uf.a fg,sm;s
rejka;s ch;s,l

අපිළිවෙළ තුළ පිළිවෙලක් හොයමින් සුසුම් හෙළන බැල්මකින් කාමරයේ පොත් රාක්කය මා දෙස බලා සිටින්නාක් සේ මට දැනේ….අපේ ආදර කතාවේ පළමුවෙනි පුදුම කිරීම වෙච්චි පතොක් පැළය පුංචි කටු උල්කරන් මා දිහා බලාගෙන් රවන්නේ, “ටිකක් පිළිවෙළට හිටපන්කො” කියා නොකියා කියන්නා පරිද්දෙනි…ඒක ඇත්තටම පුංචි පැළයක් වුණත් “ෆ්ලොරෙන්තිනෝ” විදියට නම්ක් දැම්මේ ඈ ය…

“එයාට අපි නමක් දාමු, ෆ්ලොරෙන්තිනෝ කියලා…මැරුවත් මරන්න බැරි ආදරයක සළකුණක් විදියට…ඔයාට තියෙන්නේ එයාව පරිස්සමෙන්බ ලාගන්න…එච්චරයි”

ජීවිතේ කොයිතරම් ඉක්මනින් ගෙවිලා යනවද… ඒත් අපි තාම එකම තැනකද…කොතනින්ද ඒ ගැන හිතන්න පටන්ගන්නෙ…ජීවිතේ වර්ණ තැවරූ ර්‍ර් ආදරය ගැන තුන්හිතින්ම සජ්ජායනා කරන්නේ….

“ලොකු පුතේ…” හිතිවිලි ලෝකයක අතරමං වී ඒ අතර සුදුසුම තැනක් හොයමින් සැරිසැරූ මගෙ හිත පියවි ලෝකයට ඇදගනු ලැබුවේ අම්මාගෙ කටහඩිනි… ඇය ඒ වෙද්දී මාව කීහිප වතාවක්ම සෙවූබව මට වැටහුණේ පසුවය…

“මම කී වතාවක් ඔයාට කතාකරාද ලොකු පුතා, මොන සිහියක ඉන්නවද මන්දා මේ ළමයා…බලන්න ඔයාගේ කාමරේක හැටි…පිළිවෙළ කියන දේ තියෙන්නේ ගෑණු ළමයි ළග විතරක් නෙවෙයි…පුංචි කාලේ අපි ඔයාගේ හැම දේම පිළිවෙළට කරල දුන්නනෙ…දැන් තියෙන්නේ ඔයාගෙ වාරය ලොකු පුතා…ඔයාට පුළුවන් වෙන්න ඕන මේ දේවල් පිළිවෙළකට තියාගන්න…”

“හරි හරි අම්මා… පාන්දරම ලෙක්චර්ස් දෙන්න එපා අනේ… ටිකක් දවස පටන්ගන්න දෙන්නකො නිවී හැනහිල්ලේ…”

“මම මේ ඔයාව හෙවුවෙ අප්පච්චිගෙ අර රුසියානු සාහිත්‍යය කෙටි කතා පොත ඔයාගෙ කාමරේද අහන්න. තාත්තා ඒක හෙවුවා ආයෙමත් කියවන්න හිතුණා කියලා…”

එසේ කියමින් අම්මා මගේ ඇද කෙළවරක අසුන් ගත්තාය…

“තාත්තාට මොකටද හදිසියේම ඒ පොත කියවන්න හිතුණෙ…මම ඒක ගත්තා “මුමු” ගැන කියවන්න… ඔය ඔතන ටේබල් ලෑම්ප් එක ළග තියෙන්නෙ…

අම්මා පොත අතට ගෙන එය එහි පිටු එකින් එක පෙරළන්නට පටන් ගත්තාය…

“මේ පොතට සෑහෙන්න වයසයි ලොකු පුතා…ඔයාලගෙ තාත්තා ඉලන්දාරියා කාලෙ මගෙ නමට ලියුම් ලිවුවෙත් රුසියානු සාහිත්‍යය සිංහලට පරිවර්තනය කරාම අපිට කියවන්න ලැබෙන විදියෙ බර වචන වලින්. ඒ දවස් වල අපිට ඔයාලට වගේ ස්මාර්ට් ෆෝන්, වට්ස්ඇප් , ෆේස්බුක් ඉන්ස්ටද මොනාද ඔය මොකවත් තිබ්බෙ නෑනේ…එහෙමයි කියල අපෙ ආදරේ වටිනාකම් අඩු වුණෙත් නෑ ඉතින්…”

අම්මා මදෙස බලමින් සිනාවක් පෑවාය… මගෙ ජීවිතේ මට ළගම මිතුරිය අම්මා වග ඇය දන්නා පොදු රහසකි…මල්ලිට වැඩියෙන් මම අම්මා සමග හුවමාරු කරගන්නා ජීවිතය මට හැම අතින්ම සුවපහසුය…අවුරුදු විසිඅටක්  වුණත් මා පවුලේ වැඩිමල් පිරිමි දරුවා වුණත් ඇයට මම තවම කුඩා දරුවෙක් ගානය…

“මට ඔයාව පුංචි දරුවෙක් වගේ දැණුනත් ලොකු පුතා ඔයත් දැන් ගජ ඉලන්දාරියෙක්…ඉතින් ඔයා මගෙ ලොකු පුතා වුණත් ඔයාගෙ ආදරේ වෙනුවෙන් ඉඩ දීලා අම්මා විදියට මම දුරින් මලාගෙන් සංතෝස වෙන්න ඕන…අපි ඉන්නේ සෑහෙන දුෂ්කර කාලයක වුණත් අපි ශක්තිමත් වෙන්න ඕන ලොකු පුතා…ඒක් නෙවෙයි.ඔනෙත්‍රා මට දැන් ටිකකට කලින් කතාකරා…ඒකයි වැඩියෙන් ම්ම් ඔයාව හෙවුවෙ…”

“එයා මොකටද අම්මගෙ ෆෝන් එකට ගන්නෙ…ගන්න මගුලක් මට අරන් කියන්න බැරිද…”

මගේ හිතිවිලි කුපිත වන්නට මහ කාලයක් නොගිය බැව් නම් ඉස්තීරය…

“ඉතින් ඒ දරුවා මට ගත්තම මොකද…?

මම ඔයාගෙ අම්මනෙ…ඔයාලගෙ හිතිවිලි වෙනස් වෙලා මේක කසාදයක් දක්වා දුර ගියත් නොගියත් ඒ දරුවා මාත් එක්ක කතාකරපු එකේ වැරැද්ද මොකක්ද.. අනික මම ඒක අණබෙර ගගහ ගමවටේ කිය කිය යනවද…ඕං ඔය ඔයාගෙ කුකුල් කේන්තිය හරිම අවලස්සනයි ලොකු පුතා…ඒ ළමයා මට ගත්තෙ ඔයාගෙ ෆෝන් එක ස්විච් ඕෆ් කරල තිබ්බ හන්දලු…”

ෆෝන් එක චාජරයට දමා තිබූ වග මතකයට ආවේ එවිටය…මම ඉක්මන් වුණා වැඩිද මන්දා කියලා හිතුණු පළමු වතාව මෙය නොවුණත් පුංචි කාරණාවකට පවා මට අසීමාන්තික කේන්තියක් ඉපදෙන්නේ මේ ගෙවෙන දුෂ්කර සෲතුව එක්ක සියළු සැලසුම් පාළුවට ගොස් තිබූ නිසාවෙනි…

“දැන් ඕකට ඒ ළමයට සැරවෙන්න යන්න එපා..ඒ දරුවා ඔයාට තියෙන කැමැත්ත ආදරය හින්දා ඔයා ගැන මොනවිදියකින් හරි හොයල බලපු එකනෙ කළේ…ඔයාගේ ෆෝන් එක ස්විච් ඕෆ් වෙච්චි හන්දා මට කතාකරන්න ඇති..ඔය වයසෙදි ආදරේ කරද්දි කලබල වෙන්න ඕන නැති පුංචි පුංචි කාරණා වලටත් ගෑණු ළමයි නොසෑහෙන්න කලබල වෙන්වා…මම ඔයාගේ අම්මා වෙන්න කලින් මමත් ඔඅය ඔනෙත්‍රා ඉන්න කාලේ පහුකරගන ආව ගෑණු ළමයෙක්නේ…ස්මාර්ට් ෆෝන් එකක් තියා එහෙම වචනයක්වත් නාදුනන කාලෙදි මමයි තාත්තයි ආදරේ කළේ ලියුම් වලින්….තාත්තා මට නමක් දාලා තිබ්බා ඒ දවස්වල “මගෙ ටෙලිපති ” කියලා…තාත්තාගේ ජීවිතේ විශේෂම තැන් වලදි මම කොහොමහරි ඒ වෙනුවෙන් පෙනී හිටියා…තාත්තව තනි නොකර…මට ඔයාලගේ තාත්තගෙ ආදරේ දැනෙන තරමට මම ලියුම් ලියන්න ගත්තා තාත්තා ගැන හොයන්න බලන්න ගත්තා…ඉතින් විදිය, කාලය වෙනස් වුණත් ඇවිත් බලන්න එන්න බැරි හන්දා අද ඔනෙත්‍රා කළෙත් ඒ දේම නෙවෙයිද? “

අම්මා පිළිබදව අපිරිමිත ස්නේහයක් මගෙ හිතේ ඉපදිණි… මා ඇයට හොද පුතෙක් වූවාදැයි නොදනිමි…නමුත් ඉදිරියට එය එලෙස වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමි…

අම්මා කාමරයෙන් පිටව ගිය පසු මට අමතකව තිබූ දුරකථනය අතට ගෙන එය ඔන් කර බැලිමි…ඇලර්ට් විසි පහක්ද කෙටි පණිවිඩ දහයක්ද එහි විය…ඔනෙත්‍රා එහෙමය…ක්‍රියා විරහිත දුරකතයකට පවා වතාවකට වැඩියෙන් ඇමතුම් ගන්නා ඇයව සිහිවී මන්දස්මිතියක් ඉපදිණි…

මම ඇයට ඇමතුමක් ගතිමි…

“කොහෙද සහන් හිටියෙ…ෆෝන් එකත් ඕෆ් කරන්…මම උදේම අම්මටත් කතාකරා…බයවෙච්ච පාරට…”

මෙය පළමු වතාව සේම අවසාන වතාවද නොවන්නේය…ආදරය වෙනුවෙන් අර්ථකථන දීමට තරම් මා පරිණත නැත.ඉතින් එබැවින් ඇය මගේ ටෙලිපතිය…

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp