දිව්‍යමය සිහිනයක අතරමං ව
අයෝධ්‍යා සොනාලි
තරු විසුළ අහස දෙස පියවි ඇසින් බලා හිඳීම දිවාකල වෙහෙස වූ දෑසකට කදිම ඔසුවකි. කාල වර්ණ අහස් කුසට ඉඩ දී සඳ අහසින් බැස ගොසිනි. ඔරායන් හෙවත් දඩයක්කාරයාට නිරිත දෙසින් සිටින මහ බල්ලා තරු රටාවේ සීරියස් තාරකාව දීප්තියෙන් බබළයි. ඊට මඳක් නැගෙනහිරෙන් පෙනෙන්නේ ඇන්‍ඩ්‍රොමීඩා මන්දාකිණියයි. මේ අනන්ත සක්වළ මිනිසාට වඩා නොදියුණු, සමාන මෙන්ම වඩා දියුණු ජීවීන් වාසය කළ හැක. එහෙත් තවමත්…
“ටි ටීන්…”
මාගේ දැහැන බින්දේ පරිගණකයට පැමිණි ඊ මේල් පණිවුඩයකි.
නිවසේ කවුළුව අසලින් ඉවත් වූ මම ඉක්මනින් පරිගණකය වෙත ගොස් ඊ මේල් පණිවුඩය විවෘත කළෙමි. මා සිතුවා නිවැරදිය.
පැමිණ තිබුණේ හෝර්ටන් තැන්නේ කැණීමකින් සොයා ගන්නා ලද පළිඟු කැටිත්තක වාර්තාවයි.
මහාචාර්ය අතුල සමරසිංහ ඇතුළු පිරිස විසින් පසුගිය දිනවල හෝර්ටන් තැන්නේ සිදු කරමින් සිටි කැණීමක් අතරතුර ඔවුනට හමු වී තිබුණේ ෆොසිලකරණය වී ඇති ස්ඵටික සමූහයකි. ඒවා, මීටරයක පමණ විශ්කම්භයෙන් යුතු කොටසක මීටර පහක පමණ ගැඹුරෙන් තිබී ඇති බවට ඡායාරූප සාක්ෂි දරයි. සාමාන්‍ය ගල් වලින් වෙනස් මුහුණුවරකින් හෙබි පළිඟු මෙන් දිස් වූ මෙම ෆොසිල ස්ඵටික, ස්ථානයට ආගන්තුක පරිසරයකින් පැමිණ ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ මූලික අදහස විය. එබැවින්ම ඒවායින් සාම්පලයක් විද්‍යාගාරය වෙත පැමිණියේය.
වේලාව රාත්‍රී එකොළහ පසුවී තිබුණද, මේසයේ පසෙක තිබූ උපැස් යුවල පැළඳගත් මම ඒ දෙසට නැඹුරු වීමි. මාගේ සහයක උෂාන් සමරවීර එවා තිබූ වාර්තාව කියවන මටම දැනුණේ මගේ දෑස් කෙමෙන් කෙමෙන් නළල දෙසට ඇදී යන බවයි.
“පුදුමයි… ඊළඟට කරන්න ඕනෙ මොනවද කියලා හිතන්න වෙනවා…”
මා කියාගත්තේ මටමය.
මා, එක්වරම පැමිණි ආවේගයෙන් වහා උෂාන් ඇමතුවේ ඔහු ද තවමත් නින්දට නොගිය බව ප්‍රත්‍යක්ෂ බැවිනි.
“හෙලෝ ප්‍රොෆෙසර්…”
“උෂාන්… මැෂින්ස් වල මුකුත් වැරදි නෑ නේද?”
“නෑ ප්‍රොෆෙසර්… ගිය සතියෙනෙ XRF[1] එක සර්විස් කළේ. වරදින්න විදියක් නෑ…”
“ම්… හෙටම XRD[2] එකට දාලා බලන්න.”
“මම පැය දෙකකට විතර කලින් දැම්මා ප්‍රොෆෙසර්… හෙට උදේ ඒ රිපෝට් එක ගන්න පුළුවන්…”
” ගුඩ්… මගෙ ජීවිතේ අවුරුදු පනස් අටට දැනට හොයාගෙන තියෙන එකම මූලද්‍රව්‍යක්වත් නැති දෙයක් හම්බුණාමයි… උෂාන්… ඔහොමම SEM[3] එකටත් සාම්පල් එකක් දාලා නිදාගන්න… හෙට හම්බවෙමු…”
මම ඇමතුම විසන්ධි කර තවත් වරක් වාර්තාවට එබුණෙමි.
…………………………………………………………………………………………………………………..
” මේකේ පරමාණු තියන විදිය හරි අමුතුයි කිසිම දැලිසකට සමාන නෑ…”
මා පැවසුවේ උෂාන්ගේ පරිගණක තිරය මත වූ ත්‍රිමාණ දැලිස දෙස බොහෝ වෙලාවක් බලා සිටීමෙන් අනතුරුවය.
“අනික මේ SEM ස්කෑන් එක… මට කොහොමටවත්ම තේරෙන්නෙ නෑ…”
“එතකොට අපි මොකද කරන්නෙ ප්‍රොෆෙසර්…?” උෂාන්ගේ මුහුණේ වූයේ මලානික ස්වභාවයකි.
එයට පිළිතුරක් එක්වරම මගේ සිතට නැඟුණේ නැත. මඳක් කල්පනා කර බැලූ මගේ මුවට නැඟුණේ එක නමකි.
“ජයශාන්ත වික්‍රමසූරිය”
…………………………………………………………………………………………………………………..
“සරත් සරත්… මේ SEM ස්කෑන් එකේ පෙන්නන්නෙ… හරිම පුදුමයි… මේක පිටසක්වළින් ආව මූලද්‍රව්‍යක් වෙන්නත් පුළුවන්…”
“ස්කෑන් එකේ මොනවද ඒ අමුතුවට තියෙන්නෙ?”
මම උනන්දුවෙන් ඇසුවෙමි.
“නියුරොලොජිස්ට් කෙනෙක්ට පෙන්නුවනම් කියයි… ඕකෙ තියෙන්නෙ නියුරෝන…”
“මොකක්…? එතකොට මේ ජීවියෙක්ද? ඒත් නියුරෝන විතරක්…”
ජීවියෙක් කියලා හිතෙන්නෙ නෑ මට… මෙහෙමයි සරත්… මට සීයට සීයක් කියන්න බෑ අපිට මේක විසඳන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපි උපරිම උත්සහ කරමු…”
“ජයශාන්ත ඒ කාලෙ ඉඳන්ම වැඩකාරයා නිසා මං හිතනවා පොටක් පාදගන්න පුළුවන් වෙයි කියලා… මම ක්වන්ටම් ෆිසික්ස් කරලම නෑනෙ… හැංගිලා හිටියට ඔයාගෙ පී එච් ඩී එකත් ක්වන්ටම් ෆිසික්ස්නෙ…”
මම ඔහුව මුරුංගා අත්තේ තබමින් කීවෙමි.
“ඇත්තටම අපි අවුරුදු විස්සකින් වගෙ හම්බවුණෙ නේද…?”
“ජයශාන්ත ඉතින් ගුහාවෙන් එලියට එන්නෙ නෑනෙ…”
” ඒක නෙමෙයි සරත් මේ ක්‍රිස්ටල් කොච්චර පරණයිද?”
“අවුරුදු හයදාහක් වගේ…”
“මම පහුගිය කාලෙ ඇමරිකාවෙ හිටියෙ. නියුරොසයන්ස් පී. එච්. ඩී. එකක් කළා. ලංකාවට ආවෙ ගිය අවුරුද්දෙ. ඉතින් විනෝදෙට වගෙ පොඩි මැෂින් එකක් හැදුවා. නියුරෝන ඩිකෝඩ් කරලා මැප් කරන්න…”
ජයශාන්ත කියාගෙන ගියේය.
“මුලින්ම, මම දන්න ඩොක්ටර් කෙනෙක් එක්ක එකතු වෙලා මානසික ආබාධයක් තියන ලෙඩෙක්ගෙ මොළෙන් නියුරෝන අරන් මැෂින් එකෙන් මැප් කරා…”
“ඉතින්…”
මම පුදුමයෙන් හූමිටි තැබීමි.
“ඒකෙන් ඒ ලෙඩාගෙ තත්වෙ ගැන සම්පූර්ණ චිත්‍රයක් ගන්න අපිට පුළුවන් වුණා… ඇත්තටම ඒ ලෙඩා හිටියෙ සියදිවි නසාගන්න ඔන්න මෙන්න කියලා ඒකෙන් දැනගන්න පුළුවන් වුණා… ඒ වගේම හිටියා එකම හීනෙ හැමදාම පේන ලෙඩෙක්. එයාගෙ නියුරෝන් අරගෙන ඩිකෝඩ් කරාම එයා හැමදාම දකින හීනෙ අපේ මොනිටර් එකේ පෙන්නුවා… ඒ ලෙඩාට ඒක පෙන්නුවට පස්සෙ ආයෙ ඒ හීනෙ දැක්කෙ නෑ. ඉතින් මේ ක්‍රිස්ටල් වල තියෙන්නෙ නියුරෝන නිසා අපිට ඕන නම් පුළුවන් මේක ඩිකෝඩ් කරන්න පුළුවන්ද බලන්න…”
“නියමයි ජයශාන්ත… මං හිතන්නෙ හරිම වෙලාවෙ හරිම කෙනා ගාවටයි මං ආවෙ… අපි ඒකත් කරලා බලමු. මං හිතනවා පොටක් පාදගන්න පුළුවන් වෙයි කියලා. මං ළඟ පොඩි සාම්පල් එකක් තියෙනවා. ඔයාට දීලා යන්නම්…”
“මම දැන්ම මැෂින් එකට දාන්නම්… පැය හයකින් රිසල්ට් එයි…”
“හරි… අපි බලමු… ජයශාන්ත තෑන්ක් යූ…”
…………………………………………………………………………………………………………………..
‘කතා කර කර ඉන්න වෙලා නෑ. ඉක්මනින් මගෙ ගෙදර එන්න තව සාම්පල් දෙකක් විතර අරන්’
පැය හතකට පසු මට ලැබුණු කෙටි පණිවුඩය එයයි.
මා හැකි ඉක්මනින් ජයශාන්තගේ නිවස වෙත ගිය විට ඔහු මා විද්‍යාගාරය වෙත කැඳවාගෙන ගියේ උමතු වූවකු මෙනි.
“මේක බලන්න…”
ඔහු පෙන්වූයේ LED මොනිටරයකි. එහි විකාශනය වූයේ අතීතයේ සිදුවීම් රැගත් නව චිත්‍රපටයකි. එය පැරණි ඇඳුම් ඇඳගත් මැද පෙරදිග පන්නයේ මිනිසුන් කණ්ඩායමක් කාන්තාරයක ඇවිදීමේ දර්ශනයකි.
“ෆිල්ම් බලන්නද එන්න කිව්වෙ?”
“මේ ෆිල්ම් එක විනාඩි විස්සයි. කාන්තාරෙක ඇවිදන් යන එකක් තියෙන්නෙ… සවුන්ඩ් මුකුත් නැහැ. හැබැයි මේක ඔයාගෙ සාම්පල් එකේ ඩිකෝඩ් එක…”
“මොනවා…”
පළිඟු ස්ඵටක වල නියුරෝන අඩංගු වීම මම පිලිගත්තෙමි. එහෙත් ඒවා විකේතනය කළ විට චිත්‍රපට දිගහැරීම මට සිතාගත නොහැක.
“ඔව්… අවුරුදු හයදාහක් පරණයි කිව්වත්නෙ… මේක පිස්සුවක්… අනික ඔහොම පේන්න. මම එක්ස්පෙරිමන්ට් කරපු ලෙඩ්ඩුන්ගෙ පෙන්නුවෙ එයාලගෙ මයින්ඩ් ලෙවල් එකේ ප්‍රස්ථාර… නැත්තම් එයාලගෙ හීන…”
“මේවා හීනද? මං කියන්නම්… අපි තව කෑල්ලක් ටෙස්ට් කරමු…” මම කීවෙමි.
“ඔව්… ඒක තමයි මම සාම්පල් දෙකක් වගෙ ඉල්ලුවෙ. සරත් ඊට කලින් කියන්න එක ක්‍රිස්ටල් එකක සයිස් එකයි ක්‍රිස්ටල් කීයක් තිබුණද කියලයි…”
” ක්‍රිස්ටල් එකසිය හැට අටයි. එක ක්‍රිස්ටල් එකක වොලියුම් එක ඝන සෙන්ටිමීටර් දාහතරක් පහළවක් වගේ කියලා තමයි ආකෙලොජි එකෙන් රිපෝට් කරේ…”
“ම්… අපි ටෙස්ට් කරපු කෑල්ල වර්ගමිලිමීටර් තුනයි දශම අටයි. මේ ඔක්කොම ඒවල ෆිල්ම් එහෙම නැත්තම් හීන නම්…” ජයශාන්ත ගැඹුරු හුස්මක් ගත්තේය.
…………………………………………………………………………………………………………………..
ජයශාන්ත විසින් පරීක්ෂා කරන ලද අනෙක් නියැදි දෙකේද තිබුණේ කාන්තාරයේ ගමනයි. නමුත් ඒවා පෙර රූපරාමු වලින් වෙනස් ය. මෙම නියැදි ත්‍රිත්වයම ලබාගත්තේ එක් පළිඟු ෆොසිලයකින් නිසා අපි තවත් පළිඟුවකින් නියැදියක් පරීක්ෂා කර බැලුවෙමු.
එහි වූයේ යුද්ධයකි. තිබූ අවි ආයුධ ආදිය පිළිබඳව සලකා බැලූ විට එය දෙවන ලෝක යුද්ධය බව පැහැදිලිය.
“ඇත්තටම මේවා හීනද ජයශාන්ත…? අනික අවුරුදු හයදාහකට කලින් මෙහෙම තාක්ෂණයක්…”
“තව දෙක තුනක් බලමු…”
ඊළඟ නියැදියේ තිබුණේ ඒදන් උයනේ සිටින ආදම් හා ඒවගේ දසුනකි. තවත් නියැදියක වූයේ ඇමරිකානු ජනපති ජෝන්. එෆ්. කෙනඩි මරා දැමීමයි. පසුදින අපට දක්නට ලැබුණේ අහස උසට ගොඩනැගිලි විහිදුණු දූෂිත පරිසරයක රූප රාමුවකි. එහි මිනිසුන් සිටියේ ඔක්සිජන් ටැංකි සිය පිටවල් මත රඳවාගෙනය.
“කලින් සේරම අතීතෙ දේවල්… මේක අනාගතේ…”
ජයශාන්ත පවසද්දී මගේ මනස මට යමක් කියමින් තිබුණි.
නැවත පසුදින පැමිණි මගේ ඇඟ කිළිපොලා ගියේ මීළඟ රූපරාමුවෙනි. මන්දයත් එහි සිටියේ මා හා ජයශාන්තයි. අප දෙදෙනා තිරයේ රූප රාමු නරඹනු රූපරාමුවකින්ම දිස් විය.
“මේක මොකද්ද දෙයියනේ… අපි ඉන්නෙ සිමියුලේශන් එකකද? නැත්තම් මේ ඔක්කොම හීනයක්ද?”
ජයශාන්තට කියැවිණි.
ජයශාන්තට පිළිතුරක් නොදී ජංගම දුරකතනය අතට ගත් මම පැය බාගයක පමණ අධ්‍යනයක යෙදුණෙමි. ඒ වන විටත් මට යමක් පැහැදිළි වී තිබිණි. නමුත් එය ස්ථීර කරගත යුතුය.
“අපි පොඩි වැඩක් කරමු… නියුරෝන මරන්නෙ කොහොමද?”
“ම්… මේ කෑල්ලක් විනාශ කරන්න පුළුවන් හොඳම ක්‍රමය ලොකු උෂ්ණත්වයක් දෙන එක… ඔයාට මොකද හිතුනෙ සරත්…”
“පොඩි දෙයක්… අපි කෙනඩිව මරන කෑල්ල විනාශ කරමුද?”
“ආකෙලොජි එකෙන් කේස් දාන්නෙ නැත්තම් කරලා බලමු…”
ඉන්පසු අප දෙදෙනා සෙල්සියස් 400 පමණ උෂ්ණත්වයෙන් එම කොටස විනාශ කර දැමුවෙමු.
“සම්පූර්ණයෙන්ම දිය වෙලා ගියා… දැන් ඊළඟට…?”
ජයශාන්ත ප්‍රශ්න කරයි.
“ගූග්ල් යන්න… කෙනඩි මැරුණ දවස හොයන්න…”
“1988 ජනවාරි 12”
“එයාව මැරුවෙ 1963. ඒත් එයා මැරුණෙ 1988.”
“දෙවියනේ එතකොට…?”
“ඔයා හරි දෙවියො තමයි… දැන් ලෝකෙට කෙනඩිව කවුරුත් මැරුවෙ නැහැ. මොකද අපි ඒ සිද්ධිය අයින් කරා…”
“ඒ කියන්නෙ මේ තියෙන්නෙ ලෝකෙ ඉතිහාසෙ, වර්තමානෙ, අනාගතේ සේරම. මේක හීනයක්… මේ ඔක්කොම ක්‍රිස්ටල් වල තියෙන්නෙ හීන… ඒත් කාගෙද?”
“ඔයාම කිව්වෙ… දෙවියන්ගෙ… පෘථිවිය කියන්නෙ හීන ලෝකයක්. කොටින්ම කිව්වොත් දෙවියො දැකපු හීනයක්… බයිබලේ තියෙන ලෝකය මැවීම සිද්ධවෙලා තියෙන්නෙ මීට අවුරුදු හදාහකට විතර කලින්…”
” සරත් හරි…. මම හිතන්නෙ මේ ලුසිඩ් ඩ්‍රීම් එකක්… මොකද දෙවියන්ට ඕන විදියට ලෝකෙ පාලනය වෙනවා… ක්‍රිස්ටල් කෑල්ලක් විනාශ කරලා අපි එක තැනක් වෙනස් කළා…”
” මතයක් තියෙනවා දෙවියන් වහන්සේ එහෙම නැත්තම් යොහෝවා කියන්නෙ පිටසක්වළ ජීවියෙක් කියලා. මට හිතෙන්නෙ ඒක හරි වගේ. එයා තමයි එයාගෙ හීන ඇතුළෙ පෘථිවිය නිර්මාණය කරන්නෙ. ඒ වගේම ක්‍රිස්ටල් ටික මෙහෙ තියෙන්න හේතුව ඒදන් උයන තිබ්බෙ අපේ ලංකාව වෙන්න පුළුවන්… ලංකාව සශ්‍රීක බිමක්… ඒ වගේම සමනළ කන්දට ඇඩම්ස් පීක් කියලත් කියනවනෙ…”
“සමහරවිට දෙවියො තාමත් හීන දකිනවා ඇති… එහෙම නැත්තම් සේරම හීන ටික හෝර්ටන් තැන්නෙ ඇති…”
” ඒත් අපි කොහොමද ජයශාන්ත මේ හීනෙන් ඇහැරෙන්නෙ…? අපි මේක ලෝකෙට කියනවද?”
“ඔක්කොම ක්‍රිස්ටල් විනාශ කරන්න වෙනවා… එතකොට පෘථිවියෙ හැමෝටම නිවන් දකින්න පුළුවන්…”
“ඒත්… ඒක කරන්න පුළුවන්ද අපිට…”
මම විද්‍යාගාරයේ කවුළුව අතරින් පෙනන බබළන සීරියස් තාරකාව දෙස බලමින් ඇසීමි.
[1] XRF – X-ray Fluorescence Spectrometer – නියැදියක මූලද්‍රව්‍ය හඳුනාගත හැකි උපකරණයකි.
[2] XRD – X-ray Diffraction – නියැදියක පරමාණුක සැකසුම හඳුනාගත හැකි උපකරණයකි.
[3] SEM – Scanning Electron Microscope – නියැදියක ක්ෂුද්‍ර ව්‍යුහය සහ මතුපිට පරිලෝකනය කරන උපකරණයකි.