fjfrdakd
liqka bfrdaI oikdhl

ඒක වගේම  ඒකිත් ආවෙ හරියටම කිව්වොත් බොහොම හෙමින්. මිනිස්සු ඒක දිහා වගේම මාත් ඒකි දිහා මුලින්ම බලන් හිටියේ තේරුම් ගන්න බැරිව.ඒක වගේම ඒකිත් ළඟටම ආවහම තමයි තේරුනේ බරපතලකම. ඒක වගේම  ඒකිත් දැන් සාමාන්‍ය ජීවිතේ කොටසක් වෙලා. ඔව් කොරෝනා උඹත් හරියටම ඒකි වගේමයි. දැන් බෙහෙතකට සුව කරන්න බැරි තරමට  උඩු දුවලා ඉවරයි.ගතට වගේම හිතටත්. මං ඒකි කිව්වට මුකුත් හිතන්න එපා. ඒක කාලෙත් එක්ක වෙනස් වෙයි.

ඩිග්‍රියට ජොබ් නැති නිසා දාපු ඇප්ලිකේෂන් වලින් දා හතර වෙනි ට්‍රයි එක වැඩ කළා.සිලෙක්ට් වුණේ නොහිතපු ම එක නොහිතපු ම වෙලාවක. මේ කතාවේ හැම සිද්දියක්ම ඒ වගේ. මුල් පත්වීම හපුතලේ පෞද්ගලික තේවත්තක ගිණුම් ලිපිකරු වුනාට වැලේ වැල් නැතුව හිටිය මට ඒක මහමෙරක්.බලාපොරොත්තු පැක් කරගෙන කොටුවෙන් උඩරට මැණිකෙට ගොඩවෙලා වාඩි වුනේ චීන කාන්තාව රට වටේ ගිය නිවුස් එකේ ගමන් විස්තර දාල තිබුණු ෆේස්බුක් ආටිකල් එකක් කියවන ගමන්මයි.  මුං මේ රීච් වැඩි කරගන්න ග්‍රෑම් එක කිලෝ විස්සක් කරනවා පිස්සු යක්කු.

“හරි, හරි අම්මේ මෙහෙ කොරෝනා නෑ. ඔය මිනිස්සුන්ගෙ කට කතා වලට අහු වෙන්න එපා.”

මං ෆෝන් එක තිබ්බෙ කලබලයෙන් කිරිකැටියෙක් වඩන් ආපු ඒ කෙල්ලට සීට් එකේ ඉඩ දෙන්න ඕන නිසා.වීදුරුව අයිනට වෙලා සුපුරුදු මනෝ පාරට සෙට් වෙන්න ට්‍රයි එකක් දුන්නේ මේ දූවිල්ලෙන් මිදිලා තව පැය කිහිපයකින් ලැබෙන පිරිසුදු ඔක්සිජන් ගැන හීන මවමින්. මීදුම, සීතලත් එක්ක එළු රංචු උලා කන තණකොළ පිරුණු අඩිපාරවල් මැදිවුන ලස්සන තේ වතු යායවල්. මගේ සිතුවිලි වලට ගැලපෙනම පැත්ත. ඒ හැඟීම මාරම එකක්. සති අන්තයේ නිවාඩු වෙලාවට ට්‍රැවල් කරන්නත් පුළුවන්.ඒ සෞන්දර්යයට  මං ආදරය කළා. පලවෙනි සැලරි  එකෙන් ගෝ ප්‍රෝ  කැමරාවක් ගන්න  ඕන. යූටියුබ් අප්ලෝඩ් කරන්න  ෆෝජී නැද්ද දන්නෑ. කමක් නෑ  ටවුමෙ හරි  සිග්නල් ඇතිනේ.

“හලෝ, ඔයාට මාස්ක් එකක් නැද්ද?”

ටිකක් ළාමක වුණත් පරිණත බවක් මිශ්‍ර  ස්වරයක් නිසා එක පාරට හීන ලෝකෙන් පියවි සිහියට ඇවිත් බලනකොට වටපිටාවේ හෝන්  සද්දයි, යකඩ  කන්කරච්චලයයි අස්සෙ ඉස්සෙල්ලම පෙනුණේ දෙමටගොඩ දුම්රිය ස්ථානය කියලා ගහපු බෝඩ් ලෑල්ල.  ඒ අස්සෙන් ලඟ වාඩිවෙලා හිටපු කෙල්ලගෙ මූණ හරියට ෆෝකස්  වුණේ දැන්.කේන්තියක් ද?  කින්ඩියක් ද?  මොකක්ද කියල හිතාගන්න බෑ අදටත් ඒ මූණෙ තිබුණ හැඟීම. හැබැයි ඒක විශේෂයි. මොකද අදටත් මගේ මනසේ කැප්චර් වෙලා තියෙන්නේ අන්න ඒ මූණෙ  තිබුණු රූපය.

“ ආ.. නෑ මං කැමති නෑ. දාන්න වුවමනාවක් නෑ. මට සෙට් වෙන්නෑ ඒක. අනික මං ගන්න උවමනාවක් කරෙත් නෑ එකක්. කොහෙවත් නෑනේ. මූ හංගල වැඩි ගානට විකුණන්න”

මං ඇත්තටම  මාස්ක් දාන එක බියගුළු මිනිස්සු කරන වැඩක් වගේ දැක්කේ මුල් කාලේ. අනික අනිත් සමහරවුන් මාස්ක්දාන එවුන් දිහා බැලුවේ වසූරිය ලෙඩක් ගාණට. මට සෙට් නෑ ඒක. එහෙම හිතන එක හරි ගොන්. දැන් තේරෙනවා ඒක. ඒ උනාට මං ඒ වෙලාවේ ඒ බවක් පෙන්නුවෙ නෑ. හරියට මං  මාස්ක් දාන් නැති එකටත් හේතුව  මේ සිස්ටම් එකේ අවුල වගේ ටෝක් කරේ.

“ පිස්සුද? දැන් තත්වෙ එන්න එන්නම දරුණු වෙනවා  අනිත් රටවල් වල හොඳටම වැඩියි. නිවුස් බැලුවෙ නැද්ද? තමන් අකමැති  වුණාට තවත් මිනිස්සු තමන් නිසා අමාරුවෙ වැටෙන්න ඕන නෑනේ”.

ඒකි ගේ අතේ හිටිය මාස ගානක පෙනුමක් තිබුන කිරි දරුවා දිහා බලාගෙන අන්තිම වචන ටික කියනකොට අනිත් අතින් දික් කරපු සර්ජිකල් මාස්ක් එක අකමැත්තෙන් වුණත්  මං අතට ගත්තේ කට කොනකින් හිනාවකුත් දාගෙන  හරියට මං වැරදි නෑ කියනවා වගේ ලයින් එකක් දෙන ගමන්.

මං ආයෙමත් මගේ සුපුරුදු හීන ලෝකෙට ගියේ බුකියේත් වට ගණනාවක් ස්ක්‍රෝල් කරලා.බැට්‍රිය ඉතුරු කරගනින් කියලා කුඩා මොළයෙන් ආපු අවිඥානික සංඥාව අනුව පවර් බෑන්ක් එක දාගන්ඩ බැරි උන් ඒකට මං මටම ශාප කරගන්න ගමන්මයි.ආයේ අපි අතර කිසිම කතාවක් ඇති වුණේ නෑ. උඩරට මැණිකේ ගණේමුල්ලට එනකං.

එහෙන් මෙහෙන් පොඩි එකාගෙ කකුල් මගේ ඇඟේ වදින ඒවට වචනයෙන් තොර සමාවවල්.අනේ ඒකට කමක් නෑ වගේ අංග චලනයෙන් වුණ කාරුණික ප්‍රතික්ෂේප කිරීම්. වටපිට බලනකොට නැවතුන ඇස් ගැටීම්, මගහැරීම්. උරහිස් වල ඉඳන් අත් වල ස්පර්ශ වීම් වගේම අනවශ්‍ය ද අවශ්‍ය ද කියලා තේරුම් ගන්න බැරි හැඟීම් අපි අතර ඇති නොවුණාමත් නොවේ.යකඩ යකා ගණේමුල්ලට එනකොට නිකං බඩගින්නක් ප්ලේ උනේ අපි දෙන්නටම එකට වගේ. කතා නොකරත් නිකං ඒ බව දැනුනා හරියට ඇඟේ කොටසක් වගේ. ඒකිට එහෙම වුණාද දන්නෑ. මං දං නෑ,මටනම් එහෙම වුණා. දැං කතා කරේ මං. 

“ඔයාට මොකක් හරි හෙල්ප් එකක් ඔනි ද?  මං අහන්නේ, මේ….. වොෂ් රූම් එකට යන්න ඕනද? අවුලක් නැත්නම් මං බබාව  තියාගන්නම්.” 

ප්‍රශ්නෙත් අහල උත්තරෙත් මං දුන්නේ හරියට ඒක මගෙන් වෙන්න ඕන යුතුකමක් වගේ දැනුන නිසා.  මොකක්දෝ මංදා නිකං ළග ගතියක් දැනුනා. ඒක මට විතරක් ඇති වුණ එකක් නොවන බවත් මට දැනුණා. මේ ආපු කෙටි දුරට. මං දන්නෑ ඒකට හරිම නම විරුද්ධ ලිංගික ආකර්ෂණය වෙන්න ඇති.  නැත්නම්  කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට එහෙම ආදරයක් මිශ්‍රිත හැඟීම් ඇති වෙන්න බෑනේ. හරියට කතාවත් නොකර. ඔව්, ඔව් ආයෙ පිස්සුවක් ඇතෑ. අනික මේ බැඳපු ගෑණියෙක්. ඕ ලෙවල් ෆස්ට් ලව් එක නෙවෙයි  නි.දැක්ක ගමන් හාට් එකට වදින්න. සමහරවිට මිනිහා ඊළඟ ස්ටේෂන් එකට ඇවිත් ඇති මේකිව ගන්න. මං ඔලුවේ ඇතිවුණු මේ කෙමිකල් එක පොඩ්ඩක් තනුක කරේ මිනිස්සුන්ට සත්තුන්ට වඩා දේවල් හිතලා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් පරිණාමීයව වුන ඩෙවලොප් එක ගැන හිතලා. හඳවතට වඩා මොළය ප්‍රමුඛ කරගන්න  ඕන.

“අනේ තෑන්ක්ස්.. එහෙම වුවමනාවක් නෑ. පුළුවන්නම් වෝට බොට්ල් එකක් ගෙන්න පුලුවන්ද?  හරිම තිබහයි. සොරි කරදරයක් නම්”. 

දැඩි ආයාචනා හා මුදල් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සපැමිණි කූල් වෝට බොට්ල් එකකට,මයි කෝලා මිලි ලීටර තුන්සිය පණහකට වගේ ම ඉස්සො වඩේ පැකට්ටුවකට පුළුවන් වුණා අපිව තවදුරටත් වසංගතයෙන් වසන් නොකිරීමට.  අපි අපේ  මාස්ක් ගැලවුණු මුහුණු සහ ඇස් හොඳින් දුටුවා.ඇස් එකිනෙකට ගැටුණා. සිතුවිලි වලින් කතා කරා. බෝතලය මත ඇති අත් එකිනෙක ගැටුණු නමුදු කිසිම සීතලක් නොදැනුණේ නොතේරුන  උණුසුමකින්  සියොලඟ වෙලී පැවතුණනිසා කියලා අපි දෙදෙනාම තේරුම් ගත්තෙ ඒක කලින් අපිට පුරුදු හැඟීමක් වගේ දැනුන නිසා වෙන්න ඇති. සැනිටයිසර් නොදාපු ඇඟිලි එකට පටලැවුණෙ හරියට කලින් කතා කරලා හිටියා වගේ. ඔව්   කොරෝනා මිනිසුන්ගේ හැඟීම් වලට වැට බඳින්න උඹට බෑ. ටිකෙන් ටික මොළය දියවෙලා තවදුරටත් වතුර යට තිබුණු රබර් බෝලයක් වගේ හදවත උඩ ඇවිත් අපට නොදැනීම. මටත් වඩා ආරක්ෂිතව සිටි එයා මගේ උරහිසට බර දීලා ඇස් පියාගෙන. මගේ ඇස් පොඩි කෙලිපැටික්කි දිහාවට යොමු වුණේ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්නයි.එයා නිසා එයාගේ නින්දට බාධා නොවෙන්නයි ඕන නිසා.  කෙලි පොඩ්ඩ එයාට  තුරුල්වෙලා. හදිසියේම ඇති වුණු පුංචි රොමෑන්ටික් ලෝකෙක සිතුවිලි වල ගැඹුරටම මං කිඳා බැස්සේ කිසිම බාධාවක් නැති බව දැනුණ නිසා. මේ පුංචි ලෝකේ අයිතිකාරයා මං වගේ මට දැණුනේ. ඒ වගේ මොහොතක ඇතිවන හැඟීමත් එක්ක නොවෙනස්ව හැමදාටම ඉන්න පුළුවන් නම් .ඒක ආදරයද? මට තේරෙන්නෑ. ආයෙත් කියන්නේ ඒක අමුතුම හැඟීමක්. සොබාදහම හරිම  කෲරයි වෙලාවකට.

“ඔයා කොහෙටද යන්නේ? මං නමවත් දන්නෑ ඔයාගේ”

නාවලපිටිය කිට්ටු වෙද්දි මං ඇහුවේ එක අතකින් එයාගෙ ඔලුව අතගාන ගමන්.

“ හැමෝම යන තැනට තමයි”

එයා ඇස් වහගෙනම හිනාවුණා මිසක්. මට හරි පිළිතුරක් ලැබුණේ නෑ.ඒ නිසා මං ම උත්තරයක් ට්‍රයි කරා.

“ආ හෝර්ටන්තැන්න බලන්න වෙන්න ඇති. නෑ නෑ එක්කෝ බදුල්ලෙද?  එතකොට හස්බන්ඩ්?”

එයා උත්තරයක් දුන්නෙ නෑ මගේ අත අරන් අහකින් තියලා දරුවාගේ මුහුණ සිපගත්තා විතරයි. මාත් එතනින් එහාට මුකුත් ඇහුවේ නෑ. මටත් සීතල එක්ක පුංචි නිදිමතක් දැනුනා. ගැස්සි ගැස්සී කෝච්චිය කන්ද නගින්න පටන් ගත්තා.තලවකැලේ, කොටගල, හැටන්, රොසෙල්ල, ඉහළ වටවල,ඊළඟට වටවල. මං ඉදිරියට හමුවෙන්න තියෙන ස්ටේෂන් ටික මතකෙට ගන්න උත්සාහ කරා.හිමීට රහසින් මගේ කනට කොඳුරන ශබ්දයක් ඇසුණා.

“ඔයා ගොඩක් කරුණාවන්තයි, මට ඒක දැනෙනවා. මිනිස්සු තනි වුණාම තවත් මිනිස්සුන්ව දැනෙන්න ගන්නවා. කොරෝනා මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ ඒ  පණිවිඩේ දීලා යන්න.ජීවිතයක වටිනාකම තව අවුරුද්දකින් විතර මිනිස්සුන්ට හොඳට  දැනෙයි.මට කවුරුවත් නෑ. ඕනත් නෑ. හැබැයි මං එක වැරැද්දක් කරා. මිනිස්සු මේ ලෝකෙට බරක්. ජනගහනය පාලනය වෙන්න ඕන.  එතකොට ගොඩක් ප්‍රශ්න විසඳෙයි. මැරි කරන්න එපා කවදාවත්. මං බැඳලත් නෑ. හැබැයි මට දෙයක් වැරදුණා.මං ඒක නිවැරදි කරන්න ඕන.”

මොනවද කියන්නේ කියලා මට තේරුනේ නෑ. අපබ්‍රංස වගේ වචන ටිකක්. ඒත් ඒ වචන රැව් පිලිරැව් දුන්න මගේ මනසේ. සීතලත් එක්ක මීදුම දුම්රිය කවුළුවෙන් එද්දි මං ඇස් පියා ගත්තෙ පොඩි ළමයෙක් වගේ එයාට තුරුල්වෙලා. ඒක තමයි  ජීවිතය.

 

 අවුරුද්දකට පසුව….

“ වෙරෝනා, මෙහෙ එන්න මගෙ මැණික.ඉක්මනට එන්න මෙහාට මං කිව්වනේ මාස්ක් නැතුව කොහෙවත් යන්න එපා කියලා. කෝ සැනිටයිසර් කරාද අත්. අද තාත්ති එනකොට රෑ වෙනවා. ඔයා තුලාශි ආන්ටිලාගෙ ගෙදර දඟ කරන්නෙ නැතුව ඉන්න ඕන හොඳ බබා වගේ. අයියලත් එක්ක රණ්ඩු වෙන්න බෑ හොඳද?.”

මං මගේ පුංචි කෙලි පොඩ්ඩ ගෙ ඔලුව අතගෑවේ “උඹට මොන දේ උනත් මං උඹත් එක්ක ඉන්නවා කියන හැඟීමෙන්”  ඔව් උඹ මගේ. බැඳීම් ඇතිකරගන්න අකමැති වුණ මට මේ බැඳීමෙන් ගැලවෙන්න බෑ.  මාව නොදැනුවත්වම පර්ස් එක අතට ගියේ  එකේ තිබුන දිවයින ඉරිදා සංග්‍රහයේ මුල්  පිටුවේ ඉරා ගත් පත්තර කැබැල්ලක් වෙතටයි. හිතට අපහසුවක් දැණුන හැම මොහොතකම මං මේක අතට අරන් බලන්න ඕන නිසා මගේ ළගින්ම තියාගත්තා.

“කොත්මලේ ජලාශයට බිළි වූ නන්නාදුනන තරුණියගේ සිරුර අඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි. වැඩිදුර තොරතුරු 08ට පිටුවට.”

මගේ ඇස් බොඳ වෙලා තේ වතු යායට උඩින් ඈතින් එන මීදුම අතරේ වෙලුනා.  දුම්රියේ සද්දෙන් කන් දෙකම වැහුණා. බ්ලැන්කෙට්ටුවක  එතූ “පුංචි  වෙරෝනා”මගේ ඔඩොක්කුවේ මම ගේ උණුසුම  හෙවුවා. මං ඇස් ඇරලා බලනකොට ඇය ගිහින් තිබුණෙ මේ තෑග්ග මට සදහටම දීලා. මං පියවි සිහියට ආවේ වෙරෝනා මගේ කකුලේ එල්ලිලා මොනවද කියන්න හද හද දඟලනකොට. 

සොබාදහම, ආදරය, වසංගතය මේවා එකිනෙකට වෙනස් දේවල් නෙවෙයි,  මේවා සේරම එකම  එකිනෙකට සමාන කොටස්, එකම වක්‍රයක්.අපි හැමදාම ඉගෙන ගන්නේ එකම පාඩමක්. වෙනස් මුහුණුවරකින්.

පිරිසුදු ඔක්සිජන් පහස විඳිමින් තේවතු මැදින් වෙරෝනා ආසම මෝටර්සයිකලේ තෙල් ටැංකිය උඩ යන්න. මග බලන් හිටපු තුලාශි  ආන්ටි වෙරෝනා වඩා ගත්තම හැමදාම වගේ මගේ පපුව විදුලි එළියකට වගේ කම්පනය වුණා. මං කැමැති  නෑ වෙරෝනා මගෙන් එක මොහොතක්වත් ඈත් වෙලා ඉන්නවට. ඒක ආදරයද? මට තේරෙන්නේ නෑ.

හැමදාම ඈතින් ෆැක්ටරි එකේ දිලිසෙන  වහලේ පේනකොට කොත්මලේ  ජලාශෙ වතුර වගේ මට පේන්නේ. ලොකු පාඩමක් කියා දීලා ඔයා ගියේ. කොරෝනා එක්කම ලස්සන නමක් මං ගැලපුවා අකුරක් වෙනස් වුණත් ඒක හරි ලස්සන නමක් “වෙරෝනා” ඔව්,  ලෝකයේ ඇත්ත මොකක්ද කියලා මං ඔයාට කියාදෙයි දවසක. ඔයා ඔයාගේ ජීවිතයක් පටන්ගනි. මං එදාට නැතිවුනත් ඔයාටත් පාඩමක්  කියා දෙයි සොබාදහම. මම මාස්ක් එක ගලවලා හොඳටම පපුව පිරෙන්න හුස්මක් ගත්තා. මං අදටත් කැමති නෑ මාස්ක් දාන්න. හෙට මොකක් වෙයිද කියලා අපි දන්නේ නෑ. එක නිමේශයෙන් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. එයා කනට  කොඳුරපු  වචන ආයේ මට මතක් වුණා.

සොබාදහම ඒකේ පැවැත්මට සියලුම දේවල් වෙනස් කරනවා.වෙලාවකට කෲරයි.වෙලාවකට හැඟුම්බරයි, තවත් වෙලාවකට සුන්දරයි. අපි පැවැත්ම පවත්වා ගෙන යන කොටස්කරුවෝ විතරයි. තමන්ගේ භූමිකාව තමන්ට අනන්‍යයි. දවසක වෙරෝනාත් යථාර්ථය අවබෝධ කරගනීයි.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp