fnd| jQ isyskh
ldka;s f,dl= kdrkaf.dvf.a

හිරිමල් පොද වැස්ස……. මේ අවේලාවෙ. වී ටික මිදුලෙ මාගලේ ඇතිරුවා විතරයි. දේවින්දිට දුක හිතුණා. අපරාදෙ මහන්සිය. මිදුලට දිව ගිය ඇය මාගලේ දෙකොණකින් අල්ලා වී පැදුර

හිස්ව තිබුණ පෝටිකෝව යටට ඇදගෙන ආවෙ උදව්වට කව්රුවත් ගෙදර හිටියෙ නැති නිසා.

ගිම්හාන දාහය නිවා ගන්න මේ පොද වැස්ස වැඩක් නෑ…දූවිල්ලට වැහි බිංදු වැටෙනකොට පොළවෙන්

නැගෙන අප්‍රසන්න දුඟඳ හරිම අමිහිරි අත්දැකීමක්…ඇය පෝටිකෝව යට කොට සිමෙන්ති බැම්ම මත වාඩි වුණේ තව ටික වෙලාවකින් පොදවැස්ස නැවතිලා අව්ව පායාවිය කියල හිතුණ නිසා.

ට්‍රීං…..ට්‍රීං….ට්‍රී….. තැපැල් මල්ලි නිශාන් වේගයෙන් පැදගෙන ආ පාපැදිය කෙළින්ම ඇවිත් පෝටිකෝව යට

නැවතුණා.

සුදු අක්කෙ ….ඔන්න අද මං ඔයාට පොතක් විතර බර ලියුමක් අරං ආවෙ…නිශාන් හිනාවෙමින්ම මාස්ක් එක පහත් කළා.

හා ….හා….මාස්ක් එක නම් ගලවන්න එපා දෙයියො….එහෙම කියන ගමන් ම ඇයත් ආලින්දයට දුව ඇවිත් පුටු

ඇන්දෙ එල්ලලා තිබුණ මාස්ක් එක පැළඳ ගත්ත.

 “ආපෝ සුදු අක්ක භය තරං… මේ කිට්ටුවක ඇති කොරෝනයක් නෑ..ඕන් මං ගියා.”

නිශාන් ඉගිලුනාට පස්සෙ දේවින්දි ලිපිය විවෘත කරල කවරය වීසි කරල සබන් දාල අත සෝදගෙනයි ගෙට ආවෙ.

ලිපිය විහංගගෙන්….අවුරුදු හයක් ආදරෙන් බැඳිල හිටිය ..දැන් අවුරුදු තුනක් තිස්සෙ ඕස්ට්‍රේලියාවෙ

රැකියාවකට ගිහින් ඉන්න තම සෙනෙහෙවන්ත විහංග ගෙන්.

හුඟ කාලෙකට පස්සෙ ලිපියක් එවල තියෙන්නෙ.දේවින්දි කාමරයට ගිහින් දොර වහගෙන සෝපාවෙ හරි බැරි ගැහිලා වාඩිවෙලා කියවන්න ගත්තා.

 දුර කථනයෙන් කියා ගන්න බැරි බොහෝ දේවල් පැහැදිලි කරන්න බැරි නිසාමයි දේවි ඔයාට ලිපියක් ලියන්න හිතුනෙ.  සමහර විට ඔයාට මේ ලිපිය ලැබෙන දිනට පසුදාම මං ලංකාවට එනවා. අපේ වෙඩින් එක

සති තුනක් ඇතුළත ගන්න සියලු කටයුතු සූදානම් කරන්න.එන්නත් දෙකම විදල නිසා නිරෝධායනය වෙන්න

ඕන නැතිලු. මේ වසංගතය ඉවරවෙනකන් හිටියොත් අපිට අපේ ලස්සන ජීවිතය ගොඩනගා ගන්න කාලයක් නෑ. අම්මට කියන්න නැකත් බලල තියෙන හොඳම දවස වෙන් කරගන්න කියල. හොඳම වෙලාව තමයි මේ.

ලිපිය දෙතුන්වරක් කියෙව්ව දේවින්දිට පුදුම හිතුණා. කලබලේට මේව කරන්න පුළුවන්ද? ඊටත් සීයකට වඩා දෙපැත්තෙම අය ගෙන්නන්නත් බෑ.. අම්මල මොනව කියාවිද? විහංග තීරණයක් ගත්තොත් ඒක

වෙනස් කරන්නෙත් නෑ.

දේවින්දි, අම්මයි තාත්තයි ගෙදර ආව ගමන් විස්තරේ කිව්ව.

ආනේ …..මේ කලබලේට…අම්මා පුදුම වූවාය.

“කමක් නැහැ ඉතින් මාසයක්ම තියෙනවානේ. විහංගගේ ගෙදර අයට කර ගන්න පුළුවන් නම්..ඇයි අපි පස්ස ගහන්නෙ. කොහොමත් මේ වසංගතය කවද අහවර වෙයිද කියන්න බෑහැ. දැන් ඔය හැමෝම මඟුල් තුලා ගන්නෙ.” තාත්තාගේ අදහසය.

දේවින්දිට හරිම සතුටුය.අම්මයි තාත්තයි කැමති නම් මට මොකද? ඊටත් අඩුපාඩුවක් නැතිව සල්ලි තියෙනව නම් හෙට වුණත් බැරිය…දේවින්දිගෙ මඟුල්ගේටම ඕන හැටියට වියදම් කර ගන්න කියලා පොතේ වෙනමම

ලක්ෂ පණහක් දාල තියෙන්නෙ අවුරුදු හතරකට කලින් ඉඳල.

 “එහෙම නම් හෙට ඉඳල ලක ලෑස්ති වෙන්න වෙයි.”

“ මොන ලෑස්තියක්ද? දැන් කාලෙ හැම දෙයක්ම හෝටලේට බාර දීල සල්ලි ගෙවන්න විතරයි අපට තියෙන්නෙ.”

“ඒක නම් එහෙම තමයි”

ඒ සති අන්තයේම විහංග ආවේ ය.

“ ගෙදර ඇවිත් එක රැයක්වත් නොයිඳ මෙහේ ආව එක හොඳ මදි පුතේ… ” අපේ අම්මා එහෙම කියන විට

විහඟ සිනාසුණේය.

“අම්ම මේ පිස්සු කතා කරනව…මට ඔයා දකින තුරු සිහියක් තිබුණෙ නෑ.”විහංග  සිනාසෙමින් දේවින්දි ගේ කණට කර කීවේය.

“කොහොම වුණත් සති දෙකක්වත් යනතුරු පරෙස්සම් වෙන්න. පිට රටක ඉඳල නොවැ ආවේ.”

“ ඒක නිසා තමයි තාත්තෙ විහංග මාස්ක් එකවත් ගළවන්නෙ නැත්තෙ.”

 විහංගගේ මුහුණ බලන්න දේවින්දි ඇත්තේ අප්‍රමාණ  ආසාවකි. තාත්තා ගෙට ගිය පසු මාස්ක් එක ගළවන්න

පෙරැත්ත කළ ද එය ගැළෙව්වේ නැත.

“හෙට උදේම අපි බෝධි යමු.” විහංග යොජනා කළේය.

එදින රාත්‍රියේම ඔවුන් දෙදෙනා බොහෝ රෑ වනතුරු මඟුල් ගේ සැළසුම් කළහ. අම්මා මෙන්ම තාත්තා ද දෙදෙනාගේ අදහසකට පිටින් නොගියේ පවුලට ඉන්න එකම දරුවනේ කියා හැම දෙයම අනුමත කළහ.

 පසුදා උදෑසනම ඔවුන් පන්සල් ගියේ සියලුම දේ කිරිමට කලින් අදහන ආගමේ ආශීර්වාදය ලබා ගැනීම කළයුතුම කාර්යයක් බැව් ඔවුන් තරයේ විශ්වාස කළ බැවිනි.

විහංග අරන් දුන්න  සුදු නෙළුම්…මල් මිටියක් ‍දෝත දරාගෙන දේවින්දි පඩිපෙළ නැග්ගෙ දහසක් ප්‍රාර්ථනා

හදවතේ තුරුළු කරගෙන.

“දේවින්දි..ඔයාට මතකද අපි මුලින්ම හමු වුණු දවස..”විහංග හිනාවෙවී ඇහුවෙ  විහංගිට අමතකයි කියල හිතාගෙන.

“මට මතක නෑ අනේ…”

“ඇත්තටමද?”

“මේ….මට අතීතය මතක් කරන්න එපා…ඔයා මට එදා බැන්න.මතක නැද්ද?”

“ බනින්නෙ නැතුව ඉන්න පුළුවන්ද…පොත් බෑග් එක මගේ පිටේ හප්පගෙන බස් එකට දිව්ව හැටියට.”

“ඔයා වාඩිවෙලා වෙලා හිටියෙ පෝලිම් වෙන්කරන්න තිබුන පොල්ලක් උඩ. මං දිව්වෙ කලබලේට බස් එක දැකල. ඉතින් වැරදිකාරය මම ද?”

“මං එදත් ඔයාට අද වාගෙම ආදරය කළා….දේවි. මං එතන වාඩිවෙලා හිටියෙත් ඔයා එන වෙලාව දන්න නිසා.

ඔයා දුවන කොටම මං ඕනකමෙන් තව ටිකක් මෙහාට වුණේ.ඔයාගෙ ප්‍රතිචාරය බලන්නයි මං බැන්නෙ.”

“ මතක් වෙනකොටත් භයේ වෙව්ලනව. …….තියෙන දාංගලේට අහළ පහල මිනිස්සු ඉන්නවද වගක් නෑ.පිස්සන් කොටුවෙ ඉඳලද දුවන්නෙ?මට ඒ වචන ටික තවම මතකයි.”

“මං ඒකනේ පස්සෙ ඔයාගෙ බස් එකටම නැග්ගෙ. ඔයා ෂීට් එකට ඔළුව ගහගෙන ඉන්නව දැකල මට හිතුණා කළ මෝඩකමක් කියල.ඔයාගෙ යාළුව ෂයිනි ඔරවපු එරවිල්ල මතක් වෙනකොට මටත් තවම භය හිතෙනව දේවින්දි.”

“මේ ළඟදිත් ෂයිනි මට කිව්ව ඒ කොල්ලට එදා බැන්න නම් මං ලොකු අමාරුවක වැටෙනව කියල.”

“වෙඩින් එකට ආවම මතක් කරන්නම්කො.”

විහඟයි දේවින්දිටයි අවුරුදු තුනකට පස්සෙ හමුවෙලත් හරියකට මුහුණ දිහා බලාගෙන හිනාවෙන්න ලං වෙන්න, අවසරයක් නෑ. ගෙයින් එළියට බහිනකොටත් අම්ම මගින් මඟට කිව්වෙ රට ඉඳල ආව නිසා සති දෙකක්වත් පසේසම් වෙන්න අතින්වත් අල්ලන්න එපා කියල. විහංගත් ඒක අකුරටම පිළිපැද්දෙ දේවින්දිව

පරෙස්සම් කර ගන්න.

දේවින්දිට පුංචිකාලෙ මතක් වුණා. බෝධි ආවම විහාරගේ ඇතුළෙ ඉඳන් අත්පොඩි ගහනකොට දෝංකාර දෙනව. ඇය උඩ පැන පැන ආශාවෙන් තව තවත් අත්පොඩි ගැහුව හැටි.

“මොනවද දේවින්දි ඔයා කල්පනා කළේ?”

“පුංචි කාලෙ බෝධි ඇවිත් අත්පොඩි ගහල දෝංකාර දෙනකොට මං මොනතරම් සතුටු වුණාද කියල. මේ විහඟ කවද හරි අපේ දුවෙකුත් බෝධි ඇවිත්  ඒ විදියට සතුටු වෙයි නේද?”

  “හැම දෙයක්ම අපි හිතන විදියට ඉෂ්ට වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.”

උඩ මළුවෙ වැලි තලාවෙ වාඩිවෙලාවෙ ඔවුන් බොහෝ වෙලාවක් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කළේම මංගල උත්සවය කරදරයක් නැතිව කර ගන්න ලැබේවා කියල.

දිවා ආහාරය ගත්ත විහඟ දේවින්දිගේ ගෙදරින් පිටවෙලා ගියේ හිතකින් නෙමෙයි.

සති තුනම ගෙවිලා ගියේ අවිවේකයෙන්. හැමෝම මඟුල් ගෙදර වැඩවලට ලහි ලහියේ සූදානම් වුණා.

විහඟගෙ හිතේ තිබුණෙ කවදහරි ලස්සනට මඟුල්ගේ ගන්න. විහඟ ඕස්ට්‍රේලියාවෙ රැකියාවකට ගියෙත්

සෑහෙන මුදලක් එකතු කර ගන්නමයි. හැමදේම හොඳින් සිද්ධවෙද්දි දේවින්දි හිටියෙ හරිම සතුටින්.පසුගිය

අවුරුදු දෙකම නිවසටම කොටුවෙලා හිටියෙ පුදුම පාළුවකින්. සහෝදරියක් සහෝදරයෙක් නැති ජීවතේ අඩුව

ඇයට තදින්ම දැණුනා. පාසල් ගුරුවරියක් නිසා පාසල් නිවාඩුවත් දැන් හොඳටම ඇතිවෙලා. මාර්ගත අධ්‍යාපනයටත් බාධක ඇති වූ නිසා දේවින්දි තවත් අසරණ වෙලා හිටියෙ.විහඟ රට ඉඳල ආවට පස්සෙ ඇයට හරීම සතුටක් දැණුනෙ.

විහඟත් හිටියෙ පුදුම සතුටකින්. විහඟ නැවත රට ගිහින් දේවින්දි රටට ගෙන්න ගන්න සියල්ල සැළසුම්

කරගෙනයි ආවෙ.

මඟුල් දිනට කලින්දා හවස විහඟගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් දේවින්දි මඟ බලා සිටියාය.රාත්‍රිය ළංවුණත් පණිවිඩයක් නොමැතිකම ඇගේ හිතට වදදුන්නේ දෑසට කඳුලක් එකතු කරමිනි. ඔහුගේ දුරකථනය මෙන්ම නිවසේ දුරකථනයද විසන්ධි වී තිබීම හිතට වදයක් විය.

පැය කීපයකට පසුව ලද පණිවිඩය ඇසූ සැණින් දේවින්දි සිහිසුන් වූවාය.

විහඟට කොවිඩ් හැදිල රෝහලට ඇතුල් කරල…

ඒ අසුබ පණිවිඩය ඇගේ දිවියට කඳුළක් වේදෝයි ඇය සිහිනෙන්වත් නොසිතුවාය.සති දෙකක් ගත වුවත්

විහඟ සුවපත් නොවීය. කිසිවෙකුට ඔහු බැලීමටවත් අවස්ථාවක් උදා නොවීය. දේවින්දිගේ සිහින මාළිගා දිනෙන් දිනම බිඳ වැටුනේය.

විහඟ අවසන් හුස්ම පොද වා තලයට එකතු  කළ බව ඔහුගේ පියා දැනුම් දුන්නේය.  දේවින්දිට විහඟ දිහා අවසන් වතාවට දැක ගැනීමට අවස්ථාව උදා වූයේ තම පියාගේ ඉල්ලීම අනුවය.ඒ  බොරැල්ලේ කනත්තේදීය. ඔහුගේ දේහය දිහා බැලීමට ඔවුන් ඉඩ දුන්නේ තත්පර තිහක් වැනි ඉතා කෙටි වෙලාවකි.

කොයිඩ් නිල ඇඳුම් ඇඳගත් හතර දෙනෙක් විහඟගේ දේහය ආදාහන කුටියට තල්ලුකරනු දේවින්දි  බලා සිටියේ අසිහියෙනි. ඇය පියාගේ දෑතට බර දුන්නේ සසල වූ හදවතිනි. මගෙ රත්තරන් විහඟ…අපි සංසාරයේ මතු දිනක කවදාහරි මුණ ගැහෙමු. විහඟගේ ඒ රත්තරන් දෑස සිප ගැනීමට ඇගේ හද පතුලේ හිර වි තිබූ නොනිමි ආශාව ….හදවත පැලී යන තරම් විය. 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp