ඒක හීනයක් නෙවෙයි
ස්වර්ණ කුමාර
සමදරා හදිසි අනතුරු වාට්ටුවෙන් එළියට බැස්සා නොව ආරක්ෂක නිලධාරින් එළියට ඇද දැම්මාය. මහානාම හැලහොල්මනක් නැතිව ට්‍රොලියක තබාගෙන කොරිඩෝව දිගේ දැඩිසත්කාර ඒකකයට රැගෙන යන දසුන දෙස බලා තවදුරටත් නිහඬව සිටින්නට ඇගේ ගැහැණු සිත ඉඩ නුදුන්නාය. මහානාම වාට්ටුවෙන් රැගෙන යාමට පැමිණි දැඩිසත්කාර ඒකකයේ හෙද කාර්ය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉදිරියේ බැගෑපත් වෙමින් ඇය හඬා වැටිණි. ඇගේ සිහින් හැඬුම මරලතෝනියක් බවට පත්වන්නට ගත වූයේ, දැඩිසත්කාර ඒකකයට සැමියා ඇතුළු කර ගත් පසු වීදුරුදොර වැසී යාමත් සමගය.
“දැන් ඔය අම්ම ගෙදර යන්න.මෙතන ඉඳලා හරියන්නේ නෑනේ. ඔපරේෂන් එක කරන්න සල්ලි ටික හොයා ගන්න බලන්න.”
හදිසි ප්‍රතිකාර ඒකයේදි සැමියා පරික්ෂා කළ කාරුණික වෛද්‍යවරයා සමදරා දෙස අනුකම්පා දෑසින් බලා පැවසීය. ඇයට දරා ගත නොහැකිව හීල්ලිනි.
“හා හා දැන් මෙතන බෙරිහන් නොදී එලියට යන්න මේක හොස්පිට්ල් එකක්”
කිසිදු තෙතමනයක් නැති ආරක්ෂක නිලධාරිණියක් සමදරා එළියට තල්ලු කර දැම්මාය. ඒ වනවිට මහානමගේ කාර්යාල හිතවතුන් ද රෝහලෙන් නික්මගොස් සිටි අතර, ඔහුගේ හොඳම යහළුවා වූ සමරේ පමණක් තමා හා රැඳී හුන්නේය.
“අපි යමු සමදරා එළියට ගිහින් බලමු මොකද කරන්නේ කියලා”
“අනේ අයියා ලක්ෂ දහයක් කොහෙන්ද දැන් හොයන්නේ. මේ මාසේ ගෙවල් කුලිය දුන්නෙත් නෑ. දරුවො දෙන්නගෙ ක්ලාස් පීස් වත් ගෙව්වේ නෑ”
“ඒකනේ මම ළඟත් සත පහක් නෑ සමදරා ඔයා දන්නවනේ”
“අනේ ඔයාට කොහෙන්ද?..”
“අම්මලගෙන් අහන්න බැරිද ඔයාට”
“අනේ මාව එලව ගනියි ලොකු අයියා”
“එහෙනම් අපි බලමු ලෝන් එකක් දාගන්න”
“ලක්ෂ දහයක් දෙයිද මේ හිදිස්සියේ අනික අපි ගත්ත ලෝන් එකත් තාම කැපෙනවනේ.”
“අවුලක් වෙන එකක් නෑ අපි බලමු කතා කරලා. සමදරා ගෙදර ගිහින් ඔහොමම ඩොකියුමන්ට් ටිකත් අරන් බෑන්ක් එකට එන්න..මම ඔෆිස් එකට ගිහින් ටක්ගාලා එන්නම්”
“අනේ හා අයියා මම හදිසියට අයි ඩී එකවත් ගෙනාවේ නෑ මම ඉක්මනට එන්නම්.
සමරේ පුංචි බොරැල්ල දෙසට පයින්ම ඇවිද ගියේ ඉක්මන් ගමනිනි. ඔහු ගිය පසු ඇයට මහා අසරණකමක් දැනිණි. ඇය ඇස්වාට්ටුව හන්දියට පැමිණියේ පිස්සියක පරිද්දෙනි. ජංගම දුරකථනය ගෙන දන්නා කියන යහළු යෙහෙළියන්ට මේ සිදුවීම පවසා මුදල් හොයා ගැනීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. අවසිහියෙන් මාර්ගයේ ගමන් කිරීමට යාමෙන් ත්‍රීරෝධ රියකට හැප්පෙන්න ගොසින් බේරුනේ අනූනවයෙනි.
“පිස්සුද ගෑණියේ..මැරෙන්න හදනවද?”
රියෙන් හිස එළියට දැමූ තරුණ රියදුරා ඇසුවේ අමු තිත්ත කුණුහරුපයක් ද දෙසාබාමිනි. ඇය ඔහුට ප්‍රතිචාර නොදක්වා පය ඉක්මන් කළා ය.
ඇස්වාට්ටුව හන්දියට පැමිණි සමදරා 120 බස් රථයක් ගැනීමට පාර පැනීමට ගොස් පොලිස් නිලධාරියෙකුගෙන්ද බැනුම් ඇසුවාය. ඔහු ළඟට පැමිණීමට පෙර බස් රථයක් පැමිණි නිසා සමදරා එවර බේරුනි.
“බොරලැස්ගමුවට එකක්..”
සෙනග අඩු බස් රථයේ සමදරාට වාසියක් වූයේ ඇයට සිතු පරිදි කල්පනා කරන්නට සුදුසු අසුනක් ලැබීමයි. මහානාම උදෑසන නිවසින් පිටවූයේ පපුව පිරිමදිමිනි. ඔහු පෙරදා රාත්‍රියේද පපුව පිරිමදිමින් කෙඳිරිගාමින් නිදන ඇඳේ එහෙට මෙහෙට පෙරලුනත් සමදරාට කිසිවක් පැවසුවේ නැත. ණයක් ගෙවීමට ඇතැයි කියා සිය ගෙල මාලය දිය හැකිදැයි ඇසු ගමන් සමදරා මහානාම සමග නෝක්කාඩු වූවා ය. නිවසේ අඩුපාඩු ගැන කතා බහ කිරීමට ගොස් ඇතිවූ බහින්බස්වීම හා මෙම කතාව නිසා ඇයද මහානාමගෙන් ඒ බව විමසුවේ නැත. රාත්‍රියේ කීප වරක් වැසිකිළියට යන සැමියා කෙරෙහි සැලකිල්ලක් නොදැක්වූයේ අජීරණයක් වන්නට ඇතැයි සිතා ය. සුපුරුදු පරිදි උදෑසන අවදිව ආහාර පිස දරු දෙදෙනාටත්, සැමියාටත් ආහාර පාර්සල් තුනක් සකස් කර දරු දෙදෙනාගේ කාර්යයන් ඉටු කිරීම නිසා ඇයට මහානාමගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සොයා බලන්නට අවස්ථාවක් නොලැබිණි.සමරේ පැවසූ පරිදි මහානාම කාර්යාලයට ගොස් වැඩ කර ඇත්තේ පැයකටත් අඩු කාලයකි. ඔහු පිරිමි වැසිකිළිය අසල වැටී දඟලනු දැක ඇත්තේ කාර්යාලයේ පියන් කෙනෙකු වූ දසනායක ය. මහානාම රෝහල් ගත කරනවිට ඔහුට සිහිය තිබී නැත. රෝහල් ගත කර කළ මූලික පරික්ෂාවෙන්ම ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බවත්, වහා හෘද සැත්කමක් කළ යුතු බවට වෛද්‍යවරු නිගමනය කළ හ. මහරෝහලේ හෘද ශල්‍යාගාර දෙකම අක්‍රීය වී ඇති බවත් රෝගියා බේරා ගැනීමට පුද්ගලික රෝහලකට හෝ මාරු කර යැවිය යුතු බව වෛද්‍ය නිගමනය විය. ඒ සඳහා හැකියාවක් ඇත්දැයි විමසූ පසු සමදරාගේ හදවතත් මොහොතකට නතරවූ සේය.
බස් රථය ඉදිරියට ඇදෙද්දී සමදරා දන්නා කියන යාළු හිත මිත්‍රාදී බොහෝ දෙනෙකුට පණිවිඩය දී සහනයක් බලාපොරොත්තු වුවද මේ වේලාවේ කිසිවෙකු තමාට උදව් කළ හැකි මට්ටමක නොවූ බව තේරුම් ගත්තාය. තමාට සරණකට ඇත්තේ එකම තැනකි. එනම් තමාගේ දෙමාපියන් සහ ලොකු අයියාය. දෙහිවල, මහරගම, නුගේගොඩ ඇතුළු නගරවල විශාලතම රෙදිපිළි සාප්පු කීපයක් පවත්වාගෙන යන සිය දෙමාපියන් සමදරා සමග තවමත් සිටින්නේ තරහිනි. මහානාම සමදරා සමූහ ව්‍යාපාරයේ කළමණාකරු ලෙස සේවයට පැමිණියේ උසස් පෙළ සමත්වූ විගසමය. සරසවි වරම් ලැබුවද අගහිඟකමින් පෙලුන ඔහුගේ දෙමාපියන්ට ඒ සඳහා හැකියාවක් නොලැබුණි. මහානාම මොණරාගල සිට කොළඹ පැමිණ තිබුනේ රැකියාවක් සොයා ගෙනය. සමදරාගේ පියාට මහානාම මුණ ගස්වන ලද්දේ කොට්ටාවේ බෝධිරාජාරාමයේ ලොකු හාමුදුරුවෝ විසිනි. පිටිසර පළාතක නිවුනු ප්‍රසන්න බවකින් යුත් මහානාම තම නිවසේ රඳවාගන්නට තරම් සමදරාගේ පියා නොපැකිළිව ඉදිරිපත්වූයේ දුටු විගස මේ තරුණයා දක්ෂයෙකු බව වැටහුනු නිසාවෙනි. එවක සමදරා උසස් පෙළ හදාරමින් සිටියා ය. වික්‍රමනායක යුවලට සමදරාට අමතරව ඇයට වැඩිමහල් මහේෂ් නම්වූ පුතෙකු සිටි අතර, ඔහු එවක විදේශගතව සිටියේය. මහානාම සහය කළමණාකරුවෙකු ලෙස සමදරා සමූහ ව්‍යාපාරයේ සේවයට බඳවා ගත්තේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් හෝ පරික්ෂා කර බලා නොව ලොකු හාමුදුරුවන්ගේ රෙකමදෝරුව නිසා ය. මහානාම රාජකාරි භාරගෙන වැඩි කලක් යන්නට මත්තෙන් සිය ව්‍යාපාරය දිනෙන් දින දියුණුවන ආකාරයත් ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ නව යෝජනා මහෝපකාරි වූ අයුරු වික්‍රමනායක මහතා පැසසුමෙන් යුතුව නිරන්තර නිවැසියන් සමග කතා බහ කළේ ය. එතෙක් කළමණාකරුව සිටි පෙරේරා විසින් සිදු කළ මූල්‍ය වංචාවන් හෙළි කර ගැනීමට මහානාම සමත්වූ නිසා පෙරේරා ව්‍යාපාරයෙන් එළියටත්, මහානාමට ඔහුගේ තැනත් ලැබුණි. කළමණාකාරිත්වය ලැබීමෙන් පසු නිදහසේ කටයුතු කිරීම නිසා සමදරා ව්‍යාපාරය තවදුරටත් දියුණුවට පත්විය.
ගරාජයට යාබද පිටත කාමරයේ නේවාශිකව සිටි මහානාම වික්‍රමනායක පවුලේ අභ්‍යන්තර කුටියකට මාරුව ලැබුනේ ඉන් පසු ය. උසස් පෙළ හදාරමින් සිටි සමදරාට අමතර විෂය ඉගැන්වීමට මහානාමට සිදුවූයේ වික්‍රමනායක මැතිනියගේ ඉල්ලීම නිසා ය. වාණිජ අංශයෙන් උසස් පෙළට සූදානම්වෙමින් සිටි සමදරාට මහානාමගේ ඉගැන්වීම නිසා සරසවි වරම් ලබා ගැනීම දක්වා උසස් සමර්ථයක් ලබා ගැනීමට ද මහානාම කළ කැපවීම නිසා වික්‍රමනායක යුවළ සිටියේ දැඩි සොම්නසිනි. ගින්දරයි පුළුනුයි ලං කිරීම අවදානම් බව වික්‍රමනායකගේ මව නිවසට පැමිණි බොහෝවිට පැවසුවද ඔවුන් එවැනි දෙයක් පිළිබඳව සැළකිල්ලක් දැක්වූයේ නැත. ඒ තරමට මහානාමගේ කල්ක්‍රියාව පිළිබඳ පැහැදී සිටි බැවිනි. වික්‍රමනායකගේ මවගේ සැකය සත්‍යයක් බවට පත් කරමින් තරුණ මහානාම සහ සමදරා පෙමින් වෙලෙන්නට වූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරිනි. මහානාම වික්‍රමනායක යුවළ කෙරෙහි වූ බිය හා විශ්වාසය නිසා මුලදී සමදරාට කිසිදු අනුකූලතාවක් නොදැක්වුවද සමදරාගේ ඇසුරින් මිදෙන්නට ඔහුට නොහැකි විය.
දෙදෙනා අතර පටලැවිල්ලක් පවතින් බව අනාවරණය වූයේ මහේෂ් වික්‍රමනායක මෙරටට පැමිණිම සමරනුවස් නිවසේ පැවැති සාදය දවසේ ය. සමදරා මහානාමට තුරුළුව සිටින දසුන වික්‍රමනායක මැතිනිය දුටුවේ අහම්බයෙනි. ඇය කලබල වූයේ නැත. සාදය නිමවීමෙන් පසුදා මහානාම නිවසෙන් පිටව ගොස් තිබුණි. රදල පැලැන්තියක් නියෝජනය කළ වික්‍රමනායක පවුල සුසුමක් හෙලූයේ ඉන් පසුය. එහෙත් සමදරා පරාජය භාර නොගත්තා ය. මහානාම නිවසින් පිටවී මසකට පසු සමදරාද අනතරස්දාන විය. වික්‍රමනායක පවුලේ මුහුණේ දැලි ගා සමදරා මහානාමගේ කුලී කැදැල්ලට නික්ම ගොස් තිබුනේ ඇගේ යෙහෙළියකගේ සහයෝගය ඇතිවය. ඊට එරෙහිව වික්‍රමනායක ගත් කිසිදු උත්සාහයක් සාර්ථක නොවුන තැන සමදරා දරුකමින් ඉවත් කරන්නට හිත හදා ගත් අතර, සියළු බැඳීම් අතහැර ගත්තේය. සමදරා සමූහ ව්‍යාපාරය වික්‍රමනායක සමූහ ව්‍යාපාරය යනුවෙන් නම්වූයේ ඉනික්බිතිවය.
තාත්තා කෙසේ වෙතත් අම්මා තමාට පිටුනොපාන බවට සමදරාට හිතේ. ඒත් “උඹ ආයෙ අපෙ මරණෙකටවත් පස් පාගන්න එපා ගෙදරට“ යි එදා පොලිස් ස්ථානයේදි පියා ගිගිරූ හඬ තවමත් ඇගේ දෙසවන් අතර රැව් පිළිරැව් දෙන්නට විය. සමදරාගේ කල්පනාව බිඳ වැටුනේ සියත වූ ජංගම දුර කතනය නාදවන්නට වීමත් සමග ය.
‘‘හෙලෝ… ජෙනරල් හොස්පිට්ල් එකෙන් කතා කරන්නේ… ඔයාගේ හස්බන්ඩ්ට ටිකක් අමාරුයි ඉක්මනට එන්න පුළුවන්ද? ʼʼ
“ආ..හරි මිස් මම එන්නම්… ʼʼ
ඇමතුම විසන්ධි කළා ද යන්නවත් සිහියක් සමදරාට නොවුනි. ඇය සීනුව නාද කර බසයෙන් බැස ගත්තා ය.
‘‘ ඇයි නෝනා ටිකට් ගත්තේ බොරලැස්ගමුවටනේ.. ʼʼ
කොන්දොස්තරට පිළිවදන් නොදීම සමදරා බස් රථයෙන් බැස ගත්තා ය. ඇය සමරේ අයියාට ඇමතුමක් ගන්නා ගමන් කොළඹ දෙසට ඇදෙන පික්මී රථයකට අත දික් කළා ය.
‘‘කොහෙටද මිස් ʼʼ
‘‘ජෙනරල් හොස්පිට්ල් එකට ʼʼ
‘‘හෙලෝ සමරේ අයියා අනේ… ඉක්මනට හොස්පිට්ල් එකට එනවද දැන් මට එහෙන් කතා කළා. මහීට අමාරුලු.. ʼʼ
‘‘ආ.. ඔයා බය වෙන්න එපා සමදරා අපි හොස්පිට්ල් එකේ ඉන්නේ දැන් මම මේ ඔයාට ගන්න හැදුවා විතරයි.. ඔයා හෙමින් එන්න…හරි හරි…පරිස්සමෙන් එන්න.. ʼʼ
දෙයියනේ මේ කුමක්ද සිදු වූයේ. පෙරදා රාත්‍රියේ පළමු වතාවට ඇය සැමියා සමග බහින්බස් වූයේ කුලී ගෙවල්වල ජීවත්වීම ඇති වෙලා යයි පවසමිනි. දිනෙන් දින දරු දෙදෙනා වැඩිවියට පත්වීමත් සමග ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ නිවසේ දෛනික අවශ්‍යතා පිරිමහගන්න මහානමගේ මාසික වේතනය කෙසේවත් ප්‍රමාණවත් නොවුණි. විවාහයෙන් පසු මොණරාගල මහ ගෙදරට ගියද දවස් හතරකට වඩා එහි විසීමට සමදරාට හැකි වූයේ නැත. මහානාමට පුද්ගලික විගණන කන්තෝරුවක රැකියාවක් ලැබෙන තුරු රැකියා කීපයක නිරත වුවද ඒ කිසිවකින් දෙදෙනෙගා ජීවිකාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවුණි. එහෙත් මේ රැකියාව ලැබුන පසු අරපිරිමැස්මෙන් දිවි ගැට ගහගන්නට හැකියාව ලැබුණි. එහෙත් සමදරාට මේ දුක විඳින්නට සිදුවූයේ තමා නිසා ය යන මනස්තාපයෙන් මිදෙන්නට මහානාමට කිසිවිටෙකත් නොහැකි විය. අගහිඟකම් හමුවේ ඔහු නිතර සිටියේ සිත්තැවුලෙනි. කල්පනා කරලම ලෙඩ වුනාද දන්නේ නෑ සමදරාගේ හිත කීවාය. ඇගේ දෑසින් ගලන කඳුළු සහ සිහින් ඉකිබිඳුම කුලී රථයේ රියදුරු පැති කණ්ණාඩියෙන් දුටුවේ ය.
“ඇයි නෝනා කරදරයක්ද? ʼʼ
‘‘අනේ මල්ලි මහත්තයා අයිසීයූ එකේ ʼʼ
‘‘අයියෝ එහෙමද? බය වෙන්න එපා නෝනා මම ඉක්මනට යන්නම්. ʼʼ
පික්මී රථය ජාතික රෝහල ඉදිරියේ නවත්වනවිට මහානාගේ කාර්යාල හිතවතුන් රෝහල ළඟට පැමිණ සිටිය හ. රථයේ කුලිය ගෙවීමට ඇගේ අතේ ප්‍රමාණවත් මුදලක් නොවූ බව දැනගත් රියදුරු කාරුණික වූයේය.
‘‘සල්ලි එපා නෝනා ඇතුලට ගිහින් මහත්තයා බලලා එන්නකෝ..ʼʼ
සමදරා රියදුරුට වැඳ පිස්සියක මෙන් රෝහල තුළට දිව ගියා ය. ඇය පිළිගැනීමේ හෙදිය ළඟට යනවිටම ගිලන් රථයක් රෝහල් කොරිඩෝවට ළඟා විය.
‘‘ මිස් මම මිසිස් මහානාම.. ʼʼ
‘‘ආ.. හරි.. මේකයි පේෂන්ට්ට සිහිය ආවා හදිසියෙම ඩොක්ටර් එක්ක හොඳට කතා කළා. අපි එයාව එන්ජියෝග්‍රෑම් එක කළා. පේෂන්ට්ට බයිපාස් එකක් ඉක්මනට කරන්න වෙනවා. එයා සිහිය ඇවිත් වැඩි වෙලාවක් හිටියේ නෑ ආයෙ අමාරු වුනා ඒකයි ඔයාට කෝල් කළේ. දැන් බය වෙන්න එපා එයාට ලංකා හොස්පිට්ල් එකට ට්‍රාන්සර් කරන්න හදන්නේ.ඒකට ඔයාගේ කැමැත්ත ඕනේ. ʼʼ
“එකකොට සල්ලි..මිස්..මට සල්ලි.. ʼʼ
“හරි ෆුල් පේමන්ට් එක කරලා හොස්පිට්ල් එක බුක් කරලා තියෙනවා.
‘‘ආ…. ඒ කවුද? ʼʼ
“පේෂන්ටගේ ෆාදරින් ලෝ කියලා තමයි කිව්වේ.. මිස්ටර් වික්‍රමසිංහ ʼʼ
“දෙයියනේ අප්පච්චී ʼʼ
සමරේ සමදරා වෙත දුව ආවේ හති ලමිනි. ඔහු කිසියම් අස්වැසිල්ලක් ලැබූවෙකු සේ හැසිරුණි.
“සමදරා අපි අවාසනාවන්ත නෑ. අපි දිහා දෙයියෝ බැලුවා.. මහානාම ඇඩමිට් කරනකොට ඔයාගෙ අප්පචිචි හොස්පිට්ල් එකේ ඉඳලා. අපි දෙන්නා මෙතන කතා කරපු දේවල් එයා අහන් ඉඳලා.මම ආපහු එනකොට අංකල් මට හම්බ උනා.එයා තමයි මේ දේවල් සේරම කළේ.ʼʼ
“අනේ…අප්පච්චීʼʼ
“දෙමාපියන් කවදාවත් දරුවෝ අත හරින්නේ නෑ සමදරාʼʼ
සමදරාට මෙය සිහිනයකි. අප්පචිචි එහෙනම් තමාට සමාව දුන්නා. ඇයට කිසිවක් අදහා ගත නොහැකි විය. පෙරදා රාත්‍රියේ ණයක ගෙවීමට ඇතැයි පවසමින් තමාගේ කර මාලය ඉල්ලා සිටි අසරණ මුහුණ එවෙලේ සමදරාට සිහියට නැගිණි. දෙවියනේ එහෙනම් මේකටද මගෙන් චේන් එක ඉල්ලුවේ. තම පියා ගැන අපරිමිත සෙනෙහසත් සැමියා කෙරෙහි ඇතිවූ අනුකම්පාවෙනුත් ඇගේ සිත කම්පනයට පත්වූවා සේය.
“හරි මිසිස් මහානාම අපි දැන්ම පේෂන්ට් ලංකා හොස්පිට්ල් එකට යවනවා. ඔයා මෙතනින් සයින් එකක් දාන්න. ʼʼ
මහානාම රැගෙන ගිය ගිලන් රථය ලංකා රෝහලේ එකකි. ඔහුගේ ජීවිතාරක්ෂකයා විසින් තමා පැමිණෙන්නට ද පෙර සියල්ල සැළසුම් කර තිබිණි. තමා හා මහානාම දෙමාපියන්ට හිතුවක්කාරව විවාහ වුනා හැරෙන්නට දැනුවත්ව කිසිදු වරදක් නොකළ හ. ඒ නිසා දෙවියෝ තමාගේ දුක බලා යන්නට දේව දූතයෙකු එව්වා නොවේදැයි සමදරාට සිතිණි. මහානාම ශල්‍යාගාරයට ඇතුළත් කළ පසු මැටිල්ඩා නම්වූ අසල්වැසියා අමතා දරු දෙදෙනා පාසල් බස් රථයෙන් ගන්නා ලෙස දැනුම් දුන්නා ය.
‘‘ දුවේ… ʼʼ
“අනේ අම්මේ… මට සමා වෙන්න ʼʼ
“දැන් නාඩා ඉන්න තාත්තායි අයියයි ගියා කන්සල්ටන් හම්බ වෙන්නʼʼ
ඇය අම්මාගේ උනුහුමට තුරුලුවී ශල්‍යාගාරය අසළ සුව පහසු අසුනට බර දී මොහොතක් දෑස් පියා ගත්තේ තෙහෙට්ටුව හා වෙහෙස නිසා ය. ඇය කොතෙක් වේලා ශල්‍යාගාරයේ දොරටුව දෙස බලා සිටියාදැයි නිනව්වක් නොවුණි. පැය දෙකකට පමණ පසු ශල්‍යාගාරයේ දොර විවෘත වූයේ සිනාමුසු වතකින් යුත් වෛද්‍යවරයෙකු තමාට අතින් සංඥා කරමිනි.
“මිසිස් බය වෙන්න දෙයක් නෑ පේෂන්ට හොඳින් ඉන්නවා.සර්ජරි එක ෆුල් සක්සස්.. හැබැයි දැන්ම කතා කරන්නනම් බෑ ඔයාට බලන්න විතරක් පුළුවන්.. ʼʼ
“අනේ ඩොක්ටර් ගොඩක් පින් ඩොක්ටර් ʼʼ
‘‘පින් දෙන්න ඕනෙනම් අපිට නෙවේ..ඔයාගේ තාත්තටයි අයියටයි.. ʼʼ
ශල්‍යාගාරයෙන් පිටතට පැමිණෙන තම පියාත් එකම සහෝදරයාත් දැක ඇය මහ හයියෙන් හඬා වැටුනි. දෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද?වික්‍රමසිංහ මහතා අකීකරු දියණිය වැළඳ ගත්තේ අපරිමිත සෙනෙහසිනි. සහෝදරයා කිසිවෙකුට නොපෙනෙන්නට දෑස් අග කඳුළු පිසදා ගන්නට විය.
ඇසි පිය හෙළා තමන් සහ පවුලේ අය දෙස බලා සිටින මහානාමගේ මුහුණ දැකීමෙන් සමදරාගේ ශරීරයට ජීවයක් ලැබුණි. දෙයියනේ ඒක හීනයක නෙවෙයි.