සිව්වෙනි මානය
කසුන් ඉරෝෂ දසනායක

මට මේකට ගැලපෙන නමක් නෑ. මේක මනුෂ්‍යයෙකුට ගෝචර නොවෙන මානයක කතාවක්. ඒ නිසයි මේ සිදුවීමට මම සිව්වෙනි මානය කියලා කියන්නෙ. එහෙම කිවුවම මේක ඔයාලට හිතෙන විදිහෙ හොල්මන් හරි අභිරහස් හරි කථාවක් නෙවෙයි. ඇත්තටම, මේක එච්චර කියන්න හොඳ කතාවකුත් නෙවෙයි කියලා මටම හිතෙනවා. ඒ නිසා ස්ථාන ටිකයි, නම් ටිකයි පොඩ්ඩක් හංගලා තමයි කතාව කියන්නෙ. දිනය හරියටම මතක නෑ හැබැයි මීට අවුරුදු හය හමාරකට විතර කලින් සිද්ධියක්. මං ඒ වෙනකොට ජොබ් එක කරේ අගනුවරට ආසන්න තැනක. සුප්‍රසිද්ධ බෝ ගහක් තියෙන ටවුන් එකක ඉඳන් කිලෝමීටර් තුනහමාරක් විතර ඇතුළට වෙන්න තමයි බෝඩිම තිබුණෙ. වැඩ ඇරිලා අංක තුනක බස් මාර්ගයක බස් එකේ ඇවිත් ඒකෙන් බැහැලා කිලෝමීටර් එකකට පොඩ්ඩක් අඩුවෙන් ඒ කියන්නෙ මීටර හත්සියපනහක් වගේ පයින් ඇතුළට යන්න ඕන බෝඩිම හම්බ වෙනකම්. ඒ තරම් ඇතුළකින් බෝඩිමක් හොයාගත්තෙ කී මනි නැතුව ගාණ අඩුවෙන් හොයාගන්න පුළුවන් වුණ තැනක් නිසා. ටවුන් එකෙන් ගොඩක් ඇතුළෙ නිසා ජනාකීර්ණ බවක් නෑ. අනික මං එන ටයිම් එකේ ඒ පාරේ බලු බල්ලෙක් නෑ. පික් මී එකක් දාගෙන එන්නෙ වැස්සක් එහෙම සෙට් වුණ දවසක තමයි. නැත්තම් රෑට ටවුමෙන් කන කොත්තුව හරි රයිස් එක හරි දිරවගන්නයි, බඩ අඩු කරගන්න යි, ඔය මීටර් හත්සියපනහ මං එන්නෙ පයින්ම. ඉතින් ඩේලි රෑ නමයහමාර දහය වගේ වෙනකොට ෆෝන් එකේ සිංදුවකුත් ප්ලේ කරගෙන ෆුල් චිල් එකේ දුමකුත් දාගෙන මං ඇරෙන්න මොකෙක් වත් ඔය පාරේ යන්නෙ නැති තරම්. වටේටම ලොකු ජොබ් කරන පිටින් ඇවිත් පදිංචි වෙච්ච, හයි ක්ලාස් එවුන්ගෙ තාප්ප වලින් වට වුණ ලක්සරි ගෙවලුයි, මීටර් සීයක් වගේ පාරේ දෙපැත්තෙ අත් හැරපු පුරන් වුණ කුඹුරයි ඇරෙන්න ඔය පාරේ වෙන කිසිම කියන්න තරම් විශේෂ භෞතික ලක්ෂණ නෑ. අඩුම තරමේ සිල්ලර කඩයකට එන්නත් බස් එහෙම යන මහපාරේ හන්දියට එන්න ඕන.

සිද්ධිය වුණ දවසේ රෑත් මං සුපුරුදු පරිදි  පාර දිගේ එනවා. පාරට දාපු අන්තිම ලයිට් එක හරියටම අර වෙල පටන් ගන්න තැනින් ඉවරයි. ඒ හරිය එළිමහන් නිසා වැහි කළුවක් නැත්නම් වෙල ඉවර වෙන මීටර සීයක විතර දුර ප්‍රමාණය අහසෙ එළියෙන් පියවි ඇහැට හොඳට පේනවා. එදා මං වෙල පටන් ගන්න තැනට එද්දි වෙල කෙළවර හරියෙ සුදු ඇඳගත්ත කෙනෙක් කලබලෙන් වගේ පාර දිගේ ඉදිරියට එනවා මට පේනවා. හිතෙත් පොඩි තිගැස්මක් ඇති වුණා. මං ටග් ගාලා ෆෝන් එකේ සිංදුව ඕෆ් කරගත්තෙ අවධානෙන් ඉන්න ඕන වගේ දැණුන නිසා. තත්පර කිහිපයක් ඇතුළත රූපය හොඳටම ෆෝකස් වුණා. ඒ ආපු පුද්ගලයා මැදි වයසෙ ගෑණු කෙනෙක් බවත්, නයිට් ඩ්‍රෙස් එකක් පිටින් කොන්ඩෙත් හදන ගමන් එන බවත් මට පෙනුනා. හරියටම අපි දෙන්නා එකිනෙකා මාරු වුණෙ වෙල මැද හරියේ වගේ. මං මගෙ පාඩුවෙ මගෙ සයිඩ් එකෙන් ගියා. වැඩිය බැලුවෙවත් නෑ ඒ පැත්ත. එයා මාව පහුකරලා මීටර් දෙකක් ගියෙ නෑ, “එක්ස්කියුස් මී මල්ලි, ඔයා මේ පැත්තෙ කෙනෙක් ද”  කියලා එක පාරට ම මේ ගෑණූ කෙනා අහපි. මාත්, “ආ ඔව්, නෑ නෑ අක්කෙ, මං මේ ළඟ බෝඩ් වෙලා ඉන්නෙ” කියලා කිවුවෙ නිකං ටැපලි ටැපලි වගේ. “අනේ සොරි මේ රෑ කරදර කරනවට මට පොඩ්ඩක් කෝල් එකක් ගන්න පුලුවන් ද? කියලා මෙයා ආයෙ ඇහුව නිසා, ඒ ටයිම් එකයි, ඒ ගෑණු කෙනාගෙ අස්වාභාවික හැසිරීමයි එක්ක මං ටිකක් ක්ෂණික ව්‍යාකූල වුණා. ඒත් මීටරේට එන්න තත්පර ගාණකින් පුළුවන් උන නිසා. “ඕකේ, නෝ ප්‍රොබ්ලම්, ආ මෙන්න” ඊළඟ තත්පරේ පැට(ර්)න් එක අන්ලොක් කරපු ෆෝන් එක ඒ ගෑණු කෙනාගෙ අතේ.

දැං තමයි සිද්ධියට හරියටම එන්ට(ර්) වෙන්නෙ. මේ ගෑණු කෙනාට ෆෝන් එක ඉල්ලන්න තිබුණ හදිස්සිය කෝල් එක ගන්න තිබුණෙ නෑ කියලා මට දැණුනා. මොකක් හරි නම්බ(ර්) එකක් හිමින් හිමින් ටයිප් කරලා කල්පනා කරන ගමන් ඒක ඩයල් කරන්නෙ නැතුව  “නෑ එක්කො ඕන නෑ” කියලා ඒක බැක්ස්පේස් කරලා ආයෙ මගෙ අතට ෆෝන් එක දුන්නා. දීලා ඇහුවා මෙහෙම දෙයක්. “ඒක නෙවෙයි මල්ලි, මං ඇත්තටම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ, ඔයාට පුළුවන් ද අපේ ගෙදරට පොඩ්ඩක් එන්න, මට පොඩි උදව්වක් ඕනි” මට එයා ඒ කිවුව විදිහ හිතට හරි ගියෙ නැහැ. “ඒක හරියන්නෙ නෑ නේද? අනික මේ රෑ, ඔයාට ලොකු ප්‍රශ්නයක් නම් ඔයා දන්න කෙනෙක් ට කෝල් එකක් ගන්න, එහෙමත් නැත්නම් වන් වන් නයින් වලට හරි කෝල් එකක් ගන්න, මේ වෙලාවේ මට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒක තමයි” කියලා මං මේ මරාලයෙන් මාරු වෙන්න ට්‍රයි කරේ.

ඒත් මේ කෙනා ඊළඟට කිවුව දෙයින් මගෙ අදහස වෙනස් වුණා. පස්සෙ තමයි මට හිතුණෙ මං ඒ වෙලාවේ කරපු ලොකුම මෝඩකම ඒ ගෑණු කෙනාට ඇහුන්කම් දීපු එක කියලා. එයා කිවුවෙ මෙහෙම දෙයක්, “හරි එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද මගෙ හස්බන්ඩ් ගෙදර ඉන්නවා. ඔයා අපේ ගෙදර ට ආවා කියලා. එහෙම කිසිම ගැටළුවක් නැහැ, අපිට තනියෙන් කරගන්න බැරි වැඩක් තියෙනවා ගියාම ඔයාටම තේරෙයි, ඔයාට කිසිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ නෑ, අනික වැඩි දුරකුත් නෑ, වෙල කෙළවර අයිනෙන් තියෙන පොඩි කොන්ක්‍රීට් පාරේ තුන්වෙනි ගේ තමයි අපේ ගෙදර” කියලා, මේ ගෑණු කෙනා එක ළඟ කියාගෙන කියාගෙන ගියා. කොහොම හරි ඒ කතාවෙ අවසානයේ දී වචන සහ ඉඟිබිඟි වල ප්‍රතිඵලය වුණේ මං යන්න කැමති වීම.

දැන් එයා ඉස්සරහින් යනවා, මං පිටිපස්සෙන් තරමක් දුර තියාගෙන යනවා. විනාඩියක් දෙකක් උපරිම අපි ඇවිදගෙන යන්න ඇති. ඒ අතරතුර අපි අතර, කිසිම කතාවක් වුණේ නෑ, හරියටම කිවුවා වගේම වෙල කෙළවර ඇතුලට තිබුණු කොන්ක්‍රීට් පාරේ තුන්වෙනි ගේ. තඩි රෝල(ර්) ඩෝ ගේට් එකක් එක්ක ඇතුළ පේන්නෙ නැති තාප්ප වලින් වට වුණ ගෙයක්. සයිඩ් එකේ තිබුණ පොඩි ගේට් එක ලොක් කරලා තිබුණෙ නෑ, එක අතකින් ගේට් එක තල්ලු කරන ගමන් අනිත් අතින් ඇතුළට එන්න වගේ සිග්නල් දීගෙන ඒ ගෑණු කෙනා වත්තට ඇතුළු වුණා. මාත් ඒ පස්සෙන්ම යන ගමන් වෝල් එකේ තිබුණ සිංහල ඉංග්‍රීසි කලවම් නේම් බෝඩ් එක ෆෝන් එකේ ටෝච් එළියෙන් මට කියවුණා.

______________ හවුස්, හදිසි මරණ පරීක්ෂක | මිස්ට(ර්). ______________ (පට්ටම් ටික) –

ගාඩ්න් එක ලොකුවට නෑ. උපරිම මීටර් දෙකහමාරක් විතර පළල ඇති. එවලෙ ලොකු එළියක් තිබුණෙ නැති වුණාට මට පෙණුනු විදියට නවීන පන්නයේ දෙමහල් නිවසක් තමයි එතන තිබුණෙ. ඒකේ ඉස්සරහ හුඩ් එක යට නවත්තලා තිබුණෙ නිසාන් ලීෆ් කාර් එකක්. කාර් එකේ ඉස්සරහ රෝද දෙකම ඉවත් කරලා‍ ජැක් කරලා තියෙනවා දැක්කට පස්සෙ තමයි මට ඇඟට ලේ ටිකක් ඉනුවෙ. මොකද මට තේරුණා මේ ගෑණු කෙනා මට කතා කරේ මේකට හෙල්ප් එකක් ගන්න තමයි කියලා. මේ ගෑණු කෙනාගෙ හස්බන්ඩ් මොන ජාතියේ ඩයල් එකක්ද දන්නෑ කියලා හිත හිත මාත් ඉස්සරහ දොර හරියට ගියා. එයා එහෙම්මම ඇතුළටම ගියා. ආයෙ පොඩ්ඩක් ඔළුව එළියට දාලා “මල්ලි මෙහෙන් පොඩ්ඩක් වාඩි වෙන්න මං ටග් ගාලා එන්නම්” කියලා ගේ ඇතුලටම ගියා. මාත් මේ මොන මරාලයක් ද හිත හිත ඇතුලට ගිහින් ළඟ තිබුණු සෝෆා සෙට් එකේ කොනකින් වාඩි වුණා. විනාඩි තුනක් විතර ගියා. කිසිම හැල හොල්මනක් නෑ. වෙලාව බැලුවා හරියටම රෑ දහයයි විස්සයි. මෙන්න එතකොටම අර ගෑණු කෙනා උඩ තට්ටුවේ පඩිපෙල බැහැගෙන බැහැගෙන ආවා ගොඩක් හදිස්සියෙන් වගේ. එයා කෙලින්ම ගියෙ ඉස්සරහ දොර ලඟට. එයා ඒක ලොක් කරලා කෙලින්ම ඇවිත් මගෙ ඉස්සරහින් වාඩි වුණා. දැං තමයි මං එයාගෙ ස්වභාවය හරියටම දැක්කෙ. අවුරුදු තිස් පහක් වගේ වයසක් ඇති. එච්චර ලස්සනක් නැති වුණාට හරි අමුතු පෙනුමක් මට එයාගෙන් පෙනුණෙ. ඒ ගෑණු කෙනා කතා කරන්න පටන් ගත්තා. හරි, මල්ලි.. මේකයි කතාව. මං කිවුවනි ඔයාට පොඩි උදව්වක් කරගන්න කතා කරේ කියලා. හැබැයි එතනදි ඔයා කලබල වෙන්නෙ නෑ කියලා මට මුලින්ම පොරොන්දු වෙන්න” “ඊට්ස් ඕකේ, අක්කෙ ප්‍රශ්නයක් නෑ, ඉක්මනින් මට යන්නත් ඕනෙ, දැනටමත් ගොඩක් ලේට් වෙලා තියෙන්නෙ, මොකක් ද දැං ප්‍රශ්නෙ” මම එහෙම ඇහුවෙ හස්බන්ඩ් දැක්කෙත් නැති නිසා හෙන කුතුහලයෙන්. මොකද අර හුඩ් එක යට තිබුණු කාර් එක ගැන නෙවෙයි මේ කියන්නෙ කියලා මට ඉවෙන් වගේ දැනිලා තිබුණෙ. එයා කිසිම කතාවක් නැතිව මට එන්න, කියලා අතින් කියන ගමන් නැගිට්ටෙ, “කිසිම දේකට කලබල වෙන්න එපා” කියලා කියන ගමන්.

ඕන මඟුලක් කියලා මාත් නැඟිටලා එයා පස්සෙන් ගියෙ මෙතනින් ඉක්මනින් ගැලවෙන්න හිතාගෙන. මොකද ඒ හැසිරීම් රටාවත් එක්ක මෙහෙම වචනයෙන් කියන්න බැරි අමුත්තක් මට දැනිලා තිබුණෙ ඒ වෙනකොටත්. පහළ තට්ටුවේ දෙපැත්තෙ කාමර තුනක් වගේ තිබුණු පොඩි කොරිඩෝවක් හරහා ගිය මෙයා එක කාමරයක දොර ලඟ නැවතිලා ඒ කාමරේ ලයිට් ස්විච් එක ඔන් කරලා දොර ඇරලා ඇතුළ පෙන්නුවා. ඇත්තටම ඒ වගේ දර්ශනයක් මගෙ ජීවිතේ එච්චර ළඟින් සැබෑවට දැක්ක පළවෙනි පාර ඒක. මං කෑ ගහගෙන පස්සට පැන්නෙ පිස්සුවෙන් වගේ. මොහොතකට ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වුණා. ඇත්තටම, මං බිම ඇද වැටුණා වගේ තමයි මතක. ඉස්සරහ දොර හරියට මං දුවගෙන ගියත් ඒක ලොක් කරලා. මාව බය කරපු ඒ දේ තමයි ඒ දොර ඇරලා පෙන්නපු කාමරේ සිවිලිම් ෆෑන් එකේ, කොක්කෙ අවුරුදු පනහක් විතර වෙන වයස තඩි බඩක් තියෙන මනුස්සයෙක් ෆුල් කිට් එක පිටින් එල්ලිලා හිටිය එක. ඒ මනුස්සයා ඒ වෙනකොටත් මැරිලා හිටියේ. මට ඒ බොඩි එක දකින කොටම ඒ බව තේරුණා. ඒ මනුස්සයා බෙල්ලෙ වැල දාගෙන එල්ලිලා හිටියෙ. කකුල් තිබුණෙ බිම ගෑවෙන මානයේ. ඒ ළඟ පොඩි ළමයි පදින ලී සීසෝ අශ්වයෙක් බිම පෙරළිලා තිබුණා. මං තත්පර කිහිපයකට කෝමා තත්ත්වයකට මුහුණ දෙන්න ඇති. ආයෙ කල්පනා ශක්තිය එනකොට මං හිටියේ ඉස්සරහ දොරේ හැන්ඩ්ල් එක අතකින් අල්ලගෙන. ඒ අස්සෙ අර ගෑණු කෙනා මාව බදාගෙන. එයා මොනවදෝ දොඩවනවා. මට මොකුත් ඇහුනෙ නෑ. කන් දෙකම ලොක් වෙලා වගේ දැණුනෙ. කොහොම හරි මං හරියටම පියවි සිහියට එනකොට මේ ගෑණු කෙනා හිටිය අසරණ, අමුතු ඉරියව්ව නිසා මං ටිකක් කූල් ඩවුන් වුණා.

එයා මාව බදාගෙන ම මෙහෙම කිව්වා, “මං කිවුවනෙ මල්ලි ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්න කියලා, මේ කිසිම දේකින් ඔයාට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මට මේ උදව්ව කරන්න ඒ බොඩි එක එතනින් අයින් කරලා ගෙයින් එළියට ගෙනියන්න මට උදව් කරන්න, එච්චරයි ඔයාගෙන් වෙන්න ඕන” ගෑණියෙක්ට මිනිහෙක් මොන මට්ටමක හිටියත් හිත වෙනස් කරන්න පුළුවන් කියලා මට තේරුණෙ එවලේ. ඔළුවට පොලු පාරක් වැදුණු එකෙක් වගේ මාත් ඒ සේරටම එකඟ වුණෙ ඇයි කියලා මේක ලියන මොහොත වෙනකම්වත් මට තේරුණේ නැහැ. කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව එයා කියන දේ විතරක් කරන්න පවා, ඒ ගෑණු කෙනා මාව කැමති කරවගත්තා. කොහොමහරි මේ සියල්ලෙම අවසන් ප්‍රතිඵලය වුණේ අපි දෙන්නා අර මනුස්සයා එල්ලිලා හිටපු තැනින් ඒ පටිය කපලා බිමට අරගෙන ගේ පිටුපස පැත්තට තිබුණු දොරින් එළියට ඇද ගෙන යෑම. මෙතන ඊළඟ විශේෂ දේ වෙන්නෙ පිටිපස්සෙ මිදුලෙ තාප්පෙ අයිනෙ අඩි හයක, අටක වගේ අර මනුස්සයගෙ සයිස් එකට සෑහෙන වලක් කපලා තිබුණු එක. අළුත් පස්, හරියටම මේ දැං හාරපු වලක් වගේ. ඒ බොඩි එක අපි ඒ වලට තල්ලු කලේ කලින් කතා කරගෙන හිටියා වගේ. මට අහන්න ප්‍රශ්න ගොඩක් හිතට ආවට ඒකට ඉඩක් ලැබුණෙ නෑ. ලඟ තිබුණු සවලක් අතට දුන්න ඒ ගෑණු කෙනා මට ඊළඟට කරන්න ඕනි දේ අතින් ම කිවුවා. එයත් සවලක් අතට ගත්තා. අපි පැය භාගයක් වගේ මහන්සි වුණා. දැන් සේරම කම්පීලීට්. මං මෙහෙම දෙයක් හිතට ගත්තා අනිවාර්යයෙන්ම මේ වැඩේ ඉවර වුණාම මං කෙලින්ම යන්නෙ ළඟම පොලිසියට. ඒ ගෑණු කෙනා ඊළඟට කොහෙන් ද මන්දා තණකොළ පිඩැලි පිරුණු වීල් බැරෝ එකක් තල්ලු කරගෙන ඇවිත් හරිම පිළිවෙලට අර අලුත් පස් වැහෙන්න තණ පිඩැලි ටික ඇතිරුවා. මං ඒකට උදව් වුණේ නෑ. ඒ වෙනකොටත් මං මානසිකව වගේම, කායිකවත් දුර්වල වෙලා හිටියෙ. මං මිනීමැරුමකට හෝ එවැනි දේකට අනුබල දුන්න පුද්ගලයෙක් ය යන සිතුවිල්ල මාව හොල්මන් කරා. ඒ වෙනකොට මගෙ ෂර්ට් එක ඇතුළු සේරම දහඩියෙන් පෙඟිලා තිබුණෙ. ඒ මදිවට සපත්තු දෙක ඇතුළෙ හොඳටම පස් පිරිලා.

“වැඩේ ඉවරයි, ඔයාට යන්න පුලුවන්, හැබැයි මේ ගැන කිසිම දෙයක් කවදාවත් කිසිම කෙනෙකුට කියන්න බෑ, ඔයාට සල්ලි ඕන නම් ඒකත් පුළුවන්, ඒ විතරක් නෙවෙයි ඔයාට අවශ්‍ය ඕනම දෙයක්” මං “හරි” කියලා පොරොන්දු වුණේ, එතනින් ඉක්මනින් අයින් වෙන්න ඕන නිසා මිසක් ඒ දේවල් වලට ඇහුන්කන් දීලා නෙවෙයි. අද මං ඒ පොරොන්දුව කඩන්නෙ ඒකට පැහැදිලි හේතුවක් තියෙන නිසයි. ඒ මොකක්ද කියලා ඔයාලට ම හිතාගන්න පුළුවන් මේක ඉවර වෙනකම් කියෙවුවම. සමහර විට හෙට මට නීතිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. ඒත් මං හිතාගත්තා මේ ගැන ලියන්න. ඒක වෙනස් වෙන්නෙ නෑ.

හරි කතාවට එමු. දැං තමයි මාව හොල්මන් කරපු සිද්ධිය ආරම්භ වෙන්නෙ, මං දෙවෙනි නෙවෙයි තුන්වෙනි පාරටත් මේ ගෑණු කෙනාගෙ කීම ඇහුවා. ඒ තමයි, “මල්ලි, ඔයා ඔය විදියට ගියොත් ලොකු අවුලක් ඉක්මනින් වොෂ් එකක් දාගෙන ඔය පස් ටික එහෙම හෝද ගන්න, හැබැයි වැඩි වෙලාවක් ගන්න එපා, අනිත් විස්තර අපි ඊට පස්සෙ කතා කරමු” ඊළඟ විනාඩියෙ, ඒ ගෑණු කෙනාගෙ මඟ පෙන්වීම යටතේ මං පහළ මාලයෙ කිචන් එකට යාබදව තිබුණු වොෂ් රූම් එක ඇතුලෙ මං. ෂර්ට් එක සහ සපත්තු ගලවලා ෂව(ර්) එක ඇරියා විතරයි පොඩි ශබ්දයක් ත්‍රීව හඩින් මුළු ගේ පුරාම කැරකිලා ගියා වගේ දැනුනෙ, හරියට ඉලෙක්ට්‍රෝඩ ලීක් වුණාම ඇහෙන අර කීං ගාන හඬ වගේ. ඒ එක්කම මුළු වොෂ් රූම් එකම අඳුරු වුණා. ෆයර් එලාම් එකක් ඔන් වුණා වගේ ශබ්දයකින් මගෙ කන් දෙකම පිරෙද්දි ක්ලාන්තයක් ද, සිහි නැතිවුණා ද කියලා මට හිතාගන්න බෑ අදටත්. මොකද එතනින් එහාට මට කිසිම දෙයක් මතක නෑ.

ආපහු ඇස් ඇරලා බලද්දී මං හිටියෙ කළුවරට ඇස් හුරුකර ගන්න අමාරු තැනක. ඈතින් වාහන හෝන් ශබ්දයි, ලයිට් එළියි කැරකි කැරකි පෙනුණා. මං ගොඩනැගිල්ලක් ඇතුළෙ ප්ලාස්ටික් පුටුවක ඉඳගෙන හිටියෙ. ටික වෙලාවකට පස්සෙ අමාරුවෙන් ඇස් හුරු කරගෙන මං වටපිටාව බැලුවා. දෙයියනේ, මං මේ ඉන්නෙ පිටකොටුව ගුණසිංහපුර සීටීබී බස් ස්ටෑන්ඩ් එකේ පබ්ලික් ටොයිලට් එක ළඟ මිනිස්සුන්ට වාඩි වෙලා ඉන්න හයි කරලා තියෙන ප්ලාස්ටික් පුටුවලින් එකක නේද? සිහිඑලවා ගන්න මට විනාඩියක් විතර යන්න ඇති. සේරම චිත්‍රපටියක් වගේ මනස ඇතුලෙ ගලාගෙන ගියා. මට ලොකු තිබහක් දැණුනා. ඉස්සෙල්ලම මම එතනම වාඩි වෙලා ඉන්න ගමන් ම සාක්කු වලට අත දාලා බැලුවා. ඔව්, ෆෝන් එකයි, ප(ර්)ස් එකයි නිරුපද්‍රිතව තියෙනවා. වෙලාව බැලුවා, පාන්දර හතරහමාරයි. සපත්තු දෙක ක්ලීන්. කිසිම පස් බිඳක් වත් නෑ. ඇදුම්වල අවුලක් දැණුනෙත් නෑ.

“ඔව් මං භයානක හීනයක් දැකලා තියෙන්නෙ” මං මටම කියාගත්තා. ඒත් කිලෝමීටර් පහළොවක් විතර දුරකින් මං මෙතන ඉන්නෙ කොහොමද? මං කලින් රෑ කිසිම ඩ්‍රින්ක් එකක් ගත්තෙත් නෑ, ඒ වගේම කිසිම දෙයක් පාවිච්චි කළෙත් නෑ, ඒක මට සීයට සීයක්ම ෂුව(ර්). උදේ ඉඳන් වෙච්ච හැම දෙයක්ම සිහියට ගන්න ට්‍රයි කළා. ඒ කිසිම දේක වැරදීමක් නෑ. රෑ නවයෙන් පස්සෙ වුණ අද්භූත සිදුවීම් ජාලය විතරයි වෙනසක් වගේ දැණුනෙ. කොහොම හරි ඒ වෙච්ච දේ ප්‍රතිඵලයක් විදිහට මං මෙතන ඉන්න බව මං ටික වේලාවකින් ප්‍රත්‍යක්ෂ කර ගත්තා. මට මහ බයක් දැනෙන්න ගත්තා. ඊළඟට මොකක් ද කරන්න ඕනි කියලා මට අයිඩියා එකක් තිබුණෙ නෑ. ඒ ටයිම් එකේ බස් ස්ටෑන්ඩ් එකේ මිනිස්සු හිටියෙ ගොඩක් අඩුවෙන්, හිටියත් නිදි කිරා වැටෙමින්. වැඩිය හිතන්න ගියෙ නෑ, එහෙම්මම නැගිටලා පිටිපස්සේ නවත්තලා තිබුණ පරණ පාරෙන් යන මොණරාගල සීටීබී බස් එකට නැග්ගා. බස් එක හරියටම පහයි පහළොවට ඇද්දා. මේ වගේ වෙලාවක හැමෝටම වගේ, මටත් මතක් වුණේ ගෙදර. ගත්තා ඇහැළියගොඩ ට ටිකට් එකක්. ඒ වෙලාවට අම්මා ඇහැරිලා බව දන්න නිසා ගෙදරට කෝල් එකක් දාලා කිවුවා බෝඩිමේ වයරින් එක වෙනස් කරන නිසා දවස් දෙකක් බෝඩිම ඉල්ලුව නිසා, හදිසියේ නිවාඩුවක් දාලා උදෙන්ම ගෙදර එනවා කියලා. යාළුවෙකුට කතා කරලා බොරුවක් කියලා දවස් දෙකකට නිවාඩු ඇරෙන්ජ් කරගන්න වැඩකුත් හදාගත්තා, ජොබ් එක කරන තැනින්. ගෙදර ඇවිත් මුළු දවසක්ම නිදාගත්තා. ඇහැරුණාට පස්සෙ එක එක විකාර ඔළුවට එන්න ගත්තා. වාහනයක් පාරෙ ගියත් පොලිසියෙන් වෙන්න ඇති කියලා බය වෙන සීන් එකකින් කාලය ගත කළේ. මගෙ ෆින්ග(ර්) ප්‍රින්ට් ඒ ගෙදර හැම තැනම ඇති. විකාර ෆිල්ම් වල සීන් එහෙමත් ඒ අස්සෙ මතක් වෙනවා. කොහොම හරි දවස් දෙකක් නෙවෙයි, පහක් ඉඳලා තමයි ආයෙ කොළඹ ගියෙ.

සුපුරුදු හන්දියට ආවෙ දවල් දෙකට විතර, ගෙදර ඉඳන්. ඒ හන්දියෙන් ත්‍රීවීල් එකක් අරන් අර මීටර හත්සියපනහ ආවේ. මොකක් හරි ලීක් සීන් එකක් නම්, ඒ ක්ෂණිකව ආපහු මාරු වෙන්න හිතාගෙන. අර වෙල හරියට එනකොට ඇඟ සීතල වෙන්න ගත්තා ඒ ගිනි ගහණ මහ දවල්, මොකද.. වටේටම සුදු කොඩි. අර කොන්ක්‍රීට් පාරේ තඩි බැනර් එකක් ගහලා තනි මළගෙයක්. වීල් එකේ අයියා ඒ පැත්තෙ කෙනෙක් නිසා පොරගෙන් මං ඇහුවා ඒ ගැන. “අයියෙ මළ ගෙයක් ද?” “ආ, ඔව් මල්ලි අර කොරොනර් ගෙ වයිෆ් හදිසියෙ වහ බීලා දවස් දෙකකට කලින් මැරුණනි, සුයිසයිඩ් කරගෙන, අද අවසන් කටයුතු” අර බැනර් එකේ ෆොටෝ එක දකින කොට මට කලන්තෙ වගේ ආවා, අර එදා රෑ හම්බ වුණු ගෑණු කෙනා දවස් හයකට කලින්. එයා පෙරේදා මැරිලා. මං මගෙ ෆීලින් යටපත් කරගෙන ඒ අයියගෙන් ඇහුවා “පව් නේද? එයාගෙ හස්බන්ඩ්, ෆැමිලි ප්‍රොබ්ලම් වෙන්න ඇති නේද? අයියෙ” “නෑ මල්ලි හරියටම දන්නෙ නෑ, ඒ ගෑණු කෙනාට පොඩි මෙන්ටලි අවුලක් තිබුණා කියලා ආරංචි යි, හස්බන්ඩ් ප්‍රමෝෂන් එකකට රට ගිහින් දැන් සති දෙකකට කලින්, එයත් ඇවිත් මළ ගෙදර, ගෙදර ගස් වල අතු වගයක් කපන්න ආපු මනුස්සයෙක් තමයි ඒ මිස් ගාඩ්න් එකේ වැටිලා ඉන්නවා දැකලා පොලිසියට කෝල් කරලා තියෙන්නෙ, අපි ලොකු විස්තරයක් දන්නෙ නෑ, පිටින් ඇවිත් පදිංචි වෙච්ච මිනිස්සු නේ”

කොහොමින් හරි බෝඩිමට ඇවිත් කෙලින්ම මම ගියෙ බෝඩිමේ ඇන්ටිව හම්බ වෙන්න. “කොහෙද ළමයො අතුරුදහන් වෙලා හිටියේ, සතියක් විතර ඇන්ටි තුෂ්ණිම්භූත වෙලා. “සතියක් ගියෙ නෑ ඇන්ටි, දවස් පහයි, ගෙදර වැඩ වගයක් තිබුණා, පාන්දරම ගිය නිසා කියලා යන්න බැරි වුණා” “ඒක නෙවෙයි ඇන්ටි මළ ගෙයක් වෙලා නේද අර පහළ කොන්ක්‍රීට් පාරේ” “ආ ඔව් ළමයො මාත් උදේ ගිහින් ආවා, ඒ ගෙදර ගෑණු කෙනා වහ බීලා” ඇන්ටි වැඩ වගයක් තියෙනවා කියලා ගෙට ගිය නිසා වැඩි විස්තර කතා කරේ නෑ මාත් බෝඩිම පැත්තට ආවා. මං ඉස්සෙල්ලාම කලේ ෆේස්බුක් ඕපන් කරලා අර එදා රෑ නේම් බෝඩ් එකේ තිබුණු නම සර්ච් කරලා බැලුව එක. එතනින් මට මොකුත් හොයාගන්න බැරි වුණා. පස්සෙ ගූගල් කරලා යන්තම් ඒ නමට අදාල ලින්ක්ඩින් ප්‍රොෆයිල් එකක් හොයාගන්න පුළුවන් වුණා. ඔව්, ඒ මනුස්සයා තමයි, එදා රෑ මං වල දැම්මෙ, අර ගෑණූ කෙනාගෙ හස්බන්ඩ්. මට මේ පටලැවිල්ල ගැන හිතාගන්න බැරි වුණා. මං දන්නවා මේක ඉවර වෙනකම් කියෙවුවත් ඔයාලටත් මේක පටලැවිල්ලක් වගේ දැනෙනවා ඇති.

දවස් හයකට කලින් හම්බ වුණ ඒ ගෑණු කෙනා පෙරේදා මැරිලා.

 එයාගෙ හස්බන්ඩ් මැරිලා ඉන්නවා මගෙ ඇස් දෙකෙන්ම දැකලත් ඒ මනුස්සයා රට ලු හිටියෙ.

 මං කොහොමද එදා රෑ පිටකොටුවේ හිටියෙ.

 මට හිතාගන්න බැරි වුණා. හැබැයි ෂුවර් එකටම ඒක හීනයක් නෙවෙයි කියලා මං දන්නවා.

එහෙනම් ඒක ටයිම් ට්‍රැවලින් සීන් එකක් ද?

 නැත්තම් මං හදාගත්ත භ්‍රාන්තියක් ද?

 ඩේ ජා වූ සංසිද්ධියක් ද?

 නැත්තම් පෙර භවයක් ද?

ඒක අදටත් අභිරහසක්. මොකද තව දවස් කිහිපයක් මං ඇලට් එකේ හිටියා. මට ඒ  සිදුවීම පිළිබඳ ලැබුණු ආරංචි අනුව ඒ පිරිමි මනුස්සයට තව නිවුන් සහෝදරයෙක් හිටියෙ නෑ කියලා සහසුද්දෙන්ම තොරතුරු ලැබුණා. මට තිබුණු අන්තිම සැකෙත් ඒ විදිහට ඉවර වුණා. ඒ කතාව දන්න එකම කෙනා වෙච්ච අර ගෑණු කෙනෙත් දැන් මැරිලා. හැබැයි මගෙ කුතුහලය තාමත් ඉවර නෑ… කවදා හරි අවස්ථාවක් ලැබුණොත් අර මිනී වල ආපහු හාරලා බලනකම්. අඩි අටක් විතර ගැඹුරු වලකින් ඒ මැරුණු මනුස්සයා නැගිට්ටෙ කොහොමද? සතියක් විතර යනකම් ජොබ් එක කරත් ඒ පාරේ රෑට ඒ හරියෙන් එන්න තරම් මට ගටක් තිබුණෙ නෑ. මං ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ආවා. හැබැයි හොල්මන් වලට බයේ නෙවෙයි. මං කරපු කිසිම මිනීමැරුමකුත් නෑ, අනික මේ කතාවෙ කොහෙවත් හොල්මන් හිටියෙ නෑ. මාව හොල්මන් කළා මිසක.

READ THE
NEXT STORY > >