uf.a k¾ia fkdakd
isydrd r;akdhl

ඒ ඉර බැස ගෙන යන තවත් එක් සැන්දෑ යාමයකි. චූටි දෝනි විඩාබර දෙනෙතින් යුතුව, කාමරයේ ග්‍රිල් කුරූ අතරින් ශෝකානුකුලව බලා සිටිනවා මට පෙනෙයි. එය දකින මගේ සිතට මුවහත් වූ කිනිස්සකින් යමෙකු යලි යලි අනින්නාක් මෙන් දැනෙයි. පුරුෂ දහිරිය පසෙකලා ලොවටම ඇසෙන්නට තරම් කෑ ගසා හඬන්නට සිතුනද , පුංචි දෝනිගේ සිත තවත් බිඳීමට නොහැකි හෙයින් මම මුනිවත රකිමි. සිතෙහි හිරකරගත් වේදනාව ඇතුලත, තවත් නොයෙක හැඟුම් රාශියක් තෙරපෙයි. බිය, සාංකාව එයින් අල්පයක් පමණි. ඈතින් බකුසු හඬක් අසුනේ නිවසේ මූසල ගතිය දෙගුණ තෙගුණ කරවමිනි. පැය ගණනක් පාර දිහා බලා ඉඳ බලාපොරොත්තු අත්හැර දුකසේ කකුල් අද්දමින් මා වෙතට එන චූටි දෝනිව මට දැන් දැන්ම මැවෙයි. ඇයට බත් කටක් කවා ගන්න කුමන මුසාවක් අද මට ඇදබාන්නට වේ දැයි සිතන විටම මාගේ හිස රිදුම් දෙයි. ස්වභාවධර්මයාගෙන් එකිනෙකාගේ ජීවිත වලට මෙතරම් කුරිරු බලපෑමක් සිදු නොකළ කලක, මේ වන විට මාගේ’කුඩා නිවස සතුටු සාදයකි. ඇගේ අතින් සෑදු දිව්‍ය බොජුනක් රස විඳින ගමන්, චූටි දෝණිගේ හුරතල් කච කචේට සවන් දෙනවාක් තරම් හදවතේ නිදහසක් සතුටක් තවත් නැති බව මනාවට මට දැන් වැටහෙයි. චූටි දෝණි නින්දට ගිය පසු දවසේ සිදු වූ සියලු දෑ සමාලෝචනය කිරීමට වේලාවක් මටද ඇයටද හිමි වෙයි. මෙයත් මා දින චරියාවේ එක්තරා ප්‍රියතම අංගයකි. වරින් වර ඇසෙන ඇගේ කිංකිණි සිනහ නාදය, වසර පහළොවකට කට එහා දිව ගිය මාගේ ප්‍රේම කතාව යලි යලි සිහි ගන්වයි. එකලද මාගේ සිත් වැඩියෙන් ඇලුම් කලේ ඇගේ කිංකිනි කොමළ සිනහවටයි. පස මිතුරන් ලෙස ඇරඹුණු අපේ කතාව ප්‍රේම කතාවකින් අවසන් වුයේය. එකල මාගේ යහළුවන් මට සරදම් කලේ  “ඒකි  පස්සෙන් යන්න තරම් වටිනා කෑල්ලක්ද බං” ලෙසටයි. විවාහයෙන් පසු මට සිතුනේ මෙවැනි ආදරණීය හදවතක් ඇති කතකට පස්සෙන් ගොස් දණ නමා  වැන්දත් කම් නැති බවය. ඇය නම් පුදුම ගැහැනියකි. මුවෙකු ලෙස අහිංසක ,සියුමැලි වුවද, අපරිමිත චිත්ත ධෛර්යකින්  හෙබි ඈ මට යකඩ ගැහැනියකි. බිරිඳක ලෙස, මවක ලෙස ඇය කිසිදිනෙක අල්ප මාත්‍රවකුදු අඩුවක් මටද, චුටි දෝණිටද නොකළේය. අලුයම අවදිවන ඇය දත කට මැද, මිදුල අතුගාන්නට යන්නේ තනුවක්ද සෙමින් මුමුනමිනි. මාගේ යහනටද,චුටි දෝනිගේ යහනටද ගොස් ඇය අපිව අවදි කරවන්නේ අපේ නළල සිප ගනිමිනි. මාද,චුටි දෝණි ද , ලැහැස්ති වන තෙක් ඇය කඩිසර කුඹීයෙකු මෙන් තේ’ද, උදේ ආහාරයද පිසීම අරඹයි. බාගෙට ඇඳුම් අඳිමින් සිටින මාගේ ඇඳුම් ඇඳීමේ වේගය වැඩි කරනා එකම හේතුව ඇය පිසිනා ආහාරවලින් එන ප්‍රනීත සුගන්ධයයි. ටයි පටිය හරි හැටියට දා ගත නොහැකි වූ විට ද,ඇය නොපැකිලි මට සහය වන්නේ “අනේ පොඩි එකෙක් වගේ ” කියා විහිලුවට සිනහ වෙමිනි. රාජකාරී නිම වී නිවසට පැමිණෙන ඇගේ මුළු ලෝකයම දෝණි පොඩ්ඩයි . පොඩි එකෙකු මෙන් ඇයද චුටි දෝනි සමඟ බට්ටා පනියි., වැලි බත් උයයි. කට කොනක සිනහවක් රඳවාගෙන මේවා බල සිටින මගේ ඇසට කුඩා කඳුළු බින්දුවක්ද නැගෙන්නේ, මා ලොව වාසනාවන්තම පුරුෂයා යැයි යන හැඟීමෙනි  මිහිපිට ශ්‍රියා කාන්තාවක් වේ නම් ඒ මගේ බිරිඳ මිස වෙන කිසිවෙකු නොවේ. කොටින්ම ඇය සිටිනා විට නිවස මට මිහිපිට සුර පුරකි. ටිකක් රැය වනතුරු අල්ලාප සල්ලාපයේ යෙදෙන අප දෙදෙනා යහන් ගත වී ප්‍රේමාලිංගනයේ යෙදෙන්නේ දවසේ අවසන් ජවනිකාව සන්හිටුවහන් කරමිනි. අප නිවස තුල බහින්’බස් වීමක් නොමැති වූ තරම්ය. ලඟින් සිටි අයෙකුගෙන්  සදහටම නොවුවත්, දුරස් වූ විටෙක ඇති වන වේදනාවෙන් සිත නිතර කැකෑරෙයි. පෙර දින චර්යාවේ සිදු වූ විප්ලවීය ආන්දෝලනාත්මක පෙරලිය මට මෙලෙස  දරා  ගන්නට බැරිව ඇත්තේ මා පෘතග්ජනයෙකු නිසා වන්නට ඇත. සොබා දහම මෙතරම් කුරිරු වුයේ මන්ද යැයි සිතීමද වැරැද්දකි. දිට්ටධම්මවේදනීය කර්මය ඇස් මනා පිටම පල දුන්නක් සේ මට දැනෙයි. මෙය කවදා කෙලෙස කොහෙන් අවසන් වේ දෝ යැයි හිතේ ඇත්තේ මහත් වූ චකිතයකි. සොබා දහමට රිසි සේ වින කළ අධම මිනිසුන්ගේ ක්‍රියාකලාපයට අද විඳවන්නේ මුළු මහත් මිනිස් සංහතියමයි. එසේ සිතා හෝ හිත හදාගන්නට වෑයම් කරන අතරතුර, නිවසේ දුරකථනය නාද වනවාක් මට ඇසුණි. එහි අමිහිරි නාදයම මට මහා මූසල බවක් ඇති කලේය. ඇගේ විඩාබර කටහඬ මට දුරකථනයේ එහා කෙලවරින් ඇසුනි’ “අදත් ගෙදර එන්න වෙන්නේ නැහැ පැටියෝ, දෝනිට කවලා, ඔයත් කාලා නිදාගන්න”. දුරකථනය නාද වූ මොහොතේදීම චූටි දෝණිගේ මුහුණේ වූ වෙනස දැක මගේ හදවත හෝස් ගා ගියේය.  චූටි දෝණි කිසිවක් නොපවසාම යහනට ගොඩ වැදුනේ මාත් සමඟ කේන්තියට මෙනි . බත් ගුලියක්  කටට දාගත්තද  එය  උගුරෙන් පහලට  යන්නැති බවක් දැනුනි. දුක සේ උඩු බුරලමින් සිටි කලුට බත් ටික දමා, මාත් නිදි යහනට ගොඩ වැදුණේය. ඒත් නින්දක් නම් අහලකවත් නැති තරම්ය. තවත් මිනිසෙකුගේ ඒ  වටිනා මිනිස් ජීවිතය රැක දෙන්නට සටනේ යෙදෙන පරාර්ථකාමී ඇය ගැන මට ඇත්තේ නිහඬ සන්තෘෂ්ටියකි. ඇය වෙනුවෙන්  බුදුන් , දෙවියන් යදිනවාක් මිස මට අන් සරණක්’නොමැත.  ලඟින් තබාගෙන ආලය කිරීමටද,ඇගේ මුදු  පහස ලැබීමටද  තරම් මා දැන් වරම්ලත්තෙක් නොවුනද  ඇගේ උතුම් පාරමිතා කෘතයට මාගෙන් කිසිදු අමනාපයක්, තහංචියක් නැත. දිනෙක මාගේ මුනුබුරු, මිනිබිරියන්ට උදම් අනමින් අත්තම්මාගේ වීරක්‍රියා මට පවසන්නට හැකි වනු ඇත. “පුතා දන්නවද ඒ භයානක කාලේ අත්තම්මලා වගේ අය තමා ජාතික වීරයෝ” හීන් සිනහවක්  කට කොනේ  රදවාගෙන මෙවැනි මිශ්‍ර සිතුවිලි අතරේ සැරිසරන මට ඇස් පියවීමට මොහොතක් ආසන්නයේ සිහියට නැගුණේ එකම එක දෙයක් පමණයි සැනිටයිසර්, මාස්ක් සමඟ කොරෝනා මාරයා සමඟ හරි හරියට ඉදිරි සටන් බලකායේ  පොරබදින මගේ ආදර මැණිකේ, ඔබට සම්මා සම්බුදු සරණයි!

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp