මනෝ ව්‍යාධි
බිනදි දෙනිපිටිය

රාත්‍රී එක පසු වී විනාඩි දහයකුත් ගෙවී ගොස් අවසන් ය. වාට්ටුව දෙසින් ළාවට මෙන් විටින් විට ඇසෙන වියරු වූ සිනාවන්, නොනවතින හැඬීම් ඇරෙන්නට සතර දෙසින් වට කළ මේ හිස් ඉඩ තුළට පිටත කිසිඳු ශබ්දයක් ඇසෙන්නේ නැත.

මධාරා “

අපිළිවෙළට වුව කොණ්ඩය පිටුපසට කර බැඳ, රෝස පවුඩර් තට්ටු පිටින් උලාගෙන, ලේ රතු පාට තොල් සායමින් හැඩ වී සිටින ඇයව මඟහැර, ඇයගේ ඉදිරිපස සිට මදෙස බලා සිටිනා ‘Dr.Subha ‘ නම් පුවරුව දෙස බොහෝ වේලාවක් මා බලා සිටින්නට ඇත.

ඔව් ඩොක්ටර් “

අමාරුවෙන් වචන ගැටගසාගෙන මම ඇය දෙස බැලුවෙමි.

මොකක්ද ලෙඩේ කිව්වේ..?”

ඇය මේ ප්‍රශ්නය මගෙන් අසන කී වෙනි වතාවදැ’යි මම නොදනිමි. මෙහි ආ වේලාව පවා මගේ මතකයේ නැත. රාත්‍රී ආහාරය තබා තේ උගුරක් හෝ නොලැබීමේ සොවින් ආමාශය ද වියරු වී ඇති හැඩය. ඔය අල්ලපනල්ලේ නිවස ද මතකයට නැඟෙනු වැළැක්විය නොහැකිය.

ඊයේ රෑ දුරකථනයෙන් අමතා…, “අම්මි හෙට පන්තිකව රැස්වීම ” යැයි කියූ දුවත්, ” ඔෆිස් එකේ පාර්ටි එකක් තියෙනවා. හැමෝම එන්නේ තමන්ගේ පවුලේ අය එක්ක” කියා පල නොකියා පලා බෙදූ සැමියාත් සිහිවන විට හිතට දැනෙන පසුතැවීම, වේදනාව මේ තරම් යැයි කියා නිමකළ නොහැකිය. නැවතත් ඇගේ කට හඬ මගේ සිතිවිලි පරයා නැගෙන්නට විය.

මධාරා… ඔයා අහගෙනද ඉන්නේ..? “

ඇය මොනවා කීවාදැයි මගේ මතකයේ නැත. නමුත් ඇයට ” ඔව් ” යැයි පිළිතුරු දීමට මම කාරුණික වූයෙමි.

බෙහෙත් දෙන්නම් “ යැයි කියූ ඇය තනිවම මොන මොනවදෝ කියවමින් බෙහෙත් තුණ්ඩුවල බලි අඳිනු මට පෙනුණි.

ආ මධාරා… බොන්න…”

ඇය මවෙත පෑවේ බෙහෙත් පෙති පිරවූ බෝතලයකි. එහි බෙහෙත් පෙති පනහකට වඩා වැඩි මිසක් අඩු නැත. නමුත්… මෙතැනට මේ බෙහෙත් ආවේ කොහොම ද..? රෝහලේ බෙහෙත් තබා ඇත්තේ වෙනමම තැනක ය. එහි යාමට පවා හැකියාව ඇත්තේ අවසරලත් වෛද්‍යවරුන්ට හා හෙදියන්ට පමණි. මා මෙතැනදී හැකි තරම් සූක්ෂම විය යුතුය.

හරි ඩොක්ටර්. මං ගෙදර ගිහින් කාලා එහෙම බොන්නම්. බොහොම ස්තූතියි.”

නෑ නෑ මධාරා. මේ දැන් මේ ටික ඔක්කොම බොන්න. ඔයාට ඉක්මනටම හොඳවෙයි.”කියමින් ඇය හිඳ සිටි පුටුවෙන් නැඟිට මා ළඟට ආවාය.

ඩොක්ටර් මං ගෙදර ගිහින් බොන්නම්. මං දැන් යන්නම් ඩොක්ටර්.”

කියූ මම අසුනෙන් නැඟිට්ටෙමි. ක්‍රියාත්මක වූ ඇය මගේ නිකටින් අල්ලා ගත්තාය.

උඹ මේක බොනවද? නැද්ද? මම පොවන්නද?” කියූ ඇය තවදුරටත් ග්‍රහණය වැඩි කරමින් මගේ කට මිරිකාගත්තාය. මම ලෝගුවේ සාක්කුවට අතදමා නිර්වින්දන මාත්‍රාව සොයන්නට ගත්තේ ඔය අතරේය.

හහ්… මේක වෙන්න ඇති හොයන්නේ “

ඇය වියරු සිනහවකින් යුතුව ඇයගේ වමතෙහි රැඳි නිර්වින්දන මාත්‍රාව මට පෙනෙන සේ මගේ ඇස් මට්ටමට ගෙනාවාය. මෙය ඇය අතට පත්වූයේ කෙසේදැ’යි කියා සිතන්නටවත් මා හට කාල වේලාව නොතිබිණි. මා දුටුවේ ඈ අත ඇති සිරින්ජය මගේ උරහිස පෙදෙසට ළංවනවා පමණි.

***

ඇස් කෙවෙනි කඩාගෙන යන ආලෝකයක් එක්වරම මගේ දෑසට ඇතුළු වුණි. විනාඩි කිහිපයක් ගතවන විට සෑමදේම පැහැදිලිව මට පෙනුණි.

රෝහලකි.

ඇඳකි.

ඇඳ උඩ මම වැතිර සිටියෙමි.

යළිත් නින්දට වැටී අවදිවන විට වෛද්‍යවරයෙක් ද හෙදියක් ද මා අසල සිටියහ.

ඩොක්ටර් සහන් “

මා ඔහුව හඳුනාගෙන ඔහුව ඇමතුවෙමි.

ඩොක්ටර් මධාරා… දැන් කොහොමද ඔයාට “

දැන් සනීපයි ඩොක්ටර්. මට ගෙදර යන්න පුළුවන් ද? “

මට අවැසි වූයේ ගෙදර යන්නටය. දෝණිව තුරුලු කරගෙන සුව නින්දකට යන්නටය.

අද හවසට පුළුවන් ඩොක්ටර් මධාරා. ඊට කළින් මට ඊයේ වුණ දේ කියන්න පුළුවන්ද? “

මා සිහි මුර්ජාව සිටි කාලය ගැන දළ අදහසක් මා තුළ ඇතිවිණි. එදින වුණු සියලු දේ මා ඔහුට පැහැදිලි කර අනතුරුව මෙසේ කීවෙමි.

එයාව භාරව හිටිය වෛද්‍යවරිය මම. එයාට ඕනේ වුණේ ඩොක්ටර් වෙන්න. හැමෝවම ලෙඩ්ඩු විදියට දකින්න. මං හිතපු නැති විදියට එයා හැමදේම සැලසුම් කරලා තිබුණා. ඔව් ඩොක්ටර් සහන්. “

 ඵයාට Schizophrenia..! “

 

පසුව ලියමි.

Schizophrenia හෙවත් හින්නෝන්මාදය යනු පුද්ගලයකුගේ සිතීම, හැඟීම සහ හැසිරීම අසාමාන්‍ය වීමයි. මෙය මානසික රෝගයකි. ඔවුන්ගේ හැසිරීම විහිළු සහගත හෝ භයානක විය හැකිය. හින්නෝන්මාදය වෛද්‍ය ප්‍රතිකාරයෙන් සහ මනෝවිද්යා උපදෙස් මඟින් කළමනාකරණය කළ හැකිය.

READ THE
NEXT STORY > >