සිහින
අනුෂා ගමගේ
ෂිශ්ශත්වේ පාස් හින්දා මට මාසෙට 500 ගානේ ශිශ්ශාදාර හම්බුනානේ… ඒක වැටුනේ මහජන බැන්කුවට… කොච්චර වැටුනත් ඉතිං ඒවා පොතේ නං තියෙන්නෙ නෑ.. අම්මා මට කියලා ලියුමක් ලියාගෙන ගිහිල්ලා ගන්නවා..
මමත් ඉතිං අම්මට ඒවා ගන්න එපා කියන්නෙ නෑ අනේ, මොකො පොතේ තිබ්බට වැඩක් නෑනේ කඩෙන් බඩු ගෙදරට එන්නෙ නෑනේ!!
මගේ පොතේ 2,000 ක් වගේ එකතු වෙද්දී අම්මයි මමයි දෙන්නම මහජන බැන්කුවට ගිහිල්ලා සල්ලි අරං එනවා.. ඒ කරලා පොලේ යන්නෙත් අපි දෙන්නා…
****************************************
එක දවසක් අම්මා මට කදුරුවෙල යන්න ලෑස්ති වෙන්න කිව්වා. මම කලිං කදුරුවෙල ගිහිල්ලා නෑ..
“ඇයි අපි කදුරුවෙල යන්නේ?”
“බැන්කුවට”
“බැන්කුව තියෙන්නෙ ඉස්කෝලෙ ලගනේ?” ඉස්කෝලෙ තියෙන්නෙ අරලගංවිල..
“නෑ නෑ ඒකට නෙවේ යන්නේ”
මට අම්මා කියපු එක හරියට තේරුනේ නෑ. ඒත් බස් එකේ නැගලා දුර යන්න පුලුවන් හින්දා මාත් ලෑස්ති උනා..
කෝකටත් තයිලෙ වගේ තිබ්බ කලු පාටයි සුදු පාටයි ගවුම ඇදලා බාටා දෙකත් දා ගත්තා.
“ඔය කකුල් දෙකේ ක්‍රීම් ටිකක් ගා ගන්න.සුදු පිපිලා..”
කකුල් නිකං වතුර බැදපු නැති ලියද්ද වගේ.. හමේ කොරල…
“ඒ කරලා බාට දෙකත් පොල් මුඩ්ඩකින් හොදට අතුල්ලගෙන එන්න ඇලට ගිහිල්ලා..”
මං දුවලා ඇලට බැස්සා… කිව්වා වගේ බාටා දෙකේම මඩ තලි.
හොදටම පොල් මුඩ්ඩකිං අතුල්ලලා තව රෙදි සෝදන ගලෙත් අතුල්ලලා යන්තං සෙරෙප්පුවේ නිල් පාට මතු කර ගත්තා..
“දැං හරි”
මං හෙමිං හෙමිං වැලි විසික්කා වෙන්නෙ නැති වෙන්න අඩිය තියලා ගෙට ආවා…
“අම්මේ කීම්?”
“දෙවනිගෙං පොඩ්ඩක් ඉල්ල ගනිං”
“අනේ ඕකි දෙන්නෙ නෑ…” දෙවනි ගාව එයා ගත්තු සුවද ක්‍රීම් තියෙයි.. ඒත් එකෙක් වත් මට ඒවා දෙන්නේ නෑ..
අම්මා ඊට පස්සෙ පරන බේබි ක්‍රීම් එකක් උස්සන් ඇවිල්ලා මට දුන්නා.. හම්මේ ඒක උඩ ඉද ගත්තත් ක්‍රීම් ඩිංගක් එලියට ආවෙ නෑ..
ඒ පාර මම කුස්සියට ගිහිං පොල්තෙල් ටිකක් අරං හොදට කකුල් දෙකේ ගා ගත්තා..
දැං හරී.. මේ තියෙන්නේ දිලිසි දිලිසි..
****************************************
අපි දෙන්නා කහ පාලම ලගට ගිහිල්ලා බස් එක එනකං පැයක් වගේ ඉන්න ඇති..වෙලාව ඉතිං හිතෙං තමා ගනං හදන්නේ..
“පේමෝ… කෙලී එක්ක කොහෙ යනැවයි?”
අම්මගේ යාලුවෝ පාරට බැස්සම අඩියෙං අඩිය..
“බැංකුවට යනව අක්කේ”
“අර මක්කැටෙයි?”
“අපේ මිනිහට සී පෑන් එක නැතුව කුබුරු කොරන්න බෑ කියනවනේ”
“හත්තලාමේ ඔව්වා ගෙවන්නෙ කොහොම?”
“කුබුරු කපල තමයි ඉතිං”
“එහෙම දෙනවය?”
“ඒක අහන්න තමා අක්කේ යන්නේ”
“හා හා එහෙනං… දැං මේ මේකි දොක්කං යන්නෙ මක්කටෙයි?”
“ඔය ලෑස්ති උනේ යන්න ඕනි කියලා…”
අනේ ඉතිං අපේ අම්මගෙ බොරු.. කමක් නෑ ඉතිං.. මමත් ඉතිං අම්මා එක්ක රවුම් ගහන්න හරි ආසයි.
****************************************
අපි ගිනි ගහන අව්වෙම බැංකුවට ආවා… මහජන බැංකුව වගේ නෙවෙයි, මේ බැංකුව ඇතුලේ සීතලයි.. ගොඩක් සෙනගත් නෑ. දොර ගාවම ලොකූ පුන්කලසක්… ඇතුලෙ ලස්සන ලස්සන පින්තූර ගහලා… TV එකකුත් දාලා…
මම TV එක පේන විදියට හරි බරි ගැහිලා ඉද ගත්තා. බස් එකේ කුශන් නැති සීට් එකේ ඇවිල්ලා පස්ස උල් වෙලා තිබ්බේ..
ලස්සන සාරියක් ඇදන් නැන්දා කෙනෙක් ආවා අපි ලගට..
“මොකද්දා කාරනාව අම්මා?”
“වගා නයක් ගන්න මිස්..”
“ඉන්න මම manager ට කියන්නම්.. වාඩි වෙලා ඉන්න..”
අපි ටික වෙලාවක් ඉද්දී ආයෙත් අර නැන්දා ආවා..
“අතන කාමරයට යන්න අම්මා”
“හරි මිස්.. සිගිති යං පුතේ..”
අපි දෙන්නම ඒ කාමරේට ගියා.. අනේ හරිම ලස්සන නෝනා කෙනෙක් සාරියක් ඇදලා..
අම්මා එයාගේ ලෝන් වැඩේ කතා කරනකං මං ඇස් දෙක ලොකු කරගෙන එයා දිහාම බලං හිටියා..
“බබා කීයෙද ඉන්නේ අම්මා?”
“මේ මිස් ට කියන්න පුතේ”
“6 වසරේ”
”ශිශ්ශත්තෙත් පාස් මිස්..”
ඔන්න ඉතිං අම්මා අනවශ්‍ය දේවල් කියනවා.. මට ලැජ්ජයිත් එක්ක..
“අනේ කොච්චර ශෝක් ද!! පුතා කවුරු වෙන්නද කැමති?”
මට ඒ වෙලාව වෙනකං ඕනි උනේ ඩොක්ට කෙනෙක් වෙන්න, ඒත් ඒ සීතල කාබරේ සුවද ක්‍රීම් ගාලා ඉන්න එයාව දැක්කම මට ඒ වගේ වෙන්න ඕනි උනා..
“මට ඕනි බැංකු මැනජර් කෙනෙක් වෙන්න!”
“ෂා නියමයිනේ!!!
පුතා එහෙනං ලොකු වෙලා එන්නකො අපේ බැංකුවට!”
****************************************
අම්මා මට කදුරුවෙල ඉස්ටෑන්ඩ් එකෙන් මයිලෝ එකක් අරං දුන්නා.. මයිලෝ එකක් කියන්නේ හරිම කලාතුරකින් හම්බෙන සුපිරි බීමක්.. ඒත් වෙනදා වගේ මට මයිලෝ එක ගැන ලොකු ආසාවක් තිබ්බේ නෑ.. ගෙදර එන්න මහදමනේ බස් එකට ඇවිල්ලත් මම මයිලෝ එක කැඩුවේ නෑ.. වෙනදටනම් මේ වෙද්දී ඒක බීලා බටෙත් දහ පාරක් විතර සූප්පු කරලා..
“සිගිතී.. මොකෝ..”
අම්මට මගේ වෙනස තේරිලා..
“අම්මේ.. අර බැංකුවේ නැන්දා මට ලොකු වෙලා එන්න කිව්වේ ඇත්තටමද?”
“ඔව් ඔව්.. පුතා සිස්සත්තෙත් පාස්නේහ්.. සිස්සත්තේ පාස් අය තමා එහෙම කැරකෙන පුටුවේ ඉදගෙන වැඩ කරන්නේ..”
“හ්ම්ම්ම්ම්”
ගෙදර එනකං මං කල්පනා කරේ ඒ නැන්දා ගැන.. එයාටනම් කකුල් වල පොල්තෙල් ගාන්න ඕනි නැතුව ඇති.. සුවදෙන්ම ඒක කියන්න පුළුවන්.. හ්ම්ම්ම්ම් මමත් බැංකු නෝනා කෙනෙක් වෙනවා…
****************************************
බැංකු නෝනා කෙනෙක් වෙන්න හිතද්දී මට වයස අවුරුදු 11යි.. මම තව අවුරුදු 15ක් ඒ හීනය දැක්කා… උදේ හවස ඒ හීනය දැක්කා…
මිහිර පත්තරෙයි විජය පත්තරෙයි පිටු පුරා බැංකු නෝනලා හෙව්වා.. ඒ රූප එකතු කරලා වෙනම රූප පොතක් හැදුවා.. අම්මා බැංකු යන හැම දවසකම නැට්ට වගේ පස්සෙන් එල්ලිලා බැංකු ගියා..
“මෙන්න මේකි නැට්ට වගේ අම්මගේ පස්සෙන් හැම තැනම යනවා.. අපිව තමයි එක්ක යන්නේ නැත්තේ..”
අක්කලාගේ රැවිලි ගෙරවිලි වල ඉවරයක් නෑ..
“ඒකි ගෙදර පොඩි එකීනේ.. උබල නටන්නේ නැතුව ඉදපල්ලා..”
අම්මා බැංකු යන හැමදාම මාව එක්ක ගියා.. ඒ කරලා අක්කලාව ෂේප් කරෙත් එහෙම කියලා…
****************************************
ඔන්න ඉතිං පොලොන්නරුවෙන්ම 10 වෙනියා වෙලා මම කැම්පස් ගියා.. බැංකු නෝනගේ හීනයත් හිතේ තියාගෙනම…
අම්මෙහ් ඉතිං කොළබ ගිහිල්ලන්ම් පත්තර කපන්න ඕනි උනේ නෑ. බලන බලන ඇත බැංකු නෝනලා වැහි වැහලා..
****************************************
වීදුරු ජනේලයෙන් එළිය බලාගෙන ඉද්දි තමයි මම දන්නෙම නැතුව ඒ අතීතයේ සැරිසැරුවේ..
“මිස්.. වගා ණයක් ගැන අහන්න අම්මා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා.. එවන්නද?” මෙත්සන්දී ගේ වචන වලින් මගේ දැහැන බිදුණා..
මම පොඩ්ඩක් මෑත් වෙලා දොර දිහා බලද්දී මටම හිතා ගන්න බැරි විදිහට ඒ අවුරුදු ගානකට කලින් වෙච්ච සිද්දිය ඇස් ඉස්සරහ තියෙනවා.. අපේ අම්මා වගේම අම්මා කෙනෙක් එක්ක හරිම ඇට්ටර පාටක් තියෙන, ඔලුවේ රබර් පටියකින් පොල් ගහක් බැදගෙන, කළු පාට බාට සෙරෙප්පු දෙක දාගෙන, බිම ගෑවෙන්නේ නැති කකුල් දෙක වන වනා ඉන්න පොඩි ගෑනු ළමයෙක්..
මගේ හිත කියා ගන්න බැරි මොකක්දෝ හැගීමකින් පිරිලා ගියා..
“එන්න කියන්නද මිස්?”
“එන්න කියන්න එන්න කියන්න…”
****************************************
“මිස්..”
ඒ අම්මගේ මූණේ තිබ්බේ හරි බයාදු පෙනුමක්..
“අම්මා මොනවද වගාව කරන්නේ?”
“මිස් අපි ඉතිං කරන්නේ කුබුරු තමයි.. තෙල් පොහොර ටික ගහගන්න බැරුව වගාව පාළු වෙලා මිස්..”
“අපි බලමුකෝ අම්මා.. දෝණි කීයේද ඉන්නේ?”
“5 ට පාස් උණා මිස්.. මේ ළමයටත් හරි වියදම්..”
දුව තාමත් මං දිහා ජිල් බෝල ඇස් වලිං බලං ඉන්නවා..
“පුතා අම්මා එක්ක කුබුරු වැඩ වලට යනවද?”
“අනේ ඔව් මිස්.. තේ වතුර හදන්නේ ඔක්කොම මේ දරුවා තමයි.. මම හරි හරියට අපේ එක්කෙනා එක්ක වැඩ… අපිට කුලියට ගන්න සල්ලි නෑ මිස්..”
ඒ වචන ටික ඇහුණාම මගේ පපුව පිච්චිලා ගියා..
“අම්මා.. මොන දේ උනත් දරුවට හොදට උගන්නන්න.. අපි වගේ අයට තියෙන එකම අවිය තමයි අද්යාපනය.. මම දරුවාගේ වැඩ වලට උදව් කරන්නම්.. අපි වගාවට ණය අනුමත කර ගමු..”
“අනේ රත්නත්තරයේ පිහිටයි මිස්..” අම්මට රටක් රාජ්‍යක් ලැබුනා වගේ මගේ වචන ටිකට..
“දුව ලොකු වෙලා වෙන්න කැමති කව්ද?”
ජිල් බෝල ඇස් දෙක ආයෙත් මං දිහා බලන් හිටියා..
“බැංකු නෝනා කෙනෙක්…”