kslau hdu
ldxpkd l=,r;ak

”සරෝ… ඔයා දන්නවද… අද මං ඔයා ආසම දෙයක් ගෙනාවා…” සිදත් සාලයට පිවිසියේ එහෙම කියාගෙන. ඒත් සරෝජිනීට ඒ ගැන වගක්වත් නැත.

”අයියෝ… ඔයා තාම මාත් එක්ක තරහද…? හරි හරි… ඔන්න මං පොරොන්දු වුණා. මං ආයෙ කවදාවත් බොන්නෙ නෑ” ඒ සිදත්ය.

තමා මේ පොරොන්දුව සරෝජිනීට දුන්නේ කීවෙනි වතාවටද කියලාවත් සිදත්ට නිනව් නැත. සමහර විට ඉහේ කෙස් ගාණට… සාලයේ වූ සැටියේ හාන්සි වී සිටි සරෝජිනී ගස්සා ඉවත බලා ගත්තාය.

”අද නම් හොඳටම තරහ වෙලා… ඉන්නකෝ මං යාළු කරගන්නම්..” යි සිතමින් සිදත් නාන කාමරයට වැද වතුර මල ක‍්‍රියාත්මක කළේය. සිහිල් වතුර බිඳු ඔහුගේ නග්න සිරුර සිපගනිමින් ගත ප‍්‍රබෝධමත් කළ අතර, සරෝජිනී හා බැඳි මුල් යුගය සිහිපත් වීමෙන් සිත ද ප‍්‍රබෝධමත් විය.

එවකට ඔහු ඉංජිනේරුවරයෙකු වශයෙන් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සේවයට පැමිණ ගතව තිබුණේ ඉතා කෙටි කලකි. ඇය ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා පැමිණි දීප්තිමත් සිසුවියකි. නව යොවුන් තරුණියකගේ සිතක් එකවර පැහැර ගැනීමට තරම් ආකර්ශණීය පෙනුමක් නැති තමා තුළ කිසියම් හෝ කඩවසම් පෙනුමක් ඇති බව ඔහුට හැඟී ගියේ ප‍්‍රියමනාප, තරමක් කටකාර සිසුවියක වූ ඇගේ දෑස් සිය යහළු නඩයට හොරා තමා පසුපස සැරිසරන බව දැනීමෙනි. ඇය දුටු මුල් දිනවල ඈ පිළිබඳ සොඳුරු හැඟුම් සිත පිළිසිඳි නමුත්, පුංචි සුන්දර යුවතිය ඒ හැඟුම් සරදමකට ගනීවි යැයි ඔහු බිය වූයේය. නමුත්, තමා පසුපස ලූුහුබඳින ඒ කතා කරන ඇස්, දොරගුළු ලා සිර කරගෙන සිටි ඔහුගේ සිත තුළ වූ සොඳුරු හැඟුමන් විකසිත කිරීමට සමත් විය. සත් වසරක පේ‍්‍රමය ඵල දරා දෙපාර්ශවයෙන් ආ විරෝධතා නොසළකා ඇය ඔහුගේ පතිනිය වූවාය.

මුවගට නැගි සුන්දර සිනාවත් සමග අමරදේවයන්ගේ ගීතයක් මුමුණමින් සිදත් නාන කාමරයෙන් එළියට පැමිණියේය.

”අද මම ම තේ හදනවා… සරෝ ආස වෙයි. යාළු කරගන්නත් ඕනනේ…” සිතමින් සිදත් බෑගය අවුස්සා සකස් කරන ලද කට්ලට් පැකට්ටුවක් එළියට ගත්තේය. කේතලයට වතුර පුරවා ගෑස් ලිප මත තැබූ ඔහු තෙල් තාච්චිය අනෙක් ලිප මත තබා කට්ලට් එකින් එක නැවත බැද්දේය. වතුර නටන තුරු පෙති කපන ලද පාන් ගෙඩියේ බටර් තැවරුවේය.

”ම්… තේ වලට වඩා කිරි කෝපි හොඳයි… සරෝ කොහොමත් ආසයිනෙ මං හදන කිරි කෝපි එකට…”

ඔහු බොහොම උනන්දුවෙන් කිරි කෝපි කෝප්ප දෙක පිළියෙල කොට බන්දේසියක තබා, බටර් පාන් සමග උණු උණු කට්ලට් ද තබාගෙන වේටර් වරයෙකු මෙන් රඟමින් සරෝජිනී අසලට ගියේ ඇය මිත‍්‍ර කරගන්නා ඒකායන බලාපොරොත්තුවෙනි.

”ම්හු… වෙනදා නැගෙන ප‍්‍රතිචාර අද නෑ” ඔහු තැවුලෙන් සිතුවේය. ඔහු නොයෙක් ආකාරයේ ආදරණීය වදන් පැවසීය. විහිළු කතා කීවේය. පැරණි සුන්දර මතක ඇවිස්සුවේය. සියල්ල අවසානයේ වූයේ ඇගේ තරහා ඇවිස්සීමය.

”ඔන්න ඕක තියලා මෙතනින් යන්න. මට පාඩුවෙ ඉන්න දීලා. මං මේ ඉන්න බැරිව ඉන්නවා… බොරු පොරොන්දුකාරයා…” සරෝජිනී දෑතින්ම හිස බදාගෙන තරහින් කෑ ගැසුවාය.

ඇය දින කිහිපයක සිට ඉවසිය නොහැකි හිසරදයකින් පෙළුණු බව සිදත්ට සිහියට ආවේ එවිටය.

”පව්… මං ලෙඩ වුණාම සරෝ මොන තරම් දුක් වෙනවද… මහන්සි වෙනවද? ෂික්… මට නිකන්වත් මතක් වුණේ නෑනෙ… ඒකටත් එක්ක වෙන්නැති පරල වෙලා ඉන්නෙ.”

සිදත් සිතිවිල්ලෙන්ම නැගිට ගොස් වතුරු වීදුරුවක් සමග වේදනා නාශක පෙති දෙකකුක් ගෙනැත් තේ බන්දේසියේ තැබූයේ,

”අනේ සොරි සරෝ… මට එ්ක අමතක වුණා… ඔයා කෝපි බීලා මේ පෙති දෙක බොන්නකෝ… මං ?ට මොනවහරි හදන්නම්.”

සිදත් සමාව යදින දෑසින් ඈ දෙස බැලූ විට ඇය මදක් මෙල්ල වූ බව ඔහු දුටුවේය.

සිදත් හාල් ගරා රයිස් කුකරය ක‍්‍රියාත්මක කළේය. ශීතකරණයෙන් එළවළු දෙක තුනක් තෝරා ගත් ඔහු බණ්ඩක්කා ටික යළිත් ශීතකරණයට දැමූයේ,

”බණ්ඩක්කා සීතලයි… ?ට හොඳ නෑ… සරෝගෙ සෙම වැඩිවෙයි” සිතමිනි.

පොල් ගෙඩිය බිඳ හිරමණය ළං කරගත් සිදත් සිතිවිල්ලේම උයමන ආරම්භ කළේය. විශ්ව විද්‍යාල අවධියේ නේවාසිකාගාරයේ ආහාර කමිටුවට සම්බන්ධ වීමෙන් ලත් අත්දැකීම් මෙවන් විටෙක ඔහුට අත්වැලක් විය.

සරෝජිනීට ලේසියෙන් තරහ යන්නේ නැත. තරහ ගිය විට සිදත් කතාවට යන්නේද නැත. ඇගේ තරහ පවතින්නේ සුළු වේලාවකි. උපරිම වරුවකි.

විවාහයෙන් පසු කරගෙන ආ රැකියාවෙන් ඉවත් වූ සරෝජිනී, සිදත් වෙනුවෙන් ජීවිතයම කැප කළාය. ඔහුගේ සතුට වෙනුවෙන් ඇය බොහෝ දෑ කළාය. හදිසියේ හමුවූ පාසැල් මිතුරෙකුගේ ආශ‍්‍රයෙන් ඔහු හා බීමට යොමු වුණු සිදත් සඳහා ඇය අකමැත්තෙන් වුවද අඩුවැඩිය සකසා දුන්නාය. ටිකෙන් ටික සිදත් බීමට ඇබ්බැහි වෙද්දී, ඊට තදින් විරුද්ධ වූ සරෝජිනී ඉඳහිට ඔහුගේ ප‍්‍රහාරයන්ටද ලක් වූවාය. එවන් විටෙක හැඬීමෙන් හෝ ඔහුව වර්ජනය කොට වෙනත් කාමරයකට යාමෙන් ඇය ඇගේ අප‍්‍රසාදය පල කළාය.

”වෙලාවක මම මේ ඔක්කොම දමල ගහල කාටවත් නොකියා යන්නම යනවා” ඇය කීවේ එපමණකි.

පොල් ගාමින් සිටි සිදත් ගේ දෑස් තෙත් වුණිි.

”පව් අහිංසකී… මං හින්දා මොන තරම් වේදනා විඳල තියෙනවද…?”

දරුවකු පතා අවුරුදු තුනක් සිදත් සරෝජිනී කැටුව නොගිය දේවාලයක් නැත. හමු නොවූ වෛද්‍යවරයෙකු නැත. දරුවකු පිළිබඳ දැල්වූ බලාපොරොත්තු මියැදෙමින් පවතින මොහොතක කුළුඳුලේ සරෝජිනීගේ කුසට ආව දරු පැටියා…

”අනේ… මගෙ පුතා හිටියනම් දැන් ගජ ඉලන්දාරියෙක්… අපිට ඒ සතුට විඳින්න බැරිවුණේ මං හින්දා…” සිදත් පිට කළ සුසුම සරෝජිනී අසලක සියානම් ගසාගෙන යන තරම්ය.

කුළුඳුල් පුතු පැටියා මෙළොව එළිය දැකීමට තව තිබුණේ මසකටත් අඩු කාලයකි. එක් අඳුරු මූසල රාත‍්‍රියක බීමතින් යහළුවෙකු සමග ගෙදරට ආ සිදත්ට සරෝජිනී මිතුරා ඉදිරිපිටම ගැස්සුවාය.

”හෙට අනිද්දා තාත්තා කෙනෙක් වෙන්න ඉන්න මිනිහ… කිසි වගකීමක් නෑ. යාළුවන්ටවත් තේරෙන්නෙ නැද්ද මන්දා…” යි ආඩපාලි ද කියූවාය.

මිතුරා යනතුරු ඉවසා සිටි සිදත් සරෝජිනී සමග බහින්බස් විය. එය කලහයක් දක්වා වර්ධනය වෙද්දී, සිදත් ගේ පහරකින් සරෝජිනී කැරකී ගොස් මුණින් අතට බිම වැටුණේ තුන් වසරක් පෙරුම් පුරා අට මසක් කුස දරා ආදරයෙන් රැකගත් කිරි සිහිනයද බොඳ කරවමිනි. එදා රෝහලට ගෙන යන විටත් අධික ලෙස රුධිරය වහනය වී සිටි සරෝජිනී ගේ ජීවිතය බේරා ගත්තේද මහත් අපහසුවෙනි. එදා මෙදා තුර ඔවුන් කිසිදාක දරුවන් ගැන කතා කළේද නැත. නමුත් ගතවූ මේ තිස් වසර පුරාවට තමා රැකියාවට ගිය පසු නිවසේ තනිවන ඇයට, මොන තරම් නම් දුකක් කාන්සියක් දැනෙන්න ඇත්ද…

සිදත් රාත‍්‍රී ආහාරය සකස් කොට අවසානයේ කෑම මේසයද පිළියෙල කොට සාලයට පිවිසියේ දැඬි අෂ්ඨානයක් සිත් හි දරාගෙනය. ඔහුට සරෝජිනී ගැන වෙන කවරදාකවත් නොදැණුනු අන්දමේ දුකක් දැනෙන්නට විය.

”හෙට සරෝව එක්ක ගිහින් ඡුක්‍ඍ එකක් කරවන්න ඕනෙ. කියන්න බෑනෙ. දැන් දවස් ගාණක්. මේ ඔළුවෙ කැක්කුම මොන බෙහෙතටවත් අඩු වුණේ නෑනෙ. මං ආයෙ කවදාවත් බොන්නෙ නෑ… නෑමයි… මේ කාලෙ හැටියට අපේ ජීවිතේ අද ද හෙට ද දන්නෙ නෑ. ඒ නිසා එයත් එක්ක ඉතිරි කාලෙ ආදරයෙන් සතුටින් ඉන්න ඕනෙ. සරෝට හැමදාම ඕනෙ වුණෙත් ඒකනෙ…”

සිදත් සරෝජිනී අසලට ගියේය. ඇය සුව නින්දකය. ඇහැරවන්නට ලෝබ කමක් සිදත්ට දැණුනි. ඔහු ඇය දෙස බලා සිටියේය. තිස් හත් වසකට ඉහත මුල් වරට ඇය දුටු දා ඒ මුහුණේ ඔහු දුටු සියළු කෝමල රේඛා කෙමෙන් වියපත් වන ඇගේ මුහුණේ අදටත් විද්‍යාමාන බැව් ඔහුට පෙනී ගියේය.

ටීපෝව මත වාඩිවී ඈ වෙතට නැඹුරු වූ ඔහු ඇගේ නළලත සෙමෙන් සිපගත්තේය. ඇගේ නළලත අයිස් කැටයක් මෙන් සීතලය.

සිදත් ගැස්සී අවදි විය. ඔහුට සිහි එළවා ගැනීමට මිනිත්තු කිහිපයක් ගත විය. වේලාව පාන්දර දෙකට පමණ ඇත. ක‍්‍රමයෙන් ඔහුට සිදුවූ සියල්ල සිහියට නැගෙන්නට විය. සරෝජිනීගේ දේහය අසල බිම හිඳගෙන සැටියට හිස ගසාගෙන සිටි තමා නින්දට වැටී ඇති බවත් මෙතෙක් දැක ඇත්තේ සිහිනයක් බවත් ඔහු අවබෝධ කරගත්තේය.

දින කිහිපයක් හිසරදයෙන් පෙළුණු සරෝජිනී කිසිඳු බෙහෙතකට ප‍්‍රතිචාර නොදැක්වීමත් ආහාර වර්ජනය කිරීමත් හේතුවෙන් ඇය පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් කොරෝනා රෝගය සඳහා කළ පරීක්ෂණයේ ප‍්‍රතිඵල ලැබුණේ අද උදෑසනය. තමා සිතූ ආකාරයටම ඇය කොරෝනා රෝගයේ ගොදුරක්ව සිටියාය. පසු දින අතරමැදි මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට පැමිණෙන තුරු සෞඛ්‍ය අංශ වලින් ලැබුණු උපදෙස් වලට අනුව නිවසේ උඩු මහළේ වෙන්ව සිටි ඇය, ඔහු සවස තේ රැගෙන යන විටද හිසරදයෙන් පෙළෙමින් වුවද සුවසේ සිටියාය. රාතී‍්‍ර අටට පමණ ඇය වෙනුවෙන් සුප් පිළියෙල කරමින් සිටියදී ඇසුණු අසාමාන්‍ය ශබ්දය පිළිබඳව සොයා බැලීමේදී, අපහසුවෙන් හුස්ම ගනිමින් තරප්පු පෙළේ මැද ඈ වාඩිවී සිටි ආකාරය සිහිවී අනාරාධිතව නෙත් අගට ආ කඳුළක් සිදත් කමිස අතින් පිසදා ගත්තේය.

වත්තම් කරගෙන සැටියට රැගෙන ආ පසු සරෝජිනී තදින් හුස්ම අදිමින් දියෙන් ගොඩගත් මාළුවෙකු මෙන් දඟලන්නට වූයේ ජීවිතය යදින දෑසින් තමා දෙස බලාගෙන බව සිදත්ට මතකය. ඔහු ගිලන් රථයකට ඇමතුමක් ගත්තේය. එය කාර්ය බහුල විය. නැවත නැවත ගත්තද සම්බන්ධ කරගත නොහැකි වූයේ ඇගේ නොව තමාගේ අවාසනාවට බව ඔහු සිතුවේය.

කුමක් කළ යුතුදැයි ඔහුට නිනව් නැතිවිය. ඔහුට ඇගේ හිස සිපගත්තා මතකය. පවන් සැලූවා මතකය. හුස්ම ගැනීම පහසු වනු පිණිස ඔහු දැන සිටි සියළු දෑ කළා මතකය. මිනිත්තු කිහිපයක් හුස්ම සමග අරගලයක නිරත වූ වසර ගණනාවක් තමා සමග ජීවිතය බෙදාගත් ආදරණීය සරෝ… තම ඇස් ඉදිරිපිටම අවසන් සුසුම් පොද වා තලයට මුසු කළා මතකය. කිසිදාක අමතක නොවන ලෙසින්ම මතකය.
අසල්වැසියන් අමතා අදාළ අංශ දැනුවත් කළද කිසිවකු මේ රැයේ ඔහුගේ පිහිටට නොවීය. කෝවිඞ් මරණයක් හේතුවෙන් අසල්වැසියන්ටද නිවසට ඒමට ක‍්‍රමයක් නොවීය. ඔවුන් නිවසේ ගේට්ටුව අසල සිට කතා කොට අවශ්‍ය දෑ කළමනාකරණය කළෝය.

තමා මේ තරමට අසරණ වූ දවසක් සිදත්ගේ මතකයේ නොවීය. ප‍්‍රාණය නිරුද්ධ ආදරණීය බිරිඳගේ දේහය සමග තමා මේ විසල් නිවසේ තනිව ඇති බව පමණක් ඔහුට සිහිපත් විය. දුක කියන්නට කෙනෙක් නැත. ළඟ සිට තමා සනසන්නට කෙනෙක් නැත. හෙට ඇගේ දේහය රැගෙන ගිය පසු… ඈ හා ගතකළ අතීත මතක තමාගේ මරණය තෙක්ම ඇගේ වියෝවෙන් තම ජීවිතයේ ඇතිවූ හිස්තැන පුරවන බව පමණක් ඔහු දැන සිටියේය.

සිදත්ට ඇය නිතර පවසන වදනක් සිහිපත් විය.

”වෙලාවක මම මේ ඔක්කොම දමල ගහල කාටවත් නොකියා යන්නම යනවා.”

 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp