දූරං ගමන් ඒක චරං
උදාර නිශ්ශංක

රැයටත් අඳුරු නොවන කුටිය තුළ දින දෙකක් ගතව ගියේය. පොලිස් පරීක්ෂකවරයා නැවතත් මුඩු හිසැති පුද්ගලයා අභියසට පැමිණ ඇත. අවුල්ව ගිය හිසකෙස්, තැනින් තැන එළියට පැන තිබුණු උඩු රැවුල් ගස්, දින දෙකක් පුරා නොකැපූ රැවුල මෙන්ම බොත්තම් කීපයක් නොපියවූ නිල ඇඳුම පෙර දිනයට වඩා ඔහු අසතුටුදායක තත්ත්වයකට ඇද වැටුණු බවට සාක්ෂි සැපයීය.

”මොකද අලූත් තත්ත්වය?” පැනය එල්ලවූයේ එම කුටියේ තිබුණු එකම ගෘහ භාණ්ඩය වුණු මේසයට හිස බරකරගෙන සිටි පුද්ගලයා වෙතිනි.

එම කුටියේ එකම ගෘහ භාණ්ඩය මේසය වුවද එහි ඇඳක් ලෙස බාවිතා කළ හැකි කොන්ක‍්‍රීට් නිමැවුමක් තිබුණි. එය ගෘහ භාණ්ඩයකට වඩා එම කුටියේම කොටසක් ලෙස පැවතුණු අතර එහි තිබුණු මේසයද ඇණවලින් බිමට සවිකර තිබුණේ ඒ බව පිටට නොපෙනෙන ලෙසකිනි.

”තත්ත්වය… තත්ත්වය නම්…”

”තත්ත්වය හිතුවට වඩා සංකීර්ණයි? ඒක කියන්න ඔච්චරම තටමන්න  ඕන නෑ.”

”ඔව්. එහෙම තමයි පේන්න තියෙන්නෙ.”

”අහ්… නියමයි. එතකොට මම කියපු කරුණු ගැන මොකද කියන්න තියෙන්නෙ?”

”සියල්ලම සටහන් කරගෙන ආවා.”

”ඊට අමතරව වෙන මොනවත් කියන්න තියනවද?”

”ඔව්. අතිවිශේෂ දෙයක්.”

”එහෙමනම් අපි එතැනින් පටන් ගනිමු.” අලස ලෙස හිස එසවූ ටෝනි නොහොත් හිස මුඩු තැනැත්තා දෑත ඉහළට විහිදා නිදිගැට කඩන්නට වූයේ හකු පළල් කර ඈනුමක් යවන අතරය. ඔහුගේ සහය පතා පැමිණි පොලිස් පරීක්ෂකවරයා කෙරේ ටෝනි එතරම් උනන්දුවක් නොවන බවක් පෙනෙන්නට විය.

”මීට සතියකට පෙර රටේ ප‍්‍රධාන මාතෘකාව වුණු ෆෝර්ට් බැංකුවේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රෙනෝල්ඞ් පායෝ වෙත චෝදනා එල්ලවෙලා තියෙනවා” පොලිස් පරීක්ෂකවරයා අතිවිශේෂ කාරණය කිසිදු විශේෂත්වයකින් තොර ස්වරයක පටලා කියා දැමුවේ තමා පිටුපස ඇති බිත්තියට හේත්තු වෙමිනි. කරුණ විශේෂ එකක් ලෙස පෙනුණද පොලිස් පරීක්ෂකවරයා එයින් තව තවත් පරීක්ෂණය සංකීර්ණ කරගත් බවද පෙනෙන්නට විය

එවදන් ඇසුණු ටෝනිගේ මුවට නැගුණේ මද සිනහවකි. එය ක‍්‍රමයෙන් කොක් හඬලා සිදු කරන සිනාසීමකට මාරු වූයේ තත්පර කීපයක පමාවෙනි. එය  ඕනෑවටත් වඩා එහා ගිය සිනහවකි. නොඑසේ නම් විකල් සිනහවකි. අවුරුදු ගණනාවකින් ටෝනි ඩයස්ගේ මුහුණට නැගුණු සිනහව එක් අතකට එවන් එකක් වීම කිසිදු අරුමයක් නැත.

” ඕකද තමුසෙගෙ අතිවිශේෂ කරුණ?” සිනහව එක්වරම නැවැත්වූ ටෝනි නුරුස්සනාසුලූ ක්ෂණික බැල්මක් පොලිස් පරීක්ෂකවරයා වෙත හෙළුවේය.

”හම්ම්…” එයට ලැබුණු පිළිතුර එපමණකි.

”ඔය වගේ දෙයක් මම මුල ඉඳන්ම බලාපොරොත්තු වුණා. ඒකෙන් මේ ප්‍රෙහේලිකාවේ ලොකු හිඩැසක් නම් පිරවෙන්නෙ නෑ.” විලංගු දමා තිබුණු දෑතින්ම හිස කසාගන්නා අතර ටෝනි කියා දැමුවේය.

දැන් දැන් ඔහුගේ ස්වරූපය වෙනස් වන්නට යෙදී ඇත. මුලින් අලසව හැසිරුණු ටෝනි, දැන් දැන් තමා වෙත පැමිණ ඇති ආගන්තුකයා වෙත හෙළන්නේ කෑදර බැල්මකි. ඒ ඔහුගේ ක‍්‍රියාකාරී බව අවදි වුණු බවට පෙන්නුම් කෙරෙන සංඥාවකි.

”සර් ඔය කියන්නේ රෙනෝල්ඞ් පායෝ මේ කරණාව කලින්ම දැනගෙන හැංගිලා ඉන්න බව නම්, ඒක මීට වැඩිය බොහොම පහසුවෙන් මිනිහට කරන්න තිබුණා.” පොලිස් පරීක්ෂකවරයා බොහොම සීරුවෙන් තමා ඉදිරියේ සිටි ටෝනිගේ අදහස අභියෝගයට ලක් කළේය. තමා ඉදිරියේ සිටින යක්ෂයාගේ තරම හොඳින් දැන හුන් ඔහු එවැනි ප‍්‍රකාශයක් කිරීම පිළිබඳව මොහොතකට පසුතැවිලි වූයේ මෙම ගොඩනැගිල්ලේ ආරක්ෂක ප‍්‍රධානියාගේ වචන සිහියට නැගුණු නිසාය.

”තමුන් මොන පොලීසියක මොන තරම් ලොක්කෙක් වුණත් ඒකෙන් අපට වැඩක් නෑ. තමුන් ඔය දොරෙන් ඇතුළට යනවා කියන්නේ තමුන්ගේ ජීවිතය පිළිබඳව වගකීමෙන් අපි නිදහස් කියන එකයි. ඒ වගේම ආත්ම ආරක්ෂාවට හෝ වෙනත් කිසිම කරුණක් නිසා තමුන්ට මේ දොරෙන් එහාට ගිනි අවි ගෙනියන්නත් බෑ.  මේ කොන්දේසි සියල්ලටම එකඟ නම් විතරක් තමුන්ට මිනිහව මුණගැහෙන්න පුළුවන්.” මුහුණ පුරා රැවුල වවාගෙන සිටි හැඩිදැඩි ආරක්ෂක ප‍්‍රධානියාගේ හඬ පොලිස් පරීක්ෂකවරයාගේ හිස තුළ රැව් පිළිරැව් දුන්නේය. නමුත් එය එකම එක මොහොතකට පමණි.

”කලින් දවසේ ? මිනිහත් එක්ක අඩියක් ගහන්න ආපු හාදයා මොකද කියන්නේ?” ටෝනි කෙළින්ම කාරණයට බැස්සේ තමා ලබා දුන් ගෙදර වැඩ පසු දින පරීක්ෂා කරන ගුරුවරයෙකුගේ ස්වරයෙනි.

”බන්දුල දයානන්ද. වයස අවුරුදු පනස් හතරයි. අට වසරට යනකල් විතරයි පාසල් ගමන. වෘත්තියෙන් කුලී රථ රියදුරෙක්. චණ්ඩිකම් හේතුවෙන් පොලිස් පොත්වල තමන්ගෙ නම අතේ ඇඟිලි ගාණටත් වඩා ලියාගන්ත එකෙක්. රෙනෝල්ඞ් පායෝගේ ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලයේ පාසල් සමකාලීනයෙක්….”

”මිනිහගෙ උස කොහොමද?” ටෝනි එක්වරම විමසුවේ උනන්දුවෙන් දීප්තිමත්ව ගිය දෑසිනි.

පැනය නැගුණු වේගයෙන්ම පිළිතුරු දීමට අසමත් වුණු පොලිස් පරීක්ෂකවරයා මඳක් කල්පනා කර,”අඩි… පහක් විතර” යැයි ගොත ගසමින් අපහසුවෙන් කියා දැමුවේය.

”අහ්… කමක් නෑ. ඉතුරු ටිකත් කියනවකො.” උනන්දුව පරයා බලාපොරොත්තු කඩවුණු ස්වරූපයක් ටෝනිගේ මුහුණේ ඇඳුණි.

තවත් මොහොතක් නිහඬව ගත කළ පොලිස් පරීක්ෂකවරයා සාක්කුවකට අත දමා සිය සටහන් පොත ඇදගත්තේ මතකයට වඩා ලේඛනය කර ඇති දෙය විශ්වාසවන්ත නිසා විය යුතුය.

”බන්දුල දයානන්ද කියන විදියට රෙනෝල්ඞ් එයාට පාසල් කාලයෙන් පස්සෙ මුණගැහුණේ මේ සිද්දියට කලින් දවසේ. ඒ වෙනකල් මේ දෙන්නා අතර කිසිම ගනුදෙනුවක් තිබිලා නෑ.”

”ඒ කියන්නේ ඔය රෙනෝල්ඞ් කියන මිනිහා හිටිහැටියේම තමුන්ගේ පොඩිකාලේ යාළුවෙක් හොයාගෙන ගිහින්, ඒ මනුස්සයව අඩියක් ගහන්න ගෙදරට ගෙන්න ගන්නවා. ඒකට මිනිහා තෝරගන්නේ…” වාක්‍ය අවසන් නොකර ටෝනි තත්පර ගණනක කල්පනාවකට වැටුණේ සිහින් සිනහවක් සමඟිනි.

”හරි. යමු තවත් ඉස්සරහට.” කල්පනා ලොවෙන් පියවි ලොවට පැමිණි ටෝනි සුරතින් හිස් අවකාශයේ යමක් සටහන් කරමින් පැවසීය.

”රෙනෝල්ඞ්ගේ ආරාධනාව පිළිගන්න බන්දුල ඊට පහුවෙනිදා; එහෙම නැත්නම් මෙම සිද්දිය සිද්දවුණු දවසේ ? 9.00ට රෙනෝල්ඞ්ගෙ නිවසට ගිහින් 11.15 වෙද්දි විස්කි බෝතලයක් හිස් කරනවා. ඊට පස්සේ මිනිහා කියන විදියට 11.30ට ආසන්න වෙලාවක එතැනින් පිටත්වෙලා ගෙදර ඇවිත් තියෙනවා.”

”ඇත්තටම වෙන්න ඇත්තෙත් ඔය පිළිවෙළටම තමයි. ඒකෙ සැකයක් නෑ.”

”මට පෙනෙන විදියට නම් ඔබතුමාට කරුණු තුනක් මඟහැරිලා වගේ.” වචන අවසානයේ කට ඉස්සර වීම ගැන කනස්සල්ලක් නැවතත් පොලිස් පරීක්ෂකගේ මුහුණේ දැවටිණ.

”හැබෑට… කියමු බලන්න ඒ කරුණු තුන.” මෙවන් අවස්ථාවකදී සාමාන්‍යයෙන් පෙන්වන ප‍්‍රකෝපකාරී බව වෙනුවට බොහොම ශාන්ත ලීලාවකින් ටෝනි හැසිරෙන්නට විය.

එයින් විමතියටද අස්වැසිල්ලටද පත් පොලිස් පරීක්ෂකවරයා තරමක ජයග‍්‍රාහී ලීලාවකින් සිය කරුණු දැක්වීම ඇරඹුවේ තමා ඉදිරියේ ඇති විසල් ගැටලූවට පිළිතුරු නැතත් ටෝනිට වඩා තමා පියවරක් හෝ ඉදිරියෙන් සිටින බවට ලද සතුටින් උදම් වෙමිනි. සමහරවිට  “Something is better than nothing” යන උදාන වාක්‍යය ඔහුගේ සිතට තල්ලූවක් දෙන්නට ඇත.

”පළවෙනි කාරණය තමයි කාමරයේ තිබුණු ලේ පැල්ලම. ඊළඟට කාමරය ඇතුළේ දැනුණු වෙඩි බෙහෙත් ගඳ. ඒ කාරණා දෙකම ගැන මම කලින් දවසේ ඔබතුමාට පැහැදිලිවම කිවුවා. අනෙක් කරණාව තමයි මේ බන්දුල කියන මිනිහා මැර වැඩවලට පොලිස් පොතේ නම ලියැවුණු පුද්ගලයෙක් වීම. මේ කාරණා ඔබට අමතක වුණු හැඩයි.”

ඔලොක්කුවට මෙන් පොලිස් පරීක්ෂකවරයා දෙස බලා සිටි ටෝනි නැවත මේසය දෙසට මුහුණ හරවාගත්තේ කොක් හඬලා සිනාසෙමිනි. මිනිත්තු කීපයක්ම ඔහු එලෙස සිනාසෙන්නට ඇත. එම සිනහව පොලිස් පරීක්ෂකවරයාගේ සිතට නැගි අල්පමාත‍්‍රික ජයග‍්‍රාහී හැඟුම සම්පූර්ණයෙන්ම සූරා බිමටම හෙළීමට සමත් විය.

ටෝනි ආයාසයෙන් සිනහව නවත්වා ගත්තේය. එහෙත් නෙත් මේසයෙන් ඉවතට නොගෙන සිටින්නට වගබලා ගත්තේ එහි සටහන්ව ඇති බැ?රුම් යමක් හදිසියේම දුටුවාක් මෙනි.

”මට අමතක වුණාට තමුසෙට මතක තිබුණනෙ. ඒ මදැයි… දැන් කියනවකො ඔය කියන ලේ පැල්ලම ගැන. ඔච්චරම වැදගත් නම් තමුසෙ ඒකෙ ප‍්‍රමාණය, හැඩය වගේම ඒක තිබුණෙ හරියටම කාමරයේ කොතැනට වෙන්නද කියන කාරණා ටික ගැන සටහනක් දාගන්න ඇතිනෙ.” ටෝනි බොහොම පහසුවෙන් කියා දැමුවේය.

එම වචන හමුවේ එක් ඇහි බැමක් නළලට නංවාගත් පොලිස් පරීක්ෂකවරයා තම සටහන් පොත ඒ මේ අත පෙරළන්නට ගත්තේය. තත්පර කීපයක පමාවෙන් අවශ්‍ය පිටුව පෙරළාගත් පොලිස් පරීක්ෂකවරයා එය ටෝනි වෙත පෑවේය.

එහි වම් පස පිටුවේ ත‍්‍රිකෝණ හැඩයට පිහිටි රවුම් තුනක් සහ ඊට තරමක් ඈතින් තවත් රවුමක් සටහන්ව තිබුණි. සියලූම රවුම් හැඩයන් එක සමාන ප‍්‍රමාණවලින් සටහන්ව තිබුණු අතර දකුණු පස පිටුවේ එම පිහිටීමටම සමාන ලෙස සටහන් වුණු තිත් හතරක් ඇඳ තිබුණේ කාමරයක දළ සැලැස්මක් මතය. ඒ ලේ පැල්ලම් කාමරයේ බිම මත සටහන්ව තිබුණු ආකාරය දැක්වෙන දළ සටහනක් බව ටෝනි දුටු ක්ෂණයෙන්ම අවබෝධ කරගත්තේය. ඒ දෙස වරක් උවමනාවට එපාවට මෙන් බැලූ ඔහු නැවත වරක් ඒ දෙස බැලූවේ විශාලව ගිය දෑසිනි. එකවරම හිඳගෙන සිටි තැනින් නැගිට පොලිස් පරීක්ෂකවරයාගේ අත තිබුණු පොත උදුරාගෙන මේසය මත දිගහැරගත් ටෝනි ඒ අමුතුම කෑදර බැල්මක් හෙළීය.

කාමරයේ දළ සැලැස්ම තුළ ලේ පැල්ලම්වලට අමතරව ඇඳක්, මේසයක්, එක ළඟින් පිහිටි පුටු දෙකක්, ඇඳුම් රාක්කයක්, අල්මාරියක්, මදුරු දඟර රැඳවුමක් පිළිබඳ විස්තර සටහන්ව තිබුණු අතර විවෘතව තැබුණු ජනේලයක්, වසා තිබුණු ජනේල දෙකක් සහ කාමරයේ දොරේ පිහිටීමද සතුටුදායක ලෙසකට සටහන්ව තිබුණි. මේ සියල්ලෙන්ම ටෝනිගේ වැඩිම අවධානය දිනා ගත්තේ මදුරු දඟර රැඳවුම සහ එහි පිහිටීමයි.

”මේ මදුරු දඟරය ගැන මට කලින් දවසේ කියුවේ නෑනෙ.” ටෝනි චෝදනාත්මක ස්වරයෙන් කතා කරන්නට වූයෙන් පොලිස් පරීක්ෂකවරයා මඳක් පැකිළෙමින් උත්තර සොයන්නට විය.

”ඒ..ක… ඒක ඔහු… ඒක ඔහු පුරුද්දක් වශයෙන් දිනපතාම කරන දෙයක්. රෙනෝල්ඞ් වරක් ඩෙංගු රෝගයෙන් අන්තිම අමාරු අඩියට වැටුණු කෙනෙක්. ඒ ගැන ඔහුගේ සේවකයින් සහතික වෙනවා.” අමාරුවෙන් වචන ගළපා ගත් පොලිස් පරීක්ෂකවරයා තම නිදහසට කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු හමුවේ කළකිරුණු ස්වරූපයෙන් තමාටම මොන මොනවාදෝ කියවාගත් ටෝනි නැවතත් සටහන් පොතට එබුණේය.

”මේකේ ජනේලවල පිහිටීම එහෙම සෑහෙන දුරට හරි ඇති නේද? අඩුම තරමේ මේ දොරේ පිහිටීමට සාපේක්ෂවවත්.” ටෝනි දෑස සටහනේ තබාගෙනම විමසීය.

”ඔව්. ඔය සටහන සෑහෙන දුරට නිවැරදියි.”

”එතකොට මේ සටහනේ නැති දේවල් මොනවද?” ටෝනි වෙතින් තවත් පැනයකි.

”මේසය උඩ තිබුණු දේවල්, ඇඳ උඩ තිබුණු ඇතිරිලි වගේ දේවල් ඇරුණාම අනෙක් සියල්ලම ඔය සටහනේ තියනවා.” පොලිස් පරීක්ෂකවරයාගේ වචන තුළ එතරම් විශ්වාසයක් කැටිව නොතිබුණේ බාගවිට ඔහුට යමක් මඟහැරෙන්නට ඇතැයි යන අවිශ්වාසය ඔහුගේ සිතේ තිබෙන්නට ඇති නිසාය.

”මම අහන්නේ ඒ දේවල් ගැන නෙවෙයි. බිත්තිවල තිබුණු දේවල්, වහලේ තිබුණු දේවල් වගේ කාරණා.” ටෝනිගේ වදන් තුළ දැන් දැන් කෝපය හෝ නොරිස්සුම් සහගත බව වෙනුවට මතුවන්නේ පොලිස් පරීක්ෂකවරයා ලබාදෙන දත්ත වෙතට දැක්වෙන උනන්දුවයි.

”වහල?” පොලිස් පරීක්ෂකවරයාගේ මුහුණේ ප‍්‍රශ්නාර්ථයකි.

”බිත්ති සහ වහල කියන දෙකම.” ටෝනි වහාම පොලිස් පරීක්ෂකවරයා නිවැරදි කරන්නට උත්සුක විය.

”බිත්ති සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නෙ සුදු පාට තීන්ත ආලේප කර තිබුණු බව විතරයි. ඒ ඇරෙන්න කිසිම බිත්ති සැරසිල්ලක් හෝ වෙනත් කිසිම සලකුණක් දකින්න ලැබුණේ නෑ. සම්පූර්ණ නිවසම මෑතකදී අලූත්වැඩියා කර තීන්ත ආලේපනය කරලා තිබුණා. වහල නම්…” පොලිස් පරීක්ෂකවරයා වාක්‍යය අවසන් නොකර කල්පනාවකට වැටිණ.

”ඔව් වහල තමයි.” ටෝනි නැවත වරක් අවධාරණය කළේ සිය ස්වරයට තවත් බරක් එකතු කරමිනි.

”ඒක නම් මහා විකාරයක්.”

”වහලක් කොහොමද විකාරයක් වෙන්නෙ?”

”මිනිහෙක් තවත් මිනිහෙක් එක්ක අඩියක් ගහන්න, කාමරයක් ඇතුළේ බැලූම් බෝල, කේ‍්‍රප් රිබන් වගේ දේවල්වලින් සැරසිලි කළොත් ඒක විකාරයක් වගේ පේන්නෙ නැද්ද?”

”හ්ම්… ඒක නම් විකාරයක් තමයි. නමුත් ඒකත් වැදගත් වෙන්න පුළුවන් කරුණක්.” ටෝනි මොහොතක කල්පනාවකට වැටුණි.

”සැරසිලිවල පිහිටීම සටහන් කරපු පිටුව පෙන්වන්න.” ටෝනි මේසය මත තිබුණු සටහන් පොත පොලිස් පරීක්ෂකවරයා වෙත දිගු කළේය.

පොලිස් පරීක්ෂකවරයාගේ උගුරු ඇටය උඩ පහළ ගියේ වේළී ගිය උගුර තෙමාගැනීමට ගිලූණු කෙළ නිසා විය යුතුය. සැබැවින්ම එවැන්නක් සටහන් නොකළ වග කීමෙන් දෙවන වරටත් බල්ලාට ”මචං” කියන මට්ටමට වැටෙන බව ඔහු ඉඳුරාම දැන සිටියේය.

”හහ්… මට නිකමට හිතුණා. තමුසෙ ඒක සටහන් කරගත්තේ නෑ නේද?” ටෝනි ගොරවන්නට විය.

එම වචන කීපයට පොලිස් පරීක්ෂකවරයා කෙතරම් කලබලයට පත්වීද යත් ඔහු පියවරක් කුටියේ දොර දෙසට තැබුවේ එතැනින් පැන යාමට අවශ්‍ය වුවහොත්, එයට පෙර සූදානමක් ලෙසිනි. ඒ සමඟම දොර සහ කුටියේ බිම අතරින් පැමිණි සිහින් ආලෝක තීරුව මත සියුම් සෙවණැලි දෙකක් සටහන් විය.

ටෝනිගේ කෝපය හේතුවෙන් උස්ව ගිය හඬ කුටියෙන් පිටතටද ඇසී ඒ හේතුවෙන් කුටියෙන් පිට සිටි ආරක්ෂකයෙකු දොරටුව අසලට එන්නට ඇත. දොරත් බිමත් අතර ආලෝක තීරුවේ සටහන් වන්නට ඇත්තේ ඔහුගේ දෙපයේ සෙවණැලි විය යුතුය. ඒ බව පොලිස් පරීක්ෂකවරයා මෙන්ම ටෝනිද එක් ක්ෂණයකින් අවබෝධ කරගත්තෝය.

”තමුසෙට මතක විදියට මේකේ සැරසිලිවල පිහිටීම අඳිනවා බලන්න.” ටෝනිගේ ස්වරය සතුටුදායක මට්ටමකට නිවී ඇත. එය පොලිස් පරික්ෂකවරයාට මහත් අස්වැසිල්ලකි. රැකියාව හේතුවෙන් ජීවිතය උගසට තබා මේ කරන සූදුව ඔහුට වාසිසහගත නොවන්නට ඇති ඉඩකඩ බොහෝසෙයින් වැඩි වග ඔහු හොඳාකාරවම දැන සිටියේය.

ටෝනි අතින් සටහන් පොත ගත් පොලිස් පරීක්ෂකවරයා සාක්කුවෙන් ඇදගත් මොට පැන්සලකින් ඒ මත ලහි ලහියේ යමක් කටුගා නැවත ටෝනි වෙත පෑවේය. අසතුටුදායක දත්ත සැපයීම පිළිබඳ නොසතුටට පත්ව සිටි ටෝනි තමා වෙත ලැබුණු සටහන් පොතට එබුණේ එයට පැන කිමිදෙන්නට සූදානමෙන් මෙනි. නමුත් ක්ෂණයක පමාවෙන් ඔහුගේ මුහුණ පුළුටුව ගියේය.

”මොකද්ද මේ ලොකු මලක් ඇඳලා තියෙන්නෙ?”

”ආ.. ඒක.. ඒක මලක් නෙවෙයි. ඒ සිවිලිම් විදුලි පංකාව.”

”හහ්… ඒකනං තමුසෙ නියමෙට ඇඳලා තියෙනවා.” පොලිස් පරීක්ෂකවරයාගේ වදන් හමුවේ නැගුණු සිනහවෙන්ම ටෝනි කියා දැමීය.

”එතකොට මේ තියෙන්නෙ හුළං ගිය බැලූම් බෝල වෙන්ඩ ඇති.” සටහන් පොතේ යමක් ඇඟිල්ලෙන් පෙන්වමින් ටෝනි විමසුවේ පොලිස් පරීක්ෂකවරයා දෙසට සටහන් පොත හරවමිනි.

”ඔව්..”

”එතකොට බැලූම් බෝල වටේට ඇඳලා තියෙන වක‍්‍ර ඉරිවලින් පෙන්වන්නේ කේ‍්‍රප් රිබන්ද?”

”හරියටම හරි”

”එතකොට මේ කෙළින් ඇඳපු කෙටි ඉරි?” ටෝනිගේ මුහුණේ ඇඳි ප‍්‍රශ්නාර්ථය පොලිස් පරීක්ෂකවරයාගේ සුරතින් හිස කසන තැනට වැඩ සැලසීය.

”ඒ එල්ලලා තිබුණු පොඩි පොඩි සැරසිලි. ඒවා පිළිවෙළකට එල්ලලා තිබුණෙ නෑ.”

”ඒ කියන්නේ මේ සටහන ඇතුළේ ‘එල්ලා තිබුණු සැරසිලිවල’ පිහිටීම හරි කියලා හිතන්න බෑ කියන එක?” ටෝනි වෙතින් නැගුණේ ප‍්‍රශ්නාර්ථයක් අගට යෙදුණු තවත් වාක්‍යයකි.

”එහෙම තමයි හිතන්න වෙන්නෙ…” පොලිස් පරීක්ෂකවරයා යටිතොල පෙරළා පැවසුවේ තවමත් සුරතින් හිස කසන අතරය.

”නොදකින්…” ටෝනි තමාටම මුමුනාගත්තේ අත රැඳුණු විලංගුවලට ඔරවමිනි.

”හරි. අපි ඊළඟ කාරණයට යමු. මිනිහගෙ විනෝදාංශ සහ පුරුදු ගැන මොනවද දැනගන්න ලැබුණේ?” ටෝනි නැවතත් උනන්දුව පෙන්වන්නට වූයේය.

දිගු හුස්මක් ඉහළට ඇදගත් පොලිස් පරීක්ෂකවරයා දිර්ඝ විස්තරයක් කීමට සැරසෙන බවක් පෙන්වීය.

”මෑත කාලයේ මිනිහා විනෝදාංශයන් විදියට කරලා තියෙන්නෙ සූදුවයි ගණිකාවෝ ආස්සරේ කරන එකයි. ඒ දෙකටම රෙනෝල්ඞ් තදින් ඇබ්බැහිවෙලා හිටපු බවයි දැනගන්න ලැබුණේ. ඊට කලින්; ඒ කියන්නෙ රෙනෝල්ඞ් ඩෙංගු රෝගියෙක් වෙන්න කලින් විනෝදාංශ විදියට සෑහෙන්න දේවල් කරලා තියෙනවා. පොත් කියවීම, ගොල්ෆ්, ටෙනිස් වගේම සමාජශාලාවට යෑමත් ඔහුගේ දෛනික කාලසටහනේ තිබුණු දේවල්. මාසෙකට වරක් හෝ දෙවරක් ඈත කැලෑවකට රිංගගෙන දවසක් දෙකක් කූඩාරම් ගහගෙන ඉන්න එකත් ඉඳහිට මාළු අල්ලන එකත් මිනිහා විනෝදාංශයන් විදියට කරලා තියෙනවා. මීට අවුරුදු දෙකකට කලින් රෙනෝල්ඞ් ඩෙංගු රෝගියෙක් වෙන්නෙත් ඔය විනෝදාංශ නිසා බවයි ගෙදර සේවකයෝ නම් කියන්නේ.” එක හුස්මට කියාගෙන ගිය පොලිස් පරීක්ෂකවරයා තවත් හුස්මක් ඉහළ ඇද ගැනීමට මද විරාමයක් ගත්තේය.

”තනිකඩ සල්ලිකාරයෙක් ඔය වගේ දේවල් කරන එක පුදුමයක් නෑ.” ටෝනි පැවසුවේ පොලිස් පරීක්ෂකවරයා ලද කෙටි විරාමය අතරය.

”රෙනෝල්ඞ්ගේ පුරුදු ගැන නම් වෙනත් විශේෂ යමක් දැනගන්න ලැබුණෙ නෑ. අවුරුදු දෙකක ඉඳන් එකම පීල්ලක තමයි මිනිහා දුවලා තියෙන්නෙ. උදේ හතට ගෙදරින් පිටත්වෙලා ෆෝර්ට් බැංකුවේ කාර්යාලයට රිංගගත්තාම ආයෙ එතැනින් එන්නේ හවස පහට. ඒ එන අතර මැරියට් කැසිනෝ එකට හරි බ්ලූ ලැගූන් හෝටලයට හරි යන රෙනෝල්ඞ් අනිවාර්යයෙන්ම ? නවයට කලින් ගෙදර එනවා…”

”ඒක ටිකක් අසාමාන්‍යයි. සාමාන්‍යයෙන් ඒවගේ තැන්වලට යන මිනිස්සු හැසිරෙන්නෙ නිශාචරයෝ වගේ.” ටෝනි හදිසියේම පොලිස් පරීක්ෂකවරයාගේ කරුණු දැක්වීමට බාධා කළේය. එහි ප‍්‍රශ්නාර්ථයක් නොවුණද එහි සැඟව ඇති පැනය වටහාගැනීමට පොලිස් පරීක්ෂකවරයා සමත් විය.

”රෙනෝල්ඞ්ට තද හිසේ කැක්කුමක් තිබිලා තියෙනවා. ඒකට නිදිවැරීම අන්තිම අගුණයිලූ. ඒ හින්දම ගෙදර සේවකයින්ට පවා ? දහයෙන් පස්සෙ ඇහැරගෙන සිටීම තහනම් කරලයි තියෙන්නෙ. ? දහය වෙනකොට රෙනෝල්ඞ් පායෝගෙ නිවස සම්පුර්ණයෙන්ම අඳුරු නොවෙන්නෙ එහෙමත් දවසක විතරයි කියල ප‍්‍රධාන සේවකයාගේ ප‍්‍රකාශයේ පවා තියෙනවා.”

ටෝනි කල්පනාවක ගිලී විනාඩි කීපයක් ගත කළේය.

”සේවකයින්ගේ සාක්ෂි ගැන පසුවට බලමු. දැනට රෙනෝල්ඞ් ගැන චිත‍්‍රය පුළුවන් තරමක් සම්පූර්ණ කරගන්න එකයි මට වැදගත්. මිනිහගේ පවුලේ තොරතුරු කොහොමද?” ටෝනි ඊළඟ මාතෘකාවට එළඹුණේය.

”එක සහෝදරයෙක් ඇරුණාම මිනිහට වෙන කිසිම නෑයෙක් නෑ.”

”ඔය රෙනෝල්ඞ්ගෙ ගම් පළාත කොහෙද?”

”උපන් ගම මීගමුව කියලයි දැනගන්න ලැබුණේ.”

”මිනිහගෙ සහෝදරයා ගැන තියෙන තොරතුරු මොනවද?”

”ඒ ගැන වැඩි විස්තරයක් නෑ. සහෝදරයගෙ නම ආර්නෝල්ඞ් පායෝ. රෙනෝල්ඞ් පායෝගෙ වැඩිමහල් සොහොයුරා. කිඹුලාපිටිය පැත්තේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා කියල දැනගන්න ලැබුණා.”

”ඔය කියන ආර්නෝල්ඞ් පායෝ මොනවගේ ව්‍යාපාරයක්ද කරන්නේ?” ටෝනි වෙතින් නොනවතින ප‍්‍රශ්න වැලකි.

”ඒ ගැන තවම විස්තර ලැබුණේ නෑ.”

පොලිස් පරීක්ෂකවරයාගේ ක‍්‍රියාකලාපය පිළිබඳව නැවත නැවතත් කළකිරුණ ටෝනි බිම බලාගත්තේ හිස දෙපසට වනමිනි.

ලැබී ඇති අභියෝගයේ රස අමතක කළ නොහැකි නිසා ටෝනි නැවතත් හිස එසෙව්වේය. ඉන් පසු සේවකයන්ගේ ප‍්‍රකාශයන් ගැන උවමනාවට එපාවට මෙන් අසාගෙන සිටි ටෝනි එක්වරම පොලිස් පරීක්ෂකවරයා වෙත පැනයකින් දමා ගැසුවේය.

”තමුසෙ ඔය කියන්නෙ එදා ? දහය වෙද්දි සේවකයො තුන්දෙනාම නින්දට ගියා, බන්දුල කියන මිනිහා ගෙදරින් ගිය වග ඒ කවුරුත් දැක්කෙ නෑ කියන එක නේද?”

”හරියටම හරි.” පොලිස් පරීක්ෂකවරයා ටෝනිගේ අදහස සනාථ කළේය.

”හරි. මේ සිද්ධියට පහුවෙනිදා උදේ වෙද්දි රෙනෝල්ඞ්ගේ ගෙදර දොරවල් සියල්ලම නිසි පරිදි වහලා තිබුණු බවට සේවකයෝ සහතික වෙනව නේද?”

”ඔව්. ඒ ගැන ඔවුන් සහතික වෙනවා.”

”එතකොට දොරවල්වල යතුරු තියෙන්නෙ කාගෙ ළඟද?”

”එක යතුරු කැරැල්ලක් ප‍්‍රධාන සේවකයා සිරිපාල ළඟත් තවත් ඒ වගේම යතුරු කැරැල්ලක් රෙනෝල්ඞ් ළඟත් තිබිලා තියෙනවා.”

”ඔය අමතර යතුරු කැරැල්ල රෙනෝල්ඞ්ගේ කාමරයේ තිබුණද?”

”ඔව්, මම ඒක මේසෙ උඩ තියෙනව දැක්කා.”

”මේ කාරණාව ගැන හොඳට හිතලා උත්තර දෙන්න  ඕන, හරිද?” ටෝනි සීරුවෙන් තම ස්වරය බැ?රුම් කරන්නට විය. එයට හිස වනා ප‍්‍රතිචාර දැක්වූ පොලිස් පරීක්ෂකවරයා තමා වෙත ලැබෙන පැනය අපේක්ෂවෙන් මොහොතක් ගත කළේය.

”ඔය කාමරයේ තිබුණු ඇඳේ, දොර පැත්තට වෙන්න තිබුණු කොන් දෙකේ ඉහළට නෙරපු ගෝලාකාර බීරළු හැඩයක් තිබුණද?” ටෝනි හැකිතරම් පැහැදිලිව පැනය එක් වාක්‍යයකට ගොනු කළේය.

”දෙයියනේ… කොහොමද ඔබතුමා ඒක දැනගත්තේ?” වක්‍යය අවසන් වනවිට පොලිස් පරීක්ෂකවරයාගේ යටි හක්ක පපුවේ වදින ගාණට පහළට වැටී තිබුණේ ඇතිවුණු විස්මයේ තරම පෙන්වමිනි.

”හම්ම්… එහෙමනම් කරුණු සියල්ල පැහැදිලියි.” ටෝනි පැවසුවේ ජයග‍්‍රාහී ලීලාවෙනි. නමුත් එය පොලිස් පරීක්ෂකවරයාගේ සතුටට නොව, සැකයට සිත පෙළඹූ බව පෙන්වූයේ එකට යාවෙන්නට වලිකන දෙබැම සහ බාගෙට ඇරුණු මුවයි.

”සාමාන්‍යයෙන් මිනිහෙක් වරදක් කළාම ඒ මිනිහට විකල්ප දෙකක් තියෙනවා. එකක් වරද පිළිගන්න එක. අනෙක තමුන් නිවැරදි බව අනෙක් අයට ඒත්තු ගන්නවන එක. ඔය කාරණා දෙකම කරගන්න බැරිවෙන අවස්ථාවකදි තවත් විකල්පයක් තියෙනවා.” ටෝනි ඩයස් බොහොම බැ?රුම් කතාවකට මුලපිරුවේ හිස් අවකාශයට යොමුවුණු සුරතේ දබරැඟිල්ලෙන් ගැලීම් සටහන් අඳින අතරය.

ඒ අතර උදාසීනව බිත්තියට හේත්තු වුණු පොලිස් පරීක්ෂකවරයා හිස් බැල්මෙන් යුතුව බලා සිටියේය. වැඩි කතාවට යෑමෙන් තවත් වරක් බල්ලා මාක් එකට වැටීමට ඔහුට අදහසක් නැත. එහෙත් තමන්ට දැන ගැනීමට රුචියක් නොවන න්‍යායක් ගැන දොඩවන ටෝනිගේ මුවින්  ඕනෑම මොහොතක වැදගත් යමක් අසන්නට ලැබේ යැයි බලාපොරොතුවක් ඔහුගේ සිතේ නොතිබුණා යැයිද සිතිය නොහැකිය.

”ඒක තමයි ප‍්‍රශ්නයෙන් පැනලා යන එක. නමුත් ඒකටත් ක‍්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක‍්‍රමය තමයි කෙළින්ම චිත‍්‍රයෙන් අතුරුදහන් වෙලා තමුන් පැනලා ගිය වග ලෝකයටම දැනෙන්න ඉඩ හරින එක. දෙවනි ක‍්‍රමය තමයි චූදිතයා තවත් ප‍්‍රශ්නයක වින්දිතයෙක් විදියට චිත‍්‍රයෙන් අතුරුදහන් වෙන එක.” ටෝනි බොහොම බැ?රුම් ලෙස කියාගෙන ගියේය.

”මට නම් තවම ඒ කිසිම දෙයක් මේ ප‍්‍රශ්නයේදී පේන්නෙ නෑ. මේක තනිකරම අවුල් ජාලාවක්.” මිමිනීමකට සමාන වදන් පෙළ නිකුත් වූයේ පොලිස් පරීක්ෂකවරයා වෙතිනි.

ටෝනි හුන් අසුනෙන් නැගිට්ටේය. නමුත් ඔහුට එතැනින් එහා ඇවිද යාම අවහිර කළේ දෙපයේ රැඳුණු විලංගුය. නමුත් ඔහුගේ මුවේ රැඳුණු ජයග‍්‍රහණයේ ආලෝකයට ඉන් දශමයක හෝ බාධාවක් නොවිණ.

”මම හිතන්නේ ඇතුළෙන් අගුළු දාපු කාමරයක හිටපු මිනිහෙක් අතුරුදහන් වෙන ක‍්‍රමයක් ඔබතුමා දන්නව ඇති. නමුත් මට ඒක තේරුම් ගන්න බෑ.” පොලිස් පරීක්ෂකවරයා බැරිම තැන පැවසුවේ ටෝනිගේ විසඳුම නොපමාව දැනගැනීමේ අටියෙනි.

”හොඳයි එහෙම නම් මේ ප‍්‍රශ්න ටිකටත් කල්පනා කරලා උත්තර දෙනවකො. මම දැන් කියන සමහරක් දේවල් තමුසෙ මට කියපු දේවල් නෙවෙයි. ඒ නිසා හොඳටම කල්පනා කරලා උත්තර දෙනවා. හරිද?”

පොලිස් පරීක්ෂකවරයා හිස වනා එයට එකඟතාව දැක්වූයේ ඔහු වෙත වෙනත් විකල්පයක් නැති හෙයිනි.

”ඉස්සෙල්ලාම මේ කාරණා දෙක මතක ඇතුව හොයලා බලනවා.” ටෝනි දබරැඟිල්ල ලෙළවා පැවසුවේ අවධාරණාත්මක ස්වරයෙනි.

”පළවෙනි එක. ජනේල යකඩ ග‍්‍රිල් අල්ලපු ඒවා නිසා තමුසෙ ජනේලයෙන් පිට බිම් තීරුව පරීක්ෂා කළේ නෑ. දැන් ගිහින් බලනවා එතැන. අනිවාර්යෙන්ම කාමරයේ ජනේලයට ළං වෙන්න පුළුවන් ආධාරකයක් පාවිච්චි කරපු බවට සාක්ෂි එතැන තියෙනවා.” ටෝනි විශ්වාසයෙන් යුතුව කියාගෙන යන ස්වරූපය දෙස පොලිස් පරීක්ෂකවරයා ඇසිපිය නොහෙලා බලා සිටියේ කොප්පරා එළියට ගිනිකණ වැටුණු හාවෙකු මෙනි.

”දෙවැනි කාරණය මේකයි. රෙනෝල්ඞ් මාළු ඇල්ලීම විනෝදාංශයක් විදියට කළා නම්, මිනිහගෙ ගෙදර අනිවාර්යයෙන්ම බිලී පිත්තක් හරි කීපයක් හරි තියෙන්න  ඕන. ඒ වගේම දැන් ඔය ගෙදර තිබුණු බිලී පිති ගණනින් එකක් අනිවාර්යයෙන්ම අඩුවෙලා තියෙන්නත්  ඕන.” ටෝනි ඇහිබැමි නටවමින් කතා කරගෙන යන අතර පොලිස් පරීක්ෂකවරයා ගල්ගැසී බලාසිටියේය.

”තමුසෙ මට කලින් දවසෙ කිවුව විදියට කාමරය ඇතුළෙන් අගුළු දාලා තිබුණේ යතුරුවලින් විතරක් නෙවෙයි, පැත්තට තල්ලූ කරලා අගුළු දාන සරල අගුළකිනුත් කාමරය අගුළු දාලා තිබුණා… මම හරිද?”

”ඔ… ඔව්…”

”ඒක බොහොම සුමටව වැඩ කරන අලූත්ම අගුළක්. එතකොට ඒ අගුළේ දැලි බැඳුණු ගතියක් තිබුණා. නමුත් ඇඟිලි සලකුණු මොනවත් තිබුණේ නෑ… මම හරිද?”

”හරියටම හරි.”

”විදුලි පංකාවත් උපරිම වේගයෙන් වැඩ කරලා තිබුණා. ඒ නිසා මදුරු දඟරයේ අළු ටිකවත් රඳවනය යට තිබුණේ නෑ.”

”ඔව් ඒකත් හරි.”

”එතකොට සිවිලිමේ සැරසිලි එල්ලන්න නූල් හෝ කම්බි පාවිච්චි කරලා තියෙන්න ඇති. මම විශ්වාස කරනවා ඒ වැඬේට නූල් යොදාගන්න ඇති කියලා. වැදගත්ම කාරණය ඒ හැම නූලකම සැරසිල්ලක් තියෙන්න නැතුව ඇති. විශේෂයෙන්ම කාමරයේ දොර සහ ඇරලා තිබුණු ජනේලය අතර කොටසේ…”

ඇස් එහෙ මෙහෙ නටවා මතකය අවදි කළ පොලිස් පරීක්ෂකවරයාගේ දෑස් එළියට පනින තරමට ලොකු විය.

”දෙයියන්ගෙ නාමෙන් කියනවද මේ දෙවල් ඔබතුමා දැක්කෙ කොහොමද කියන එක…” වචන තුළ තිබුණාටත් වඩා විශ්මයක් පොලිස් පරීක්ෂකවරයාගේ ස්වරයේ ගැබ්ව තිබුණි. එය ටෝනි තව තවත් උද්දාමයට පත් කළේය. සිනහමුසු මුහුණෙන් මොහොතක් ගත කළ ටෝනි නැවතත් ඔහුගේ ඉන්ද්‍රජාලික කතාව ඇරඹුවේය.

”එහෙම නම් මෙන්න මෙහෙමයි ඔය සිද්ධිය වුණේ. හොඳට අහගන්නවා.” ඇඟමැලි කඩන බවක් පෙන්වූ ටෝනි නැවතත් අසුන් ගන්නා අතර පොලිස් පරීක්ෂකවරයා තවමත් බාගෙට ඇරුණු මුවෙන් යුතුව බලා සිටියේය.

”රෙනෝල්ඞ් පායෝ ෆෝර්ට් බැකුවේ වැඩ කරන අතර සැලකිය යුතු තරමේ මුදලක් වංචා කරනවා. ඒ වරදේ ප‍්‍රතිඵල මිනිහව හොයාගෙන එන වගත් මිනිහා දැනගෙනමයි ඒ වැඬේ කළේ. ඒ නිසා මිනිහා මේ සිද්ධියෙන් ටිකක් වහං වෙන්න සැලසුමක් හැදුවා… ඒ ටික පැහැදිලිද?”

”ඒක එහෙමයි කියල හිතමුකො. ඒත් කොහොමද මිනිහා ඒක කළේ?” ටෝනි ඇරඹූ කතාන්දරය කෙරේ පොලිස් පරීක්ෂකවරයා එතරම් විශ්වාසයක් නොතබන බව ඒ වචන තුළින් දැනුණි.

”මිනිහා ඒ සැලසුමට අනුව ගෙදරට ගෙන්න ගන්නේ අවුරුදු ගාණකින් නොදැකපු, පොලීසියට හොඳින් හුරුපුරුදු නමක් තියෙන සහ කුලී රථ රස්සාව කරන යාළුවෙක්. ඒකට යොදාගන්නේ ගෙදර සියලූම සේවකයින් නින්දට යන්න කලින් වෙලාවක්. ඒ වගේම ඒ යාළුවා ගෙදරින් යන්නේ සියලූම සේවකයින්; එහෙම නැත්නම් රෙනෝල්ඞ් පායෝ හැරුණාම ගෙදර හිටපු අනෙක් හැමදෙනාම නින්දට ගියාට පස්සේ. තවත් විදියකින් කියනවා නම් බන්දුල ඒ ගෙදරින් තනිවම පිටත් වුණා කියන්න තියෙන එකම සාක්ෂිය බන්දුලම තමයි.”

”බන්දුල මෙතැන මැර වැඩක් කරලා රෙනෝල්ඞ් පැහැරගෙන ගියා වෙන්න බැරිද?” පොලිස් පරීක්ෂකවරයා නොපමාව සිත තුළ නැගුණු පැනය ඉදිරිපත් කළේය.

”එතකොට කවුද අර කාමරයේ දොර අගුළු දාන්නේ?” ටෝනි පැනයට පැනයකින්ම පිළිතුරු දුන්නේය. එම පැනය පොලිස් පරීක්ෂකවරයාගේ කට තාවකාලිකව වසා දැම්මේය.

”බන්දුලට සමුදෙන රෙනෝල්ඞ් නැවත කාමරයට එන්නෙ එයාගෙ බිලී පිත්තත් එක්ක. ඒ වෙනකොට මදුරු දඟරය දල්වලා තිබුණෙ නැත්නම් ඒකත් ඒ වෙලාවේ දල්වන්න ඇති. ඊට පස්සෙ විශේෂ නූලක් අර පැත්තට තල්ලූ කරන දොර අගුළේ ගැට ගහනවා. ඒ නූලේ අනෙක් කෙළවර ගැටගැහෙන්නේ බිලී පිත්තේ නූලටයි. බිලී පිත්ත තියෙන්නේ ජනේලය ළඟ. හැබැයි ඒකෙ නූල ගමන් කරලා තියෙන්නේ ඇඳේ රවුම් බීරළුවක් වටේ ගිහින් අර අගුළේ ගැටගහපු විශේෂ නූල පැත්තට… ඒ ටික පැහැදිලිද?” ටෝනි එක් ඇහිබැමක් ඉහළ යවා පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසීය.

”ඔහ්… ඇඳ බීරළුවක් වටේ බිලී පිත්තට යන නූලකින් මිනිහට කාමරයේ දොර ජනේලයෙන් එපිට ඉඳන් වහගන්න පුළුවන් තමයි. ඒත් ඒ නූලට මොකද වුණේ? එහෙම නූලක් මට නම් දකින්න ලැබුණේ නෑ.” පොලිස් පරීකෂකයා වෙතින් තවත් පැනයකි. එයට සිනහවකින් පිළිතුරු දුන් ටෝනි නැවත කතාව ඇරඹුවේ පෙරත් වඩා ජවයකිනි.

”ඔය කියන විශේෂ නූල තිබුණේ බිලී පිත්තත් දොර අගුළත් අතර විතරක්ම වෙන්න බෑ. ඒක තවත් තැනක තිබිලා තියෙනවා. අන්න ඒකෙන් තමයි තමුසෙලගෙ ඇස්වලින් ඔය කියන නූල සම්පූර්ණයෙන්ම වහං වුණේ.”

ටෝනි කියන්න උත්සහ කරන්නේ කුමක්දැයි නොදත් පොලිස් පරීක්ෂකවරයා පොල්ගස් නැගීම ඔන්ලයින් ප‍්‍රගුණ කිරීමට වෑයම් කරන එස්කිමෝවරයෙකු මෙන් ටෝනි දෙස බලාසිටියා මිස කිසිත් නොපැවසීය.

”ඒ දෙවනි නූල සම්බන්ධ වෙන්නේ සිවිලිමේ සැරසිලි එල්ලලා තිබුණු නූලකට හෝ දෙකකට. හරියටම දොරත් ජනේලයත් අතර සහ දොර පැත්තට කිට්ටුම තැන තියෙන සැරසිලි එල්ලන්න යොදපු නූල මේ වැඬේට යොදාගන්න ඇති.”

”එතකොට කොහොමද ඔය නූල අතුරුදහන් වුණේ?” පොලිස් පරීක්ෂකවරයා තවමත් නූලක පැටලී සිටියේය.

පොලිස් පරීක්ෂකවරයාගේ පැනය ගැන තැකීමක් නොකළ ටෝනි පියවරෙන් පියවර සිද්ධිය ගොඩනගාගෙන ගියේ හොඳම කොටස අවසානයට තබා ගනිමිනි.

”ඔය කියන විදියෙ ඇටවුමක් හදාගන්න රෙනෝල්ඞ්, බිලී පිත්තේ නූල අවශ්‍ය ප‍්‍රමාණයට බුරුල් කරලා, ලේ බිංදු කීපයකුත් මේ චිත‍්‍රයට එකතු කරලා, කාමරයෙන් එළියට ගිහින් යතුරු අගුළෙන් කාමරය අගුළු දානවා. ඊට පස්සෙ රෙනෝල්ඞ් එන්නේ විවෘත ජනේලය ළඟට. ඒ කාමරයට පිටතින්. අන්න ඒකට මිනිහා අනිවාර්යයෙන්ම ඉනිමඟක් පාවිච්චි කරන්න ඇති. ඒ නැතුව මිනිහට ඔය කියන ජනේලෙට කිට්ටු වෙන්න ලැබෙන්නෙ නෑ.” ටෝනි පවසන අතර පොලිස් පරීක්ෂකවරයා තම සටහන් පොත අතට ගෙන එය පෙරළන්නට පටන් ගත්තේය.

”ජනේලය ළඟට එන රෙනෝල්ඞ් මුලින්ම කරන්නෙ බිලී පිත්තේ නූල කෙටි කරන එක. ඒකෙන් තමයි පැත්තට තල්ලූ කරන අගුළ ක‍්‍රියාත්මක වෙන්නෙ. ඊට පස්සේ නූල ටිකක් බුරුල් කරලා අර බීරළුව වටේ ගිය කොටස එතැනින් නිදහස් කරගන්නවා. ඊට පස්සෙ නූල ආයෙමත් බුරුල් කරනවා… එහෙම කළේ ඇයි දන්නවද?” ටෝනි ඇස් හීන් කර පොතට එබුණු පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසුවේ ඔහුගේ අවධානය තිබෙන්නේ තවමත් තමාගේ කතාව වෙතටද යන්න සැකහැර දැනගැනීමට මෙනි.

”සමහරවිට නූල ලෙහාගන්න වෙන්න ඇති.” එක්වරම කටට පැමිණි දේ කියා දමා ඔහු නැවතත් සටහන් පොතට එබුණි. ඒ සමඟම ටෝනි කොක් හඬලා සිනාසෙන්නට වූයේය.

”වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි.” සිනහව තවත් වරක් ආයාසයෙන් නවතාගත් ටෝනි පැවසුවේ තමුන් ලියූ සටහන් අතර තමන්ටම මඟහැරුණු දත්ත සොයන පොලිස් පරීක්ෂකවරයාට ඔලොක්කුවට මෙනි.

”නූල බිලී පිත්තෙන් බුරුල් කළාම ගැටය තවත් කාමරය ඇතුළටයි යන්නේ. ඒකෙන් නූල් දෙක වෙන් කරගන්න ලැබෙන්නෙ නෑ. එහෙම කළත් ඔය නූල සාක්ෂියක් විදියට කාමරයේ ඉතුරු වෙනවා. නමුත් තමුසෙ එක කාරණයක් හරියටම අනුමාන කළා. ඒක තමයි බිලී පිත්ත මේ නූලෙන් නිදහස් කරගන්න  ඕන කියන එක. ඇත්තටම නූල බුරුල් කිරීමෙන් රෙනෝල්ඞ් කරගන්නෙත් ඒකම තමයි. හැබැයි ටිකක් වෙනස් විදියකට.”

”ඒ කිවුවේ?”

”මිනිහා නූල බුරුල් කරන්නේ මදුරු දඟරයේ දැල්වෙන පුළිඟුවේ ගැටෙන්නයි. ඊට පස්සෙ නූල බිලී පිත්තේ තංගුස් නූලෙන් නිදහස් වෙනවා විතරක් නෙවෙයි, නූල විසින්ම නූල අතුරුදහන් කරනවා.”

”මොනවා…” පොලිස් පරීක්ෂකවරයාගේ දෙනෙත සටහන් පොතෙන් පිටට ආවේ අදහාගත නොහැකි තරමේ විශ්මයකින් විසල් වෙමිනි.

”ඔව්, මිනිහා ඒකට පාවිච්චි කරන්නේ ගිනිකෙළි සඳහා යොදාගන්න වෙඩි නූලක්. ඒක බිම දිගේ දැල්වුණා නම් මිනිහගෙ සැලසුම් වතුරේ යන නිසයි සිවිලිමේ නූල්වල සහය ගන්න රෙනෝල්ඞ් කියන කපටියට සිද්ධ වෙන්නෙ.” ටෝනි සිය කතාව අවසන් කළේය.

”දැන් මට සියල්ල පැහැදිලියි. විදුලි පංකාව නිසා වෙඩි නූලේ දැල්වුණු කොටස් විසිරිලා යනවා. ඒ වගේම බිලී පිත්ත ආධාරයෙන් යතුරු කැරැල්ලත් මේසයට යවන්න මිනිහට පුළුවන්. ඒත් මට එක ප‍්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කොහොමද මේකට වෙඩි නූලක්ම යොදාගත්තයි කියන එක කියන්නෙ?” පොලිස් පරීක්ෂකවරයා අවසන් පැහැදිලි කිරීම බලාපොරොත්තුවෙන් දෑස් දල්වාගෙන බලා සිටියේය.

කාරණා දෙකක් නිසා

1 අගුළේ තිබුණු දැලි ලකුණ.

2 කිඹුලාපිටිය.

කිඹුලාපිටිය කියන්නේ මේ රටේ ගිනිකෙළිවලට ප‍්‍රසිද්ධම ප‍්‍රදේශය.

තවත් එක කාරණයක් තමුසෙට මම කියන්නම්. ඔය රෙනෝල්ඞ් කියන මිනිහා තමුසෙලට අල්ලගන්න ලැබෙන එකක් නෑ. මිනිහා දැනටමත් වෙනත් නමකින්, වෙනත් රටක ඉන්නවා ඇති. තව අවුරුදු ගාණකට මිනිහා මේ පැත්තක්වත් බලන එකක් නෑ.”

ටෝනිගේ අවසාන වචන කීපයෙන් තරමක පසුබෑමකට ලක්වුණු පොලිස් පරීක්ෂකවරයා ඔහුට ස්තුති කර කුටියෙන් පැමිණියේ පිටතින් සිටි පුද්ගලයෙකු දොරගුළු හැරදීමෙන් අනතුරුවය. ඒ දොරගුළු හැරියේ ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියෙකි.

”පොලීසියට මොනවද මේ අධි අවදානම් හැසිරීමක් සහිත මානසික රෝගියෙක්ගෙන් ඇති වැඬේ? මිනිහා කලින් පොලිසියේ හිටපු ලොක්කෙක්ද?” කුටියේ දොර නැවත අගුළු දමන අතර ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියා විමසුවේ තමා පසුකර යාමට සැරසුණු පොලිස් පරීක්ෂකවරයාගෙනි.

නැවත හැරුණු පොලිස් පරීක්ෂකවරයා දොර අසල සිටි ආරක්ෂකයා වෙත පැමිණියේය.

”තමුසෙගෙ පළවෙනි ප‍්‍රශ්නෙට උත්තරේ: උඩටම යන්න හීන දකින පොලිස්කාරයෙකුට විසඳන්න ලැබෙන සමහර ප‍්‍රශ්න පියවි සිහියෙන් ඉන්න එකෙකුට විසඳන්න තියා හිතන්නවත් බැරි තරම් සංකීර්ණයි. ඒ නිසයි මම ප‍්‍රශ්නය අරගෙන පිස්සෙක් ළඟට ආවේ. දෙවනි ප‍්‍රශ්නෙට උත්තරේ: සෝමසිරි ප‍්‍රියරත්න එහෙම නැත්නම් දැන් මේ කාමරයේ ඉන්න මිනිහා හඳුන්වාගන්න විදියට ටෝනි ඩයස් කියන්නේ පරණ පොලිස්කාරයෙක් නෙවෙයි. මිනිහට පිස්සු හැදෙන්න කලින් කරණවෑමියෙක් විදියටයි වැඩ කරලා තියෙන්නෙ.” ආරක්ෂකයාගේ ප‍්‍රශ්න සියල්ලට පැහැදිලි මෙන්ම ඍජු පිළිතුරු දුන් පොලිස් පරීක්ෂකවරයා එතැනින් පිටව ගියේය.

 

READ THE
NEXT STORY > >