අනෝරා වැහි හීන
කල්පනී මුතුකුඩ

අනෝරා වැස්ස ඉවරයක් උනා පමණි.නමුත් ගෝරනාඩුව නම් තවමත් අවසන් නැත.

“උඹට මං ගැන වත් හිතන්න තිබ්බා සුද්දී එහෙව් හිතුවක්කාරකමක් මොකට කොරන්ට ගියාද “

අත්තම්මා ගැන හිතලා තමයි යනුයි මුමුන ගෙනම නොනවත්තාම ගේ තෙමන තැන් වලට තියාපු භාජන වල වතුර හිස් කරගෙන ගියෙ මගේ හිත අස්සෙ වාගේම හිස් කමකනි.

“අර රිද්මි කෙල්ලට පින් සිද්ද වෙන්න දැනගත්තේ.උඹට වටින්නෙ නැති උනාට ඉස්කෝලේ නෝනා හම්බ උනාමයි මට අගේ කීවේ .හැබෑටම කට නැද්ද සුද්දියෙ මං මෙච්චර කියවද්දිත් ?  “

කොන්ද උස්සා ගේ හරිය බැලිමි.තැනින් තැන හට්ටි මුට්ටී සේරගේම වතුරයි . ඒ අස්සෙන් අත්තම්මා එක එල්ලේ බලා හිදින්නෙ දුම්මල වරම අතට ගෙනයි.

” අවුරුදුම හතරක් පහක් ආයේ අත්තම්මට නැහෙන්න පුලුවන් ඇයි.මේ ඉගෙන ගත්තා මදැයි.අපි දෙන්නට ජීවත් වෙන්න පුලුවන් විදිහට අතට  ගානක් එන රස්සාවක් මං බලලයි තියෙන්නෙ.ඒකෙන් පස්සෙවත් අත්තම්ම ගෙදර ඉන්න.ඔය මදැයි මාත් ඉගෙන ගත්තා”

ඈ අවුරුදු ගණනාවක් මා වෙනුවෙන් ඇගේ ජීවිතය දිය කර හැරියා දැන් ඇතිය.සරසවි හීනය උපන් ගෙයිම වලදාන්නට තීරනය කලේද එබැවිනි.කෙසේ හෝ ඒ බව ඈ දැනගන්නටද ඇත.

“ඉස්කෝලේ නෝනා කීවේ ගමේම හොදම ප්‍රතිපලේ කියලා.අනේ මට වාවන්න බැරි උනු තරමක්.උඩ පැනලා නටන්න හිතුනා පැංචියේ මට.ඇයි මට නොකීවේ. මේ නාකී ගෑණී ගෙන් දැන් වැඩක් නැද්ද මයෙ අම්මා.”

එවර බැනුම් හැඩීමට පරිවර්තනය වූයෙ ක්ශනයකිනි.මට මෙලොවෙන් පෙන්නනම බැරි දේ ඇගේ කදුලුය.ඒ බව ඇයද හොඳින්ම දනී.මේ තරම් දෑ එවිටයි.

“අත්තම්මේ මට තවත් ඔහොම දුක් විඳිනවා බලන්න  බෑ. දැන් බනක් භාවනාවක් කරන් ඉන්න කාලේ ආපහු ගෙවල් වල බැල මෙහෙවරකන් කරනවා බලන් ඉන්න බෑ මට.”

ආවේගය පිට කිරීමට නොහැකිව ලැතැවුනෙමි.ඇයට මෙය කෙසේ පහදම්දෝ.

“ඔය අවුරුදු තුන හතර මොකක්ද මයෙ සුද්දියෙ . අර මාධවී නොනලෑ ගෙදර තියෙනව වගේ කලු පාට කෝට් එකක් ඇදපු රාමූ කරපු පින්තූරෙකුත් අපි ගමු මයෙ අම්මා.උඹ මෙච්චර දුක් විදපු එකේ ඔය ටිකත් මට මහ දෙයක් නෙමෙයි.උඹ ලොකු නෝනා කෙනෙක් උන දාට මට මැරුනත් කමක් නෑ.”

ඇගේ කඩතොලු වූ වියපත් අතක් මගෙ මූන මතයි.ඒ සුවදවත් පපුව ඊලග මගේ නැවතුම වන බව මම දන්නෙ අත්දැකීමෙනි.

මේ මා වටා බැදි දෙඅත් වෙනුවෙන් මට කළ නොහැක්කක් නොමැත.රෑ නිදි වරමින් පාඩම් කලේද දහසකුත් අග හිග කම් දූවිලි ගානකට දමමින් උසස් පෙල ලියූවේද මැය රැජිනක් කරලීමටයි. තිබ්බේ එකම හීනයකි ඒ උසස්පෙළයි.දිස්ත්‍රික් කුසලතාවයක් එක්කම හොදම ප්‍රතිඵලයක් අරගෙන හීනයක් හැබෑ වීමේ සතුටක් නොදැනුනෙ ඇයිදැයි නොදන්නෙමි.

ඉදින් මා ඇගේ හීන වෙනුවෙන් හිතින් සැලසුම් ඇන්දේ මොනවදෝ කියමින් පාරට බහිනා අත්තම්මා දෙසද බලමිනි.

ඔය යන්නේ හන්දියට නොව ගමේ හමුවන්නන්ට ඇගේ මිනිබිරියගේ හපන්කම පවසන්නට බව මතක් වී සිහින් හිනාවක්ද ඇදිනි.

ගේ දොරකඩ නාරං ගහේ කැදැල්ලෙ න් කුරුල්ලෙක් පියඹා යයි.ආපහු මොනවදො කටෙන් පුරවන් විත් පැටවුන්ගෙ බඩ කට පුරවයි.වතුර භාජන ටික මිදුලට හලන අතරතුරෙ මගෙ නෙත ගැටුනි.

ඊලග දවස ඉරිදා දිනයක් වූ බැවින්  මා උන්නේ දහම් පාසල් දරුවන්ට උගන්වමිනි. එක් දිනකින් සියලු පොඩිහිටියන්ගෙ වීරවරිය මා බවට පෙරලුනේ කෙසේදැයි මටම ගැටලුවකි. ප්‍රශ්න කෝටියකි.විශ්වවිද්‍යාලයට ගිය පසු අනෙක් අය මෙන් මෙහි එන්නෙ කාලෙකට සැරයක්දැයි අහයි. තවමත් නොගිය විශ්වවිද්‍යාලයක් ගැන කියා දෙන්නැයි කියයි. අද පොතෙ පතේ කවි ගැන මතක වත් නැතුවාක් මෙනි සියල්ලන් මා වටා දැවටෙමින් සුදු සාරි පොටේ එතෙයි . දිගු කොන්ඩ කරල අදිමින් වෙන්දාටත් වඩා දොඩමළු වේ.අයෙක් දෙන්නෙක් අයිතිය පාන්නට මෙන් ළඟින් හෙල්ලෙන්නෙ නැතිය. දිස්ත්‍රික් රෑන්ක් එක යනු කුමක්දැයි අසයි.  එක කොල්ලෙක්ට දැනටමත් ඉංජිනේරුවෙක් වන්නට උවමනාය.තවත් ගෑනු ළමයෙක් දොස්තර කෙනෙකි .තවත් කෙනෙක් ගුරුවරයෙකි.සියල්ලන්ටම එක රැයකින් හීනයක් දුන්නේ මා බව දැනී හීන් සතුටක් මෝදු විය.

මට මතක් වූයේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගෙ සෙංකොට්ටන්‍ ය.එහි බබා හේනයා දුටු හීනය මෙනි.පිරිසක් කර මතින් තියන් යන බබා හේනයත් ඒ දිහා බලා ඉගෙන ගන්නා දෙපස පිරිසත් මට ඒ අස්සෙන් අහේතුකව මැවී පෙනිණි.

උදෑසන ලොකු හාමුදුරුවන් පැවසූ දෙය මගේ මතකයේ කැකෑරුනි.අත්තම්මගේ සිහින ඇත්තේ මා ළගයි ඇගෙ මුලු ලොවම මා වන විට මොන බාධක ආවද තව ජීවිතය ඇදගෙන යාමට මට සිතිණි.උන්වහන්සේද කිහිප වරක් ඇවිටිලි කරේ සරසවියට යන ලෙසයි . දැනටමත් පන්සල් වත්තේ පැවැත්තෙන උපකාරක පන්ති දෙකට අමතරව තව දෙතුන් තැනක් මට එක්වර කරගෙන යාමට දැනටමත් හිතවතුන් කිහිප දෙනෙක්ම පොඩි හාමුදුරුවොත් දැනුම් දුන්නේ මහත් වූ කරුණාවකිනි. උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා යන්න ද සනාථ කරමින් උදේ පටන් කිහිප දෙනෙක්ගේම පැසසුම මම නිහතමානීව පිලිගතිමි.පුරුද්දට මෙන් සැලෙන බෝ කොළ දෙස නොසැලී බලා හිදියෙමි.

මිහිරි කවි හඩට බෝ කොළ වල සද්දය එක් වී අමුතුම හඩකි.ඒ මත්තට හදුන් කූරු සුවදද මුසු වී ඇති හැඩය.දෑස් වැසූ කළ සියල්ල සන්සුන්‍ ය. මෙතෙක් පහු කරන් ආ සියලු දෑ සිහිනයක් මෙනි.

“සවිතමා”

ගැස්සී ගොස් පිටුපස බැලුවෙමි.ඒ තරම් ලස්සනට මගේ නම කියන්නට පුලුවන් පුද්ගලයා දෙස මොහොතක් බලා සිටියෙමි.අත්තම්මා හැරෙන්නට මගේ කියා හිතෙන් පමණක් ලියා සිටි තරුණ කොලුවා ඉදිරියේ නිහඩවම හිදියෙමි.

“සවිතමා නංගි ඉස්සෙල්ලම මට ප්‍රතිඵල කියයි කියලයි මං හිතුවේ.ඒකට කමක් නෑ අපේ කැම්පස් එකටම එන්න බැරියෑ.උඩින්ම  අපේ එක දායි කියලා මං බලාපොරොත්තු වෙනවා.තාම රෙජිස්ටර් වෙන්න ආවෙ නෑ නේද “

මම නැතැයි යනුවෙන් හිස එහෙට මෙහෙට කලේ ඔහුගෙ මුහුනේ ඇදී ඇති හැගීම් කෝටිය කියවමිනි. අද වෙනදාටත් වඩා පහන් එලි විහිදුවමින් බැබලේ.

ඉදිරියක් නැති ඉදිරියක් ගැන සිතීමටත් විටෙක මට බිය සිතුණි.නමුත් මේ මොහොත මටත් හොරා මා සිහින දැකි මොහොතවල්‍ ය.

උදව් කළ ඔහු හට ස්තූති කිරීම යුතුකමකි .

” අයියාගෙ නෝට් ටිකයි පාස්ට් පේපර්ස් ටිකයි නිසා තමයි කරගත්තේ. අලුත්ම ටියුට් ටිකකුත් තිබ්බනෙ.අයියගෙ අකමැත්තක් නැත්තම් මං ඒ ටික ගමෙ පුස්තකාලෙ ට දෙන්නද ? “

ඒ මං මොනවදො ඇහුවෙ? හිතේ තියෙන දෑ මොහු ඉදිරියෙ කෙසේ ගොළු වේද විටෙක නිවැරදි ඉලක්කයටම කතා කල හැකි මටම සිතේ.

” ඔයාගෙ කැමැත්තක් ඉතින්.මේ මගෙන් පොඩි තෑග්ගක්.මේක ගත්තට කමක් නෑ මේ මං හම්බ කරපුවා පාට් ටයිම් කිහිපයක් කරලා”

පුදුමයක් නැත . ඔහු මා හිත කියවනා බව දනිමි.නිහඩ කතා කොයිතරම් කීවද ඒ සියල්ල ඔහු හැදිනයි.මගෙ අත ගුරු ගීතය පොතයි.මෙය මගෙ ප්‍රියතමයයි.

” මම දුයිශෙන් කෙනෙක් නම් නෙමෙයි.” යන්තමින් අතැගිල්ලක් මගෙ අත මත තබා ඔහු ගියේය.

මග දිගටත් මේ අලුත්ම හීනය තුළ මම ඇවිද ආවෙමි.ඉදිරිය සැලසුම් කිරමින් මුදල් ඉතිරිය ගැනත් සරසවියට අයදුම් කිරීම ගැනත් සැලසුම් කරලිමි.උපදෙස් ගැනීමට මට හිතවත් ගුරුමවු පියවරු කිහිප දෙනෙක්ම හිතට ආව ගියහ.හෙට උදෑසනම  ඒ හමුවට යන්නට සිතා ගත්තෙමි.

ගුරු ගීය නහයට ඇල්ලුවෙමි.අලුත් පොත් සුවදට වඩා මට දැනුනේ ඔහු සුවදය.රන්දද,  මම පොතට උහුගේ නම මිමිනුවෙමි.

” ආ කෙල්ලේ.. උසස් පෙලත් පාස් කියලා ආරංචියි.ආන් උඹව කැම්පස් යවන්න ඕනේය කිය කිය උඹලයෙ ආච්චි අම්මා ගම පුරාම යනවා “

” ඔව් නැන්දේ ” මම බොහෝ පරිස්සම් කතා බහක් ගෙන යන්නට මුල පිරුවෙමි.

” අපේ රන් ආවා කැම්පස් එකේ නිවාඩුය කියලා.ආන් ගියා පන්සලට ගිහින් අර නඩේ හම්බ වෙන්න.මං ඒත් කිව්ව දැන් දොස්තරනෙ ගැලපෙන මිනිස්සු ආස්සරෙ කරන්න කියලා.කොල්ලටම කියලා වැඩක් නෑනෙ බන් ඔය කොහොම ඉගෙන ගත්තත් හිටියත් ඕකුන්ට පුලුවන්ද අපි එක්ක පෑහෙන්න . ආ නැද්ද කෙල්ලෙ? දැක්කෙ නෑ අපෙ රන් එහෙම පන්සල පැත්තේ ආවා? “

ඈ නොකියා කියන කතාව නොතේරෙන්නට තරම් මා ළාමක එකියක් නොවුණි . තවත් තදින් ගුරු ගීය මා ළයට තුරුලු කරගත්තෙමි.රන්දද ඇගේ පුතුන් ගේ සුවද මා ළඟ බව ඈට ඉව වැටුනේ දැයි සැකයක් නැත.

” දැක්කා නැන්දේ ” මා හිස් හිනාවක් පෑවෙමි.

” ආ ඔබලෑ ආච්චි අම්මට කියාපන්කො හවසට ඒ පැත්තෙ එන්ඩ කියලා.කැවිලි පෙවිලි ටිකකුත් හදාගන්ඩ ඔනි රන් ට ගෙනියන්ඩ.”

ඈ පැවසූයේ අපේ පරතරය පෙන්වන්නටාක් මෙනි.

ඇය ගියේ කුරුලු කූඩු වලට ගල් ගසනා කොල්ලන් රෑනක් ද එළවා දමා ඔවුන්ටද බැන වදිමිනි.

එදෙස බලමින් මට කළ හැක්කෙ සුසුම් හෙලිම පමණි.

කඩුල්ල ළඟදීම අත්තම්මා කාට හෝ බනිනවා ඇසේ.මිදුලේ නැවැත්තූ බයිසකලයෙන් ඒ මාමා වියයුතු යැයි මම අනුමාන කලෙමි.

” උඹ ඉල්ලපු විදිහට සුනිල් මේ ගේ දෙන්ඩ බෑ .මං ඉන්න කන් මායි කෙල්ලයි වැටිලා ඉන්ඩ තියෙන තැන මේ.අනික මේකිට ඉන්නෙ මං විතරයි උඹලා බලනවා ඇයි.දැන් මේ ලොකු නෝනා කෙනෙක් වෙන්ඩත් ඉන්න එකේ කෙල්ලට ගෙයක් දොරක් තියෙන්ඩ ඕනී .”

මාමා හිත හොදින් නොවන බව මං දනිමි.මේ කතා වලට මැදිහත් වීත් බැරිය .නොවීත් බැරිය.කාමරය වෙත ඇදුනේ  අත්තමාගෙ උස් හඩවල් දෙක තුනකට පසුව බයිසිකලය පිටත් වන විටය.

” උන්ට ගියපු රට මයෙ සුද්දි .උන් මේ ගේ ගන්න හැටි බලමුකො.ඔව්ව හිතන්නෙ නැතුව බලාපන් මයෙ අම්ම විශ්වවිද්‍යාලෙ යන්ඩ මොනාද ඕනී කියලා.අනේ මට සතුට.ගමේ දෙතුන් දෙනෙකුත් ඇහුවා අද.මං කිව්ව මයෙ කෙල්ලගෙ වරුණාව උන්ට.”

විටින් විට ඇගේ හැගීම් මාරු වේ.

විටෙක කවි කියයි. කොහෙන්දො ඇසුණු කවියක් හවසට තේ කහට ටිකකට මුසු වේ.ඒ අස්සෙන් ඈ දඹදිව වන්දනාවෙ යැවිය යුතු බව සිතට එබී බලයි.

“දීපෙ දේසේ උපදින කුල කොතන බලා

කෝපේ නොවී මව්පිය කවුද විමසාලා

රූපේ කවුද සරණෙට මට සිතා බලා

දීපේ උතුම් දඹදිව දිවසින් දැකලා “

කාලය පියඹලා ගියේත් අත්තම්මගෙ හැගීම් ගලන වේගෙනි.වෙනදා නොමැති කල එලියකින් දුව පනින්නේ කෙල්ලක් වාගේය.රාත්‍රියට ඇයට තුරුලු වී නිදමි.එවිට තෙත කදුලු බිදු දෙක තුනක් ඇය වක් කරන්නේ  රහසිනි.ඔය මට දුරකට යන්න වනාවාට වනු ඇත.ඇගෙ පපුව තරම් සුවයක් කොහේ වත් නැත

“උඹ මුලින්ම මගෙ අතට ගද්දි මට දැනුණු සතුට කෙල්ලේ.. උබෙ අම්ම ගත්තදා වත් එච්චර දැනුනෙ නෑ.මේ පපුවෙන් උඹ වෙනුවෙන් කිරි නාවට උඹට මං පන.උඹ තමයි මයෙ පන මගෙ රත්තරනේ”

“මොනවට ඕවා කිය කිය අඩනවද අත්තම්මෙ.දන්නවනෙ මගෙත් පන කියලා.”

ඇගේ කදුලු කවදත් නොරුස්ස්න මම කීවෙමි.

” ඒකම තමා මටත් බය මයෙ මැනිකෙ.” ගෙදර බිත්තිය මං අස් කරා බං බඩු නැති වෙන්ඩම .එතන උපාධි පොටෝ එක ගහමු.අර කලු කෝට් එක දාලා ලොකු නෝනෙක් වගේ ඉන්න දවසට සතුටට මයෙ පපුව පැලෙයි.අර රන්ද්ද මහත්තය ලෑ ගෙදර තියෙනවා වගේ ලොකූ වාහනේකුත් ගනින් මැනිකෙ. මතක් කරලා උඹේ අම්මට පින් දීපන් දානයක් දීලා.”

එකිනෙකට පරස්පර අදහස් ඈ කියවන් යයි.

” අත්තම්මෙ උන වත්ද? මහන්සි වෙලා වැඩියි මේ දවස් ටිකේ.නිදාගන්ඩ හරි හරි අපි ලොකු කාර් එකක් ගමු.ඉස්සෙල්ලම මං එක්කන් යන්නෙ මේ ලොකු නෝනාව තමා.ඉස්සරහම සීට් එකේ ඒකත්.”

ඉතින් ඇය නැවත හඩයි.මේ සතුටට දුකට දෙකටෝම ඇය හඩයි.

වෙනදාටත් වඩා තදකර අත්තම්මා මාව තුරුලු කර ගත්තාය.කවුරුන් හෝ මාව අරන් යන්න හදනවාක් මෙන් තුරුලු කර ගත්තාය.තද හුස්මක් ඉහළට ඇද ගත්තෙමි.ඇගේ සෙනෙහසේ සුවද විඳිමින් නින්දට වැටුනෙමි.

උදෑසන අවදි වූයේ ගැස්සීක් මෙනි.ඒ පාන්දර දුටු සිහිනය නිසාත් විය හැකිය.සුදු සාරියකින් සැරසුණු අත්තම්මා මයෙ අම්මා ලෙසින් හිස අතගානවා දුටුවෙමි.නින්දෙන්ම ඈට තුරුලු වූවා මතකය.වෙනදාට කෑම සුවදින් පිරී යන ගෙදර අද හිස් ය. වැස්සකට අර අදින මූසල පාලුවක් පාව යනවාක් මෙන් දැනුනි.

“අත්තම්මා අසනීපයක් වත්ද් අද තාම නිදි? “

මම ඈව කූද්දන්න වූයෙමි.දැඩි සීතලක් ඇගේ සිරුරෙන් දැනුනි.වහා රෙද්දකින් ඈව එතුවෙමි.

“අත්තම්මා.මේ හීතලත් අල්ලලා.පොඩ්ඩක් නැගිටිමුද මොනා හරි බිව්ව නම් ඕක අඩු වෙයි.”

මා ඇය සොලවමනි ඇවිටිලි කරන්නට උනි.ඇගේ එත් අතක් පහතට කඩා වැටෙන්නට විය.මගේ සිරුර මටම අවනතනොවූ ලෙසකින් ගැහෙන්නට වීමී.ඇයව බදා ගත්තෙමි.ඊයේ රෑ මාව බදාග්ත්තාක් මෙන් අද මම ඇයව බදාගත්තෙම්.ඒ සුසුම් වෙනදාක් මෙන් මට නොදැන්නෙනේ මං දැයි මට සිතන්නට විය.

කෑ ගසන්නට හෝ කතා කරන්නට හෝ හුස්ම ගන්නට හෝ සිහියක් මට නොතිබෙන්නට ඇත.ඔහේ ඈ දිහා බලන් හිදියෙමි.ඇගේ එහා පැත්තෙන් ගොස් වැතිරුනෙමි.තදින් බදා ගත්තෙමි තවත් තදින් .

” මයෙ අම්මා නැගිටින්ඩ මයෙ අම්මා ” මට සිහිනයෙන් ඇසෙයි.

” මයෙ මැණිකේ දිනන්ඩ ඕනී.මයෙ මැනිකෙ මගෙ ආඩම්බරේ.මගෙ අතට ආපූ මැනික ලොකු නෝනා කෙනෙක් වෙන්ඩ ඕනී “

හුස්ම් අල්ලන් සිටීමට වාරු ගත්තෙමි.තදින් ඇද විට්ටමට ඈවද රැගෙන තුරුලු වීමී.කතා කරන්න පුලුවන් වූ සැනින්.මහ හඩින් මගේ හැඩීම විලාපයක් වී ඒ පාන්දර ඇසෙන්නට විය.

ගෙය දෙසට කිහිප දෙනෙක් එන හඩත් අපැහැදිලි කටහඩවල් කිහිපයක් අතරෙනුත් සෙමින් සිහි එළවා ගත්තෙමි.

” දෙයියනේ කෙල්ලේ ඔය අතෑරපන් අත්තම්මා යන්ඩ ගිහිල්ලා.”

අත්තම්මා මගෙන් මුදවමින් කවුදෝ මාව වාරු කර ගත්තා මතකය.ගෙයි ගමේ මිනිසුන් පිරෙනවාත් මතකය.

මගේ හීන සියල්ල එක වර ඇහැ පියාගෙනය.මගේ ජීවිතය ඇහැ පියාගෙනය.එක වරම මගේ හුස්මත් නවතින්නේ නම් සිතිණි.කලුවර වන වාරයක් පාසා කවුරුන් හෝ නැවතත් සිහිය ගන්නට තැත් කරා යන්තමින් මතකය.

ඒ අතරෙන් පතර රන්දද අයියා සිටියාත් මතකය. නමුත් නිදාගෙන උන්නෙ මගේ පනයි.

” මයේ අම්මා මගෙ මැණිකේ මගෙ රත්තරන් “

ඈ පින්බර මුහුණ මට අමතයි.

නැවත නැවතත් අන්දකාරෙටම යමි.ආලොකයට එමි.සිහින සියල්ලම එක් වර හිස් විය.මේ ගෙවෙන මොහොත සිහියක්ම පමනක් වේවා යැයි සිතුවෙමි.නමුත් නැත ජීවිතේ ඇත්තෙ ඇහැ පිය වෙන මොහොතේත් දෑස් හැර සිටින මොහොතේත් ය.

READ THE
NEXT STORY > >