rdc l=udrhd
cfhdaOd nqoaêm%sh

රක්ත වර්ණයෙන් බබළන හිරු තව ස්වල්ප මොහොතකින් අප අඳුරේ තනිකර දමා සැඟව යනු ඇත. කුඩා කල සිට නිතිපතා ඇස ගැටෙන මේ දසුන අද මවනුයේ වෙනස් ම හැඟීමකි. කෙතරම් විචිත‍්‍රවත් ව පෙනුණ ද, ලොව සියලූ දේ සිනෙක අන්ධකාරයේ සැඟව යන්නේ නැති ද?
අඹ ගස යට තනා තිබූ ලෑල්ල මත හිඳ සිටි මා කොතරම් වේලාවක් කල්පනා සයුරේ කිමිදුණේදැ’යි මට සිතාගත නොහැකිය.


‘‘මොකද පුතේ, අහස පොළොව ගැට ගහන්න ද කල්පනා කරන්නේ?’’


එකවර ම ඇසුණු මවගේ හඩ, මා පියවි ලොවට ගෙන ඒමට සමත් විය. නමුත් ඇයට දීමට පිළිතුරක් මා සතු නොවීය. ඇය දෙස බලා නැගූ දඳහසින් ඈ බොහෝ දේ තේරුම් ගත්තා විය හැකි ය. මා අසලින් බංකුව මත හිඳ ගත් අම්මා ද නිහඩ ව මුහුද දෙස බලා සිටින්නට වූයේ මා මුහුදට පැවසූ දේ මුහුදෙන් අසා ගන්නට මෙනි.

අම්මා සමීපයේ සිටිය දී මේ තරම් උණුසුමක් දැනෙන බව මට මීට පෙර නොහැඟුණි. වසර ගණනක් තුළ දී මා ඇගෙන් බෙහෙවින් දුරස් වී ඇතැයි මට වැටහුණි. මම සෙමින් ඇයගේ උකුළ මත හිස තබා ගත්තෙමි. කුරුලූ පැටවකු සෙමින් පිරිමදින කිරිල්ලියක මෙන් මව මාගේ කෙස් අතරින් දෑඟිලි යැව්වාය.

මීට තෙවසරකට පමණ පෙර උසස් පෙළ විභාගය සමත් වූ මා යාපනය ටිශ්වටිද්‍යාලයට ඇතුළත් වූයේ අම්මාගේත් තාත්තාගේත් බලාපොරොත්තු ඉටු කරලමිනි. ඔවුනගේ නිල් මැණික් කැට වන් දෑස් තුළින් මා පිළිබඳ සතුටු කඳුළු වැගිරෙන්නට විය. මට දැනුණේ මහත් ආඩම්බරයකි. පවුලේ එක ම දරුවා වූ මට ඉහළට ඉගැන්වීම සඳහා අම්මාත්, තාත්තාත් දැරූ වෙහෙස සුළු පටු නොවේ. මා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසුව වුව ද, ඔවුහු නොපිරිහෙළා මාගේ ඕනෑ එපාකම් ඉටු කළහ.කෙතරම් අගහිඟකම් මධ්‍යයේ වුව ද, මිතුරන් සමඟ ගෙවූ සරසවියේ පළමු වසර ජීවිතයට එක් කළේ නැවුම් සුවඳකි. දෙවුන්දර තුඩුවේ සිටි මට පේදුරුතුඩුවේ විශ්වවිද්‍යාලයට යෑමට වීම නිසා අම්මාත්, තාත්තාත් සාංකාවෙන් කකල් ගෙවූ නමුදු මට දැනුණේ කුරුල්ලෙකුගේ වැනි හැඟීමකි. සරසවියේ රැග් එක, සෝෂල්, හොස්ටල් මේ සියල්ලක් ම අමුතු ම ලොවක් මවා පෑවේය. පළමු වසරේ ඉමිහිරි අත්දැකීම් නිතැතින් ම මුවඟට සිනහවක් මවාලයි.
මුල් කාලයේ දී අපි විශ්වවිද්‍යාලයෙන් බැහැරට ගියේ ඉතාමත් කලාතුරකිනි. යාපනයේ පැවති සංස්කෘතියත්, භාෂාවත් නිසා අපට හැඟුණේ අප වෙනත් රටක තනිවූවාක් මෙනි.


‘‘සරලා එප්පිඩි?
නල්ලායිරුක්කිරන් අණ්ණා.
ඉණ්ෙඩෙක්කු ඒන් නීංග වෙඩෙ කොණ්ඩු වන්දීංග?
අප්පාක්කු සුහමිල්ල අණ්ණා.
ඕ… සරි සරි… කුඩුංග
නාන් පෝයිට්ටු වාරන් අණ්ණා.’’

විශ්වවිද්‍යාලය අසළ වූ පෙට්ටි කඩයක මිතුරන් සමඟ තේ බොමින් සිටි මට එකවර ඇසුණේ කෙළිලොල් හ`ඩකි. එකවර හැමූ පිච්ච මල් සුවඳත්, ඇති වූ සංවාදයත් නිසා මාගේ දෑස් මොහොතකට එදෙසට යොමු විය. මා එදෙස බොහෝ වේලා බලා සිටි බ වමට වැටහුණේ මිතුරන්ගේ උසුළු විසුළුවෙනි. ඔවුන් මට කුමක් කීවේදැ’යි කියා හෝ මට මතක නැත.

රතු සහ කහ පැහැති වස්ත‍්‍රයන්ගෙන් සැරසී සිටි පුංචි කුමාරිකාවක් බඳු වූ ඈ මා මීට පෙර දැක නොතිබුණි. කෙස් මත පිච්ච මල් ගවසා සිටි ඇයගේ සුන්දරත්වය නළල්තලය මධ්‍යයේ තබා ඇති කුඩා පොට්ටුව නිසා දෙගුණ තෙගුණ විය. බෝනික්කෙකු මෙන් දෑස් කරකවමින්ඈ කතා කළේ කුඩා දැරියක මෙන් නොවේ ද? ඈ කී කිසි දෙයක් නොවැටහුණ ද, ඈ මතින් මොහොතක් හෝ දෑස් ඉවතට ගැනීමට මට ලෝබ සිතුණි.


‘‘කවුද අයියේ ඒ? අපි මීට කලින් දැකලා නෑනේ?’’


මාගේ සිත තුළ මතු වූ පැනය වටහා ගත්තාක් මෙන් පසන් කඬේ මුදලාලිගෙන් ඈ පිළිබඳ විමසුවේය.


‘‘ඒ අපේ කඬේට වඬේ ගේන රාමයියාගේ දුව මාත්තයෝ. අද රාමයියාට සනීප නේලූ… හරි හොන්ද කෙල්ල. අනිත් කෙල්ලො වගේ නෙමෙයි හොන්දට ඉගෙන ගත්තා.


කැම්පස් ද?


අනේ නේ මාත්තයෝ. ඒ ලෙවල් ලීවා. ඒ කාලේ කෙල්ලගේ අම්මා නැති වුණා. කෙල්ල දෙන් වෙඩකට යනවා මාත්තයෝ.

එයගේ නම මොකක්ද මුදලාලි?

සරලා

නම වගේ ම තමා එයත් සරලයි වගේ.

ආ… ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. උඹ කොහොමද දන්නේ කෙල්ල සරලයි කියලා. උඹ නිකන් ඉන්නෙ නම් කෙල්ලො අරහං වගෙ නේද?’’

මා කට වරද්දා ගත් බව මට වැටහුණේ මිතුරන් විහිළු කළ විට ය. සරලා එතැනින් නික්ම ගිය ද ඇයගේ රූපය, කතාබහ මාගේ සිතෙහි අරක්ගෙන තිබුණි. ඈ පිළිබඳ මාගේ අදහස මිතුරන් සියලූ දෙනාට ම පාහේ අවබෝධ විය.


එතැන් පටන් සෑම දිනකම උදෑසන ආහාරය ගැනීමට මම මිතුරකු සමඟ පෙට්ටි කඩය වෙත ගියෙමි. ඇතැම් දිනක ඈ නොපැමිණියාය. එවන් දින මට ඉතා දීර්ඝ යැයි හැෙඟ්. කෙදිනකවත් අඋ සතු සිනහව හෝ ප‍්‍රසන්න බව නික්ම ගියේ නැත. මින් පෙර කිසි දිනෙක නොවූ අමුතු ප‍්‍රබෝධයක් මට දැනිණි. පසුදා පහන් වන තුරු මා සිටියේ සිහින ලොවක ය. සරලාගේ සිනහව මා හද පුබුදු කළේය.


සරලාගේත් මාගේත් පේ‍්‍රමාංකුරය රෝපණය වන්නට වැඩි කලක් ගත නොවීය. ඇය මාගේ එක ම පැතුම විය. දිනෙන් දින අපගේ පේ‍්‍රමය දලූ ලා වැඩෙන්නට වූයේ රාමයියාගේ ද ආශිර්වාදය ඇතුව ය. මා ඔවුනගේ ජීවිතයේ කොටස්කරුවකු විය. සෑම දිනක ම සරලා සමඟ නාච්චිමාර් කෝවිලේ පූජාවන්ට ද මා සහභාගී වූයේ මහත් ආශාවෙනි. මාගේ ජීවිතයේ පළමු තැන ඈ සතු විය.

සරලා මාගේ ජීවන මාලිගාවේ අග මෙහෙසිය වූවාය. නමුත් මටත් නොදැනීම අම්මාත්, තාත්තාත් තැනූ මාලිගාවේ රාජ කුමාරයා මිය යමින් සිටියේය. සරලා සමඟ පේ‍්‍රම ලොවේ සැරිසැරූ මට මාස ගණනකින් ගමට යාමට නොහැකි විය. සරසවි නිවාඩු මාසයන්හි දී ද මට දෙමාපියන් බැලීමට යාමට සිහිපත් නොවූ තරමි.

‘‘රනුල, අන්න උඹේ තාත්තා ඇවිත්…’’
දිනක් පසන් දුව විත් කීවේ හති දමමිනි. ඒ මා කිසි විටෙක නොසිතූ මොහොතකි.

‘‘රනුල, ඔයා සරලා ගැන අම්මලට කිව්ව ද?
නෑ. ඇයි?

තාත්තා පෙට්ටි කඬේ මුදලාලි එක්ක කතාවක්. මූණ එච්චර හරි නෑ. මං දැක්ක ගමන් ආවේ උඹව එක්ක යන්න.
යමන්කො බලන්න.’’

මාගේ හදවතේ ගැස්ම බෙහෙවින් වේගවත් විය. තාත්තා අසලට යෑමට තරම් වාරු නැතැයි මට හැඟුණි.

‘‘තාත්තා කිව්වෙවත් නෑ එනවා කියලා.
පුතා හොඳින් ඉන්නවා ද කියලා බලලා යන්න ආවේ. අම්මා දවස් ගාණකින් හරියට කෑමක් කෑවෙත් නෑ. පුතා ගැන බය වෙලා. අසනීපත් වුණා. නැන්ද ව ළඟ තියලා මං මේ ආවේ.

මං ගැන බය වෙන්න මං පොඩි ළමයෙක් නෙමෙයිනේ තාත්තේ. අම්මට ඕවා නොහිතා ඉන්න කියන්නකෝ.

ඔව් පුතේ, අපි හිතුවා වැරදියි තමා. මං අම්මව බලා ගන්නම් පුතේ. අම්මා කෝල් කළාම ඩිංගක් හරි කතා කරපන් මයෙ පුතේ.’’

තාත්තා පෙට්ටි කඬේ මුදලාලිගෙන් සරලා පිළිබඳ තතු දැන ගෙන ඇතිබව අප දැනගත්තේ මුදලාලි පැවසූ නිසාවෙනි. මා කළ දෙයක හෝ පැවසූ දෙයක වරදක් මට නොවැටහිණි. අම්මා අසනීපයෙන් යැයි පැවසුව ද,මට ඈ බැලීමට යෑමට අවස්ථාවක් නොලැබුණි. ඉගෙනීමට දක්ෂ වූ සරලා විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවකට සම්බන්ධ කළ මම ඇය සමත් කරවීමට මාගේ කාලය කැප කළෙමි.

‘‘සරලා, කොවිඞ් නිසා කැම්පස් වහනවා. අපිටත් අද හවස් වෙද්දි හොස්ටල්වලින් යන්න කිව්වා. මට අද ? බස් එකේ ගෙදර යන්න වෙනවා.

කවදද ආයේ එන්නෙ අණ්ණා?

දවසක් කියන්න බෑ මැණික. කැම්බස් නිවාඩු වුණාට මං ඔයාව බලලා යන්න එන්නම්කෝ.

අණ්ණාට මාව අමතක වෙයි ද?

මෝඩ කතා කියන්නෙපා සරලා. මගේ හුස්ම තියෙනකං මට ඔයාව අමතක කරන්න බෑ කියලා ඔයා හොඳට ම දන්නවා.

අණ්ණා ඉක්මනට ආපහු එන්න. මං බලන් ඉන්නවා.

මං ගෙදර ගියා ම අම්මලාට ඔයා ගැන කියන්න හිතන් ඉන්නේ.

දුක්මුසු සිනහවක් ඇගේ වත කමල මත ඇඳී ගියේය. එදින සවස මම ඇගෙන් සමුගෙන බසයට ගොඩ වූවෙමි. බසයෙහි ගමන් දුර වැඩිවත් ම සරලාත්, මාත් අතර දුරස් බව ද කෙමෙන් කෙමෙන් වැඩි වන්නට විය. කෙසේ වෙතත් අපගේ පේ‍්‍රමණීයත්වය දුරකතන මගින් රැක ගතිමු. සරලා පිළිබඳ දැන ගත් පසු අම් දැක්වූවේ මා කිසි විටෙකත් නොසිතූ අන්දමේ ප‍්‍රතිචාරයකි. පවුලේ සුරතලා වූ මාගේ කැමැත්ත ඉටු කිරීමට අම්මා කටයුතු කරනු ඇතැයි මම සිතා සිටියෙමි. නමුත් අම්මා බෙහෙවින් විලාප තබන්නට වූවාය. දොස් නැගුවාය. නිවසේ රැඳී සිටීම මහත් පීඩාවකි. නමුත් දෛවයේ සරදමට මෙන් රට පුරා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ සියලූ අඳෝනාවන් අසා සිටීමට මට සිදු විය.

‘‘පුතේ, උඹට ඔය දෙමළ කෙල්ල ගැළපෙන්නේ නෑ.

මට ගැළපෙන කෙනා දන්නේ මමයි.

අපි වෙනස් පුතේ. අපිට ඒ කෙල්ල එක්ක ඉන්න බෑ.

අම්මලා ඉන්න එපා. මට එයත් එක්ක ඉන්න පුළුවන්.

අනේ මගේ පුතේ තේරුම් ගනින්.

ප‍්‍රශ්නයක් වෙන්න කලින් මං මේ කියන්නේ. ෑඹව අපිට ගොඩක් වටිනවා මගෙ පුතේ.

මටත් සරලාව ගොඩක් වටිනවා අම්මේ.’’

අප නොසිතූ තරම් කතාව දුරදිග ගියේය. මම බෙහෙවින් ආවේගශීලී වූවෙමි.

‘‘ඒ කෙල්ලට මෙහෙ ඇවිත් ඉන්න බෑ. අපිට ඒ කෙල්ලව පිළිගන්න බෑ.

හරි එහෙනම්, මං එහෙ ගිහින් එයත් එක්ක ඉන්නම්.

එතකොට පුතේ අපි?’’

දෑස් විශාල කරගෙන අම්මා විමසුවේ කඳුළු වගුරවමිනි. මාගේ ගත පුරා ඇවිලී ගිය කෝපය සන්සිඳුණේ සියලූ තතු සරලාට පවසා ඇඳිරි නීතිය අවසන් වූ විගස මා යාපනයේ පදංචියට පැමිණෙන බව දැනුම් දුන් පසුව ය.

දින, සති, මාස ගෙවී ගියේය. අම්මා කාලය ගත කරනුයේ ඇයටවත් නොදැනෙන ලෙස ය. මා අම්මාගෙන් සහ තාත්තාගෙන් බොහෝ සේ දුරස් වූ බව මට වැටහුණි. නමුත් ඔවුන් සමඟ සරලා පිළිබඳ එකඟතාවක් ඇති නොවන හෙයින් මම මුනිවත රැක්කෙමි. හුදෙකලාව මාගේ සැනසීම විය. මාගේ ජීවිතයේ හිස් බවක් මට දැනුණි. දිනෙන් දින නිරෝධායන නීති දැඩි වූවා මිස කිසිදු ලෙසකින් ලිහිල් නොවීය. අම්මාත් තාත්තාත් ගෙවූයේ ද බෙහෙවින් කම්පිත දිවියකි. නිවස තුළ කිසිදු කතා බහක් නොවීය.

දිනපතා රාත‍්‍රියේ දී සරලාගෙන් ලැබෙන ඇමතුම මා සතු එක ම දිව ඔසුව විය. දුරකතනය නාද වන විට මා ලබන සතුටට වඩා විශාල වේදනාවක් අම්මාත් තාත්තාත් ලැබූබව මමට වැටහුණි.

මේ සියල්ල වෙනස් වීමට වසරක් හෝ ගත වූයේ නැත. අම්මා බියට පත් කළ දුරකතන නාදය නොනැගුණි. මා කෙතරම් වෙහෙස වූව ද සරලාට ඇමතුහක් ලබා දීමට නොහැකි විය. මම බෙහෙවින් බියට පත් වූවෙමි. ඇයට අනතුරක් වීද? ඇය හොඳින ද? ඇයි ඇය කිසිවක් මට නොපවසන්නේ? දුරකතනය කැඩිලා ද? දහසක් පැන මා සිත වෙළා ගති. ඇය නොමැති ව මා දිවි ගෙවූයේ නිරයේ ය.

‘‘හෙට උදෑසන 6.00 සිට රාතී‍්‍ර 10.00 දක්වා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරේ.’’

වෙනදා කටුක ලෙස දැනුණු ප‍්‍රවෘත්ත නිවේදිකාවගේ හ`ඩ අද මී බිඳු මෙන් මාගේ සවන් යුග ප‍්‍රීණනය කළේය. බෑගය සූදානම් කරගත් මම උදෑසනින් ම අම්මාටත් නොකියා ම යාපනය බලා පිටත් වූවෙමි. වෙනදා මෙන් බස් රථ නොවූ නිසා මිතුරකුගේ යතුරු පැදියක් මට පිහිට වීය.යාපනයට ළඟා වත් ම මාගේ හද තිගැස්සෙන්නට විය. ඇයට කුමන හෝ අනතුරක් සිදු වී නම් මා කළ යුත්තේ කුමක්ද? ඇයට වෙනත් ප‍්‍රශ්නයක් වී ද? ඇය කුමන තත්ත්වයක සිටියත් මා ඇය විවාහ කොට ගෙන ඇය මාගේ දෑස මෙන් රැක බලා ගන්නෙමි. ඇය මා සතු එක ම වස්තුවයි.

බුර බුරා නැගෙන සිතිවිලි දාමයන් යටපත් කොට ගත් මම ඇයගේ නිවසට ගියෙමි. ඇයගේ නිවස අලූත්වැඩියා කොට ඇත. නිවස ඉදිරිපිට කෙසෙල් ගසක් සිටුවා ඇත. ගෙදර කිසිවකුත් නොමැත. මම ඇය නිරන්තරයෙන් යන සෑම ස්ථානයකට ම ගොස් බැලූවෙමි. ඇය නැත. ඇය පියා සමඟ නාච්චිමාර් කෝවිලට ගියා විය හැකි ය. මෙහිැය නිසැක වශයෙන් ම සිටිය යුතු ය. මා කෝවිල වෙත දිව ගියේ දිගු කලකින් දකින පෙම්බරියගේ මුව කමල දෝතින් ගෙන ඇයව පුදුම කිරීමේ දැඩි ආශාවෙනි.

මාගේ නිගමනය නිවැරදි විය. මම ඇය දුටුවෙමි. සරලා මා දෑස් ඉදිරිපිට වාඩි වී සිටියි. ඇය ඉතාමත් සතුටිනි. සිනහවෙන් පිරි ඇය වෙනදාටත් වඩා පියකරු ය. ඇයත් මාත් අතර ගිනිමැලයකි. අවට ඇසෙන බෙර හ`ඩ පරයා මාගේ හද ගැස්ම ඇසෙන්නට විය. ඇගේ ගෙල බැඳි තැල්ලේ දිස්නයෙන් මාගේ දෑස් නිලංකාර විය. ගිනිදැල්හි කාන්තියට ඇය තවත් ඔපවත් වී පෙනුණි. ඇය…

‘‘පුතා, අපි ගෙට යමු නේද? හුඟක් ? වෙලා.’’

අම්මාගේ පෙම්බර වදන් නැළවිලි ගීයක් මෙන් විය. නිකැළැල් පේ‍්‍රමයට කුමක් සිදු වුණිදැ’යි මා කොතෙක් කල්පනා කළ ද, මට වටහා ගත නොහැකි විය. මා අවට පමණක් නොව ඇතුළතින් ද අඳුරේ ගිලී ඇතැයි මට දැනුණි.

‘‘අම්මා…

ම්…

මං හැමදාම අම්මාගේ පොඩි පුතා නේද?

ඔව් මගේ වස්තුවේ… ඔයා තමයි අපේ පුංචි රාජ කුමාරයා.’’

හද ගැබ වසා සිටින අඳුර පළවා හැර මාගේ දිවියේ ආලෝකය විහිදුවන හිරුසඳු මා අබියස බව මට වැටහුණේ එවිට ය.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp