පිදුම
හේෂානී ප්රභාකුමාරි
පිදුම
අත අතනෑර සිටි ඔබට !!!
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ පොතක නමක්. අන්තිම වචන දෙක ඔහුගේ අදහසක්. එතකොට මේක ස්වාධීන නිර්මාණයක්ද ? නැද්ද ? උත්සවය ආරම්භ වන තෙක් ම සිතට නැගුණේ ඒ පැනය පමණකි.
“දැන්වත් හිතන එක නතර කරපන් ” කවුදෝ කෑ මොර දෙයි. ගින්දරට මන් බය බව දැන දැන ම පොල්තෙල් පහන පත්තු කරන්නන්ගේ නාම ලේඛනයට මගේ නම ඇතුළත් කළේ ඇත්තට ම මන් ගැන ගෞරවාන්විත හැගීමකින් ද නැත්නම් මන් බයයි කියල මතක් කරන්න ද.
” ආ…ව්…”
” පිච්චුනා නේද මිස් ” ඒ පැනය හුරු බුහුටි කුඩා දැරියකගෙනි.
” අහ්….ඉට්ස් ඕකේ. කැන් අයි ටේක් අ සිට් “
” යා…හ්…ශුවර් මෑම් “
සියලු සම්භාවනීය අමුත්තන් සිටගෙන සිටිය දී මා පමණක් අසුන් ගැනීම යුක්ති සහගත ද. ” ඔන්න ආයෙත් පටන් ගත්තා “
ඇයි දන්නෙ නෑ එහා පැත්තෙ පුටුව හිස්. එන්නෙ නැතුවැති. එක්කො නොඑන බව දන්වන්න ඕනි.
සිතුවිලිවලට විරාමයක් තබමින් මා වට පිට බැලුවේ ඒ රුව දැක ගැනීමේ අරමුණෙනි. ඔය ඉන්නෙ උජාරුවට.
” කණ්ණාඩි දැම්ම ම ඔයා හරි ලස්සනයි “
මාගේ ඒ වචන සිහිපත් වීම නිසා දෝ වෙන දා කලාතුරකින් පළදන උපැස් යුවලට අද විවේකයක් ඇත්තේ ම නැති අයුරකි. එක්කො නොබල ම ඉන්න ඕනි. නමුත් හැකි සෑම තත්පරයක දී ම නෙත් යුගලවල් එකිනෙක ගැටෙයි. දහසක් දේ හුවමාරු කර ගයි. නැවතත් කිසිවක් සිදු නොවූවා සේ රාජකාරී අරඹයි.
” ඔයා කතාවක් කරන්න එදාට “
” බෑ අනේ…. “
” හරී….පොත ගැන වචන දෙක තුනක් කියමු “
” අයියෝ…බෑ…. මන් ඇවිත් යන්න එන්නම්. “
උත්සවයට ඇවිත් යන්නට ආ මා, අමුත්තන් අතර කිටි කිටියේ තද වන සේ ඉස්සරහ ම පේළියේ ඔබ්බවා තිබුණේ ඔහුගේ කීමට ය. කුමක් කරන්න ද? අද ඔහුගේ දිනයයි.
මුද්‍රණාල සොයමින් ඇවිද ගිය අයුරු, පොත් කවරය සදහා කටු සටහන් ඇදි නිදි නැති රැයවල්, මැදියමේ කර තබා ගෙන ආ පොත් මිටි ….අයියෝ ඇතී…..
ආයෙමත් තර්ජනයක්
“නංගී….ගොඩක් වෙලාද ඇවිත්. මන් ඒත් ඊයේ සදුන්ට කිව්වා ඔයාට එන්න වෙහිකල් එකක් රෙඩි කරන්නත් කියල. ඔයාගෙ සපෝට් එක නැත්නම් මේ දේවල් හීන කෙල්ලෙ…. අයියෝ….ශිට්…. අර ගර්ල්ට ඩෙකරේශන්ස් ටික බලන්න කිව්වට හරියට බලල නෑනේ….අනේ මන් ඒක පොඩ්ඩක් බලල එන්නම් මැණිකේ….” රුහුණු කුමාරිය පැරදුණු සෙයකි. මගේ කතාවට ඉඩක් නොතබා ම ඇය හිස් වූ අසුන යලිත් හිස් කරමින් නික්මුණි.
චමරිගේ යෙහෙළිය වන්නට පළමු ව මා සදුන්ගේ යෙහෙළිය විය.
ෆ්‍රෙන්ඩ්ශිප් එකක්…බම්බුව. ඇයි නැද්ද ? විරහව, ලෝක ස්භාවය, මුහුද, සරසවි ප්‍රේමය විතරක් ද බොරු තරහවල්, රන්ඩු ඔය හැම එක ම තිබ්බ ඒ බැදීම ඇත්තට ම මොකක්ද? කියන ප්රශ්නය සදුන් ඇහුවෙත් නෑ. මන් ඇහුවෙත් නෑ. ඇහුවත් අපිට උත්තර තිබුණෙත් නෑ. මොකද ඒ වෙද්දි සදුන්ගෙ ප්‍රශ්නවලට උත්තරේ චමරී වෙච්ච නිසා.
මුරණ්ඩුකමේ අග තැන්පත් මගෙ හිත ආයෙමත් තනියෙම කියවන්න පටන් ගෙන යන වග මට තේරුණේ සදුන්ගෙ කෑ ගැසීමත් සමගයි.
” මිස්, තේ බිව්වා කියල කළු වෙන්නෙ නෑ “
සුපුරුදු පරිදි වාග් ප්රහාරයකි. නමුත් ඇස්වල ලයාන්විත බැල්මකි.
” ඔව් ඉතින්, එහෙනම් කිරි කෑව ම සුදු වෙන්න එපැයි ” මා පැවසූවේ මටම ය.
තේ පැන් සංග්‍රහය භුක්ති විදීමට මා එදෙසට පිය නගන්නට වූයේ තනිවම ය.
පොඩ්ඩක් ඉන්න. ඒ සුවද….ඔව් ඒ ඇට්ටේරියා මල් සුවද.
මාර්ගය වෙනස් කළ මා ඇවිද ගියේ සුවද පැමිණි දෙසටයි.
දෙවියනේ….ලස්සන.
මා ගත කරමින් සිටියේ උපමා රූපක අමතක වූ මොහොතක් ය.
” ඇයි මේ ඇට්ටේරියා මලක් ඇට්ටේරියා ගහක් දිහා බලන් ඉන්නෙ. “
ඇට්ටේරියා මලේ කතාව දන්නෙ සදුන් පමණකි. දරා ගත නොහැකි තැන්වල ජීවිතේ බෙදා ගත් මිතුරා ඔහු ම පමණකි.
” මට එක දෙයයි ඕනි අයියෙ. කවදා හරි තරංගගේ දරුවෙක්ගේ මූණ බලන්න. ඒ දරුවා මගේ පපුවට තුරුල් කර ගන්න. ” ඒ අතීතයේ මාත් සදුනුත් අතර වූ දෙබසකි.
” ආ….ව්….මන් කියල තියෙනවා මගේ කොණ්ඩෙන් අදින්න එපා කියලා “
” කොහෙද මිස් අතරමං වුණේ ” නැවතත් සදුන්ගේ නෝක්කාඩු ඇසෙන්නට විය.
” ඔයාගේ පොතේ පිදුම වෙනස් වෙන්න ඕනි. “
” කොහොමද “
” ඔබේ අත අතනෑර සිටි මට කියලා “
” ඔයාට මහන්සි නැද්ද අයියෙ. මන් වැටෙන හැම වෙලේ ම මාව දරා ගෙන ඉදල “
” ඔව්, හරි මහන්සියි. මන් මේ වාඩි වෙන්න පුටුවක් හොයන ගමන්. ඒ හින්දා යමු ද කට්ටිය තේ බොන පැත්තට “
කදුළු වියැළී සිනහව මතු වීමට ගියේ තත්පරයකි.
එකළ මා ඔහුගේ ඇට්ටේරියා මල. තැලි තැලී සුවද විතරක් ම දුන් මල. තැලුණු පෙතිවලින් පවා නැවත නැවතත් ඔහුව ම සනහාලීමට උත්සහ කළ ඔහුගේ ම මල. සරසවි ප්‍රේමයෙන් පරාජිත වූ පෙම්වතිය.
ආයෙත් පටන් ගත්තා…. නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ නිකන් ද. කෙල්ල ව දීග දෙන්න වැඩි කාලෙකුත් නෑ. තාම හිත තියෙන්නෙ අවුරුදු ගානකට කලින් ආදරේ කරපු කොල්ලා ගැන. කොල්ලා….දැන් නම් තාත්තෙකුත් වෙලා ඇති.
” තාත්තෙක් “
මෙතෙක් නොවූ විරූ වේදනාවක් හදවත වෙලා ගැනුණි. අකුණක් ද කුළු පහරක් ද නොදනිමි. නමුත් එය දරුණු පහරකි.
හැගුම් සියල්ල පසෙකලා මම ද අන් අය සමග සභාගත වූවෙමි.
” ආරාධිත දේශක අසිත කුමාර තරුණ මහතාට ඇරයුම් කර සිටිනවා අද කළඑළි බසින පොතේ රස මුසු තැන් බෙදා හදා ගන්නට “
” ආ….හිස් පුටුවෙ අයිතිකාරයා. “
” සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි…..”
” ඔන්න පටන් ගත්තා හෑල්ල. මොන විචාර දුන්නත් මමනෙ දන්නෙ සදුන්ගෙ කෙටි කතාවල හැංගුණු තේරුම. ඒවා දන්නවා නම්….”
“…… හරියට ඇට්ටේරියා මලක් වගේමයි. ඔබ සැවොම දන්නවා ඇට්ටේරියා මලට පෙති පහයි. සුදුයි. සරලයි. ඒත් හරි ම සුවදයි. මම අද උත්සව සභාවත් ඇට්ටේරියා මලකට සමාන කලේ ඒකයි. මගේ තාත්තා නිතර ම කියන්නෙ පුතේ උඹ ඇට්ටේරියා මලක් වගේ වෙයන් කියල. සරල වෙයන් හැබැයි සුවදත් දීපන් කියල……”
ස්පන්දය මොහොතකට නතර විය. අසිත කුමාර…. තරංග කුමාරගේ පුතු විය යුතුම ය. ඒ පිළිබද ව දන්නෙ මේ කතාව ලියූ කතුවරයා ම ය. උපැස් යුවළ පසාරු කරමින් මා දෙසට වැටී තිබූ ඒ තියුණු බැල්ම මාගේ සැකය තහවුරු කරන්නට හේතු විය. ජීවිත කාලය පුරා හද තුළ කැකෑරෙමින් තිබූ සිහිනය යථාර්තයක් කළ ඔහු වෙත ලබා දීමට මා සතුව තිබූ එක ම ත්‍යාගය සිනහව පමණි.