fkduereKq fma%uh
hiqßld chùr

හිතේ තිබුණ ලොකුම ලොකු ආසාවක් මගෙන් ඈතට ගිහින් දැන් මාස තුනකටත් වැඩියි.

බලාපොරොත්තුවක්  නැතුව ඔහේ පාර දිහා බලාගෙන ඉඳලම දැන් මටම ඇති වෙලා. අන්තිමට මට එයා

එව්ව කෙටි පණිවිඩය විතරක් මට ඉතුරු වෙලා. අවුරුදු ගාණක් පුරාවට මං එයත් එක්ක ලියන්න පටන්

ගත්ත ලස්සන කතාවක් අතරමගදී නතර වෙලා. හිතේ තියෙන දුක කාට කිව්වත් හැමෝම ළඟ

තියෙන්නේ එකම උත්තරයක් විතරයි.

“ අමතක කරන්න. එයාට ඔයාව ඕනි නැත්නම් ඔයා මොකද ඔච්චර හිතන්නේ. වෙන කෙනෙක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් ඔයාට එයාගෙන් වෙලා නෑනේ.”

කවුරු මොනවා කිව්වත් මගේ හිතට දැනුනේ එයා නැතුව ලොකු පාළුවක් සහ  බයක්.. අපි දෙන්නා හිතින් මවපු හීන සැබෑ කරන්න ඕනි කරන ආර්ථිකය හදන්න ඉතාලි ගියාට එක දවසක්වත් කතා නොකර හිටියේ නැති තරම්. නිදහසක් ලැබෙන හැම මොහොතේම මගේ මැණිකේ කියලා කතා කරන්න එයා චුට්ටක්වත් අමතක කළේ නෑ.

අන්තිමට කෝල්  කරලා කිව්වා වචන තාමත් කන්වල දෝංකාර දෙනවා වගේ මට තාම දැනෙනවා.

“ මෙහෙ හරියට මිනිස්සු මැරෙනවා කොරෝනා නිසා. මටත් ජීවිතේ ගැන දැන් නම් ලොකු බලාපොරොත්තුවක් නෑ මැණික. මට ආයෙ එන්න පුළුවන් වුනොත් මං ඉස්සෙල්ලාම එන්නේ මගෙ මැණික බලන්න. එතකන් පරිස්සමෙන් ඉන්න ඕනි හොඳද?“

ඔව් එයා කිව්වේ ඇත්ත…  මමත් ප්‍රවෘත්ති වල එයා කිව්ව දේවල් දැක්කා. මිනිස්සු සල්ලි පවා විසිකරලා ජීවිතය අයදින දසුන් දකින වාරයක් පාසා මං දෙවියන්ගෙන් ඉල්ලුවේ මගෙන් ගොඩක් දුර ඉන්න මගේ ආදරේ පරිස්සම් කරලා දෙන්න කියලා. ඒත් ඇයි එකපාරටම එයා කතා කරන්නේ නැත්තෙ? කරදරයක්ද?  නැත්නම් මට වඩා ලස්සන කෙනෙක් එයාව අයිති කරගෙන ද?  Whatsapp  last seen සහ  අන්තිමට එවපු message එකේ වෙලාවයි දැන් වෙනස් වෙයි කියලා දවසින් දවස මං බැලුවා. වෙනස් වුණ එකම දේ මං එයා එනකන් බලන් හිටිය කාලේ විතරයි.

ඔව් දැං මං එක තීරණයක් ගන්න ඕනි. වේදනාවෙන් මැරි මැරී ජීවත් වෙන එක කාටද ලේසියි.. ආදරේ ගැන මේ මිනිස්සුන්ට කියලා වැඩක් නෑ.

“ඇයි ඔය ළමයා කන්‍යා භාවය නැති උන නිසාද එක්කෙනෙක් වෙනුවෙන් විතරක් ඉන්නේ. මුහුදේ ඉන්නේ එක මාලුවද  කෙල්ලේ. ඒ කොල්ලට එහෙන් කෙල්ලෙක් හම්බ වෙන්න ඇති. කොල්ලො කියන්නෙ එක කෙල්ලෙක් නිසා බලන් ඉන්න ජාතියක් නෙමෙයිනේ. නැත්නම් ඉතින් ඔය කොල්ල මැරුණ තැන්වල දැන් ගස් පැළවෙලා ඇති.”

මේ කතා  අස්සෙ මට එයා එනකල් තනිකඩව ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා හිතෙන තරමට දැන්නම් මට මගේ හිතේ ශක්තිය නැති වෙලා.  මං ජීවත්වෙන අන්තිම රාත්‍රිය අද. ඔව් මං හෙට මග බලන් ඉන්න කාලකන්නි ජීවිතේ ඉවර කරලා දානවා. මං නිදහස් ආත්මයක් වෙනවා.

මං උදේම අම්මලා පන්සලට දානේ අරන් යන වෙලාව වෙනකන් ඉවසිල්ලක් නැතුව හරි හරියට ගේ පුරාම ඇවිද්දා.තියෙන වැඩ කටයුතු වලටත් උදව් කරලා හරි සතුටින් මං දවස පිළිගත්තා. මොකද අද තමයි මේ ජීවිතේ දුක ඉවර කරන්නේ. ඉතින් අද තරම් සතුටු දවසක් තව තියේද? ගෙදර හැමෝම පන්සල් ගියත් මං ගෙදර නැවතුනේ මට ඇඟට අමාරුයි කියලා. මං හෙමින් මගේ කාමරය ඇතුලට ගිහින් දොරවල් වහලා හංගගෙන තිබුන නිදි පෙති ටික අතට ගත්තා.. අමාරුවෙන් අමාරුවෙන් නිදි පෙති විස්සක් විතර බිව්වා විතරයි මට මතක..  මං ඇස්  ඇරියේ අම්මලාගෙ විලාප සද්දෙ නිසා.. මං දැක්කා මං බිම වැටිලා ඉන්නවා.. මං හිටියේ උඩ පාවී පාවී.. අම්මගේ ඇඬිල්ල කිසිම මොහොතක නැවතුණේ නෑ.. එයාගෙ කඳුළු එක මොහොතක් නතර වුනේ නෑ.. මං බලාපොරොත්තු උන නිදහස සැහැල්ලුවක් මට දැනුනේ නෑ. දැනුන එකම දේ ගින්දරට පිච්චෙන හැඟීමක් විතරයි.

මං පසුතැවිලි උනා මගේ බුද්ධිමත් කියලා හිතපු තීරණය ගැන.. මං ආපහු ශරීරය කරා යන්න හැදුවත් පුළුවන් වුණේ නෑ.. වට වෙලා හිටිය මිනිස්සු අතරින් තවත් හුරු පුරුදු මුහුණක් කඳුළු පුරෝගෙන මැරුණ මං ලඟට ඇවිත් රහසින් “ ඇයි මැණික මං එනකං හිටියෙ නැත්තෙ”  කියලා අඬන්න ගත්තා.

අනේ මං ඉක්මන්  වුණා. අනේ එයා අන්තිමට ඇවිත්. මං කෑගහලා එයාට කතා කළත් කිසිම කෙනෙක්ට මාව ඇහුනෙ නෑ. මං තව තවත් ගින්නෙන්  දැවෙමින් කෑගැහුවත් කිසිම වෙනසක් වුණේ නෑ. මං ඉක්මන් වුණ එක ගැන  මටම වෛර කරන්න ගත්තා. එකපාරටම මගෙ නංගි අක්කේ කියලා කතා කරනවා මට ඇහුණා. එයාගෙ සුපුරුදු  කොනිත්තීම සමග මං  තිගැස්සිලා ඇහැරුණා. අම්මෝ හොඳ වෙලාවට හීනයක්.

“ අන්න ඔයාව බලන්න කවුද ඇවිත්”

මං පුළුවන් කිසිම ගාණක් නැතුව මුහුණවත් සෝදන්න කල්පනාවක් නැතුව හෙමින් සැරේ දොර රෙද්දෙන් හොරෙන් ඇවිත් ඉන්නේ කියලා බැලුවා.තාමත් ඉන්නේ   හීනයකද කියලා හිතාගන්නත් බෑ. මං මාස ගාණක් එයි කියලා බලන් හිටිය ආදරේ අද ආයෙ ඇත්තටම ඇවිත්. ඉන්න විදියක් අමතක උන මම දුවගෙන ගිහින් එයාව බදාගෙන අඩන්න වුණා. ඒ වෙලාවේ   වුන හැමදේම මං දැනගත්තා. අන්තිමට message එක දාලා කරන්නේ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට එයාට ලංකාවට ආපහු එන්න අවස්ථාවක් හම්බ වෙලා. හැබැයි එකපාරටම නෙමෙයි. හදිස්සියේ ඕනි කළමනා ටිකක් ලෑස්ති කරගෙන ලහි ලහියේ තව කිහිප දෙනෙක් එක්ක ගමන පිටත් වුණාට එයාට ඕනිම දේ අමතක වෙලා.එයාගෙ ස්මාට් ෆෝන් එක. කිසිම අංකයක් මතක නැති නිසා පණිවිඩයක් දෙන්න එයාට පුළුවන් වෙලා නෑ. ලංකාවට ආව ඉක්මනට මාව බලන්න ඇවිත් තියෙන්නේ එයා නරක හීනයක් දැක්ක නිසා කියලත් කිව්වම මට එයා ගැන තිබුන ආදරේ තව වැඩි වුණා වගේ දැනුන.

ජීවිතේ හරි පුදුමයි. වෙලාවකට නොහිතන තරම් කරදර බිඳවැටීම්, ජීවත් වෙන්නෙ මොකටද කියලා හිතෙන තරමටම එපා වෙනවා. හැබැයි හොඳම දේ වෙන්න සමහර වෙලාවට කාලයක් යනවා කියන දේ මං අද අත්දැකීමෙන් දන්නවා.  ඒ නිසා තමයි දුර ඈත තිබුන මගේ ආදරේ ආපහු මං ලග අද ආවෙ….. 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp