලා නෑ…”
“බැඳලා නෑ…? ආහ්.. කමක් නෑ… අපි උපරිම ට්‍රයි කලා… සොරි අපිට අම්මායි දරුවයි දෙන්නවම බේරගන්න බැරි වුණා…” මගේ ඉහ මොල රත් වීය…
“අම්මායි! දරුවයි!????” දෙවන වරට ද සිහිමුර්ජා වීමට ආසන්න වූ මම නැවත හොඳ සිහියට පැමිණ ඈව සොයන්නට වූවෙමි. සුදු රෙද්දකින් ආවරණය කල යමක් ට්‍රොලියක පැමිණ මා ඉදිරියෙන් නතර වීය. රෙදිකඩ ඉවත් කිරීමටවත් නොහැකි තරමට මගේ අත වෙව්ලීය. සහන් දෝතින් හෙමිහිට රෙද්ද පහත් කලේය.
ඒ ඈ ය!.
මට මාගේ පාලනය ගිලිහිණි. නිල් පැහැ වෙමන් තිබූ ඈගේ සීතල කම්මුල අල්ලාගෙන මා කොපමණ වෙලාවක් සිටියේ දැයි මම නොදනිමි. ඈ මට යමක් පවසන්නට උත්සාහ ගත්තා මට මතක් වීය. ඈට මේ අපරාධය කලේ කවුරුන් ද…?
නීතීඥ සොයිසා!!!
“මම උඹව මරං කනවා….” මට කියවිණි. ඈගේ සිහිනයට යන්නට ඈට මටත් වඩා උපකාර කලේ ඔහු ය. නමුත් එක් වරම දිනක් ඈ සියල්ල අතහැර දමා ගෙදර දිව ආවාය. ඒ දිනවල මා සිටියේ ද ප්‍රශ්න කෝටියක් ඔලුවේ ඔතාගෙනය…
“මට ඕන්නැහැ. මට බෑ… මම ආයෙ යන්නැහැ. මම ඔයත් එක්ක ඉන්නවා…” ඇය හතර වරං ගහද්දිත් මා සිතුවේ, ඈ පෙර මෙන් සියල්ල අතහැර දමන්ට යන්නේ මා නිසා කියා ය. පහුවදා මා විසින් ම ඈ ව සොයිසා නැමැති බල්ලාගේ කාර්යාලය ඉදිරියෙන් දමා ආමි.
“මට මෙහෙ ඉන්න බයයි…” ඈ දිනකට දහ දොලොස් වතාවක් කීවා ය.
“මම දන්නවා. ඔයා මාත් එක්ක තරහට හැමදේම අත අරින්න හදන්නේ… මට මෙහෙ මොකෙක්වත් නෑ… පිලිගන්නවනම් පිලිගන්න නැත්තං… ඔයා ඔයාගෙ හීනෙට ගිහිං මිසක් ආයෙ මට කතා නොකලත් කමක් නෑ…” ඒ දිනවල කුමක් හෝ සිදු වීමක් නිසා හෝ මොකක් හෝ කොකටුවකුගේ ඕපාදූපයක් නිසා ඈ සිටියේ මා ගැන සැකයෙනි. දිනපතා බොන බෙහෙත් වේලක් මෙන් කොහේ හෝ සිටින්නියක් මා හට කසාද බන්දවා ඈ රණ්ඩු කලා ය. එබැවින් මා සිතුවේ ඈ නහයෙන් අඬන්නේ ඒ නිසා කියා ය.
“ඔයා ඔයාගෙ හීනෙට ගිහිං මිසක් ආයෙ මට කතා නොකලත් කමක් නෑ…” ඒ අප ඒ ගැන කතා කල අවසන් වචන කිහිපය වීය. එතැන් සිට ඈ මා සමඟ කතා කලේ ඉතා ම කලාතුරකින්. ඇතැම් විට දින දෙක තුනකින් ඇගෙන් ඇමතුමක් ආවේ නැත. මා සිතුවේ ද ඇයට වැඩ කියා ය. නමුත්! දින කිහිපයක් එක දිගට කතා නොකිරීම නිසා මා ඇයට කතා කරන්නට උත්සාහ කලද ඇයගෙන් ප්‍රතිචාරයක් නොමැති විය. ඈ ගැන දන්නා කෙනෙකු හේ කිසිඳු හෝඩුවාවක් නොමැති විය.
මා ඈ සොයන්නට ගත්තේ එතැන් සිටය. දුකකටත් වඩා මට ඈ ගැන තිබුණේ තරහකි. මා සිටියේ බංකොලොත් වූ ව්‍යාපාරය යාන්තමින් ගොඩට අදිමින් සිටි කාලයකය. ඈගේ මුරණ්ඩු සිතිවිලි නිසා ඈ තවමත් මා සමඟ තරහින් යැයි මා සිතුවෙමි. මා සිටි පීඩනයත් සමඟ ඈ කෙරෙහි පැවති දුක තරහක් බවට පත් වීය. නමුත් ටිකෙන් ටික ඈ සොයා ගැනීමට නොමැති වීම නිසා මා ඈ නැවතී සිටි බෝඩිමට පැමිණියෙමි. ඒ වන විට ඇය බෝඩිමටත් නොකියා එයින් ඉවත්ව ගොසිනි. ඒ සියල්ල කෙසේ වූවත් සිදුවූ දෙය මා දැනුවත් කිරීමට ඇයට තිබුණි. එසේ වූවානම් සොයිසා නමැති බල්ලා අද ජීවතුන් අතර නොමැත.
ප්රශ්නය නම්,
ඈ මට සියල්ල පැවසීමට උත්සාහ කලද මට ඒ කිසිවක් තේරුණේ නැත. ඇගෙන් සමාව ඉල්ලුවහොත් මා මේ මොහොතේ අසාධාරණය… නමුත් මා කුමක් කරන්ටද?? මා කෝෂිකාගේ සීතල සිරුර බදාගෙන වැලහින්නක් මෙන් හැඬුවෙමි.
“දෙයියනේ… මං වගේ මිනිහෙක්.” දෝතින් ම හිසට ගසා ගනිමින් මා මට ම සාප කරගත්තෙමි. ඒ අතර ඇගේ සිරුරත් මා දමා යන්නට ගියාය.
මා කුමක් කරන්නද… ? මගේ හිස දහ අතේ ය. එහාට මෙහාට ඇවිදිමින් පොර කුකුලෙකු මෙන් මා කල්පනා කලෙමි. අවසානයේ, මගේම පාලනයෙන් තොර වූ මා දෙවරක් නොසිතා ඉගිලුණේ නීතීඥ සොයිසාගේ අම්බලම වෙත ය. එය කාර්යාලයක් නොවී ය. අම්බලමක් වී ය. තමා විසින් ම තමාගේ ආදරණීය පෙම්වතිය මෙවැනි පාහරයකුගේ අම්බලමක දමා ගිය පෙම්වතෙකු කෙතරම් සිත් පීඩාවකින් තැවේද… මා මේ මොහොතේ එය අත් විඳිමින් සිටියෙමි.
විනාඩි කිහිපයකින්, සොයිසාගේ අම්බලම වෙත පැමිණි මා කාරයෙන් ඉවතට පැන උඩුමහල වෙත ඉගිලුණේ ඒ බල්ලාගේ ගෙල මාගේ දෑත් අතර රැඳවී තිබෙනවා මවා ගනිමිනි. නමුත් වෙනදාට පාළු ස්ථානයක් වූවත් අද මෙය යම් තරමක් ජනාකීර්ණ වීම මගේ හිත පසු පසට අදින්නට විය.
“මෙච්චර මොකද?” මා සෙනඟ අතරින් ඉදිරියට ඇදුණෙමි.
“ඇයි මේ අද සෙනඟ…?? ” මා ඇසුවේ මගෙන් ම වුවද පිලිතුරු දුන්නේ වෙනත් පුද්ගලයෙකි.
” සර්ව මරල දාලා කවුරුහරි අද උදේ පාන්දර…”
“කවුද…???” මා ඇසුවේ මෝඩ ප්රශ්නයකි. මැරුවෙ කවුද කියා මේ මිනිසුන් දන්නේ කෙසේද…
“අර සර් ළඟ ඉගෙන ගත්තෙ අලුත් මිස් කෙනෙක් එයා කියල තමයි පොලිසියෙන් කියන්නෙ…”
තෙවන වතාවටත් මා සිහිමුර්ජා වීමට ආසන්න වූවෙමි. අවසන් වරට සොයිසා අම්බලම දෙස එක් වරක් බලා මා ආපසු හැරුණෙමි.
“හීනෙට නොගියට කමක් නෑ… මගෙ ළඟට ඇවිත් ඉන්න…” මට ඕන වුණේ එකම එක වතාවක් කෝෂිලාව බදාගැනීමට පමණි. නිවාඩුවට ගෙදර ආ වෙලාවක, ඇගේ දෑතට තුරුලු වී පූස් පැටියෙක් මෙන් ගුලි වීමට මට අවැසි වුණි… ඒත්!
මම ඇඩුවෙමි. කාරයට පැමිණ මහා හයියෙන් ඇඬුවෙමි. මේ බිත්ති අතර ඈ කෙතරම් අඬන්නට ඇත්ද… කෙතරම් බයේ ඉඳින්නට ඇත් ද… ඈ ජීවත් වන්නට මේ බිත්ති අතර තනිව කෙතරම් පොර බදන්නට ඇත් ද… ඈ හිස් ඩයරියක් නොවීය. ඈට කියන්නට බොහො දෑ තිබුණු නමුත් ඒවා අසන්නට මා ඈ ළඟ සිටියේ නැත. නමුත් ඈ කෙතරම් ශක්තිමත්ද… අවසානයේ ඈ තනිව ඇගේ පලිය ගත්තාය. ඈගේ කඳුලු පිරි අහිංසක මූණ මා ඉදිරියේ හොල්මන් කරන්නට වීය.
“කෝෂිලා……………..” මා කෑ මොර තිබ්බෙමි.
නිර්ලජ්ජිත පෙම්වතෙකුගේ හැඟීම් ගොන්නකින් මගේ හිස පුපුරායන්නට මෙන් පිරෙන්නට වීය. මා වෙනුවෙන් පණ දෙන්නට සිටි ඈගේ පණ බේරා ගැනීමට මට නොහැකි විය. මා අසාර්ථක ය. සිය දහස් වතාවක් ආදරෙයි කියූව ද ඈ මට කල තරම් මා ඈට ආදරේ කලේ ද යන ප්රශ්නය ඈටත් තිබෙන්නට ඇත.
“මම ඔයාට ආදරෙයි…” අවසන් වතාවටත් කෑ ගැසූ මට අතට හසු වූයේ ආසන පටිය පමණි!…
පිපිරී ගිය සිතිවිල්ලක් හේතුවෙන්, සිහින කෝටියක් මරුට…!!!!!!!