jika;h h,s;a weú;a
uOqIsld iukau,S

”ඩොක්ටර් ඩොක්ටර් කොවිඞ් වාට්ටුවේ ඉදලා ඊයේ හදිසියේ නියුමෝනියාවට ඇවිත් අයිසීයූ එකට දාපු අර අම්මට නම් බරපතලයි වගේ.”

”කොයි අම්මද සඳමාලි මිස්?”

”ඇයි ඩොක්ටර් අර දවස් තුන හතරකට කලින් පොඩි දරුවෙකුයි අම්මෙකුයි ගෙනාවේ ….. ආන් ඒ දරුවගේ අම්මා.”


”ආ………. ඒ අම්මා හාර්ට් පේෂන් කෙනෙක් ජීවිතේ ගැන නම් විශ්වාසයක් නෑ. අම්මා කොයි වෙලෙත් මුමුණන්නේ දරුවා ගැන. මොන දුක වින්දත් අම්මලා දරුවන්ට තියෙන ආදරේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. අනේ මන්දා සඳමාලි මිස් ඒ දරුවගේ හුරතලේ දකිද්දි මගේ් පොඩි එකත්් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි. ඒක මහ අමුතු හැගීමක් කොච්චර දරුවොන්ට බෙහෙත් කරලා තිබුණත් කවදාවත් මට ඒ දරුවා ළගදි දැනෙන හැගීම දැනිලා නෑ. ඒක අනේ මන්දා.”


”ඩොක්ටර් දුක් වෙන්න එපා. ඩොක්ටර් දරුවන්ට ආදරේ විත්තිය අපි හැමෝම දන්නවා. අනික එදා වෙච්ච සිද්ධියේ වැරැද්ද ඩොක්ටර් පිට පටවා ගෙන දුක් විඳින එක තේරුමක් නෑ නේද?”


කොච්චර වැඩ තිබ්බත් කොච්චර හිත හදා ගන්ට හැදුවත් කවදාවත් බැරි වෙයි මට හිත හදා ගන්ට. මේ වසංගතයක් ඇවිත් මිනිස්සු කොච්චර නම් අසරණ කරලද? මොන දේ තිබ්බත් ඒ හැමදේම දැන් මට නිකම්ම නිකම් දේවල් විතරමයි. දෙයියනේ චමරි කොහොම හිත හදා ගන්ටද? හැම තාත්තෙක්ම කොයි දේටත් වඩා රකින්නේ තමන්ගේ දරුවෝ. ඒත් මං මොන විදිහෙ තාත්තෙක්ද…………..?මෙච්චර වෙලා හැමදාම වගේ තවමත් පරණ නොවූ ඒ අතීතේ මතක් කර කර හිටපු සිහින ගැස්සිලා ගියේ නාලිකාගේ හඩින්.


”මොකද මේ නාලිකා මිස් කලබලේ. ඩොක්ටර් අර අයිසීයූ දාපු ලෙඩා අන්ත‍්‍රා වුණා.”


දෙයියනේ මේ වසංගතයක් ඇවිත් කී දාහක් දුක් විඳිනවද? කොච්චර නම් දරුවො, දෙමව්පියෝ තනිවෙනවද? මං අර පොඩි දරුවට කොහොම කියන්ටද මේක? මගේ කෙල්ලත් හිටියනම්…..පව් පොඩි එකී කාත් කවුරුත් නැතිව තනිවෙලා.


”චූටි දුව මොකද කරන්නේ. දැන් සනීපයි නේද?”


”මාමේ මගෙ අම්මා කෝ? එයා ඊයේ මෙතන හිටියා. මං උදේ ඇහැරිලා බලද්දි නෑ. ”


”පුතා ඔහොම ටිකක් ඉන්ටකෝ. පුතාගෙ අම්මට මං ඉක්මනින් එන්ට කියන්නම්කො.”


”සතියකටත් පස්සේ ඔයා ගෙදර ආවේ. මේ වසංගතයක් හින්දා අපිත් ඈත් වෙලා නේද සිහින.

”අපි ටික දවසක් දුරින් හිටියට අපේ ආදරේ අඩු වෙලා නෑනේ මැණික. දන්නවද මේ වසංගතයක් හින්දා අපි වගේම ගොඩක් අය අසරණ වෙලා චමරි. අනේ මන්දා මොන දේ වුණත් අපි දෙන්නට අපි දෙන්නවත් ඉන්නවා. ඒත් සමහර දරුවෝ කිසි කෙනෙක් තැතිව තනිවෙලා. මගෙ වොර්ඞ් එකේ හිටිය අම්මෙක් අද අන්ත‍්‍රා වුණා. ඒ අම්මත් එක්ක ආව පුංචි කෙල්ලෙක් මාත් එක්ක හරි එකතුයි. කොයි වෙලෙත් අහන්නේ අම්මා ගැන. අනේ මන්දා චමරි ඒ දරුවා දකිද්දි මට හරි ලෝභයි. හරියට අපේ කෙල්ල වගේමයි. දැන් ඒ දරුවව භාරගන්න කෙනෙක් නෑ. අපි බැලුවෙ ළමා නිවාසෙකටවත් කතා කරන්ට. ඒත් එහෙම කරන්ට මට හිත දෙන්නෙම නෑ චමරි.”


”අනේ සිහින ඒ පොඩි දරුවව එකපාරටම ළමා නිවාසෙකට දුන්නම ඒ දරුවා කොහොම ඉදීද. ඔයා ගියාම මාත් තනියෙන්නේ ඉන්නේ අපි ඒ දරුවව ටික දවසකට මෙහෙට ගේමුද.”


අනේ දෙයියනේ මගේ පුංචි කෙල්ලත් හිටියනම් මේ දරුවා වගේම ඉදී. කාගෙ පවකට අපේ දරුවට එහෙම වුණාද? ඒත් මම මේ දරුවට කවදාවත් තනිවෙන්ට දෙන්නෑ. මගේ දරුවා වෙනුවෙන් මං මේ දරුවව බලා ගන්නවා. ඒ තරම්ම ආදරෙන්……


”කෝ මේ කෙල්ල ……. කොහෙද හැංගුණේ. අනේ පැටියෝ ඇයි මේ දුකෙන්? ඇයි මේ එලියට වෙලා. ”


”ඩොක්ටර් මාමගේ නැන්දේ අම්මා මට කිව්වේ මගෙ තාත්තා අහසේ තරුවක් වෙලාලූ. දැන් මගෙ අම්මත් තරුවක් වෙලා . ඉතින් ඇයි එයාලා මාව තරුවක් කරන්නැත්තේ. තව ටික දවසකින් මං මෙහෙන් ගියාම මට ආදරේ කරන්ට කවුරුත් නැති වෙයි. ”


”අනේ නෑ පුතේ ඔයාව මෙහෙන් ගෙනියන්න මං කාටවත් දෙන්නෑ. දැන් මං තමයි ඔයාගෙ අම්මා. ඔයා දන්නවද මටත් හිටියා ඔයා වගේම ලස්සන චූටි දුවෙක්. ඒත් එයත් ඔයාගෙ අම්මයි තාත්තයි වගේ ම මාව තනිකරලා ගිහින් අහසේ තරුවක් වුණා. ඉතින් එයා දැන් පුතාගෙ අම්මලා ළග ඇති. ඒ හින්දා පුතා අපි එක්ක හැමදාම ඉමු.”


”පුතා කැමතියි නේද අපි එක්ක හැමදාම මෙහෙ ඉන්ට?”


”අම්මෝ චමරි මාස ගානකට පස්සෙ ඔන්න සතියකට විතර ගෙදර ඉන්ට පුලූවන්. ගෙදර ඉන්න තරම් නිදහසක් කොහෙවත් නෑ. කෝ මේ චූටි කෙල්ල තව නිදිද?”


”දවස තිස්සේ කෝලම් කරලා ඔන්න දැන් තමයි නින්ද ගියේ. ඒක නෙවෙයි සිහින ඒ දරුවා නිසා අපේ මුලූ ගෙදරම පිරිලා දැන්. අපිට බැරිද එයාව හැමදාටම අපි ළග තියාගන්න. ”


”ඔය ඇත්තමද චමරි මං ඔයා එක්ක කතා කරන්ටමයි හිටියේ. ඔයා දරුවට ඔච්චරටම ආදරේ නම් අපි ඒ දරුවව තියාගමු.”


”හෙලෝ මහත්තයා නෝනට හදිසියේම ලෙඩ වෙලා මේ ළග ඉස්පිරිතාලෙට අරන් ගියා.”


”ආ හරි සිරිමලී මං දැන්ම එන්නම්.”


”හෙලෝ මචං චමරි…… ආ හරි හරි මචං චමරි ඉන්නවා. පොඩි ඔලුවෙ කැක්කුමක් ඇවිත්. උඹ හෙමින් වරෙන්කෝ.”


”කෝ බං චමරි?”


”මේ අහපන්කො ලෙඬේ පොඩි කිව්වට පොඩිමත් නෑ. උඹ දැන් වෙනදට වඩා සෑහෙන්ට චමරි ගැන නම් බලන්ට වෙනවා. කලබල වෙන්ට එපා මෙහෙම කිව්වට මේ වසංගතෙත් එක්ක උඹට චමරි සෑහෙන්ට පරිස්සම් කරගන්ට වෙයි.”


”ඇයි බං කෝ චමරි? චමරිට මොක ද?”


”යකෝ තාත්තෙක් වුණාම ඔහොම කලබල වෙලා පුලූවන්ද?”


”මොකක් ආය කියපන් ……. කෝ චමරි.”


”චමරි ඇතුලේ උඹ චමරිගෙන්ම අහගනින්කෝ.”


”චමරි ඇයි මේ ඇස්වල කදුලූ?”


”අනේ සිහින මට සතුට දරා ගන්ට බෑ. දෙවියො අපට එකපාර දරුවො දෙන්නෙක් දීලා. සිහින දන්නවද අපි ළගට ආයෙත් අපේ චූටි කෙල්ල ඇවිත්. මං දන්නවා සිහින එදා වුණ දේ එක්ක ඒ හැමදේම ඔයා පිට පටවන් ඔයා ගොඩක් විදවනවා. මං තරහ නෑ සිහින. එදා කොවිඞ් හැදිලා අපේ දරුවා නැති වුණාට ඔයා තව ගොඩක් දරුවො බේරා ගත්තා සිහින. එදා ඔයා කරේ ඔයාගෙ වගකීම සිහින. ඔයා හිතුවේ හැම දරුවෙක් ගැනම ඒ වගේ තාත්තෙක් ලැබුණු එකට අපේ දරුවා කොහේ හරි ඉදන් සතුටු වෙන්ට ඇති. දැන් ඒ හැමදේම හරි අපිට දැන් දරුවො දෙන්නෙක්ම ඉන්නවා.”


”මං පොරොන්දු වෙනවා චමරි ආය මොන වසංගත ආවත් මං මගේ පවුල පණටත් වඩා රකිනවා.”


මාස ගානක් හිතින් අඩපු සිහිනයි චමරියි අද අඩන්නේ සතුට දරා ගන්ට බැරිව… මාස ගානකට කලින් කොවිඞ් හැදිලා සිහිනගෙයි චමරිගෙයි දරුවා නැති වෙද්දි ඒ දවස්වල තිබ්බ කොවිඞ් රාජකාරි හින්දම සිහිනට තමන්ගෙ දරුවා වෙනුවෙන් කිසි දෙයක් කරගන්ට බැරි වුණා. එදා ඒ වෙච්ච දේත් එක්ක චමරි ලොකු මානසික පීඩනයකට ලක් වුණා. තවත් රුවෙක් ගැන හිතන්ට බැරි තරමටම… ඒ හැමදේටම වඩා සිහින ඒ වේදනාව හිතේ තදකරගෙන විදෙව්වා….. ඒත් දැන් වසංගතේ ටික ටික අඩුවෙනවා වගේ ඒ පවුලෙ සතුට ආය ඇවිත්. සිහිනයි චමරියි බදාගෙන මේ තරම් අඩන්නේ ඒකයි.


”කොහොමද බං එහෙම වුණේ. මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු වෙලත් ඩොක්ටර්ස්ලා කිව්වේ දරුවො ගැන අදහස අතාරින්ට කියලමයි. එහෙම එකේ……….”


ආදරේ නිසා තමයි බං ඔක්කොම. කොවිඞ් එක්ක උඹ බිසී වෙද්දි අර ගෙදර චමරි පරණ මතක එක්ක ගොඩක් තනි වුණා. හැබැයි අර දරුවා ආවට පස්සේ චමරි සෑහෙන සතුටෙන් කියලා කිව්වා උඹට මතකද? ඒ හිතේ සැහැල්ලූව එක්ක චමරි ඒ දරුවගෙ අම්මා වුණා. ආන් ඒ ආදරේම මේකට හේතුවක් වෙන්ට පුලූවන්. උඹ දන්නවනේ කොච්චර බෙහෙත් කරත් හැම දේටම වඩා හිතේ සැහැල්ලූව වටිනවා කියලා. අනික ඉතින් හැම නරක කාලෙකටම පස්සේ හොඳ කාලයක් එනවා කියනවනේ.


”ආදරේ තමයි බං හේතුව. මේ වසංගතෙන් අපිට දරුවො දෙන්නෙක් ලැබුණා විතරක් නෙවෙයි. ඒ වසංගතේම අපේ ආදරෙත් අලූත් කරා.”

 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp