ලෝකෝත්තර
ලලිත් ප්‍රේමතිලක
මගේ මනස කම්මලක් වගේ. එක පැත්තකින් තලන හඬ. අනෙක් පැත්තෙන් කපන හඬ. තවත් පැත්තකින් ගාන හඬ. මෙකී නොකී කම්මල් හඬවලින් කං දෙකම පිරිලා ඉතිරිලා යන හඬවල් සේරම මොලේට අවශෝෂණය වෙලා මොලේ ගල් තැළුම් වෙලා, මනස කම්මලක් වෙලා.
ඔන්න ඔහොම තත්ත්වයක ඉන්න අතරේ මගේ භාර්යාතොමෝත් ළඟට ඇවිත් තවත් එයාගෙ ප්‍රශ්න වගේකුත් වගේ වගක් නැතිව අතාරින්න පටන් ගන්නවා.
“දැන් ඔයා කියන්නකෝ මං මොකක්ද මේකට කරන්නෙ කියලා…”
“මේ… කියන්නකෝ අනේ…”
“මේ… අඩුගානේ ඔයාට මං කිව්ව දේ ඇහුනද කියන්නකෝ…?”
“ඈ.. මො.. මොකක්ද ?”
“මේ මිනිහට මෙච්චරවෙලා කිව්ව දේවල් ඇහිලා නෑනෙ යකෝ..”
මාරාන්තික දේශනයේ ආරම්භයයි ඒ..
“නෑ නෑ ඇහුණා. මාත් මේ වෙන කල්පනාවක හිටියෙ. ඉතිං කියන්නකෝ..”
“මේ මිනිහට යාලුවෙක් බොන්න කතා කරානම් ඒවා සේරම මතකයි. බීලා වැනි වැනී ඇවිල්ලත් එතන ඕපාදූප ඔක්කොම පහුවදාටත් මතකයි. මගෙ ප්‍රශ්නයකට ජීවිතේට ඇහුම්කන් දීලා නැතිව ඇති. අනේ මෙහෙමත් මිනිස්සු.”
“නෑ නෑ… ඔයා කියන්නකෝ… මාත් මේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒකයි.”
“තමුසෙට මොනාද තියෙන ප්‍රශ්න..? මොකෝ ගෑණියෙක් දරුවෙක් ඉන්නවා කියල එකක් යැ. බොන යාලුවො සෙට් එකේ ප්‍රශ්න වෙන්නැති.”
“නෑ නෑ මේ ඔෆිස් එකේ…”
“තමුසෙ එහෙනම් තමුසෙගෙ ප්‍රශ්න විසඳා ගන්නවා. මං යනවා…”
ඔන්න ඔයාකාරයට ඒ ප්‍රශ්නයත් සාර්ථක ලෙස විසඳා අවසන් කර ගත්තා.
හැබැයි ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි තේරුණේ බිරිඳගේ ප්‍රශ්නයෙන් මගේ ඔලුව තවත් අවුලට ගියා කියලා.
දැන් මං මොකක්ද කරන්නෙ කියලා මටම හිතා ගන්න බැරි තත්ත්වයට මාව පත් වුණා. එහෙම අවස්ථා ගණනාවක් මේ ටික කාලයට මං පහු කරලා තිබුණා. ඒකට ඩිප්රෙෂන් කියලලු කියන්නේ. ඊයෙ පෙරේදා මගේ හිතවතා අනිල් හමුවුණු වෙලාවෙ තමයි මං ඕක හරියටම දැන ගත්තේ. කොහොමත් මං අත්දැකීමෙන් දැනගෙන හිටියා ඒ වගේ වෙලාවක මරණය වැළඳගන්න හරි පහසුයි කියලා.
සමහර දවසක බාර් එකකට ගිහින් තනියෙන් තැනක ඉඳගෙන, කවුරුත් එක්ක කතාවක් නැතිව, අරක්කු බීපු අවස්තාත් නැතිව නෙවෙයි. කවුරු මොනා කීවත් එහෙම අවස්ථාවක ඒ අරක්කු ටිකේ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් කියලා මට දැනිලා තියෙනවා. සමහරවිට මගේ ජීවිතය හානි කරගැනීමට තිබුණු අවස්ථාවක් වෙන්නත් පුලුවන් ඒ පහුවුණේ.
“ඔව්. හොඳම වැඩේ බාර් එක පැත්තෙ යන එක තමයි. මෙහෙම හිටියොත් මොනවයින් මොනව වෙයිද කියලා මමවත් දන්නෙ නෑ…”
ඔන්න ඉතිං බාර් එක පැත්තෙත් ගිහින්, අරක්කු ටිකකුත් බීලා, වැඩියෙ කවුරුත් එක්ක කතාවට නොගිහින් ෂේප් එකේ මාරු වෙලා ගෙදරටත් පැන ගත්තා. මගේ මානසික තත්ත්වය යම් පමණකට සුවපත් වූ බව ඒ ටික වෙලාවට මට දැනෙන්න ගත්තා.
හෙමින් සීරුවේ කාමරේට රිංගාගන්න හිතාගෙන ගෙට ගොඩ වුණත්, ඉස්සරහටම භාර්යාතොමෝ මුණගැසීම හේතුවෙන් මගේ සංසුන් වූ මනස යළිත් කම්මලේ තත්ත්වයට ආසන්න වීමට වැඩි වෙලාවක් ගත නොවූ බැව් මට දැනුනා. ඒ ඇයගේ සොඳුරු වාග් විලාශය මගේ පමණක් නොව වටපිට තවත් කණ් ගණනාවකට ගලා යන්නට ඇතැයි යන සිතිවිල්ලත් සමඟයි.
ඒ කොහොම වුණත් මං කිසිවක් නෑසුනාක් මෙන් මගේ කාමරයට වැදී ඇඳ මත වාඩිවී කල්පනා කරන්නට පටන් ගත්තේ මගේ මීළඟ පියවර කුමක් විය යුතුදැයි තීරණයකට එළඹීමට අපහසු වූ බැවින්.
ඒ ගමන කෝල් එකක්. මොකාද මේ වෙලාවෙ..?
අම්මටසිරි… අනිලා. කෝල් එක ගන්න ඕනෑ. ඌ විතරයි මගේ වර්තමාන තත්ත්වය දන්න එකම එකා.
“ආ මචං අනිල්…”
“මේ… උඹ කොහෙද මේ වෙලාවෙ ඉන්නෙ.. ගෙදරද…?”
“ඔව් මචං දැන් ගෙදර ඉන්නෙ.”
“දැන් ගෙදර කිව්වෙ.. කොහේහරි ගියාද අද..?”
“ඔව් බං.. ඔලුව කම්මලක් වගේ බං. ඉන්නම බැරි තැන ගියා බාර් එක පැත්තට.. මේ දැන් ආවෙ බං.”
“ආ… එහෙනම් උඹ තනියෙන් ගියා නේද? අපිට නිකමට කියන්න එපා. තනියෙන්ම පළයං…”
“අනේ නෑ මචං.. උඹ දන්නවනෙ මං මේ ටිකේ ඉන්න තත්ත්වෙ.”
“ඒකම තමයි බං උඹට මේ කෝල් ගත්තේ. අර ඔෆිස් එකේ කේස් එක මොකෝ. වැඩේ ෂේප් ද දැන්.”
“ඒවා මතක් කරන්න එපා බං. මට දැන් ඔෆිස් එකට මූණ දෙන්න බැරිව ඉන්නෙ. දැන් දවස් දෙකක් ගියෙත් නෑ. උදේ ඔෆිස් යනවා කියලා යනවා. කොහේහරි රස්තියාදු ගහලා හැන්ඳෑවෙ ගෙදර එනවා.”
“ඒ වැඩේ හරියන්නෙ නෑනෙ බං. අනික උඹ කරපු වැරැද්දක් නෑනෙ. ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කරපු එකනේ බං උඹලා කෙරුවේ. හරි හරි දැන් ඒවා කතා කරන්න නෙවෙයි මං මේ ගත්තේ. දැන් උඹේ තත්ත්වෙ කලින්ට වඩා හොඳයිද..?”
“කොහේ හොඳ වෙන්නද බං. ඔය ප්‍රශ්න ඔක්කොම ඔලුවෙ තියන් ගෙදර ආවම.. ප්‍රශ්න ඩබල් ට්‍රිබල් වෙනවනේ. මෙහෙ උන් දන්නෙ නෑ බං මං හිතින් විඳවන තරම්. උන් එක්ක ඒවා කතා කරන්න.. ප්‍රශ්නයක් විසඳාගන්න කිසිම විදියක් නෑ. ඒකමයි මං දැන් බාර් එක පැත්තෙ ගියෙත්. නැතිනම් මේ ගෙදර හිටියොත්.. කොයි වෙලාවෙ මං මොනා කරගනියිද කියලා කවුරුත් දන්නෙ නෑ.”
“හරි. එහෙනම් මං හොඳම වෙලාවට උඹට කතා කෙරුවෙ. මට මේ වෙලාවෙ උඹ හම්බ වෙන්න කොහෙත්ම විදියක් නෑ. ඒත් මං හෙට අනිවාර්යයෙන් උඹව හම්බ වෙනවා. හැබැයි උඹ දැන් මං කියන විදියට වැඩ ටික කරන්න ඕනෑ. හරිද..?”
“හරි බං… උඹ කියන දේකට මං විරුද්ධ වෙලා නෑනෙ බං මීට කලින්.”
“හරි එහෙනම් මං දැන් උඹේ ෆෝන් එකට එවනවා පොඩි සටහනක්. ඒක කියවලා ඒකෙ කියන විදියට උඹ දැන් ඒ වැඩේ කරන්න ඕනෑ. මේක පොඩි භාවනාවක් හරිද.”
“අනේ මංදා බං… ඕවානම්…”
“මං උඹට කලින් කියලා තියෙනවනෙ ඔය ගැන නේද..?”
“ඔව් ඔව්… “
“හා එහෙනම් ඔය සටහනේ තියෙන විදියට කරපන්. මේ දැන්ම. කාමරේ ඇඳ උඩ වාඩිවෙලා කරපං. එතකොට කාගෙන්වත් බාධාවකුත් නෑනෙ..”
“හ්ම්ම්…”
“හ්ම් නෙවෙයි.. මේ දැන්ම කරපං. ටිකක් රෑවෙලා මට කෝල් එකක් දියං… හරිනේ..”
“හරි බං… මං කෝල් එකක් දෙන්නම්.”
මූ මට දවස් කීපයක්ම කිව්වා. ඔය භාවනාව ප්‍රැක්ටිස් කරන්න කියලා. කොහෙද… ඒවා ගැන හිතන්නත් හිතේ නිදහසක් තියෙන්න එපැයි. ඌ නම් කියන්නෙ මේ වගේ හිත ව්‍යාකූල වෙලාවට හොඳම දෙයක් කියලා ඔය කියන සරළ භාවනා ක්‍රමය. ඔව්… කෝකටත් මං අද කරලා බලන්න ඕනෑ.
ඒත් කොහේ ඉඳන්ද මං භාවනා කරන්නේ..? වයිෆ් එහෙම දැක්කොත් ෂුවර් එකටම මාව අංගොඩ ගිහින් දානවා ආයෙ දෙකක් නෑ.
ඒත් මං ඉන්න මානසික අවුලෙන් ටිකක්වත් ගොඩ යන්න නම් කොහොමහරි මේක ප්‍රැක්ටිස් කරන්නම වෙනවා.
ඔව්. දැන්ම වැඩේ පටන් ගන්නවා. කාමරේ දොර පොඩ්ඩක් වහලම දානවා. නැත්තං ගෙදර හැමෝටම මාව විහිළුවක් වෙයි. හරි.. දැන් මෙහෙම ඉඳගෙන…. නෑ එක්කො නිදාගෙන කරනවා. ඒක ගොඩක් ඇඟටත් රිලැක්ස්. හරි…. ඔන්න දැන් මං ඇඳේ නිදාගත්තා. දැන් හරි. වහලෙ සිවිලිමයි, කැරකෙන ෆෑන් එකයි තමයි දැන් මට පේන්නේ. හරි ඔන්න ඇස් දෙකත් වහගත්තා.. හරි…
මුලින්ම වට පිට ඇහෙන ශබ්ද ගැන හිතන්න ඕනෑ. මොනාද ඇහෙන්නේ…? ආ.. අන්න කෑරලෙක්ගේ සද්දයක්.. තව කපුටන්ගේ සද්ද… තව ඈතින්… චූන්පාන් සද්දෙකුත් එනවා… දැන් ඒ වටපිට ශබ්දවලින් මං මිදෙන්න ඕන. ටිකෙන් ටික ඒ ශබ්ද ඈතට… ඈතට යනවා… දැන් මට කිසි ශබ්දයක් ඇහෙන්නෙ නෑ. නිහඬතාවක්…..
“කෝ… මේ මිනිහා..? ගෙට ආවා විතරයි දැක්කෙ. මොකද ඕයි කරන්නෙ ? අර උයලා තියෙන්නේ.. කනවා ගිහිල්ලා.”
මං උඩ ගිහින් සිවිලිමේත් හැපිලා ආයෙත් ඇඳ උඩටම වැටුනා.
“මොකක්ද යකෝ මේ වුණේ… ?”
තාම හිතාගන්න බෑ. මොන වැඩේ කරන්න ගියත් මේ ගෑණිගෙන්නම් ගැලවිල්ලක් නෑ.
“මට කන්න ඕන නෑ ගෑණියේ. මට උඹේ කරදරෙන් මිදෙන්නයි ඕනෑ…”
කියලා කිව්වොත් ඔය ගෑණිට මොන යකා ආරූඪ වෙයිද කියලා මටවත් හිතා ගන්න බෑ. ඊට වැඩියෙ හොඳයි නෑහුණාක් මෙන් මෙහෙම ම නිශ්ශබ්ද වෙන එක. කෝ… ඒගමන සද්දයක් නැතිව ගියා නේද…? ඔව්… ඔය ටීවී එකේ සද්දෙ ඇහෙන්නේ. ආ… දැන් ඉතිං ආයෙත් ඔතනින් නැගිටින්නෙ නෑ. තියෙන ඔක්කොම බඩකඩිත්තු නාට්‍ය පෝලිම ඉවර වෙනකන්.
හරි දැන් ආයෙත් පටන් ගන්න ඕනෙ මුල ඉඳන්ම.
ඔන්න ආයෙත් ඈත සද්ද ඇහෙනවා. ඒවා ටිකෙන් ටික මට නෑසී යනවා. දැන් ටිකෙන් ටික සද්ද නෑසී යනවා…. හපොයි… මගේ ඔලුව ආයෙත් අවුල් වෙලා. දැන් හිත එක අරමුණකට ගන්න හරිම අමාරුයි වගේ.
කමක්නෑ.. කොහොමහරි මගේ මනස මම ම පාලනය කරගන්න ඕනෑ. අහ්… හරි අර සටහනේ තිබුණ රිලැක්ෂේෂන් එක්සයිස් එක මේ වැඩේට හරි යයි. පොඩ්ඩක් ඒක කරලා බළමු එහෙනම්.
දැන්…. මගේ ශරීරය තියෙනවා කියලා මට දැනෙනවා….. ශරීරයේ තියෙන වේදනාවල් කැක්කුම් එහෙමත් මට දැන් දැනෙනවා……. දැන් මම මගේ කකුල් දෙකේ ඇඟිලි ගැන හිතනවා. ඒ ඇඟිලි ඔක්කොම සැහැල්ලු වෙනවා… ඒ සැහැල්ලු බව ටිකෙන් ටික මගේ ශරීරයේ උඩට… උඩට… එනවා… දැන් මගේ ඉණ දක්වා කොටස හරිම සැහැල්ලු වෙනවා…. ඒ සැහැල්ලු බව මට දැනෙනවා….
දැන් මගේ හිසේ සිට කකුල් දක්වා මුළු ශරීරයම සැහැල්ලුයි. ශරීරයේ වේදනාවල් මොකුත් මට දැන් දැනෙන්නේ නෑ…. දැන් ඒ සැහැල්ලු බව මගේ මොලයටත් ගමන් කරනවා. මගේ මනසත් සැහැල්ලු වෙනවා….
මගේ මනස සැහැල්ලුයි….
සැහැල්ලුයි…
සැහැල්ලුයි..
දැන් මට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ… මට දැන් ප්‍රශ්න මොකුත් දැනෙන්නේ නෑ. හරිම සනීපදායක බවක් තමයි තියෙන්නේ… මේ සැහැල්ලු බව හැමදාම තියාගන්න පුලුවන්නම්…..
ආ… මේ මොකද ඒ පාර වෙන්නේ…? හා…නේ… මම ඉහළට යනවා… පාවෙනවා වගේ හරියට. ඇත්තටම පාවෙනවා තමයි. එතකොට කෝ මගේ ශරීරය…? කෝ පේන්න නෑනෙ. ඇත්තටම මට මාව පේන්නෙ නෑ… පුදුමාකාර සැහැල්ලුවක් මට දැනෙන්නේ… මේ… මේ තියෙන්නේ වහලේ සිවිලිම නේද …? ඔව් සිවිලිම තමයි. එතකොට මම දැන් ඉන්නේ වහලය ළඟ… එතකොට කෝ මම…? කෝ බලන්න පහළ… ආ… අන්න… අන්න මම ඉන්නවා ඇඳේ නිදාගෙන. එතකොට මොකක්ද මේ වෙන්නේ…?
හරි… හරි.. දැන් තමයි මට තේරුම් යන්නේ. මං භාවනා කළානෙ. දැන් මගේ භාවනාව සාර්ථක වෙලා. එතකොට මං ඇඳේනෙ ඉන්නෙ. ඔව්… මං ඇඳේ ඉන්නෙ. ඒත් මගේ මනස ශරීරයෙන් වෙන් වෙලා. මගේ ශරීරය දැන් මටම පේනවා. ඒ කියන්නේ… ඔව් ඒ කියන්නේ මං රහත් වෙලාවත්ද…?
කෝ බළමු….. මට යන්න පුලුවන්ද කියලා. ඔව් මට පුලුවන් පාවෙන්න. ඔව් මේ දැන් මම පාවෙනවා. කාමරෙන් එළියට යන්න බලන්න ඕනෑ දැන්. හරි ඔන්න දොරෙන් මම සාලෙට ආවා… ඒත් දොර වහලනේ.. ඉතිං හරිනේ… මං රහත් වෙලානේ. දැන් මට ශරීරය නැතිව එහෙ මෙහෙ යන්න පුලුවන්.
කෝ බලන්න ගෙදර කට්ටිය. ආ… ඔය ඉන්නෙ… කොල්ලා පෝන් එක බලනවා ඇඳට වෙලා. මොනාද මේකා බලන්නේ.. අපොයි කුණුහරුප නේද මූ පෝන් එකෙන් බලන්නේ… අයියෝ ඔන්න ඌ හැදෙන විදිය… පොඩ්ඩක් ඌට පෙන්නන්න ඕනෙ මං ඌව දැක්කා කියලා…
“පුතේ… පුතේ…”
ම්හ්… ඌට ඇහෙන්නෙ නෑ මගෙ හිතේ. බළමු කෙල්ල කොහෙද කියලා. ආ අර ඉන්නෙ මේසෙ ළඟ. පාඩම් කරනවා ඇති මගෙ හිතේ. ඔව් පොතක් දිහා බලන් ඉන්නෙ. පොත උඩ ෆෝන් එක. පොඩ්ඩක් බළමු. මොනාද මේ බලන්නෙ ෆෝන් එකේ..
“අපි හෙට හම්බවෙමු පැටියෝ. ඔයා ඉස්කෝලෙ කට් කරලා ටවුන් එකට එන්න. මං එතන ඉන්නම්. ආදරෙයි මගෙ පැටියෝ.. උම්ම්මා… “
යකෝ මේකි… එතකොට හෙට කොල්ලා එක්ක හනිමූන් යන්න හදන්නේ. හිටපන්කො උඹට මං දෙන්නම් යන්න. දැන්ම වයිෆ්ට කියන්න ඕනෙ. කෝ එතකොට වයිෆ්….?
ආ…. අර ඉන්නෙ ටීවී එක ඉස්සරහා. අම්මෝ වශී වෙලා වගේ.. ඉක්මනට කියන්න ඕනෙ අපේ දරුවන්ගෙ කෙරුවාවල්. මෙයා දන්නෙත් නැතිව ඇති ඕවා.
“මේ… අරුණි…. අරුණි…”
යකෝ මේ ගැණිට ඇහෙන්නෙ නෑනෙ. එච්චරම නාට්‍යයට ඇබ්බැහි වෙලා.
“අරුණි… අරුණි… ඔයා දන්නවද වැඩක්… මේ. මේ… බලන්නකෝ…”
හරි වැඩේ. මං කියන දේ එයාට ඇහෙන්නෙ නෑ වගේ. ඔව් මං හිතන්නෙ මං මේ ඉන්න තත්ත්වයට කෙනෙක්ට කතා කරන්න බෑ ඒ කියන්නේ. හ්ම්ම්… මොකද කරන්නෙ එතකොට……?
හරි.. පුලුවන්.. කතා කරන්න බැරි උනාට එයාට දන්වන්න පුලුවන් මං මෙතන ඉන්නවා කියලා. ඔව් එහෙම කරමු.
මට මතකයි ඉන්ටස්ටෙලර් කියන චිත්‍රපටියේ කාල තරණය කරපු පුද්ගලයාටත් කතා කරන්න බැරි උනා. ඒත් එයාට පොත් රාක්කෙ පොත් පෙරලලා, එයා එතන ඉන්නවා කියලා තමන්ගේ දුවට හඟවන්න පුලුවන් උනා. මාත් දැන් එහෙම කරන්න ඕනෙ.
ඔව් මේ තියෙන්නෙ සාලෙ පොත් රාක්කෙ. මේකෙ පොතක් අතට ගන්න පුලුවනිද මට… ම්ම්ම් ගන්න බෑ වගේ. හැබැයි පොත් ටිකක් තල්ලු කළොත් වැටෙන්නේ අරුණිගෙ ඇඟට. එහෙම කරන්න පුලුවන් උනොත් එයාට පෙන්නන්න පුලුවන් මං මෙතන ඉන්නවා කියලා. හරි බළමු….
ම්ම්ම්ම් මේ පොත් ටික තල්ලු කරමු… හරි… හරි… හරීරීරී…..
“දඩබඩාස්….”
“අම්මෝ… මේ මොකද… ඌයි මගේ කකුල… මේ මොකද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ….? මේ මිනිහට පිස්සු හැදිලද…? මොකද ඕයි මේ පොත් රාක්කෙ පෙරලන්න හදන්නේ… මේ.. ඕයි… මේ… මේ… ළමායී….. ඉක්මනට එන්ඩෝ…. මෙන්න මේ මිනිහා හීනෙන්ද කොහෙද පොත් රාක්කෙ පෙරලන්න හදනවා. ඉක්මනට වතුර එකක් අරන් එන්න… ළමායී…. ඉක්මන් කරන්නෝ… වතුර එකක් මූණට ගැහුවොත් මේ මිනිහා ඇහැරෙයි. යකෝ කාමරේ දොරත් ඇරගෙන මේ මිනිහා හීනෙන් ඇවිත් තියෙන්නේ.”
“මේ…. ඕයි… ඕයි… “