m%dKiu fmïj;d
.h;%s ksïkd

“අනේ නංගියේ මෙහෙම කිව්වට මාත් එක්ක අමනාප වෙන්නනම් එපා ආයනම් උඹලකෙල්ල බලන්න මනමාලයො එනකොට මටනම් කතා කරන්න එපා.ඇයි බන් දැන් කීයක්ද.මමත් මේ අර ලෙඩින් ඉන්න මනුස්සයත් දාලා තකහනියෙ දුවන් එන්නේ උඹට තියෙන ලෙංගතු කමට.ඒත් බං ආයනම් මේක කරන්න බෑ.මේකි ඇහැට කණට පේන එකී තමා ඒත් මුන් මේ කොලඹ රටේ ඉන්නවයි කියලා ඔච්චර ආඩම්බර වෙන්න ඕනි ඇයි.මොකද මුන් ඔව්වට ගියෙ විභාග පාස් කොරල ඇයි.කවද හරි මේකි කාට හරි කැමති උන දාක මට අඩගහපන්කො.මම එනව තෙල් තාච්චියෙ ලිපේ තිබ්බ තැන ඉදන් කෙල්ලගෙ මගුල කොරල දෙන්න.එහෙනම් නංගියෙ මම යනවා” අම්මාගේ ඉකිබිදුම් මැද ඒ ඇහෙන මැසිවිලි හඩ පහළ ගෙදර කමලා නැන්දාගෙය.


නැන්දා මට බැනවදිනවා වූවත් ඇයට තරහා යෑම සාධාරණය.මාස ගණනක් පුරාවට මනමාලයන් පස් හය දෙනෙකු එක පිට පිට එක බලා ඒ සියල්ල මට කැමති වූවත් හේතුවක් නොකියාම ඔවුන් සියල්ලම මා ප්‍රතික්ෂේප කළ කල මොවුන්ගෙන් බැනුමක් මිස පැසසුම් මට අපේක්ෂා කළ නොහැක.නමුත් නැන්දා කියන්නා සේ මා සියල්ල ප්‍රතික්ෂේප කරනුයේ ලොකුකම නිසා බව කියනා දේට නම් මා හට එකග විය නොහැක. මාගේ හදවත තුළ ගිනිගන්නා වේදනාව කොතෙක්දැයි දන්නේ මා පමණක්‍ ය.ජීවිත කාලයක් පුරාවට ප්‍රාණසමව පෙම් කල එකම පිරිමි පරානය මා අහිමි කරගත් පසු තවත් මට පිරිමින් කුමටද.මා මෙලොව පිරිමියෙකුට කියා ආදරය කළ එකම පිරිමියා ඔහුය.මා සැනසුන එකම පිරිමි පපුව ඒ පපුවය.ජීවිතය අතහැර අප සියල්ල කෙදිනක හෝ යා යුතු මුත් ඔහු මා හැර ගිය අයුරු සිහිවන විට අදටත් මාගේ පපුව පිලිස්සී යන්නේ එය එසේ සිදු නොවිය යුතු දෙයක් නිසාය.මා එසේ ප්‍රාණසමව පෙම්කළ ඔහු අන්කිසිවකුත් නොව ඒ මාගේ අප්පච්චි ය.


මා ඉපදෙන්නට සිටි කාලයේ අප්පච්චි සිටියේ උමතුවෙන් බව අම්මා මට කියා ඇත.කුලී වැඩ නිමාවී මහන්සිය නිවා ගැනීමට හැමදාම පාහේ මත්පැන් තොලගෑ අප්පච්චි මත්පැන් තියා සිගරට්ටුවක් දෙසවත් නොබැලුවේ මා කුසට ආ දා සිටය.අම්මා කොතෙක් පුතෙකුට ආසා කලත් අප්පච්චි එක හෙලාම කුසේ සිටින්නේ දියණියක් බව කියා සිටියා පමණක් නොව මා ඉපදෙන්නට මාස ගණනාවකට පෙර මා හට නම තබා ඇත්තේද අප්පච්චිය. මා ඉපදුනු දා අම්මාගේ විළි වේදනාව පරයා මා වඩාගෙන රෝහල දෙවනත් වෙන්න ඇඩුවේ අප්පච්චි කියා නෑදෑයින් කියනා විට අප්පච්චි මා කෙරේ බැදි සෙනෙහස කොතෙක්දැයි මා හොදාකාරවම දනෙන්නේය.


කුඩා කාලයේදි පටන් මා අම්මා සමග කොතෙක් වාද විවාද කලත් අප්පච්චි කියන වචනෙකටවත් මා එකට එක කියා නැත.අම්මා කෙරේ මා තුළ ඇති සෙනෙහස මට විග්‍රහ කළ හැකි මුත් අප්පච්චි යන නම ඇසෙන විට පවා මාගේ හදවත වේගයෙන් ගැහෙන්නේ අප්පච්චි මට ආදරය කරන්නා සේම මාද අප්පච්චිට ප්‍රාණසමව ප්‍රේම කළ නිසාය. කුඩා කාලයේ අම්මා අජාසත් රජතුමාගේ සැරව ගෙඩිය පුපුරන තුරු කටේ දමාගෙන සිටි බිම්බිසාර රජතුමාගේ කතාව කියනා විට කතාව කියන අම්මාත් අසනා මමත් කරන්නේ හඩා වැටීමය.කුඩා කාලයෙ මට වලිප්පුව හැදී අප්පච්චි සෙරෙප්පු දෙකක්වත් නොමැතිව මා උස්සාගෙන මහ පාරේ විලාප තිය තිය රෝහලටම පයින් දිවූ හැටි මටත් අම්මාටත් සිහිවන්නේ මාගේ අප්පච්චි මෙලොව හොදම අප්පච්චි බව අපි දෙදෙනාටම සිහිපත් කරමින් ය.

අප්පච්චිගෙ සෙවණේ හැදි වැඩුනු මා හට අප්පච්චිගෙන් කෙසේ වෙතත් අම්මාගෙන්වත් ගුටියක් ලැබී නැත්තේ මා වැඩ වැඩ නොකරන ළමයෙකු වූ නිසා නොව අප්පච්චි සිහිවන විට මට වැරදි කරන්නට නොහිතෙන නිසාය.යාලුවන්ගෙ පෙරෙත්තට දහයෙ පන්තියේදී අයිය කෙනෙකුගෙන් ලද ආදර යෝජනාවකට ඔහුව හමුවන්නට ගිය මුල් දිනයේම ඔහු දුටු සැනින් පිස්සියක මෙන් අඩාගෙන ආවේ ඔහු මට කල කී දෙයක් නිසා නොව අප්පච්චිගෙ අහිංසක මූණ මා ඉදිරියේ මැවුනු නිසාය. එදායින් එදා මට වෙන පිරිමියෙකුගේ ආදරයක් අවැසි නොවූයේ අප්පච්චි ගෙන් නොඅඩුව ලැබුනු සෙනෙහස නිසාය.


එලෙස කාලය ගෙවී ගියේ මා යෞවනට පා තැබීමෙනි.උසස් පෙළ විභාගයට සහභාගී වූවත් සමත් වීමට නොහැකි වූ නිසා අම්මාට කඩයප්පන් සෑදීමට උදව් වෙමින් මා නිවසේම සිටියේ මා රැකියාවකට යවා දුක් විදීනු දැකීමට අප්පච්චි අකමැති වූ නිසාය. කඩයප්පන් විකුනා අම්මා ගන්නා තුට්ටු දෙකට ඇරෙන්න අප්පච්චි දුක් මහන්සි වී නිවසට මුදල් හම්බකෙරූවත් සියල්ල නොසිතූ ලෙස වෙනස් වූයේ අප්පච්චි ට හදිසියේ වැලදුණු අසනීප තත්වය නිසාය.උදරය ආශ්‍රිතව ඇතුවූ තුවල තත්වයක් හමුවේ අප්පච්චිට එදිනෙදා වැඩ කරගැනීමට අපහසු වූ අතර බලාසිටිය නොහැකිම තැන අපි අප්පච්චි රැගෙන බෙහෙත් ගන්නට ගියේ අප්පච්චි විදින වේදනාව බලා සිටිය නොහැකිම වූ තැනය.


කිසිදා කිසිවෙකු නොපැතූ නොසිතූ ලෙස අප්පච්චි පිලිකාවකින් පෙලෙන බව දැනගත් එදින මාගේ ජීවිතයේ මා මුල්වරට මියගිය දිනය ය. රෝගියාට පිලිකාව පිලිබද දැනගන්නට නොදී ඉන්න යැයි වෛද්‍යවරුන් පැවසූවත් අප්පච්චි දකින වාරයක් පාසා හඩා වැටීමා මා හට වලක්වන්නට නොහැකි වූවත් සියල්ල මා විද දරා ගත්තේ කෙසේ හෝ අප්පච්චි ඉක්මනින් සුව කරගන්නා එකායන අදිටනෙනි.දිනෙන් දින උත්සන්න වන අප්පච්චි රෝගය හමුවේ බෙහෙත් හේත් මෙන්ම අප්පච්චි ගේ කෑම බීම සදහාද දරන්නට වූ වියදම අධික වූ නිසා අප්පච්චි ගෙ දැඩි විරෝධය මැද මුත් කොලඹ රැකියාවකට යන්න මා අප්පච්චි ගෙන් අවසර ලැබ ගත්තේ ” අප්පච්චි මට ඕනේ මගෙ අප්පච්චියෙ…..අප්පච්චි නැතුව මට ජීවත් වෙන්න බෑ…..මට අප්පච්චිව බේරගන්න අවසර දෙන්න අප්පච්චි යේ……..”කියමින් අප්පච්චි ගෙ කකුල් දෙක මුල වැටී මා හඩා වැටුන නිසාය.


එතැන් පටන් නුපුරුදු කොළඹ අහස යට මා හීන දැක්කේ මගෙ අප්පච්චි සුව කිරීමටය.මා වැනිම තරුණියන් ලස්සනට ඇද පැලද ඔවුන්ගෙ හීන පසු පස හඹා ගියත් මා හම්බකල හැම රුපියලම මා යටකලේ අප්පච්චි වෙනුවෙන් ය. ඇදුම් දෙක තුනක් පතුරු ගසමින් දිවා රෑ නොබලා වෙහෙස වූ මා හට මිහිපිට වූ එකම සැනසීම නම් අප්පච්චි ගෙන් ආ දුරකතන ඇමතුම් ය.කෙතරම් වෙහෙස වී සිහිමුර්ජා වන්නට ගියත් අප්පච්චි “සුදු මැනිකේ” කියනා විට සියලු අපහසුතා මගහැරී මා නව ජීවයක් ලබන්නේ අප්පච්චි මා වෙනුවෙන් ජීවත් කළ යුතු බව මාගෙ යටි හිත සැමවෙලේම විලාප තැබු නිසාය.හැම සති අන්තෙම නිවසට යාම වියදම් වූවත් ඒ ගැන නොසිතා මා සෑම සිකුරාදා දිනකම මා නිවසට ගියේ බෙහෙත් ආහාර සේම අප්පච්චිට සතියකට වරක් හෝ මා දැකිම දිව ඔසුවක් වූ නිසාය.එලෙස කාලය ගෙවී ගොස් අප්පච්චිගෙ අසනීපය හැදිනගෙන මාස හයක් පමණ ගියේ මාගේ කැපවීම මත අප්පච්චි ටිකෙන් ටික සුවපත් භාවයට පත් වීමත් සමගය.

නමුත් නොසිතූ ලෙස කොරෝනා වසංගතය ලංකාව ගිල ගත්තේ අපි කිසිලෙසකට අපේක්ෂා නොකල වේලාවකය.සති අන්තයේ නිවසට ගිය මාහට සති අන්තයේ තියා මාස ගණනකින් නිවසට යාමට නොහැකිව කොළඹ හිරවූයේ රට පුරා මාස ගණනාවකට පැනවුනු ඇදිරි නීතිය නිසාය. සියල්ල අතහැර අප්පච්චි ලගට ගොස් වැටී සිටීමට මට අවැසි වූවත් මා රැකියාව අතහැර ගියානම් අප්පච්චිට බෙහෙත් ටික තියා බොන එකම කිරිපිටි පැකට් එකවත් අපිට ගන්නට නොහැකි වන බව නොඅනුමානය.සැම සති අන්තයේම මා දකිනා තුරු සියලු වේදනාවන් ඉවසා සිටි අප්පච්චි ඇදිරි නීතිය සමග කඩාවැටුනේ සිතාගත නොහැකි ලෙසය.මා කතා කරන හැම විටම පාහේ අප්පච්චිත් මාත් කලේ හඩාවැටීම පමණක්‍ ය.


ඒ මාස කීපයේ අප්පච්චි ආහාර ගැනීමට ප්‍රතික්ෂේප කිරීම නිසා වෛද්‍යවරුන් විසින් තවත් කිරිපිටි වර්ග නිර්දේශ කරේ දිනෙන් දිග වැගිරෙන අප්පච්චි ට යම් තාක් හෝ සවියක් ලබා දීමටය.නමුත් ඒ සියල්ලටම ඔසුව මා බැව් මා දැන දැනම නිවසට යාගන්නට නොහැකිව හඩාවැටුනු වාර කොතෙක්දැයි මාගේ මතකයෙ නැත.යාන්තම් ඇදිරි නීතිය ඉවත් වී නිවසට යා හැකි පලමු දිනයේ මා ගම වෙත ඉගිල ගියේ අප්පච්චිගේ මූණ බැලීමටය.නමුත් වෙනදා “දුවේ”,”නංගියේ” කියනා කිසිවකු මා සමග කතා බහට නොආවා සේම ගමට එන බස් එකේ මිනිසුන් සිටගෙන  ගියද මා සමීපයේ වාඩි නොවුනු බවද මට වැටහී ගියේය.කොලඹ සිට පැමිණි මා දෙස මිනිසුන් බැලුවේ සතා සර්පයෙක් දෙස බලනා භීතියකින් බව මට හරියාකාරව ඔප්පු වූයේ මගදී හමුවූ පියසීලි නැන්දාගෙ කතාවටය.”අප්පච්චි බලන්න ආ එකනම් හොදයි.ඒත් ඒ පැත්තේ හරියට ලෙඩලු නේද.කවුද දන්නේ උඹ ඔය කොලබ රටේ ඉදන් මොන ලෙඩ උස්සන් එනවද කියලා. අර අසනීපෙන් ඉන්න මනුස්සයට ඔය ලෙඩක්වත් හැදුනොත් දෙයියනේ කාට කියන්නද….”

මට හිතුනේම මා පණපිටින් පිලිස්සෙන්නා සේය. හදිසියෙවත් මා පැමිණ ඇත්තේ කොවිඩ් ආසාධිතවනම් අප්පච්චිට සිදුවන දේ සිහිවූ මට කකුල් වාරු නැති විය.


මාස ගණනකින් නිවසට පැමිණි සතුට සැනකින් වියලී ගිය අතර නිවසට ගිය මා අප්පච්චි දෙස දුර තියා බලා සැනහුනේ කියා ගන්න බැරි වේදනාවකින් ය.ඇද උඩට වෙලා දර කෝට්ටුක් සේ වැහිරුනු අප්පච්චි මා දෙස බලා හඩාවැටෙද්දී මා කාමරේ දොර ලගට වී පැය ගාණක් අප්පච්චි දෙස බලා සිටියේ මුහුණ දී ඇති වසංගතය කොතෙක්නම් පව්කාරදැයි පසක් කරමින්‍ ය. නිවසේ සිටි දින කීපය තුළම මා මාක්ස් පැලද සිටියා සේම මානසික රෝගියෙකු මෙන් අල්ලන සියලු තැන් පවා විසබීජ හරණය කලේ අප්පච්චිගෙ අසනීප තත්වය මත කොවිඩ් ආසාධිත වූවොත් සිදුවන විනාශයට පේන බැලිය නොහැකි නිසාය.


ඉන්පසු සති අන්තයේ මා හට නිවසට පැමිණීමට හැකියාව තිබ්බත් බෝහෝ සති අන්තවල මා බෝඩිමට වී කදුලු බිව්වේ මා කොළඹ සිට නිසවට යාම අනාරක්ෂිත බව දැනුනු නිසාය.එසේම සතියකට පාරක් වැඩපොලෙහි එකා දෙදෙනා හෝ කොවිඩ් රෝගීන් හමුවීම මගේ බිය දෙගුණ තෙගුණ කලේය. කෙසේ හෝ කිහිප වරක් නිවසට ගිය මා අප්පච්චි දෙස දුරින් බලා සැනසීම මා අප්පච්චිට වේදනාත්මක බව මා නොදන්නා කරුණක්ද නොවූවාය.අප්පච්චී බදාගෙන හඩාවැටීමට මට අවැසි මුත් කොවිඩ් රකුසා යළි යළිත් මට සිහිකලේ අප්පච්චිගෙ ජීවිතය මට අනතුරේ හෙලීය නොහැකි බවය.


ඇදිරි නීතියෙන් පසු මාස ගණනේම මා දෙතුන් පාරකට වඩා නිවසට ගියේ නැත.හරියටම අප්පච්චි ලග තුරුළුව අප්පච්චි ට ඇප උපස්ථාන කරමින් අප්පච්චි ගෙ පපුවේ ආදරය වින්දේ කොවිඩ් රකුසා පැමිණීමට පෙර එනම් මාස 8,9 කට පෙර බව සිහිවෙන විට මාගේ පපුව දැවීගෙන යයි. මා ප්‍රාණසමව පෙම්කළ අප්පච්චිව මාගෙන් මෙතෙක් දුරක් කල මේ වසංගතයට මා දැඩිව වෛර කලේ ඒ නිසාය.


කෙසේ හෝ මාගේ සමීප යාලුවෙකුගෙ කොවිඩ් ආශ්‍රිතයෙකු වී මා නිරෝධානයට යොමුවූවේ මේ සියල්ල අතරතුරය.නිරෝධානය නිමාවන්නට දින දෙකක් තියා අම්මාගෙන් ලද ඇමතුමෙන් මා හද සසල වී ගියේ උන් හිටි තැන අමතක කරමිනි . “සුදු මැණිකේ ඉන්න තැනකින් ඉක්මනට වරෙං.අප්පච්චිට අමාරුයි “මට මේ සියල්ල පෙරළාගෙන ගමට දුවන්නට සිතුනේ අප්පච්චි බේරාගැනීමට නොව අප්පච්චි වැළද ගැනීමට මට අවැසි වූ නිසාය.දුරකතනයේම රැදි සිටිමින් අප්පච්චි ගැන තොරතුරු විමසමින් මා ඉවසා සිටියේ නිරෝධානය තව දිනකින් අවසන් වන විට නිවසට දිවීමයටය.


නමුත් දෛවය මා සමග කරනා සෙල්ලම කොතෙක් කුරුරුදැයි හැගුනේ නිරෝධානය අවසන් වීමට දින තුනක් තියා අපිට කල pcr පරීක්ෂණයෙ ප්‍රතිඵල පැමිණීමත් සමගය. මීට පෙර pcr පරීක්ෂණ කොතෙක් කර ඇති නිසාත් ඒ සියල්ල නෙගටිව් වූ නිසාත් මා හට කිසිදු බියක් නොතිබුනත් අවාසනාවන්ත ලෙස මාගේ පරික්ෂණය “පොසිටිව්” ව තිබුනේ මා ගිනිගත් ගිනි ගොඩෙහි තව තවත් මා ගිල්වමිනි.


නිරෝධානය මධස්තානය දෙවනත් කර මා හඩා වැටුනත් මා නිවසට යවන්නට කිසිවකු කාරුණික නොවූයේ මා හට වැලදී තුබුනේ වෙන රෝගයක් නොව කොවිඩ් වූ නිසාය. නොකා නොබී අඩමින් මා ගත කල කාලය අවසන් වූයේ අම්මාගෙන් ලද අවසන් දුරකතන ඇමතුමෙන්‍ ය.

” මයෙ සුදු මැනිකේ අප්පච්චි අපිව දාලා ගියා මයෙ අම්මා……අප්පච්චි දාලා ගියා…. උඹ එනකල් අන්තිම තත්පරෙත් ඇස් ඇරන් හිටියා මැනිකේ….ඒත් අප්පච්චි ගියා මයෙ අම්මා………”


සිහිමුර්ජා වී ඇද වැටුනු මා හට සිහිය ආවේ කොපමණ වේලාවකින්දැයි දන්නේ නැත.දෑස් අරින වාරයක් පාසා මට මැවෙන්නේ අප්පච්චිගෙ මූණය. මාගෙ දැඩි ආයාචනය මැද මා ගිලන් රතයක දමාගෙන අප්පච්චි අවසන් කටයුතු සදහා රැගෙන ගියේ මා හට වාහනයෙක් බහින්ටවත් නොදීය.

 


ඒ ඉන්නේ මගේ අප්පච්චිය…

කුඩා කල සිට මා මලක් මෙන් පරිස්සම් කල

මා ඉපදුණු පසු මා වෙනුවෙන් පමණක් හුස්ම ගත්

මා මේ ලොව වැඩියෙන්ම ආදරය කළ තැනැත්තාය..

ඔහුගේ උණුසුම මට අවැසි මුත් 

මෙ වසංගතය ඉදිරියෙ මාත් අප්පච්චිත්

ආගන්තුකයින් වී ඇත….

මා මෙතරම් ආදරය කල අප්පච්චිට 

සමුදෙන්නට වත් මට නොහැකි වූ කල

යළි ආදරය නොදැනෙන ගලක් වීම හැර 

මා කුමක් කරන්නද…

වසංගතය මාගේ අප්පච්චිව උදුරා නොගත් මුත්

මගේත් අප්පච්චිගෙත් අවසන් වැළද ගැනීම පවා

අහිමි කල 

කොරෝනාවට මා වෛර කරමි…

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp