u,a msmqKq jix.; ld,h
mú;%d wNhj¾Ok

පහේ එළාර්ම් එක වහා නවතා සතිකා ඇඳෙන් බැස්සේ සඳුන්ගේ හා කුඩා මෙතුකගේ සිරුරු වැසෙන්නට පොරෝනය දමාය. ඇඳිරි නීති දිනයක් බැවින් උදෑසනම අවදි වී වැඩ නිමා කිරීම අවශ්‍ය නොවේ. නමුත් ඇය පාන්දර අවදි වූයේ තෙහැවිරිදි පුතා අවදි වන්නට පෙර වැඩ ඉවර කරගතහොත් පහසු බැවිනි. ඊටත් සඳුන් හා පුතා සමග තනිව ගෙවන මේ දුර්ලභ දින කිහිපය උපරිමයෙන් විඳින්නට ඇයට අවශ්‍යය.

ඇය මුහුණ කට සෝදා ගියේ උදෑසනට කිරිබත් සෑදීමට සිතාය. සිබිල්ගේ “කෝල බොරපු බරි කිත්” පොත කියවූ දින සිට පුතා ඉඹුල් කිරිබත් ඉල්ලයි. අද ඔහුට ඒවා සාදා දිය යුතුය. නැන්දම්මා සිටින විට කිරිබත් සීතල යැයි කියා පුතාට පමණක් හෝ බත් ඉවීමට ඇය ක්‍රියා කරයි. මේ දින කිහිපයේ නිවසේද කුස්සියේද එකම රැජිනිය තමා බැවින් ඒ අපේක්ෂාව අද ඉටු කළ යුතුය. කිරිබත් කෑමටද සීනි සම්බලයක් සැදිය යුතු බව ඇය සිතුවාය. තම නිවසේ ජනප්‍රිය ආහාරයක් වුවත් සඳුන්ලාගේ මහගෙදර එය එතරම් සෑදෙන කෑමක් නොවේ.

———-

ඇය උයා ගෙවල් මිදුල් අතුගා එන විට අවදි වූ පුතා හා තාත්තා ඉස්තෝප්පුවේය. දින කිහිපයක් විවේක සුවයෙන් නිවසේම ගත කළ බැවින් දෝ සඳුන්ගේ දෑසේද මුහුණේද සාමාන්‍යයෙන් දැකිය හැකි විඩාපත් බව අතුරුදන් වී ඇත.

තේ සෑදීමට ආ සතිකා කල්පනා කළේ පසුගිය සති අන්තයේ සඳුන්ට මාසික නිවාඩුව ලැබීම වාසනාවක් බවය.

——

දින තුනක ෂට් ඩවුන් කාලය සදහා ඔහු නිවසට පැමිණි පසු කොරෝනා රෝගය නිසා සඳුදා සිට නිවාඩු දීම සිදුවිණී. මධුසමය ගත කළ දින කිහිපයට පසුව ඇයට සැමියා හා සතියක් තනිව ගත කරන්නට ලැබුණේ ඒ අනුවය.

යෝජිත විවාහයෙන් පසුව සතිකා සඳුන්ගේ මව්පියන් හා මාවනැල්ලේ මහගෙදර රැඳුණේ ඔහු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් සමාගමක ප්‍රමාණ සමීක්ෂකයෙකු ලෙස සේවය කළ බැවිනි. ඔහු නිවසට එන්නේ මාසයට ලැබෙන නිවාඩු දින තුනේදී පමණි. ඔහු රැයක් දවාලක් නොමැතිව වැඩබිමේ කල් ගෙවන බැවින් සතිකාට කොළඹ ගොස් ඔහු හා නිවසක රැඳීමටද නොහැක. දරුවා ලැබුණූ පසුද තත්වය එසේම විය.

සඳුන්ලා තරම් වත්පොහොසත්කම්වලින් තොර වුවද සතිකාගේ මව්පියෝ ඉතා සරල, විනෝදකාමී ජීවිත ගත කළ අය වූහ. රෑට රෑ වන තුරු කෙල්ලන් දෙදෙනා අම්මා හා තාත්තා සමග කැරම් හෝ ඕමි ගසති. සමහර සති අන්තයක පැදුරු සාජ්ජ පැවැත්වෙන්නේ සියල්ලන්ටම හොදින් ගී ගැයුමට හැකි බැවිනි. දිගු සති අන්තයක් නම් මහවැලි හෝ ලංකා බැංකු සර්කිට් එකක් වෙන් කර ගෙන කෝච්චියෙන්, බසයෙන් විනෝද ගමන් යෑම සිදුවේ.

————-

විවාහ වී නෑදෑ ගෙවල්වල යෑමෙන් අනතුරුව සඳුන් හා තනිව ගමනක් ගිය දිනක් හෝ ඇයට මතක නැත. ඉතා හොද වැටුප් හා පහසුකම් ලබාදුන්නද ඔහුගේ සමාගම සේවකයන් මරවා වැඩ කරවීම එයට එක් හේතුවකි. දින තුනට නිවසට පැමිණියද සඳුන් රෑ තිස්සේ පරිගණකයේ එක්සෙල් ෂීට්වල බිල්පත් සකස් කරයි.

සඳුන්ගේ අම්මලාද ඔහුද ඉතා යහපත් වුවත් ඔවුන් වත්කම් එක්රැස් කිරීමට දැඩිව ප්‍රිය කිරීම සතිකාගේ අල්පේච්ඡ සිතට කරදරයකි. පුතා ඉපදුණු දා සිට “කොල්ලෙක්නේ ඉන්නේ, සෙල්ලම් නෑ. මොනවා හරි හදලා තියන්න එපැයි” කියා සඳුන්ට ණයක් ගෙන හෝකන්දරින් පර්චස් විස්සක ඉඩමක් ගන්නට බල කළේ ඔහුගේ පියාය. සඳුන්ගේ මහගෙදරද මාවනැල්ලේ ඉඩම් කිහිපයක්ද ඔවුන්ට අයිතිය.

පුතාට හොඳින් උගන්වනු හැරෙන්නට මෙලෙස ගෙවල් ඉඩම් සකසා තැබීම සතිකාගේ ඉලක්ක අතර නැති කරුණුය.

ඉතා විවෘත ඇගේ මව්පියන් හා දිනයක් මේ ගැන තමන්ගේ සිතට ඇති කරදරය ගෙන හැර පෑ ඇයට තාත්තා පෙන්වා දුන්නේ වෙනත් පැත්තකි.

“පුතා ඔහොම හිතුවට අක්කාගේ මහත්තයා වගේ කෙනෙක් හම්බුණා නම් ඔයාට හිතෙයි ගෙයක් දොරක් හදාගෙන පිළිවෙළක් වෙන මනුස්සයෙක් ලැබුණ නම් කොච්චර හොදද කියලා. බලන්නකො අක්කා ලක්ෂ එක හමාරක් පඩි ගන්නවා. කුසල් එක පාර්ටියක් දැම්මම, ට්‍රිප් එකක් ගිහින් ආවම ඒකෙන් බාගයක් ඉවරයි. බැඳලා දැන් අවුරුදු හතකටත් කිට්ටුයි, තාම ඉඩමක්වත් නෑ. ගෙයක් නම් මේ කපේදී හදන්න වෙයිද දන්නෑ ඔය යන විදිහට. මගේ ඔලුවට හරිම කරදරයක් මේ ළමයා විඳින වදේ ගැන හිතුවම. මම අක්කාගෙන් ඇහුවත් එක්ක මම පෙන්ෂන් යන කොට ලැබෙන ග්‍රැටිවිටි එක අරන් දෙන්නද කියලා එයාට ඉඩමක් ගන්න. පස්සේ හිමීට මාසයක් ගානේ මට ඒක පියවන්න කියලා. අක්කා කීයටවත් කැමති නෑ. එයා කියන්නේ අන්තිමට කුසල් ඒකත් නැති කරලා ඉඩමත් විකුණලා දායි කියලා. අපිට ඇත්තටම ඔයයි සඳුනුයි ගැන හිතුවාම තමයි සහනයක් තියෙන්නේ. ඒ ළමයා පිළිවෙළට ඔක්කොම හිතලා බලලා කරනවනේ”

“අනික පුතේ බලන්න ඒ අම්මලා උනත් ඔයාට මේ වෙනකම් වචනෙකින්වත් වැරැද්දක් නෑනෙ. තමන්ගේ අම්මා වගේම ඔයාට කන්න බොන්න හදලා අතට දෙනවා, බබාටත් පණ වගේ. මම අක්කා ඇවිස්සෙන හින්දා කියන්නේ නෑ, අද වෙනකං මම හිතන්නේ කුසල්ගේ අම්මලා පොඩි දෙන්නට කියලා ඇඳුමක් වත් අරන් දීලා නැතුව ඇති.” අම්මාද කීවේ ඔවුන්ගේ හොඳය.

“චූටි පුතා ඉස්කෝලෙ යන කාලෙට සඳුන් පුතත් ටිකක් නිදහස් රස්සාවකට මාරු වෙලා, ඒ කිට්ටුවක ගෙයක් අරගත්තම ඔය තුන්දෙනාට ඉන්න පුලුවන්නෙ.”

සැබැවින්ම මව්පියන්ගේ සිත සතුටු කර ඔවුන් සොයා දෙන කෙනෙකුම විවාහ කරගන්නා බව සතිකා තදින් සිතට ගත්තේ අක්කාගේ ප්‍රේම සම්බන්ධයද විවාහයද නිසා අම්මලා විඳි මානසික වදය දුටු පසුවය. කුසල් අයියාගේ සිතේ ඇත්තේ බැලේ ඩාන්ස්, නයිට් පාර්ටි, බීච් ට්‍රිප් ආදිය මිස ගෙයක් දොරක් සාදා පිළිවෙළක් වීම නොවේ. මුලදී ඔහුට ඇති ආදරය නිසා සියල්ල ඉවසා සිටි අක්කා දැන් දරුවන් නිසා හා ලෝක ලැජ්ජාව නිසා නමට ඔහු හා රැඳෙමින් තනිව සියල්ලට කර දෙයි.

———————

අම්මලා කුමක් කීවත් ඕනෑම තරුණ පතිනියක මෙන් සතිකාට අවශ්‍ය වූයේ සඳුන්ගේ අසල ගැවසී ඔහු හා කල් ගෙවීමටය. දරුවා පාසල් යවන විට හෝ තමන්ට එක්ව රැඳෙන්නට හැකි වේ යැයි ඇය බලාපොරොත්තුවෙන් සිටියාය. නමුත් සඳුන්ගේ සිතේ වූයේ වෙනත් බලාපොරොත්තුවක් බව ඇය දැනගත්තේ ඔහු පසුගිය වසරේ දිනක ඔහුගේ අක්කා හා මස්සිනා හා කතා කරන විටකය.

“වැඩක් නෑ අයියේ මෙහෙම ගිහින් සාමාන්‍යයෙන් ගෙයක් හදන්නත් කෝටියකට කිට්ටු වෙන්න යනවා. මිඩ්ල් ඊස්ට් වල දැන් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ලක්ෂ දහය පන්නලා සැලරි එකකට යන්න පුලුවන්. අවුරුදු දෙකක් ඉදලා ආවොත් ඊට පස්සේ මෙහෙ ගවර්න්මන්ට් තැනක වැඩ කළත් ඇතිනේ.”

දෙදාස් විස්සේ සිංහල අවුරුද්දෙන් පසු සඳුන් අබුඩාබිගේ රැකියාවකට යන්නට සූදානම් වූයේ ඒ අතරය. මැයි පළමුවන දා සිට පටන් ගන්නා රැකියාවේදී ඉඳුම් හිටුම්, ගුවන් ටිකට්පත්, ගමනාගමන පහසුකම් සපයා ලක්ෂ දොළහක් ලැබෙන බව සඳුන් කීවේ සතුටිනි. පුරුදු පරිදි එහිදීද ඇයට තීරණය දැනුම් දීම මිස විමසීමක් සිදු නොවිණි. ඉවසිලිවන්ත සතිකා සිතුවේ අඩුම ගණනේ ඒ අවුරුදු දෙක අවසානයේ වත් හැල්මේ දිවීම නවතා ඔහු සාමාන්‍ය දිවියක් ගෙවාවි කියාය.

——

කොරෝනා බියද නිවාඩු හා ඇඳිරි නීතියද පැමිණියේ ඒ අතරය. සාමාන්‍යයෙන් දුර ගමන් යන්නට සඳුන් නිවසට එන සති අන්තය යොදාගන්නා නැන්දම්මාත් මාමාත් සඳුන්ගේ අක්කාගේ මාතර නිවසට ගියේ සෙනසුරාදා පාන්දරිනි. කොරෝනා බිය නිසා බස්, දුම්රියවල එන්නට බියෙන් දැන් ඔවුන් මාතරට වී සිටිති.

—–

සඳුන් අන්පේක්ෂිත නිවාඩුවේ පළමු දින දෙක තුන ගෙව්වේ ‍දියෙන් ගොඩ දැමූ මසෙකු මෙනි. ඔහුට විවේක ගෙන පුරුද්දක් නැත. නමුත් තුන්වන දිනයේ පටන් සතිකා වැඩ කරගන්නා තුරු මෙතුක හා ට්‍රයිසිකල් පදින්නටද කෝම්පිට්ටු උයන්නටද ඔහුට සිදුවිය. මුලදී ඔහුට නුහුරු බවක් දැක්වුවද මෙතුක දැන් ඔහුගේ කරේ නගියි. අම්මා මතකවත් නැත. “තාත්ති කවන්න, තාත්ති දොයිකරන්න” කියා සඳුන්ටම ඇලී ගැලී සිටියි.

—————

තාත්තාටත් පුතාටත් වත්තට තේ හා පොල් ටොෆී ගෙන ගිය සතිකා ලොවි ගස යට ඉදිකර ඇති බංකුවේ ඉදගත්තාය.

“ම්ම් නියමයි. දැන්ද හැදුවේ.”

“ඔව්. පොඩි කාලේ ඉස්කෝල හෝම් සයන්ස් වලට හැදුවට පස්සේ මම පොල් ටොෆී හැදුවේ”

පොඩ්ඩා මල්වලට වතුර දමන බටය ගෙන මඩ වලක් සාදයි. ඔහුගේ හිසේ සිට මඩ ගෑවී ඇත.

“ගන්න වෙයි නේද, හෙම්බිරිස්සාවක් වත් හදාගත්තොත්, කර්ෆිව් අස්සේ” සඳුන් කියන්නේ බියෙනි.

කොල්ලාත් සතිකාත් දමන සෙල්ලම් ඔහුට පුරුදු නැත.

“අපෝ කමක් නෑ. දැන් පැයක් විතර නටන්න දීලා හෝස් එකෙන්ම නාවලා ගෙට ගන්න ඕන. එතකොට හොඳට කාලා පැය තුනක් විතර නිදාත් ගන්නවා”

“ඒක නම් හොදයි” කට කොන් සිනාවකින් සඳුන් කියන්නේ සතිකා දෙස මනමාල බැල්මක් හෙළමිනි.

හදිසියේ ඇවිත් යන විට නොදකින ලස්සනක් මේ දින කිහිපයේ ඔහුට සතිකාගෙන් පෙනේ. නිවසට වී සිතේ සහනයෙන් කල් ගෙවන නිසාදෝ ඇගේ මුහුණේ හැමදාම ඇත්තේ නැවුම් ලස්සනකි. දණ හිස ළගට දිගු අත් නැති ගවුමක් ඇඳ සිටින ඇය අද පෙනෙන්නේ පාසල් දැරියක මෙනි.

“සඳුන් මෙයාව චුට්ටක් බලනවද මම පහළින් ගොටුකොළ ටිකක් කඩන් එන්නම්. හෙට කැඳ හදමු”

“අන්තිමට චීස් බටර් බිස්කට් කකා ඉදලා අපිටත් කොස්, පොල්, ගොටුකොළ, බතල හොයන්න උනා නේද”

“වෙලාවට අපිට වත්තේ ඔක්කොම ජාති කියන නිසා හොදයි. කර්ෆිව් ලිෆ්ට් කරත් ඔයා නම් එළියටවත් යන්න එපා. හාල් ගෝනි දෙකක් තියෙනවා. සම්බෝලයි බතුයි හරි කන්න පුලුවන්නේ.” සතිකා කියන්නේ ඇත්තටමය.

අක්කර දෙකක් පමණ වත්තේ ඇති කොස්, පොළොස්, කොහිල, කෙසෙල් මුව, බතල, පලා ආදිය යොදාගෙන තමන්ට කුමක් හෝ උයාගත හැකි බව ඇය සිතුවේ ඇඳිරි නීතිය දමන්නටත් පෙරය. සඳුන් ගොස් සති දෙක තුනකට අවශ්‍ය සිල්ලර බඩු ගෙනාවද ඒවා ඉවර වූ පසු වුව ඔහු නැවත පිටතට නොයවන්නට ඇය සිතා සිටියි.

—–

සඳුන් කොහිල කොටුව සුද්ද කළේ ඊළග දිනයේය. වැඩි පුර ඇඟ වෙහෙසා වැඩ නොකරන බැවින් ඔහුගේ උඩුකය දහඩියෙන් නැහැවී තිබේ. කොහිල අල හා දළු මිටියක් ගෙන ඔහු ගෙට ගොඩ වූයේ සතිකාත් පුතාත් ඉස්තෝප්පුවට වී කැලැන්ඩර් කොලවල පිටුපස චිත්‍ර අදින අතරය.

“ අම්මෝ ඔයාට දාඩිය දාලා තියන තරම්, ටිකක් ඉඳලා නාගෙනම කන්න” සතිකා කීවේ නැගිට ඔහු අතින් කොහිල මිටි ගන්නා අතරය.

“ඇයි නාන්න කියන්නේ, ගඳද” සඳුන් ක්ෂණයෙන් ඇගේ මුහුණේ තමන්ගේ බාහුවේ වූ දහදිය ගෑවේ එසේ කියමිනි.

“තාත්ති, එපා අම්මිට ගහන්න. අම්මි මගේ” සිදුවන සියල්ල හොදින් නිරීක්ෂණය කරන මෙතුක කියන්නේ හැඬුම් ස්වරයෙනි.

“ආ ඒවා කොහෙද, අම්මි මගේ” සඳුන් කියන්නේ සතිකා ළඟට ඇදගෙන වැළඳගනිමිනි.

හඬාගෙන ළඟට එන මෙතුක වඩා ගන්නා සතිකා නොනවත්වා සිනහ වෙයි. කොරෝනා බිය හේතුවෙන් හෝ ඇයට මේ ලැබුණේ ඇය සැමදාම පැතූ ආකාරයේ ජීවිතයයි.

“ඔයා අබුඩාබි ගිහින් ආවමවත් අපි එක තැනකට යමු සඳූ”

“ඔව් මේ කොල්ලටත් මාව හුරු නැති වෙනවා නැත්නම්. අපේ කම්පැනියේ වැඩකරන හොද සබ් කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නවනේ. මම ඒ කාට හරි කියලා මම එහේ ඉන්න අතරෙම ගෙයි වැඩ පටන් ගන්නම්. තාත්තට හරි නැවතිලා බලන්න පුලුවන්නේ ඒ කාලෙට. එතකොට මම ආපු ගමන් අපිට එහේ පදිංචි උනෑකි. පුතාට නංගියෙකුත් ගේන්න බැරියෑ ඊට පස්සේ නේද පුතේ.”

සතිකා සිනහ වෙන්නේ අවිශ්වාසයෙනි. ඉඩම්, වාහන, මහල් නිවාස සිහින දකින සඳුන් මෙවන් දෙයක් කීම ඇයට විශ්වාස කළ නොහැක. “ඊට පස්සේ වාහන දෙක තුනක් අරන් අපේ කම්පැනියේ හයර් එකට දාමු, පාරක් අයිනේ බිල්ඩින් එකක් හදලා රෙන්ට් කරමු” ආදි දෙයක් කිව්වා නම් ඇයට පුදුම නැත.

“හරි හරි නංගිලා ගෙන්න කලින් නාලා එන්නකෝ.”

“එන්නකො නාන්න, ඔය කොල්ලව කොට් එකට දාලා.”

“පිස්සුද අනේ” සතිකා සිනාවෙයි. “රටම දෙවනත් වෙන්න හූ කියයි, ඊට හපන් අම්මලා ආව ගමන් කේලම කියයි අම්මියි තාත්තියි මාව තනියම කොට් එකේ දාලා එකට නාන්න ගියා කියලා”

———-

එදා පුතා නිදි කරවීමෙන් පසු සතිකා හැලප තැම්බුවාය. තේ කෝප්පයේ සිට නැන්දම්මා හදන බැවින් ඇයට උයමන් හුරු නැතත් ඉවුම් පිහුම් ඇප්, යූ ටියුබ් වීඩියෝ ඇසුරෙන් ඈ මේ දින කිහිපයේ හැදූ කිසි කෑමක් වැරදුණේ නැත. නැන්දම්මා නම් දවස ගානේ දුරකථනයෙන් අමතා කම්පා වෙයි.

“අනේ පුතේ කොහොමද කරගන්නේ පොඩි එකා එක්ක, බලන්නකෝ මාත් හිර උනානේ මෙහාට”

උණු හැලප බා ඇය කෝපි සාදන විට නා ගත් සඳුන් මුළුතැන්ගෙට ආවේය.

“කෝ ඔයාගේ කෝප්පේ, කෝපි දාන්න”

“එකකට දාගෙන එන්න, කොහෙ තිබ්බද මතක නෑ’

ලොකු ජෝගුවකට කෝපි දමා හැලපද ගෙන සතිකා සාලයට ගියාය.

“මම ඉස්සර හරිම ආසා පොතක් තිබුණා. සද්ගුණාකාරය කියලා. ඒකෙ රෝස නෝනායි ලියන මහත්තයයි තමයි කපල් එක. දෙන්නා හරි ආදරෙන් ඉන්නේ. ඒ දෙන්නාත් රෑට එක ජෝගුවෙන් තමයි කෝපි බොන්නේ”

“ආ ඉතින් රෝස නෝනා මීට පස්සේ කෝපි හැදුවම එක ජෝගුවකට ගේන්නකෝ දෙකකට නොදා.”

“තව මාසයයි නේ. ඔයා ගියාම මට ලබන අවුරුද්දේ තමයි එක ජෝගුවේ කෝපි බොන්න වෙන්නේ”

සිනාවකින් ඇරඹුණත් වාක්‍යය අගට යද්දී සතිකාගේ හඬ බිඳිණි. ඇය පුටු ඇන්ද මත තිබූ පුතාගේ තුවාය ගෙන දෑසට තබා ගත්තාය. ඇයට බොහෝ වෙලාවක් යනතුරු හැඬුම නවත්වාගත නොහැකි විය.

සඳුන් ඇයගේ උරහිස වටා අත දමා පිරිමදිමින් නිහඬව සිටියේය.

“මාත් ආසාවෙන් යනවා නෙවෙයිනේ සතී. මට තියෙන ලොකුම බය අපේ සයිට් වල සමහර උන් හතළිහෙන් පනහෙන් මැරෙනවා. ගෙවල් හදලත් නෑ, ලෝන් ගෙවලත් නෑ, ළමයිනුත් පොඩියි. ඔක්කොම අනාතයිනේ. මට මොනව හරි උනත් ඔයාටයි කොල්ලටයි හොදට ඉන්න හරි තියෙන්න එපැයි”

“පිස්සුද අනේ. අපිට ඉන්න මේ ගෙදර තියෙනවා, වාහනේ තියනවා. තවත් මොනවද. ඕනි නම් පුතා නර්සරි වගේ යද්දි මටත් ජොබ් එකකට ගියෑකිනේ.”

“ඔයා ඔය ඉන්න විදිහට නිදහසේ බබා වගේ ඉන්න. බලමුකෝ අපි”

——

ඊළග දිනයේ සඳුන් වත්තේ පදාසයක පැතිර තිබූ බතල ගාලෙන් කොටසක් ගැලවූයෙන් සතිකා බතල බේසමක් එකතු කරගත්තාය. ඇය සවස බතල පෙති බැද්දේ දිනක් අම්මා බදින ලද බතල පෙති පැකට්ටුවක් කඩෙන් ගෙනැවිත් පුතා ආසාවෙන් කෑ බැවිනි.

එදින රෑ පුතාට බත් කැවීමට පෙරැත්ත කරන්නට වුවමනා නොවුණේ බදින ලද බතල පෙති අහුලා අහුලා ඒ සමග බත්ද කෑ නිසාය. ඔහු නිදි කරවා සතිකා ආවේ කෑලි මිරිස් හා ලුණුද යහමින් දැමූ බතල පෙති පිගානක් රැගෙනය.

“ලස්සන ෆිල්ම් එකක් ගැන ෆෙස් බුක් පෝස්ට් එකක් තිබුණා ගිය සතියේ, නයින්ටි සික්ස් කියලා, බලමුද”

“බලමු”

කම්මැලි කමට බලන්නට පටන් ගත්තද ටික වේලාවකින් සතිකාටද සිතුණේ එය පුදුමාකාර ලෙස සිතට කතා කරන චිත්‍රපටයක් බවය. රාම් හා ජානුගේ ආදරය ගලා යන්නේ සිපගැනීමකින් හෝ තොරවය. නමුත් ලස්සන සංගීතයද පාසල් වියේ මතකද එක්ව පුදුමාකාර හැඟුම්බර කමක් මවා තිබේ.

“ඔයාට හිටියේ නැද්ද එහෙම රාම් කෙනෙක්”

“අනේ නෑ සඳූ, මම දහයෙදිනේ අක්කා කුසල් අයියා එක්ක යාලු උනේ. තාත්තයි අම්මයි අක්කට එපා කියනවා. අක්කා අඬනවා. දවසක් තාත්තා අක්කට දණ ගහලා වැන්දත් එක්ක අෆයොර් එක නතර කරන්න කියලා. මම ඒ කාලේ හිතාගත්තා මම තාත්තට කවදාවත් හිත රිද්දන්නේ නෑ, තාත්තම හොයල දෙන කෙනෙකුට කැමති වෙනවා කියලා.”

ඊළග දින කිහිපයේම සඳුන් අතු ගෑවේ, පොල් ගෑවේ “කාදලේ, කාදලේ” කියමින් 96 චිත්‍රපටයේ සුමිහිරි ගීතයේ කෑලි කියමිනි.

——–

එදා දහවල් කෑමෙන් පසු පුතා නිදිකරන්නට ගිය සතිකාටද නින්ද ගිය අතර ඇය ඇහැරෙන විට සවස හයටද ළගය.

කුස්සිය පුරා බඩු වපුරාගෙන සඳුන් රෑට උයයි. බිත්තියට හේත්තුකර ඇති ඔහුගේ ටැබ්ලට් පරිගණකයේ යූ ටියුබ් විඩීයෝවක සූපවේදියකු උපදෙස් දෙනු පෙනේ.

“දෙන්නා නිදියන් ඉන්න හැටි දැක්කම ඇහැරවන්න දුක හිතුණා. මම හදනවා වන් පොට් රයිස්”

ශීතකරණයේ තියෙන තරමක් දේ දමා ඔහු හැදූ බත පුදුම රසකි. වෙනදාට බත් කටවල් හතර පහකින් කෑම නවතන පුතාද ඉල්ල ඉල්ලා කෑවේය. සඳුන් ආඩම්බරයෙන් සිනාසෙයි.

සතිකා ජීවිතයේ කිසි දිනක නොවූ තරම් සතුටින් සිටියත් ඇයට සිතුනේ මේ සතුට කී දවසකටද යන වගය. සඳුන් විදේශගත වූ පසු මේ දින සිහි කර ඇයට දින ගණනක් හඬන්නට සිදුවන බව ඇය දනී.

——

ඊළග දිනයේ උදේ වරුවෙන් බොහෝ වෙලා සඳුන් සිටියේ දුරකථනයේය. ඔහුගේ කාර්යාල ඇමතුම් වලට කන් නොදෙන සතිකා ඒ කුමක් පිළිබදවදැයි විමසුවේ නැත.

එදා රෑ සඳුන් පරිගණකය දිග ඇරගෙන සිටිනු ඇය දුටුවේ ඊළග දිනයට එළවළු සූදානම් කරන අතරය.

ඇඳිරි නීතිය ඉවත් කළ විට රැකියාවට යන බැවින් ඔහුට සූදානම් වන්නට ඇත. ඉන්පසු මාසයකින් ඔහු පිටත් වේ. නැවත එනතුරු මාස එකොළහක් තමාට බලා සිටින්නට සිදුවනු ඇත.

සඳුන් නාන්නට ගියේ “බබී, මගේ ලැප් එක පොඩ්ඩක් බලන්න” කියාය.

ඇයට බබී කියන්නේ තාත්තා පමණි. ඒ ඔහු ඇයට සුරතලයට කියන නමයි. අම්මලා ඉන්නා විට “සතිකා”ද තනිවුණු විට “සතී’ද කියන සඳුන් මේ නම කිව්වේ පළමු වරටය.

සතිකා වැඩ ඉවර කරම සාලයට එන්නට සිතා මුළුතැන්ගෙට වී සිටියාය.

නාගත් සඳුන් හිස පිසිමින් ආවේය.

“බැලුවේ නැද්ද තව? බලන්නකෝ ඉක්මනට ඔයා ආස දෙයක්”

සතිකා අත පිසිමින් පැමිණ පරිගණකයට එබුණාය.

එහි වූයේ සඳුන් විනාඩි කිහිපයකට පෙර අබුඩාබියේ සමාගමට යැවූ ඊමේලයකි.

I regret to inform you that I am not in a position to accept the post of Quantity Surveyor in your company.

 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp