පොල්කට්ටා
ශශිකා දිල්හානි තෙපුවන

හ දවාලේ කාපට් පාර අව්වට හොඳටම රත්වෙලා. ගිනි අඟුරු වගේ දැවෙන තාර පාරෙ උණුසුම සුවහස්ගෙ කකුල්වලට ගොඩාක් දැනුනෙ සුවහස් දාගෙන හිටපු බාටා දෙක පොළොවටම යනකන් ගෙවිලා තිබුණ හින්දා වෙන්න ඇති. සුවහස් බයිසිකලෙත් තල්ලු කරගෙනම පය ඉක්මන් කළේ ගුණදාස මාමගේ වින්කලේ ගාවට එන්න. බයිසිකලේ පැච් එකක් ගියපු හින්දා සුවහස්ට ටවුමේ ඉදන්ම බයිසිකලේ තල්ලු කරගෙන එන්න වුණා. ගිනි ගහන අව්වේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන බයිසිකලේ පිටිපස්සේ බඩු අහුරපු ලෑලි පෙට්ටියත් බැඳගෙන එනගමන් සුවහස් දිග හුස්මක් අරගෙන හිත සැහැල්ලු කරගත්තා.

සුවහස්ට පාර දෙපැත්තෙ කපල දාල තිබුණ කුඹුක් ගස් පේලිය දිහා බැලුනෙ නිකමට වගේ. ප්‍රධාන පාර පළල් කරන්න කියල කපල දාල තිබුණ කුඹුක් ගස් පේලිය දැක්කාම සුවහස්ට හීල්ලුනේ ඉ‌ෙබ්ටම. මේ වගේ ගිනි ගහන අව්වක කුඹුක් ගහක හීල් හෙවන ගැන හිතනකොටත් හිතට දැනුනේ පුදුමාකාර සිසිලසක්. ගමන් බිමන් පහසු වෙන්න පාරවල් හොඳට හැදෙන එක ගොඩාක් හොඳ දෙයක් වුණාට ඒ හින්දා ගස් කොළන් කපල විනාශ කරන එකටනම් සුවහස් පොඩ්ඩක්වත් කැමති නෑ.

“සෙනසුරාදා උදේ වරුවෙ කුඹුක් පැල දෙක තුනක් ගෙනල්ලා පාර අයිනෙන් හිටවලා දාන්න ඕනෙ….” සුවහස් තනියම හිතුවා. වැව ඉහත්තාවට වෙන්න කුඹුක් පැල ටිකක් තිබුණා සුවහස්ට මතකයි. එතනින් කුඹුක් පැල දෙක තුනක් අරන් ඇවිත් පාර අයිනෙ හිටවනවා. ඉස්කෝලෙට යන එන ගමන් හරි පැලවලට වතුර ටිකක් දාන්න පුලුවන්නේ. ඉතින් හෙමීට ඒ පැල ටික රූස්ස ගස් වෙලා ආයෙමත් මේ පාරට හෙවනක් හදාවි. තව අවුරුදු කීපෙකින් හරි මේ පාරෙ යන මනුස්සයෙක්ට හෙවනක් සලසාවි. එහෙම හිතනකොටත් සුවහස්ගෙ හිතට දැනුනෙ අමුතුම සතුටක්.

මහ දාවලේ ගෙදරට යන වෙලාවේ

පිච්චෙනවා අව්වට වේදනාවේ

මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ

ඉර වහපන් අහසේ සුදු වළාවේ

පොඩි කාලෙ කියපු කවියක් වෙලාවේ හැටියට වෙනස් කරලා සුවහස් හිතින් අලුත් නිර්මාණයක් කළා. කොහොමින් හරි අලුතින් හිටවන්න යන අලුත් කුඹුක් පැල ටිකයි, කවියයි ගැන කල්පනා කරගෙනම සුවහස් ගුණදාස මාමගේ වින්කලේ ගාවටම ඇවිත්.

“ගුණදාස මාමෙ බයිසිකලේ පැච් එකක්…” සුවහස් බයිසිකලෙත් තල්ලු කරගෙන ගුණදාස මාම වැඩකර කර හිටපු තැනට ගියා.

“ම්ම්….එහෙමද මෙහාට ගනින්කො එහෙනම් බලන්න.” ගුණදාස මාම සුවහස්ගෙ බයිසිකලේ රෝදෙ පැච් එක දාන්න ලෑස්ති වුණා. ගුණදාස මාම පැච් එක දානකන් සුවහස් ඒ ළඟ තිබුණ ලෑලි බංකුවෙ වාඩි වුණේ ටවුමෙ ඉදන් ඇවිදගෙන ඇවිත් කකුල් දෙක රිදුම් දෙන්න පටන් අරන් තිබුණ හින්දා. සුවහස් ලෑලි බංකුව කෙළවරේ තිබුණ මැටි කලෙන් කෝප්පෙට වතුර එකක් නවාගෙන එක හුස්මට බීගෙන ගියා. මැටි කලේ වතුර හින්දා වතුර ටික හරී සීතලයි. සුවහස්ගෙ මහන්සියත් ඒත් එක්කම නිවිලා ගියා. සුවහස් වතුර ටික බීල ඉවරවෙලා බැලුවේ කෝප්පෙ දිහා. “ම්ම්…ප්ලාස්ටික් කෝප්පයක්. මැටි කලේක වතුර රහටම තියෙන්නේ පොල්කට්ටක බොනකොට. ඊළඟ පාර එනකොට ගුණදාස මාමගෙ වතුර කලේට පොල්කට්ටකින් ලස්සන කෝප්පයක් හදල ගෙනත් දෙන්න ඕනෙ…“ සුවහස් වතුර බීපු කෝප්පෙ අතේ තියාගෙනම කල්පනා කළා.

“ඕන්න උඹේ වැඩේ ඉවරයි කොල්ලො…“ ගුණදාස මාම කතා කළේ මජං ගෑවිලා කිලුටු වෙච්ච රෙදි කෑල්ලකින් අත්දෙක පිහදාගන්න ගමන්.

“පැච් එක දාන්න ගාණ කීයද මාමෙ.“ සුවහස් බංකුවෙන් නැගිටලා ගුණදාස මාම හිටපු තැනට ආව.

“මට සල්ලි එපා බං…ඒක එච්චර දෙයක් නෙවෙයි.“ ගුණදාස මාම සුවහස්ගෙන් සල්ලි ගන්න එක ප්‍රතික්ෂේප කරල, හදන්න ගෙනත් දාපු තව බයිසිකලයක් බලන්න පටන් ගත්තා.

“ඒත් මාමෙ එහෙම කොහොමද කරන්නේ….මාම කලින් වතාවෙත් මගෙන් සල්ලි ගත්තෙ නෑනෙ. හැමදාම ඔහොම කරන්න පුලුවන්ද…“ සුවහස් අත්දැකීමෙන්ම දන්නවා දුක් මහන්සියෙන් සල්ලි හොයන එකේ අමාරුකම. ඒ හින්දාම සුවහස්ගෙ හිතට හරි මදි ගුණදාස මාම මෙහෙම නිකන් වැඩ කරලා දෙන එක.

“උඹ ඕක ඔච්චර හිතන්න එපා බං. ඔය රුපියල් සීයට හමාරට වැඩිය උඹ මට කොච්චර උදව් කරනවද….“ ගුණදාස මාම කලගෙඩියෙන් වතුර එකක් අරන් වතුර උගුරක් බොන ගමන් බංකුව උඩ වාඩි වුණා.

“කොහොමදැ ඉතින් අද බිස්නස් සරුද….?“ මාම කෝප්පෙ ඉතුරු වතුර ටික විසික් කරල කෝප්පෙ කලේ කට උඩින් නැමුවා.

“වරදක් නෑ මාමේ. ඒත් ඉතින් එක බඩුවක් යාන්තන් විකුණගත්තේ විසි දෙනෙක් විතර එපා කිව්වට පස්සේ. කොහොම හරි හැදි නම් පහක් විතර විකුණා ගත්තා.“ සුවහස් බයිසිකලේ පිටිපස්සෙ තිබුණ බඩු පෙට්ටිය දිහා බලල කීවෙ හිනාවක් මූණ පුරාම ඇදගෙන. ඒකත් සුවහස්ට මහා මෙරක් වටිනවා.

“හ්ම්…ඒකත් එහෙමද?“ ගුණදාස මාම කල්පනාවට වැටුණා.

“අනේ මන්දා පුතේ මං නං කියන්නේ උඹල වගේ දෑතෙ කරුමාන්ත කරන, අලුත් අදහස් උදහස් තියෙන තරුණ කොල්ලන්ට කෙල්ලන්ට සුබ සෙතක් වෙන දේකට ආන්ඩුවෙන් මොකාක් හරි වැඩ පිළිවෙලක් යොදන්න ඕනෙ. බලාපන් රටකට කොච්චර වටිනවද කියල ඒ වගේ දේවල්. කොහෙද මුන්ට ඒ ගැන වගක් නෑනෙ.“ ගුණදාස මාම කතා කළේ රට කරවන උදවියගෙ නොසැලකිලිමත්කම හින්දා සුවහස් වගේ හැකියාවන් තියෙන තරුණ කොල්ලොන්ගෙ කෙල්ලන්ගෙ ජීවිත රටට වැඩක් නොගෙන නිකාන්ම නාස්ති වෙන්න ඇරල තියෙන එක ගැන අමනාපෙන්.

“අපි බලමුකො මාමෙ.මට ඕනෙ ගෙදරට බරක් නොවී ඉගෙන ගන්න ඒවට සල්ලි ටිකක් හොයාගන්න. අනික මං මේ කරන වැඩේට හරි ආදරෙයි. වෙලාව යනව තේරෙන්නෙත් නෑ.“ සුවහස් බයිසිකලේ තිබුණ බඩු පෙට්ටියෙන් ලස්සනට ඔපදාලා හදපු පොල්කටු මල් පෝච්චියක් එළියට අරගෙන ඒ දිහා බැලුවේ ගොඩාක් ආසාවෙන්. හොඳට මැදල ඔපදාල පුංචි කැටයමක් දාල හදපු පොල්කටු මල් පෝච්චියේ මූණතින් සුවහස්ගෙ මූණ යන්තමට පෙණුනා.

“ඒක හරි අගේ ඇති එකක්නෙ බං…උඹද මේක හැදුවේ.!?“ ගුණදාස මාම ළඟට ඇවිත් සුවහස්ගෙ අතේ තිබුණ මල් පෝච්චිය පරෙස්සමින් අතට අරගෙන බලල, සුවහස් දිහා බැලුවේ සුවහස්ව අගේ කරන බැල්මක් එක්ක.

“හ්ම්…හ්ම්…හොඳා හොඳා උඹලටත් හොඳ කාලයක් එයි.“ ගුණදාස මාම සුවහස්ගෙ ඔලුව අතගාල එහෙම කිව්වෙ මුලු හදවතින්ම කියල සුවහස්ට දැනුනා. “මං ඊළඟ පාර එනකොට පොල්කටු කෝප්පයක් හදලා ගෙනත් දෙන්නම්කො මාමට…මැටි කලේ වතුර පොල්කට්ටක බොනකොට හරි රහයි.“ සුවහස් එහෙම කියනකොට ගුණදාස මාම හිනාවෙලා සුවහස් දිහා බැලුවා.

“හ්ම්…හ්ම්…හොඳා හොඳා හදාගෙන වරෙන්කො එහෙනම් බලන්න අපූරු කෝප්පයක්.“

සුවහස් බයිසිකලේ නැගල ගෙදර එන්න පිටත් වුණා. දැන්නම් සුවහස්ට හොඳටම බඩගින්න දැනෙන්න පටන් අරගෙන. උදේ ලුණු මිරිස් එක්ක කාපු රොටිය ඇරෙන්න සුවහස්ට මේ වෙනකන් තේ උගුරක්වත් නෑ. දැන්නම් දවල්ට කන වෙලාවත් පහුවෙලා. අම්මා දවල්ට ඉව්වේ මොනවද දන්නෙ නෑ. සුවහස් අම්මා උයන කෑම වල රහ මතක් කරන ගමන් හයියෙන් බයිසිකලේ පෑගුවේ ඉක්මනට ගෙදර යන්න හිතාගෙන.

“ඒයි…! පොල්කට්ටා ගුඩ් මෝනිං…මොකෝ අද පොල්කටු බිස්නස් කරන්න යන්නේ නැද්ද….“

සුවහස් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට එනකොටම කොහේ හරි ඉදන් ඒ කටහඩ ඇහුනා. ඒ කතාව ඇහිච්ච ගෑණු ළමයි ටිකක් හයියෙන් හිනා වෙන සද්දෙ සුවහස්ගෙ පිටිපස්සෙන් ඇහුනත් සුවහස් ඒ පැත්ත හැරිලා බැලුවේ නෑ. ඒ මනුර. මනුර රාජසේකර. ඒ කියන්නේ රාජසේකර වලව්වේ මහත්යාගෙයි මැණිකෙගෙයි එකම පුතා. සුවහස් වටපිට බැලුවේ මනුරගෙ කටහඩ ආවේ කොහෙන්ද කියල හොයාගන්න. ඔඩිටෝරියම් එකේ බිත්තියට හේත්තු වෙලා අත්දෙකක් බැඳගෙන, කටකොනකින් මවාගත්තු සමච්චල් හිනාවක් එක්ක මනුර සුවහස් දිහා බලාගෙන හිටියා. සුවහස් මනුරගෙ කතාවට මුකුත්ම නොකියා මනුර දිහා බලල හිනා වෙලා පංතියට යන්න හැරුනා.

සුවහස් පොල්කටු වලින් එක එක ජාතියෙ නිර්මාණ කරල විකුණනවා කියල දැනගත්ත දා ඉදල මනුරයි එයාගෙ යාලුවො ටිකයි එකතු වෙලා සුවහස්ට දාපු නම තමයි පොල්කට්ටා. ඉස්කෝලෙදි දැක්කත් ගමේ කොතනකදි දැක්කත් මනුර සුවහස්ට කතා කළේ ඒ නමින් තමයි. සුවහස් ඒ දේවල් අමාරුවෙන් හරි ඉවසාගත්තා. කවදාවත් ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. “දියුණු වෙන මිනිස්සු තමන්ට මඩ ගහන මිනිස්සුන්ට උත්තර දිදී යන්නෙ නෑ…“ කියල සුවහස්ලට ආර්ථික විද්‍යාව උගන්නන ඉෂාන් සර් පන්තියේදි කියල දුන්න කතාව ඒ හැමවෙලාවෙදිම මතක් කරගත්තා. සුවහස් මුකුත් නොකියා පංතියට යන්න යනකොට මනුර යාලුවොත් එක්කල මහහයියෙන් හිනාවෙලා කියපු වචන ටික සුවහස්ට හොඳටම ඇහුණා.

“පේනවද මචං පොල්කට්ටක් ගිය උඩ…උගේ ගෙදර ඔක්කොම අපේ වතුවල වැඩකාරකම් කර කර ඉන්නේ. ඒත් ඌ හිතාගෙන ඉන්නේ ඌ හරි…ලොකු බිස්නස්කාරයෙක් කියල වෙන්න ඇති….“

“ගුඩ් මෝනිං සුවහස්….“ පිටිපස්සෙන් ඇහුණ කටහඬට සුවහස් එකපාරටම ගැස්සුණා කීවොත් හරි. ඒ කටහඬ ඇහෙන හැම මොහොතකම සුවහස්ගෙ හිතේ පොඩි තිගැස්මක් ඇති වෙනවා කොහොමත්.

“ආ…පාරමී ගුඩ් මෝනිං…“ සුවහස් හිනාවෙලා ඇහෙන නෑහෙන ගාණට කීව.

“මොනවා ගැනද අනේ ඔච්චර කල්පනා කරන්නේ එක්සෑම් එක ගැනද?“ පාරමී ඩෙස් එක උඩින් පොත් ටික පිළිවෙලට තිබ්බා.

“ඔව් ඉතින් තව මාස තුනයිනේ….කොහොමද ඔයාගෙ පාඩම් වැඩ හොඳට කරනවනේ?…“ සුවහස් පාරමී දිහා බලල ඇහුවේ ගොඩාක් ලොකු ඕනකමකින්.

“පාඩම් නම් කරනවා ඉතින්. ඒක නෙවෙයි සුවහස් ඔයා මට ඊයේ කියල දුන්න අකවුන්ට්ස් ගාණ මං ආයෙ පාරක් ගෙදර ගිහිං හදන්න ට්‍රයි කළා. ඒ පාර නම් හරි ගියා..තෑන්ක්ස් අනේ මට ඒ ගාණ හොඳටම තේරුනේ ඔයා කියල දුන්නට පස්සේ.“ පාරමි සුවහස් දිහා බලල ලස්සනට හිනා වුණා.

“ආ…ආ…දෙන්නත් එක්ක එක්සෑම් එකෙන් පස්සේ වෙඩින් එක ගන්න හැටි ප්ලෑන් කරනවද…?“

සුවහස්ගෙයි පාරමීගෙයි කතාවට බාධා කළේ සහන්ගෙ කටහඩ. සහන්ගෙ කතාවට පාරමීගෙ මූණ රතු වෙන හැටි සුවහස් හොරැහින් දැක්කා.

“මොනවද බං ඔය කියවන්නේ සුධර්මා මිස්ට ඇහුනොත් එහෙම….“ සුවහස් සහන්ගෙ පිටට පාරක් ගැහුවේ විහිලුවකටවත් එහෙම කතාවක් පැතිරුනොත් වෙන කරදර ගැන හින්දා. මොකද පාරමී කියන්නෙ සුධර්මා මිස්ගෙ දුව. උසස් පෙල වාණිජ අංශ ප්‍රධාන මිස්ගෙ දුව. සුවහස් තමන්ගෙ හිතට දැනෙන සමහරක් හැඟීම් වලට වාරණ පනවා ගත්තේ අන්න එහෙම හිතලා.

“හරි හරී අපි බලමුකෝ මස්සිනා…ජීවිතේ හැමදාම එකම විදියට තියෙන්නේ නෑ…“ සහන් සුවහස්ගෙ පිටට තට්ටුවක් දාලා හිනා වුණා.

ක නෙවෙයි….දැන් ඒලෙවල්  වලින් පස්සේ ඔයාලා මොකද කරන්න හිතන් ඉන්නේ…“ ඉස්කෝලෙ ඇරිල එන ගමන් පාරමී සුවහස් සහන් දිහා බලල ඇහුවේ ගොඩාක් ඕනකමකින්.

“ම්ම්…මම නම් හිතාගෙන ඉන්නේ… තාත්ත කරගෙන යන කඩේ තව ටිකක් දියුණු කරල අරගෙන කරගෙන යන්න.“ සහන් කීවේ ගොඩාක් ලොකු බලාපොරොත්තුවකින්.

“එතකොට ඔයා මොකද කරන්න හිතන් ඉන්නේ පාරමී…“ සහන් පාරමී දිහා බලල ඒ ප්‍රශ්නෙ අහනකොට සුවහස් පාරමීගෙ මූණ දිහා බැලුවේ උත්තරේ මොකක් ද කියල අහගන්න.

“ම්ම්…මම නම් හිතාගෙන ඉන්නේ ප්‍රයිවට් ඩිග්රි එකක් කරන්න.ආයෙ සෙකන්ඩ් ෂයි ඒලෙවල් කරන්න බලාපොරොත්තුවක් නෑ…“ සුවහස් පාරමීගෙයි සහන්ගෙයි කතා නිහඩව අහගෙන හිටියා.

“එතකොට සුවහස්…ඔයා මොකද කරන්න හිතන්න ඉන්නේ. මුලු ඉස්කෝලෙටම ෂුවර් ඔයා නම් ජපුර මැනේජ්මන්ට් එකට යනවා.“ සහන් එහෙම කියනකොට පාරමී හිනාවෙලා ඒ කතාව අනුමත කළා.

“අම්මලා කියන්නේ වලව්වේ තෙල් මෝලෙ වැඩට යන්න කියල. අම්මලාටත් වඩා අයියා තමයි බලකරන්නේ. ඒත් මම නම් කැමති නෑ. මම කැමති මේ පොල්කටු නිර්මාණ වැඩේ බිස්නස් එකක් විදියට තව ටිකක් දියුණු කරගන්න. අනේ මන්දා… හිතාගන්න බෑ වෙලාවකට.“ සුවහස් දිග හුස්මක් අරගත්තා.

“ඔව් ඔයා මොකටද තෙල් මෝලෙ වැඩට යන්නේ. වලව්වේ වැඩට යන්න මේක වැඩවසම් යුගේ නෙවෙයිනේ. ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් කරන්න පුලුවන්. කවදාවත් ඔයා ඔයාගෙ හීන ලෝකෙ අනිත් මිනිස්සු හිතන විදිය ගැන හිතලා නැති කරගන්න එපා සුවහස්. ඔයාට හොඳ ගමනක් තියෙනවා සුවහස්.විශ්වාස කරන්න ඔයාට පුලුවන්…“ පාරමීගෙ වචනවල තිබුණ ආදරණීය බවත් ස්ථීරසාර බවත් සුවහස්ගෙ මුලු ආත්මයම පුරවලා දැම්මා. මුලු හිතම අමුතුම ජවයකින් පුරවලා දැම්මා. මොන බාධක ආවත් අති සාර්ථක ගමනාන්තයක් සනිටුහන් කරන්න තමන්ටත් පුලුවන් කියන පුංචි ගිනිපුපුරක් සුවහස්ගෙ හිතේ දල්වන්න පාරමීගෙ ඒ වචන ටිකට පුලුවන් වුණා. සුවහස් පාරමීගෙ ඇස් දෙක දිහා බැලුවේ ඒ වචන ටිකට මොනව කියන්නද කියල හිතාගන්න බැරුව.

අනාගත සැලසුම් ගැන තුන්දෙනාම කතා කර කර ප්‍රධාන පාරෙ ඉදන් ගමට හැරෙන හන්දිය ළඟට ආව. ප්‍රධාන පාරෙ හන්දියේ ගුණදාස මාමගෙ වින්කලේ තිබුණ. ඒත් එක්කම සිල්ලර බඩු ගන්න පුලුවන් කඩවල් පේලිය. පාරෙන් එහා පැත්තෙ තිබුණෙ ළඟදි විවෘත කරපු නවීන වාහන ප්‍රදර්ශනාගාරයක්. ඉතාමත් නවීන පන්නයේ වාහන තමයි එතන ප්‍රදර්ශනය කරල තිබුණෙ. සුවහස්ට ආරංචි වුණ විදියට ඒ වාහන විකුණුනේ කෝටි ගණන්වලට. සුවහස් හන්දියෙන් යන එනකොට මේ වාහන දිහා බැලුවේ ගොඩාක් ලොකු ආශාවකින්. සමහරක් දවස්වලට සුවහස් පොල්කටු නිර්මාණ විකුණන්න ගිහින් ෆුට් බයිසිකලෙත් පැදගෙන එනකොට, සුවහස්ගෙ වයසෙ විතර පිරිමි ළමයි ඇවිත් වාහන බලන විදිය. ඒව මිලදී අරගෙන ඩ්‍රයිවින් කරගෙන යන විදිය සුවහස්ට පේනවා. එදාට සුවහස්ගෙ හිත අලුත් බලාපොරොත්තු වලින් පිරෙන්න ගන්නවා. මේ වගේ අලුත්ම අලුත් සැප වාහනයක් ඩ්‍රයිවින් කරගෙන යන විදිය, අම්මයි තාත්තයි සතුටු වෙන විදිය හිතෙන් මවා ගන්නවා. එතකොට සුවහස්ගෙ මූණෙ ඇදෙන හිනාව. සුවහස් සුළඟ කපාගෙන බයිසිකලේ පදින්න ගන්නවා.

“ආ පොල්කට්ටා මොකෝ…පොල්කටු විකුණලා ලක්ෂරි පැජරෝ එකක් ගන්න ද බලන්නේ…“ සුවහස්ගෙ කල්පනා ලෝකෙ බිදුණෙ පිටිස්සෙන් ඇහුණ මනුරගෙ කටහඩින්.

“ඔව් ඇයි මොකෝ එහෙම ගත්තොත් ගන්න බැරිද…“ සුවහස් වෙනුවට කතා කළේ සහන්. සහන් තමන් හින්දා රණ්ඩුවට පැටලෙනවට සුවහස් කැමති නෑ. සුවහස් සහන්ගෙ උරහිසට අත තියල නතර කළේ සන්සුන් වෙන්න කියල ඇස්දෙකෙන් කියන ගමන්.

“අප්පා…මේන් බලාපල්ලකො මං කියපු කතාවට මේ මහත්තයටනෙ ඩෝං ගිහින් තියන්නෙ.“ මනුර හදන්නෙ සහන් එක්ක රණ්ඩුවට පැටලෙන්න.

“මේ මනුර…පොල්කටු විකුණලා හරි වාහනයක් ගන්න නොගන්න එක මගේ වැඩක්. උඹ උඹේ වැඩක් බලාගෙන ඉදපන්.“ සුවහස් මනුරට කීවේ දැඩි අවධාරණයකින්.

“ඕ….හෝ…එහෙමද හාමු මහත්තයා. බලාපල්ලකො මේ මහත්තයාගෙ කටේ සැර. මුලු පවුලම අපේ වලව්වෙ කුඹුරු වලින් බත් කන්නෙ. ඒත් මේකගෙ කටේ සැර. හරි අපි බලමුකෝ වාහන ගන්න විදිය…“  මනුරගෙ ඇස්වල තිබුණ කෝපය මිශ්‍ර වෙච්ච ඊර්ෂ්‍යා සහගත බව සුවහස් ගාණකටවත් ගත්තේ නෑ. ඒ වෙනුවට සුවහස්ගෙ මූණෙ ඇදුනෙ හිනාවක්. මනුර සුවහස්ලත් එක්ක රණ්ඩුවට පැටලුණ කතාව ලැව් ගින්නක් වගේ ගම පුරාම පැතිරිලා ගියා. සුවහස් ගෙට ගොඩවෙනකොටම තේරුම් ගත්තා කතාව දැනටමත් ගෙදරට ආරංචි වෙලා කියල. සුවහස් කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ගේ ඇතුලට යන්න හැදුවා.

“සුවහස් පොඩ්ඩක් ඔහොම හිටපන්….“ අම්මටයි තාත්තටයි කලින් අයියා සුවහස්ව නතර කළා.

“උඹ වලව්වේ පොඩි මහත්තයත් එක්ක රණ්ඩුවකට පැටලුනාද?“ අයියා නඩුව විභාග කරන්න පටන් ගත්තා.

“එයා තමයි රණ්ඩුව පටන්ගත්තේ…“ සුවහස් ගාණකට නැතුව කීව.

“මේ සුවහස් උඹේ ඔය පිස්සු වැඩ නවත්තා ගනින්. උඹේ ඔය කෙහෙල්මල් පොල්කටු බිස්නස් එක නවත්තපන්. මේවගෙ එවුන් කවද්ද බන් බිස්නස් කරේ. කරදරයක් නැතුව තුන්වේල කාලා ඉන්න වලව්වේ වැඩක් පලක් කරගෙන ඉන්නේ නැතුව උඹට පුලුවන්ද අහස අල්ලන්න… කුකුල්ලු කවද්ද පියෑඹුවේ බන්.නිකන් බැරි වැඩ නොකර ඉදපන්.“  අයියා කියාගෙන ගියපු කතාව සුවහස් අහගෙන හිටියේ හිතට දැනෙන වේදනාව පිටකරගන්න බැරුව. සුවහස්ගෙ හුස්ම වේගෙන් වැටෙනවා කියල සුවහස්ට දැණුනා.

“කුකුල්ලුන්ට පියාඹන්න බෑ කියල කියන්නේ කවදාවත් පියාඹන්න ඕනෙ කියල හිතුවෙවත් නැති එකෙක් වෙන්න පුලුවන්. ඒත් එක දවසක එක කුකුලෙක්ට හරි හිතුනොත් පියාඹන්න ඌ අනිවාර්යෙන්ම පියාඹලා යනවා. ඒක නවත්තන්න කාටවත් බෑ.කවුද දන්නෙ කුකුල්ලු අස්සෙ වේගෙන් ඉගිලෙන්න පුලුවන් රාජාලියෙක් ඉන්නත් පුලුවන් අයියෙ.“ සුවහස් කියපු වචන ටිකට අයියා ඇස් දෙක ලොකු කරගෙන සුවහස් දිහා බලාගෙන හිටියා. තමන්ගෙ මල්ලි පොඩි කාලෙ ඉදන් කවදාවත් තමන්ට මෙහෙම කතා කරල නෑ.

“සුවහස් උඹ ඔය කතා කරන්නේ අයියත් එක්ක“ අම්මා සුවහස්ට තරවටු කරන අදහසින් කතා කළා.

“අපි කියන දේ අහපන් පුතේ.අපේ පවුල් වල ගම්වල කවුරුත් ඔය බිස්නස් කරලත් නෑ. කරන්න දන්නෙත් නෑ. ඒ හින්දා නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නෙ නැතුව හිටහන්.“ තාත්තට තිබුණෙත් අයියා දරපු මතේමයි.

“එහෙම හිතුවොත් තාත්තෙ අපි කොහොමද මේ දුප්පත්කමෙන් ගොඩ එන්නේ. එතකොට අපිට වෙන්නේ හැමදාම වලව්වට බැලමෙහෙවර කර කර ඉන්න. මේක වැඩවසම් යුගේ නෙවෙයි තාත්තෙ. ඇයි අපිට බැරි අපේ උත්සාහයෙන් ගොඩනැගෙන්න.“ සුවහස්ට හිතේ තිබුණ වේදනාවට වචන ගලපගන්නත් අමාරුයි. සුවහස් එතන තවත් ඉන්නේ නැතුව ගේ ඇතුලට ගියා. මේසෙ උඩින් පොත් ටික තියපු සුවහස් ජනේලෙ ගාවට ගිහින් ඈතින් පේන වෙල්යාය දිහා බලාගෙන කල්පනාවට වැටුණා. වෙල්යායෙන් බොහෝ ප්‍රමාණයක් අයිති වුණේ වලව්වට. සුවහස්ලා ඒ කුඹුරුවල අඳ ගොවියෝ විතරයි. සුවහස්ට මතක් වුණේ සුවහස්ලගෙ පොඩි කාලෙ.

වෙල්යායෙ ඉහත්තාවට වෙන්න තිබුණ දෙණියෙ ඇඹුල් පේර ගස් යාය තමයි සුවහස්ගෙයි අයියගෙයි සෙල්ලම් කරන තිප්පොල. ඇඹුල් පේර ගස්වලට නැගල බඩකට පිරෙන්න ඇඹුල් පේර කන ගමන් දෙන්නම කතා කළේ ලොකු වුණාම කරන දේවල් ගැන. අයියට ඒ කාලෙ ඕන වුණේ රාජසේකර වලව්වේ වගේ ලොකු තෙල් මෝලක් පටන් ගන්න. ලොකු ගෙදරක් හදල අම්මවයි තාත්තවයි ඒ ගෙදරට අරගෙන යන්න. ඉතින් සුවහස් දේව භාෂිතයකට සවන් දෙනවා වගේ ඒ දේවල් අහගෙන හිටියේ හරී ආසාවෙන්. කවදාහරි මාත් අයියා කියන විදියෙ හොඳ ලොකු මිනිහෙක් වෙලා අම්මවයි තාත්තවයි අයියවයි බලාගන්නවා කියල සුවහස් තමන්ගෙ පුංචි හිතට කියාගත්තා.  කාලය හරි ඉක්මනින් ගෙවිලා යනවා හැමදේම වෙනස් කරගෙන. කෙනෙක් තමන්ගෙ ජීවිතේ කාලෙකට කලින් හිතපු විදියට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් ගතකරන කෙනෙක් විදියට ජීවිතේ යන විදියටම ඔහේ ගෙවිලා යන්න ඉඩදෙනවා. පුංචි කාලෙදි ලොකු වුණාම තෙල් මෝලක අයිතිකාරයෙක් වෙන්න හීන දැකපු ලොකු අයියා දැන් ඒ හීනෙ සම්පූර්ණෙන්ම අමතක කරලා වලව්වේ වතුවල වැඩට යනවා. සුවහස් දිග හුස්මක් අරගෙන හිතේ තියෙන බර ගතිය සැහැල්ලු කරගත්තා. “සුවහස් ඔයා ඔයාව විශ්වාස කරන්න. ඔයාට පුලුවන්….“ පාරමීගෙ කටහඩ සුවහස්ගෙ හදවතේ දෝංකාර දිදී ඇහෙන්න පටන් ගත්තා.

 

*          *          *          *          

 

“සර් අපේ යූ.එස්.ඒ. ක්ලයන්ට්ස්ලත් එක්ක මීටින් එකක් ඇරේන්ජ් කරන්න තියෙනවා. කවදාද ඩේට්ස් දාන්නේ…“

“නෙක්ස්ට් මන්ත් වල මුල් සතියෙ ඕනෙම දවසක්.ෂැඩුල් කරන්න කලින් යූ.එස්.ඒ. ඔෆීස් එකටත් ඉන්ෆෝම් කරන්න.“

“ඕකේ සර්…එහෙම කරමු.“ සුවහස්ගෙ පෞද්ගලික ලේකම්වරිය සුවහස් කියපු දේවල් සටහන් කරගෙන කාර්යාල කාමරෙන් පිටවෙලා ගියා.

කොළඹ නගරයේ තිබුණ අති සුඛෝපභෝගී මේ ගොඩගැගිල්ලට මුලු කොළඹ නගරයම ලස්සන චිත්‍රයක් වගේ පෙණුනා. කොළඹ නගරයේ හැම අතටම විහිදුන පාරවල්, ගොඩනැගිලි, එහා මෙහා යන සියදහස් ගණනක් මිනිස්සු, ඈතින් පේන වරාය නගරය දිහා මොනතරම් කාර්ය බහුල දිනචරියාවක් අස්සේ වුණත් මොහොතක් හරි මේ අපූරු දර්ශනය දිහා බලාගෙන ඉන්න සුවහස් අමතක කළේ නෑ. මේ දවස්වල ඉර අව්ව හරි සැරට කොළඹට වැටෙනවා. මිනිස්සු අව්වේ පිච්චෙමින් යන විදිය දකිනකොට, වායුසමනය කරපු එයාර් ෆ්‍රෙෂ්නර් සුවඳ විහිදෙන අති සුඛෝපභෝගී ‍මේ කාර්යාල කාමරය ඇතුලෙ සුවහස්ට මතක් වුණේ තමන්ගෙ අතීතය. ගිනි අව්වට පිච්චෙමින් පොල්කටු නිර්මාණයක් විකුණා ගන්න කකුල් ගෙවෙනකන් බයිසිකලේ පාගපු විදිය. සතියකට විතර කලින් ඉස්කෝලෙ ආරාධිත දේශනයකට සුවහස් ගියෙත් ඒ පාරෙමයි. එදා ඉස්කෝලෙ යන දවස්වල සුවහස් හිටවපු පුංචි කුඹුක් පැල දැන් විශාල කුඹුක් ගස් පෙලක් වෙලා, සීතල හෙවනක් වගේම පාරට ලස්සනක් එකතු කළා. සුවහස් ටිකකට කාරෙකෙන් බැහැලා කුඹුක් ගහක් ළඟට ඇවිදගෙන ගියා. සුවහස් කුඹුක් ගහේ කදට අත තිබ්බට පස්සේ කුඹුක් ගහේ අතු සුළඟට නැළවුණේ සුවහස්ට ස්තූති කරන්න වගේ. සුවහස්ගෙ කල්පනා ලෝකෙ මිදුණෙ මේසෙ උඩ තිබුණ දුරකථනය නාද වෙන සද්දෙට.

“හෙලෝ පාරමී කියන්නකො ඉතින්…“

“සුවහස් ඔයා ටීවි එක දාන්නකො. ඔයාගේ එදා කරපු ඉන්ටවීව් එක යනවා. පුතාගෙන් බේරෙන්න බෑ අන්න තාත්ති ටීවී එකේ ඉන්නවා කිය කිය කෑගහනවා…“  සුවහස් පාරමීගෙ කතාවට ආදරෙන් හිනා වුණා. සුවහස් නිදහසේ සුඛෝපභෝගී පුටුවේ වාඩි වෙලා මේසෙ උඩ තිබුණ රිමෝට් එකෙන් බිත්තියට සවි කරල තිබුණ නවීන පන්නයේ සුවිසල් රූපවාහිනි තිරය ක්‍රියාත්මක කළා.

“සුවහස් ධීරසේන… ඔබතුමා අද වන විට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින ප්‍රබල චරිතයක්. ඔබට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය අපේ රටේ තරුණ තරුණියන්ට? නිවේදක මහතා විසින් ඒ ප්‍රශ්නය ගොඩාක් ලොකු උනන්දුවකින් කියල සුවහස්ට තේරුණා. සුවහස් සුන්දර හිනාවක් එක්කයි උත්තරේට මුල පිරුවේ. ජීවිතේ ගොඩාක් දේවල් වලට සුවහස් මූණ දුන්නෙත් ලස්සන හිනාවක් එක්ක හින්දා දැන් ඒ සුන්දර හිනාව සුවහස්ගෙ ජීවිතේ කොටසක් වෙලා.

“මට කියන්න තියෙන්නේ වර්තමානෙ ඔයා කව්රු වුණත්, කොයි විදියට ජීවත් වුණත් කමක් නෑ.ඒත්  ඔයාගෙ ජීවිතේට තියෙන්න ඕනෙ ලස්සන හීනයක්. හීනයක් නැති ජීවිතයක් කියන්නෙ හරියට ආත්මයක් නැති ශරීරයක් වගේ දෙයක්. ජීවිතේ දිනන්න නම් ඔයාට තියෙන්න ඕනෙ කවදාහරිම හැබෑ කරගන්න ඕනෙ කියල හිතන හීනයක්. ඒක ඔයා නිදාගෙන ඉන්න දකිනකොට දකින ජාතියෙ හීනයක් විතරක් නෙවෙයි. ඇස් ඇරගෙන ඉන්නකොටත් දකින ජාතියෙ හීනයක්. කවුරු විශ්වාස  කළත් නැතත් ඔයා විශ්වාස කරන, හුස්ම වගේ ඔයා ජීවත් කරවන හීනයක්. ඒ හීනෙ වෙනුවෙන් ඕන කට්ටක් කාලා ගොඩ යන්න, මහන්සි  වෙන්න පුලුවන් හයිය හිතක්. දන්නවද…මේ ලෝකෙ හැම අලුත් දෙයක්ම පටන් ගත්තේ කාගෙම හරි හිතක පුංචිම පුංචි හීනයක් විදියට…..ඒ නිසා ඔයා ඔයාගෙ හීනෙ පරෙස්සම් කරගන්න. ඒ හීනෙ විශ්වාස කරන්න. ඒ හීනෙ වෙනුවෙන් වැඩකරන්න…ඔයා දවසක ජීවිතේ දිනනවාමයි…!! “

සුවහස්ගෙ කටහඩ රූපවාහිනි තිරයෙන් එළියට ගලාගෙන ගිහින් හීන වෙනුවෙන් මහන්සි වෙන කට්ටකන ලක්ෂ ගාණක් තරුණ හිත්වලට ජවයක්, අලුත් ශක්තියක් එකතු කරනවා කියල සුවහස්ට දැනෙන්න ගත්තා. තමන් වගේ ජීවිතේ බින්දුවේ ඉදන් පටන් අරගෙන ලස්සන හීන හිතේ තියාගෙන වැඩ කරන, ඒ වෙනුවෙන් මහන්සි වෙන තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ජීවිත වලට දවසක උතුරන්න හරියන්න ඕනෙ…!! කියල සුවහස් ඇස් දෙක පියාගෙන හිතුවා.

READ THE
NEXT STORY > >