udia wudrej
fldaIs,d jkisxy

‘දඩාස්’ ගාමින් කාමරයේ දොර විවර කර දිව්‍ය සයනයක් මෙන් දිස් වූ මගේ ඇද මත වැටුනේ, මාස් අමාරුව නිසා කලවා රිදුම් දෙන්නට ගත් නිසාවෙනි. වැඩ ඇරී හිටගෙනම දුම්රියේ ආ නිසාදෝ අමාරු දෙපිටින් ගොස් ඇති බව මට දැනුණේ ඔෆිස් කලිසමේ බොත්තම ලිහිල් කරනවාත් සමගම ය.

‘අනේ ඔහු අදටත් සිටියා නම්’ , යන සිතිවිල්ල වැස්සක් නොමැතිව කඩන් පාත් වූ හෙණයක් මෙන් එක්වරම හිතට ආවේ අදින් වසරකට පෙර සිටි මාව සිහිපත් කරවමිනි.

*********

“නැවත දැනුම් දෙන තුරු නිරෝදායන ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි”

“අත්‍යවශ්‍ය සේවා ලොරි රථ නිවසටම”

නිවේදකයා හඬ හැඩ කරමින් ඒ කියා සිටියේ හෙට සිට රට විවෘත කරයි යනුවෙන් තිබූ බලාපොරොත්තුව තවදුරටත් සඵල නොවෙන බව තහවුරු කරවමිනි. අඩියට දෙකට මා ද කාමරයට රිංගා ගත්තේ තව සුලු මොහොතකින්, එක දෙක වැටෙන වැසි බිදු මහ වරුසාවක් වෙන්නට තනද්දී ය.

අප්පච්චි ආයෙ සතියක් රට වහලලු, අපි මොකද කරන්නෙ

හරි. වර්ෂාව ආරම්භ වී ඇති සේය. ඇසූ ප්‍රවෘත්තිය නිසාවෙන් තැතිගත් අම්මාගේ ස්වරය අවදි වුණි.

මොනා කරන්නද ඉතින් තියෙන දෙයක් උයන් කාලා පිරිමහගෙන මේ දවස් ටිකත් ගෙවමු” “මෙයාලා මේ කිව්වට ලබන සතියෙ වෙද්දි රට අරියි

අම්මාගෙ ස්වරය ඉහළ පහළ යන ආකාරයෙන් ඇගේ සිතේ ඇති බියත් සමග මුසු වූ අප්පච්චි සමග ඇති අමනාපය වටහා ගැනීමට මට මහ වේලාවක් ගත නොවුණේ අවුරුදු 23ක පලපුරුද්ද නිසාවෙනි.

සැබෑ ලෙසටම අම්මා මෙසේ අමනාප වී ඇත්තේ අප්පච්චී සමග නොව, අප්පච්චි රැකියාව කල ආයතනයේ අයත් සමගයි. මොකද, මගේ අප්පච්චි කොන්ත්‍රාත් පදනම මත පැවරුණු රාජකාරිය අවසන් කර ගෙවීම් ලබා ගන්නා පුද්ගලයෙක් නිසාවෙන් රට ලොක්ඩවුන් කිරීමට ප්‍රථම, හමාර කළ රාජකාරි සදහා තවමත් එම ආයතනයෙන් ලැබිය යුතු මුදල ලැබී නොමැති බැවිනි. එම ආයතනයේ සේවකයන් බොහොමයකට කොවිඩ් ආසාදනය වී ආයතනය වසා දැනට මාසයකට කිට්ටු වී ඇත. එමනිසා අප්පච්චිට ලැබිය යුතු මුදල ලැබීමට තව කාලයක් යන වග වටහා ගැනීමට මට හැකියි. නමුත් අම්මා එයට නෝක්කඩු හෙලන්නේ මෙම දින කිහිපයම මගේ වැටුපෙන් එදිනෙදා වියදම් පියවා ගැනීම අම්මාට හිත් නොදෙන කාරණයක් නිසාවෙන් විය හැකි බව මට නිකමට මෙන් සිතුණි.

ඔයා එතන මහත්තයට කෝල් එකක්වත් දීලා කියන්නකො අපි මේ දවස් ගෙවන්නෙ හරි අමාරුවෙන් කියලා

දිගටම කෙල්ලට හම්බෙන සොච්චම වියදමට ගන්න බෑ

එහෙම කියන්නෙ කොහොමද, පොඩ්ඩක් තේරුම් ගන්නකො. එතන මිනිස්සුන්ට කොරෝනා හැදිලා. එකවුන්ට්ස් එක ඔක්කොම වහලා තියෙන්නෙ

කියමින් අප්පච්චි එතනින් නැගිට ගියේ තවත් එහි රැදුනොත් වර්ෂාව කුණාටුවකට පෙරලීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහළ මට්ටමක පැවති හෙයිනි.

මම උසස් පෙළ හමාර වනවාත් සමගම කොලඹ පෞද්ගලික ආ‍යතනයක සීමාවාසික පුහුණුවක් සදහා සම්බන්ධ වුනිමි. ඒ වනවිටත් මාත් සමගම උසස් පෙළ හමාර කළ, රජයේ විශ්වවිද්‍යාල සදහා සුදුසුකම් නොලත් ළමුන් පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි හැදෑරීමට ආරම්භ කර තිබුණේ එපමණ වියදමක් ඔවුන්ගේ දෙමාපියන් හට දැරීමට හැකියාවක් තිබූ නිසාවෙනි. උපාධියක් හැදෑරීමේ පෙළුණු ආශාවක් හිතේ පැවතියද අම්මාටත් අප්පච්චිටත් එතරම් වියදමක් දැරීමට ඇති නොහැකියාව මම ඒ වනවිටත් හොදාකාරවම අවබෝධ කරගෙන සිටියෙමි.

අම්මාගෙන් අප්පච්චිගෙන් සහ මගෙන් සැදි අපේ පුංචි පවුල පහළ මධ්‍යම පාන්තික පවුලකි. මගේ වයසේ පසුවන අනෙක් අයගේ දෙමාපියන්ට වඩා මගේ දෙමාපියන් මදක් වයසින් වැඩිමහල් නමුත් වාසනාවකට මෙන් මගේ අප්පච්චි හට තවමත් ගතේ වීර්‍යය ඇත. එමනිසා ඔහු තවමත් හරි හම්බ කරයි. නමුත් ණය එමටයි. මෙවැනි තත්වයක සිටියදී රට මෙවැනි වසංගතයකින් වෙලා ගන්නා විට බඩේ පහර වදින්නේ අපි වැනි එදා වේල හම්බ කිරීමට දත කන පවුල්වලට ය.

රැකියාව ස්තිර වීමට තවත් මාස කිහිපයක් ඇති මා හට තවමත් ලැබෙනුයේ කැපී කෙටී යන්තම් රුපියල් එකොළොස් දහසක් පමණි. මෙවැනි අර්බුදකාරී ආර්ථික තත්වයකදී අපි වැනි සාමාන්‍ය පවුලකට එම මුදල කෝටියකි.

අපි මෙහෙම හරි ඉන්නවා, කුලියක් මලියක් කරලා එදා වේල ගැට ගහගන්න මිනිස්සු මොන දුකක් විදිනවා ඇතිද

අප්පච්චි අම්මාට ඇසෙන්නට කියනු මට ඇසිණි. මගේ ජංගමය වයිබ්‍රේට් වුනේ ඒ මොහොතේදී ය. දුරකතනයේ තිරයේ දිස්වූ ‍රතු පැහැති හාට් සලකුණෙන් කවුදැයි හදුනාගත් මම ඇමතුම ඔන් කර කනේ තියා ගතිමි. මාස නවයකටත් එහා කාලයකින් මම ඔහුව දැක නැත. ඔහුගේ රැකියාව අධික මානසික පීඩනයකින් යුතු රැකියාවකි. ඔහු රැකියාව කරන්නේ මෙහි සිට කිලෝමීටර ගණනාවක් ඈතය. එමෙන්ම ඔහුව දිගු කාලයකින් නොදැකීමේ සොවින් වරින්වර මා දවාලන්නේ අප දෙදෙනා මෙන් ආලයෙන් බැදි යුවලක් මේ මිහිපිට තවත් නැතැයි යනුවෙන් මා සිතට මවිසින් ම සපථ කරවමිනි.

නිවස තුළ නිතර නිතර ඇසෙන ආර්ථික ප්‍රශ්න සහ ණය හේතුවෙන් ඇති වෙන දෙන්නා දෙමහල්ලන්ගේ බහින් බස්වීම් හේතුවෙන් මා සිත යකාගේ කම්මල වී ඇත. එවැනි වේලාවක ඔහුගෙන් ලද ඇමතුම පාලු කතරක හමාගිය සුළං පොදක් මෙනි. නමුත් එම සුළගද සනීපයක් නැත, සිසිලසක් නැත. මන්ද මාස කිහිපයකින් ඔහුගේ සෙනෙහස නොලත් නිසාත් අප දෙදෙනාගේ රණ්ඩු සරුවල් නිසාත් ය.

හෙලෝ නෝක්කඩු ස්වරයෙන්ම මම ඇමතුවෙමි.

මැණිකනෝක්කඩුව කොහෙන් ගියාදෝ දන්නේ නැත.

අනේ හැබෑටම, ගෑණියෙක්ව එක ආදරණීය වචනයකින් මෙල්ල කරගන්න පුළුවන් හැටි.

කාලද ඉන්නෙඔහු ඇසුවේ ඉතාමත් ආදර බරින් යුතු ස්වරයකිනි.

නෑඒ වෙද්දී මා රාත්‍රි ආහාරය ලබා ගෙන සිටියත්, නැතැයි පිළිතුරු දුන්නේ ඔහුගෙන් බැනුමක් අසමින් මා හට ඔහු අසල මුරණ්ඩු වීමේ අශාවක් දැඩිව පහල වූ නිසාවෙනි.

සැබැවින්ම අද ඔහු වෙනස්‍ ය. ඉතාමත් ආදරණීය වී ඇති සේය. එය එසේ වන්නේ කෙසේද? දිගින් දිගටම සිදු වූයේ මේ දිනවල අප දෙදෙනා මරා ගැනීම පමණි. ඔහු මා නොබැලීමට කොලඹ පැමිණෙන්නේ නැති බවට ගතු කියමින් මා ඔහු සමග පැටලුනෙමි. අත්‍යාවශ්‍ය සේවා අවසරපතක් ද ඔහුට ලබා දී තිබේ. ඒ තිබියදීත් ඔහු නොපැමිණීම මා හට ඉවසා දරාගත නොහැකියි. මගේ අප්පච්චිට මෙන්ම මා ඔහුවද මගේ අප්පච්චි කරගෙන හමාරයි. මන්ද, ඔහු මා අප්පච්චි කෙනෙකු මෙන් බලාගන්නා නිසාවෙනි. නමුත් මා ආදරයට වලි කෙක්කකි. ඒ කෙක්කේ පැටලී සිය දහස් වාරයක් ඔහු හෙම්බත් වේ. අවසානයේ රණ්ඩුවක ආරම්භයකි. ඒත් අද මොකෝ මේ වෙනස?

ඇයි ළමයො කන්නෙ නැද්ද?”
ඇයි කන්න බැරි බඩ තාම රිදෙනවද මගෙ දෝණි, ගොඩක් අමාරුද?”

එවර මට මගේ සිතේ පැනනැගි ගැටලුවට පිළිතුරු ලැබුනි. මේ ඔහුයි. මා ආලය කල ඔහුයි. ඔහුගේ මෙවැනි ආදරණීය සොයා බැලීම් මගේ සිත පිස්සු වට්ටවයි. ඒ වනවිටත් මාස් අමාරුව සෑදී දිනයක් ගෙවී ඇතිබවත් මට අමතක වී තිබුණි. වසර දෙකක් මුළුල්ලේම සෑම මාසයකදිම ඔහු මෙම දිනවලදී මා පිලිබදව ඉතාමත් අවධානයෙනි. මාගේ නුරුස්නා ස්වභාවය මේ දිනවලදී ඔහු ඉතාමත් හොදින් අවබෝධ කරගෙන සිටියි. ඉතින්, ගැහැණියක් උපතින්ම දෝත දරාගෙන පැමිණෙන මේ වේදනාව පිරිමි ආදර බරිත වචනයකට සුවකරන්නට පුළුවන් බව මා හට පසක් කර දුන්නේ ඔහුයි.

අරගත්ත පැකට් එක ඉවරයිද මැණික
මම හෙට උදෙන්ම සල්ලි එවන්නම්. ගෙදරට බඩු ටිකක් එක්කම ඔයාගෙ එකත් අරගන්න

දිගින් දිගටම ඔහුගේ ආදරයයි. ඇමතුම අහවර කළ මා මදකට දෑස් පියා ගත්තේ ‘මාස නවයක් නෙවෙයි ඕනතරම් කාලයක් ඉවසන් ඉන්නම් දෙවියනේ එයාව මගෙන් ඈත් කරන්න එපා’ යන සිතිවිල්ල සිතේ දරාගෙනමයි.

************

මොකද ළමයො මේ ආපු ඇදුම් පිටින්ම
යන්න ගිහින් ඇග හෝදගන්න

අම්මා කාමරයට පැමිණියේ වැඩ ඇරී පැමිණි මා ඇද මත හතර ගාතයෙන් පත බෑ වී සිටියදී ය. දෑස් විවර වෙත්ම උණු කදුලු බිදු කිහිපයක් ඇස් කෙවෙනි අගින් රූරා වැටුණේ ඔහු තවත් මාගේ නොවන බවට සාක්ෂි දෙමිනි.

ඔව්. මීට මාස කිහිපයකට පෙර අපි වෙන්වුනා. කතා කරලා වෙන්වුනා. ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මට ඇති වූ මානසික පීඩාවත්, දිගු කාලයකින් ඔහුගේ ආදරය නොලත් නිසා ඇති වූ සිත් තැවුලත් දරාගත නොහැකි පිස්සුවක් ලෙසින් මගේ පැත්තෙන් ඔහුට එල්ලවුනා. රැකියාවේ ඇති අවිවේකි බවත් ලොක්ඩවුන් කාලසීමාව තුළදී පැමිණීමට ඇති අපහසුතාවයත්, රැකියාව අහිමිවීමත් ඔහුගේ දෙසින් මට එල්ලවූවා. දැඩි රණ්ඩුවක් අවසානයේයි අපි වෙන්වූයේ.

හරියාකාරව සමුගැනීමක්වත් නැති වෙන්වීමකට අප දෙදෙනාම උරුමකම් කියන්නට සිදු වුණා. රටට වසංගතය අපේ ආදරයට වසංගතයක් වෙයි කියලා නොහිතුවා නොවේද?

වසංගත දාහක් ආවත් මගෙ අම්මා, අප්පච්චි හා මා දෝත දරාගෙන ය. අප්පච්චි අප දෙදෙනාව උර මත තබා ගෙන ය. එයයි සැබෑ ආදරය. ඒත් අප වැනි නූතන ආදරවන්තයින් හට හොස්ස ළගින් මැස්ස යන්න බෑ නොවෙද? 

වසංගතයක් ආදරයක් වෙන්කළ අපූරුව.

අදටත් බඩ රිදුම් දෙද්දී සිහියට නැගෙන ඔහුගේ ආදරබරිත ඇමතීම් සවන් දරාගෙන පුරුද්දට මෙන් ජංගමයට එබුණි.

“ළමයො ගිහින් ඇග හෝදගන්න”

දෑස් දුරකතනය සිප ගන්නට ඔන්න මෙන්න තිබියදී අම්මාගේ අණකිරීම යි.

අම්මාගේ දෙවන අණ කිරීමට අවනත නොවුණහොත් අවසාන අණකිරීම බරපතළ බැව් හොදාකාරවම දන්නා නිසාවෙන් හිමින් සීරුවේ නාන කාමරයට ඇදුනේ, දුරකතන තිරයේ රතු පැහැ ලකුණක් එහෙ මෙහෙ ගියා නේදැ යි සැකයක් හිතින් දරාගෙනයි.

‘ශිට් හරියට බලන්න බැරි වුනා නේ’…

*************

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp