දඩයක්කාරයා
කේ. ජී. චනිත මාධූර්ය

තමා ගිනි බටය මානාගෙන සිටින්නේ මුව දෙනකට බව අඳුරේ වුවද ඔහු හොඳින් හඳුනාගත්තේය.  වැව් ඉස්මත්ත ආසන්නයේ ගස් දෙබලකට මුවාවී සිටි දඩයක්කරුවා සුදුසු අවස්ථාව පැමිණෙන තුරු කල් මැරුවේය. කාලයකට පසු ලැබුණු මෙම අවස්ථාව තමාගේ එකදු හෝ අත්වැරැද්දකින් අහිමි වී යනු දැකීමට ඔහු අකමැති විය.

ඇය ඉතා ශාන්ත ගමනින් ජල තලය අසලට කිට්ටුවූවාය. දඩයක්කාරයා කරබාගත්තේය. මුව දෙන ජල තලයට වැදී කෙමෙන් කෙමෙන් ගැඹුරට පාතබන්නට විය. දඩයක්කාරයාට තම දෑස් අදහාගත නොහැකි විය. තම දඩයම් දිවිය පුරාවට සතුන් සම්බන්ධ කොතෙකුත් අද්භූත සිද්ධීන් දැක තිබුනද, සතෙකුගේ මෙවන් හැසිරීමක් ඔහුගේ දෑස් ගැටුණු ප්‍රථම අවස්ථාව මෙය විය. මුවැත්තිය කෙමෙන් කෙමෙන් ජල තලයේ නොපෙනී ගියාය. දඩයක්ක්කාරයා කෙල බිඳකුදු නොගිල ඇය නොපෙනී යන අයුරු බලා සිටියේය. වැඩි වේලා නොගිහින්ම නාඹර මුවැත්තිය නැවත දියෙන් මතුවූවාය. ඇය දෙකකුලින් සිටගත්තාය. සුළු වේලාවකට පෙර මුව දෙනක්ව සිටි ඇය දැන් මුව කෙල්ලක වී සිටියාය.  මුවැත්තියගේ සිරුරෙහි හැඩය දුටු දඩයක්කරුවාගේ සිත සසලවී ගියේය. ඔහුට ඇතිවූ ආශාවෙහි නිමක් නැති විය. ඔහු සිය දෑස් නැවත වතාවක් පිසදා බැලූයේ තමා දකින්නේ මායාවක්ද, යථාර්තයක්දැයි යන්න හරි හැටි තහවුරු  කරගැනීමටය. එහෙත් එය මායාවක් නොවීය. ඇගේ හැඩැති දසරුව දිගේ දිය බිඳු රූරා හැලෙන්නට විය. ඇගේ තෙත්වූ කෙහෙරැල් ඇගේ ලැමටම ඇලී පිරුණු ලැම ආවරණය කෙරිණි. ඇගේ ශුංගාරය පිරී ඉතිරී යන ශරීරය දුටු දඩයක්කාරයාගේ  ඇතුළාන්තය තුළින් ආශාවේ ගිනිදැල් නැඟෙන්නට විය. ඇය ලැම සිය මෘදු ඇඟිලි තුඩු මතින් පිරිමදින විට තෙත්වූ කෙහෙරැලි ඈත් මෑත් වී ඇගේ  ලැම තුඩු අඳුරේ වුවද ඔහුගේ තියුණු නෙතට හසුවිය. ගිනිබටය ඔහුට නොදැනීම ඔහු අතින් ගිලිහී සරමෙහි ගැට බුරුල් වන්නට විය.

#####################

  ” උඹ නැති අල්ලපනල්ලෙ සේතන් ගොයිය  උඹේ ගෙට රිංගනව..  අම්මා පල්ල  මේන් මේ ඇස් දෙකෙන් මන් දැක්කෙ. “

ගම්මුන් කිහිප දෙනෙකුම  මෙම ඕපාදූපය  දඩයක්කාරයාගේ කන තැබුවද  ඔහු කලේ කරබා ගැනීම පමණකි. ගම්මුන් සිතුවේ ඔහු එසේ කරබාගන්නේ  ඔහු තුල ඇති නෝන්ජල් කම නිසාවෙන් බවයි. නොඑසේනම් සේතන් හට ඇති බිය නිසාවෙන් බවයි.  වනස්පතිය සිප හමා ආ පවනේ උණුසුම  විඳිමින්  දඩයක්කාරයා පෙරදින රාත්‍රියේ ගිනිබිඳින ලද මුව දෙන මස් කිරීමට පටන් ගත්තේ කල්පනා සයුරේ ගිලී පිහිනමිනි. මෙම වැඩුනු මුව දෙන මස් කිරීමට හිත නොදෙන තරමට අලංකාරය.  රැළේ සිටියානම් ඇය නාඹර මුවන් මදයෙන් මත් කරන්නා වූ  මුව දෙනකි. ඇතැම් විට රැළේ නාඹර තරුණ මුවන් මදයෙන් මත්වී සිය අං තට්ටු පටලවාගෙන ඇගේ පහස වෙනුවෙන් සටන් කරන්නටද ඇත. ඔහු මුව දෙනගේ එක් ගාතයක් අල්ලා එය කැපීමට සූදානම් විය.  පිහිය එසවූ ඔහු මුව ගාතයේ මුලටම කෙටීය. ගාතය කැපුනු තැනින් උකු රුධිරය ගලන්නට විය.   නැවතත් කෙටීමට පිහිය එසවූ දඩයක්කාරයා එක්වරම බියෙන් සලිත වී ගියේය.  එහි තවත් මුව දෙනගේ සිරුර තිබුණේ නැත. එහි වූයේ ඔහුගේ බිරිඳ වූ “බිසෝ” ගේ අප්‍රාණික නිරුවත් සිරුරයි. පිහිපහරින් ඇගේ වම් කකුල මුල කැපීගොස් තිබූ අතර උකු රුධිරය දිය පහරක් මෙන් ගලා යන්නට විය.  මෙම ගතලොමුදැහැගැන්වෙන දර්ශනය දුටු දඩයක්කරුවා පිහියද බිම දමා පසු නොබලා  කැලය ඔස්සෙ  දිව යන්නට විය.  එක් රූස්ස ගසක් පාමුලට දිව ආ දඩයක්කරුවා එහි කඳට වාරුවී හති අරින්නට විය.  කැලය තමා වටා කැරකෙන්නාක්  මෙන් ඔහුගේ හිස බමන්නට විය.  ඉතා  අපහසුවෙන් ගසේ විශාල මුල් අතරම  ඇණ තියාගත් දඩයක්කාරයාගේ දෙසවන් තුල ඔහුට හුරු පුරුදු කටහඬක් රැව්පිළිරැව් දෙන්නට විය. 

” මේ මහා වනාන්තරේ හරිම බියකරුයි.. මේකෙ යක්ස විමානයක් කොළුවෝ…

  යක්කු විතරක් නෙවේ, දිෂ්ටි වැහිවැහැලා..

උන් හැම තිස්සෙම ඉන්නෙ  බඩගින්නේ. උන් බලන් ඉන්නෙ ගොදුරු කරගන්න. මේ කැලේ බලන් ඉන්නෙ උඹව ගිලගන්න.  උඹ හිතන්න එපා මුවෙක් දැක්කොත් ඒකත් අහිංසකයෙක් කියලා. ඒකත් දිෂ්ටියක් වෙන්න පුලුවනි. කොටි වලස්සු වේසෙන් විතරක් නෙවේ. හාවුන්ගෙ , මුවන්ගෙ වේසෙනුත්  යක්කු එනවා.. පරිස්සම් වෙයන් කොළුවෝ..කැලේ බලන් ඉන්නෙ උඹව ගිල ගන්න.  මේ හැම ගහකටම පණ තියනවා. කැලේ තියන නාකි ගස් උන් උන් අතරේ රෑට කොඳුර ගන්නවා සමහර රත්තිරි වල මට අනන්තවත්  ඇහිල තියනවා. උන් උඹ කරන කියන හැමදේම අහගෙන, බලාගෙන ඉන්නෙ.  මේ ගස් අතරෙදි උඹ දෙයක් කනින් ඇහුවත්, ඇස් දෙකෙන් දැක්කත් තක්කෙටම දැනගන්නකම්  ඒ දේ විශ්වාස කරන්ට එපා… “

තම පියාගේ වදන් ඔහුගේ දෙසවන් පුරා රැව් පිළිරැව් නැඟීය. ඔහු තම දෑතින්ම හිස බදාගෙන වේදනාවෙන් දඟලන්න විය. සියොලඟ දාඩියෙන් තෙත් වන තුරුම ඔහු දැඟලීය. මඳ වේලාවක් යන විට කෙමෙන් ඔහුගේ දැඟලිලි වේගය අඩුවී ඔහු නිශ්චල විය. තවත් වේලාවක් ගසට හේත්තුව විවේක ගත් ඔහු ඇණ තියාගෙන හුන් තැනින් නැඟී සිටියේය. ලය පුරා හුස්මක් ඇල්ලූ  දඩයක්කාරයා, තමා දුව ආ මඟ ඔස්සේම නැවතත් වනය තුලට ඇවිද යන්නට විය.

ආපසු මුව දෙන මස් කල තැනට පැමිණෙන විට ඈත තියාම ඔහු යමක් දුටුවේය. ඔහු වහා අසල වූ ගසකට මුවා විය. මුව දෙන මස් කල ස්ථානයේ දැන් බිසෝගේ සිරුර නැත. එහි පෙර පරිදිම මුව දෙනගේ සිරුර එහි විය. පුදුමයට කාරණාව එය නොව, ඇගේ සිරුර ඉව කරමින් සිටියේ ඔහු මෙම වනය තුල මින් පෙර නොදුටු ආකාරයේ අලංකාර හැඩි දැඩි මුවෙකි. උගේ අං තට්ටුව ඉතා සාර සුබාවට වැඩී තිබුණි.  තුවක්කුව දෑතට තද කරගත් ඔහු සෙමෙන්  ගහෙන් මෑත් විය.  මුවා ඔහුව දුටු බව ඔහුට ප්‍රත්‍යක්ෂය. දඩයක්කාරයා බලාපොරොත්තු වූ දෙය සිදුවූයේ නැත.  සාමාන්‍යෙන්  මුවෙකු වේවා ගෝනෙකු වේවා මනුශ්‍යයෙකු දුටු විට කරනා පරිදි පලායාමක් මෙම මුවා සිදු නොකලේය. ඒ වෙනුවට මුවා සෘජුවම දඩයක්කාරයා දෙස බලා සිටින්නට විය. දඩයක්කාරයා තවත් කිට්ටු කලේය. එහෙත් මුවා නොසැලී හුන් තැනම සිටී. උගේ බැල්මෙහි ඇත්තේ එරවිල්ලක් වැනි බැල්මක් බව තවත් ඒ දෙසට කිට්ටු කරන අතර ඔහුට වැටහිණි.  එම බැල්ම තමාට අභියෝගකරන්නාක් බඳු බැල්මක් බව ඔහු අවබෝධ කරගත්තේය. ඇතැම් විට දිෂ්ටියක් විය හැක. දඩයක්ක්කාරයාගේ දැඩි සිත සසල විය. ඔහු තුවක්කුව මුවා දෙසට මෑනීය. මුවා සෙලවීමකුදු නොමැතිව ඔහු දෙස බලා සිටී. දඩයක්කාරයා කොකා ගැස්සීය. ගිණි බිඳුම හාත්පස ගිගුම් දෙමින් පුපුරා ගිය අතර මුවා කිසිදු හැලහොල්මනක් නොමැතිවම තවමත් ඔහු දෙසම බලා සිටියේය. එවර උගේ බැල්මෙහි වූයේ සරදම් සිනාවක් වැනි බැල්මකි. දඩයක්කාරයාට තමා පිලිබඳවම බරපතල  ලැජ්ජාවක් හටගත්තේය. වනයේ වීරයා වූත් මෙතුවක් කලකට තැබූ එකදු හෝ වෙඩිල්ලක් අපතේ නොගියා වූත් ඔහු මුව පොව්වෙකුට පැරදී තිබුණි. මුවා ආපසු හැරී ඉතා සෙමින් අඩි තබමින් වනය තුල නොපෙනී ගියේය.

#####################

එය  එක්තරා  අමාවක රාත්‍රියකි. දඩයක්කාරයා දඩයමේ යාමට සැරසුණි. සිය බිරිඳ අතින් වෙනදා මෙන් අදත් සූදානම් වන රසමසවුළු වල සුවඳ ඔහුගේ නාස් පුඬු තුලට ඇතුල් වී ඔහුගේ රස නහර පුබුදුවන්නට විය. මොහොතකින් ඇගේ හැඩකාර බිරිඳ  පැමිණියේ කුරක්කන් තලපත් දඩමස් හොද්දකුත් සහිත මඩක්කුවක් ගෙනය.  ඇය ඔහු අසලින්ම හිඳ අවශ්‍ය අඩු වැඩිය බෙදාදීම සිරිතක් කරගත්තාය. 

ඇගේ දර්ශනයෙන් ඔහුගේ සිත පිබිදෙන්නට විය.  ආහාරවල සුවඳත් ඇගේ හැඩයත් ඔහුගේ  සිත තණ්හාවෙන් පුරවා ලීය. ඇගේ උස් පිරිපුන් නිතඹ , වෑවර ගෙඩි දෙකක් මෙන් හැට්ටයට සිරවී ඇති පිරිපුන් දෙතන කෙරෙහි ආශාවක් මෙන්ම රස තෘෂ්නාවක් ඇය කෙරෙහි  ඇති විය.

ඇගේ කෝමල කේෂ කලාපය පිට දිගේ වැටී ඇත්තේ මොණර පිලක් ලෙසින්ය. ඉන් අලුත් සබන් වර්ගයක පුසුඹක් ඔහුගේ නාසයට දැනුනි. මෙවන් රූබර, දක්ෂ ගැහැනියකගේ හිමි කරුවා වීම ඕනෑම පිරිමියෙකුගේ සිහිනයකි. එය ඔහුට ආඩම්බරයකි.

” හරි පුසුඹක් නොවෑ තියෙන්නෙ. කොහෙන්ද ඔය  සබන් කැටේ.. “

  ” ගිය සුමානෙ පොළට ගිය  වෙලාවෙ ගත්තේ… උඹ ගෙනාපුව ඉවර වෙනකන් මේක තියල තිබ්බා. පුසුඹ නිසා ආසාවට ගත්තා.. “

  ”  හ්ම්ම්…  “

ආහාර ගෙන අවසන් වූ දඩයක්කරුවා බිරිඳ රැගෙන් ආ කොරහෙන් අතහෝදාගෙන , ජලය පානය කර,  තම ගිනි බටයද ගෙන නැඟී සිටියේ පුරුදු රාජකාරිය වෙත යාමටය.  කෙමෙන් කෙමෙන් ඔහු රාත්‍රී අඳුර හා මුසුවිය. තවමත් ඔහුගේ මනස පුරා දෝංකාර දෙන්නේ ගම්මුන්ගේ කේළාම් බස්ය. ඔහු මඳකට නතර විය. මඳ වේලාවක් අහස දෙස බලාසිටි දඩයක්කරුවා ආපසු හැරුණේය. 

ගේ පෙනෙන මානයට ආපසු ඔහුගේ ගමන සිදුවුණේ ඉතා සෙමින්ය. ඔහු කෙමෙන් කෙමෙන් නිවසට කිට්ටු කලේය. නිවසේ කුප්පි ලාම්පු එලිය තිබුණේ නැත. ඔහු තව තවත් සෙමින් නිවසට කිට්ටු කලේය. කටු මැටි ගෑ නිවසේ නිදන කාමරයේ ජනේලය අසලට කිට්ටු කල ඔහුට ඇසුනේ කාන්තාවක තෘප්තියෙන් කල කෙඳිරිල්ලකි. ඒ තම බිරිඳ බිසෝ ගේ කෙඳිරිල්ල බව ඔහුට වටහා ගන්නට ගියේ ඉතා කෙටි වේලාවකි.  දඩයක්කාරයාගේ දැඩි සිත සසල විය. ශෝකනීය සිතුවිලිත් , වෛරයේ  ගිනිසිළුත් එකවර  ඔහුගේ මනස තුල අරගල කරන්නට විය. ඔහුට තම දෙපා වාරු නැතිවන බවක් දැනෙන්නට විය.  ක්‍රෝධයෙන් ඔහු වෙව්ලන්නට විය.  දඩයක්කාරයාගේ රක්තවර්ණ දෑස් අඳුරේද දිලිසෙන්නට විය.

#####################

දඩයක්කාරයාගේ දෑස් විවර විය.  තමාට නින්ද ගොස් ඇති බව වැටහුණු ඔහු අවට විපරම් කරන්නට විය.  දඩයක්කාරයාට වූයේ, අඳුරද මහ දවාල මෙන් හුරු දෑසකි. මුවැත්තිය තවමත් ස්නාන කෙළියේය.

එක්වරම සතෙකුගේ අඩි ශබ්දයක් ඇසෙන්නට විය. අත්දැකීමෙන්ම ඒ ශබ්දය තවත් මුවෙකුගේම බව දඩයක්කාරයා  වටහාගත්තේය. සැබවින්ම ඒ පෙර දුටු ශෝබමාන අං තට්ටුව හිමි වැඩුණු මුවාය.  මුවා මුවැත්තිය අසලට ගොස් දෙකකුලෙන් සිට ගෙත් අතර මුවාද පෙර මුවැත්තිය මෙන් මුව තරුණයෙක් ලෙසට රූපාන්තරණය විය. මුවැත්තිය මුවාව වැළඳගත්තාය. කිටි කිටියේ බදා වැළඳගත් ඔවුන් උමතුවෙන් මෙන් සිපගන්නට විය.

මෙම ශුංගාරාත්මක දර්ශනට දඩයක්කරුවාගේ නෙතට රසඳුනක් විය. මුව ජෝඩුව වැව් ඉවුරේම රමණය කරන්නට වූහ. දැන් දඩයක්කාරයාගේ තෘප්තියට පත්වී මෝහනයෙන් මෙන් ඒ දෙස බලා සිටින්නට විය. ඔහුගේ සියොලඟම රත් වෙන්නට විය. එහෙත් එක්වරම සිදුවූයේ නොසිතූ විරූ දෙයකි.  එහි තවදුරටත් සිටියේ මුව ජෝඩුව නොව,  එහි සිටියේ  ” බිසෝ ” සහ ‘සේතන්‍ ” ය !  ඔවුන් දෙදෙනා වැව් ඉස්මත්තේ වියරුවෙන් මෙන් රමණය කරන්නට විය.  දඩයක්කාරයා වෙව්ලන්නට විය. සංතෘප්තියේ ගිරි මුදුනෙහි අවසන් පඩිය වෙත පාතබමින් සිටි ඔහුව එක්වරම යලිත් ප්‍රපාතයට ඇද වැටුණි.

ඔහු වෛරයෙන් මෙන්ම ක්‍රෝධයෙන්ද ගිනිගන්නට විය. සේතන්ගේ තුරුලෙහි සිටි බිසෝ දඩයක්කාරයා හට ඔලොක්කුවට මෙන් බැල්මක් හෙළුවාය. එම බැල්ම පුරා තිබුණේ දඩයක්කාරයා යනු ගැහැණියක් සතුටු කිරීමට නොදන්නා නෝන්ජලයෙකු බවය. අනතුරුව සේතන්ද එවැනිම බැල්මක් දඩයක්කාරයා වෙත හෙලා බිසෝව තවත් තදින් සිපගන්නට විය.  දඩයක්කාරයාගේ ඉවසීමේ සීමා කඩොලු බිඳ වැටුණි. 

” තො.. තොත්… තොපි  දෙන්න කෝමද ආයි ආවේ. හිටපල්ල මං තොපි දෙන්නවම බාවනව…… “

ඔහුට හසුවූයේ පසෙක වැටී තිබූ ඔහුගේ ගිනි බටයයි. ගිනිබටය ගත් දඩයක්කාරයා තමා සැඟවී සිටි වදුලෙන් මෑත්විය. අනතුරුව වියරුවෙන්  කෑගැසාගෙන වේගයෙන් සේතන් සහ බිසෝ වෙතට දිවගියේය.

“ඩෝං…………………………………….

නිශ්චල වනය දෙදරවාලමින් වෙඩි හඬක් නැඟුණි.

පසුදා පාන්දරින්ම වැවට වතුර ගෙන යාම සඳහා පැමිණි කාන්තාවක් විලාප තියාගෙන යලිත් ගම්මානය දෙසට දිවගියේ රැගෙන ආ කලයත් බිම අතහරිමිනි. මඳ වේලාවකින් ඇය පැමිණියේ ගම්මුන්ද කැටුවය.  පැමිණි සියල්ලන්ටම දැකගත හැකිවූයේ  දඩයක්කාරයා වැව් ඉවුරේ තමා විසින්ම අටවා තිබූ ගිනි බටයක් පත්තු වීමෙන් ඉතා ඛේදජනක ඉරණමකට ගොදුරුවී සිටි ආකාරයයි.

දඩයක්කාරයාගේ මරණය පිළිබඳ ඔහුගේ බිරිඳට දැනුම් දීමට ඔහුගේ නිවස වෙත ගිය අයට දැකගත හැකිවූයේ ගත ලොමුදැහැ ගැන්වෙන දසුනකි. නිවසේ වූ එකම කාමරය තුල රුධිර ගංගාවක් මත බිසෝ සහ සේතන් නිරුවතින් වැටී සිටියහ. කිසිවකු විසින් බිසෝ සහ සේතන්ව දරුණු ලෙස කපා කොටා ඝාතනය කර තිබුණි.

 

READ THE
NEXT STORY > >