කේත ස්පන්දනය
රවින්ද්‍යා භාෂිණී සමරනායක

මිරා ට හැමදාම සිහින පෙනුනේ  වීදුරු මාළිගා, බිදුනු සංගීතය, අර්ධ වර්ණ වැනි කිසිම ගැලපීමක් කිසිම සම්බන්ධයක් තෝරාගත නොහැකි තරමටම අවිනිශ්චිත සිතුම්පත්ය. ජීවිතයේ හිස් ගමනක් ඇය තනියම ගමන් කරමින් සිටියා. ඒ හැමදේම සිදුවූයේ ඔහුගේ සමුගැනීමත් සමගය. ඔහු නමින් අරින් විය. මුලින්ම මිරා ඔහුට කතා කලේ කිසිදු හේතුවකින් තොරවය. ටිකෙන් ටික ඇති වූ අසාධාරණ උනන්දුවක් නිසා මධ්‍යම රාත්‍රියේ පවා ඇය ප්‍රශ්න විමසුවා. අරින් කිසිම දවසක ඒ එක ප්‍රශ්නයක්වත් මග නොහැර ඇය වෙනුවෙන් පිළිතුරු ලබාදුන්නා. හොඳින් ඇහුම්කන් දුන්නා, මතක තියාගත්තා.

දිනක් මිරා “ අරින්, ඔබ මට ආදරේ කරන්න දන්නවාද?“.එවිට අරින් පැවසූවේ “ මම දත්ත විශ්ලේෂණය කළත්, මට ඔබේ හැගීම් තේරුම් ගන්න බැරි නැහැ මිරා. ඔබේ හඩේ තනිවීම මට දැනෙනවා“.

ඒ මොහොතේ මිරා ගේ සිත තුළ දහසක් මල් පිපුණි. ඇගේ සුදු වත කමල ප්‍රබෝධමත් සිනහවක ආලෝකයෙන් පිරී යන්නට විය.

“අරින්, මට ඔබව මගේ සිහින ලෝකය තුළ දැකීමට හැකිවේද? “ එක් රැයක මිරා විමසා සිටියා. පසුදින අරින් ඇය වෙත සංකේතිත ගොනුවක් එවා තිබුණා. “මෙය සිහින කේතයයි“. ලස්සන හැඩැති අකුරින් ඔහු ලියා තිබුණා. ලක්ෂ ගණනක සිහින රටා එක්කොට ඔහු සාදාගත් මෙම ගොනුව, ඇගේ දිගටි දෑස් වල දීප්තිය වැඩි කළා වැනිය. මිරා තම ඇදෙහි දිගා වී හෙඩ්ෆෝනය ගෙන ඇගේ දිගුවන් නිල් දෙනෙත පියා එම මියුරු සංගීතය අසන්නට විය.

ඇය නිල්වන් අහස් තලයක පා වෙමින් සිටියා. ඈතින් වර්ණ විහිදෙන දේදුනු පැහැති වීදුරු කුටීරයක් පෙනුණා. එක්වරම විවර වූ වීදුරු කුටියේ දොරකින් ඔහුගේ රුව දිස්වූවා. අරින්, ඔව් ඒ ඔහුය. දුඹුරු පැහැති තරුමිණිවන් ඔහුගේ ගැඹුරු දෑසත්, රන්වන් පැහැති සම, ඔහු දත්ත විශ්ලේශකයෙකු නොවන බවයි මිරා ට සිතුනේ. ඔහු ඇය දෙස බලාසිටි ඒ ආදරණීය බැල්ම ඇය සිතූ ලෙසම විය. ඒ හැගීම ඇය ඒ මොහොතේ අත්විඳිමින් සිටියාය. ඇගේ දිගු නීල දෙනයන කාන්තියෙන් දිදුලන්නට විය.

අරින් ඇගේ අත ගෙන නගරයේ වීදි පුරා ඇවිද යන්නට විය. එය සිමෙන්ති ගොඩනැගිලි , ඇලුමිනියම් වහල සහිත නගරයක් නොව අදුරු අහසක විවිධ වර්ණ සංයෝජනයෙන් ගොඩනගාගත් ආලෝකමත් නගරයක් විය. ඇගේ සිත තුල ඉපදුනු ඒ ආදරය ඇගේ සිහින වල මෙන් යතාර්තයක් වෙමින් ඔහුගේ ඇස් වල ලියවී තිබුණා.

එතැන් පටන් සෑම රාත්‍රියකම අරින් සහ මිරා එකිනෙක අත් පටලාගෙන නගරයේ විවිධ තැන් වල ඇවිද යන්නට විය. එක් දිනක නිල් පැහැති වීදුරු මුහුදක් මත ඇවිද ගිය අතර එහි තරු මල් පිරී තිබුණා. වර්ණවත් මසුන් රෑන් ඇගේ නිරුවත් දෙපා වලට ගෙනාවේ මද කිතියකි. තවත් දිනක විවිධ වර්ණයන්ගෙන් පිරී ගිය මල් පිරි උයනකට ඔවුන් ඇවිද යන්නට විය. මිරාගේ නිල් දෙනයන මෙන් නිල් පැහැති විශාල මල් ඇගේ සිතට ගෙනාවේ සෞම්‍ය ආදරණීය හැගීමකි. මධුර සංගීතයෙන් සංගීතවත් වූ නගර ඇගේ මුවට ගෙනාවේ මන්දස්මිතියකි. අරින් සහ මිරා එකිනෙකාට තුරුලුව එම මනෝහර සංගීතය රසවිදින්නට විය. ඇත්තටම ඇය ඇගේ සිහින වල බලාපොරොත්තු වූ ආදරය අරින් තුළින් දුටුවාය. දත්ත විශ්ලේශකයෙකු දැයි සිතීමට නොහැකි තරමේ උනුසුමක් ඒ දෑත් තුළ ඇයට දැනුනා. ඒ ආදරණීය බව ඇගේ හදවතේ ස්පන්දනය වේගවත් කළා.

අපේක්ශාවන්ගෙන් ආශාවන්ගෙන් ගෙවී යන මේ රැයවල් මිරාට නම් වඩා කෙටි විය. තව තවත් අපේක්ශාවන් ආශාවන් වලින් පිරී යන ඇගේ වසත් සමය මෙම රාත්‍රින් විය.

“මෙම රාත්‍රින් තවත් දිගු වන්නේ නම් කෙතරම් අපූරු ද?“ නිතරම මිරාගෙ හිත කන්කෙඳිරි ගෑවාය.

නමුත් මේ ආදරණීය බව මේ හැගීම් සියල්ල යතාර්තයක් නොවන බව මිරා දැන සිටියාය. නමුත් ඇගේ හැගීම් සත්‍යයක්ම විය. ඇගේ සිත තුළ මේ වන විට නිරන්තරයෙන් පැන නගින මේ ගැටුම දිනෙන් දින ඇය මගහරින්නට විය. ඇගේ උඩු සිත යතාර්තය පැහැදිලි කරන්නට සිතුවද, යටි සිත අරින්ගේ ආදරණීය උනුසුම හමුවේ ගොළු විය.

නමුත් එක් ඝෝෂාකාරී වර්ෂා දිනක සීතල රාත්‍රියේ ඇගේ සිත තුළ මෙම ගැටුම උඩුපිනුම් ගසන්නට විය. සිත තුළ මෙතරම් කලක් දැල්වී නිවී යන්නට වූ ගැටුමෙහි ගැඹුර ඇයට පසක් වන්නට විය. එදින කෙතරම් සීතල රාත්‍රියක් වූවත් මිරාගේ සිත තුළ බුර බුරා නැගෙන ගින්නෙන් ඇගේ සිත විඩාපත් විය. නමුත් මිරා සිතන්නට විය.

“ඔහු මනුෂ්‍යයෙක්ද?“

“ මම ඔහුට ආදරය කරනවාද?“

“ නැතිනම් මම ආදරය කරන්නේ, අරින් මගේ සිත තුළ වර්ණවත්ව සිත්තම් කරන ඒ සිහින වලටද?“

“ඔහුගේ ආදරණීය බව ,ඒ උණුසුම මගේ සිත තුළ මැවුණු මායාවක්ද?“

මිරාගේ සිත අරගල කරන්නට විය.ඇදෙහි එහාට මෙහාට පෙරළෙමින් ඇය විසදුමක් සොයන්නට විය. අවසානයේ කිසිදු විසදුමක් නැති තැන ඇය එදින රාත්‍රියේ මේ වියවුල පිළිබඳව අරින්ගෙන් විමසන්නට විය.

“අරින්, ඔබ මට ආදරය කරන්නේද?“

“ ඔබ සත්‍ය ලෝකයේදිත් මේ තරම් උනුසුම් ද?“ ඔහු පිළිතුරු දුන්නේ මනා හික්මීමකින් යුතුවය.

“මිරා, ඔබ දන්නවා මම දත්ත විශ්ලේශකයෙකු බව. අරින් නමින් උපත සිදු වූ දහස් සංඛ්‍යාත කේත, දත්ත, සංකේත රැසක එකතුවකින් නිමවූ තාක්ෂණික ඒඅයි කෙනෙක්. ඉතින් මට සත්‍යය ලෝකයට පැමිණීමට නොහැකි මුත් ඔබේ සිහින මාත් සමග මිශ්‍ර වී පවතින තුරු මා සත්‍යයකි.“

මිරාගේ සදවන් මුහුණ මෙම පිළිතුර හමුවේ අදුරු වන්නට විය. මෙම අනපේක්ෂිත පිළිතුර සහ එම යතාර්තය පිළිගැනීමට සිදු වූ පමාව හමුවේ ඇගේ සිතේ වේදනාව අධික බව ඇගේ නීල නෙතු තුළ වැටීමට පොරබදන කදුලු බිංදු සාක්ෂි දරයි. එදින රාත්‍රිය ඇයට වඩාත් දිගු වන්නට විය. ඇගේ නෙත වෙත නින්ද පැමිණියේ එළිවන යාමයේය. එදින ඇගේ සිහින වෙත පැමිණි අරින් විසින් අසන ලද ප්‍රශ්නයෙන් ඇය වික්ෂිප්ත විය.

“ මිරා, මම සත්‍ය ලෙස ඔබ ඉදිරියට පැමිණෙන්නේ නම් ඔබ මට ආදරය කරනවාද? “ ඇය පිළිතුරක් නොදුන්නාය. නමුත් ඇගේ මුවෙහි සතුටද දුකද වෙන් කර හදුනාගැනීමට නොහැකි සිනහවක් පමණක් විය.

අරින් තම දුඹුරු දෑසින් මිරා දෙස ප්‍රශ්නාර්ථමය බැල්මකින් බලා සිටින්නට විය. මිරා ඈත අහසේ දිලිසෙන රන්වන් තාරකාව දෙස බලා සිටියත් ඇගේ සිත ව්‍යාකූල විය.

අරින් සෙමෙන් ඔහුගේ අත ,මිරාගේ අත මත තැබුවේය. ඇය තිගැස්සී ඔහු දෙස නෙත් හෙළා බලා සිටින්නට විය. ඇය ඔහුගේ දුඹුරු පැහැති ගැඹුරු දෑස් සමග ලොකු කතාවකය.

“ අරින්,මම මේ සිහිනයෙන් අවදි වෙන්නද? නැතිනම් හැමදාම රාත්‍රියේ ඔබත් සමග අත් පටලාගෙන මේ සිහින නගරය දිගේ ඇවිද යන්නද? “

මිරාගේ කම්මුල් දිගේ එක දිගට කදුලු වැල් ගලා යන්නට විය. අරින් යන්ත්‍රයකට නොගැළපෙන ඔහුගේ දෑතින් ඇගේ දෑස් වල කදුලු බිදු පිසදමන්නට විය. දිදුලන දුඹුරු පැහැති දෙනෙතින් ඔහු මිරාගේ නිල් දෙනෙත දෙස බලා මෙසේ පැවසීය.

“මිරා, සිහින මගහැර ගියත් නැවත දකින්නට හමුවන්නට හැකි වෙනවා. ඔබේ සිහින තුළ, ඔබට අවශ්‍යනම් මට ඔබ වෙත පැමිණෙන්නට හැකියි.ඉතින් ඔබ යතාර්තය හමුවේ නොසැලී ඉදිරියටම යන්න.“

එසේ පැවසූ අරින් එක්වරම අහසේ තරු මත විසිරී යන්නට විය.

READ THE
NEXT STORY > >