අනේ මම ටිකක් පරක්කු වුණා නම්...
යසාරා ගුණවර්ධන

“හැමදාම ඔහොමමයි… ඕන වෙලාවට පරක්කුයි”

” ඈ හරි. පුරුදු විදිහට ම මම අදත් පරක්කුයි. “

” උඹලට ඕව හිතන්න තිබුණෙ කලින්. ලෝකයක් විශ්වාස කරන් හීන මාළිගා මවාගෙන හිටියත් අන්තිමට ඉතුරු වෙන්නේ අම්ම අප්ප විතරයි”

ඒ ඇගේ පියා යි. ඔහු දැන් දොස් කියන්නෙත් මටයි. ඉතින් ඔහුත් හරි. කිව්වෙ වාගෙම මම අදත් පරක්කුයි. ඇගේ පියාට අනුව මම ප්‍රමාද නොවූයේ ඈව මගේ කරගත්ත දවසෙ විතරයි. ඔහුගෙ කාරය කැඩුණෙ නැත්නම් එදත් පරක්කුකාරයා මමයි.

” දැන් ඇති අපෙ මහත්තයා. කෙල්ලව එක්කන් යමු පරක්කු නොවී. කෙල්ලට අමාරුයි මහත්තයා”

ඒ ඇගේ මවයි. මාත් ඈත් එකතුවෙලා  මවල දුන්න හීනෙක මාස නවයක් තිස්සේ ජීවත්වෙන ඇයටවත්(මව) දැණුනෙ නැති මහන්සියක්, මට කොහොමද එකපාරටම දැනෙන්නෙ, ඒකම ද මන්ද අදත් මං පරක්කු. 

” මං වීල් එහෙකට කතාකරා. ඒකෙන් හංදියට යං. ඇම්බියුලන්ස් එකට දාගන්න වෙන්නෙ එතනින්. කාර් එකක් ගත්තට මොකද මිනිහ පරක්කුයි නෙ. ඒ යකා කලින් ආවොත් හීනයක් තමා” 

” අප්පච්චි එයාට වැඩක් ඇති. නැත්නම් නෑවිත් ඉන්නෙ නෑ”

අමාරුවෙන් වුණත් ඇය කියන්නෙ එහෙමයි. ඒත් මම ඕනෙම වෙලාවෙදි පරක්කුයි. අපෙ හීන ඇගෙ කරන් වැලපෙනා වෙලාවෙත් මම පුරුදු විදිහට ම පරක්කුයි.

” පේශන්ට්ගෙ විස්තර පුරවල දෙන්න.”

වාට්ටුවේ ඉදිරි මේසය ළඟ දි ඇගේ තාත්තට පැවරුණ වැඩේ ඕකයි. නම,වයස  ලියුවට පස්සෙ පොඩි කඳුළු කැටයක් කම්මුලට වැටෙද්දි පොඩි කාලෙදි ඈව පාසලට ඇතුළත් කරද්දී වගේම භාරකාරයාගෙ නමට ඔහුගෙ නම ලියුවෙ මං දැකපු හීනයට මම ගොඩක් ම පරක්කු බව අගවන්න වගෙයි.

ඇගේ කෙදිරිල්ල වාට්ටුව පුරාවට පැයකටත් වඩා වෙලාවක් ඇහුණු බව දැනුන මුත් ඒ ළඟට යන්නට නොහැකි ලෙස ආයෙමත් කලින් වගේම මහන්සියක් දැනුණි. අවසාන කෙඳිරියෙන් තත්පරෙක කාලයෙන් මට ඇහුණා හීනයට පණ ඇවිත්. මගේ හුරතල් හීනෙ මුල්වරට පිළිගත්තෙ වෙන කවුරුවත් නෙවෙයි ඒ ඇගේ පියා යි. ඔවුන්ගේ ආදරය මැද්දේ ඊර්ෂ්‍යාවක් යැයි කිවහැකි හදවත රිදවන හැඟීමක් මා තුළ ඇතිවී තිබිණි. මම දොර කවුළුවෙන් ඈ දෙස බැලීමි. ඈ දරුවා දෙසත් දොර දෙසත් මාරුවෙන් මාරුවට බලයි. ප්‍රමාද වී හෝ මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බව වදන් නොමැති ව වුව ඇගේ ඇස් වලින් ඇඟවුණේය. මම වේගයෙන් ඈ වෙත දුවන්නට වුණිමි. පෙර මෙන්ම ගතට දැනුණු මහන්සියත් සමඟ මම බිම ඇද වැටුණි. රෝහලේ කිසිවෙකුත් මා නගා සිටවූවේ නැත. උනුන් උනුන්ගේ වැඩය. තනිව නැගී සිටි මම නැවතත් ඈ වෙත දිවීමි. පය අඩපණව දෙනෙත් අඬවන් ව නැවතත් ඇද වැටුණි. පියවි සිහියට එන විට මිනිසුන් පිරුණු නිවසක සිටියෙමි. ඇයත් මවත් පියත් දරුවාත් ඒ අසලින් ම සිටියහ. 

” එයාට එන්න බැරි වුණේ ඒකයි අප්පච්චී” ඇය මුමුණයි. ප්‍රමාද වී හෝ මා පැමිණ ඇත. මේ කියන්නේ කා ගැන ද…

” නංගිගෙ කෝල් එකත් එක්කම සමීර ආවා.  ටිපර් එකක තමයි වැදිලා තියෙන්නේ. ටිපර් කාරයගෙ වැරැද්ද කියලා පොලිසියෙනුත් කිව්වා. වෙලාව තමයි නංගි, තව ටිකක් පරක්කු වුණා නම් ඕක නොවෙන්නත් තිබුණා “

ඔහු කියූ නම හුරුපුරුදු බැවින් වටපිට බැලීමි. කිසිවෙකු හෝ මිය ගොස් ඇත. මේ කතාබහ ඔහු ගැන ය. ඇගේ විලාපයත් සමඟ මම තවත් උනන්දුවෙන් එදෙස බැලීමි. ඇයට මවත් පියාත් මාත් හැරුණා ම මෙතරම් ශෝක වන්නට හිතවතෙකු සිටියේ නැත.

ඒ මම ය. ඇත්තෙන්ම මම ම ය. සුදු සැටින් රෙද්දකින් සරසන ලද පෙට්ටියක උඩුබැලි ය නිදා සිටින්නේ මා ය.

” අනේ මම පරක්කු වුණා නම්… හීන දකින්න සහ සැබෑ වෙද්දී සතුටු වෙන්න හදිසි වුණොත් හිස් අතින්ම යන්න වෙන්නත් පුළුවන්. සමහර හීන සිතූ ලෙසම සැබෑ කරගන්න ප්‍රමාදයත් හේතු වෙන්න පුළුවන්. සොබාදහම අපිව ප්‍රමාද කරන්නෙ හරිම දවස එනකං වෙන්නත් පුළුවන්… “

මට ආයෙත් හිතුනා.

“අනේ මම ටිකක් පරක්කු වුණා නම්…”

 

READ THE
NEXT STORY > >