whs fjdk *a,hs ìf*d bÜ ´,a tkaâia
fidNdú ,shkjvqf.a

ඒ නොහික්මුණු අවු රැල්ල ආයෙමත් පලා ගොස් ඇත. මේ බංකුව මත හාන්සි වීමෙන් පිටට දැනෙන වේදනාව ගැන මට වගක් නැත. ඒ වෙනුවට මට ඇත්තේ මෙවැනි මොහොතවල් කොපමණක් මවිසින් ම මගහැර ගත්තේ ද යන ප්‍රශ්නාර්ථය මුසු පසුතැවිල්ලකි. රාත්‍රියට ආසා කරන තරමට ම නිවෙසට වී සිටියදී ගෙවෙන මෙවැනි හිස්- අතිශය නිස්කලංක දිවා කාලයන් මා අප්‍රිය කරමි. පොතේ පිටුවෙහි නිමග්න වී කියවමින් සිටියෙන් මා මුදාගත් ඒ අවුරැල්ල විසින් මගේ හිසට ඉහලින් වූ බොහෝ හුරුපුරුදු ගස් කොලන් වල මා මෙතෙක් නොදකිනා ලද අමුතු සෞන්දර්‍යක් මට පෙන්වමින් ඇත. සියලු කුරුලු නාදයන් සහ මගේ හාත්පස සෙලවෙන තුරුපත් වල කුඩා මිමිණිලි ද අසමින්, මා යලිත් සිතමින් සිටින්නේ මට මේවා මගහැරී ගියේ කවර දාක සිට ද යන්න පමණකි. මට සියල්ල පසක් කොට එය පලා ගොස් ඇත. හිස තබා සිටින මතුපිටට ඉහලින් ඇති ගස් කොළන් ඇතැමෙක් කොතරම් හුරු පුරුදු වුවත් ඒවායින් සමහරක නම් මා නොදනී. අනෙක් අතට ඒ සියල්ලක නම් දැන සිටීමේ පලක් වේ දැයි මම මගෙන් ම අසා ගනිමි. ඒ සියල්ලකට අතුරින්, අතරින් පතර නිල් පැහැ හිස් අහස මට පෙනේ. ළමයෙකු වී සිටි අවදියේ මේ දේවල් දෙස කොතරම් උනන්දු වූවා දැයි දැන් මට මතක නැත. ඒ දේවල් තබා, නුදුරු අතීතයේ සමහර සිදුවීම් පවා එකවර මගේ මතකයට නොපැමිණෙන මොහොතවල් ඕනෑ තරම් ඇත. ඒවා එතරම් ම තැකිය යුතු බරපතල දෑ නොවන බැව් දන්නා නිසා ම, සිතට නැගෙන වහා ම මටද අමතක වී යයි. “අපි කොතරම් මේ සියල්ලට ම හුරු වී ඇත්ද?” මම මගෙන් ම අසා ගනිමි. මේ නිල් අහස, මේ ගස් කොළ සියල්ලකම වටා ඇති හිත නිදහස් කරන සුළු සාමකාමී බව අපෙන් ඈත් කර තිබෙන්නේ ම මේ පුරුදුවීම් නිසා නොවේ ද? අපට මේ කිසිවක් ගැන අමුතුවෙන් සිතන්නට නොසිතෙන්නේ ම එකී පුරුද්ද නිසාවෙන් ම යැයි මට හැඟේ. වෙනකක් තබා, මේ බංකුවේ ම ඉඳගෙන කොයි තරම් වේලාවක් මා ගතකර ඇතත්, මට මගහැරී ගිය මේ සියල්ල ගැන මට සිතුණේ ම මගේ හිසට ඉහළින් ඒවා පෙනෙන්නට ගත් නිසා නොවේ දැයි මම මගෙන් ම විමසමි. ආදරය, හැඟීම් මෙන් ම මිනිස් ආත්මයන් පවා අපට මගහැරී යන්නේ මෙලෙසින් ම නොවේදැයි මම යලි යලිත් සිතමි. එක්තරා වෙලාවකදී ගැඹුරු ලෙස මා සමගම ගැටෙමින් මගෙන් ම විමසමි. “ඔව්”. අපි ජීවිතේ නීරස ඒකාකාරී කමකට හුරු වී ඇත. අප ඒ පුරුද්ද ම ජීවිතය කරගෙන ඇති නිසා ම අපේ ඇස් ඉදිරිපිට  ඇති මේ සුන්දර සියල්ලක් ම ඒ විසින් වසන් කර ඇත. ඒ වෙනුවට දකින්නට අපගේ ම ඉන්ද්‍රියයන් වලට පුහුණු කර ඇත්තේ ඉලක්ක, හෙම්බත් වූ මිනිසුන්ගේ මුහුණු, තදබදයෙන් වැසී ගිය මං මාවත් වල කලබගෑනි සහ විඩාබර මිනිස් ජීවිතයන් වැනි එක ම මාදිලියක දේවල් ගොඩක් නොවේ දැයි මගේ සිත මගෙන් ම අසමින් සිටී. සියලු කල්පනාවන්ට බාධා කරමින් බංකුවේ පසෙක වූ ජංගම දුරකතන තිරය මතට ‘බීප්’ නාදයකින් පසුව කෙටි පණිවිඩයක් ආ බවට පෙන්නුම් කරයි. එය කවරෙකු විසින් එවා ඇත්දැයි බැලීමට කලබලයක් නැතත්, තිරයේ සටහන් වූ නම දකින විට ම එය බැලිය යුතු බව මම තීරණය කළෙමි. එය මගේ ඉන්දියානු මිතුරෙකු වූ අරවින්ද් ගෙනි.

“The situation is critical. I’m going home  this week”.

 ඒ, මවිසින් අසා යවන ලද්දකට අරවින්ද් ගේ කෙටි පිළිතුර විය. ඔහු දිල්ලියේ සිට මේ සතියේ කංචිපුරම්හි පිහිටි සිය ගමට යනු ඇත. හිටි හැටියේ ම පැමිණ, සියලු දෛනික ජීවිතයේ අංගයන් උඩු යටිකුරු කරන ලද වසංගතය නිසා ඊළඟ මොහොත තුළ කවරක් සිදුවනු ඇතිදැයි නිගමනය කිරීමේ ඉඩ අපගෙන් උදුරාගෙන ඇත. සතියකට විසින් මවිසින් පරිවර්තනය කරන්නට පටන් ගත් අරුන්දතී රෝයි විසින් ඉන්දියාවේ කොවිඩ් ව්‍යසනය ගැන ලියූ ඉංග්‍රීසි මුල් ලිපිය කියවන විට ම මට අරවින්ද් ව සහ ශෙල්විව මතකයට නැගුණේ මීට අවුරුදු දෙකකට පමණ පෙර මට අහම්බයෙන් හමු වූ මිතුරන් දෙදෙනෙකු වූ නිසාවෙනි. ශෙල්වි ගැන මට ඇති මතකයේ වඩාත් ම මා ආසා කරන්නේ, දිල්ලියේ ජීවත් වූ ඈ අවුරුදු විසි පහක් වූවද ලංකාවට පැමිණෙන තුරු ම මුහුද දැක නොතිබීමයි. මුලදී එය බොරුවක් යැයි අප සිතුවත්, මහ රෑ කල්ලඩි මුහුදු වෙරළට අප සමග ඇවිද ගිය ඈ එක් වර ම දිව ගොස් මුහුදට පැන, කුඩා ළමයෙකු මෙන් නැටූ හැටි මට තවමත් මතක ය. ඇගෙන් තවමත් කෙටි පණිවිඩයක් ආවේ නැත. අරවින්ද් ට මා කලකට පසුව යැවූ මුල් ම කෙටි පණිවිඩය ලැබෙන විටත් ඔහු සිටියේ හිමාලයට නුදුරු ඉතා ලස්සන කඳුකර පෙදෙසක් වූ උත්තරකන්ද් හි බව, ඡායාරූප කිහිපයක් සමග ඔහු එවා තිබුණා මතක ය.

 

******************************************

 

ප්‍රථම උපාධියේ ප්‍රතිඵල නිකුත් වී මසකටත් වඩා ගතව ගොසිනි. මා විසින් අයදුම් කරන ලද රැකියා ගණන සේ ම, මා විසින් ප්‍රතික්ෂේප කරන ලද රැකියා ගණන මට මතක නැත. මේ ගෙවෙන දින-සති ඉතා නීරස ය. රට වසා ඇති නිසා නිවසින් බැහැරව යාමට කෙතරම් උවමනාවක් තිබුණත්, සිරකරුවෙකු මෙන් නිවසටම වී සිටීම හැර වෙනත් විකල්පයක් නැත. තටු කපා ඇති කුරුල්ලෙකුට දැනෙන අසරණකම හා සමාන හැඟීමක් මේ කාලය පුරාවට ම නොනැවැත්විය හැකි සේ දැනෙමින් ඇත. එය නැවැත්වීමට කිසිදු දේකට හැකියාවක් නැත. ළමයෙකු වී සිටි කාලය කෙතරම් හොඳද යැයි වරක සිතුණත්, ඒ ගැන හිතා මතා ම කල්පනා කර බලන විට වැඩිහිටියකු වීමේ භාග්‍යය කොතරම්ද යයි නැවත නැවතත් මට කල්පනා වේ. කාලය ගත වෙන්නේ ඉතා හෙමින් ය. මේ සෑම මොහොතක් ම අතීත ආවර්ජනයන්, අතීත කාංසාවන් වලින් පිරී යන්නට ගත වන්නේ ක්ෂණයක් පමණි. මා වඩාත් ම ආසා කරන කතුවරයෙකු වන වෙඩිවර්ධනගේ අහඹු අතීත හැන්දෑවේ මැද හරියක් වන්නට ම මේ වන විටත් කියවා අවසාන ය. උදෑසන හා දහවල කිසිඳු වෙනසක් නැත. රාත්‍රිය පමණක් වඩාත් සාමකාමී ලෙස ගතවී යයි.

 

******************************************

 

“දවල් වෙලා… නැගිටින්නෙ නැද්ද…!”

තාත්තාගෙන් කලාතුරකින් ඇසෙන නෝක්කාඩුවක් මුසු හඬ වසා ඇති කාමරයේ දොරට වදින තට්ටුවක් සමග හීනෙන් මෙන් ඇසේ. පාන්දර ඇහැරුණා යැයි කරන්නට විශේෂ වැඩක් හෝ දවස ප්‍රබෝධමත් කරන කිසිවක් සිදු නොවන බව දන්නා නිසා ම මේ නින්ද වඩාත් හොඳ බව මට සිතෙයි. ඇඳේ පසෙකින් වූ දුරකතනය අත පත ගා ළඟට ගන්නා විට උදෑසන 9.45 ලෙසට වෙලාව සටහන් ව ඇත. වට්ස්ඇප් ගිණුමට රාත්‍රියේ සිට පැමිණි වැදගත් හා නොවැදගත් කෙටි පණිවිඩ පෝලිමකි. මේ සියල්ල මේ ගෙවෙන ඒකාකාරී දෛනික ජීවිතයේ කොටස් බවට දැන් දැන් පත් වෙමින් තිබේ.

“Good morning baby”,

ඒ ඔහු ය. කොතරම් පරක්කු වී අවදි වන දවසක් වුවත්, මා අවදි වූ විගස ඔහුට කතා කිරීම පුරුද්දකි. පෙරලා ඔහුට සුබ උදෑසනක් යැයි යවා තිරය මත ඇඟිල්ලක් තබාගෙන උවමනාවට එපාවට උඩට පහලට යන විටත්, අරවින්ද්ගේ චැට් එකට ඔහු විසින් අලුතින් පණිවිඩ කිහිපයක් එවා ඇත. මේ ඔහුගෙන් පිළිතුරක් නොමැතිව ගෙවුණු සති කිහිපයකින් පසුව ආවකි. කුමක් හෝ සිදු වී ඇතිදැයි යන ක්ෂණික සිතුවිල්ල මගේ සිතට පැමිණ නැති වී ගියේ ය.

“My father died last week” එහි සටහන් වී තිබුණි.

 

******************************************

 

ඉන්දියාව එකම සොහොන් පිටියක් බවට පත් වෙමින් තිබෙන බවට තවත් අමුතුවෙන් කරුණු දක්වන්නට උවමනා නැති තරමට මරණ ඉහල යමින් තිබේ. මා එක් වරම ගොළු වූ බවක් මට දැනෙයි. කිව යුත්තේ මට ඒ ගැන කණගාටු බව ය. එහෙත් එය ප්‍රමාණවත් ද? මනුෂ්‍ය ජීවිතයක අහිමි වීමකට ඊට වඩා කිවහැකි යමක් වේදැයි මට සිතාගත නොහැකිය. අවසානයේ ඔහුට තවත් ශක්තිමත් විය යුතු බවට පමණක් කියා ගත හැකි විය. තමන්ගේ කෙනෙකු අහිමි වී යාමෙහි හිස්තැන තවත් කෙනෙකුට තේරුම් කිරීමට හෝ, වෙනත් අයෙකුගේ අහිමි වීමක් අපට සම්පූර්ණයෙන් ම තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති බව පමණක් අවසානයේ මට සිතෙන්නට වෙයි. අද, හෙට හෝ කවර හෝ දිනක මේ තත්වය තුළ මගේ කිසිවකුට වුවද එය බාර ගැනීමට අකමැති වුවද සූදානම් විය යුතුව ඇත. මේ සියල්ලෙහි අවසානය පැමිණ මුණගැසෙන්නට මොහොතකට හෝ පෙර, මට කුරුල්ලෙකු වන්නට අවැසි ය. වාතලයේ සියලු සුළං වලට හසු වෙමින්, පියාසර කරන දිශාව නොදැන, අවසාන ගමනාන්තය නොදැන, මේ සියල්ලන්ගේ ම පැවැත්මවල් අවසාන වීම නැමති ඛේදාන්තයෙහි සාක්ෂි කරුවෙකු නොවී, සියල්ලට පෙර, කොහේ හෝ මංමුලා වූ ඉසව්වකට පලා යා යුතුව ඇත. අවසානය ඉතාම හුදෙකලා වුවත්, අඩු වේදනාවකින් යුතුව මරණය පැමිණෙන තෙක් බලා සිටීමට සිදුවීම, මගේ හෝ ඔවුන්ගේ අවසානයේ දුක්බර බව අප එකිනෙකාට උසුලාගැනීමට සිදුවීමට වඩා පිහාටුවක තරමින් හෝ අඩු බරැති වේදනාවක් වනු ඇතැයි මා සිතමි. අඩු ම තරමින් ස්වයං අස්වැසිල්ලකින් පසුව එසේ වනු ඇතැයි, දිගු හුස්මක් පිට කරමින් මගේ ම සිත රවටා ගන්නට හෝ හැකි වනු ඇත. හුරු පුදු ලෙස ම මගේ දුරකතනයේ සටහන් ගොනුව විවර කළෙමි. කණස්සල්ලකින් හෝ හුදෙකලාවකින් කැළඹී සිටින සෑම විටකදී ම කිසිවක් හෝ මා අතින් ලියැවෙන බව මා දනිමි. මම ඒ පැරණි පුරුද්දට ඉඩ දුනි මි.

“I wanna fly, before it all ends…”.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp