සිහින දඩයක්කාරයා
ගෙත්මා මදුරප්පෙරුම
“පරිස්සම් වෙන්න! එයාලාට ඔයා ගැන ඉව වැටිලා වගේ!” ඈතින් ළාවට ඇසුණු මිමුණුමක් එක්ක මං ඇහැරුණා.
උදේ නැගිටිනකොට දහ දොලොස් දෙනෙක්ගෙන් ගුටි කාලා වගේ ඇඟපතින් එන වේදනාවට පුරුදු වෙලා ගොඩක් කල් වුණත්, තවමත් එහෙන් මෙහෙන් ඇදුම් කන වේදනාවන් අඩුවක් නෑ.
මේ පාර දඩයමත් වෙනදාට වඩා මහා ලොකු වෙනසක් නෑ. එක ම ප්‍රශ්නේ අර අනතුරු ඇඟවීම. කවුරුවත් කොහොම ද මං ගැන දැන ගන්නේ?
සිහින දඩයක්කාරයෙක්ගේ මට්ටමට එනකොට දඩයම බොහො ම අමාරු යි.
ගොඩක් අයට අවදියෙන් ඉන්නකොට වුණත් මරණ තර්ජන. එයාලා ඒ පුරුද්දට ම සෑහෙන සටනක් දෙනවා ජීවිතේ බේර ගන්න, හීනෙන් වුණත්. ඒකෙන් අපේ වැඩ තමයි අමාරු වෙන්නේ.
එහෙමත් දවසක තමයි බොහො ම පහසු ඉලක්කයක් හම්බ වෙන්නේ.
පුරුදු කරපු මනසකට පුස්තකාලයකින්, අපිළිවෙලට ඔහේ පොත් අහුරපු පුස්තකාලයකින්, පොතක් සොයා ගන්නවා වගේ ඕනෙ ම කෙනෙකුගේ හීනයක් සොයා ගන්න පුළුවන්. ලේසිත් නෑ, හැබැයි කරන්න බැරිත් නෑ.
පුරුදු විදියට ම මම හීන පුස්තකාලයේ සැරි සරන්නට පටන් ගත්තා.
අවුරුදු දහතුනක පළපුරුද්දත්, සංවිධානයෙන් දීපු කේත, ඉඟි ඔක්කොමත් එක්ක නිවැරදි හීනය හොයා ගන්න එක එච්චර ම අමාරු වුණේ නෑ. ඒක තරමක් සැක සහිත වුණත්, ඉඳලා හිටලා පහසු ඉලක්කයක් හම්බ වෙන එකෙත් වැරැද්දක් නෑ.
ඒ හීනයේ මහා ලොකු දේවල් තිබ්බේ නෑ.
අඳුරු කාමරයක්.
කාමරය මැද තිබුණු මේසය ඇරුණා ම පේන මානයේ මොකක්වත් තිබ්බේ නෑ.
ඒ මේසය හොදට ආලෝකමත් ව තිබුණා. හැබැයි කාමරයේ ඉතුරු කොටස් නම් ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තරමට කලුවර යි.
මං අන්ධකාරයත් ආලෝකයත් අතර සීමාවේ සැඟවෙන්නට උත්සාහයක නියැළෙන ගමන් වටපිටාව වෙත නෙත් යොමු කළා.
කෙතරම් සිත එකඟ කර ගත්තත් මේ අන්ධකාරය විනිවිද දකින්න නම් බැහැ.
සිහිනයේ අයිතිකරුවාගේ සේයාවක්වත් නැහැ.
මේක උගුලක් ද?
‘පරිස්සම් වෙන්න! එයාලාට ඔයා ගැන ඉව වැටිලා වගේ!’ යි ඇසුණු අනතුරු ඇඟවීම මගේ දෙසවන් දෝංකාර දුන්නා.
එහෙම නම්, මේ මගේ අවසානය.
මම වටපිටාව ගැන අවධානය වැඩි කළා.
ඉඳිකට්ටක් වැටුණත් ඇසෙන තරම් නිහඬතාවය, කෑලි කපන්න වුණත් පුළුවන් අන්ධකාරය, මේසය උඩට යොමු වෙලා තිබුණු සුදු ආලෝකය. කිසි ම දෙයක හැලහොල්මනක් නැහැ.
මේසය උඩ කුමක් හෝ කඩදාසියක් තිබුණා.
මම මුහුණු ආවරණය හොඳින් සකසා ගෙන කඩදාසිය ඩැහැ ගැනීමට මේසය වෙත දිව ගියා, නින්ජා කෙනෙක් වගේ.
සාර්ථක ලෙස කඩදාසිය අතට හසු කර ගත් මා නැවත අන්ධකාරය කරා පලා ගියේ තවමත් මේ සිහිනය ගැන වූ සැකයෙන්.
මේ තරම් හැලහොල්මනක් නැති නිහඬ නිශ්ශබ්ද ගොදුරු හීනයක් මට හම්බ වුණා ම ද මන්දා.
මං කඩදාසිය දිහා බැලුවා.
එක පැත්තක් හිස්.
අනෙක් පස…
“මොකක්?” එහි වුයේ මගේ ඡායාරූපයක්!
එහෙම දෙයක් වෙන්නේ කොහොම ද? ඕනෑ ම මෙහෙයුමකට අපි යන්නේ අපිව අඳුර ගන්න සලකුණක්වත් ඉතුරු කරන්නේ නැතුව. මම කලු මුහුණු ආවරණයෙන් නිරාවරණය වී තිබුණු නළල පිස දා ගත්තා.
මගේ ඒ ඡායාරූපය තනි රතු විකර්ණාකාර ඉරකින් කපා දමා තිබුණා.
ගැඹුරු කටහඬකින් කළ උගුර පෑදුමකින් නිශ්ශබ්දතාවය බිම දැමුණා.
මෙතෙක් වේලා අඳුරේ තිබූ කාමරයේ කොටසක් ආලෝකමත් වෙමින් මිනිසෙකු නිරාවරණය වුණා.
ඔහු හිසේ සිට පාදාන්තය තෙක් කලු පැහැයෙන් සැරසී, දෑතට කලු දිලිසෙන අත්වැසුම් දමා ගෙන සිටියා.
ඔහු කැරකෙන පුටුව කරකවා මා දෙසට හැරුණා.
ඔහුගේ හැඩරුවේ තිබුණේ යම් කිසි හුරුපුරුදු බවක්.
හැමදාමත් වගේ මගේ මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයෙක්ගේ නමක්, ගමක්, මුහුණක් ඇතුළු කිසි ම පැහැදිලි විස්තරයක් මං ගාව තිබුණේ නෑ.
අපිට ලැබුණු එක ම දේ ඒ අදාළ පුද්ගලයාගේ හීනය සොයා ගන්න කේතයක් විතරයි. අපි අපේ ගොදුර ගැන දැන ගන්නෙත්, ගොදුර විනාශ කරලා දාන්නේත් හැම දෙයක් ම එක ම හීනයකදී.
“ඔයා කවුද?” මං කුතුහලයෙන් විමසුවා.
ඔහු කට කොණින් සිනාසුණා.
ඒ මුහුණින් කියවුණේ අනුකම්පාවක් ද?
ඔහු ටික වේලාවක් මා දෙස බලා සිටියා.
“සමාවෙන්න.” මිමිණුම් හඬකින් පැවසුවා.
ඒ අර කටහඬ!
කලින් මට අනතුරු ඇඟවූ කටහඬ.
“කවුද ඔයා? මොකක් ද මෙතන වෙන්නේ? ඇයි මගෙන් සමාව ඉල්ලන්නේ?” මං එක දිගට අසා ගෙන ගියා.
ඔහු අසුරක් ගැසුවා.
ඒත් එක්ක ම මට මගේ අතපය හොලවන්න බැරි වුණා. හරියට නිකම් බැඳලා තියලා වගේ.
මං පිස්සුවෙන් වගේ එතනින් ගැලවෙන්න උත්සාහ කළා.
බලාපොරොත්තු රහිත ව.
සෑහෙන කාලෙකින් දැනිලා නොතිබුණු හැඟීමක්, බය.
මම ගැළවෙන්න උත්සාහ කරන්න කරන්න මට දැනුණේ මාව බැඳලා තිබුණු නොපෙනෙන බැමි තව තවත් තද වෙනවා වගේ.
කලු හැඳ ගත් පුද්ගලයා කිසි ම හැඟීමක් නැති ව බලා සිටියා.
“ඇයි මේ?” මං අන්තිමේ දී හති ලමින් විමසුවා.
“ඔයාට තිබුණේ මේ හීනෙට නෑවිත් ඉන්න. විශේෂයෙන් මගේ අනතුරු ඇඟවීම ඇහුණටත් පස්සේ.”
ඔහු පුටුවෙන් නැඟිට මා අසලට ආවා.
“ඔයාගේ අනන්‍යතාව එළි වෙලාලු. ඔයා දන්නවානේ ඒ කියන්නේ මොකක් ද කියලා?”
මං කෙළ ගුලියක් ගිල්ලා. මගේ තොල කට අසාමාන්‍ය විදියට වේලිලා තිබුණා.
“මරණය.” මං මිමිණුවා.
ඔහු හෙමින් හිස වැනුවා.
“ඔයා දන්නවා ඒක අපි හැමෝගෙම ආරක්ෂාවට වැදගත් කියලා.”
“ආරක්ෂාවට? හහ්! එහෙම කියලා සංවිධානයෙන් කී දෙනෙක් ව විනාශ කරලා ඇත් ද?” මං ආවේගයෙන් කියා ගෙන ගියා.
“දන්නව ද? මං අපේ සංවිධානේ හිටපු හොඳ ම දඩයක්කාරයෙක්. ඒත් දැන්? එක අත්වැරැද්දක් එක්ක වල් පැළයක් වගේ උදුරලා පැත්තකට විසි වෙලා.”
“ඒක මං දන්නවා. අපි හැමෝට ම ඔය ඉරණම ම තමයි. ඒත් මට කරන්න දෙයක් නෑ.” ඔහු මිමිණුවා.
ඇත්ත.
එයා කරන්නේත් එයාට පැවරුණු මෙහෙයුමක්.
මම බිම බලා ගත්තා. “ඒක මම දන්නවා. අපි හැමෝම අසරණ යි.”
මරණයටත් වඩා දරා ගන්න අමාරු නිහඬතාවයකින් කාමරය පිරී ගියා.
“ඉක්මනට ඉවරයක් කරලා දාන්න.” කෙලින් ම ඔහුගේ දෑස් දෙස බලා පැවසූ මම ඇස් වසා ගත්තා.
සමහර විට මරණයත් එක්ක මේ හැම දෙයක් ම, සංවිධානයත් එක්ක තිබ්බ හැම සම්බන්ධයක් ම ඉවර වේවි.
“සුබ ගමන්!” ඔහු මගේ කනට කර මිමිණුවා. “නෝරා!”
‘නෝරා?’
කොහොම ද?
එයා කොහොම ද ඒ නම දැන ගත්තේ?
නෝරා කියලා මාව දැන ගෙන හිටියේ බොහො ම අතළොස්සක් විතරයි.
මැරෙන්න යන්තමට හිත හදා ගෙන හිටිය මට අන්ධ බලාපොරොත්තුවක් ඇති වුණා.
සමහර විට බේරිලා යන්න ක්‍රමයක්?
මේ හැම දේකින් ම නිදහස් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න අවස්ථාවක්?
ඔහු තම සුරත මගේ දෑස් ඉදිරියට ම ගෙනවුත් අසුරක් ගැසුවා.
දිර්ඝ හුස්මක් සමඟ මම දෑස් විවර කළා. පුරුදු නිදන කාමරය ම වුණත් අමුතු සැනසීමක්, ලොකු වෙනසක් මට දැනුණා.
ගොදුරක් පසුපස හඹා යාම වෙනුවට, ගොදුරක් වී පලා යාම පමණක් එක ම විසඳුම වූ ලෝකයක්.