කැලෑ මල් පොකුරක්
අෂානි ප්‍රබුද්ධිකා

සීතල මීදුම අතරින් බස් රථය ඉදිරියට ගමන් කරයි.පහව යන මිහිදුම් පටලය අතරින් එබිකම් පානා කදු ගැටය හිරු රැසින් දිලිසේ. කවුළු පියන්පත් පුරා  පැතිරි ගිය පිනි පොද අතින් පිස දමමින් එළියට එබීකම් පෑවේ මාගේ සිත තුලට එබිකම් පාන ඒ අතීත මතක වල සාක්ෂි කරු වන  මේ කඳු ගැටය දැක ගැනීමට ය.ජීවිතයේ එක් දිනක මේ අයුරින්ම බස් රථයේ නැගී මේ කඳු ගැටය දෙස බලා ගිය ඒ සුන්දර අතීතයට මා සිත දිව යයි. මේ සියල්ලෙහිම ආරම්භය වූයේ එයයි.

ඒ මා අවුරුදු දහතුනක කොලු ගැටයකු වූ අවධියයි. මේ සියල්ල ආරම්භ වන්නේ මා ඉගෙනීමට හැර පාසලේ නරකම ළමයා යන අන්වර්ථ නාමය පටබැදි අවධියේය. විභාග වලට ලකුණු අඩු වීමත්, පාසලේ සිදුවන් සෑම නරක ක්‍රියාවකම මගේ නම ගෑවී තිබීමත් නිසා අම්මා තාත්තාගෙන් ද සෑම විටම මට අසන්නට වූ යේ ගෙරවිලි, බැනිලි පමණි. අවසානයේ මම අම්මා තාත්තා සමඟ ද ගැටුම් ඇති කරගත් අතර එහි අවසන් ප්‍රතිඵලය වුයේ මම අත්තම්මා සමඟ ඇගේ නිවසේ පදිංචිට යාමෙන්ය.  වසර විස්සකට විතර පෙර මේ අයුරින්ම බසයේ  අත්තම්මා සමඟ මම පැමිණියෙමි. අත්තම්මා සමග ගමට පැමිණිය ද අත්තම්මා පමණක් වාසය කල ඒ නිවස මට පාළු අම්බලමක් වූයේය. ගමේ අදුරන කොලු ගැටයෙක්වත් ද නොමැති නිසා මම සවස් කාලයේ ගම පුරා ඇවිදීමට මා පුරුදු වූයෙමි. මෙසේ ඇවිදින ගමේ සියලු තැන් වලින් මාගෙ කැමතිම ස්ථානය වූයේ ගම කෙලවර කුඩා කදු ගැටයේ පැවති එක් කුඩා ස්ථානයකි. ඒ කුඩා ජම්බු ගසක් හා ඒ ගස යටම පැවති ගලකි. මේ පැතලි ගල මත වාඩි වූ අයෙකුට මුළු කදු තලාවම අලංකාරව දිස් වන්නේ එ තුලින් ඇස් අහකට ගන්නට නොහැකි වන ආකාරයටයි.

 සුපුරුදු පරිදි එදිනද මා මෙම ගල් තලාවට පැමිණියේ සවස් වරුව ගෙවා දැමීම ටය. නමුත්  මීට පෙර කවමදාවත් නොවු අයුරින් ඒදින එහි අමුත්තියකි. ලා දම් පැහැති දිග ගවුමක් හා රෝස ජෙර්සියක්   හැද සිටි අතර නිල් පැහැති අයිස් කැප් එකක් ද පැලද සිටියාය.  එයින් ඇගේ කුඩා වරලස පහලට දික් වූයේය. ගල මත හිද සිටිනා ඇය කුමක් හෝ ලියමින් සිටි අතර ඇගේ පසෙකින් වූයේ කුඩා කහ පැහැති  කෑලෑ මල් පොකුරකි. මගේ සිතට තරහවක් මෙන්ම  වේදනාවක් දැනුනේ මගේ දහන ඇය විසින් සොරා ගත් බැවිනි.එසේ වුවද තවමත්  මා නුදුටු ඇයට නොපෙනෙන පරිදි ආපසු හැරී පරාජය භාර ගැනීම්ට තීරණය කර ආපසු හැරුණු නමුදු එම ප්‍රයන්තය වැරදුනේ තැබු පළමු පියවරම වියලී කොටුවක් මත තැබීම නිසාවෙනි. ඇය ක්ෂණිකව මා දෙස හැරි බැලුවාය. විසි වන වියෙහි පමණ පසුවන ඇය සැබවින්ම රූමත් අයෙකු විය. මුහුණෙන් කිසිම හැගිමක් ප්‍රකාශ නොකල නමුදු ඇගේ දෑසේ වූයේ මලානික බවකි.

” ඔයා එයාව යැව්වනේ”

පෙනුම මෙන්ම ඇගේ කටහඬ ද ලස්සනය.

නමුත් ඇය මේ කියන්නේ කුමක් ගැනද  කියා මට කිසිදු හැගීමක් නොතිබුණි.

” මො …… මොකද්ද? “

”  කුරුල්ලා පියාඔලා ගියා “

ඇය ජම්බු ගස මත සිටි කුරුල්ලෙක්ව සිතුවම් කරමින් සිටින්නට ඇති බව මට තේරුම් ගියෙමි.

” මං එක හිතලා කලේ නෑ. “

“හ්ම්ම් මං එක දන්න්වා.”

නැවත් කදු ගැටය දෙසට හැරි ඇය බර කල්පනාවකට වැටුණාය.

මම ඇ දෙසට ගමන් කලෙමි.

ඇය නැවතත් මා දෙස හොදින් බැලුවාය.

“මීට කලින් මම ඔයාව දැකලා නෑහැ . ” ඇය පැවසුවාය.

“මං මෙහෙ නෙමේ”

“එහෙනම්”

“මං කොලඹ , මේ දවස්වල මෙහෙ අපෙ අත්‍තම්මලගෙ ගෙදර ඉන්නේ”

“නිවාඩුවට ආවද”

“නෑ දිගටම ඉන්න ආවේ මං ගෙදරින් තරහා වෙලා අවේ. අයේ යන්නේ නෑ.”

ඇගේ මුහුණට කුඩා සිනහවක් නැගුනි

“හිනාවෙන්නේ ඇයි”  මා ඇසුවේ හිතට නැගුනු තරහ නිසාමයි.

“මාත් ඉස්සර ඔය වගේ. පොඩ්ඩ ඇත්තන් තරහ වෙනවා”

මොහොතක නිහැඩියවකින් පසු

“ඉතිං දැන් ඇයි ඔයා  තරහ වුනේ?”

“මට එපා වුණා, එයලාගෙන් කරදරේ පාඩම් කරන්න ,හොඳට ඉගෙන ගන්න, ලොකු මිනිහෙක් වෙන්න. හැමදාම එකම දේ.”

“ඉතින් හොඳයිනේ “

“මං ඒවාට කැමති නෑ”

“ඔයා මොනවාටද ඉතින් කැමති”

“සෙල්ලම් කරන්න, ඇවිදින්න, තව …….” මගේ කතාව අවසන් කිරිමට පෙර ඇය එයට අකුල් හෙලුවාය.

“එහෙම නෙමෙයි ඔයා ලොකුවෙල වෙන්න කැමති කවුද?”

මම මොහොතක් කල්පනා කලෙමි.

“එහෙම කවුරුත් නෑ”

“එහෙනම් ලොකු වෙලා කරන්න ඉන්න දෙයක් ඔයාගේම හීනයක්”

“එහෙමත් නෑ “

මොහොතක් නිහඩව සිටි ඇය නැවතත් මා දෙස බැලුවාය.

“ඔයා දන්නවාද මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් හීනයක් ඕනේ. එක එක අයට එක එක විදිහේ හීන තියෙනවා. ඔයාගේ අම්මාගෙයි තාත්තාගෙයි  තාත්තාටත් තියෙනවා ඒ වගේ හීනයක්. ඒ තම ඔයා. එයලා ආසයි ඔයා එයාලගෙ හීන පාට කරනවාට “

“ඒත් මං ඒකට කැමති නෑ” මම පැවසුවේ තරහගොසිනි.  නමුත් ඇය තවදුරටත් කතා කලාය.

“ඔයා ඔයාට හීනයක් හොයාගන්න. ඔයගේ ඒ හීනයට පුළුවන් අම්මාගේ තාත්තාගේ හීනත් පාට කරන්න.”

ඒ මොහොතේ සිට එදා මට වෙන මුකුත් සිතන්නට බැරි විය. මගේ සිත  ‘මගේ සිහිනය මොකද්ද’, ‘ඇත්තටම මේ ලෝකේ හැමෝටම හීන තියෙනවාද’ කියා මගෙන්ම ප්‍රශ්න කලේය.

අන්තිමට මා අත්තම්මා සොයා ගියෙමි.

“අත්තම්මේ ඔයාට හීනයක් තියෙනවද “

අත්තම්මා එකවරම විමසු ඒ පැනයෙන් මදක් වික්ෂිප්ත වූ නමුත් පසුව

“මොකද එකවරම එහෙම අහන්න හිතුනේ “

“නෑ නිකම් ….. කියන්නකො අත්තම්මාට හීනයක් තියෙනවාද?”

“ඔව්”

“ඒ මොකද්ද”

“ඒ ඉතිං පුතා තමා”

“මේ මම” අත්තම්මාගේ ප්‍රකාශයෙන් පුදුම වූ මම පැවසුවෙමි.

“ඔව් පුතා ලොකු වෙලා හොදට ඉන්නව දකින එක තමා මගේ හීනේ”

ඒ පිළිතුරත් සමග උදෑසන නන්නාදුනන ඇය කියු ඒ වදන් වල සත්‍ය බව මට වැටහුණි.මුළු රාත්‍රියම එහෙමෙහෙ දුවන සිතුවිලි මගෙ නින්දට බාධා කලේය.පසුදා පෙරදා ඇය හමුවුනු තැනටම ඒ වේලවට මා ගමන් කලේ ඇයව හමුවීමේ අදිටනනි. මගේ වාසනාවකට මෙන් ඇය එහි සිටියාය. ඒ පෙරදා මෙන්ම සැරසි ය.

“ඉතිං හීනයක් හොයාගත්තා ද?” ඇය මා දුටු විගස විමසුවාය.

 මා නැති බව පවසමින් හිස සොලවමින් ඈ අසල සිටගතිමි. එදිනද ඇය අසල කුඩා කහ පැහැති කැලෑ මල් පොකුරක් මෙන්ම ඇයගේ සිතුවම් අදින ආම්පන්නද රැගෙන විත් තිබුණි.

“එහෙම තමයි , හරිම වේලාව වෙන්කම් අපිට ඒක තේරෙන්නේ නෑ. ඔයාටත් එක තේරෙන දවසක් ඒවි. ” ඇගේ ස්වරයේ කනස්සල්ලු බවකි.

“අක්කාටත් හීනයක් තියෙනවා ද”

“හ්ම්… හ්ම්…. “

ඇය ඈත කදුගැටය දෙසම බලගෙන පැවසුවාය.

මදක් මදෙස බලා ඇය පසෙක තිබුණු කැලෑ මල් පොකුර අතට ගත්තාය.

“අපේ අම්මා මං හදන මේ මල් පොකුරට හරි ම ආසයි”

“ඉතිං”

“මට හීනේ තමයි තව අවුරුදු ගානකින්  එයා අතට මේ මල් පොකුර දීලා මං එයාට ගොඩාක් ආදරෙයි කියන්න, කියලා එයාගේ මූණට එන හීනාව බලන එක”

“ඉතිං එක ඔයාට අදත් පුළුවන්නේ”

ඇය මොහොතක් කල්පනාවක ගැලි සිට ක්ෂණිකව එයින් මිදුණාය.

“ඔව් මට අද පුළුවන් , ඔයාටත් පුළුවන්” යැයි පවසා සිතුවම් අදින ආම්පන්න අතට ගත්තාය.

“මට”

“ඔව්” ඇය එක් කොලයක් ගෙන එහි යමක් ලියන්නට පටන් ගත්තාය.

“ඔයා ඉක්මනටම අම්මයි, තාත්තායි ළගට යන්න. එයාලාට ඔයා නැතිව පාළු ඇති. ගෙදර ගිහින් හොඳ ළමයෙක් වගේ ඉන්න.”

“මට බෑ “

“නෑ ඔයාට පුළුවන්”

“ඒත් එයාලා මාත් එක්ක තරහයිනේ”

“අම්මයි තාත්තායි ළමයි එක්ක එහෙම තරහා වෙලා ඉන්නෙ නෑ “

ඇය ඇදි සිතුවම මා දෙසට දික් කලාය.

මේක දුන්නොත් එයාලා යාළු වෙයි

මා එය අතට ගත් අතර එහි කුඩා කුරුලු පවුලක් සිත්තම් කර තිබු අතර ලොකුවට ‘අම්මේ තත්තේ මම ඔයාලට ආදෙරෙයි’ යනුවෙන් ලියා තිබුණි

මහත්තයා,  මහත්තයා බහින තැනට ආවා .

කොන්දොස්තර මහතාගේ විමසීමෙන් මම නැවත පියවි සිහියට පැමිණ ඉතා ඉක්මනින් බසයෙන් බැහැ ගත්තෙමි.

වසර කිහිපයකට පෙර අත්තම්මා අප දමා නොයන්නටම ගිය දිනෙන් පසු  මා මේ මෙහි පැමිණි පළමු දින අදයි. අත්තම්මාගේ ගෙදර දැන් අභාවයට ගොසිනි ඉඩම පුරා කුඩා කහ පැහැති කැලෑ  මල් යායක් සෑදි තිබුණි.මම ඒ කෑලැ මල් පොකුරක් කඩා ගතිමි. නැවතත් හැරී කදු ගැටයේ දෙසට පා නැගුවමි.

අත්තම්මාගේ නිවස මෙන් අභාවයට යන නිවාස වලින් මෙන්ම නවීන පන්නයට සෑදු නිවාස වලින් ගම පෙරට වඩා බොහෝ සේ වෙනස් වී තිබුණි. ඒ අතර එකම එකම ගෙයක් පෙර ලෙස ම පැවතුණි. ඒ මමත් ඇයත් අවසන් වතාවට  හමුවුණු ඇගේ නිවසය.

මම ඇගේ නිවස දෙසට පය තැබිමි. මට ඇයව මුණ ගැසුණු පළමු දින සිට  සති තුනක් පසු වූ දිනක, මා නැවත නිවසට යාමට පෙර දින මා ඇගේ නිවස කරා පැමිණියෙමි. මේ නිවසේ දී අවසාන වරට ඇයව හමුවූවා පමණක් නොව සිහිනයක් නොමැතිව සිටි මට සිහිනයක් සොයා දුන්නාය. ඔව් … දොස්තර වරයෙකු වීමෙ සිහිනය මට සොයා දුන්නේ ඇය යි නිවස මැද තබා තිබු ඇගේ නිසල දේහයයි. ඇගේ හිසේ තිබු අලුත් කොන්ඩය හා අත්වල පැවති තුවාල මගේ සිහිනයට පාර කීය.

“අවුරුදු දෙකක් විතර පිළිකාව තිබිලලු. ඔය අම්මා, තාත්තාත් නැතිව දුව හදන්න ගොඩක් මහන්සි වුනා අන්තිමට අම්මට කලින් දුව ගියා “

එදා අත්තම්මා කියු වදන් මට තවමත් මතක් වේ.

මම නිවසේ සීනූව නාද කලෙමි. ස්වල්ප මොහොතකින් කාන්තාවක් දොර විවෘත කලාය.

“මේ මිසිස් අබේසිංහ නේද?”

“ඔව් ඔයා ක…” ඇයට ප්‍රශ්න ඇසීමට ඉඩ නොදීම මම අත තිබු මල් පොකුරත් ,කුඩා කඩදාසියත් ඇය වෙත දික් කලෙමි.

ක්ෂණිකව මල් පොකුර දුටු විගස ඇගෙ දෙනෙත කදුළින් තෙත් විය. මම නැවතත් මල් පොකුර හා කඩදාසිය ඇය වෙත දිගු කලෙමි. ඇය ඒවා දෑතින්ම භාර ගත් අතර මල් පොකුර පසෙකින් තැබු ඇය වෙව්ලන දෑතින් කඩදාසිය සෙමින්, සෙමින් දිග හරින්නට විය. කඩදාසියේ තිබු කුරුළු පවුල හා වදන දැක ඈ කඳුළු මතින් සිනා සැලුවාය.

 

READ THE
NEXT STORY > >