ඒ මරණයේ සේයාව නොවේ
ලසිත විකුම් චන්ද්‍රපාල

උදේ වරුවේ වාට්ටුව පුරාවට තිබුණේ මහත් ඝෝෂාකාරී තත්ත්වයකි. පිරිසිදු කරන සේවිකාවෝ උදෑසනම පැමිණ වාට්ටුව පිරිසිදු කළෝය. ඊළඟට හෙදියන් විසින් ලේ සාම්පල් ගැනීම මුත්‍රා සාම්පල් ගැනීම බෙහෙත් විඳිම ආදිය සිදුකරන ලදී.මේ අතර රෝගීන් බැලීමේ වෙලාවද ඒ එක්කම විය.එක් ඇඳක් වටා හත් අට දෙනෙක් පිරී සිටියහ. සමහරෙක් කෑම කවයි. බෙහෙත් පොවයි.  හිස පීරවයි. සමහරු දුක ප්‍රකාශ කරයි . සිත හැදෙන වචන තෙපලයි. ආශිර්වාද කරයි. ලොකර් මත දරාගන්නට බැරි තරම් බඩු කන්දරාවල් පිරී ඇත. කෙළවරේ ඇඳේ වූ වරුණි මේ හැම දෙයක් දෙසම උවමනාවෙන් බලා සිටියාය. ඇගේ ලොකර් එක මත ඇත්තේ ප්ලාස්ටික් පිඟානෙකින් වසන ලද ප්ලාස්ටික් බත් පිඟානක් හා වතුර බෝතලයක් පමණකි. ඒ ඇය වෙනුවෙන් රෝහලින් ලැබෙන උදෑසන කෑම වේලයි. එයට බත් සම්බෝලයක් හා පරිප්පු තිබිණි. ඇය  එය නොකෑවේ කවුරුන්  හෝ තමා බැලීමට ඒවි යන බලාපොරොත්තුවෙනි.   ටික වේලාවකින් ආරක්ෂක නිලධාරීයකු පැමිණ මොර දෙන්නට විය.

“ ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ඔය ඔක්කොමලා දැන් යන්න. ඇයි ඔය ඇඳ වටේ පිරිලා  ලෙඩාට හුස්ම ගන්නවත් බෑ. කරුණාකරලා ඉක්මනට යන්න මම දැන් සැරයක් දෙසැරයක් කිව්වා ඉක්මන් කරන්න.

වරුණිට ආරක්ෂක නිලධාරියා හා ඇතිවූයේ දැඩි කෝපයක්. ආ පිරිස ගිය විට වාට්ටුව පුරාවට තිබුණේ දැඩි නිහඬතාවයකි. ලෙඩුන්ගේ මුහුණුවල පිරී තිබුණේ වේදනාව හා ශෝකයයි.

 වරුණි මෙම රෝහලට පැමිණ සති දෙකක් පමණය. ඇය බැලීමට මෙතෙක් රෝහලට පැමිණියේ අම්මා පමණකි.  ඒත් ඒ දෙතුන් .වතාවක්ය. පැමිණීම දුර වැඩිවීම නිසාත් ආර්ථික අපහසුතා නිසාත් තනියම ඒමට නොහැකි නිසාත්ය.

 ඇයට මුලින්ම සැදුනේ බඩේ වේදනාවක් හා බඩේ දැවිල්ලකි. අහල පහල රෝහල් කිහිපයකින් බෙහෙත් කරත් ඇයට කිසිම ගුණයක් නොවීය. අවසානයේ ඇයට රෝහලේ  නේවාසිකව නතර වී පරීක්ෂණ කිහිපයක් කිරීමට නියම විය. ඒ පරීක්ෂණ වලින් ඔප්පු වූයේ ඇයට දරුණු  පිළිකාවක් වැළඳි ඇති බවයි. පසුව ඇය වැඩිපුර ප්‍රතිකාර සඳහා පිළිකා රෝහලට යවන ලදී.

 අක්කාත් නංගිත්  සිටින පවු‍ලේ ඇය මද්දුමයාය. කුඩා කාලයේදීම තාත්තා මිය යාම නිසා ඔවුන් ජීවත් කරවීමට අම්මාට අනේකවිධ දුක් ගැහැට විඳින්නට සිදු විය. වත්ත පිටියේ කුඹුරේ වැඩ මෙන්ම කුලී වැඩ පවා කළාය. එවැනි තත්ත්වයක ජීවත් වූ ඔවුන්ට වරුණිගේ අසනීපය කබලෙන් ලිපට වැටීමක් විය. වරුණි පවුලට මෙන්ම සහෝදරියන්ටද බොහෝ සෙයින් ආදරය කළාය. ඇයට ඔවුන් නැතුවම බැරි විය. දැන් ඔවුන් ඇය ගැන සැළකිල්ලක් නොදැක්වීම ඇයට දරා ගත නොහැකිය.

“ කමක් නෑ මම ඉතින් දැන් පිළිකා ලෙඩෙක්නෙ. එයාලට දැන් මගෙන් වැඩක් නෑ.” ඇය හිත හදා ගත්තාය.

 වාට්ටුවේ මිදුල කෙළවර  බංකුව අසල වූ රෝස පැහැති රෝස පඳුර  මල්වලින් බර වී තිබිණි. ඇය වශී වූවකුමෙන් මොහොතක් ඒ දෙස බලා සිටියාය .සෙමින්  ගහ අසලට පියනැගු ඇය රෝස මලක් තමා වෙත ලං කර පෙති අත ගෑවේ ඉතා මුදුමොලොක් ලෙසය.සිතට මහත් සැනසිල්ලක් දැණිනි. ඇයට එක පාරටම මතක් වූයේ සුදත්ය.ඒ ඇගේ පෙම්වතායි. ඔහුද ඇගේ පන්තියේම සිසුවෙකි.සුදත් ඉතා ආසා කළේ රෝස පැහැති රෝස මල් වලටයි.

එදා නිවාසාන්තර ක්‍රීඩා උළෙල දවසයි. මාස ගණනාවක සිට මහන්සි වී ක්‍රීඩා බොහොමයකට සහභාගි වී දිනූ කණ්ඩායම් වල අවසාන වටය පැවැත්වෙන්නේ මෙදාය. නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කළ අතර එහි නායිකාව වූයේද වරුණිය. මහන්සි වී ඉතා උනන්දුවෙන් සෙල්ලම් කල නිසා තම කණ්ඩායම ජයග්‍රහණය  කර ගැනීමට ඔවුන්ට හැකි වූහ. නෙට්බෝල් තරඟෙන් පසුව ඇය නිවාසය පිටිපස වූ පුටුව මත හාන්සි වී සිටියේ අධික මහන්සිය නිසාය. සුදත් ඇය වෙත ආවේ රෝස පැහැති රෝස මලක් අතැතිවය.

“ මගේ උණුසුම් සුබ පැතුම් ”

ඔහු ඇය අතට රෝස මල දුන්නේය. ඔවුන්ගේ මිතුදම ආරම්භ වූයේ මෙලෙසය.වරුණි බංකුවේ ඇන්දට හිස හේත්තු කරගෙන අතීතය ආවර්ජනය කළාය. අයිස් ක්‍රීම් කාපු හැටි. හවස පන්ති කට් කර නෙට්බෝල් පුහුණුවීම් කරපු හැටි. ඔවුන් පාසැල් කාලේ ගත කලේ බොහෝම කෙළිලොල්වය. බොහෝ යාලුවෝ සිටියහ. අගහිඟකම් මධ්‍යයේ වුවද දවස ගත කළේ ඉතාම සතුටින්ය.ඔවුන් ජීවත් වූ පරිසරය ගැමි පරිසරයක් වූ හෙයින් ගම්මුන්ට සුවදායක ජීවිතයක් ගත කිරීමට හැකි විය. වෙල්යායේ දුවපැන නටපු හැටි. බොහෝ දින වල  හවස පන්සල් ගොස් මහ රෑ වෙනතෙක් බණ අහපු හැටි. ඇගේ සිතේ සිතුවම් පෙළක් මැවීය. හවස වැවට ගිය ගිය විට බොහෝ යහළුවන් එකතුවේ. වරුණිද අම්මා අක්කා හා නංගී සමඟ වැවට ගියේ ඉතාමත් ආශාවෙන් .ඇගේ සිතේ මේ සියල්ල පිරී ඇත. ඒවා නැවත නැවත ආවර්ජනය කර ඇය  සතුටු වූවාය. වරින් වර ඇගේ උදරයෙන් අධික වේදනාවක් හට ගනී.

“ මම දැන් පිළිකා ලෙඩෙක්. මගෙන් කිසිවෙකුට වැඩක් නෑ.”

 ඇයට දැනුනේ දැඩි වේදනාවකි. දෑතින් දෑස වසා ගත්තේ තවත් මේ පාළුව තනිකම දරාගත නොහැකි නිසාවෙනි. දෑස නිලංකාරය. කළු සේයාවක් ඇය ඉදිරියේ එහාට මෙහාට සැලෙයි.

“ ඔව් අවසානයේ මා සොයාගෙන එන්න හිටපු එකම එක්කෙනා. මරණයේ සේයාව. එහෙනම් එයා දැන් මා සොයාගෙන ඇවිදින්. මට යන්න ළඟයි”

 එකවරම ඇගේ දෑස වසා සිටි දෙඅත් මත සීතල දෑතක් තැබිණි. වරුණි ගැස්සි නැගිට්ටාය. ඇගේ හොඳම යෙහෙළිය වූ ජයනි ඈ පිටුපස සිනාසෙමින් සිටියාය.ඇය පිටුපස අම්මා අක්කා නංගී හා තවත් යහළුවන් කිහිප දෙනෙක්ු සිටියහ. ඔවුන් අතර වූ සුදත් ඇය දෙස සිනාසෙමින් බලා සිටි.

“ඔයාලා…..”

“ ඔව් මගේ පුතේ  අපි දැන් දවල් ලෙඩ්ඩු බලන වෙලාවට වාට්ටුවට ඇවිල්ලා ඔයාව හැම තැනම හෙව්වා. මිස් කෙනෙක් ඔයාව දැකලා අපට පෙන්නුවා.”

 මව ඇයව  තරයේ වැළඳ ගනිමින් පැවසුවාය.

“  මේ අහන්නකෝ. ඔයාව බලන්න මෙච්චර කල් ආවේ නැතිවට ඔයා අපිත් එක්ක තරහෙන්ද ඉන්නේ.”

සුදත් පැවසුවේ ඇගේ දෑත අල්ලා ගනිමිනි.

“ අනේ නෑ මම කවුරුවත් එක්ක තරහ නෑ”

“ මේකයි නංගි උනේ. ඔයාව වාට්ටුවෙ නතර කරපු දවසේ පරීක්ෂණයක් කළානෙ. එදා ඩොක්ටර් අම්මට කියලා තියෙනවා ඔයාගෙ ලෙඩේ හොඳටම සනීප කරන්න පුළුවන් .හැබැයි ඒකට ඔපරේෂන් එකක් කරන්න ඕනි කියලා. සල්ලි ගොඩාක් ඕනැ වෙනවලු. එදා අම්මා ගෙදර ගිහින් හොඳටම ඇඬුවා. අපි කතා උනා පුළුවන් තරම් සල්ලි හොයා ගන්න.ඒ වෙනුවෙන් අපි කට්ටියම එකතු වෙලා එක එක දේවල් කළා. අවසානයේ අපට අවශ්‍ය  මුදල් සොයා ගන්න පුළුවන් වුණා. අද අපි කට්ටියම ආවෙ ඔයාට ඕන කරන සල්ලි හොයාගෙන. අපි  ඩොක්ට එක්ක කතා කළා.ඩොක්ට පොරොන්දු වුණා පුළුවන් ඉක්මනට ඔයාගේ ඔපරේෂන් එක කරන්න. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඔයා ආයෙ ගමට යන්නේ හොඳ නිරෝගී කෙල්ලක් හැටියට. වරුණිගේ සතුට නිම්හිම් නැති විය. ඇය ඔවුන් බදාගෙන හැඬුවේ වියරු වැටුණු එකියකමෙනි.

READ THE
NEXT STORY > >