අකාල සිහින
තරිඳු මධුසංක ද සිල්වා

මා ක්ෂ්‍ය වූ සිතිවිලි පරම්පරාවක් සතුව සිමෙන්ති ගැලවී ගිය ගෙයි පඩිය උඩට වී අහස දෙස ඔහේ බලාගත් වනම බලාගෙන ගත කල කාලය මිනිත්තු 20කට වැඩි මිස අඩු නොවේ යැයි මම අනුමාන කරමි. මා නැවත සිටින්නේ මා බහ තෝරන අවධියේ හිඳගත් සිමෙන්ති පඩිය මත නොවේද? හෙලුකොට්ටෙන් අනාගතගය ගැන වගේ වගක් නොමැතිම කාලය කා දැමූ ඒ සුන්දර ලමාවිය ගතකල තැන නොවේද? එදවසට වඩා මා තුල ඇති එකම වෙනස වස්තු සම්පත් මිස අන් කවරක්ද? මා හට දැනෙන්නේ අනාගතය අවිනිශ්චිත මනුශ්‍ය ජීවියෙක් ඔහේ අහස දෙස එදා මෙන්ම අදත් බලා සිටින අයුරකි…

“පුතේ… ඇයි තකහනියේ දුවගෙන ආවේ? කෝ උබේ කාර් එක? වැඩපොලට ගියෙත් නැද්ද මේ ගිනි මද්දහනේ දුවගෙන ආවේ..?” මගේ අහිංසක අම්මාගේ ප්‍රශ්න පත්තරය කනකට නෑහුණා සේ මම දිගු සුසුමක් හෙලුවෙමි. 

මීට වසර ගණනාවකට පෙර මෙතනම හිඳගෙන කාලෙන් කාලෙට මා දුටු සිහින සියල්ලක්ම මා සපුරා ගත්තෙමි… කොලඹ 7න් ගෙයක්, සුපිරි පන්නයේ වාහනයක්, සුරූපී පෙම්වතියක් මෙන්ම ඉහල රැකියාවකින් ඔබ්බට ගොස් මගේම කියා ව්‍යාපරයකට හිමිකම් කීමට සමත් වුණෙමි. නමුත් මටම නොතේරෙන කුමක්දෝ සෘණාත්මක සිතුවිලි වදුලක මා පැටලී ඇත. කිසිවෙකු හා කතා කර මගේ හැඟීම් ප්‍රකාශ කිරීමටද මගේ සිත මහත් මැලිකමක් දක්වයි…

“මට මොනවද මඟහැරුනේ, මට මොනවද අඩුපාඩු?” මගේ සිත මගෙන්ම විමසයි… නමුත් එයටද ප්‍රතිඋත්තර බැඳිමට හෝ වගක් මට නැත… 

මගේ යටිසිත හෝ මා වෙලාගන්නට බලා සිටින රකුසෙකු හෝ මගේ සිතට විශ එකතු කරන්නාක් මට දැනේ. “උඹ නිකමෙක්, පල් මෝඩයෙක්… උඹ හැබෑ කරගත්ත හීන ඇත්තටම උඹ හිතන තරම් වටිනවද?” මගේ මනස ගිගුම් දෙයි. ඇත්තෙන්ම මා කුඩා කාලයේ විඳි දුක් ගැහැට නිසාම මගේ සිත අරක්ගෙන තිබුණු සිහින රාශියකි… මගේ අම්මා කිරි කපන්නට නොයැවීම තිබුණේ එම ලැයිස්තුව මුදුනේ ය. එතනින් ඇරැඹි මගේ හීන එකතුව ටිකෙන් ටික සාක්ෂාත් කරගැනීම සාර්ථක කරගත්ත ද, කුඩා කාලයේදී නෑ හිත මිතුරන් මැද්දේ කොන් වීමෙන් ලද පශ්චාත්තාපය සන්සිඳුවා ගැනීමට මට හැකි වුණාදැයි සෑමවිටම මම මගෙන්ම අසාගන්නා ප්‍රශ්නයකි. 

“ගෙයි දොරකඩ පඩිපෙල උඩ ඉඳගෙන ඉන්නාවිට මම

ඈත අහසේ මම දුටුවා කපුටු රංචු පියාඹලා කැදලි කරා යනවා

වෙහෙස වෙලා වැඩ කරලා

වෙහෙස වෙලා වැඩ කරලා හැන්දෑවට එනවා

අහස දිහා බලා ඉන්න පාර දිහා බලා ඉන්න

ජීවිතේම නවාතැනට මගේ නාකිවෙනවා”

ක්ලැරන්ස්ගේ හඬ අම්මාගේ පරණ රේඩියෝවෙන් ඇසෙන ක්ෂණයෙන් මගේ කන් යොමු වෙන්නේ අතීතකාමය ද මදක් අවුස්සමිනි. ඉස්කෝලේ යන්න පාන්දර අවදිවන්නේම අම්මගේ රේඩියෝවේ සද්දෙන්. යකඩෝ ඇත්තටම කිසිම දෙයක් වෙනස් වෙලා නැත් ද එතකොට. කැලැරන්ස් කියන කතාව සහතික ඇත්ත සිහින මවලා මවලා අන්තිමට ” අහස දිහා බලා ඉන්න පාර දිහා බලා ඉන්න – ජීවිතේම නවාතැනට මගේ නාකි වෙනවා”. 

මම නාකිද? “ඔව් උඹට අවුරුදු 30ක්” පෙරලා පිලිතුරු දුන්නේ මගේ දුෂ්ඨ යටි සිතයි. “30 ට උඹ මේ කරපු හරිය ගෑවෙන්නත් මදි බං” සිත යලි කෑ  මොරගසයි. 

“මගේ කුටියේ මා තනිවී වසර හැටක් ගෙවුණා

හැරී බලන්නේ මොකටද සොයා බලන්නේ කවුරුද

ජීවිතේම නවාතැනට මගේ නාකි වෙනවා”

ආයෙත් කැලැරන්ස්… ඔව් ඇත්තටම මිනිස්සු තනිවෙනවා අන්තිමට. මටත් එච්චරයි. මේ කිසිම මහන්සියකින් කාටවත් වැඩක් නෑ. පොලොවට පස්වෙලා සතියකින් හැමෝටම අමතක වෙලා යන අමුතු ජීවිතයක් අපිට තියෙන්නේ. මගේ සිතුවිලි වේගයෙන් මගේ සිත ආක්‍රමණය කරන්නාක් මට දැනේ. ඒත් මොකක්දෝ මේ සිතිවිලි වල අමුත්තක් තියෙනවා… 

“මොන අමුත්තක්ද මනුස්සයෝ? පොඩ්ඩක් කල්පනා කරලා බලනවා, තාත්තගේ මල්ලිගෙ පුතා පදින වාහනේ, ලොකු තාත්තගේ කොල්ලගේ නෝනා ඒරොප්පෙන් ගෙනාපු සුද්දියක්, තව කුඩම්මගේ එකම පුතාගේ ගෙදරට  විතරක් වියදම කෝටි කීයක්ද මන්දා, ඒ මදිවට තාත්තා උජාරුවට කිව්වෙ උගෙ මුලු ගෙදරම ස්මාර්ට් ටෙක්නොලොජියට හරිගස්සලා තියෙන්නෙ කියලා – උඹට ඒවා අමතකයිද කොලුවෝ?” මගේ සිත ගොරනාඩු කරන්නේ මේ සියල්ලක්ම මගේ වරදකින් වූවාක් මෙන් නොවේද? ඒත් මම ආයෙම කියනවා මොකක් නමුත් අමුත්තක් මටම දැනෙනවා. 

මගේ හිස පුපුරන්නාක් මෙන් දැනෙයි. මහා පහත් සමච්චල් හිනාවන් රාශියක් මගේ මොලය සුරාකන්නාක් මෙන් වේදනාවක් දැනෙයි. තාත්තා, කුඩම්ම, මල්ලී… උන් විතරක් නෙවේ නෑදෑ සනුහරේම හිනාවෙනවා. ඔව් මට හිනාවෙනවා හූ තිය තිය හිනාවෙනවා. මනෝ විකාරයෙන් මෙන් මම හුන් තැනින් නැගිටගත්තෙමි. මගේ පා මට නොදැනේ.  “අම්මේ, මගේ අම්මේ” මා කෑගැසුවෙමි.  ක්ලාන්ත ගතියක්ද දැනේ. මේ හිස් ලෝකයේ මට ඇති එකම පිලිසරණ ඇය බව මම දනිමි. “කෝ උඹේ ආදරණීය බිරිඳ” යටි සිත සමච්චලයෙන් මාගෙන් විමසනු මට ඇසිණ. මා උමතුවෙන් අම්මා සෙව්වෙමි ඇයගේ පපු තුරුලේ උණුහුමට වී ඇස් වසා ගත්තානම් සියල්ලක්ම නිම වී යනු ඇතිබව මා සහසුද්දයෙන්ම දනිමි. එය පෙරද එසේ වී ඇත. මෙවන්ම තැනකදී එය එසේ වූ බව අතීතකාමය මගේ මනසට ඒත්තු ගන්වයි. මම යලිත් වතාවක් කෑගසුවෙමි. ඇත්තෙන්ම, මරහඬ දුන්නෙමි. මා ක්ලාන්ත විය…

මගේ අත සියුමැලි අතකින් අල්ලා සිටිනු දැනේ. එම පහස හුරුපුරුදු ලෙන්ගතුකමකින් අනූන බවක් මට දැනේ. ඔව්, ඇය මගේ අත වැරෙන් අල්ලා ගෙන අනෙක් පසින් සිටී. “මොකද වුණේ මහත්තයො” ඇය සුපුරුදු නිවුණු ලෙංගතු ස්වරයෙන් විමසීය. මා වතුර ඉල්ලා සිටියෙමි. ” නරක හීනයක් දැක්කා, අම්මා හිටිය, තාත්තා කුඩම්මා sසේරමල්ලා හිටියා”  මම එක හුස්මට පැවසුවෙමි. 

“හරි කලබල වෙන්නෙපා හෙට දානේ ඔක්කොම වැඩ ටික පිරිසිදුවට පිලිවෙලට කරමු. මම ඉන්නවනේ ඔයාට” ඈ මගේ අත ආදරයෙන් පිරි මැද්දාය. මා මේසය උඩ තැබූ අම්මාගේ පින්තූරය දෙස බලනවා ඇය දුටුවාය. අම්මාගේ හිනාවෙන් මොනවාදෝ කියනවා මට දැනේ. හරියට “පුතේ උදව් ඕනෙනම් ලැජ්ජා නොවී ඉල්ලපන්”  යනුවෙනි. “මොනවද දැක්කේ ඔය තරම් දාඩිය දාන්න” ඈ විමසුවත් මම නිහඬ වීමී. “අර ඔයාගේ යාලුවා ඩොක්ටර් සමුදි හම්බෙන්න යමු මේ දේවල් ඉවර වුණාම” ඇය මුවින් නොදොඩා මගේ හිස පිරිමැද ලාම්පුව නිවා දැම්මාය.

READ THE
NEXT STORY > >