හිමි අහිමි වූ සිහින ඵල
සිහාරා රත්නායක
අපි සිහින එක්කම ජීවත් වෙන මහා අමුතුම ජීවී කොට්ඨාසයක්. සිහින දකින්නට සිහින යළි යළිත් ආවර්ජනයට සිහින සැබෑ කරගන්නට වෙර දරන හරි අපූරු ජීවී කොට්ඨාසයක්. හැමෝම වාගේම මාද සිහින දකින්නට අසා කළ අතර එය සැබෑ කර ගැනීම වෙනුවෙන් “ඕනිම මගුලක් ” කරන ආකාරයේ පුද්ගලයෙක් විය. මාගේ සිහිනය,මාගේ ජිවිතයේ අරමුණ මා ජිවත් කළේය
කුඩා කාලයේ සිටම ලිවීමේ අසාමාන්‍ය වූ හැකියාවත් සමඟ චිත්‍රපට තිර පිටපත් රචකයෙකු වීමේ “උණක් “හට ගත්තේද මට වයස එකොළහ දොළහ දී සිටමයි. දිනක මහා සෙනගක් ඉදිරියේ දැවැන්ත වේදිකාවක මාගේ කුළුදුල් නිර්මාණය එළි දැක්වීමේ උළෙල මා සිහිනෙන් ද සබවින්ද මනසේ චිත්රනය කර ගත්තේය. තම පුත්තු දොස්තරවරු ඉංජිනේරුවරු කරවීමේ මහා තරඟයක නිරත වූ දෙමව්පියන් අතරේ, මාගේ හැකියාවත් මාගේ සිහිනයත් කුඩා කළ සිටම අවබෝධකරගත් දෙමව්පියන් සිටීම මට මහත් වූ අස්වැසිල්ලක් හා ආශිර්වාදයක්ම විය. නිතර නිතර පාහේ චිත්‍රපට නැරඹීමට පවා ඔවුන් මා කැටුව ගියේ ඒ තුලින් මට පුළුල් අවබෝධයක් හා දැනුමක් ලැබේ යැයි අපේක්ෂාවෙනි.
කලා විෂය ධාරාවෙන් උසස් ඇති උසස් ලෙස සමත්වී රජයේ විශ්ව විද්‍යාලයකින් පළමු පෙළ උපාධියක් ලබා ගැනීමේ කල පරිච්චේදය තුළ මා ගැඹුරු ලෙස චිත්‍රපට තිරපිට පත් රචනය පිළිබඳව වැඩසටහන් වලට සහභාගී වෙමින් ස්වයං අධ්‍යන කටයුතු වලද නිරත විය. මට මාගේ ලෝකයේ තනිවී කිරීමට මාගේ නිවසේ මාගේ නිදන කාමරයට අමතරව සුවිශේෂී වූ කුඩා කුටියක් විය. නංගි මෙය හැඳින්වුයේ “ගුහාව ” යන අන්වර්ථ නාමයෙනි. ගුහාව තුලට වී පැය ගණන් ගත කිරීමට හුරු වූ මා පැය ගණන් දවස් ගණන් දක්වා දීර්ඝ කර ගත්තේය. දවස් ගණනකට පසු ගුහාවෙන් එලියට එන මට දැනෙන්නේ පෘතුවියට ගොඩ වැදුණු අඟහරු ජීවියෙකු ලෙසටය.
මා පවුලේ අයගෙන් නෑ හිත මිතුරන්ගෙන් ඈත් වී සමාජ ඇසුරකින් තොරව ගත කරන ජීවිතය ගැන තාත්තා මුලින්ම සිය අප්‍රසාදය පළ කළේය. ඉන්පසු අම්මත් “ගෙදර කවුරුත් මළත් මූ නම් දැනගන්න එකක් නැහැ , නංගිත් “මෙයාට දැන් අපිව මතක නැහැ ” ලෙස නෝක්කාඩු කතා කියන්නට විය. මුලදී මාගේ සිහිනයට පොහොර දැමු සියල්ල මට දැන් පෙනේනේ මාගේ සිහිය කාබාසිනියා කරන්නට පැමිණි බාධක ලෙසටය. විශ්ව විද්‍යාල කාලය තුල “අමාලි ” නම් නැණවත් ගුණවත් කෙල්ලක සමඟ පටන්ගත් ප්‍රේම පලහිලව්ව මට නම් දැන් මළ ඉලව්වක් වැනිය. කොයි වෙලෙත් ” අනේ, අනික් අය ගැනත් හිතන්න, අම්මා තාත්තා එක්කත් කතා කරන්න පොඩ්ඩක් , නංගිගේ පාඩම් වැඩ වලටත් පොඩ්ඩක් ඉස්සර වගේ උදව් වෙන්න” යැයි දුන් අවවාද මට නම් ඇසුණේ මළ ලතෝනි විලසටය. පවුලේ අයගේ නෝක්කාඩු මැද්දේ මා එම ප්‍රේම සම්බන්ධය කෙලවරක් කෙරුවේ මාගේ සිහිනයට “මහා බාධක කොරල් පරයක් වූ” අමාලිව මගේ දිවියෙන් මකා දමමිනි. මාගේ යහළු මිත්‍රයන් පවා ඔවුන්ගේ අප්‍රසාදය පළ කළේ “පව් ඒ කෙල්ල, මූ වෙනුවෙන් ඒකි මොනවද නොකෙළේ” ලෙස ඇනුම්පද කියමිනි . “මගේ හීනේ තමා මගේ ජිවිතේ, මගේ හීනෙ කොහොම හරි කරගන්න ඕනි” ඕනිම දේකට ඔය ආදී වශයෙන් “හීනය “බිල්ලට දීම මාගේ පුරුද්ද විය. එකම සංගීත තැටියක් වාදනය වනවාක් සේ මගේ කටින් පිටවන “හීන” කතාව සැවොම හෙම්බත් කළේය.
සමාජ ආශ්‍රය අතිශයින් සීමා කළ මට “ගුහා” ජීවිතය අතිශයින් ප්‍රියජනක විය. මේ අතරතුර මාගේ පියා විටින් විට අසනීප වන්නට ගත් අතර, මා සිටියේ මාගේ කුළුදුල් චිත්‍රපට තිර පිටපත සම්පුර්ණ කිරීමේ අතිශයින් තීරණාත්මක මොහොතකය. අහම්බෙන් හෝ ගුහාවෙන් එළියට එන අවස්ථාවකදී, පුටුවක් මත අපහසුවෙන් ඉඳගෙන කොඳුරමින් සිටි තාත්තගේ සුවදුක් විමසීමට පවා සිහියක් මට නොමැති වුවද අසනීප මැද්දේ වුවුද “පුතේ, පළවෙනි පිටපතේ දැන් තත්වේ කොහොමද ? යැයි විමසුවේය. “අවුලක් නැහැ “කෙටියෙන්ම පිළිතුරු දුන් මා යළි “ගුහාවට” රිංගුවද මා නොදැන සිටි එකම කාරණාව වුයේ එය මාත් මගේ පියාත් අතර වන අවසාන “සංවාදය ” වන බවයි .
දින ගණනාවක් තිස්සේ නොනවත්වා වැඩ වල නිරත වූ මා ගැඹුරු නින්දකට වැටුණි. මේ අතරතුර කාමරයේ දොරට මහා හඬින් “පුතේ පුතේ ” යයි කෑ ගසමින් තඩිබාන සද්දයක් මට හීනෙන් මෙන් ඇසුණි. දොර ඇර බැලීමට තරම් වත් වුවමනාවක් නොවූ මා
මත් වූ මිනිසෙකු ලෙස යළි නින්දට වැටුණේය. නින්දෙන් අහුරුණු මට මහා මුසල හැඟීමක් ඇති විය. වත්තට පය තැබූ වහාම එහා ගෙදර ජෝසි නැන්දා හති දමමින් ‘ “යකෝ ගෙදර ඉදන් මොනාද කරන්නේ… අර මනුස්සයා ඉස්පිරිතාලේ පණ අදිනවලු, අනේ අනිච්චං උඹලා වගේ දරුවෝ තූ නොදකින් ” ලෙස ගිගුරුවේය. ඇගේ කෑ ගසිල්ලට මා යලිත් පියවි සිහියට ආ අතර මගේ කොඳු නාරටිය දිගේ සියුම් සීතලක් ගලා ගියේය. හන්දියෙන් ටුක් රථයක් ලහි ලහියේ අරගත් මා රෝහලට ඉගිල්ලුනත් ඒ වනවිටත් මා ප්‍රමාදය. අම්මාගේ හා නංගිගේ විලාප හොටු නාවර මද්දේ තාත්තා මෙලොව හැර දා සදහටම නික්ම ගොස් තිබිණි. මා දුටු අම්මාට මහත්වූ කෝපයක් ඇති විය ” අන්තිම වෙලාවේදීත් ඒ මනුස්සයා මතක් කළේ තමුන් ගැන ” තවත් මාස දෙකක් තුනක් යන තුරුම අම්මා මා සමඟ කතා කළ අවසන් වදන් කිහිපය මෙය විය.
මාගේ පියාගේ ශෝකජනක වියෝව මාගේ ජිවිතයේ පුනුරුප්පතිය වැනිය. හීනයක් වෙනුවෙන් ,හීන වෙනුවෙන් කැප වූ ප්‍රියයන් පසෙක දැමූ මට, නැවත ජීවිතය නිවැරදි ධාවන පථයට ගැනීමට එය අවස්ථාවක් විය. මාගේ ජිවිතයේ පරම පැතුම, මාගේ සිහිනය ඉටු වුවද ජිවිතයේ හිමි වූ දේට වඩා අහිමිකරගත් දෑ බොහෝය. පමා වී හෝ යථාර්තය තේරුම් ගත් මම මාගේ ප්‍රියයන් හා මාගේ සිහින සමබරව තබා ගැනීමට උගත්තෙමි . මගේ මිය ගිය පියාගේ නාමයෙන් ඔහුට උපහාර පිණිස ඔහු වෙනුවෙන් දහසක් දෙනා මද්දේ , මහා වේදිකාවක ස්තුති කතාව කරද්දී මාගේ ඇසට ඉබේම කඳුලක් නැගුණේ, පළමු පෙළ අසුනක ඔහු ආඩම්බර සිනා පාමින් අත්පොලොසන් දෙන අයුරු මනසේ චිත්රනය වූ නිසාය.