ñ,dk l=iqu
ij¾K l=udr

‘‘මෙන්න දැන් ලැබුණ විශේෂ පුවතක්…..’’

‘‘ඕක ටිකක් වැඩි කරහන්කෝ ලොකු පුතේ… ’’

‘‘ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භවූ කොරෝනා වසංගතයේ මෙරටට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ දහසය වැනි බිල්ලත් ලබා ගනිමින් අද මරණ සංඛ්‍යාව පළමු වතාවට ඉහළ ගියා. ඒ අනුව මිණුවන්ගොඩ ඇඟළුම් පොකුර එකසිය හැත්තෑව දක්වා වර්ධනය වූ අතර, අද මිය ගියේ එහි සේවය කළ සේවිකාවක් බවයි සඳහන් වන්නේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ සවිස්තරාත්මක පුවත් තුළින් බලාපොරොත්තු වන්න. මෙන්න ඒ පුවත නැවතත්….. ’’

“අනේ මන්ද පුතේ මොනවයින් මොනවා වෙන්න යනවාද කියලා…. අර ළමයා කතා කළාද? ’’

‘‘ඒකනේ අම්මේ… ඔව පෙරේදා කතා කළා. එයාලටනම් කරදරයක් නෑ කිව්වා. හැබැයි බෝඩිමේ සේරම කැහැ කැහැ ඉන්නේ කිව්වා.. ’’

            ලෙඩ ඇඳේ පසුවන අම්මාගේ කෑ ගැසීමෙන් අතරමග නවතා දමා තිබූ රබර් සීට් අව්වේ වේලෙන්නට දමා සිරිදාස සුරුස්…. ගා හොටු තලියක් සූරා දැම්මේ ය. පාන්දර අවදි වීමෙන් නිරන්තර ඇති වන පීනස් රෝගයත්, ඇස දිගේ නැහය දක්වා නොසිතු ලෙස ගලා ආ අනපේක්ෂිත දයානුකම්පිත කඳුළකුත් විසින් මේ හොටු ගලා ආ බව දන්නේ සිරිදාස පමණි. කුසුමලතා මේ ගමන ගියේ ඇය ගැන පමණක් සිතා නොවේ. තමා හදිසියේම ඔත්පල නොවී සන්තකයට තිබූ එකම කුඹුරු කෑල්ලත් මහතුන් මුදලාලිට සින්න නොවීනම් කුසුමේ ගාමන්ට් යැවීමට සිරිදාස හෝ ගලේ ගෙදර නැන්දම්මා කිසිවිටෙක් අවසර දෙන්නේ නැත. එහෙත්, මහතුන් මුදලාලිගේ ගල්වැලේ වැඩ කළ සිරිදාස ගල් වලට වැටී කිසිවක් කර ගත නොහැකි පරිදි ඔත්පල වන්නේත් ඔහුගේ මෑණියන් අංශභාගය වැළඳෙන්නේත් එකම දිනක දී ය. සිරිදාස රෝහල් ගත කළ බව දැන්වූ මැගි අක්කා පණිවිඩය දුන් විගස ආපහු දුව ගියාය. ඒ ඇසූ බණ්ඩාර මැණිකා ගල් වල දෙස දුව යන්නට ගත් උත්සාහය බිඳ වැටුනේ ගරමින් සිටිය හාල් කොරහද බිම පෙරලුණු පසුව ය. මාස ගාණක් පුරා වම් කකුළ හා අත රිදෙනාවා යි කියමින් වේදනාවෙන් සිටි බණ්ඩාර මැණිකා කුස්සියේ පැලැල්ල පෙරළාගෙන වළං මැස්ස මත ඇද වැටී දඟළනවිට අසළ කෝම්පිට්ටු හදමින් සිටි සිරිදාසගේ දෙහැවිරිදි මිහිරි උඩ පැන පැන සිනා සුනාය. ශිෂ්‍යත්වේ පන්තියට ගිය ලොක්කි රැගෙන ඒමට ගිය කුසුමේ සිරිදාසගේ අකරතැබ්බය දැන ගත්තේ හන්දියේ කඩමණ්ඩියේදි ය. වැළහින්නක් සේ හඬා වැළපෙමින් කුසුමේ සීතා අක්කා සමග ලොක්කි ගෙදර යවා ආ පයින්ම රෝහල වෙත දුව ගියාය.

‘‘ තාත්තා ගැන අත්තම්මාට කියන්න එපා ලොක්කි.. ’’

            කුසුමේ කැඩුනු කෙස්රරොද සකස් කරමින් දුව ගියාය. කිසිවක් ගැන තෝරා බේරා ගැනීමට තරම් දැනුමක් ලොක්කීට තිබුනේ නැත. ඇය සීතම්මා ද පසු කර ගලේ ගෙදර දෙසට දුව ගියේ හති දමමිනි. අත්තම්මා පෙනෙන්නට නැත. නංගි බඩ ගගා කඩුල්ල ළඟට ඇවිත් ඇළකණ්ඩියට එබී සිටියි. ලොක්කි මොහොතක් පමා වූවානම් නංගි ඇල දිය බොනවා නියතය. පුරුද්දට නංගි ඔසවා උකුලට ගත් ලොක්කි බිම වැටී දඟලන අත්තම්මා දැක කෑ ගැසු වර අත සිටි දරුවාද වැරෙන් හඩන්නට විය.  සීතාගේ කෑ ගැසීමෙන් ගම්මු රොක්වී සිරිදාසගේ මවත් සිරිදාස සිටි රෝහලටම ඇතුළත් කළ අතර, කුසුමාගේ හෘද ස්ඵන්දනය වැඩිකරලූවා ය. ඔත්පල වූ දෙදෙනාගෙන් එක් අයෙකුවත් කුස්සියට හාල් ඇටයක් ගෙන ඒමට නොහැකි පරිද්දෙන් සුව වී නිවසට ආවත් කුසුමලතාගේ සුසුම්ලෑම අඩු කරන්නට සමත් නොවුණි. සිරිදාස යන්තම් දනිපනිගා එක කකුලක් නොණ්ඩි ගහමින් කිරිකට්ටිය කපන්න හැකි අයුරින් පණ ගැහීමත් සමග කුසුමලතාගේ බියගම ගමන ඉක්මන් වූවා ය. අබ්බාගාතයෙකු බවට පත්ව සිටි සිරිදාසටත් ඇඳහොත් ඔත්පලව සිටි බණ්ඩාර මැණිකාටත් ඇගේ ගමන නවත්වන්නට ශක්තියක් තබා කට හොලවන්නට හැකියාවක් වූයේ නැත. පොඩි එකී නිතර නිතර ලෙඩ වීමත්, ලොක්කි ශිෂ්‍යත්වය සමත්වීමත්, නැන්දම්මාගේ හා සැමියාගේ ක්ලිනික් වලට යෑමත් නිසා එන්එස්බී පොත වගේම කුසුම ලතාලාගේ දහිරියත් සිඳි තිබුණි.

            සිරිදාස තමා හා කිරි කපන අමිල මලයාගෙන් රටේ ඇති වී තිබෙන වසංගත තත්ත්වය ගැන දැනුවත්වී සිටියේ ය. අම්මා නම් උදේ ඉඳන් රෑ නින්දට යන තුරු රූපවාහිණිය දෙස නෙත් හෙළා සිටියේ සිය ලේලියට පින් දෙමිනි.

‘‘අනේ ඒකිට පින් සිද්ධ වෙන්න මේ ටීවී එක ගෙනත් දාලා ගියේ. ’’

            නිවසට එන හැම දෙනා ඉදිරියේම කුසුමලතාගේ අගය ගැන ඇය දෙඩුවා ය. සිරිදාස රූපවාහිණි නරඹන්නේ රාත්‍රී ප්‍රවෘත්ති බැලීමට පමණි. ඒ ද වේලාසනින් හාල් ටිකක් තම්බා ගත්තොත් පමණි. යන්තම් අතපය විසි කරන්නට හැකි වූ ගමන් සිරිදාස ගෘහණියගේ භූමිකාවට මාරු වූයේ එතෙක් අමාරුවෙන් කෑම වේල් දෙක තුන සරි කර දුන් ලොකු නංගිගේ දන් දීම වළකමිනි. රට තොට සිදුවන අරුම පුදුම දේවල් ගැන අමිල තත්පරෙන් තත්පරේ දැනුවත් කරන්නේ ඔහුගේ අත ඇති දුරකතනයෙනි. ගස් පේළියක් කපා ගෙන ගොස් දුරකතනය ඔබන අමිල ගැන වරක තරහක් ඇති වුවද ඔහුගේ සන්නිවේදන මෙවලම නිසා තමා බොහෝ දේ උගත් බව සිහිවීමෙන් සිරිදාසගේ සිතෙන් එම තරහ මැකී යයි. කුසුමාට හෝ තමාට එවැනි පහසුකමක් නැත. ඇය මිතුරියකගේ මාර්ගයෙන් පණිවිඩ දැනුම් දෙන්නේ අමිලගේ දුරකතනයට ය. එම පණිවිඩ හුවමාරුව නිසා අමිල සහ මිනෝලි නම් වූ කුසුමාගේ යෙහෙළිය හිතවත්වී ඇති බව දිනක කුසුමා පැවසුවේ මද සිනා නගමිනි.

සිරිදාස රබර් සීට් ටික වනා ඔට්ටපාලු එකතු කිරීමේ අදහසින් පල්ලම් බැස්සේ ය.

‘‘ මෙන්න දැන් ලැබුන තවත් විශේෂ පුවතක්… ’’

‘‘ මිණුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇඟලුම් සේවිකාවන් තුන්සිය පනහකට අධික සංඛ්‍යාවකට කෙරෝනා වසංගතය වැළඳී ඇති බවත්, එය ප්‍රදේශය පැතිරීම වැළක්වීම සඳහා හදිසි ඇඳිරි නීති තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත… ’’

            දෙවනවර ඇසුණු මෙම පුවත සිහිවී සිරිදාස කම්පිතව උන්නේ ය. අමිල මල්ලි හමුවූ ගමන් කුසුමේගේ යෙහෙළියට දුරකතන ඇමතුමක් ලබා දෙන්න ඕන. ඕවිට දිගේ අඩියක් තැබූ සිරිදාසට කුසුමලතාගේ අම්මලාට අයත්ව තිබූ රබර් කට්ටියට අඩිය තැබීමට ලැබුනේ නැත. අමිල මලයා පිම්මේ දිව එමින් සිටියේ ය. හති දමමින් දුව එන අමිලගේ එක් අතක ජංගම දුරකතනයත් අනෙක් අතේ ඔට්ටපාලු මල්ලත් විය.

‘‘සිරි අයියේ..සිරි අයියේ….. ’’

‘‘මොකද … මොකද බං… බෙරිහන් දෙන්නේ… ’’

‘‘අයියේ… කුසුමක්කට….කුසු…

‘‘ඇයි ඇයි කුසුමක්කට මොකද… මල්ලියේ…. ’’

            එක කකුළක් කොරගසමින් ගමනේ ආ සිරිදාස ගමන බාල කර කිරි ගලන ලොකු රබර් ගහක් මුල වාඩි වූවාද ඇද වැටුනාද යන්න අමිලට නිනව්වක් නොවී ය. අනික් පැත්ත ගසා තිබූ පොල්කට්ට සිරිදාසගේ පිටේ වැදී රෝල් වී පල්ලම් බැස යන දෙස අමිල බලා සිටියේ ය.

‘‘ අක්කට අර ලෙඩේ හැදිලලු…. ’’

‘‘ මොන ලෙඩේද බං…. ’’

‘‘කොරෝනා……….. ’’

‘‘ඈ…. ’’

‘‘ බය වෙන්න දෙයක් නෑ කියලා මිනෝලි කිව්වා.. ගාමන්ට් එකේ ගොඩක් කට්ටියට හැදිලලු. දැන් අංගොඩ ඉස්පිරිතාලේලු ඉන්නේ.. අයියට පණිවිඩේ කියන්න කිව්වා. ’’

‘‘ අංගොඩ ඉස්පිරිතාලේ… කුසුමෙට පිස්සු හැදිලා ද… ’’

‘‘ නෑ…නෑ… කොරෝනා ලෙඩ්ඩු සේරම ඉන්නේ මුල්ලේරියාවේ උණ ඉස්පිරිතාලේලු… ’’

            මොණරාගලින් උදේ එක හමාරට පිටත් වෙන කොළඹ බස් රථයට සිරිදාසව ඇරලූ අමිල බස් රථය පිටත් වීමට පෙර බයිසිකලය ක්‍රියාත්මක කළේ ය. තම හිතවතාගේ සහ තමාගේ කිරි කට්ටි දෙකම එළිවෙන්න පෙර කපා දැමිය යුතු නිසා දුකෙන් සිටින සිරි අයියාගේ හිත හැදෙන්න හෝ බස් රථය ගමන් ආරම්භ වන තුරු සිටීමට අමිලට නොහැකි විය. අමිල බස් නැවතුම්පොලේ රෑ කඩේකට ගොඩවී රුපියල් හැටක් දී මුව ආවරණයක් ගෙන සිරිදාස අතේ තැබුවේ ය.

‘‘කොළඹ ලං වෙද්දිම ඕක දාගනින් අයියේ..මේකත් අරන් පලයන්..මේකට කෝල් කරයි අරයා. මම කියා දීපු විදියට කෝල් එක ගනින්. ’’

            අමිල සිය ජංගම දුරකතනය සිරිදාස අත තැබීය. කොළඹ ගිය පසු රෝහල සොයා ගැනීමටත් ඇඟළුම් කර්මාන්ත ශාලාව හා සම්බන්ධ වීමටත් ජංගම දුරකතනය අවශ්‍ය බව මිනෝලි පෙර දින අමිලට පවසා ඇත. ඒ අනුව බස් රථයට නැගීමට පෙර දුරකතනය ක්‍රියා කරන අයුරු සිරිදාසට කියා දුන්නත් ඔහු ඒ පිළිබඳව උවමනාවක නොසිටි බව අමිල දැන සිටියේය. එන කෝල් එකක් හරි ආන්සර් කරයිනේ යි.. සිතා අමිල දුරකතනය දෙවරක් නොසිතා ඔහුට ලබා දුන්නේ ය.

ජංගම දුරකතනය නිසා අමිල රටතොට ගැන දැනුවත් වන්නට ඇත. ඒ නිසා අකමැත්තක් නොපෙන්වා එය අතට ගත්තේ ය. සිරිදාස ආත්මානුකම්පාවෙන් අමිල දෙස බලා,

“උඹ පලයං මල්ලියේ.. ’’

කියන්නටත් පෙර අමිල පිටත් වූයේය.

            ඔහු බස් රථයේ වාඩිවූ සැනින් දෙනෙත් පියා ගත්තේ ඉවසිය නොහැකි වේදනාවක් හා කියා ගත නොහැකි චිත්ත පීඩාවක් අමුතු ආකාරයෙන් පෙළෙන්නට වූ නිසා ය. ඔහු අමිල දුන් මුව ආවරණය හා දුරකතනය කලිසම් සාක්කුවේ රුවා ගත්තේ ය. කලිසමක් ඇන්දේ අවුරුදු ගණනාවකට පසු ය. අන්තිමට කළිසමක් ඇන්දේ ලොක්කි ශිෂ්‍යත්වේ පාස් වී සෙන්ට්‍රල් එකට භාර දුන් දවසේ ය. ඉස්සර කුසුමා සරම් අඳින උන්ට අකමැති ය. දඹහින්න කණිෂ්ඨ විද්‍යාලයේ එකලොහ පන්තියටම ගිය නිසා තමා කලිසම් ඇන්දේ ය. එවක දහය පන්තියේ සිටි කුසුමාට දික්කලිසමක් ඇඳ ෆුට් සයිකලේ පාගාගෙන ඉස්කොලේ යන සිරි අයියා ලොකු මහත්තයෙක් වගේ පෙනුන බව ඇය නිතර පවසයි. සාමාන්‍ය පෙළ අසමත් වීමෙන් පාසල් ගමන කෙළවර වුනත්, කලිසම් අඳින රස්සාවක් හොයා ගන්නා ලෙස කුසුමා නිතර ඇවිටිලි කළා ය. තාත්තාගේ හදිසි වියෝවත් සමග සිරිදාසට කුඹුරටත් රබර් කට්ටියටත් ජීවිතය දෙන්නට සිදු වූයෙන් කුසුමාගේ හීනය සැබෑ කළ නොහැකි විය. එහෙත් කිරි කැපීමේදි පමණක් අණ්ඩ දැමූ කලිසම් කෑලි අඳින්නට සිරිදාසට සිදු විය. එකළ උසස් පෙළ පන්ති නිම වී නිවසට එන කුසුමා රබර් කට්ටිය ඉහත්තාවේදී සිරි සමග දොඩමලු වන්නේ මේ ඒ සියල්ල අමතක කරමිනි.

‘‘ කලිසමක් ඇඳගෙන කිරි කපනකොටත් මෙයා හරි හැඩයි.. ’’

‘‘ අනේ පලයන් මැට්ටි…හින්ට් ගහන්නේ නැතිව’’

‘‘ හින්ට් නෙවේ සිරි අයියා…. ’’

‘‘ මං දන්නවා කුසූ…ඔයා හොඳට ඉගෙන ගන්න.. ඔයාට මට වඩා හොඳ කලිසන් ඇඳපු කාර් වල යන මහත්තයෙක් හම්බ වෙයි.. ’’

‘‘අනේ … මේ මාව අඩවන්න එපා හාද… මට මේ ඔට්ටපාලුවා හොඳයි…. ’’

‘‘මොකා….ඔහොම ඉඳපන් හෙර….. ’’

‘‘අනේ…නිකා ඉන්න…එපා….ඉතිම්.. ’’

‘‘අද නිකං ඉන්නේ නෑ…. ’’

‘‘එපා…අනේ.. කවුරුහරි දකී…. ’’

‘‘දැක්කදෙන්… ’’

‘‘ම්ම්…හ.. ’’

            සිරිදාස කසුමා සමග පෙමින් වෙලුනේ කුසුමා වැඩිවියට පැමිණි ආසන්නයේමය. කුසුමා පාසල් ගියේ ඇගේ නැගණිය වූ චමිලා සමග ය. අල්ලපු ගෙදර සිටි සිරිදාස ඔවුන්ට පෙර බයිසිකලය රැගෙන ගුරු පාරට වී සිටින්නේ නංගිලා දෙන්නා බයිසිකලයට නංවා ගැනීමට ය. හැතැප්ම භාගයක් පයින් ඉස්කෝලෙට යනවාට වඩා හිත හොඳ විශ්වාසවන්ත පෙනුමැති කොලුවා සමග දියණියන් දෙදෙනා යැවීමට ප්‍රේමා නැන්දා හෝ මද්දු මාමා අකමැති වූයේ නැත. අනෙක් අතට පවුල් දෙකේම දෙමහල්ලන් හොඳ ඥාති හා අසල්වැසි සම්බන්ධතාවක් පවත්වාගෙන ගියවුන් හ. ඒ නිසා සිරිදාසගේත් කුසුමලතාගේ සම්බන්ධතාවය ගැන වුනත් නොදැන සිටින්නට හෝ අකමැති වන්නට කාරණාවක් ඔවුන්ට වූයේ නැත. බයිසිකලයේ ඉදිරියේම කුසුමලතා නංවා ගෙන ලැකිජියේ චමිලා නංවා ගනී. චමිලා බියෙන් මෙන් වැරෙන් සිරිදාසව බදාගනී. තමා අභියසම සමන් මල් සුවඳ විහිදුවමින් සිරිදාසගේ සුසුම් වැල් සිඹිමින් කුසුමලතා වෙල් යාය දිගේ ඇදෙන අයුරු සෑම දිනකම දැකිය හැකි සොඳුරු දසුනකි. බොහෝ ගුරුවරුන් සිතා සිටින්නේ මේ එකම පවුලේ ළමුන් බවයි. නංගි වේලාසනින් පාසල නිමවී පැමිණෙන නිසා කුසුමලතාටත් සිරිදාසටත් නිවී සැනසීමේ ආපසු පැමිණිමේ අවස්ථාව හිමි වේ. එහෙත් කුසුමලතා සිරිදාසගේ බයිසිකලයට ගොඩ වන්නේ පාසල සිට ටික දුරක් පයින් ගොස් අනතුරුවයි. සිරිදාසගේ පාසල් ගමන මුලින්ම නතර වූ අතර, ඊට තුන් වසරකට පසු කුසුමලතාගේ පාසල් ගමන නතර විය. ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත්ව මොණරාගල රාජකීයට උසස්පෙළ හැදෑරීමට ගියත් සරසවි වරම් ලබා ගැනීමට ඇයට හැකි වූයේ නැත. තව වරක් විභාගයට පෙනී සිටින්නැයි සිරිදාස හා පවුල් දෙකේම දෙමාපියන් කොතරම් පෙරැත්ත කළද ඇය නොවේ ඊට එකඟ වුනේ. එක් බක්මහ නැකතක බණ්ඩාර මැණිකා විසින් කුසුමලතා තම නිවසට කැන්දාගෙන ආවේ අහල පහළ කීප දෙනෙක් සමග බත බුලතින් සංග්‍රහයකින් පසු ය.

            සිරිදාසගේ සාක්කුවේ තිබූ ජංගම දුරකතනය කීප විටක්ම නාද වුවත් කුසුමලතා හා ඇරඹි දිවි සැරියේ මතක බුක්ති විඳිමින් සිටියා විනා ඒ කිසිවක් ඔහුට ඇසුනේ නැත. ඔහු පිටකොටුවේ බහිනවිට දැඩි ගමන් වෙහෙස නිසා තද නින්දකින් පසුව තෙහෙට්ටුව සිටියේ ය.  පිටකොටුම් මහා පාළු මූසල පෙනුමක් දිස් විය. මූසල බව බිඳිමින් එකවරම දුරකතනය යළි නාද විය. මගහැරුණු ඇමතුම් රැසක් දුරකතනයේ සටහන් වී තිබුන ද ඒවා නැවත ඇමතිය හැකි අයුරක් ඔහු දැන සිටියේ නැත.

අලුයම වනවිට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව කොන්දොස්තර වරයා පැවසීය. ඔහු කොන්දොස්තර මහතාගේ ආධාරයෙන් දුරකතන ඇමතුමට සවන් දුන්නේ ය.

‘‘හෙල්ලෝ…අපි අයිඩීඑච් හොස්පිට්ල් එකෙන් කතා කරන්නේ… ’’

‘‘හෙල්ලෝ .. ඇහෙනවද… ’’

‘‘හෙල්ලෝව්… ’’

‘‘හලෝ…ඇහෙනවා … කවුද මේ… ’’

‘‘අපි උණ රෝහලෙන්… කුසුමලතා කියන්නේ ඔයාගේ කවුද… ’’

‘‘ආ.. ඒ මගේ ගෙදර එක්කෙනා…. ’’

‘‘ ආ…හරි.. ඔයා දැන්ම එන්න හොස්පිට්ල් එකට… ’’

‘‘අනේ මිසී එයාට අමාරුද… ’’

‘‘ආ..නෑ…මේ.. හරි ඉක්මනට එන්නකො… ’’

දෙවරක් පමණක් පය ගහ ඇති කොන්ක්‍රීට් වනාන්තරයේ සිරිදාස මංමලාවූවක බවට පත් විය. ඔහු වටපිට බලන්නට විය. තමා අසළට පැමිණි පොලිස් නිලධාරියෙකු දුරින් හිඳ ඇමතුවේ ය.

‘‘තමුන්ට මාස්ක් එකක් නැද්ද’’

‘‘ආ.. තියෙනවා මහත්තයෝ…. ’’

‘‘හරි ඒක දාගන්න… ’’

            සියල්ල දුරින් හිඳ පොලිස් නිලධාරියා වෙත පැවසූ සිරිදාස ඔහුගේ උදව්වෙන් මුල්ලේරියාව වෙත ගමන් කරන බස් රථයකට ගොඩ වූයේ පොලිස් නිලධාරියාට නොසෑහෙන්න පින් දීමෙනි. කොළඹ නගරයටම වැඩ කරන්නේ මේ බස් එක විතරයි ද?. ඒක හරි පුදුමයක්. මොකක් වෙලා ද?. සිරිදාස කොළඹ අහස දෙස බැලුවේ අමුතු හැඟිමකින් හද වෙළාගෙන ය.  කපුටෙක් වත් නැත. පුදුමයකි. කුසුමෙට කිසි කරදරයක්නම් වෙන්න එපා.. සිය දහස්වර මතුරමින් ඔහු ගමන් කළේ කිසිදු හැලහොල්මනකින් තොර වයි. කට නහය වසා සිටීමට නොහැකි. වරින්වර අමිල මලයා ලබා දුන් මුව ආවරණය ඉහළ පහළ කර හුස්ම ගත්තේ ය. රෝහල ළඟ බැසගත් සිරිදාස රෝහල් ගේට්ටුව ළඟට ඇදී ගියේ මළ මිනියක් පරිද්දෙනි.

ආරක්ෂක මුර කුටියේ සිට මීටර් ගණනාවක දුරින් හිඳ සිය නම ගම හා රෝගියාගේ නම ගම විමසූ ආරක්ෂක නිලධාරීන් තමාට කිසිවක් අතින් පෙන්වා එතැනට යන ලෙස දැනුම් දුන්හ. සිරිදාස එතැනට ඇදුනා නොව දිව්වේය. කුසුමලතා වැඩ කළ ආයතනයේ නම ගහපු වාහනයක් ඈතින් නවතා තිබේ. එහි සිට අයෙක් සිරිදාස අසළට පැමිණ,

‘‘ ඔයා කවුද ලෙඩාගේ…. ’’

‘‘මහත්තයෝ මම සිරිදාස.. කුසුමලතාගේ… ’’

‘‘ආ හරි හරි… මේකයි… අයියේ… කොරෝනා හැදුන ගොඩක් අයට අමාරු වුනා… ’’

‘‘ඉතිං… කෝ මගේ කුසුමේ… ’’

‘‘මේ එයා බලන්න බෑ කාටවත්… අපි දැන් අර පේන තැන එයාගේ අවසන් කටයුතු කරනවා… ඔයා දුර ඉඳන් පින් දෙන්න.. ’’

‘‘මොකක්…අනේ… මගේ …කුසුමා…. එපා….එපා…. ’’

‘‘මට මගේ කුසුමා බල්නන් ඕන….මට යන්න දීපල්ලා…. ’’

ආදාහනාගාරය දෙසින් හමා ගිය දුම්රොටු ගොතටුව අහස සිසාරා සිඹ වාතලයට එක් වූයේද සිරිදාසගේ අඳෝනාවන් එක්කමයි.

නිමි….

 

පසු වදන

 

පෙලා හදවත ගුවනෙ විසිරුණ නුඹේ වායුව හමාගෙන         හැම

බලා හිටියත් පුරා හඳ නුඹ වසා ගත්තා විසිරිලා                      දුම

වලා පෙලකුත් ඊට එකතුව මකා දැමුවා සිත රැඳුනු               පෙම

පලා යන්නට බැරිම හින්දම ඉවුරු නෙතඟුල් බොඳ කලා        මම

 

එදා සෙනෙහෙන් සතපලා ගිය මතක අහුරක දමා මා             හද

බදා ළමැදෙන් නැගුණු සුසුවඳ මිනී මල් හා එක්වෙලා             අද

මුදා සුසුමන් දවාලූ සිත අලුවුනේ නැත වැටී වැහි                පොද

සදා කල්හිම තෙමාලනු මැන දේහිනී ප්‍රිය සදෙව් ලොව       වැද

 

භව පුරා බැඳි සෙනේ මන්දිර බිමට හෙලමින් අහෝ      මිහි මත

පව කොහේ සිට ළඟට ආවද වසංගතයෙන් මරා              හදවත

රුව පෙනේනම් සිඳිනවා ගෙල අතට අරගෙන තියුණු     කගපත

දුව ගොසින් සැඟවෙලා ඉඳපන් මැකී නැත දුක වියෝ     හදබිත

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp