ස්වප්නයක්
කවිතා එදිරිසිංහ

“තාමත් හීන බල බල නිදියන වයසක නෙවෙයි බං උඹ ඉන්නෙ”

අම්මගෙ හඬ කීප සැරයක්ම ඇහුණට පස්සෙ අන්තිමටම ඇහුණෙ ඒ වචන ටික.

ඇත්තටම මම නිදාගෙන තමයි ඉන්නෙ. ඒත් මට මොන හීන ද?

දැන් නැගිටලා වැඩට යන්න ඕනෙ.

පහළොස් දාහේ ඉන්ටර්න් පඩියට කිට මරලා වැඩට යන්න ඕනෙ.

හීල්ස්, ඔෆිස් කැෂුවල් කිට්. පුහ්! දැන් ලිප්ස්ටික් එකක්ම කීයක් ද?

ඊළඟට කුණු ගඳ ගහන ඇල අයින දිගේ දුවගෙන දුවගෙන ගිහින් 6.10 බස් එක අල්ල ගන්න ඕනෙ.

පිණි කැට දිලිහෙන මේ සුන්දර හිමිදිරියෙ කියලා ඉස්සර ප්‍රධාන රැස්වීමෙ කතාව පටන් ගත්තට මට නම් මේ හිමිදිරියෙ ඇති ලස්සනක් නෑ.

කලින් දවස පුරාවටම ලස්සන මැදුරු වගේ ගෙවල් වලින්, තට්ටු නිවාස වලින්, අපේ ගෙදර වගේ පර්චස් එකක් ඇතුලෙ මුළු ලෝකෙම හදගත්ත පෙට්ටි ගෙවල් වලින් ඇතුළු එකී නොකී හැම ගෙදරකින්ම එළියට දාපු දුක්ඛ දෝමනස්සයන්, සතුටු කඳුළු, කුණු ගොඩවල් හැම එකක්ම කපුටු රෑන් රෑන් හරි සතුටින් ගෙනියන හිමිදිරියක් ඒක.

පැයක් විතර කොට කොට යන්න බස් එකේ එල්ලෙනකන් බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්න නොවෙන දවසක් ගැන හීනයක් නම් මට තිබුණා.

“ඔපීසියෙ නැද්ද ඉලන්දාරි?” තාම අම්මවත් අහලා නැතුවට මාර්තා නැන්දා හැමදාම වැටෙන් එබිලා ඒක අහද්දි බස් එන්ජිම මට හයි කරගෙන දුවගෙන යන්න හිතුණ දවස් අනන්තයි.

“ඔපීසියෙ ඉලන්දාරියෙක් වත්තට ගෙනාපු දවසට මගෙ කසාදෙට සියළු දෙවි රැකවරණයි.  හහ්”

මාර්තා නැන්දාට තැනක් නොතැනක් නෑ. කල වයස හරි නම්, මගතොටේදි පොඩි හිනාවක් හරි දැම්මා නම්, එකෙක් කොල්ලෙක් අනිකා කෙල්ලෙක් නම්, කතා දෙකක් නෑ. ඒ ජෝඩුවක් තමයි.  දැන් දැන් මගුල් ජෝඩු කරන්න ලිංග

බේදේවත් බලන්නෙ නෑ කියලා අම්මා මේ ලඟකදිත් බැන්නා.

පව්. එයා තාම බැඳලා නෑ.

බස් එක කොට කොට යන එකත් එක අතකට හොඳක්. නැත්තන් 7.32 කෝච්චිය 8.00 ට විතර ඉස්ටේසමට  එනකන් එතනත් හිටගෙන ඉන්න ඕනෙ.  එතනින් එහා මගෙ ලෝකෙ වෙනස්.

මෙතැන් පටන් මම “සප්නියො, සප්නි කෙල්ල, මැගියාගෙ දුව” නෙවෙයි. සප්නියා ස්වප්නා මිස් වෙන්නෙ මේ දුම්රිය වේදිකාවට නැගපු තැන ඉඳලා.

“ගුඩ් මෝනිං මිස් ස්වප්නා. Congratulations!”  වෙරෝනිකාගෙ හීනි හඬ කන ළඟින්ම ඇහුණා.

වෙරෝනිකයි මමයි ඉස්කෝලෙ ගියෙ එකට. සමහර දවසට පාඩම් කරන්න මම වෙරෝනිකාගෙ ගෙදර ඇවිත් තියෙනවා. මුහුද අයිනෙ, ගල් ගොඩක් උඩ ඉඳගෙන මුහුදු  හුළං වැදි වැදි අපි දෙන්නා පාඩම් කළා.

ඒ කාලේ ඉදලාම වෙරෝනිකා කිට්ටුවෙන් ඇසුරු කරේ මාව විතරයි.  එක අතක් කොට වෙරෝනිකාගෙ අම්මා ඒ අත් කොටෙන් කෑලි රෙදි මහලා වික්කා.

“ගුඩ් මෝනිං. ඒත් ඇයි සුභ පැතුම්” ඇත්තටම මට ආවෙ කුතුහලයක්.

“ඔහ්. තාම දන්නෙ නෑ…?” වෙරෝනිකාටත් තියෙන්නෙ පුදුම කොමලයක්.

“නැති නිසානෙ අහන්නෙ?” කොච්චර කේන්ති ගියත් මට වෙරෝනිකාගෙ හිත රිදන්න හිතිලා නෑ. වෙරෝනිකා හරි අහිංසක චරිතයක්.

එයාගෙයි මගෙයි වෙනසකට තිබුණෙ එක දෙයයි.  මම මට ඇති නැති දේ ගැන ලෝකෙට කියන්න ගියෙ නෑ. අදටත් කවුරුවත් මගෙන් ඉන්න තැනක් ගැනවත් අහලා නෑ.

ඒත් වෙරෝනිකා මුහුද අයිනෙ තියෙන අපේ වගේම චූටි ගෙදරක හිටියත් රටට ලෝකෙට එයාගෙ ගේ දොර ගැන කිව්වෙ වෙනම කතාවක්.

අනේ කවදාම හරි දවසක වෙරෝනිකා ඒ කියන බීච් විලා එක, ඇත්තටම හදා ගන්න එයාට පුලුවන් වෙන්න ඕනෙ.

“අද ඔෆිස් ගිහින්ම බලන්නකෝ…” වෙරෝනිකාගෙ තද රතු පාට ගාපු තොල් දෙක උල් වෙනකන්ම එයා වාක්‍යයේ අන්තිම හරිය ඇද්දා. 

“වඩේ, වඩේ, වඩේ”  ඒ නම් ඇත්තටම අබ්බගාතයෙක් වගේ.

සයිමන් අංකල් දැක්කා නම් අනිත් අතත් කඩනවා.

සයිමන් හිතාගෙන ඉන්නෙ කෝච්චිය එයාගේ දේපලක් කියලා.

හිර වෙලා, තැලිලා පොඩි වෙලා යන මේ ගමන. කවදා ඉවර වුනත් ඒ වෙනකන් වෙරෝනිකා මගෙ ලඟ ඉඳියි.

කොහොම හරි උදෙන්ම පොල් කටු ඉස්තිරික්කෙන් මැද ගත්ත මගෙ පඩියටත් වඩා වටින ඇඳුම් ටික තලා ගන්නෙ නැතුව වැඩට ආපු එකත් ලොකු ජයග්‍රහණයක්.

“Congratulations”  ඒ පාර ඔෆිස් එකේ අනිත් කට්ටියත් කියනවා.

“Thank you. ඒත් ඇයි?”

“ඔයාගෙ project එක select වෙලා”  සහන්‍යා කියන්නෙ ඇත්තටම සතුටින්.

“ඕවා type කරන තරම් ලේසි නෑ කරද්දි. දැන් ඉතිං හොඳ artist  කෙනෙක් හොයා ගන්න වෙයි.”  මිසිස් වලිසුන්දර එහෙමයි කිව්වෙ. 

“මේකිගෙ කට කෑවත් මදි. තුහ්” ඒ වෙරෝනිකාගෙ ස්වභාවික ස්වරය. උපරිම කේන්තියකදි ඒ ස්වරය ඇවිත් යනවා.

“ස්වප්නා ඩෝටර්, මම මේ ඔවාගෙ අම්මි වගේ නිසයි කියන්නෙ. කරන දෙයක් කල්පනාවෙන් හොඳද?” මිසිස් වලි සුන්දරගෙ කට උල් වෙනවා ඇකිලෙනවා.

“හහ්! යස අම්මි. දන්නෙ නෑ මැගියාගෙ හැටි.” මට හැම වෙලේම එහෙම කියන්නමයි හිත.

“ඕහ් මයි ගෝඩ්.! මේ වගේ ගෑණු මේ ලෝකෙන් මකන එක මගෙ හීනයක්” ඉස්කෝලෙ යන කාලෙ වෙරෝනිකාට තිබුණ ටකරං හඬ වෙනස් වුනාට ඉඳ හිටක ඒ වචන නම් ඇවිත් යනවා.

“යමුද ගමනක්” වෙරෝනිකා කනට කරලා කිව්වෙ.

“කොහේ?”

“Artist කෙනෙක් ඉන්නවා. මොකද කියන්නෙ දැන් යමුද?”

“හා”. වෙරෝනිකා එක්ක ගමන් වලට මම බය නෑ. කොහෙ ගියත් මට වරදක් වෙන්න දීලා නෑ. මේ වැඩේ කරගත්තොත් මගේ සිහින පඩිය මගෙ අතට එනවා. මගෙ සිහින නිවස ඉදි කරගෙන දෙවියනේ කියලා සැනසීමක් ලබන්න පුළුවන්.

“ටැක්සි” වෙරෝනිකා අත දැම්මා.

“මීටරේ වැඩද?” මම නිකමට ඇහුවෙ පස්සෙ ලොකු ලොකු ගණන් ඉල්ලුවොත් දෙන්න සල්ලි නැති නිසා.

වෙරෝනිකා මාව එක්කන් ගියෙ මුහුදු වෙරල පෙනි පෙනි තියෙන දෙමහල් නිවසකට.  නිවසක් කිව්වට ඒක එක උඩ එක හදපු කාමර දෙකක්.

“මිස් මායා. Meet my friend ස්වප්නා” වෙරෝනිකා හිනා වෙද්දි මායත් හිනා වුණා.

“ඔහ් හායි. Such a sweet girl!. Give me a second. මම එනකන් paintings බලන්න.” මායා ආයෙමත් ඇතුලට ගියා.

ඉස්සෙල්ලම තිබුණෙ ගැහැණියකගෙ චිත්‍රයක්.

“මාර්තා නැන්දා” මට කියවුණා.

“මාර්තා ආන්ටිත් ඔයාට කපුකම් කරන වෙලේ professional matchmaker කෙනෙක් වුණා නම් ඔහොම ඉඳියි නේද?” වෙරෝනිකාගෙ හීනි හඬ ඇහුණා.

ඇත්ත තමයි. අත් කොට හැට්ටෙට පැත්තක් උස්ස ගත්ත චීත්ත කෑල්ලක් ඇඳන් ඉන්න මාර්තායි ඔසරිය ඇඳලා අගස්ති සාලෙ දාපු මාර්තායි අතරෙ වෙනසක් තිබුණා. එයාටත් එහෙම හීනයක් තිබුණෙම නැද්ද. දවසක අහලා බලන්න ඕනෙ.

ඊලඟට අපේ පාරේ රතු පාට ලංගමේ.

 නෑ! මේ ඒක නෙවෙයි. රූට් නොම්බරේ ඒක වුණාට බස් එක නම් හරි සැප පාටයි.  තටු දාලා තියෙන්නෙ දෙව් ලොව යනවා කියන්නද වේගෙන් යනවා කියන්නද දන්නෙ නෑ.

“ ආ මේ කෝච්චිය! අම්මෝ. හැමෝටම සීට් හම්බෙලා. හීනයක් තමයි.”

“හහ්. මිසිස් වලි සුන්දර!! කට නිකං ගිනි කන්දක් වගේ”  ඒක නම් ඇත්ත හැබැයි.

ඊ ලඟ චිත්‍රෙ. ඒ  මම.  ඔව්. මගෙ තෙල් නොගා දුඹුරු වුණ කොණ්ඩෙ. නලලෙ අයිනෙ උපන් ලපේ. ආයෙ කතා දෙකක් නෑ. මේ ඉන්නෙ මම. මම ඉන්නෙ කාර් එකකට හේත්තු වෙලා. පිටිපස්සෙ ලස්සන ගෙයක්. අපේ පවුලෙ හැමෝම ඉන්නවා.

පොඩි කාලෙම මාව තනි කරලා හිරේ ගිය තාත්තා. ඔව්. එයත් ඉන්නවා. “වනාත වත්තෙ චන්දරේ.”

මටත් මේ රූපෙ මතක යන්තමට. මායා කොහොමද මේවා දන්නෙ.?

හැබැයි මේ චිත්‍ර වල තියෙන්නෙ කාගෙ කාගෙත් හීන. මේ අපේ හීන. මායා මිස් නම් මායාවක්! මට හිතුණා.

මායා මිස්ව හරි ආදරෙන් වැලඳගන්න මට හිතුනා.

“සප්නො..  ආයෙ කියන්නෙ නෑ. ඔහොම බුදියල මේ රස්සාවත් නැති වුනොත් උඹ ආයෙ මේ වත්තෙ පස් පාගන්න එපා”  අම්මාගෙ සද්දෙ කන අස්සෙන්ම ඇහුණා.

ඒ පාර නම් මට හරියටම ඇහැරුණා.

READ THE
NEXT STORY > >