සිහින
පවිත්‍රා අභයවර්ධන

“ආනන්ද්, දුව හම්බුණා, එච්චර අමාරු උනේ නෑ. අද ගෙදර ආවේ. රෝෂණී කියල නම තිබ්බ, ගෙදරට රෝසි කියන්න පුලුවන්”

ආනන්ද්ගේ දිගටි ඇස්වල වේදනාව ඇඳෙනවා නිමාලිට පෙනුණා. දෙන්නා හිටියේ ස්පෝකන් ඉංග්ලිෂ් පන්තියේ මිදුලේ පිනි ජම්බු ගහ ළඟ.

“ලස්සනයි. අද මගේ සංගීත් නිමාලි” ආනන්ද් කිව්වේ එයා කියන විදිහටම නිමාලි කියන කෑල්ල අමුතුවට උච්චාරණය කරලා.

සංගීත් කියන්නේ ඉන්දියාවේ මගුල් ගෙවල්වල බොහොම විචිත්‍ර උත්සවයක් බව නිමාලි දැනගත්තේ හින්දි චිත්‍රපටි බලලා. ඒ ගැන පස්සේ විස්තර ඇතුව කියලා දුන්නෙ ආනන්ද්.

“ඉන්දියාවේ සංගීත් දවසෙ මෙයා මොකද ලංකාවේ කරන්නේ” ඒ ප්‍රශ්නෙ ඔලුවට ආව විතරයි නිමාලිට ඇහැරුණා.

——————————–

තමන් ඉන්නෙ ගෙදර කාමරේ බවත් ඒ දැක්කෙ හීනයක් බවත් හිතාගන්න නිමාලිට ටිකක් වෙලා ගියා. එච්චර තාත්වික හීන පේන්න පුලුවන්ද? ඒ තමන්ගෙ හිතද? ඒ පන්තියට ගිහින් අවුරුදු ගාණක් උනත් ඒ ඔක්කොම ඒ විදිහටම පෙනුණ හැටි.

ආනන්ද්ගේ සුදු ෂර්ට් එකයි දුඹුරු කළිසමයි හම් සැන්ඩ්ල් දෙකයි පවා විස්තර ඇතුව දැක්කානේ.

නිමාලි හෙමීට හැරිලා තුවාල පෑරෙන්න නැති වෙන්න හිටගත්තා. ඇ‌ඳ මැද තියපු පුංචි රෝස නෙට් එක ඇතුළෙ රෝසි නිදි.

පැත්තක පොඩි මේසෙ උඩ ෆ්ලාස්ක් එකයි ප්ලාස්ටික් පෙට්ටියකුයි. නිමාලි කෝප්පෙකට ෆ්ලාස්ක් එකේ තිබුණ නෙස්ටමෝල්ට් දාගෙන‌ පෙට්ටියෙන් බිස්කට් එකක් අරන් කන්න පටන් ගත්තා බොහොම ස්තුති පූර්වකව. ඒක නම් අම්මගෙ හරි නැන්දම්මගේ හරි වැඩක් වෙන්න ඕන. යකෙක් කන්න බඩගිනියි කියන්නේ මේ වගේ වෙලාවලට වෙන්න ඕන. දරු ප්‍රසූතියෙන් පස්සෙ ඇඟ දුර්වල වෙලා නිසයි දුවට කිරි දෙන නිසයි නිමාලි හිටියේ ඇඟ පණ නැති වෙන තරම් බඩගින්නක.

ටිකකින් එයා ආයෙ සීරුවට ඇඳේ ඇළවුණේ අමුතු කලබලයක් දුකක් හිතේ පටලැවෙද්දි. ආනන්ද් වෙන්වුණාට පස්සෙ ගත වුණ කාලේ එයා ගැන එක දවසක්වත් නොහිතා ගත වුණ සතියක් තමයි කළින් සතිය. දරුවා ගැන හිතුවා මිසක් වෙන කිසි දෙයක් හිතන්න නිමාලිට සිහියක් තිබුණේ නෑ. දරුවා කිරි බොයිද කහ වෙයිද උණ ගනීද නාවන්නෙ කොහොමද ඒ බය දන්නෙ අලුත් අම්මා කෙනෙක්ම තමයි.

එහෙම වෙලත් ඇයි අද ආනන්ද් ව පෙනුණේ. නිමාලිට මතක් උනේ සාලෙ සෙටියේ නිදාගෙන ඉන්න කමල්. කෙල්ලව එක්කන් ඇවිත් අඩුම කුඩුම ඔක්කොම හොදම ජාතිවලින් අරන් ඇවිත් දැන් අම්මටයි දුවටයි නිදහසේ නිදාගන්න ඉඩ දීලා සාලෙ සෙටියෙ නිදාගන්න කමල්.

එහෙම මහත්තයෙක්ගෙ ආදර සත්කාර විඳ විඳ ආනන්ද් හීනෙන් හරි පේන එක හිතට හරි නෑ. උත්තරේ නිමාලි ළඟම තියෙනවා. වෙන් වුණේ ආනන්ද්ගෙ වරදකින් නෙවෙයි.

එහෙම උනා නම් “රජෙකුට හිමිවූ මා අද රැජිණකි, සතුටයි කිරුළ අපේ” කියලා උජාරුවෙන් ඉන්න තිබුණා. ඒත් තුන් හිතකින් වත් ආනන්ද්ට වරදක් හිතන්න නිමාලිට බෑ. ඉන්න තැනක හොදින් සතුටින් ඉන්න ලැබෙන්න ඕන.

ඇත්තටම අද එයාගෙ සංගීත්ද? නිළියෙක් වගේ ලස්සන කෙල්ලෙක් බදියි. නිමාලි ඇස් පියා ගත්තෙ එහෙම හිතා‌ගෙන.

——————————————————-

ආනන්ද් ශර්මා ඉංග්‍රීසි පන්තියට ආවෙ ඇල් මැරුණු පන්තියට නව ජීවයක් ලස්සනක් අරගෙන.

උසස් පෙළින් පස්සෙ අම්මගෙ වදේට පන්තියට ගිහින් සර් උගන්නනකම් කෙල්ලෝ එක්ක ඕපදූප කිය කිය හිටපු නිමාලිත් අලුත් පොතකට රැපිං පේපර් එකකින් කවරයක් දාලා ලෑස්ති කරගත්තෙත් එදායින් පස්සේ.

සර් කියලා දුන්න විදිහට දවස ගානෙ ඉංග්‍රීසි නිව්ස් අහන්න, ඩේලි නිව්ස් පත්තරේ බලන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. ඩිස්නි පින්තූර දාලා ඇට්ලස් එකෙන් අලුතෙන් ප්‍රින්ට් කරපු ලස්සන පොතක් අලුතෙන්ම අරන් දවසට වචන විස්ස ගානෙ ලියා ගන්නත් පටන් ගත්තා. අලුත් හීන, අලුත් බලාපොරොත්තු එක්ක ජීවිතේ කොච්චර ලස්සනද?

ජීවිතේ ලස්සනම හිරිමල් කාලෙ බලාපොරොත්තුව අරන් ආවෙ ආනන්ද්. තාත්තා කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලෙට මාරුවෙලා එද්දි ඒ එක්ක ඇවිත්. රැකියාවක් ලැබෙන කම් ගෙදර ඉන්න කාලෙ තමයි ඇවිත් තියෙන්නේ.

තමන්ගේ ලස්සන ගැන නිමාලිට සැකයක් තිබුණේ නෑ. ඝනකම තද කලු කොන්ඩෙ, කහ පාට හම අම්මගෙන්. කොච්චර කෑවත් හීනියට තියෙන ඇඟයි උසයි තාත්තගෙන්. මනීෂා කොයිරාළ වගේ කියලා ඉස්කෝලෙ යාලුවෝ කියන්නේ ඒ දිගටි මූණ ඇත්තටම ඒ හැඩේ නිසා.

නිමාලි වෙනදටත් වඩා ලස්සන ගැන හිතුවෙ ආනන්ද්ගෙ පැමිණීමත් එක්ක. ජීවිතේ පළවෙනි වතාවට ජිවිතේ ඉස්සරහ ගැන පැහැදිලි බලාපොරොත්තුවක්.

ජීවිතේ බෙදාගන්න කෙනෙක්. නැත්නම් ඒ වෙනකම් නිමාලිගෙ හිතේ මෙන්න මේ රස්සාව කරනවා, මේ වගේ කෙනෙක් බඳිනවා, මේ වගේ ගෙයක් හදනවා කියලා පැහැදිලි අදහසක් තිබුණේ නෑ. මධ්‍යම පාන්තික ව්‍යාපාරික පවුලක නිසා කාගෙන තමන්ගේ ඉලක්කයට යන්න දැඟළුවෙ නැතුවට පහසු ජීවිතයක් ලැබෙනවා කියන දේ ඔලුවෙ තියන නිසා වෙන්නත් පුලුවන්. ලා පාට පාට මීඳුම් පිරුණු අපැහැදිලි ලෝකයක් තමයි අනාගතය කියන චිත්‍රයේ එච්චර කල් තිබුණේ.

ආනන්ද් තමයි ඒ මීදුම අයින් කරපු හිරු එළිය. රස්සාවක් කරන්නෙ නෑ, ආනන්ද් රස්සාවක් කරයි. දෙන්නා කතාවෙලා කැමති රටක ජීවත් වෙනවා. ලොකු පුතා එයා නිසා ගොඩක් වෙලාවට ඉන්දියාවෙ ඉන්න වෙයි. පණ වගේ අම්මලා මල්ලි දාලා වෙන රටකට යන එක හිතුණෙවත් කොහොමද. ආදරේ හරි පුදුම දෙයක්.

ලස්සන හින්දි කෙල්ලො පිරුණු රටකින් ආව ආනන්ද්ගෙ හිතත් හෙළවුණේ මේ ලස්සන සිංහල කෙල්ල ළඟ. ආනන්ද්ගේ යොවුන් හිතත් මේ උණුසුම් රටේ නතර වෙන්න, ඉන්දියාවේ ගිහින් ෂිම්ලා, මනාලි වගේ තැන්වල නිමාලිව එක්ක යන්න හීන මැව්වා.

යොවුන් හදවත් දෙකක ඇතිවෙන අහිංසක ආදරේට මහ මුහුදේ, අහසේ, තරු එළියේ මල් සුව‌ඳේ කියෙන ඔක්කොම ලස්සන යටයි. “මුලු ලෝකෙම අපේ” ආනන්ද් හිතුවේ, කිව්වේ එහෙම.

“අප්පා ලංකාවට කැමතියි. ලංකාවේ මිනිස්සුන්ට කැමතියි. ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”

උතුරු ඉන්දියානු ආනන්ද්ට කොහොමත් තමන්ගේ ගෙදරින් අකමැති නොවෙන බව නිමාලි දැනගෙන හිටියා. හින්දි නළුවෙක් වගේ කොල්ලෙකුට කවුද අකමැති. ආනන්ද් එක්ක නෑදෑ ගෙවල් වල, මඟුල් ගෙවල් වල යන්න නිමාලි හීන බැලුවා.

———————————

නිමාලිගෙයි ආනන්ද්ගෙයි හීන මාළිගාව කුඩු වෙලා ගියේ නොසිතූ විදිහට. ආනන්ද්ගේ අප්පා සිංහල මිතුරෙක් එක්ක ඉඩම් ගනුදෙනුවකට හවුල් උනේ ඉදිරි ආයෝජනයක් විදිහටත් හිතාගෙන. ඉංග්‍රීසි කතා කරවන්න දාපු පන්තියේ සිංහල කෙල්ලෙක් එක්ක ආනන්ද්ගෙ සම්බන්ධයක් තියෙන බව වටින් ගොඩින් කියලත් තිබුණා.

කියපු විදිහට කොන්වන්ට් එකකට ඉස්කෝලෙ ගියපු හොඳ කෙල්ලෙක්. ඉස්සරහට පුතා ලංකාවෙ නැවතුණොත් කියන අදහසත් එක්කයි ඉඩම ගන්න එතෙක් ඉතුරු කරලා තිබුණු සේරමයි ඥාතියෙක්ගෙන් ණයට අරන් තිබුණ සල්ලියි යෙදෙව්වේ.

තමන් මහා වංචාවකට අහුවුණා කියලා දේව්ට තේරුණේ ටික කලක් ගියාම. බොරු ඔප්පු හදලා විකුණපු මගඩියකට ඔහුව අහුකරලා යාලුවා ආගිය අතක් නැති වුණා. උදව් හොයාගෙන ගිය හැම තැනින්ම උනේ විදේශිකයෙක් නිසා තමන්ගෙන් කඩාවඩාගන්න හැදීම බවයි දේව්ට තේරුණේ. අන්තිමේ සේවා කාලය නිම වෙලා ඉන්දියාවට පිටත් වුණේ සිංහල රටත්, ජාතියත් අන්තෙටම එපා වුණු ඉතුරු කරගත්තු මුදල් සතේටම හිඳුණු ඉන්දියානුවෙක්.

“අපි බ්‍රාහ්මණ, ඔය හොරු ඉන්න රටෙන් අපිට කෙල්ලො ඕන නෑ”.

හිත හොද අවංක මිනිහෙක් උන අප්පගෙ වේදනාව ආනන්ද්ට තේරුණා. නංගිගේ විවාහයට වෙන් කරලා තිබුණු මුදල් පවා නැති වෙලා නිසා අප්පා හිටියේ වියරු වැටිලා. ආනන්ද් ඉවසුවා. අවුරුදු දෙකක්.

ඒත් ලංකාව මතක් කරන්නවත් අප්පා කැමති උනේ නෑ. අන්තිමට කඳුළු ගංගාවක් මැද්දෙන් ආනන්ද් ඉන්දියාවෙයි නිමාලි ලංකාවෙයි තනි වුණා. දුකක් නොදී හදපු දුව රෑ එළිවෙනකම් අඬනවා අහ අහ නිමාලිගෙ අම්මලා සුසුම් හෙළුවා.ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ.

රාජ් කපූර් වගේ අපූරු කොල්ලා. නිමාලිගෙ අම්මා හොරෙන් නිමාලිගෙ නැන්දාට කිව්වා. මේ කෙල්ලව කවදා මොකකට හරි කැමති කරන්නද මන්දා.

—————————————————-

තාත්තාගෙ යාලුවෙක්ගෙ සමාගමක මානව හිමිකම් අංශයෙ පොඩි ලිපිකරු රස්සාවක් නිමාලිට කතා කරලා දුන්නේ ගෙට වෙලා හූල්ල හූල්ල ඉන්නවට. ටික දවසකින් එතන කෙල්ලො එක්ක යාලු උන නිමාලි ආයෙ හිනාවෙන්න පටන් ගත්තා.

ආනන්ද් ඉදහිටලා දුරකථනයෙන් කතා කළා, ලියුම් එව්වා ඒත් බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියලා දෙන්නම දැනගෙන හිටියා.

වයස විසි පහේදි නිමාලි කමල්ව බැන්දෙ තාත්තාගෙ මිතුරෙක්ගෙන්ම ආව යෝජනාවකට. කමල් හොදයි. කඩවසම්. නිහඩයි.

“දැන් අර ළමයත් එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම නවත්තන්න සුදූ, කමල්ලාත් හොඳ උනාට කොයි මිනිහාවත් ඉවසන්නෙ නැති දේවල් තියෙනවා” අම්මා කිව්වේ කමල් ගෙදර යන්න එන්න ගත්තම.

අම්මා නොකීවත් ඒ නිමාලි හිතාගෙන හිටපු දෙයක්. එයා කමල්ගේ යෝජනාව ගැනත් බොහෝ විට විවාහය වෙයි කියන එකත් ආනන්ද්ට කියලා යැව්වා.

දැන් අවුරුදු ගාණක් නිසා පපුවේ හීන් රිදුම මිසක් පපුව කඩාගෙන, පොළව පළාගෙන යන දුක නැහැ. ආයෙත් කතා නොකරන බවත්, හැමදාම හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන බවත් ලිව්වේ ඒ ලිපියේ අන්තිමට.

සුභ පතලා දිග පිළිතුරක් ආවා.

එතනින් ඒ මිහිරි ආදර කතාව අවසාන උනා.

—————————-

නිමාලි දුවව වඩාගෙන ගෙට ආවෙ වැස්ස එන නිසා. ගෙට ගෙවදුණු දවසේ වැඩ ඔක්කොම හොදින් උනා. කමල්ගෙ ධෛර්ය තමයි. නිමාලි හිතුවා. කමල් නිමාලිට සැළකුවෙත් දරුවාට වගේමයි. වැඩි කතාබහක් නැති වුණාට පුදුම ආදරයක් කරුණාවක්.

“දුව අපේ පුතා නම් ඔයාට පුදුම ආදරයක් තියෙන්නේ” දවසක් එහෙම කිව්වේ නිමාලිගේ නැන්දම්මාමයි. “ඈත යන දාට මට වරුවක් ගානෙ කතා කරනවා ගිහින් බලන්නලු ඔයාට පොඩි එකත් එක්ක වැඩ කරගන්න අමාරුයි කියලා”.

මිදුලෙත් ගේ හදනකොට ලැයිස්තු හදාගෙන පළතුරු පැළ ඉන්ඳුවේ රෝසිට කන්න. ටික දවසකින් රෝසිටයි බඩේ ඉන්න අලුත් මල්ලිටයි දෙන්නටම කන්න පුලුවන්. නිමාලි කොන්දට අත තියාගෙන ගෙට ආවා.

“නිමා දැන්වත් ටිකක් ඉඳගෙන ඉන්න. ඔයා අද මහන්සි උනා වැඩියි” කමල් කිව්වේ ගරාජ් එකේ පැත්තක ගොඩ ගහලා තිබුණ බඩු ටිකක් උඩ තට්ටුවට ගෙනියන ගමන්. මල්ලි එහෙමත් ඇවිත් උදව් කරපු නිසා වැඩිය වැඩක් ඉතුරු නෑ.

නිමාලි හිනාවෙලා අලුත් සෙටියේ ඉඳගත්තා. මහන්සි උනත් තමන්ගෙම කියලා අලුත් ගෙදරක ඉඳගෙන හැඩ බලන එක කොච්චර සතුටක්ද?

—————-

දුව ඉපදුණ දවසේ දැක්කට පස්සේ නිමාලි ආනන්ද්ව හීනෙන් දැක්කෙ ගෙවදුණු දවසේ රෑ. පැත්තෙන් පැත්තට හැරි හැරී හිටපු නිමාලිට නින්ද ගියේ සෑහෙන වෙලාවකට පස්සේ.

ආනන්ද් ඔෆිස් එකකින් එළියට ආවා. නිමාලි ඉස්සරහට ගියේ ඇඳන් හිටිය මැටර්නිටි ගවුම පිටින්මයි. කිරිබත් පිඟානකුත් අතේ තියාගෙන බලන් හිටියේ හින්දි අකුරෙන් බෝඩ් ගහපු ඉන්දියාවෙ පාරක.

“අද අලුත් ගෙට ගියා ආනන්ද්. කමල්ට ඕන උනා පුතා හම්බෙන්න කළින් පදිංචි වෙන්න. ඉතිං ඉක්මනට වැඩ ටික ඉවර කරගෙන ආවා. ආ”

කිරිබත් පිඟාන අතට දෙන්න ගියාට දෙන්න ලැබුණේ නෑ. ආනන්ද්ගේ අතේ බෝල බබෙක්. තනි සුදු අන්දලා හිටියත් පුතෙක් කියලා නිමාලිගෙ ඔලුවට ආවා.

“බබා ඔයාගෙද?”

“මෙයා වික්‍රම්” නිමාලිට ඇහැරුණා.

“වික්‍ම්, ආනන්ද්ගේ පුතා” දවස් ගානක් හිතේ හොල්මන් කළේ ඒ රූප දෙක.

පුතා හම්බවෙලා නම දාද්දි අකුරු තිබුණේ “න, ප, ම” ඔය වගේ.

“අනේ කමල් වික්‍රම් කියලත් දාමු” නිමාලි කිව්වෙ ඉස්පිරිතාලෙදිමයි.

කමල් අරිසෙන් අහුබුදුගෙන් ගත්තු “පිනිඳු” නම මුලට දාලා “විකුම්” කෑල්ලක් මැදට දැම්මා. වික්‍රම් කිව්වම ගැළපෙන්නෙ නැති නිසා.

“පිනිඳු විකුම් මැදගොඩ” රෝසිගෙ පොඩි මල්ලි ගෙදර දෙක වෙන්න කෑ ගගහා ලොකු වුණා.

————————————–

රෝසියි පිනිඳුයි ලොකු වෙද්දි නිමාලිට වැඩ වැඩි උනා. කමල් බිස්නස් වැඩ වලට යද්දි ඉස්කෝලෙ, පන්ති, එළකියුෂන්, ඩ්‍රාමා එක්ක ගෙදර වැඩ බලන්නයි අම්මාලා ගැන හොයලා බලන්නයි.

දූ ඕ ලෙවල් විභාගෙන් දිස්ත්‍රික්කෙන් පළවෙනියා වෙයි කියලා නිමාලි හීනෙන්වත් හිතුවෙ නෑ. කෙල්ල මහ රෑ ඉන්ටර්නෙට් එකෙන් ප්‍රතිඵල බලලා කෑගහගෙන කාමරේට එද්දි දෙන්නම බය වුනා. කෙල්ල ලොකු උන දවසට පස්සෙ කමල්ගේ ඇහේ කඳුළු තියෙනවා නිමාලි දැක්කෙ එදා.

නිමාලිටත් ඇඬුම වාවගන්න බෑ. ඒ මහ රෑම මල්ලිටයි අම්මටයි කතා කළා. ළඟම යාලුවන්ට පාන්දරම කිව්වා.

“මගෙ රත්තරන් කෙල්ල” නිමාලිගෙ සතුට නිමක් නෑ.

කමල් කට්ටියව මැලේෂියාවෙ එක්ක යනවා කියලා පොරොන්දු උනා. එදා දුව එක්ක ඉස්කොලෙ ගිහින්, ටියුෂන් දීපු ගුරුවරු හම්බෙලා පන්සලටත් ගිහින් ආවත් නිමාලිට මහන්සි දැනුණෙ නෑ. කොච්චර ආඩම්බරයක්ද?

එදා රෑ ආනන්ද්ව දැක්කා ආයම.

“ආනන්ද් දුව හොදටම එක්සෑම් පාස්” නිමාලි දුවගෙන වගේ ගිහින් කිව්වේ. ආනන්ද් හැරුණ විදිහ වෙනස්. ආනන්ද් හිටියෙ අතක් ඇඟට තද කරගෙන.

“ඇයි මේ?”

“පොඩි ඇක්සිඩන්ට් එකක් උනා”

එවලෙම නිමාලි ඇහැරුණා. තමන් ගැනම තරහක් හිතුණා. මෙච්චර හොඳ දවසේ පේන දේවල්.

——————————

නිමාලිගේ ජීවිතේ ගෙවුණා. සතුටු දවස්වල විශේෂ දවස්වල ආනන්ද් හීනෙන් දකින එක නැවතුණේ නෑ.

“ඔයාගෙ යටි හිත ඔය. ඔයා කැමතියි ඒවා බෙදාගන්න ආනන්ද් හිටියා නම්. ඒකයි.” හෝඩියේ ඉදන් නිමාලිගේ යාලුවා චම්පි කිව්වා. එකට ඉංග්‍රීසි පන්තිත් ගිය නිසා චම්පි නොදන්න දෙයක් නෑ නිමාලිගේ ජිවිතේ.

“පිස්සුද? ඒත් මගේ හිතට බරයි. කමල්ට කියන්නත් බෑ” නිමාලි කල්පනාවෙන් කිව්වා.

——————————-

කිසිම විශේෂයක් නැති දවසක ආනන්ද්ව එක පාරම හීනෙන් දැක්කෙ සිකුරාදාවක. එදා පුතා කැම්පස් යවන්න නිමාලි පාන්දර නැගිට්ට දවසක්. පුතායි කමලුයි පහට ගෙදරින් ගියාට පස්සෙ නිමාලි ආයෙ ටිකක් ඇලවුණා.

ආනන්ද් තනියම පුටුවක් වාඩි වෙලා ඉන්නවා. මූණ වේදනාවෙන් ඇකිළිලා.

“අප්පා” කඩවසම් තරුණයෙක් ඇවිත් කතා කරද්දි ආනන්ද් උඩ බැලුවා.

“ඇයි මේ මුකුත් කරදරයක්ද?” අහද්දිම නිමාලිට ඇහැරුණා.

නිමාලි පළවෙනි වතාවට ආනන්ද්ගෙ නම මූණු පොතේ ගැහුවා. ආනන්ද් ෂර්මලා වැහි වැහැලා. හොයාගන්න බෑ. හොයාගත්තත් ඇති පළේ මොකද්ද?

නිමාලි නැගිටලා ගිහින් මූණ කට හෝදලා ඉස්සෙල්ලම කළේ දෙහි පලුවක් කාසියක අතුල්ලලා පඬුරක් ගැට ගහපු එක. ඒ කාටවත් කරදරයක් වෙන්න එපා. නිමාලි දළදා මාළිගාවට නෙළුම් මල් වට්ටියක් භාර වෙන ගමන් හිතුවා.

———————————————-

සිංගප්පූරුවෙ චැංගි එයාර් පෝර්‌ට් එකේ කකුල් මසාජ් කරන මැෂිමට කකුල් දාගෙන වේදනාත්මක සුවයක් විඳිමින් නිමාලි හිටියෙ ලංකාවට යන ප්ලේන් එක එනකම් නොයිවසිල්ලෙන්. කමලුයි කොල්ලයි දකින කම් හිතට නිවනක් නෑ. දෙන්නගෙන්ම ඈත් වෙලා ඔච්චර කලක් හිටියමයි.

අනිත් පැත්තට රෝසියි කිරිකැටියයි දාලා ආව නිසා පපුව පැලෙන්න වගේ. රෝසි නව සීලන්තෙ පදිංචියටම යනව කිව්ව දවසෙයි, ගිය දවසෙයි හිතුණෙත් මෙහෙම තමයි. දුකට පපුව හිරවෙලා මැරෙයි කියලා. ඒත් කාලෙත් එක්ක ඒ දුක තුනී උනා. දුවට බබා හම්බෙන්න මාසෙකට කළින් ගිහින් නිමාලි මාස තුනක් හිටියා.

පොඩි එකා දාලා එන්න හිත නැතත් කමලුයි පුතයි තනියම. ලබන සතියේ රෝසිගේ නැන්දම්මා යන නිසා කෙල්ලට ආයෙ ලේසියි. පහුගිය දවස් දෙකේම ලංකාවට ගේන්න තෑගි තෝරන්න ෂොපිං මෝල්වල ගිය නිසා කකුල් දෙක කැ‌ඩෙන්න වගේ.

කට්ටියට චොකලට්, බෑග්, සෙන්ට් ජාති, පුතාගෙ පෙම්වතීට රොටරුවා මඩින් හදපු සබන්, මනුකා පැණි දාපු බොඩි බටර්, කීයක් ජාතිද.

නිමාලි ඇස් පියාගෙනම හිටියා.

තව ප්ලේන් එකට පැය හතරක් තියෙනවා. හෝටලේකට යන්න හරි නිදාගන්න පුලුවන් කාමරයක් ගන්න හරි කමල් කිව්වත් නිමාලි නොගියෙ ලොකු ගානක් අපරාදෙ නිසායි. ගෙදර ගියාම හිතේ හැටියට විවේක ගතෑකි.

———————————

“නිමාලි”

නිමාලි ගැස්සිලා ඇස් ඇරියා. ජීවිතේ එක කාලෙක ආයෙ මැරෙන්න කළින් එක පාරක් වත් දකින්න ලැබෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලපු රූපෙ. අවුරුදු තිහකට විතර පස්සේ ඇස් ඉස්සරහ නැවතිලා තිබුණෘ.

“ආනන්ද්” ආනන්ද් එයාගෙ අප්ප මැදි වයසෙදි වගෙයි.

නිමාලි නැගිටලා සපත්තු දාගෙන ආනන්ද් ළඟට ගියා. කොච්චර කාලෙකට පස්සෙද? කොච්චර දේවල් තියද කියන්න?

“මගෙ දුවට බබා හම්බ උනා. මම ඕක්ලන්ඩ් ගියා ආනන්ද්” කොතනින් පටන් අරන් කෙළවර කරන්නද නොදන්න නිමාලි කිව්වෙ කොතනින් හරි පටන් ගන්න ඔන නිසා.

“රෝසිටද? ”නිමාලි ගැස්සුණා.

“ඔව්, ඔයා කොහොමද රෝසිව දන්නේ. අපේ යාලුවෙක් කිව්වද?”

ආනන්ද් හිනා උනා. මුකුත් කිව්වේ නෑ.

අපි දෙන්නත් දුවලට පුතාලට නම් තියන්න හිතපු කාලයක් තිබ්බනේ. ඒ කාලෙ කියපු දේවල් මතක් වෙන්න ඇති. නිමාලි හිතුවා. “දුවෙක් නම් රෝජා කියලා දාමු”. ඒ කාලෙ කතාවුණේ ඒ වගේ බොළඳ ජාති. නිමාලි හාරා අවුස්සන්න ගියේ නෑ.

දෙන්න ළඟම තිබුණු කැෆේ එකක වාඩි වෙලා කෝපි ගේනකම් කතා කරන්න පටන් ගත්තා.

“ඩලාස් යුනිවර්සිටි එකේ පුතාගෙ ග්‍රැජුවේෂන්. සජිතාත් නැති නිසා මම ගියා.” ආනන්ද් කිව්වේ මෙනු පත දිහා බලාගෙන. “සජිතා මගේ වයිෆ්, ලන්ග් කැන්සර් එකකින් නැති වුණා අවුරුදු පහකට විතර කළින්.”

වැලමිට ළගින් බිඳුණු වම් අත කෙලින් තියාගෙන ආනන්ද් දකුණු අතින් හැම දේම කරගත්තු බව හිත කලබලෙන් හිටි නිසා නිමාලිට පෙනුණේ නෑ. ඇහි පිල්ලමක උනත් වෙනසක් දැකපු තරම් ළඟින් හිටියෙ කොච්චර කාලෙකට කළින්ද? දැන් මැදි වියේ ඉන්න ආගන්තුකයෝ දෙන්නෙක්.

දෙන්න කතා කරන්න පටන් ගත්තා. පවුල් ගැන, දරුවො ගැන. ආනන්ද්ගෙ අප්පයි නිමාලිගෙ අම්මලයි නැති වෙලා තිබුණෙ ළඟ ළඟ අවුරුදු වල. පැයක් විතර කතා කරද්දි නිමාලිගෙ බෝඩිං වෙලාව ආවා.

නිමාලි නැගිට්ටා.

නිමාලිගේ ටිකට් පතේ සඳහන් දොරටුව ළගට එක්ක ආව ආනන්ද් සමුගත්තා.

“නිමාලි දැකීම ලොකු සතුටක්. වික්‍රම්, මගේ පුතා සැරයක් ලංකාවට ආවා. මට ඔයාලා හම්බෙන්න කියන්න හිතුණත් පස්සේ ප්‍රශ්නයක් වෙයිද කියලා හිතුණා”

“වික්‍රම්” නිමාලි ගැස්සුණා.

“ඔයාගෙ පුතා වික්‍රම්ද?”

“හ්ම්”

“මම යනවා ආනන්ද් මේ මගේ නම්බර් එක. ආයෙ පුතා ආවොත් මට කතා කරන්න කියන්න. අපි එක්ක නවතින්න උනත් පුලුවනි”

——————————————————————

සෙනඟ අතරේ නිමාලි නොපෙනී ගියාම ආනන්ද් හැරිලා ආපහු ගියා. රෝසිගේ නම දන්න හැටි කියන්න බැරි උනා කියලා මතක් උනේ අන්තිමට. දැන් අමතක වෙන්නේ පුදුම විදිහට. මේ හිතන දේ මේ මතක නෑ. ඒත් පරණ දේවල් එකින් එක පිළිවෙළට මතක තියෙන හැටි.

අවුරුදු විසි ගානක් ගත වෙලත් තාමත් ඒ හීනෙ හරිම පැහැදිලියි.

අමුතුම හැට්ටෙකුයි ලුන්ගියකුයි ඇඳගත්තු නිමාලි ඉංග්‍රීසි පන්තියේ මිදුලෙ ඉදන් කියපු හැටි.

“ආනන්ද්, දුව හම්බුණා, එච්චර අමාරු උනේ නෑ. අද ගෙදර ආවේ. රෝෂණි කියල නම තිබ්බ, ගෙදරට රෝසි කියන්න පුලුවන්”

READ THE
NEXT STORY > >