සඳ නොමැති අමාවක
ඔමේෂා රත්නායක

රැහැයියන්ගේ මූසල වීණා වැයුම අතරතුර මතක නිදිමරද්දී ලන්තෑරුමේ ලා ආලෝක එලියෙන් මා සඳ පායා ඇති දැයි විපරම් කලෙමි.

ඔව් අදත් අමාවක දිනක්,
නොදැනුවත්වම මා මුවින් පිට වූයේ බරැති සුසුම් හඩකි.

අහසම එලිය කරන්න දඟලන දීප්තිමත්ව නිවි නිවී දැල්වෙන තරුවක්,
උඹ තාමත් මට කොලොප්පම් කරනවාද ??

ඒත් උඹ දන් නෑ හඳට තියෙනවා පුරසඳ දවස් තරුවල පාලු මකන ,
නමුත් ඉර හැමදාමත් කරේ ඉල්ලුවත් නැතත් වැඩි වැඩියෙන් එලිය දුන්න එක. ඒකයි උඹ ඉර අහසටම තනි කලේ.

“ අම්මේ… මොකද මෙතන. එයා අද එනවා කිව්වද අපිව බලල යන්න. ? ”

කෙටි නින්දක සිටි දූ ඇස් පොඩි කරමින් මා ලමැදට පැන්නේ හා පැටවෙකු මෙනි.

“අනේ නෑ රත්තරනේ. අම්මා මේ දොරවල් සේරම අගුලු දාලද කියල විපරම් කරල බැලූවේ. සතා සර්පයාගෙන් බේරෙන්න එපැයි අපි සේරටම කලියෙන්.”

පිරිමි විලවුන් සුවදින් පෙගී ගිය කොටු කොටු අත් දිග ගෙවුනු කමිසය දෙදෙනාගේම ගත වැහෙන්නට පොරවාගත් මා දියණිය කිටි කිටියේ මා ලැමැදට ම තද කර ගුලි කර ගත්තේ ඈ මගෙන් ඈතට දුව යයි දැයි ඇති වූ ගැස්ම නවතා දැමීමට මෙනි.

සැමදා මෙන් ම අදත් පිරිමි උරහිස් රෑ පුරාම තෙමිණි.

නින්ද කෙසේ ගත ආක්‍රමණය කලා දැයි මා සිතන්න වූයේ ලෑලි දොරට මහ හඩින් තඩිබාන සීලාවත’ අක්කාගේ කෑමොර දීමත් සමගිනි.

හැද වුන් ඉරී ගිය ගවුම උඩින්ම පෙරදා සෝදා කාමරයේ මුල්ලකට වෙන්න වේලෙන්න දැමූ චීත්තය ඇදගත් මා කඩා හැලුනු කොන්ඩය ගෙල මුල බැඳගත්තේ තවමත් නින්දේ පසුවන දියණියගේ නළලත හාදු තවරමිනි.
ඈ ඔහුගේම කපාපු පලුවකි. වළ ගැසුනු කම්මුල් පෙන්වමින් සිනහසෙන ඈ මොනවදෝ හිමි හිමින් මුමුණයි. සැමදින මෙන් ම අදත් ඔහු ඇගේ සිහින සොරකම් කරන්නට ඇත. මාගේ මුවේ ඇදුනේ අසරණ සිනහවකි.

“මොකෝ බන් මේ දොර අරින්න මෙච්චර පරක්කු. මන් ඒත් බැලුව උඹ අදවත් වැඩට ගොහිල්ලද කියල.”

“අනේ නෑ සීලක්කේ පොඩ්ඩක් වැඩිපුර නින්ද ගියා. එන්න ගෙට.”

“දැන්වත් ඔය රෑ තිස්සේ හූල්ලන එක නවත්තපන් , බලපන් ඔය ඇස් ගෙඩි දෙකේ හැටි.

“මටද ඔය සුදුළූනු පොඩි කරන්නේ බන්. දවස් කීයක් වැඩට ආවෙත් නැද්ද උඹ. ලොකු මහත්තයත් කීප වතාවක්ම මගෙන් ඇහුව උඹ ගැන. මන් ඒකයි මේ කුකුලත් අතින් අරන් ම මෙහෙට්ට ගොඩ වුනේ.”

කමින් සිටි බුලත් පහරක් මිදුලේ කොනකින් ගසා ඉතිරි බුලත් පත හැට්ට රෙද්දේ ගසා ගත් සීලක්කා නිවසට ගොඩ වූයේ මාගේ මුවද ගොලු කරමිනි.

“මන් ආයේ වැඩට එන් නෑ අක්කේ- මන් වෙන රස්සාවක් හොයා ගන්නයි කියල ඉන්නේ. ටවුමේ ගාමට් එකේ රස්සාවකට ගියොත් දූවත් ඒ ළඟ ටවුමේ ඉස්කෝලෙකට දාගන්න බැරි වෙන එකක් නෑ මයේ හිතේ.”

“අනේ බන් මෝඩියේ. අතට ආපු වාසනාව කටේ දාගනින් බන්. සේපාලයාට කියල මොනාද තිබ්බේ. ලොකු මහත්තයා උඹව රැජිනක් කරල බලාගනී. බලපන්කෝ උන්දැට තියෙන සේසත. වතු පිටිම කීයක් කියලද??”

“ඉන්න අක්කේ මන් තේ ඩිංගිත්තක් වක් කරන් එන්නම්.”

ඈගේ වදන් වලට තව දුරටත් හේතු සැපයීමට අපහසු මා ගොඩ වූයේ මුලුතැන්ගෙය වෙතටයි. පෙරා ගත් කහට කෝප්පයට ටින් එකේ වූ අවසාන සීනි අහුර හූරා ගත්තේ දෙනෙතින් පැනීමට දඟලන කදුලු බිදු වලට වැට කඩුලු බදිමිනි.

“ආන් මන් මෙහේ එන විත්තිය දැකල කඩේ මුදලාලි තකහනියක් දුවන් ඇවිත් උඹට ණය පොත බේරන්න කිව්ව. දැන්වත් උඹේ ඔය අහංකාරකම් පැත්තකින් තියල අර ලොකු මහත්තයා එක්ක දීග යන්න ලෑස්ති වෙයන්. උඹට ඒ හැටි වයසක් කියල ඇයි බන් මේ තනියම දුක් විදින්නේ.”

“මහත්තයා මාව භාර ගත්තට දූට කොහොම සලකයිද කියල අපිට කියන්න බෑනේ අක්කේ. පිට කවරෙන් පොත මනින්න බෑනේ. බැරිම උනොත් රට රස්සාවක් හරි හොයා ගන්නවා. මට තවත් පිරිමියෙක් විශ්වාස කරල ආයේ විදවන්න බෑ අක්කේ.”

“උඹට මාන්දමද බන්. මේ කොහෙවත් යන දරුවෙක් වෙනුවෙන් උඹේ වටිනා ජීවිතේ මරණෙට ඇදල දාගන්නේ.”

“ඒ කිරිසප්පයා නැත්තම් මන් කොහොමත් පොළොවට පස් වෙලා හුගක් කල් අක්කේ.”

වැට කඩුලු බිද දැමූ කදුලක් මා චීත්ත රෙද්දෙන් පිස දැමුවේ ඇගෙන් කදුලු සැගවීමේ බොලද උත්සහය අසාර්ථක කරමිනි.

“උඹව දරුවෙක් එක්කම දාල ගිය සේපාලයා නිසාද උඹ ඔය කදුලු වගුරන්නේ ආ. උඹ තාමත් ඒ මිනිහට ආදරේ කොරනවද බන්.”

“ආදරය වෙනුවෙන් මගේ හිතේ ඉඩක් නෑ අක්කේ තවත්. ඒත් මන් කොහොමද අක්කේ වද ගෑනි කියල ගෙදරින් පවා දොට්ට දාපු මාව බාර ගත්තු ඒ මනුස්සයාවට වෛර කරන්නේ.”

“ඌ ඔච්චර උත්තම පුරුසයා නම් උඹට තිබ්බනේ ඌව කොහොම හරි නවත්ත ගන්න.”

“මන් එයාට ආදරේ තාක්කල්ම ඇඩුව, රන්ඩු වුණා, කෑගැහුව සීලක්කේ. ඒත් මන් පස්සේ නිහඩ වුණා. ගිලෙනවා කියල දැන දැනමයි මන් මේ බෝට්ටුවට නැග්ගේ. එන්න එන්නම පතුල සීතල වුනා බර දරාගන්න බැරුව. මගේ හීනේ හැබෑ කරන්න සේපාල මට දරුවව දුන්නා. එයා කැමැත්තෙන්ම බෝට්ටුවෙන් බැස්සා. හීනෙක හිටියනම් මන් සේපාලයි දූයි තුරුලු කරන් හනික ගිලෙනවා මූද පතුලටම. ඒත් මට බෑ දැන් තනියෙන් ගිලෙන්න. මන් ගිලුනොත් මන් අසරණ වුණා වගේ තවත් ගෑනියෙක් අසරණ වෙනවා රැකවරණයක් නැතුව.”

“ඇයි බන් තාමත් උඹේ ජීවිතෙත් අනතුරේ දාන් උගේ දරුවව රකින්නේ.”

“එයාගේ පන මගේ ළඟ තියල යන්න තරම් එයා එයාටත් වඩා මේ ලෝකේ වැඩියෙන්ම විශ්වාස කරේ මාව.”

උදේ පාන්දරම මගේ එක්ක බර කතාවක ඉන්නේ හැමදාම ඈ බලාපොරොත්තුවෙන් ඉන්න රුව නොවුණු නිසා මූණ හකුලාගත් දූ එයාගේ රණවිරු අප්පච්චිගේ පින්තූරෙට දණගහලම වදිනවා මන් මගේ ඇස් කොනකින් දැක්කා.

ඔයා හීන දැක්කේ දූ රැජිනක් කරන්න. මට බයයි දූගේ හීන නිසා ඔයා හැබෑ කරපු මගේ හීනෙත් මට නැතිවෙයි කියල.

 

READ THE
NEXT STORY > >