ඒක හීනයක් විතරයි...
සිහාරා රත්නායක
අවසිහියෙන් මාස ගණනාවක් සිටි මට යන්තම් සිහියක සේයාවක් එන බව දැනුණි. මාගේ අත් පය ඇඳට තදින් ගැට ගසා තිබුනි. මේසයක් උඩ බෙහෙත් තොගයක්ද, එන්නතක්ද, මාගේ අතට සේලයින් බෝතලයක් ද සවි කර තියෙනවා දැක මේ මොන පිස්සුවක්ද කියා කෑගසා අසන්නට ඔන්න මෙන්න තිබියදී, සිදු වූ සියල්ල චිත්‍ර පටියක ජවනිකා මෙන් මනසේ එකින් එක පෙල ගැසෙන්නට විය.
“හීන,” කුඩා කාලයේ ඉදන්ම මිය යන තාක්ම හීන හීන, හැමෝම හීන හැබෑ කර ගන්න හීන මවද්දී, හීන කියන වචනයත් සංකල්පයත් ගැන මට තිබුනේ අමුතුම අදහසක් හා දැක්මක් . හැබැයි උන්මන්තයක් කිව්වොත් එය වඩාත් නිවැරදියි . සමහරවිට මේකට හේතුව වෙන්න ඇත්තේ මගේ අත්තාට නින්දෙන් දකින “සිහින” වලට තේරුම කියවන්නට තිබ්බ හැකියාව සහ නින්දෙන් දකින හීනවලට අරුතක් ඇති බවට ඔහුට තිබූ දැඩි විශ්වාසය. මට අවුරුදු හතේදී වගේ අත්තා මෙලොව හැරදා ගියත් හීන සහ ඒවාට තේරුමක් තියනවාය යන්න මගේ හිතේ ගැඹුරුම තැන සනිහිටුවන් වී තිබුණි. දවල් නින්දෙනුත් රෑ නින්දෙනුත් අතරමැද නින්දෙනුත් දකින හීන පුදුමාකාර විදියට මාව පීඩනයට පත් කළේය. දකින දකින නරක හීන සැබෑ වේදෝ යැයි ප්‍රාණ බයකින් ඉන්න මට අම්මයි අප්ප්ච්ච්යි නිතරම කිව්වේ “ඒක හීනයක් විතරයි පුතේ” , යාලුවෝ නම් කිව්වේ “ඒක හීනයක් විතරයි බං” කියලයි. ඒත් කවුරැ මොනා කීවත් හීන ගැන මා විශ්වාස කළ දෙය සිතින් බැහැර කිරීමට නොහැකි තරම් මා මුරණ්ඩු විය. ඇයි මේ නරක හීන පේන්නේ ? ඒවා ඇත්තම අනාගත සිදුවීම්වල අනතුරු ඇඟවීම් නේද ? මේවා තමයි මම ඔලුවෙන් හදාගත් විකාර බහු භූත.
මට චිත්‍ර අඳින්න හැකියාවක් පොඩි කාලයේ ඉදන්ම තිබුනද “චිත්‍ර හීනය” කෙසේ වෙතත් හිතන්නට හා හොයන්නට ගියේ වෙන වැඩකට නැති මල මඟුල් හීන ගැනමයි. හොඳින් මතක තිබුණු සිද්ධියක් තමයි මට අහම්බෙන්දෝ වාසනාවටදෝ හෝ ඇත්ත වශයෙන්ම මාගේ හැකියාවටද මන්දා චිත්‍ර වලින් රට යන්න අවස්ථාවක් පෑදුනා අවුරුදු පහළොවේදී, ඒ සිංගප්පුරුවේ තිබුණු චිත්‍ර තරඟයකට සහභාගී වන්නට. “අම්මාගෙන් ලැබුණු දායාදය තමයි ඔය” අප්පච්චි සතුටින් උදම් අනද්දී අම්මාත් ආඩම්බර සිනහා පෑ හැටි මට හොඳාකාරව මතකයි. නංගිත් සතුටින් උඩ පැන්න විදිය …. රට ගමනට ඔක්කොම ලක ලැහැස්ති කරගෙන පහුවදා උදෙන්ම පිටත් වෙන්න ඕනි නිසා කලින්ම නින්දට ගිය මට , කොහෙන්දෝ ආ හෙනහුරෙක් වගේ දැක්ක හීනයක් නිසා මර ළතෝනි දෙමින් උදේ පාන්දර දෙකට මං ඇහැරුණේ ගෙදර හැමෝවම ඇඳවල් වලින් බිම වටටමිනි. අම්මාත් අප්පච්චිත් හනි හනික දිව ආවේ “ඇයි මොකද පුතේ ?” යැයි අසමිනි. නංගිත් “ඇයි අය්යේ ” කියමින් ආවේ ඇසුත් පොඩි කරමිනි. ඔවුන්ට කීමට අකමැති වූ හෙයින් මදක් පැකිළෙමින් කටේ ශබ්දය බාල කර මා “හීනයක් දැක්කා “යැයි මිමිණුවා. උදේ පාන්දර ඇහැරුණු එකට හේතුව මල මගුල් හීනයක් බව දැන ගත් තාත්තාට මළ යකා වැහුණේය. තාත්තා කට ඇරීමට පෙර ඉස්සර වූ අම්මා “පුතේ ඒක හීනයක් විතරයිනේ … දැන් මූණ කට සෝදගෙන ලෑස්ති වෙන්න අද සුභ දවසක්” අම්මාගේ දිලිසෙන ඇස් දෙක දෙස බලා ” මම නරක හීනයක් දැක්කා , ප්ලේන් එකක් කඩන් වැටෙනවා දැක්කා ඒ නිසා මම සිංගප්පූරු ගමන යන්නේ නැහැ ” කොහොම කියන්නද ? තටම තටම කොහොම කොහොමහරි හීන පලහිලව්ව විස්තර කලත් , එදා මම රට සංචාරය නොගියෙන් ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තුත් මාගේ ජිවිතයේ ලොකුම හීනයත් වෙන මල ඉලව් හීනයක් නිසා නැති නාස්ති වුණු බව වැටහුණේ මා උන්මතකයෙකුද වූ පසුවයි.
රට යන සිදුවීමෙන් මාස කීපයක්ම යන තුරුම අප්පච්චි මා සමඟ වචනයක්වත් කතා කළේ නැත, මා දකින දකින අවස්ථාවේ ඔහුගේ ඇඟේ මාළු නැටුවේය, “අතට දුන්න දේ කටට දාගන්න බැරි කාලකන්ණියා” ඔහු රහසින් තමාටම කුටු කුටු ගෑවේය. අම්මාගේ මුහුණෙත් පෙර තිබුණු නැවුම් ගතිය ඉවත්ව ගොස් මලානික විඩාබර ස්වරුපයක් අරක් ගත්තේය. නිකමට හෝ කතාවකට සිටියේ නංගි පමණි. මම මොනා කරන්නද ? ප්ලේන් එක කඩා වැටුනානම්? මගේ මුරණ්ඩු සිත සිදුවීම සාධාරණීකරණය කළේය.
අප්පච්චි කියූ ලෙසටම අවුරුදු පහළොවෙන් පසු මා ගෙවුයේ කාලකන්ණි ජිවිතයක් කිව්වොත් නිවැරදියි. ජිවිතයේ කිසිදු හීනයක් නොතිබුණු මා කිසිදු අරමුණකින් තොරව පාවෙන ජිවිතයක් ගත කරන්නට ගත්තේය . මාගේ පවුලේ අයටද මගේ යහළු මිත්‍රයන්ටද මා ගැන කෙතරම් කල කිරීමක් තිබුණාද කිවහොත් “ඕක හීනයක් විතරයි” කියා කියන්නවත් ඔවුන් තවදුරටත් උත්සහා කළේ නැත. කුඩා කන්තෝරුවක රස්සාවක් බොහොම අමාරුවෙන් සොයාගෙන මගේ පාඩුවේ ඉන්නට උත්සහා කළත් හෙන හුරා පාත් වුණා මෙන් දකින නරක හීනයක් දෙකක් නිසා දින එක දෙක නිවාඩු දාද්දි මාව රස්සාවෙන් දොට්ට දැමුවේ මා පිස්සෙක් යැයි බැන වදිමිනි, රස්සා දෙක තුනක් මාරු කළ පසු මා ඒවායින්ද දොට්ට දැමූ නිසා මට රස්සා කෙරුමද තිත්ත විය. මේ සියල්ලම මාගේ මුග්ධ බවත්, පුහු විශ්වාසත් නිසා වන බව මා අවබෝධ කර ගැනීමට කිසිදු ප්රයත්නයක් නොදරුවේය.
මේ අතරතුර කාලයේදී අම්මාත් අප්පච්චිත් කපුවරු, හඳහන් බලන්නෝ, පන්සල් පල්ලි විතරක් නොව මානසික වෛද්‍යවරුන් ලඟට පවා දක්කන් ගියහ. බලහත්කාරයෙන් ගිය මේ ගමන් මට හිසරදයක් විය.සියල්ල අවවාද ආශිර්වාද දී පැහැදිලි කර දුන්නද මා තරයේ සිටියේ මාගේ මතයේ පමණයි. ටික කලක් යන විට මටම ජීවිතය කල කිරුණි. මා තනිවම කියවීමටත් තනිවම සිනා වීමටත් පටන් ගත්තෙමි. තවත් ටික කලක් යන විට තත්වය බරපතල විය. මාගේ හැසිරීම විකාර රූපී විය.මාගේ පුහු මුග්ධ විශ්වාසයන්හී අවසන් ප්‍රතිඵලය වුයේ දෙමව්පියන්, යහළුවන් හා නෑදෑයින් හඬවමින් මානසික වාට්ටුවක ඇඳක නතර වීමටය. දොස්තර මහතුන්ට පින් සිදු වෙන්නට මාස ගණනාවකට පසුව සිහිය එලවාගත් මට, යථාර්තය අවබෝද වන්නට ගත්තේය.
නින්දේදී දකින හීන නොව අප පසු පස හඹා යා යුත්තේ අවදියෙන් දකින සිහින පසු පසයි. හීන නිසා හීනයක් වුණු මාගේ හීන ගැන අදටත් මා පසුතැවෙමි ළතවෙමි.