වරල්
නිරාෂා නෙත්මිණි

මගේ ඔලුව වටේ හරියට වතුර බුබුළු කැරකෙනවා වගේ..තවත් වෙලාවකට අර ගල් තලාවට උඩින් පියාඹන නම දන්නේ නැති සුදු පාට කුරුල්ලෝ වගේ මගේ හදවතත් පියාඹනවා වගේ දැනෙනවා..ඒත් එක්කම අත් තටු කැඩිලා හදවත බිම වැටෙයිද කියල බයකුත් හිතෙනවා..ඔව් එයා ඒ මන් ලගට එන නිසා..අර ඈතින් එනවා පේන්නේ එයා තමා

එයාගේ ලොකු බෝල ඇස්..රතු පාටයි රෝස පාටයි සුදු පාටයි එකට වුනු එයාගේ හමට අව් රැල්ල වැටෙද්දි දිලිසෙනවා..ඒ දිස්නෙට මගේ ඇස් කඩන් යනවා වගේ හරියට..එයාගේ කොණ්ඩේ රත්තරන් පාටයි..හරියට මුහුදේ ඉදන් වෙරලට ගහගෙන ආපු සුදු පාට වීදුරු බෝතලේකට හවසට ඉර බැහැගෙන යද්දි වැටෙන තද අව් රැල්ලක් වැටිලා වගේ..හරියට එයා හීනයක් වගේ මගේ ලගට එනවා..මන් වගේ දුඹුරු පාටයි කලු පාටයි එකට මිශ්‍ර වෙච්ච හමක් තියෙන තද කලු කොණ්ඩයක් තියෙන කැත මන් ලගට තමා එයා ඒ එන්නේ..

මන් හරියට මුහුද යට තියෙන මුහුදුබත් වුනු නැවක බැදුනු මලකඩ වගේ..එයා…එයා එහෙමද..නෑ..එයා හරියට…….මන් දන්නේ නෑ..එයාට සම කරන්න දෙයක් නෑ..නැත්තන් එයාට සම කරන්න දෙයක් මන් දන්නේ නෑ..

තව ටිකකින් එයා මගේ ලගට එයි..ඔව් එයා ආවා..

කොහොමද

ම්ම්…මො..ක..ක්ද..මගෙන්ද ඇහුවේ..

ඔව්..නැතුව මෙතන වෙන කවුරුත් නෑනේ.එයා හීනියට හිනා වෙනවා..

එයාගේ කට හඩ…අම්මෝ…ඒක හරියට මුතු බෙල්ලෙකුගේ ඇග ඇතුලේ තියෙන මුතු ඇටයක් අරගෙන ගලක් උඩට දැම්මහම ඇහෙන සද්දේ වගේ..කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නෑ..

ඔයා කතා කරන්නේ නැත්තන් මන් යන්නම්..

එපා..යන්න එපා..

මට හිතාගන්න බෑ..මේක හීනයක් වගේ..

හීනයක්..ඔයාට ඇහැරිලා ඉද්දිත් හීන පේනවද..

හ්ම්ම්..ඔව්..ගොඩක්

මටනම් පේන්නේ නිදාගත්තම..,එයා හිනාවෙවි කියවනවා..අහන් ඉන්න ආස හිතෙනවා..

මන් හීන දකිනවා ගොඩක්..ඒ හීන හැබෑ කරගන්න මන් ඇහැරලා වැඩ කරනවා..මහන්සි වෙනවා ගොඩක්..ඒ එක හීනෙක හැබැවක් තමයි දැන් මේ තියෙන්නේ..

ඇත්තටම…මොකක්ද..

ඔයා එක්ක කතා කරන එක..

මාත් එක්ක කතා කරන්න ඔයා හීන දැක්කද..

ඔව්…මාස ගානක්..ඒක අද හැබෑ වෙලා..

හීන ගැන කතා කරන්නද මට මෙතෙන්ට එන්න කිව්වේ අද..මන් යනවා අනේ..

එපා..,අනේ ඉන්න..

මට බෑ..ඔයත් ඔතනට වෙලා ඉන්නේ නැතුව යන්න..නැත්තන් කවුරු හරි ඔයාව අල්ලන් යයි..

එයාට මන් කතා කරාට එයා ආයේ ආවේ නෑ. එයා ගියා..ගොඩක් දුර ගියා..මන් ආයේ එයාව දැක්කත් එයා මාත් එක්ක කතා කරන්න ආවේ නෑ..

මන් ගල් තලාව ලගට වෙලා තව ටිකක් හිටියා..දැන්නම් ටික ටික ඉර බැහැගෙන යනවා..කුරුල්ලොත් ටිකක් ඈතට ගිහින්..

……………………………………………………

හරී…..අල්ල ගත්තා..

මන් දවස් ගානක් තිස්සේ ඔයාව අල්ල ගන්න හිටියේ..ඒත් බැරි වුනා..අද නම් කොහොම හරි අල්ල ගත්තා..දැන් ඔයා මාත් එක්ක අපේ ගෙදර යමු..අර කන්ද උඩ තමා අපේ ගේ තියෙන්නේ..මන් හැමදාම හවසට මුහුදු වෙරලට එනවා සෙල්ලම් කරන්න..ඩේසී ආච්චිත් එක්ක..හැබැයි සෙල්ලම් කරන්නේ තනියෙන්..මොකද ඩේසි ආච්චිට සෙල්ලම් කරන්න බෑනේ. එයා වයසයි..මට යාළුවෝ නෑ..ඒකයි..දවසක් මන් දැක්කා මේ ගල් පර හරියේ වතුර යට ලස්සන කලු පාට දිලිසෙන මොකක්දෝ දෙයක් තියෙනවා..ඒත් හරියට පෙනුනේ නෑ..ඊට පස්සේ දවසේ තමා මන් හරියටම ඔයාව දැක්කේ..මන් ඒ නිසා ඊයේ බෝතලෙකුත් අරන් ආවේ ඔයාව අල්ලන් යන්න..හැබැයි බැරි වුනා. අද තමා පුලුවන් වුනේ අල්ලගන්න..මන් තව දැක්කා ලස්සන රතු පාට දිලිසෙන දේකුත් වතුරේ තියෙනවා..හැබැයි ඒක එක පාරටම ඈතට ගියා..

හරි අපි දැන් යමු..වැස්සකුත් එනවා..

ඒ පොඩි ගෑණු ළමයා මාවත් අරන් එයාලගේ ගෙදරට දිව්වා..

මේක තමා අපේ ගෙදර..අම්මයි මායි විතරයි ඉන්නේ..එයා වැඩට ගිහින්..තව ටිකකින් එයි..

එහෙම කියලා එයා මාව ඈත මුහුද පේන ජනේලයක් ලග මේසයක් උඩ වතුර පුරවපු වීදුරු රවුන් බෝතලක් ඇතුලට දාලා ගියා..

මෙච්චර වෙලා මන් කියපු කිසිම දෙයක් මේ ළමයට ඇහුනේ නැද්ද..නැත්තන් ඇහුන් නෑ වගේ හිටියද කියලා මට තේරෙන්නේ නෑ..නැත්තන් මන් මාළුවෙක් නිසා මන් කියන ඒවා එයාට තේරෙන්නේ නැතුව ඇති..

හ්ම්ම්..කමක් නෑ..

මුහුද මෙච්චර ලොකුයි කියලා මන් අද දන්නේ..මේ තරන් විශාල මුහුදේ මන් කොච්චර කැත පුංචි මාළුවෙක්ද

ඈත මුහුදට වැටෙන වැස්ස දිහා බලාගෙනත් මන් මතක් කරේ එයා ගැන..මගේ රෝස කුමාරි ගැන..මගේ කිව්වට එයා මගේ නෙමේ.වෙන කාගේ හරි වෙන්න ඇති..මන් එයාට ගොඩක් ආදරෙයි..හැබැයි එයාගේ ලස්සනට මන් වගේ කැත කලු මාලුවෙක් ගැලපෙන්නේ නෑ..මගේ ඇස් වලින් මොනවදෝ වැටෙනවා වගේ දැනෙනවා..ඒ මොනවද කියලා මන්වත් දන්නේ නෑ..මොකද මීට කලින් මන් දැකලා නෑ මාළුන්ගේ ඇස් වලින් වතුර වැටෙනවා..සමහරවිට මන් මැරෙන්න වෙන්නඇති යන්නේ..ඒකත් හොදයි..එතකොට මේ කිසි දෙයක් ගැන ආයේ හිතෙන්නේ නෑනේ මට..

දන්නෙම නැතුව කලුවර වෙලා..වැස්ස නිසා අදුරු ගතිය තවත් වැඩි..දැන් මුහුද පේන්නෙත් නෑ..කලුවර විතරයි..මගේ හදවතත් දැන් ඒ වගේ..

……………………………………………………..

ශා, ලස්සන මාළු පැටියෙක්..

අනේ’ මන් ලස්සනයිද..ඒ කියන්නේ මාවත් ලස්සනට පේන අය ඉන්නවා..කොච්චර දෙයක්ද..දැන්නම් මට මැරෙන්න හිතෙන්නෙත් නෑ..මේ අර ගෑණු ළමයගේ අම්මා වෙන්න ඇති..එයා අම්මව එක්කන් ඇවිත් මාව පෙන්නන්න..

ඔයා අදත් මුහුද ලගට ගියාද පැටියෝ’..මන් ඔයාට යන්න එපා කියලා නේද තියෙන්නේ..

මට තනියම ගෙදර ඉන්න පාළුයි අම්මේ..ඒකයි මන් ගියේ..

ඉතින් ඇයි ඔයා ඩේසි ආච්ච්ගේ ගෙදර ගියේ නැත්තේ..

හැමදාම එහේ ඉද්දි කම්මැලි..මන් වෙනදට ඩේසි ආච්චි එක්ක මුහුද බලන්න යනවා..හැබැයි අද තනියම ගියේ මෙන්න මේ මාළු පැටියව අල්ල ගන්න..මොකද ඩේසි ආච්චි මට වතුරට යන්න දෙන්නේ නෑ..

හරි” දැන් ඒකට කමක් නෑ..ආයේ ඔයා එහේ යන්න බෑ..අනිත් ඒක මේ මාළු පැටියව ආයේ ගිහින් මුහුදට දාන්න ඕනේ..තේරුනාද..

අනේ අම්මේ..

මේ අහන්නකෝ පැටියෝ..අපි වගේම එයාලත් නිදහසේ ජීවත් වෙන්න ඕන අය..එයාටත් ගෙදරක් තියෙනවා..පවුලක් ඉන්නවා..ආසාවල් තියෙනවා..හීන තියෙනවා..

මාළුන්ටත්..

ඔව්ව්’…එයාලත් අපි වගේම එයාලගේ ලෝකේ ආස දේවල් කරන අය..සමහරවිට අද එයා නැති නිසා එයාගේ පවුලේ අය එයාව හොයනවා ඇති..ඉතින් මේ මාළුවත් එයාලා නැතුව දුකින් ඇත්තේ..

එහෙනම් අපි හෙට උදේම ගිහින් මෙයාව මුහුදට දාමු..

මගේ හොද පැටියා..

……………………………………………………..

මාව උදේම එයාලා අරන් ගියේ අර වෙරල ලග තියෙන ගල් තලාව ලගට..දැන්නම් මට ගියත් වැඩක් නෑ කියලා හිතුනා..මොකද මගේ ලොකුම හීනේ බොද වෙලා ගියපු නිසා..

එයාලා මාව ගල්පර අස්සේ තියෙන වතුරට දැම්මා..මන් ඉක්මනට වතුර යටට ගිහින් හැන්ගිලා බලන් හිටියා එයාලා යනකන්..එතකොටම මගේ පිටි පස්සෙන් කවුද මට තට්ටු කරා..

ඔව්…ඒ එයා..මගේ රෝස කුමාරි..

ඔයා නැතුව ගොඩක් පාලුවෙන් හිටියේ..මන් හිතුවේ ආයේ ඔයාව දකින එක හීනයක් වෙයි කියලා..

දැන් ඔයත් හීන දකිනවද..

ඔව්..ඔයාගෙන්

එතකොට මගේ හීනේ ආයේ බොද වෙන්නේ නෑ නේද..

නෑ..කවදාවත් නෑ..අපි අර ඈත පේන ගල් තලාව දිහාට යමු..එහෙට ගිහින් අපේ හීන හැබෑ කරගමු..

අපි අත් වලින් අල්ලගෙන ඈතට ඈතට පීනගෙන ගියා..ගොඩක් දුර..හැබැයි අපිට තවත් දුර අත් අල්ලන් පීනන්න බැරි වුනා..මගේ අත අතඇරිලා ගිහින් එයාව මාළු දැලක පැටලුනා..මට එයාව බේරගන්න බැරි වුනා..මන් ගොඩක් උත්සහා කරා..ඒත් මේ මහා මුහුදේ මන් වගේ පුංචි මාළුවෙක්ට කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා මට තේරුනා..මගේ හැම හීනයක්ම එක මොහොතකින් නැති වෙලා ගියා..ඔව්..මන් ආයේ මගේ හීන ඇතුලේ තනි වුනා..

අදටත් මන් එයා එනකන් අර ගල් තලාවට වෙලා බලන් ඉන්නවා..හැබැයි මන් දන්නවා එයා ආයේ කවදාවත් එන්නේ නෑ කියලා..

මගේ රෝස කුමාරි..

READ THE
NEXT STORY > >