u;l óÿu
nqoaê chks whs,mafmreu

“අම්මි මොකක්ද කොරෝනා කියන්නේ?”

“ලොකූ වසංගතයක් “

දියණිය ඇස් ලොකු කර මාදෙස බලාසිටියි.

“ගෙයින් එළියටවත් බහින්න බැරි වුණා කියලා ටීචර් කිව්වා.ඇත්තද අම්මි?”

“ඔව් පුතේ…කොහේවත් යන්න බෑ….වෛරසේ බෝවෙනවනේ….”

“ස්කූල්වත්…?”ඇගේ ඇස් නලියයි.

“ඔව්…ස්කූල් තියා එහාගෙදරටවත් යන්න බෑ”ඇගේ මුහුණේ වූ සතුට වියැකී බයක් ඇස්වල විය.

“අම්මෝ….”

“එහෙම කාල ඕනිතරම් තියෙනව පුතේ ලෝකෙත් හිත්වලත්…ඒත් ඒ කාලේ මට ලැබුණු හොඳම තෑග්ග පුතාලගේ තාත්තා”ඇය මහත් ඕනකමින් අසා සිට හදිසියේම,

“අනේ… දැන් අපේ කතාව යනෝ…” කියමින් රූපවාහිනිය දෙසට දිව්වාය.දැන් ඇගේ ඇස් ඉන් ගලවා ගැනීමට නොහැකි වන්නා සේ ම මගේ සිත ද මතකයෙන් ගලවා ගත නොහැකි විය.

හිමින් සීරුවේ පොත් රාක්කය වෙත ගිය මම එහි යට ම වූ දිනපොත් මිටයේ මැද වූ දින පොතක් අහඹු ලෙස ළංකරගතිමි.දසවසක මතක එතැන විය.ඒ 2020 අවුරුද්දයි.මා සොයන මතක ඒ තුළ ඇත්දැයි සියුම් කුකුසක් මා තුළ විය.හිමින් සීරුවෙ පිටු දිග හැරුවෙමි.ඔහු හා මා සරන මතකයක තනි වීමට මට ඇවැසි විය.

 2020/01/13

“කොරෝනා ආසාධිතයන් 45ක් හමුවීම හේතුවෙන් රාගම අධි අවදානම් කලාපයක් ලෙස නම් කෙරේ.දිවයින පුරා ඇඳිරි නීතිය තවදුරටත්….”

ගුවන්විදුලියේ නැවතත් එම පුවත නැවතත් විකාශය වෙයි.එය වසා දැමූ මම කවුළු දොර එපිට බලාසිටියෙමි.ඉමක් කොණක් නැතිව පුරන් වූ වෙල්යාය දෑසට හසුවෙයි.තැනින් තැන සුදු පාට කැලෑමල් පිපෙමින් පවතී.මා සිතෙහි බලාපොරොත්තු මෙන් ඒවා ද වෙල මත ම පරවී යයි.ඔහුව නොදැක සතියක්,මාසයක්,මාස හයක් ඔහේ ම ගෙවී ගොස්ය.වසංගතය පැතිරෙන්නාක් මෙන් ඔහු දැකීමේ ආසාව සිත පුරා පැතිරෙයි.නැවතීමක් නැත.

වසංගතය අධ්‍යාපන ක්‍රමය ද උඩුයටිකුරු කර ඇත.වයස් භේදයකින් තොරව ජංගම දුරකථනය වසංගත සමයේ ළඟම හිතවතා විය.එහෙත් විදුලියක් නැති නිවෙසක බැටරි අංශුමාත්‍රය දක්වා ම වටිනේය.සිත සිතා සිටින අතරතුර ඔහුය.

“ආයෙත් ලොක්ඩවුන් කළා නේද?”

මම සුසුමක් හෙලුවෙමි.

“වැඩියෙන් වටින්නේ අසනීප නොවී ඉන්න එක…අසනීප වෙන්නෙපා.පරෙස්සමෙන්….”

“ඔයත්…”

“විභාගෙත් ළඟ ම එනවා නේද?ඒවාට සුදානම්ද?”

“ඔන්ලයින්නේ…කරගන්න පුළුවන් වෙයි….”

“එහෙම නෙවෙයි ඒවා ගැන බලන්න…මහන්සි වෙන නිසා කන්න හොඳට….”ඒ මට ඔහු පිළිබඳ ඉමහත් සෙනෙහසක් දැනුණු වචන පෙළකි.අපි දුරක සිටියත්,ඔහු කුඩා ම දේ ගැන පවා සැලකිලිමත් වන්නේයැයි මට සිතූ මොහොතකම යළිත් මෙසේ ඇසෙයි.

“අපි දැන් තියමු.මෙහෙත් වැඩ ගොඩ ගැහිලා…”

“පරෙස්සමෙන්…කන්න…බුදුසරණයි”

දරාගත නොහැකි ශෝකයක්,පාළුවක් මට දැනෙයි.බොහෝ නොසන්සුන්ය.ඔහුට වැඩ තිබිය හැකිය.ඒත් මට මීට වඩා කාලයක් අවශ්‍යය.විදුලියත් නොමැති නිවසක අන්තිම ආරෝපණය පවා  ඉතිරි කරගත්තේ කතාකිරීමටය.මට මහත් හුදකලාබවක් දැනෙයි.

2020/01/23

විභාගය පටන් ගෙනය.සිතනවාටත් වඩා වේගෙන් දවස් ඉගිලෙයි.ඔහු වැඩවලින් නිදහස් වන බොහෝ වෙලාවන් මා වැඩගොඩකය.ඒ අතරතුර ම ඔහුගේ ආදරය මට දැනෙයි.

2020/01/25

ලියූ කොළ සියල්ල තෙමීබත්වීය.ඔන්ලයින් එක්සෑම්…හැමෝටම එකවගේ නෑනේ…රාත්‍රිය පුරා ඇදහැලුණු වරුසාව ටකරන් සියල්ල ගෙනගොස්ය.නිරාවරණය වූ මගේ පිළිතුරු පත්‍ර මත ම වැහි බිඳු ලකුණු දී අවසන්ය.අම්මාගේ හැඩුම් ඒ අතරතුර ඇසෙයි.ඇයව සනසමින් මෙය කළ හැකි බව කීමට ඇවැසි ශක්තිය මට දැන් නැත.සියල්ල අලුතින් ලිවීමට කාලයක් ද නැත.එහෙත් දුරක සිට හෝ අත්වැලක් වීමට ඔහුගේ එකම කෙටි පණිවිඩයකට හැකිවිය.

“ජීවිතේ අමාරු කාල ආවා…ඒ හැමදේට ම ඔයා ශක්තිමත් ව මුහුණ දුන්නා.වුණු දේ වුණා…දැන් හැම පේපර් එකටම උපරිමය ලියන්න ඕනේ නෑ.පුළුවන් තරමට ලියමු.ඔයාට පුළුවන් රත්තරන්…මන් ඒක දන්නවා….”දරාගත නොහැකි මහත් වූ කඩාවැටීම් මත සවිය වීමට ළඟ නොසිටි ඔහුගේ අදිසි හස්තය මට මහත් රැකවරණයක් විය.සියල්ල අතහැර රැකියාවක් කළ යුතු යැයි පෙළඹවන හිත ම රැයක් දවාලක් නැතිව හිරු එළියටත්,ඉටිපන්දම් එළියටත් නතුව විභාගය කරා යොමු කිරීමට මහත් සවියක් විය.වසංගතය නොතිබෙන්න සියල්ල වෙනස් වනු ඇත.මට මේතරම් ම ඔහුගේ ආදරය දැනීමට අවකාශ ද නොලැබෙනු ඇත…

2021/01/28

මට තවත් අල්ලාගෙන සිටිය නොහැකිය.හෙටින් විභාගය අවසන්ය.ලියාගත නොහැකි බොහෝ කොළ අඟ ඔහුගේ කටහඬ ඇසෙයි.

“අල්ලගෙන යමු.”

2021/01/29

විභාගය අවසන්ය.එහෙත් සියල්ල අවසන් නැත.ලියාගන්නට බැරිවුණු ප්‍රශ්න පත්‍රයක අග නිර්මාණ රචනය ප්‍රශ්නයට මා ලියූ පිළිතුර අසලම නෙතු නතර වී ඇත.

“සුළං කෝඩ සහසක්

ටකරමේ වැද

විදුලිය නැතිව කොළ

සේරම තෙමී ගිය

නිසිලෙස නැතත් හැකි ලෙස

යළි ලියූ මට

සමාවන්න මාගේ ගුරු ඇඳුරු සඳ…”

ඔහුගේ ඇමතුමක් එයි.ආයාසයෙන් අකුරු එකතු කළ යුතු තැන්වල පුරුදු ලෙසම නිරායාසයෙන් ඔහුගේ දයාව වාන් හැරී යයි.

“ඔයාට පින් මාත් එක්ක ඉන්නවට….ඔයා නැතිවෙන්න මන් කොහොමද මෙච්චර ගමනක් එන්නේ….?විභාගේ මන් ලිව්වා තමයි.මන් එවන ෆොටෝ  එකක් ගාණේ එකතු කරලා අප්ලොඩ් කරන්න ඔයා හිටියෙ නැත්නම්….”

“ඕවා හිතන්නෙපා දැන්…කාලා ඉන්න..දවල්ටත් කාලා නැතුව ඇති…”ඒ ආදරේමය.වසංගත කාලයේදී පවා එය මා තුළ ම තබන්නට ඔහු උපරිම උත්සාහ කළේය.දිරි දුන්නේය.ඔහු නොවන්නට වසංගතය වසංගතයක් වන්නේ මටය.ඒත් ඔහුගේ ආදරය මගේ හිතේ පුංචි බලාපොරොත්තු පවා ඇති කළේය.ඒවා වියැකී ගියත්,දරන් ඉන්නට සවියක් විය.

පොතේ ඒ පිටුව හදවතට තුරුළු කරගත් මම සිතින් ඒ කාලයට ගියෙමි.අපට හමුවීමට දිනයක් තිබුණේ නැත.එහෙත් සිත් බොහෝ දොඩමලු විය.දරාගත නොහැකි පාළුවක් මට තිබුණ ද,වසංගතය නොවෙන්නට ඔහු මට මඟ හැරේමට ද  ඉඩ තිබුණි.ඒත් බැඳුණු අත්වැල හිත්වල ම තබා රකින්නට මිස කඩන්නට ඔහු කිසිකලෙකත් උත්සාහ කළේ නැත.දුර,කාලය යනාදී බොහෝ සාධක හරස් වූ යුගයක අපේ පෙම වෙනස් නොවුණිනම් ඉඳහිටක යන හිත්රීදිමක් එතෙක් අල්ලා ගත යුතු නොවේ යැයි සිතේ…පෙරටත් වඩා මම ඔහුට ආදරය කරමි.ඒ මගේ උපරිමයැයි එකළ ද හැගුණු අතර ආදරය දිනෙන් දින වැඩිවෙයි.

“මොනා කරන්නේ?මන් එනකන් ම දැක්කේ නෑනේ…”ඔහුගේ දෑත් මගේ දෑස් වසාය.සැබවින්ම කිවතොත්,අනෙක් පෙම්වතුන් මෙන් පෙම්වතියගේ දෑස් වසා ඔහු පවසන මඟහසරේ ගමන් කරවීමක් කිසි කලෙකත් අප අතර නොවුණු අතර මට මා ම වීමටත්,සොයා ගන්නා මඟහසර තුළ එළිය දෙමින් අත්වැල් දීමටත් ඔහුට ශක්තිය තිබෙන වග මම දත්තෙමි.

“අනේ, මේ ඩයරි ටික පොඩ්ඩක් අස් කළා.”

“අන්න ඔයාගෙ අලුත් ලිපිය දිවයිනේ පළවෙලා.මන් පත්තරේ අරන් ආවා.”

“අනේ….ඇත්තමද?”

“ඔව්…ආයෙම එකක් ලියමු.”

“හා වසංගතය ගැන…”

“කොරෝනා?”

“ඔව්…ඔයාට මතකද අපි ගොඩක් දුර ඉඳියත් හිත්වලින් ළඟින් ඉදියා…”මම ඔහුගේ බඳ වටේ දෑත බදා පපුවට තුරුළු වුණෙමි.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp