අවසන් සිහින දකින්නා
කවීෂා ගිම්හානි

අද අහස පාළුයි . මුලු නිල් අහස පුරාවටම තේජස් පෙන්නන්නෙ ඉර .

හ්ම්.

කිසිම අනුකම්පාවක් නැති ඉර.

ගිනි ගහන අව්වෙන් කාෂ්ටක මැදියමක් විතරක්ම උරුමවුණු දූවිලි ගොඩක ඉඳගෙන මම ඔහේ බලන් ඉඳියේ හිස් අහස දිහා.

නංගි ඉඳියා නම් මට කොහෙන් හරි වලාකුළක් පෙන්නයි. එක පුංචි වලාකුළක් කප්පරක් හීන පෙන්නපු බලාපොරොත්තුවක් වුණු කාලයක් මටත් තිබුණා. යල කන්නෙ අස්වද්දලා මහ කන්නෙට වලාකුළක් පේනකල් අපි බලන් ඉඳපු තරමක්. අහම්බෙන් වුනත් පේන වලාකුළු හැඩ අස්සෙන් ඔබ මොබ දුවන පියාඹන අශ්වයෝ, කොස්ස උඩ නැගලා යන නපුරු මායාකාරියෝ, සිරීපාදෙ වදින්න යන සුරංගනාවියෝ මවන්න ඒකිට පුලුවන් . ප්‍රශ්න තිබ්බා තමයි. ඒත් ඒ කාලෙ අපි හිනාවෙලා ඉඳියා.

දැන් මොකට ද ඕවා මතක් කරලා ? මම ඔහේ ඇස් පියාගත්තා.

ඉස්සර වගේ දැන් ඇස් පියාගත්තා කියලවත් කිසිම සැනසීමක් දැනෙන් නෑ.ඒ මූසලම දවසේ වහපු සුදු රෙද්දට කාවැදුණු රතු පාට පැල්ලම් ඇස් පියාගත්ත ගමන්ම  කළුවර අස්සෙන් හොල්මන් කරන්න පටන්ගන්නවා.

වටපිටාවෙන් ඇහෙන දරා ගන්න බැරි තරම් පිපුරුම් සද්ද එක්ක ඔලුව දෙදරුම් කන තරමටම රිදෙනවා.

 මම දන්නවා… මම දුවන්න ඕනි කොහේ හරි ආරක්ෂාවක් හොයාගෙන….. ඒත් කකුල් ලොක් වෙලා වගේ.

අමාරුවෙන් ආදරයෙන් තුරුල්කරගෙන ඉඳපු අන්තිම මලානික කොළෙත් කාෂ්ටක මාරුතය  උදුරගෙන ගියාට පස්සෙ කේඩෑරි වෙච්ච ගහක් මොනවා කරන්න ද ?

ඇහැරුනු ඇස් පිහාටු අස්සෙන් කෙවනි කැවෙද්දී මන් ආයෙත් බැලුවෙ ආඩම්බරකාර ඉර දිහා. අන්තිම පාරටවත් ඉරිතැලුනු පොළවට වතුර බිංඳුවක් දෙන්න ඉරට අනුකම්පාවක් නැති හැටියක්.

මේ හැම වෛරයක්ම, හැම තණ්හාවක්ම , හැම ලේ කැවුණු මතකයක්ම නැවුම් වැස්සකින් හෝදලා දාන්න පුලුවන්නම්..

“ඒයි උඹට පිස්සුද ඔහොම ඉන්න? උන් වටකරලා ඉන්නෙ පණ බේරගෙන දුවපන්”

 කෑගහගෙන මාව පහු කරගෙන දුවන සීයක් විතර අතරින් එකෙක් දෙන්නෙක් ඔහොම කියනවාම තමයි. දූවිලි අවුස්සාගෙන පොළව හෙල්ලුම් කනවා. බූට් සපත්තු අස්සෙ හරියට සෙරෙප්පුවක් වත් දාගන්න අමතක වෙච්ච මිනිස්සුත් පුලුවන් හැම ශක්තියෙන්ම දුවනවා. සමහරු පොඩි එවුන් කිහිල්ලෙ ගහන් දුවනවා. සමහරු පොඩි එකාවත් ඇදගෙන දුවනවා.

ඒ හැමෝන්ගෙම ඇස්වල තිබ්බෙ බය.

සමහර විට බය කියන්නෙ වැරදි කියවීමක් වෙන්නැති.

ඒ ඇස්වල තියෙන්නෙ බලාපොරොත්තුව.

අන්තිම තප්පරෙත් ජීවිතේ ඉල්ලන තව එක දවසක් ,පැයක් , තත්පරයක්  වෙනුවෙන් හීන මවන මිනිස්සු.

ඒ අස්සෙ මෙහෙම බිම වැතිරිලා ඉන්නකොට මට තේරුනා ඔහොම දුවන්න මිනිස්සුන්ගෙ කකුල් ඉබේ ක්‍රියාත්මක වෙන්නෙ නැති බව. ජීවිතේ ජීවත්කරවන්න හීනයක් නැති හිස් මනුස්සයෙක්ට ඕක කරන්න බැරි බව.

එක මොහොතකට යුධ පිටිය නිහඬ උනා වගේ දැනුණා. එහෙ මෙහේ සීසීකඩ දුවපු මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙලා. දුහුවිලි නැහැවුණු , වතුර පොදක පහසක් නොලබපු  කාෂ්ටක පොළවයි , මමයි විතරක්  හිමින් හිමින් හුස්ම ගන්නවා මට ඇහුණා.

වටපිට බැලුවොත් අපේ ගේ කොයි මායිමක තියෙන්න ඇත්ද ? කලු මාමාගෙ කඩේ තිබ්බෙ මේ නුඟ ගහ පහුකරලා පේන දුර . එතන තිබ්බ වංගුවෙන් හැරිලා අඩි දෙක තුනකින් අපේ ගෙදර ට දුවන්න පුලුවන් . පළවෙනි පාරට අද මෙතන දකින කිසිම කෙනෙක් මේ මායිමේ මාස තුනකට කලින් ලස්සන ගමක් , හීන පිරිච්ච මිනිස්සු ජීවත් උනා කියල හිතන්නෙ නෑ. ඒ තරමටම ගමක් කියල හෙවනැල්ලක්වත් නැතිවෙන්න තරම් ඒ කටුක යුද්ධය , කාලයත් එක්ක එකතුවෙලා ඒ ගෙවල් , ඉස්කොල ඔක්කොම හොරකම් කරන් ගිහින් . ඒ අහිංසක මිනිස්සු බහුතරය ජීවිතේ කාලෙටම ගොඩගහපු බලාපොරොත්තු එක්ක පොළවටම පස් වෙලා. මං වගේ අතරින් පතර ඉතුරු වෙච්ච එකා දෙන්නත් අරමුණක් නැතුව ඔහේ අතරමග අතරම‍ං වෙලා.

එක දවසක ඉර උදාවක් එක්ක අපේ ගෙදර ඇතුළේ ඒකාලෙ කොච්චර ජීවයක් තිබ්බද ? උදේම නැගිටලා මටයි නංගිටයි ඉස්කොලෙ යන්න බත් උයන අම්මා, සුදු ගවුම පොඩිවෙලා කියල මැසිවිලි කියන නංගි , කාටත් කලින් ම උදෙන්ම වැඩට යන්න හතේ බස් එක අල්ලගන්න දුවන තාත්තා …. 

ඒ කාලෙ නංගි අඳින හැම ගවුමක්ම අයන් කළා. පොඩ්ඩක් කොන්ඩෙ අවුල් වුණත් ආයෙ සිය පාරක් හරි කොන්ඩෙ හරියනකල් පීරනවා.

ඒත් එදා ඉස්කොලෙ බස් එකේ බෝම්බෙ දවසෙ එයාට තිබ්බෙ අකීකරු වුණු කොන්ඩයක් .හොඳටම පොඩිවෙලා ඉරිලා ගිය රතුපාට පැල්ලම් එකතුවෙලා දූවිලි වෙච්ච සුදු ගවුමක්. ඒ ඇද පලුදු ගැන පැමිණිලි කරන්නවත් , ආයෙ ආයෙ කොන්ඩෙ පීරගෙන හරිගස්සගන්නවත් නංගි ආයෙත් ආවෙ නෑ.

 අන්තිමේදී  ඒ හැමෝන්ගෙම මතකයන් එක්ක

මාව විතරක් මේ ලෝකෙ තනි කරන තරමටම දෙවියො අකාරුණික වුණා.කොයිතරම් නම් අසාධාරණ ලෝකය ක් ද?

පපුව මැද්දෙන් එකපාරටම දැනුනු වේදනාව මාව පියවි ලෝකෙට ගෙනාව. ඇඟිලි කරු අස්සෙන් බේරුනු මගේ උණු ලේ වලින්   මාස ගාණක් වැහි පොදක් වෙනුවෙන් බලා ඉදපු පොළව තෙත් වුනා.  මන් දිහාට තුවක්කුවක් උරුක් කරගෙන ඉදපු නිල ඇදුම් හාදයට මන් හිනාවුනේ හදවතින්මයි . එයාවත් මාවත් දන්නෙ නැති මිනිස්සුන්ගෙ හීනයක් වෙනුවෙන් අපි දෙන්නම දෙපැත්තක බිල්ලක් වෙලා. එයත් ඒක දන්නවා. රතුපාට ඇස් පොඩිකරන් කලබලෙන් දුවද්දී මට sorry කියන්න හිතුනෙ ඒ නිසා වෙන්නැති .

පපුව ඇදුම් කනවා තමයි . ඒත් දෙපැත්තකට බෙදපු කොන්ඩ කරල් දෙක ඇද ඇද කිරි දත් හැලුනු කටින් නංගි මට කතාකරනවා මගේ ඇස් අස්සෙන් බොඳවෙවී මැවෙනවා. මට සතුටින් සැනසෙන්න ඒ හොඳටම ඇති.

ජීවිතේ කොච්චර නම් අහම්බකාරක ද?

තව ටික කාලෙකින් මේ යුද්ධ කතා ඉවර වෙයි . දෙපැත්තක නායකයො සව්දිය බීලා , කරට අත දාගෙන මාධ්‍ය සමුළුවලට ඒවි. එතකොට අපි වගේම තවත් ළමයි මේ පොළවෙ එහෙ මෙහෙ දුව පනීවි. මායි නංගියි දැක්ක වගේ අපූරුම හැඩතල වලාකුළු අස්සෙන් මවා ගනීවී. ජීවිතේ පුරාම හීන දකීවි . ඒත් ඒ බහුතරයකට තමන්ටවත් අයිති නැති වෙන කාගෙදෝ හීනයක් වෙනුවෙන් ජීවිතේ දියකරලා දාන්න වෙන එක තමයි දුක. මට වගේ නැතුව මේ ජීවිතේ සන්තෝෂයේ මීවිත බිංදුවක්වත් ඒ හැම අහිංසක මනුස්සයෙක්ටම ලැබෙන  ඕනි කියන එක තමා මගේ අන්තිම හීනය.

 

පසුවදන:

පෙරදා සිදුවූ අතිබිහිසුනු සටනෙ සුන්බුන් පරීක්ෂා කරමින් උසස් නිලධාරින් දෙදෙනෙකු ගමන් කරද්දී , පපුවටම වෙඩි වැදී තනිවම මියැදුනු මළසිරුරක් දකියි . එක් නිලධාරියෙක්  මෙහෙම කියන්නෙ හිතට දැනුනු කම්පනයටමයි.

“පව් තරුණ කොල්ලෙක් . කොච්චර නම් හීන තියෙන්න ඇද්ද? “

READ THE
NEXT STORY > >