r;a;rka ud,hla
iór rcjxY

“දඹුල්ල,හබරණ,මින්නේරිය,පොළොන්නරුව,කදුරුවෙල,මනම්පිටිය,අරලගංවිල..අරලගංවිල..අරලගංවිල….. “

කොටුව ලංගම බස්නැවතුම්පළේ දහසකුත් කොන්දොස්තරවරුන්ගේ කන්දොස්කිරියාවල් මැද්දේ මගේ ගමේ නම කනට මී පැණි වත් කළේය. මෙතෙක්

වෙලාවක් අර්ධව ප්‍රාණය නිරුද්ධ වූවෙක් මෙන් මන්දගාමී ගමනක නියැළුණු මම,අරලගංවිල නම කන වැකුණු සැණින් කාන්තාරයේ පැලයකට ජල බින්දුවක් වැටුණු කලෙක මෙන් ප්‍රබෝධයක් ලැබ මගේ බස්රිය වෙත පිය මැන්නෙමි.

” කොහාටද මහත්තයා?… “

” අරලගංවිලට “

” ආ…එන්න මහත්තයා…කොනේ සීට් එකක් අරන් දෙන්නම්….”

බස්    කොන්දොස්තර වරයා මාව බසය තුළට කැදවාගෙන කොනේ අසුනක් මට පෙන්වූයේය.

” ආ…මෙතනින් වාඩිවෙන්න මහත්තයා….. ” ඔහු එසේ පවසා බසයෙන් බසින ලද්දේය.

ඔහු මට ” මහත්තයා ” ලෙස ඇමතුවේ, ඇතැම් විට ඉස්තරම් පෙනුමක් ඇති, එහෙත් බාල රෙද්දකින් මසා අඳින ලද කමිසයත්, යටි පැත්තෙන් ඇණ ගසා කාලාන්තරයක් පාවිච්චි කරන මගේ හම් පටි සෙරෙප්පු දෙසත් බලා විය යුතු යැයි මම උපකල්පනය කළෙමි. නොඑසේ නම්, මං වැනි ගෙඩි කඩන්නෙකුට ” මහත්තයෙක් ” කීම නම් විහිළුවක්ම ය.

මේ වසංගතය අහවර කොට, මිනිසුන් ටිකෙන් ටික වීදි බසිනා කාලය වීය. මාස 03 ට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ, ලුණු එක් බත් කෑ මට, මේ නිදහස් කිරිල්ල වේලකට හරි පරිප්පු හොද්දක රස බලන්නට අතට කීයක් හොයාගන්න හොඳම අවස්ථාව වීය. මම ඊයේ රෑ බස් එකේම කොළඹ දුවන් ආවේ ඒ සඳහා වුවද, දැන් මට ආයෙත් ගමට යන්නට වූයේ සතියක් කෑමට ඉතිරි කරගෙන තිබූ මුදලද වියදම් කරගෙන ය.

” අර පිට්පස්සේ ගාඩ්න් එකේ නම් පොල් ගස්වල ගෙඩි පිරිලා…ඒ උණාට කොහොමද මං සේකරට කඩන්න කියන්නෙ?….පිට මිනිස්සුන්ව තාම ගෙවල් වලට ගන්න එපා කියලා පොලීසියෙනුත් කියලනෙ තියෙන්නේ”

මට හොඳහැටිම හිතවත්කම හා කරුණාව පෑ කාන්ති නෝනාද එසේ පැවසුවේ නම් තවත් මොන කතාද? කොළඹ රටේ පොල් කැඩීම තවත් ටික කලකට අසාර්ථක යමක් වේය යන වග මට පසක් වූයේ ඇගේ එම වදන් වලින් පසුවය.

ඇත්තෙන්ම මෙහි පොල්, තැඹිලි ආදිය ගෙවල් වල හිටවන්නේ විසිතුරු ශාක ලෙසින්ය. ඔවුන් එම ඵල පරිභෝජනයට නොගනී. ඒ වෙනුවට සුපර් මාකට් එකෙන් ගෙනෙන ලද පිටිකළ පොල් කිරි පැකට් එක වෑංජන වලට යහමින් එකතු කරයි. ඇත්තෙන්ම එහි වාසිය ලැබුණේ මට ය.

” සේකර ඔය කඩපු පොල් ටික අරන් යන්න…” ඔවුන් එසේ කියන කල මම ඒවා එකතු කොට ගෝනියක දමාගෙන, බසයේ පටවාගෙන ගමට යන්නේ රාජකීය නිධානයක්

ලැබුණු කලෙක මෙන් ඉතා ආඩම්බර‍යෙන් ය. ඒ ඉස්සරය. එසේ නැවත කාලයක් එළඹෙයිදෝ හිතටද සැක ය. අද එකදු වැඩක් නොලැබුණ හෙයින් මගේ හිත දෙගිඩියා වූයේ පොඩි උන් දෙන්නට කන්න දෙන්නේ මොනවාද කියා හිතේ ගැස්මෙන් ය.

” මෙතන කවුරු හරි ඉන්නවද?…” මාව නැවත බසය ඇතුළට කැදවාගෙන ඒමට මෙම හඬ සමත් විය. ඔහු උස මහත, හොඳ පෙනුමක් ඇති තරුණයෙකු වීය.මගේ යාබද අසුනෙහි යමෙක් ඇත්දැයි ඔහු මගෙන් විමසීය.

” නෑ…කවුරුත් නෑ..”මම ඔහුට එසේ කී සැණින් ඔහු එතැනින් හිඳ ගත්තේය. නැවතත් ටික මොහොතකින් මම මගේ සිතුවිලි දාමයට අවතීර්ණ වීමට සැරරෙමින් ජනේලයෙන් පිටත බැලීමි. එයට නැවතත් බාධාවක් ස්වල්ප වේලාවකින්ම පැමිණියේය.

” ආ මෙන්න වටින කියන භාන්ඩයක්…රුපියල් සීයයි..රුපියල් සීයයි…මලකඩ කන්නේ නෑ….හොරු කඩන් ගියාට පාඩුත් නෑ…ලස්සනට කරේ දාන් යන්න පුංචි රුපියල් සීයකට….”

මාල වෙළෙන්දෙක් නැවතත් මගේ දැහැන බින්දේය. වෙනදාට නම් කොටුවෙන් කුමක් හෝ සුකුරුත්තමක් මම පොඩි උන් දෙදෙනාට උස්සගෙන යන්නෙමි. එහෙත් අද නම් මුකුත්ම ගැනීමේ හැකියාවක් මට තිබුණේ නැත. උන් මං එනතෙක් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ කොටුවෙන් මං උස්සන් එන දේ ගැන මහත් කුතුහලයෙන් යුතුවය. එහෙත් අද හිස් අතින් මං යනවිට උන්ගෙ මුහුණු කෙසේ නම් මැලවේවිද? මට ඒ ගැන හිතෙද්දී මහත් පසුතැවීමක් හිතට දැණුනේ ය.

” ආ අතට අරන් බලන්න….ගත්තෙ නෑ කියලා තරහා නෑ යාලු…අරන් අතගාලා බලලා වටී නම් විතරක් අරගෙන යන්න…” මාල වෙළෙන්දා ඉදිරියේ සිට අසුන් වල සිටි සෑම

අයෙකුටම මාලය බැගින් අතට දෙන ලද්දේය. ඔහු එ රිද්දෙ මටත්, මගේ එහා පසින් හුන් තරුණයාටත් බලෙන මෙන් මාලය අතට දමන ලද්දේ. මම එය අපත් රඳවාගෙන හුන්නේ, ගන්නට අවශයතාවය හිතේ දැඩිව තිබු මුත් රුපියල් සියයක් මේ මොහොතේ වැය කිරීමට නොහැකියාව හේතුවෙන් ය. මගේ එහා පස සිටි තරුණයාද එය අතේ තබාගෙනම වයර් එල්ලෙන ඇබ දෙක කනේ ගසාගෙන ටීවී එකකට පොඩ්ඩක් පොඩි වුණු ජංගම දුරකථනය දෙස ඔලුව යොමාගෙන හුන්නේය.

“කවුරු හරි මග බහින අය බස් එකට නැගලා ඉන්නවා නම් දැන්මම බහින්න….හබරණෙන් එහා අයට විතරයි සීට් දෙන්නේ ” මේ මොහොතේ එසේ කියමින් කොන්දොස්තරවරයා බස් එකේ එහා මෙහා ගියේය. ඔහුගේ එම ණිවුඩය ඇසීමට එක් ඇබයක් ගැලවූ තරුණයා මගෙන් ඔහු කීවේ කුමක්දැයි අසා සිටියේ ය.

” අයියේ මොකද්ද කන්ඩක්ටර් කිව්වේ?”

” හබරණෙන් එහා විතරයි වාඩිවෙන්න සීට් දෙන්නෙ “

” අප්පා එහෙමද?…මං වරකාපොළෙන් බහිනවනේ….”

” එහෙනම් මල්ලිව නැගිට්ටවයි….”

” අපෝ….හිටන් යන්න බෑ පැයැ දෙකක් විතර…මං එහෙනම් බහිනවා….” ඔහු බහින්නට සූදානම් වූ‍යේය. ඇත්තටම වරකාපොලට යෑමට මෙතරම් බස් තිබියදී ඔහු මේ ඈත අස්සකට යන බස් එක්කටම නැගගත්තේ ඇයිද යන්න මට ඔහුගෙන් විමසීමට සිත් දුන්නද මම කට පියා හුන්නෙමි.

තරුණයා අසුනෙන් නැගිටීමට සැරසුණේය. ඒත් සමගම ඔහුගේ අතෙහි තිබූ මාලය ඔහුට බාධාවක් වූයේය. ඒ වෙලාවෙහි මාල වෙළෙන්දා බසයේ පිටුපසටම වී මාල විකුණමින් සිටියේය. තරුණයා මොහොතක් ඔහු ඉදිරියට ඒවිදැයි බලා හුන්නද, ඔහු දැන්මම නොපැමිණෙන බව තේරුම් ගත් තරුණයා මා දෙසට හැරුනේය.

” අයියේ…මේක අර මනුස්සයට ආවම දෙන්න..”

ඔහු මට එම මාලය දිගු කළේය. මම එය බාරගත්තෙමි. එය දුන් සැණින් එම තරුණයා බසයෙන් බැස පිටව යන ලද්දේය. මගේ අතෙහි දැන් මාල දෙකක්ම වීය.

මේ මොහොතේ මට කවදාවත් සිතට නොආ සිතුවිල්ලක් එක වරම ආවේය. මම මඳක් වටපිට බැලුවෙමි. කිසිවෙකුත් මා දෙස අවධානයකින් බලා සිටිනු නොපෙණුනි. තරුණයා මට මාලය ලබා දෙන බැව්ද කිසිවෙකුටත් එතරම් අවධානයක් තිබුණාද යන්නද සිතිය නොහැකිය. එක් වරම එම මාල දෙකෙන් එකක් මම මගේ කලිසම් සාක්කුවේ ඔබා ගත්තෙමි.

” ගන්න ගන්න….රුපියල් සීයට පාඩු නෑ ඕක …ඊළඟ දවසේ  කොටුවට ඇවිත් මාල අයියව හොයාගෙන ඇවිත් මාල ගනී…” වෙළෙන්දාගේ හඬ ටිකෙන් ටික ඇසුණි. ඔහු මගීන්ට ලබාදුන් මාල එකතු කරමින් සිටියේය. මගේ හදවත තරමක් වේගයෙන් ගැහෙන්නට ද වූයේය. එහෙත් ආයාස‍යෙන් සිත සන්සුන් කරගත් මම නොබියව මගේ අත තිබූ මාලය ඔහුට දිගු කරන ලද්දේය.

” අයියා…මෙතන ඉඳපු එක්කෙනා කෝ? “

” බැහැලා ගියා…වෙන බස් එකකට…”

” මොකක්?…දැන්ද බැහැලා ගියේ?….යකෝ මේකා මගෙ මාලෙත් අරන්නෙ ගිහින් තියෙන්නේ…හොරා…මූ මගෙන් ඉල්ලුවා නම් මං මූට නිකම් දෙනවනෙ මාලයක් පිනට…කාලකණ්නියා…ලකේට ඇඳන් කනේ ගහගෙන ෆෝන් තඩිය ඔබ ඔබ ඉන්න හාල්පාරුවෝ….”

වෙළෙන්දා එක දිගට මහ හඬින් බනිමින් හුන්නේය. ඔහු එසේ බැණ වදිමින් ඉදිරි අසුන් කිහිපයේ මාල ටිකද එක් අහු කරගත්තේය.

” හෙනම ගහන්න ඕන ඕකුන්ට…හෙනම ගහන්න ඕන දාගෙන් ඉන්න එකාට….”

ඔහු දෙස් දෙවොල් තියන්නට වීය. දෙවියනේ….එක් මාලයකට හෙන ඉල්ලීමක්? මට සිතුනේ එලෙසින් ය. එහෙත් ඔහුත් මං වගේම අසරණයෙක් නම්? මට වෙළෙන්දා ගැන අනුකම්පා සිතුණේය. ඔහුට නැවත මාලය දීමටද සිතුණේය. එහෙත් දැන් එය දීම කළ නොහැක්කක් වීය. එහෙයින් ඔහු බැස යන තෙක් නිහඬව හුන්නෙමි.

අවසානයේ ඔහු බසයෙන් බැස යන්නට ගියේය. එහෙත් ඔහුගේ මුහුණෙහි භාව ප්‍රකාශනය දුටු මට වැටහී ගියේ ඔහු කේන්තියෙන් කෑ ගැසුවාට වඩා වේදනාවෙන් කෑ ගසා ඇති බවය. දැන් එය සිදු වී හමාරය. තවත් ඒ ගැන සිතීමෙන් පලක් නැත. දැන් මට මගේ  පොඩි පැටවුන් දෙදෙනාට ආඩම්බරෙන් ගෙනිහින් දීමට දෙයක් ඇත්තේය. එහෙයින් හිතේ කොණක පුංචි ජයග්‍රාහී සතුටක්ද නොතිබුණා කිවතොත් එය වැරදිය.

තවත් නොබෝ වේලාවකින් බස්රථය අරුම පුදුම කොළොම්තොටට සමු දුන්නේය. මෙතෙක් වේලාවක් වැඩක් නොලැබීම හේතුවෙන් හිත කළකිරීමෙන් තිබුණද, ” මාලය ලබාගැනීමේ ” ප්‍රීතිය නිමිත්තෙන් මට ඒ කළකිරීම් සියල්ලම අමත වී ගොස් තිබුණේය.

 

**********************************************

 

” ආ….සේකර. මං බයේ උන්නේ රෑ එහෙන් එනවා කියලත් තාම ආව නැත්තෙ ඇයි කියලා…” උදෑසනම මම පගදරට පැමිණෙන විට, මගේ බිරිඳ මගෙන් විමසා සිටි‍යේ එයය.

” රෑ අලි පැනලා…ලන්දෙ පාරෙ එන එක බය හින්දා සෝමපාල මාමගෙ කඩේ උන්නා ඒ පාර”

“ආ..ඒක හොඳයි….”

” නේත්‍රා….කෝ පොඩි උන් දෙන්නා ?…නිදිද? “

” ඔව්…රෑ වෙනකල් ඔයා එනකල් බලන් ඉඳලා පාන්දර ජාමේ නිදියැව්වෙ…සෙල්ලම් බඩු උස්සන් එනකං ඉවසිල්ලක් නෑ නොවැ උන් දෙන්නට”

මම මගේ කාමරය වෙත ගියෙමි. සැබවින්ම එය මගේ කාමරය නොව, අපේ කාමරය වූයේ අප සිවු දෙනාට තිබුණු එකම කාමරය එය වූ බැවිනි.  පොඩි උන් දෙදෙනා තවමත් නින්දේය. මම උන්ට නෑසෙන පරිද්දෙන් මාලය පිටතට ගෙන ඒ දෙස මොහොතක් ආඩම්බරයෙන් බලා සිටි‍යෙමි. ලොකු මිනිසුන් දෙදෙනෙකුට එක වර බෙල්ලේ රුවා ගත හැකි තරම් විශාල වූ එම මාලය පොඩි උන් දෙදෙනාටම සෑහේ. එහෙයින් මම එය සූක්ෂමව දෙකඩ කිරීම සඳහා එහි ගාංචුව ගැලවුවෙමි. එහෙත්, මට මාල වෙළෙන්දාගෙ කෑ ගැසීමත්, ඔහුගේ වේදනාබල මුහුණත් එක වරම මැවී පෙණුනේය. ඔහු හෙණ ඉල්ලා කෑ ගැසූ ආකාරය මතක් වත්ම මගේ සිරුරම ගැහී යන්නට විය. පෙරදා මාලය ලබා ගැනීම පිළිබඳව යම් ජයග්‍රාහී හැඟීමක් තිබුණද, මට මොහොතේදී නම් යම් පසු බෑමක් මගෙ හිතට දැනෙන්නට පටන් ගත්තේය.

මං නැවත වරක්  පොඩි උන් දෙදෙනා නිදා සිටි අයුරු බැලීමි. තව ටික වේලාවකින් උන් දෙදෙනා මගෙන් ” ගෙනාවේ මොනවාද? ” යන්න විමසනු ඇත. එහෙයින් හිතේ හොල්මන් වෙන මනස්ගාත ඉවත් කර දමා මම මාල දෙකක් සැකසෙන පරිදි මාලය දෙකඩ කෙරුවෙමි. ඉන් පසු ලොකු හා පොඩි වශයෙන් මාල දෙකක් සැකසන් පරිද්දෙන් එය ගැටගසා සැකසුවෙමි.

” තාත්තේ….” එක්වරම මගේ පොඩි උන් දෙදෙනා මගේ පිටු පසින් පැමිණ මාව බදා ගත්තේය. ඒ මොහොතේ මම ලොකු පුතාවත් පුංචි දෝණිවත් මගේ උකුලට ගත්තේ ඉතාමත් ආදරයෙන් ය.

” කොළඹින් අද මොනාද තාත්තා ගෙනාවෙ අපිට?..” ලොකු පුතා මගෙන් විමසුවේය. මම මහත් ආඩම්බරයෙන් ඔවුන් අතට මාල දෙක දුන්නෙමි. වැඩි වේලාවක් නොගොස්ම එම මාල දෙක උන්ගේ කරට වැටුණේ උන් ඒකට ඉතාමත්ම කැමති බව පෙන්වමින් ය.

” අම්මේ…තාත්තා අපිට රත්තරන් මාල ගෙනල්ලා….” ලොකු පුතා එසේ කෑ ගසමින් කාමරෙන් දිව ගි‍යේය. චූටි දුව ද ඔහුව අනුකරණය කරමින් ඔහු පසුපස දිව ගියේය.

සැබැවින්ම මම ගෙදර පැමිණියේ හිස්අතින් බව තවම මගේ බිරිඳද දැන් හුන්නේ නැත. පොඩි උන් දෙදෙනාගේ හිනාව ඇසෙන කල්හි ඒ ගැන දුක් වෙමින් කල් මැරීමටද මට අවශ්‍යතාවක් නොවීය.

තවත් සති කිහිපයක් ඉතා දුෂ්කරව ගතවූයේ නොදැනිමය. එහෙත් ඒ සති කිහිපය තුළ ටිකෙන් ටික රට සාමානය තත්වයට පැමිණියේය. කොළඹ බඩ ගා ගස් ගෙඩි කැඩීම පාඩු බැව් වැටහුණු බැවින් ඒ සති කිහිපයට මම කොළොඹ යාම අත් හැර දැමුවෙමි. ඒ වෙනුවට වත්තේ පිටියේ තිබූ ගෙඩියක්, පළතුරක්, කොළයක්, ඖෂධයක් කුණු කොල්ලෙට විකුණමින් එදා වේල හම්බ කරගත්තෙමි.

නැවතත් අද මම කොළඹ රටට පැමිණ ඇත. අද නම් යහමින් මම ආදායම හොයා ගත්තෙමි. මෙලෙස ආදායම ලැබුණ දාට දවස් තුන  හතරකට සැපට ජීවත් වීමට තරම් එය සෑහේ. එබැවින් ආයෙත් කොළඹ යෑම දවස් පහකට පමණ පසුව සිදු කිරීම ප්‍රමාණවත් වේ.

හවස් යාමයේ මම සුපුරුදු පරිදි මගේ බස්රිය වෙත පිය මැන්නෙමි. එහිදී අවශය කරන තවත් කළමනා කිහිපයක්ද, පොඩි උන් දෙන්නාට සෙල්ලම් ටෙඩියෝ දෙදෙනෙක්ද මිලදී ගන්නට මම අමතක නොකළෙමි. ඒවාද, ගෙවල් වලින් ලැබුණු ගෙඩි ටිකද බසයේ ඩිකියට පටවාගත් මම අසුනක් වෙතට බර වුණෙමි.

” මාල මාල…..ආ මෙන්න ගන්න ලස්සන මාල….රුපියල් සීයයි…ගන්න මාල…..”

දෙවියනේ…..ඒ හඬ ඇසෙත්ම මට සති කිහිපයකට පෙර සිදුවීම එක්වරම මතක් වූයේය.

අද මගේ අත සල්ලි බොහෝ සේ රැඳුණ බැවින් එදා වුණු සිදුවීම නිවැරදි කිරීමට හැකි බව මට සිහි විය. එහෙත්, ඒ පැමිණ තිබුනේ එම මාල වෙළෙන්දා නොවන බව දුටු විට එම අදහස ව්‍යර්ථ විය.

ඇතැම් විට, මේ වෙළෙන්දා ඔහු ගැනද දන්නවා විය හැකිය. එහෙයින් ඔහුව කතාවට අල්ලා ගැනීමේ අරමුණින් මම ඔහුට අඬ ගැසුවෙමි.

” සර් මාලයක් ගන්නවද? “

” ඔව් එකක් දෙන්න….ආ මෙන්න සල්ලි…”

” ආ සර්..කැමති එකක් තෝරලා ගන්න….”

” මේක දෙන්න…..මේ මල්ලි….වෙනදට මල්ලි නෙමේනෙ මේ මාල විකුණන්නේ?”

මම ඔහුගෙන් ඇසුවෙමි.

” නෑ සර්….ඇයි ඒ?….”

” නෑ…මල්ලිව වෙන්දා මං දැකලා නෑ….ඒකයි…”

” මං මේක කරන්න අරන් දවස්තුනයි සර්….කොළොඹ ඉගෙන ගන්න ගමන් ගමට සල්ලියවන්න ඕන…තාත්තා අසනීපයි…අක්මාවේ පිළිකාවක්…ඒකයි මේ පාර්ට් ටයිම් එක පටන් ගත්තේ…”

එක් මොහොතකට මාව සසල වී ගියේ ඒ මොහොතේදීය. කලින් දවස මට හමුවුණ වෙළෙන්දාත් මොහු වගේම නම්?…ඔහුත් මේ තරම් අසරණ නම්?……එසේ වී නම් මම සිදු කර ඇත්තේ මගේම පන්තියේ එකෙකුට බලවත් අසාධාරණයකි.

” සර් මං යන්නම් එහෙනම්…” තරුණ මාල වෙළෙන්දා මගෙන් සමු ගැනීමට සැරසුනේය.

” මේ මල්ලි…පොඩ්ඩක් අහන්නකෝ..මට කලින් පාර මාල වික්ක මනුස්සයාව හොයාගන්න ඕන…”

“කලින් පාර කීවෙ සර්?….”

” දැන් මාසෙකට විතර උඩදි අන්තිමට දැක්කෙ …ඒ මනුස්සයා හැමෝගේම අතට මාල දීලා වික්කේ…මගේ අතටත් දුන්නා…මං නිදි මරගාතෙ හිටියේ…එහෙමම නින්ද ගිහින්…වැඩේ කියන්නෙ ඒ මනුස්සයටත් ඒක ආයෙ එකතු කරන් යන්න අමතක වෙලා….මට ඕන ඒ මනුස්සයට ඒකෙ සල්ලි පදන්න…” මං සාර්ථක ගණයේ බොරුවක් ගොතා ඔහුට එලෙස පැවසුවෙමි.

” එහෙනම් කොහෙන් හොයන්නද සර්…මාත් එහෙම අඳුරන්නෙ නෑ කාවවත්….ඇරත් අපෙන් එහෙම එක මාලයක් හරි අඩු උණොත්, අපේ ඒජන්ට් අපිව අයින් කරන්නෙ කුණුහර්පෙනුත් බැනලා…..ඒ කුණුහර්පෙ අහගෙන එළියට බහින එක ලාභයි සර් මාලෙ ගාණ අතින් පියවනවට වැඩිය…”

මං මොහුට ඉන්පසු කියන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව මොහොතක් ඔහුගේ මුහුණ දෙස බලා හුන්නෙමි. සැබවින්ම,පෙර මාල විකිණූ වෙළෙන්දා හෙණ ඉල්ලමින් දෙස්දෙවොල් තැබීම කෙතරම් සාධාරණදැයි මට හොඳින්ම වැටහුණේ දැන් ය.

” මල්ලි….තව මාලයක් දෙන්න….” මං කලබලෙන් ඔහුට කීවෙමි.

” ආ සර්….සර් වගේ අය හරි අඩුයි සර් මේ කාලෙ….ගොඩක් පින් සර්ට…පරිස්සමින් යන්න සර් එහෙනම්……”

වෙළෙන්දා මගෙන් සමු ගත්තේය. මට එක්වරම කුමක් වූවාදැයි මටම සිතාගත නොහැකි වීය. මාල දෙකක්ම මිලදී ගැනීමට මම පෙළඹුනේ එම මාල දෙක පොඩි උන් දෙන්නට තෑගි කොට,කලින් දෙකඩ කරන ලද මාලය ඔවුන්ගේ බෙල්ලෙන් ගැලවීමට මට අවශය වූ නිසා ය. එය උන් දෙදෙනාට දුන් දවසේ සිට අද තව වෙනතාක්ම උන් එය කරෙන් ගැලවූයේ නම් නැති බවද මට සිහිපත් වීය.

මම ජනෙලයෙන් ඉවත බැලීමි. එහිදීද මට පෙර මාල විකිණූ වෙළෙන්දාගේ වේදනාත්මක මුහුණ මැවී පෙනෙන්නට වූයේය.

බස්රථය එදා මෙන්ම  අදත් මගේ ගමට පියඹා යෑම ආරම්භ කළේය. එදා මා සන්තකයේ තිබුනේ හොරකම් කරන ලද එක් මාලයක් පමණෙකි. අද මගේම උත්සාහයෙන් උපයා ගත් මාල දෙකක් මා ඟ තිබිණ. යම් හිස්බවකින් හා කළකිරීමකින් යුතුව එම මාල දෙකද අතේ තබාගෙන මම ගමන් කරමින් සිටියෙමි.

බසය මගේ ගමට සේන්දු විය. කොළඹින් එකතු කරගන්නා ලද බඩු මල්ලද උස්සාගෙන මං මගේ නිවසට යන පාර දිගේ රාත්‍රියේම බය නැතිව ඇවිද ගියෙමි. ගිය සතියේ අලුත බඳින ලද අලි වැට හේතුවෙන් දැන් රෑට ඇවිදීමට බය වෙන්නට අවශය නොවීය. මඳ වැස්සක් පතිත වී ඇති සලකුණුද හොඳින් මඟ දිගටම වීය.

එහෙත් මගේ නිවහන තුළ යම් වෙනසක් දැකගත් හැකි විය. වෙනදා මේ මොහොතට කිසිම හැලහොල්මනක් දක්නට නොමැති මගේ නිවහනේ මේ මොහොතේ යම් කලබලයක සේයාවක් පෙනී ගියේය. අහළ පහළ කිහිප දෙනෙකුද පැමිණ සිටින අයුරු දුර තියාම මට දැකගත හැකි විය.

” සේකර මලයා දැන්ද එන්නේ…..” පහළ ගෙදර වික්‍රම අයියා මගෙන් දුර තියාම විමසුවේ තරමක කලබලෙන් මෙනි.

” අනේ බලන්න සේකර මලයෝ…හවස ඇඳිරි වැටෙන වෙලාවෙ වැහි නැති මහ හෙණයක් ගැහුවනෙ…අනේ උඹලයෙ පොඩි උන් දෙන්නා අර පොල් ගහ යට පසල්ලම් කර කර ඉඳලා තියෙන්නේ….ඒ වෙලාවෙ පොල් ගහට වැදිච්චි හෙණේ පොඩි උන් දෙන්නටත් ඇදිලා….”

මට ඇසුණේ එපමණකි. ඉන් එහාට ඔවුන් මට කියන ලද්දේ කුමන දේවල්දැයි නොඇසුණේය. මහ ගස් මුදුනේවත්  බිම හෙළිය නොහැකි මම එකෙණෙහිම සිහිසුන්ව ඇද වැටෙන ලද්දෙමි

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp