දුම්රියෙන් ගමට
ශාන්ත විදානපතිරණ
‘මේ සෙනසුරාදා ගෙදර යන්න ඕනි’
එදා සඳුදා දවසක්.
‘ඇයි හදිස්සියේම’
එහෙම ඇහුවේ බිරිඳ.
‘ඉරිදාට අම්මයි තාත්තයි වෙනුවෙන් දානයක් දෙනවා කියලා අය්යා කිව්වා..පුතාලටත් යන්න පුළුවන් වීක් එන්ඩ් එකේ වැඩක් නැත්තන්’
‘යමු යමු නිවාඩු කාලෙත් කොහෙවත් ගියෙත් නෑ මාත් හරි ආශයි ගම බලන්න යන්න…. ගොඩාක් කාලෙකින් ගොඩකවෙල පැත්තෙ ගියෙ නෑනෙ’
මගේ කතාව අහල එහෙම කිව්වේ දුව.
‘අම්ම මොකද කියන්නෙ යමු නේද?’
පුතා අම්මගෙන් අහනව.
වැඩියෙන්ම ගමේ යන්න ආශාව තියෙන්නෙ පුතාට. ඒ ලෙවල් විභාගෙ ඉවර වුණාට පස්සෙ මේ කොන්ක්‍රීට් වනන්තරේ කූඩු වෙලා ඉඳල එයාට එපා වෙලා ඉන්නෙ කියල ඊයෙ පෙරේදත් කියනව මට ඇහුණා.
‘මේ දවස්වල නං පළතුරුත් ඇති…..මේ පළතුරු කාලෙනෙ..තාත්තත් මාස ගානක් තිස්සෙනෙ කිය කියා ඉන්නෙ ගෙදර යන්න ඕන කියල…ඉතිං යං ….හැමදාම යන ගමනක් නෙවෙයිනෙ….
බිරිඳත් කැමැත්ත පළ කළේ ඒ විදිහට.
‘ගියාට එක දවසෙන් නං එන්න බැහැ ඔන්න….නැත්නං යන්න දවසයි එන්න දවසයි ගියාම ඉන්න දවසක් නැති වෙනව…..මෙහෙ ඉඳල ගොඩකවෙලට ගියා කියමු….අමාරුම දේ තමයි ඉතිරි ටික යන එක.. හරි කොළඹ ඉදන් ගෙදරට යන්න බස් එකටම පැය පහක් හයක් විතර යනව …යන්න එන්න අමාරු වුණාට එහෙට ගියාට පස්සේ නම් මරු’
ගමන දුෂ්කර වුනත් පුතා කතා කළේ බොහොම සතුටින්.
‘ඒක නං ඇත්ත….. ඒ වුණත් අපි ඒ දවස්වල ගොඩකවෙලට ස්කෝලෙ ගියෙ ඔය ටික පයින් ….ඒ කාලෙ බස් තිබුණෙ නෑ..’
‘කිලෝමීටර් හතක් විතර තියෙනවා නේද …. කොහොමද ඔච්චර දුරක් පයින් ගියෙ ..’
පුතා අහනව.
‘ඒ කාලෙ ඒක ලොකු දෙයක් නෙවෙයි…..උදේ යනකොට විනාඩි හතලිස් පහෙන් යනව…එනකොටනං පැය දෙකක් තුනක් යනව ….’
‘ඇයි ඒ ‘
‘ගස්වල කොළ ගෙඩි… අඹ ..කුරුම්බා… ජම්බෝල ..කටුගෙඩි .. ඇඹිල්ල ..වාගෙ දේවල් කකා එනකොට පරක්කු වෙනව …’
දුෂ්කර වුනත් මට ඒ සුන්දර අතීතය මතක් වෙනකොටත් හරිම සතුටුයි.උපන් ගම අත්හැරියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබුණු නිසයි.සිකුරාදා සවස් වෙනකොට කවුරුත් ගමනට ලේස්ති වෙලයි හිටියේ.
‘උදේම යන නිසා ඇඳුම් එහෙම අයන් කර තියා ගන්න ….ගෙදරින් පහ හමාරටවත් යන්න ඕනි…එතකොට දවල් කෑමට එහෙට යන්න පුළුවන්….’
මම අය්යටත් දැනුම් දුන්න හෙට ගෙදර එන බව.කාලෙකින් ගෙදර යන්න හැමෝම ලේස්ති වුනේ හරිම සතුටින්.
‘එලාම් එක හතරට තියන්න’
බිරිඳ පුතාට කිව්ව.එදා වේලාසනින් නිදා ගත්තේ උදේම යන්න ඕන නිසා.ඒ වුනාට හරි නින්දක් නැහැ මතකෙට එන්නේ හෙට යන ගමන ගැනමයි.
‘එලාම් එක වැදිලත් ඔයා තාම නිදි…ඉක්මනට නැගිටලා ලේස්ති වෙන්න’
ඒ බිරිදගේ කටහඬ උදෙන්ම.
‘මට එලාම් එක ඇහුණේ නෑනේ..නින්ද ගියේ ලේට් වෙලා’
‘උදේට කෑමට පාන් ටෝස්ට් කළා ඒ ඇතිනේ’
.අපි පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකට යනකොට උදේ හයයි.හරිම පුදුමයි ඒ අර පරණ සීටීබී බස් ස්ටෑන්ඩ් එක නෙවෙයි.මත්තල එයාර්පෝට් එක වගෙයි.ඉස්සර හැම තැනම බුලත් කෙළ.බිත්ති දිගේ අපිළිවෙලට වයර් එල්ලිලා.ඒවායේ කාක්කෝ පරෙවියෝ පිරිලා.වර්චස් පිඩක් නොවැටී ඒ යටින් යන්නේ බොහොම පරිස්සමෙන්. දැන් ක්ලීන් කරන්නේ එයාර්ෆෝස් යුනිෆෝම් ඇඳපු අය.
‘දැන් මෙහෙ හරි පිළිවෙලයි..හරිම ක්ලීන්..
මට කියවුණා.
‘ඇයි තාත්තට මතක නැද්ද..ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් ඔය හැදුවේ’
එතකොට තමයි මට මතක් වුණේ හැට අවුරුද්දකට පස්සේ සීටීබී බස් ස්ටෑන්ඩ් එක හදපු කතාව.ඒ ගැන හිතලා වැඩක් නැහැ දැන් හිතන්න ඕන ගමන ගැනයි.
‘සී ටී බී එකක ගියානං ඉක්මනින් යනව …ඒක ලෝ ලෙවල්නේ යන්නෙ …’
මම මතක් කළා.ඇඹිලිපිටිය බස් හෝල්ට් එක ඉස්සර තිබුණ තැන නෙවෙයි තිබුණේ .එතන හොයාගෙන යනකොට පහයි පනහට ඇඹිලිපිටිය බස් එක පිටත් වුනා විතරලු.බස් රථ පිටත්වන වේලාව සටහන් වෙනවා ඩිජිටල් බෝඩ්වල.
‘අපි විතරයි පෝලිමේ ඉන්නෙ ….ඊළඟ බස් එක හයයි හතළිස් පහට’
‘අපරාදෙ විනාඩි දහයක් ඉස්සර වෙලා ආවනං ….ඉස්සෙල්ල බස් එකේ යන්න තිබුණ …’
ඒ අතර තමයි කොටුව ස්ටේෂන් එකේ එනවුන්ස් කරනව ඇහුණේ.
‘ඔන්න තාත්තේ තාත්තලගෙ කෝච්චිත් දැන් මෙහෙ එනවුන්ස් කරනව’
පුතා කිව්වේ සිනාසෙමින්.
‘කොටුවෙ විතරක් නෙවෙයි ගොඩක් තැන්වල ඔහොම ඒකාබද්ධ කරලා තියෙනවා’
මම කීවෙ අම්බලන්ගොඩ ගාල්ල එහෙම මතක් වෙලා.
‘ඒ වුණාට තාත්ත කොටුවෙ වැඩ කරන කාලෙ ඔහොම තිබුණෙ නෑනෙ’
එදාට වඩා එනවුන්ස් කරන හඬ හරිම පැහැදිළියි. ගැඹුරු පිරිමි හඬක්. සිරිල් රාජපක්ෂ ඒ දවස් වල රේඩියෝ එකේ නිව්ස් කියනව වගෙයි ගලාගෙන යන කටහඬක්.
‘අටවන වේදිකාවේ නවතා ඇති නිල්මිණි කුමාරි සීඝ්‍රගාමී දුම්රිය… පෙරවරු හයයි තිහට… රත්නපුර හරහා කතරගම බලා පිටත් වේ…..එම දුම්රිය නවත්වන්නේ ..අවිස්සාවේල්ල… රත්නපුර…පැල්මඩුල්ල කහවත්ත….ගොඩකවෙල…..ඇඹිලිපිටිය….
‘තාත්තෙ ඒ කෝච්චිය යන්නෙ ඒ පැත්තෙන් ….ඔය එනවුන්ස් කරන්නෙ … මොන බස්ද ඉක්මනට යං කෝච්චියට..හය හමාරට පිටත් වෙනවලු’
පුතා කෑ ගහනව. ඇත්ත නේන්නම් එතකොට කතරගමට රත්නපුර හරහා කෝච්චිය දාල…මං දන්නෙත් නෑනෙ..ඔය අදහස බොහොම කාලෙක ඉඳල තිබුණෙ..ආපු හැම ආණ්ඩුවම කීවේ කැළණි වැළිය කතරගමට දික් කරනවා කියලා..දැන් ඒක දැන් හැබෑ වෙලා.මට දැනුණේ අසීමිත සතුටක්.
‘හිත හිතා ඉන්න වෙලාවක් නෑ …ඉක්මනට යමු..’
දුවත් කියනවා.
‘කෝච්චියෙ යන්න තියෙනවනං කොච්චර ලේසිද…..පැය පහ හයක් ගියත් කමක් නෑ …යමු යමු ….’
මම බෑග් එක අතට ගත්තා.
‘පික්මී එකක් ගෙන්න ගමු…..නැත්නං පයින් මේ බඩු උස්සගෙන යන්න අමාරුයි’
දුව පික්මී එකකට කතා කළා .එතකන් අපි පාර මාරු වුණා. ගමන ඉක්මන් වෙන්න.පික්මී වොක්ස්වැගන් එකක් ආවා. කොටුව ස්ටේෂන් එකට යනකොට හයයි කාලයි.
‘අපරාදෙ පාස් එකක් ලියා ගත්තනං කෝච්චියෙ නිකම්ම යන්න තිබුණ’
බිරිඳගේ සුපුරුදු ලෝභ කම මතු වුණා. ඒ වුණාට ඒක ඇත්ත. අපරාදේ මේ කෝච්චිය ගැන දන්නේ නැහැනෙ ..මටත් හිතුණ. ස්ටේෂන් එකට ගියාම තමයි තේරුණේ එදා අපි දැකපු කොළඹ කොටුව නොවන බව.පෙන්ෂන් ගිහින් අවුරුදු පහයි ගියේ. මේ තරම් වෙනසක්. මට නම් හිතා ගන්නත් බැහැ.
‘කොටුව දැන් වෙනස් වෙලානෙ…..’
මට කියවුණා. ටිකට් ගන්නෙ කොහෙන්ද… විමසීම් කවුළුව ඉදිරියෙන් තිබුණා. එතන හිටියෙ සුන්දර යුවතියන් දෙදෙනෙක්. ඒ දවස්වල මෙතන වැඩ කළේ එස් එම් මහත්තුරු..දැන් ඉන්නේ එස් එම් නෝනලා . දැන් කවුරුත් අඳුනන්නෙත් නෑ . ඔක්කොම වෙනස් වෙලා.
‘කතරගමට ටිකට් ගන්නේ කොහෙන්ද’
මම වැඩ කළ ස්ටේෂන් එකටත් මම අද ආධුනිකයෙක් වෙලා මටම ලැජ්ජයි.
‘අර මැෂින් එකෙන් ගන්න….තාම රිසවේෂන් ඉතිරි වෙලා තියෙනවා…’
එක් යුවතියක් කිව්වේ පරිගණකය බලමින්.
ටිකට් මැෂින් එක ළඟ කවුරුවත් හිටියේ නැහැ.
‘තාත්තෙ කෝ දෙන්න සල්ලි’
‘හතර දෙනාට කීයද ..’
දුවත් පුතත් සිටියේ ගාස්තු කියවමින්.
‘ගොඩකවෙලට සෙකන්ඩ් ක්ලාස් රිසවේෂන් එකක් දෙදාහයි….අට දාහක් දෙන්නකො’
‘බස් එකේ ගියානං හතර දෙනාටම දෙදාහයි යන්නෙ …අපරාදෙ ..’
බිරිඳ කිව්වේ එහෙම.
‘ඒ වුණාට කෝච්චිය වාගෙ පහසුකම් කොයින්ද…අනිත් එක අපි හැමදාම යන ගමනක් නෙවෙයින’
ඉස්සර වගෙ ඇතුළු වීමේ ගේට්ටුව ළඟ කවුරුවත් හිටියෙ නෑ.
‘ටිකට් එක ටච් කරලයි ඇතුළට යන්න තියෙන්නෙ’
පුතා කිව්වෙ ඇතුළු වීමේ ගේට්ටුව ළඟ බෝඩ් එක පෙන්නලා. ස්ටේෂන් එක ඇතුළට ගියාම තමයි ලස්සන දැක්කෙ. මේ ටික කාලෙට වෙනස් වෙලා තියෙන තරම්….හිතා ගන්නත් බෑ. එයාෆෝට් එකවත් මේ තරම් ලස්සන නෑ. ප්ලැට්ෆෝම් කීපයකම කෝච්චි නවත්තල තිබුණ. ඒවා නිකන් ප්ලේන් වගේ.ඊට ඉස්සර මේ වාගේ ට්‍රේන් දැකලා තිබුණේ ටීවී එකෙන් ඉන්ටර්නෙට් එකෙන් විතරයි. ඒත් ලංකාවේ නෙවෙයි චීන ජපන් රටවල.අපි ඉක්මනින් අටවෙනි වේදිකාවට ගියා. ඒකත් අලුත්ම අලුත් කෝච්චියක්.
‘මේක ජපන් බුලට් ට්‍රේන් එකක් වගේ’
පුතා කිව්වේ කෝච්චිය දැකපු ගමන්.
ඉක්මනට ගිහින් වාඩි වෙමු…..තව විනාඩි පහයි තියෙන්නෙ’
අපි සෙකන්ඩ් ක්ලාස් රිසවේෂන් එක හොයාගෙන ගොස් වාඩි වුණා. මේකට කෝච්චි පෙට්ටියක් කිව්වොත් හරි නෑ වගේ. පෙනුමෙන් නම් සුපිරි තරු පහේ හෝටලයක් වගේ. ඒ සී කරල.ඉස්සර ඒසී තිබුණේ ෆස්ට් ක්ලාස් විතරයි.මැදිරියේ එක් පැත්තක පොත් රාක්කයක්…පත්තර..පොත්පත්..ටීවී එකක්…ළගන්නා ලෙස වාදනය වන සංගීතයක්….සෑම ආසනයකටම ලැප්ටොප් එකක් තබා ගත හැකි කුඩා මේසයක්….සියලුම පහසුකම් තියෙනවා…මට හිතන්න දේවල් කෙළවරක් නැහැ.
‘දෙදාහක් ගෙව්වට පාඩු නෑ ….මේ පහසුකම් වල හැටියට..මේ ටික දවසට මේ තරං වෙනසක් ‘’
මම කිව්වේ හාත්පස බලමින්.
‘ඇයි තාත්තට අමතක වුණාද ..ස්ටේෂන් සීයක් අළුත් කළා ..සිහින ගමනාන්තයක් කියලා කොටුව මරදාන තමයි මුලින්ම කළේ ‘
දුව සිනාසෙමින් කියන විට ඇසුණේ කෝච්චිය පිටත්වීමේ හොඳ ශබ්දය.
හරියටම හය හමාරට කෝච්චිය පිටත් වුණා. ගමන් වේගය ඉක්මනින් වැඩි වුණා.ඒත් ඉස්සර වාගේ නෙවෙයි. ගැස්සෙන්නේ නැහැ. තත්පර කීපයකින් පසු වුණේ මනරම් දුම්රිය ස්ථානයක්.ඒ මරදාන.
‘මේකෙ වේගෙ පැයට කිලෝ මීටර් කියක් විතර ඇත්ද…’
මට ඉබේටම ඇසුණා..
‘ඇයි තාත්තෙ අර තියෙන්නෙ’
පුතා කිව්වෙ වේගය දක්වන පුවරුවක් පෙන්වමින්.
‘දැන් යන වේගය එකසිය තිහයි ‘
අපි කතා කරන අතරෙ කෝච්චිය ඉගිලෙනවා. ස්ටේෂන් පහු වෙනවා. හරියට බලා ගන්නත් අපහසුයි.
‘මල්ලී …බලන්නකො මේ ට්‍රේන් එක ගොඩකවෙලට යන්නෙ කීයටද කියල…… ලැප්ටොප් එක හරි පෝන් එක හරි අරගෙන…’
දුව කියද්දී මමත් එය අනුමත කළා.
පුතා ලැප් එක මේසය මත තබා අන්තර්ජාලය වෙත යොමු වුණා.
‘තාත්තෙ… මේ ට්‍රේන් එක ගොඩකවෙලට යන්නෙ හතයි දහ අටට..’
‘හතයි දහ අටට ……වැරදිලා වෙන්න ඇති …අපි පිටත් වුණේ හය හමාරටනෙ …’
‘නෑ ඉන්ටනෙට් එකේ දාල තියෙන්නෙ… වරදින්නෙ කොහොමද…..අටයි දහයට කතරගමට යනවා…බරවකුඹුකෙන් මාතර හරහා කතරගම රේල්වේ ලයින් එකට ජොයින්ට් වෙනවා..’
‘එතකොට ගොඩකවෙලට විනාඩි හතලිස් අටනේ යන්නෙ …..බස් එකේ යනකොට පැය හතර හමාරක් විතර යනව ..’
‘ෆස්ට් ස්ටොප් එක අවිස්සාවේල්ල ….අවිස්සාවේල්ලට යන්න විනාඩි විස්සයි යන්නෙ…’
‘බලමුකො ඔය වෙලාවට යයිද කියල……මම නොදන්න රේල්වේ …’
මම කිව්වේ සිනාසෙමින්.
‘තාත්ත දවල් කෑමට ගෙදරට එනවයි කියල නේද ලොකු තාත්තට කිව්වෙ..දැන් උදේ කෑමට එනවා කියලා කෝල් එකක් දෙන්න.ඒක නෙවෙයි ඒ දවස්වල මේ ට්‍රේන් තිබුණ නං තාත්ත මොකද කරන්නෙ’
දුව අහනවා සිනාසෙමින්.
‘එහෙනං ඉතින් ඔය ඒ පැත්තෙ ස්ටේෂන් එකක වැඩ කරනවා මිසක් කොළඹට එන්නෙ නෑනෙ’
‘එහෙනං අම්ම හම්බ වෙන්නෙත් නෑ ……එහෙනං අපිත් නෑ’
දුව කියන්නේ අම්මගෙ මූණ දිහා බලමින්.
‘මොනවා වුණත් ට්‍රේන් එකේ යන්න වුණු එක ලොකු දෙයක්……බස් එකේ ගියාම මට වමනෙත් යනව…ගොඩකවෙලට යනකොට බාගෙට මැරිලා’
එහෙම කිව්වේ දුව.
‘මං කේ වී ලයින් එකේ වැඩ කරන කාලේ අවිස්සාවේල්ලට ගියේ පුංචි කෝච්චිය ‘
මම කිව්වෙ අතීතය මතක් කරමින්.
‘පුංචි කෝච්චිය කියන්නෙ ගොඩක් පුංචිද…’
‘ඔව් මේ පාරෙ රේල් පිලි දෙක අතර පරතරය අඩි පහ හමාරයි …පුංචි කෝච්චි පාරේ ගේජ් එක අඩි දෙක හමාරයි…..ඉස්සර මේ පාරෙ හරිම වංගු …..හොඳට කෙලින් යන්න පුළුවන් පාරත් වංගු දාලයි හදල තියෙන්නෙ’
‘ඇයි ඒ’
‘කතාවක් නං තියෙනවා කේ වී ලයින් එක හදන්න හැතැප්ම ගානට කොන්ත්‍රාත් දීල තියෙනවා….කොන්ත්‍රාත් ගත්ත සුද්දත් පාර දික් කරල වැඩිපුර හම්බ කෙරුවලු ඒ වුනත් පොත්පත්වල හැටියට නම් පාර හදල තියෙන්නෙ ආණ්ඩුවෙන්..….ඒ වුනාට ඔය වග පාදුක්ක අතරෙ හොඳට කෙලින් යන්න පුළුවන් තැන්වලත් වංගු දාල තියෙන බලපුවාම මොකක් හරි හොරයක් තියෙනවා කියලම හිතෙනවා……ඊටත් වඩා පුංචි කෝච්චිය ලංකාවට දෙන්න නෙවෙයි සුද්ද හදල තියෙන්නෙ….දකුණු අෆ්රිකාවට දෙන්නයි හදල තියෙන්නෙ ….ඒ ගොල්ලො ඒක බාර අරගෙන නෑ පොඩියි කියල…ඉතින් ඒක අපේ ඇඟේ ගැහුවලු ඔහොම කතාවක් තියෙනවා…සමහර විට ඒක ඇත්තත් වෙන්න ඇති ..අපේ අයත් ඕන කුණු ගොඩක් බාර ගන්නවනෙ’
‘එහෙනං ඒ කාලෙත් ඉඳල තියෙනව දැන් කාලෙ අය ……’
‘ඒ වුණාට සුද්දා උඩරට ලයින් එක හැදුව මිසක් අපේ අයනං කීයටවත් ඔය බිං ගෙවල් දාල ඔය කඳුකරේ රේල් පාරක් හදන්නේ නෑ’
‘ඇයි මේ දැන් හදල තියෙන්නෙ…ඒ වුනාට සුද්දා ඒවා හැදුවේ උන්ගේ ප්‍රයෝජනේට මිසක් අපිට ආදරේට නෙවෙයි’
එහෙම කිව්වේ පුතා.
‘ඔව් දැන් නං ඒ වගේ වැඩක් කරලා තියෙනව……ඒ වුණාට මේ ලයින් එක එක්දාස් නවසිය හැත්තෑ පහ වෙනකන් ඕපනායකට තිබුණනේ …ඊට පස්සෙනෙ වහල දැම්මෙ…ඒ විතරක් නෙවෙයි …යටියන්තොටට …නානුඔය ඉඳල නුවරඑළිය හරහා රාගලට කෝච්චි පාරවල් තිබුණානෙ…එක්දාස් නව සීයෙ පටන් ගත්ත ….අවුරුදු හැත්තෑ පහෙන් ඔක්කොම ඉවරයි…අද තිබුනානං මේකත් ලෝක උරුමයක් විදිහට යුනෙස්කෝ එකෙන් නම් කරනවා …මේ වාගේ ඉන්දියාවේ කල්කා.. සිම්ලා.. ඩාර්ජලින් හිමාලියන්.. නීලගිරි මවුන්ටන් වාගේ දුම්රිය මාර්ග අද ලෝක උරුම..ලෝකෙ කොහෙවත් නැතිව ඇති මේ වාගෙ රේල් පාරවල් වහපු රටක්…..සුද්දා මේ පාරවල් හදලා ඒ ගොල්ලොම වහන්න පටන් ගත්තා….හතළිස් දෙකේදී කැළණි වැලියේ යටියන්තොට කෑල්ල වැහුවා..සුද්දන්ට ඕන වුනේ ලාභය විතරයිනෙ ..ඉතිරි ටික අපේ අය වැහුවා…නිදහස ලැබුණු ගමන් පත්වුණු ආණ්ඩුව පටන් ගත්තෙම නුවරඑළිය රේල් පාර වහලා…ඊළඟට කේවී ලයින් එක පාඩුයි කියලා වැහුවා..අදත් කරන්නෙ ඒකමයි ….දැන් අපේ දේවල් තරඟෙට පිටරටට විකුණනව …ඉස්සර හදපුවා අද විකුණනවා..ඒකට කියන්නෙ විකුණනවා කියලා නෙවෙයි ප්‍රතිව්‍යුහගත කරනවා කියලා’
මම කිව්වේ සිනාසෙමින්.
‘ඔන්න පන්නිපිටිය පහු වෙනව’
දුව කිව්වා.
‘පන්නිපිටියට ඉස්සර ස්ටේෂන් එකක් තිබිල නෑ….ස්ටේෂන් එක හැදුනෙ කොහොමද කියල දන්නවද…’
‘කියන්නකෝ’
පුතා බලා ඉන්නවා ඒ කතාව කියන තුරු.
‘පන්නිපිටියෙ ඉඳල තියෙනව ..හොඳ සිංහල වෙද මහත්තයෙක්….මල්ලුව වෙද මහත්තය කියලා ..මේ කාලෙ හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ නෝනට බබෙක් හම්බ වෙන්න ඉඳල තියෙනව…..ඒත් නියමිත කාලෙට බබා හම්බ වෙලා නෑ … රටේම නමගිය ඩොක්ටර්ස්ලා ඔක්කොම ආණ්ඩුකාරයගෙ බංගලාවෙ……කොහොමවත් බබා හම්බ වෙලා නෑ….අන්තිමේදී ආණ්ඩුකාරයට හිතවත් මුදලි කෙනෙක් කියල තියෙනව ඕවට දස්ස සිංහල වෙද මහත්තයෙක් පන්නිපිටියෙ ඉන්නව කියල….දොස්තරලගේ විරෝධය මැද්දෙ ආණ්ඩුකාරය වෙද මහත්තයව ගෙන්නල …වෙද මහත්තය ලෙඩාගේ නාඩි පරීක්ෂා කරලා බලල ඇහුවලු හොඳට වෙඩි තියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියල..එයා මේ කාමරේට එක්කරගෙන එන්න කියලා තියෙනවා…ආණ්ඩුකාරයත් බය වෙලා.. ඒත් වෙඩික්කාරයෙක් ගෙන්නා ගත්තලු.වෙද මහත්තයා කිව්වලු කාමරේ ජනේලෙන් උඩට වෙඩිල්ලක් තියන්න කියලා ..ඒ වෙඩිල්ලත් එක්කම ආණ්ඩුකාරයාගේ නෝනාට බබා හම්බ වුනාලු..කොහොමද එහෙම වුනේ කියලා ආණ්ඩුකාරය ඇහුවලු…දරුවා අම්මගේ බඩවැලක් අල්ලාගෙන ඉඳලා තියෙන්නෙ වෙඩි සද්දෙට දරුවා අල්ලාගෙන හිටිය බඩවැල අත ඇරිලා කියලලු කිව්වේ..කොහොම හරි ආණ්ඩුකාරයට හරි සතුටුයි….එයා රත්තරන් බන්දේසියක් තෑගී දුන්නලු වෙද මහත්තයට..අපි බෙහෙත් කරන්නෙ සල්ලිවලට නෙවෙයි මේවා මට එපා කියල වෙද මහත්තයා බාරගෙන නෑ .මොනවද ඔබට ඕනේ..ඕන දෙයක් දෙන්නම් කියල ආයෙත් ආණ්ඩුකාරයා අහලා තියෙනවා ….මට කිසිම දෙයක් ඕන නෑ පන්නිපිටියට රේල්වේ ස්ටේෂන් එකක් දෙන්න කියල එයා කිව්වලු’
‘දැන් ට්‍රේන් එක යන්නෙ එකසිය පනහේ වේගෙන්..’
පුතා වේග මාපකය බලල කිව්වා,
‘මේ වග නේද’
වක් ඔය පාස් වෙනකොට මට මතක් වුණා අතීතය.
‘අපි ඉස්සර මෙහෙ හිටිය…. මේ හැම තැනම අපි ඉස්සර ඇවිදලා තියෙනවා….හරිම ලස්සන පැත්ත..මේ කන්ද උඩ ලස්සන පන්සලක් තියෙනවා’
බිරිඳ කිව්වේ අවට බලමින්.’
‘ඒ දවස්වල උදේට කෝච්චියක් කොළඹට ගියා.හවසට ආපහු ආව.දවසටම කෝච්චි දෙකයි.සෙනසුරාදට රේල් කාර් එකක් වැඩ කළා වග..පාදුක්ක..ඒ පාදුක්ක පොළට…හරිම නිදහසේ වැඩ කළා…මෙහෙ මිනිස්සුත් හරිම හොඳයි’
‘මීළඟ නැවතුම අවිස්සාවේල්ල..’
දුම්රියෙන් නිවේදනය වුණා.
කොස්ගම පුවක්පිටිය පෙනී නොපෙනී ගියා.අඩු වුණා දුම්රියේ වේගය.එදා තිබුන අවිස්සාවේල්ල ස්ටේෂන් එක නෙවෙයි අද තියෙන්නෙ.තට්ටු පහක් බිල්ඩින් එකක්.පේන විදිහට උඩ සුපර් මාකට් බැංකු එහෙම තියෙනවා.
‘දැන් වෙලාව හයයි පනහයි ….හරියටම විනාඩි විස්සයි ගිහිල්ල තියෙන්නෙ’
පුතා කිව්වේ ඔරලෝසුව බලමින්.
‘ඒ දවස්වල මම අවිස්සාවේල්ලෙ ඉඳල කොළඹ වැඩට ගියා ..පැය තුන හමාරක් ගියා ….උදේ පහට මෙහෙන් ගියාම අට හමාර වෙනව මරදානට යනකොට’
‘එතකොට පැයට කිලෝ මීටර් දහයක විතර වේගෙන් යන්න ඇත්තෙ’
‘ඔව් හරිම හෙමින්’
දුම්රිය අවිස්සාවේල්ලෙන් පිටත් වෙලා සුළු මොහොතකින් සුරූපී යුවතියෝ දෙන්නෙක් ආව තේ ට්‍රොලියක් අරගෙන.
‘අපි දැන් ගෙදර ගිහිල්ලම තේ බොමු…..මේවයෙ ලොකු ගණන් ඇති….ගෙදරින් හදාගෙන ආපු සැන්ඩ්විච් තියෙනවනෙ’
බිරිඳ කී නිසා අපි නිහඬ වුණා.ඒ වුනත් කෑම තියෙන ලස්සන දැකපුවාම කටට කෙළ උණනවා.
‘මං වොෂ් රූම් එකට ගිහින් එන්නං’
අවශ්‍යතාවක් නොවුණත් බලන්න ආශාවක් තිබුණ. ඒකත් තරු පහේ හෝටලයක වගෙයි. නාන්න අවශ්‍ය නම් නාන්නත් පුළුවන්. අති නවීන උපාංග සවි කරල තියෙන්නෙ.
‘වොෂ් රූම් එකක් කිව්වට ඒක හෝටලේක කාමරයක් වාගෙයි’
ආපසු ඇවිත් මම කිව්වෙ හෙමිහිට.කාටවත් ඇහුණොත් ලැජ්ජයිනෙ.
ගැටහැත්ත පහු වුණා. ඇහැළියගොඩත් පහු වුණා. ඊට පස්සෙ පරකඩුව. ඉස්සර කේ වී ලයින් එකේ තිබුණ දිගම පාළම කුරුවිට පාලම ,ඒ දවස්වල අඩි එකසිය පනහක්ලු. අද නම් දෙසීයට වැඩි ඇති. වේගය අඩු නොවීම පාලමත් එක්කම කුරුවිට පහු වුණා.
‘මීළඟ නැවතුම රත්නපුර’
භාෂා තුනෙන්ම නිවේදනය වුණා. දුම්රිය මැදිරියේ සිටි හත් අට දෙනෙක්ම නැගිට්ටා.
‘ගොඩක් අය රත්නපුරෙන් බහිනව වගේ’
‘ඉස්සර සිරීපාදේ ගිය අයත් බහින්න ඇත්තේ රත්නපුරෙන් වෙන්න ඇති’
දුවගෙන් තවත් ප්‍රශ්නයක්.
‘ඔව් දැනුත් ඔය අතරේ සිරීපාදේ යන අය ඇති..එදත් රත්නපුර පාරෙන් යන අය පුංචි කෝච්චියෙන් ගිහින් රත්නපුරෙන් බැහැලා තියෙනව… කුරුවිට පාරේ යන අය බැස්සේ කුරුවිටට මෙහා තියන හිග්ගස්හේන කියන ට්‍රේන් හෝල්ට් එකකින්’
‘ඒක නෙවෙයි මේ කම්පාර්ට්මන්ට් එකේ සීට් ගානට වගේ සෙනග හිටියට කිසිම සද්දයක් තිබුණෙ නෑනෙ’
දුව මතක් කළා.
‘ඔව් …අපි තමයි කතා කර කර හිටියෙ…. අනිත් අය එක්කො ලැප් එකේ නැත්නම් එහෙම නැත්නං පෝන් එකේ’
‘අපි කතා කර කර ගිය එක ඒ ගොල්ලන්ට කරදරයක් වෙන්න ඇති’
මම කිව්වෙ අපි වැරදි දෙයක් කළ හැඟීමෙන්.
‘ අපිට මේවා දකින්න… විඳින්න බැරි වුණානේ’
හිතට දැනුනෙ හරිම කණගාටුවක්. අලුත් ස්ටේෂන් එකක වැඩ කරන්නත් ආශයි.
දුම්රියේ වේගය ක්‍රමයෙන් අඩු වුණා.දුම්රිය නැවතුණා. මම ඔරලෝසුව බැලුව. වෙලාව හතයි දෙකයි . කොලඹ ඉදල රත්නපුරට එන්න ගිහින් තියෙන්නෙ විනාඩි තිස් දෙකයි.
‘මේ රත්නපුර දුම්රිය ස්ථානයයි………පළමු වන වේදිකාවට පැමිණි නිල්මිණි සීඝ්‍රගාමී දුම්රිය දැන් කතරගම බලා පිටත් වේ………දුම්රිය නවත්වන්නේ…පැල්මඩුල්ල … කහවත්ත…ගොඩකවෙල …….
මේ එනවුස්මන්ට් එක ඇහෙන කොටත් හිතට එන්නෙ ලොකු ගැම්මක්, ලොකු සතුටක්. කෝච්චියෙන් ගමේ යනවා.කවදාවත් හිතපු නැති දෙයක්.
‘මෙතන පුංචි කෝච්චිය යන කාලෙ තිබුණ ස්ටේෂන් එක පස්සෙ කාලෙ බස් ස්ටෑන්ඩ් එක වුණා….එතකොට තට්ටු දෙකයි තිබුණෙ….දැන් තට්ටු පහක් තියෙනව …..
‘රත්නපුර ස්ටේෂන් එකත් ගොඩාක් ලොකුයිනෙ ….ඉස්සර කොටුව වගේ..’
දුව කිව්ව .
‘අලුත හදපු නිසා අංග සම්පුර්ණ විදිහට හදල තියෙනවා’
‘එහා ලයින් එකේ තව මේ වගේ ට්‍රේන් එකක් තියෙනවා…ඒකෙ මූණ පැත්ත තියෙන්නෙ කොළඹ පැත්තට.
පුතා අපට පෙන්නුවා. ඒත් එක්කම එනවුන්ස් කරනව ඇහුණ.’දෙවෙනි වේදිකාවේ නවතා ඇති රුවන්පුර රැජිණ දුම්රිය ….තව ස්වල්ප වෙලාවකින් කොළඹ කොටුව බලා පිටත් වේ’ කියල. ඒ එක්කම අපේ කෝච්චිය නැවත ගමන ආරම්භ කළා.පුතා යළිත් යොමු වුනේ අන්තර්ජාලයට.
‘කොළඹ යන ට්‍රේන් එක මෙහෙන් යන්නෙ හතයි දහයට….ඒ විතරක් නෙවෙයි…අපේ ට්‍රේන් එක පිටිපස්සෙන් හපුතලේ යන ස්ලෝ ට්‍රේන් එකක් යනවා…’
පුතා කියන්නේ අන්තර්ජාලයෙන් තොරතුරු අරන්.
‘හපුතලේට යන්න ..එහෙනං එතකොට ඕපනායක බලංගොඩ පැත්තෙන් ඒ පාරත් දාල….ඔය ගැන ඒ දවස් වලත් කතා කළා…..හපුතලෙන් අප් කන්ට්‍රි බදුල්ල ට්‍රේන් එකට ජොයින්ට් කරන්න’
‘එතකොට අපිට මේ පාරෙන් බදුල්ලට යන්නත් පුළුවන්’
දුව අහනවා. උත්තර දුන්නෙ පුතා.
‘ඒ වුණාට බදුල්ලේ යනවනං නානුඔය පැත්තෙන්ම යන්න ඕන ….. ලස්සන ඒ පැත්ත’
‘ඒ වුණාට මේ පාරටත් බෙලිහුල්ඔය එහෙම අහු වෙනව …බෙලිහුල්ඔය ඉඳල හපුතලේට බස් එකේ යනකොටත් තියෙන්නේ පුදුම ලස්සනක්…බෙරගල කන්ද හරිය එහෙම ..බෙරගල මූදු මට්ටමෙන් උස අඩි 3400 ක්..හපුතලේ 4695 ක්ද කොහෙද මට මතක විදිහට. කෝච්චි පාරක් දැම්මොත් මොන තරං ලස්සනට තියේවිද…බිංගෙවල් නොතිබුනාට කන්ද මැදින් පාර යන්නෙ…ලංකාවෙ ලස්සනම රෙස්ට් හවුස් එක බෙලිහුල්ඔයනෙ…ඒ දවස්වල මම නානුඔය ඉන්න කාලෙ ගෙදර එන්නෙ බස් එකෙන් ඔය පැත්තෙන්.
‘මේ මොකක්ද ලොකු පාලමක් පහු වෙන්නෙ’
‘මේ වරකතොට පාලම…..කළු ගඟ හරස් කරලා දාල තියෙන්නෙ ‘
වේගය අඩු නොවී පාලමත් පහු වුණා.
‘බස් පාරෙන් යනවට වඩා මේ පැත්තත් මාර ලස්සනයිනෙ …..හිමිං යනවනං ලස්සන බල බලා යන්න පුළුවන්’
දුව කිව්වෙ අවට පරිසරය නරඹමින්.
‘තාත්තේ මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් …ඇයි මේ රේල් පාරට කැළණිවැලි කියන්නේ…කැළණි ගඟ කොහෙදිවත් දැක්කෙ නෑනෙ ..මේ තියෙන්නෙත් කළු ගඟ…කුරුවිට තිබුණෙත් කුරු ගඟ කළු ගඟේ අත්තක්’
එහෙම ඇහුවේ පුතා.
‘ඒක ඇත්ත …කැළණි ගඟේ අත්තක්වත් දකින්න හම්බ වෙන්නේ මම හිතන්නේ වක්ඔය විතරයි ….කැළණිවැලි පාර ඉස්සර හැදුවේ යටියන්තොටට… ඒ පැත්තෙන් කැළණි ගඟ අහුවෙනවා…පස්සේ තමයි රත්නපුර පැත්තට ගියේ…ඒ කාලේ නම දාලා තියෙන්නේ කළ්‍යාණ ධ්රෝණි ධූම රථ මාර්ගය කියලයි’
‘කොළඹ ඉඳල කහවත්තට කෝච්චි පාරෙ දුර කිලෝමීටර 111 යි..’
පුතා තාමත් මේ කෝච්චි පාර ගැන හොයනව.
‘ඉස්සර ඕපනායකට හැතැම්ම 87 ක් තිබිල තියෙනවා…….ඒ කියන්නෙ මේ වංගු කෙලින් කරපු එකෙන් සෑහෙන්න දුර අඩු වෙලා තියෙනව’
‘මෙන්න දෑල කියල ස්ටේෂන් එකක් පහු වෙනව…….අකුරු දෙකේ ස්ටේෂන් දෙකක් මේ පාරෙ තියෙනව …වග..දෑල’
දුව කිව්වෙ අලුත් දෙයක් මතක් කරමින්.
දුම්රිය රත්නපුරේ ඉඳල කහවත්තට එන්න ගියේ විනාඩි නමයයි. කහවත්තෙ පරණ ස්ටේෂන් එක බස් ස්ටෑන්ඩ් එකට අරගෙන තිබුණ. දැන් ඒක මාර ලස්සනයි.
‘මං පුංචි කාලෙ ඒ කියන්නෙ නවසිය හැත්තෑවේ විතර මට මතක හැටියට ..තාත්ත මාව කර උඩ තියාගෙන ඇවිදින්… අන්න පුතේ කෝච්චිය කියල පෙන්නුව…. ජිවිතයෙ පළමු වතාවට කෝච්චියක් දැක්කෙ කහවත්තේදි….ඒ කෝච්චියෙ තිබුණෙ පෙට්ටි තුන හතරක්’
මගේ හිතට ආවේ අතීත මතකයක්.
‘එදා හිතුණද කවද හරි ස්ටේෂන් එකක වැඩ කරන්න පුළුවන් වෙයි කියල’
බිරිඳ අහනව.
‘ඒ කාලෙ තේරුමක් නෑනෙ’
කහවත්තෙන් බැස්සා සැහෙන පිරිසක්.දැන් කෝච්චි පෙට්ටියේ වැඩි සෙනගක් නැහැ.
‘කහවත්ත එනවුන්ස් කරනකොට කහවත්ත කියල විතරක් එනවුන්ස් කරන එක වැරදියි….ඒක කහවත්ත හංදිය කියල කියන්න ඕනි….පේරාදෙණිය හංදිය….මහව හංදිය වාගෙ ‘
පුතා කිව්වෙ එහෙම.
‘ඇයි ඒ ‘
දුව ඇහුව.
‘ඇයි කියන්නෙ කහවත්තෙන් රේල් පාරක් පටන් ගන්නවනෙ …..හපුතලේට…..එතකොට මෙතන හංදියක්’
‘පුතා හරි……කහවත්ත හංදිය කියල තමයි කියන්න ඕනි’
‘අපි කොටුවට කියමු ‘
බිරිඳ සිනාසෙමින් කිව්ව.
කහවත්තෙ ඉඳල බස් පාරට සමාන්තරව වාගේ දුම්රිය පාර තිබුණෙ. මෙන්න වේ ගඟ හරහාත් විශාල පාලමක්.
‘දැනුත් 130 ට විතර යනව’
පුතා කියනවා වේග මාපකය පෙන්වමින්.
දැන් නං ඒ වේගෙත් මට මදි වාගෙ …මට සිතුණා….ගමේ යනකොට ඉස්සරත් ඔහොමයි….අන්තිම ටික යන්නෙ හිමින් වගේ.
‘අර පහු වෙන්නෙ රුවන්පුර අධ්‍යාපන පීටය’
පුතා කිව්වේ වම් පැත්තෙන් තිබුණු විශාල ගොඩනැගිලි සමුහයක් පෙන්වමින්.
‘මීළඟ නැවතුම ගොඩකවෙල’
අපි බෑග් සුදානම් කරගෙන බහින්න ලෑස්ති වුණා. හරියටම හතයි දහ අටට කෝච්චිය ගොඩකවෙල. එදා කුඹුරු යායක් තිබුණ බිමේ දැන් ගොඩකවෙල ස්ටේෂන් එක. වෙල මැද්දෙ හින්ද මාර ලස්සනයි.
‘කොහෙවත් නෑ මේ තරං ලස්සන ස්ටේෂන් එකක්’
මට කිව්වේ හරිම සතුටින් .
‘ගම හින්ද වෙන්න ඇති’
බිරිඳ කිව්ව.
ඒක ඇත්ත. ගම වුණාමත් ලස්සනයිනෙ…..මටත් සිතුණ.
‘ඉස්සර රාජසිංහ රජ්ජුරුවන්ට ඔටුන්න හැදුවෙ …ඇහැලේපොලට අවි ආයුධ හැදුවෙ මේ වෙලේ තිබුණ බිමේ කම්මලකුලු… ඉතිහාසෙ තියෙනවා’
මට මතක් වුණේ සබරගමු ඉතිහාසය..
‘ඉතිහාසේ නෙවෙයි නෙවෙයි …ඔන්න කෝච්චිය නැවැත්තුවා …බහිමු ..බහිමු..’
දුම්රිය නවත්වනවත් එක්කම ස්වයංක්‍රියව දොරවල් ඇරුණා. අපි බැස්සා දුම්රියෙන්.
‘බස් ස්ටෑන්ඩ් එක අර පැත්තෙ’
පුතා අත දිගු කරමින් කිව්වෙ’බස් නැවතුම්පලට’කියන බෝඩ් එක පෙන්වමින්.
‘ඉස්සරනං ගොඩකවෙලට හරි බස් ස්ටෑන්ඩ් එකක් තිබුණෙ නෑ…ඔය අලුත් බස් ස්ටෑන්ඩ් එකක්…ඉස්සර මේ හරියෙ තිබුණෙ සති පොළ…’
අපි බස් ස්ටෑන්ඩ් එකට යනකොටම ‘අම්මඩුව දේවාලය’බස් පුවරුව රැඳි බසය පිටත් වෙන්න හදනව.
‘බස් එක යන්නයි යන්නෙ …ඒකාබද්ධ සේවා වෙන්න ඇති..’
අපි බසයට නැග අසුන් ගත්තා. ඒ තරම සෙනගක් බස් එකේ නැහැ.අඳුරණ දන්නා කවුරුත් නැහැ .තවත් මොහොතකින් පිටත් වුණා බස් එක.
‘ගෙදර යන පාරෙ ඉස්සර වාගෙ වලවල් තියෙනවද දන්නැහැ’
ටික දුරක් යනකොට එහෙම කිව්වේ බිරිඳ.ඒ දවස්වල පාරේ හැමතැනම වලවල්.
‘නෑ දැන් ඉස්සරට වඩා පාර හොඳට හදල වගෙයි පේන්නෙ ……’
එහෙම කිව්වා විතරයි දඩස් ගාල බස් එක ගැස්සිලා වැටුණා වලක.
ඒ එක්කමයි එලාම් එක වැදුණේ…..මං මේ ඉන්නෙ කොහෙද ……මටම හිතා ගන්නත් බැහැ……මම තාම ඇඳේ. එතකොට ඒකත් සිහින ගමනාන්තයක්.