විහිඳූ පිය පතර
පුෂ්පිකා බණ්ඩාර
අහස් ගැබ යන්තමින් අළු පැහැති වළා තිර පෙරව ගන්න හැටි නීලිකා බලන් උන්නේ මදක් නෝක්කඩු සිතකින්. අද වගේ දවසක නෙවේ නම් වැස්සට නීලිකා බොහෝම කැමතියි. හීන් වැහි පොද ඇඟට වදින කොට ඇයව නිරායාසයෙන් ඇදිලා යන්නේ ගමට. ගමේ ගත කල කුඩා සන්දියට. පුංචි අත්තටු ගහමින් අළු කොබෙයි පැටියෙක් වගේ නිදහසේ දුව පැන ඇවිද්ද පුංචි කාලේට තමයි තවමත් ඇය වඩාත් කැමති වූයේ.
අටෝරාසියක් ආටෝප වලින් වහගෙන ලෝකේට පේන්න ඇදගෙන යන මේ සාටෝපවත් ජීවිතය වෙලාවකට නීලිකාට තිත්තයි. නමුත් ඇය දන්නවා නැවතත් ඇයට හැරීමක් නැති බව.මේ පැණි රහ හීනේ දකින්න ඇය බොෙහාම කටුක තිත්ත අතීතයක් පහු කල බව ඇයට සිහි වෙනවා. තමන් තනියම දැකපු හීනේ දමිත්ත එක්ක බෙදා ගත්ත හැටි ඇයට සිහිවෙනවා.
ගෙදර තිබුණු අඟ හිගකම් එක්ක විශ්ව විද්‍යාලයට යන්න ඇය දැකපු සිහිනයට තිත තියලා විද්‍යා පීඨයට යන්න ඇය හිත හදා ගත්තේ පුහුණු කාලය තුළ දුන්න දීමනාවෙන් තව දුරටත් ගෙදරට බරක් වෙන්න ඇයට ඕන වුනේ නැති නිසා. විද්‍යා පීඨයේදී කිහිප දෙනෙකුගෙන්ම පෙම් ඇරයුම් ලැබුණත්, දමිත්ත කෙරෙහි නීලිකාගේ හිත ඇදී යන්නේ ඔහු තුළ තිබුණු අප්‍රතිහත ධෛර්ය දැකලා.
දමිත්ත ගම්පොල පැත්තේ ඉතා දුෂ්කර ගමක අතේ ඇඟිලි ගණනටත් වැඩි සහෝදර සහෝදරියන් සිටි පවුලක ඉපදුණු කෙනෙක්. නමුත් විද්‍යා පීඨයට එන විටත් සාමාන්‍ය තරමක නමක් හදා ගත් පෞද්ගලික පන්ති ගුරුවරයෙක්.ඒ වගේම ඔහු දැකපු සිහිනත් ඉතා පහසුවෙන් ළඟා කර ගත හැකි සිල්ලර හීන උනේ නැහැ.
මේ අද වෙනකොට දෙන්නගේ උත්සහයෙන් ළඟා කරගත්ත දේවල් දිහා බලන කොට ඇයට දැනෙන්නේ පපුව පුපුරා යන තරමේ අභිමානයක්. දමිත්ත සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත් දරුවන් සඳහා ත්රෛමාසිත පාඨමාලාවක් ආරම්භ කරන්නේ විද්‍යා පීඨයෙන් එළියට එනවත් එක්කමයි. සාමාන්‍ය පෙළ අසමතුන්ට ලැබුණු එකම විකල්ප දෙක උනේ පිරිවෙන් අධ්‍යාපනයට යෑම හෝ පාසල් අධ්‍යාපනය නිම කිරීම පමණයි.
කාලානුරූපව කිරි සමඟ මිසු වූ ක්ෂණික කෝපි හැන්දක් වගේ දමිත්තගේ ව්‍යාපාර මොඩලය ඉතා ඉක්මණින් ජනතාව වැළද ගත්තා.
මෙලෙස පැමිණෙන දරුවන්ගේ වර්ධනයත් සමඟ දමිත්ත ආරම්භ කල පෞද්ගලික ජාත්‍යන්තර පාසල් ජාලයද උණු කැවුම් සේ විකිණුනා.මේ සෑම සියලු දේ තුලම නීලිකාගේ උත්සාහයත් කැපවීමත් සැඟව පැවතුණා. දිනෙන් දින ලැබුණු දියුණුවත් සමඟම දමිත්තට හිත වගේම ගතත් නතර වන තැන් කිහිපයක්ම ලැබුණා. කෙසේ නමුත් විවාහයේ රැහැන් පට නොකැඩී තබා ගැනීමට නීලිකා වඟ බලා ගත්තා. අහක බලන්නට ඕනෑ තැන්වල අහක බලා ගෙනත්, නොඇසිය යුතු තැන්වල නෑසු කන් ඇතිවත් වදන් අනවශ්‍ය තැන්වල මුවින් නොබැන සිටින්නටත් ඇය හුරු වූවා. පළමු පෞද්ගලික පාසලින් පසු තව තවත් පෞද්ගලික පාසැල් ජාලයක් බවට පත්වන විට නීලිකාද අධ්යක්ෂ ධුරයකට පත්වූවා. විසි වසරකට ආසන්න විවාහ දිවියේ අද දිනය ඇයට ඉතාමත් සුවිශේෂී වන්නේ ඇයගෙත් දමිත්තගේත් එකම පුතු, දීක්ෂ අද දින සිය 18වන උපන්දිනය සමරන නිසාවෙන්.
දමිත්ත මෙන්ම තමාත් දුටු සුබ සිහින සෑබෑ කරන්නටම උපන් තමාගේ පුත්‍රයාගේ සුවිසෙස් උපන්දිනය සමරනු වස් නීලීකා තෝරා ගත්තේ නගර සීආව ආසන්නයේම වූ සුන්දර අවන්හලක්.
මනරම් ජලාශයකට යාව පිහිටි එය ඉතා දැකුම්කළු ගෘහ නිර්මාණය සඳහා ද නම් දැරූවක්. සුපුරුදු ලෙසම සියලු බර පැන දමිත්ත දැරූවද, අ යන්නේ සිට වැඩ කටයුතු සොයා බැලුනේ නීලීකා අතින්.
උදෑසන සිට ඇද හැලුණු වැස්ස ටිකෙන් ටික තුරුල් වෙමින් පැවතියේ පරිසරයේද සෞම්‍ය සිසිලසක් පතුරවමින්. අවන්හලේ එළිමහන් කොටස ඉතා අලංකාරව මලින් හා බැලුන් ආරුක්කු වලින් සැරසී තිබිණි. සිය දෙනෙකුට පමණ ආරාධනා කළද, එපමණත් මදි යැයි ඇයට සිතෙන්නේ කුඩා කල සිටම තමන් හට ඉතා සුවචව වසමින් දිවයිනේ ලාබාලතම සාමාන්‍ය පෙල ලීවූ සිසුවා වෙමින් නව වන ශ්‍රේණියේදී සාමාන්‍ය පෙලටත්, එකොළොස් වන ශ්‍රේණියේදී උසස් පෙළටත් මුහුණ දුන් ඔහු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා මේ වන විටත් තම ප්‍රථම උපාධිය සම්පූර්ණ කර අවසන් බැවිනි.
දමිත්තට කුඩා කල පැවති ඒ අඟ හිග කම් නිසාවෙන් සැබෑ කර ගැනීමට නොහැකි වූ ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය ඔහු දකිමින් සිටියේ ද දීක්ෂ තුළිනි. දමිත්තට අවැසි වුයේ තම එකම පුතු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා දැකීමටය.
ඒ සඳහා ලක්ෂ ගණනින් මතු නොව කෝටි ගණන් වුව විය පැහැදම් කිරීමට බලා සිටියේ දමිත්තයි.ක්‍රිකට් පුහුණු වීම් සඳහාම සිය නිවස්නයේ උඩු මහල ක්‍රීඩා පිටියක වෙස් ගැන්වූ දමිත්ත තරු ගණයේ පුහුණුකරුවකු සේවයට බඳවා ගත්තේද ඒ උදෙසාමය. ඔවුන් තැනූ මඟෙහි බොහොම සුමටව දීක්ෂ පා එසවූ අතර බහුතරයක් දෙනා සිහින දකින දිවියක හිමි කරුවකුද විණි.
සවස පහ පමණ වන විට අමිත්ත හා නීලීකා දෙපල අවන්හල වෙත ළඟා වූයේ දෙදෙනාගේ වාහන වලින් වීම ඔවුන්ගේ විවාහ බන්ධනයේ කඩතොලු දෘශ්‍යමාන කරවීය.
අවන් හලෙහි හයේ කණිසම වැදුනායින් පසුව ආරාධිතයන් හෙමි හෙමින් ළඟා වනු දැක ගත හැකි විණි.පැමිණි අමුත්තන් හා කථා බහේද, ඔවුන්ට සංග්රහයේද නිරත වූ බැවින් නීලීකාද, තම පුතු මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි දැයි සිතමින් දමිත්තද නොයිවසිල්ලෙන් තැතනූහ.
උපාධි ප්‍රදානෝත්සවයට අදාළ ලියකියවිලි වැඩකටයුතු සඳහා පුතු පිටත්ව ගොස් තිබුනේ තමාද අවදි වීමටත් කලියෙනි.
දීක්ෂගේ දුරකථනය වෙත නිරන්තරයෙන් ඇමතු ලබා ගත්තද ඒයින් ප්‍රතිචාරයක් නොලද බැවින් දමිත්ත වූයේ සිතේ නොසන්සුන් බවින් යුක්තවය. සාදයට පැමිණි නෑදෑයන්, මිත්‍රයන් අතර ද දීක්ෂගේ අඩුව පිළිබඳ කසු කුසුව පැතිර යමින් තිබිණි. අවන්හලේ සාදය සඳහා වෙන්වූ ශාලාවේ මල්ටි මීඩීයා තිරය මත දීක්ෂ ළදරුවකුව සිටි අවදියේ සිට පිළිවෙලින් මෙම අවුරුදු දහ අටෙහි මිහිරි මතක ළයාන්විත සංගීතයක් හා මුසුව සෙමින් දිග හැරෙමින් පැවතිණි. පැමිණි සියල්ලන් මෙන්ම දමිතත හා නීලීකාගේ අවධානයද මේ කෙරෙහි යොමු වුණේ නිතැතින්මයි. එකින් එක පෙළට පැමිණි ජායාරූප අතර දීක්ෂගේ සිනා රැදුණු කුඩා වීඩීයෝ පටද දිස්වුණා. තමාට දීක්ෂගේ කුඩා කල මඟ හැරුණු බොහෝ දේ නීලීකා මතක අතරට ගෙනැවිත් ඇති අයුරු දමිත්තටද පුදුමයක් ගෙන දුන්නා. ඉන්පසුව තිරය මත දීක්ෂගේ රුව දිස්වූ අතර ඔහුගේ පටිගත කල වීඩියෝ පටයක් ධාවනය වීම ඇරඹුණා.
“ආදරණීය අම්මේ, තාත්තේ මං ඔය දෙන්නටම සදා ණයගැතියි මාව මේ තැනට ගෙනාවට, ඒ වගේම අවුරුදු 18ක් වෙනකම්ම මම ඔයලගේ හීන බින්දෙත් නැති බව ඔයාලා දන්නවනේ. ඒත් තාත්තේ තවදුරටත් මම ඔයාගේ හීනේ ජීවත් වෙන්න කැමති නෑ. ඔයා කොච්චර උත්සාහ කළත් මම කැමති ක්‍රිකටර් කෙනෙක් වෙන්නවත්, අකවුන්ටන්ට් කෙනෙක් වෙන්නවත් නෙවේ. මට ඔනේ පේන්ටර් කෙනෙක් වෙන්න.
මේ තාක් කාලේකට අම්ම විතරක් දැන ගෙන හිටපු මගේ හීනේට මම අද යනවා. අද උදේ ෆලයිට් එකෙන් මම ෆ්රාන්ස් වලට යනවා. මං හිතනවා ඔයාලා මාව තේරුම් ගනී කියලා. එහෙනම් මම ගිහින් එන්නම්, මං ආදරෙයි ඔයාලා හැමෝටම”
වීඩියෝව අවසානයේ කදුළු අතර අතරමං වූ දමිත්ත දුටු නීලීකා සංවේදී වූයේ, ඔහුගේ ප්‍රතිචාරය මෙසේ වේයැයි ඇය කෙලෙසකවත් අනුමාන කොට නොතිබූ බැවිනි. පුතුගේ සිහිනය ඉටු කිරීම තම එකම සතුට කර ගත් ඇයට අද මුළු ලුවෙහිම සතුට එම පොකුරට වැළඳාගත්තාක් මෙන් දැනුණි. සියල්ල දැන දැනත් ඇය අද මේ සාදය සැලසුම් කලේ තම පුතුව සැමරීමටය, පුතුගේ සිහින ඉටු වීම සැමරීමටය.
පාදයක් අහිමි හොදින් අධ්‍යාපනය ලබන දරුවකු ගෙන්වා ඇයට විදුලි රෝද පුටුවකුත්, අධ්‍යාපනය අවසන් වන තුරු සියලුම පිරිවැයත් සරිලන බව නීලීකා දැනුම් දුන්නාය. ඇයගේ දිදුලන දෑස් දුටු විට ඇගේ දෑසට තුටු කදුලක් ඉනුවේ තම පුතු ඇතුලු තවත් දරුවකු තම සිහින කරා සතුටෙන් යනු දැකීමෙනි.
සියල්ලෝ විසිරයත්
හෙමි හෙමින් ඉගිලෙමින්
කැදැල්ලෙන් එළියටම,
තම තමන්ගේ සිහින
තම තමන් කැමති පැහැයෙන්
වර්ණ ගන්වා
දකිනු රිසියෙන්…..